20121123

ලොව පුරා,... දිනපතා,... සිංහබාහුලා සිංහයන්ට විදිනවා.

කොළඹ ඉන්න දවස්වල
මාසෙකට දෙකකට වරක්
අපි පවුල පිටින් නැරඹූ 
සිංහබාහු.........
සිංහබාහු නාට්‍යයෙ මූලිකව කතා කරන්නෙ 
දරුවන්ට නොතේරෙන පිතෘ ප්‍රෙමය පිළිබඳවයි.

පුතු සෙනේ මස් නහර හම සිඳ
ඇට සොයා ගොස් ඇට තුලට වැද
ඇට මිඳුළු මත රඳා සිට
දුක් දෙයි නිබන්දා...

 


මගේ පුතා දෙස මම බලන විදිය
මට පෙනෙන තුරු මට මගේ පියා
මා දෙස බැලූ විදිය
මට තෙරුම් ගත නොහැකි වුණා.
මා දෙස ඒ විදියට බලන්න
පුතාට නොහැකි බවත් මට තෙරුණා.
ඒ සත්‍යය පැහැදිලිව වටහාගන්න
මට විශාල ආධාරකයක් වුණේ සිංහබාහුයි.

නිර්මාණයක් විදියට සිංහබාහු නාට්‍යයෙ චරිත
බෙහෙවින්ම සමබරයි.
හැම චරිතයකම හොඳ නරක,
දුර්වලතා ආදිය තියනවා වගේම
ඔවුන් තුළ ඇතිකරන පෙළඹවීම් ආදිය
මැනවින් ඉදිරිපත් කෙරෙනවා.
ඒ චරිත වලට අයාලෙ මතුවන
සිතුවිලි නැහැ.
ඔවුන් කිසියම් ගැටුමකට මුහුණ දීලා
තවත් බලපෑම් මත
ඔවුන් තුළ ඇතිකරන පෙළඹවීම් මත
ඔවුන් ශක්ති පමණින් ගන්න තීරණ මත
ඔවුන්ගෙ ක්‍රියාකාරකම් සිදුවෙන බව
අපට වැටහෙනවා.

සිංහබාහු සිංහයාට විදින තැන
ඔහු "ආවා, විද්දා"නෙමෙයි.

සිංහබාහු පියා මරන්න එන්නෙ
සිංහයා කෙරෙහි ද්වේශයෙන් නෙමෙයි.
රටේ ජනතාවට කරන හානිය නිසයි.
පියා එන්නෙත් අඹු දරුවන්ට ඇති ස්නේහය නිසයි.
සිංහබාහු දැක්කම සිංහයාට අවශ්‍ය
සිංහබාහු වැළඳ ගන්නයි.
ඒ ස්නේහයෙන් ඔහුගෙ හිත මොළොක් වෙනවා.
ඔහු හිත දැඩි කරගන්නේ ආයාසයෙන්.
පියාගෙ මෛත්‍රිය නිසා හී සරය වදින්නෙ නැහැ.
ඔහු නැවත විදිනවා.
ඒ හී සරය වදින්නෙත් නැහැ.

කෝපය නිසා මෛත්‍රිය බිඳීමෙනුයි
හී පහර වදින්නෙ.

මේ මොහොත ...
අපි විතරක් නෙමෙයි,
අපේ අවුරුදු හයේ හතරෙ දරුවො දෙන්නාත්
මේ සිදුවීමෙන් සසල වෙනවා..
බලන හැම දවසකම
දෑසින් කඳුළු එන තරමට
අපි සසල වෙනවා..
ඒ සසලවීම අපිට දැනෙන්නෙ
දෙමව්පියන් හා දරුවන් විදියට
අපි ඒ ගැටුම විවිධාකාරයෙන්
ජීවිතකාලය පුරා
අත් විඳින නිසයි.


ලයනල් වෙන්ඩ්ට් එකේ සිංහබාහු තියනවා.
එදාටත් බලන්න හිත කියනවා.

කවදාවත් විවාහවෙන්න එපා,



කවදාවත් විවාහවෙන්න එපා,
මා ආදරණීය මිත්‍රයා.
ඔබට දෙන අවවාදය එයයි.

තමා කරන්නට කැමති

තමාට කරන්නට පුලුවන්
හැමදෙයක්ම කරලා අවසානයි කියා
ඔබටම කියාගන්නට හැකිවනතෙක්
කවදාවත් විවාහවෙන්න එපා.
ඔබ තෝරාගන්නා යුවතියට ඇති ආදරය නිවිලා,
ඇය ඈ සිටින විදියට පෙනෙන්න කලින් විවාහවුණොත්
කවදාවත් නිවැරදි කරන්න බැරි,
ක්‍රූර වරදක් කළා වෙනවා.
වයසට ගිහින්
කිසිදේකට වැඩක් නැති කෙනෙක් වුණාට පස්සෙ
විවාහ වෙන්න.
එහෙම නොකළොත්
ඔබ තුළ තියන උසස් ගුණාංග
ටිකින් ටික නැතිවී යාවි.
හැමදේම බිඳෙන් බිඳ නැතිවී යාවි.
ඔව්! ඔව්! ඔව්!..
ඔය තරම් පුදුමයෙන් මාදිහා බලන්න එපා.
ඔබ අනාගතේදි
ඔබෙන් කිසිවක් බලාපොරොත්තුවෙන් විවාහ වුණොත්
පියවරක් පියවරක් පාසා
ඔබේ සියල්ලම හමාර වී ඇති බව
ඔබට වැටහේවි.
විසිත්තකාමරය හැරෙන්නට
හැම දෙයක්ම නැති වෙලා
රාජසභාවක දාසයෙකුගෙ මට්ටමට වැටේවි.
මොකක්ද ඇති හොඳේ?"
==================================

ලියෝ ටෝල්ස්ටෝයිගේ
"යුද්ධය හා සාමය"
කියවන්නට පටන් ගතිමි.

2009දී NEWSWEEK සඟරාව මගින් තේරූ
ලොව මෙතෙක් ලියැවුණු හොඳම පොත් 100 අතුරෙන්
පළමුවැන්නට තේරුණු මෙම පොතෙහි
සැබෑ චරිත 160 පමණ ඇති අතර
මුලු චරිත සංඛ්‍යාව 500කට අධිකය.

කොතෙක් චරිත තිබුණද
ඉතා පැහැදිලි අනන්‍යතාවයෙන් යුතුව
මෙම චරිත සිතන පතන ආකාරය සහ
ඔවුන් හැසිරෙන ආකාරයද
ඒ දෙක අතර වෙනස්කම්ද
ටොල්ස්ටෝයි ඉතා ගැඹුරෙන් සහ
සියුම්ව විස්තර කරන අයුරු විශ්මිතය.

අප නොදන්නා නොහඳුනන පරිසරය
අප හමුවේ මැවෙද්දී
සිනමා පටයක් නරඹනවාක් වැනි
කුතුහලයකින් සහ තෘප්තියකින්
කියවිය හැකි පොතකි.

මෙය කියවන්නට
මෙතෙක් කල් සිටීම ගැනද
මහත්සේ සතුටුවෙමි.
මීට පෙර කියෙව්වානම්
අද මට මෙහි පෙනෙන බොහෝ දේ
එදා මා නොදකිනු ඇතැයි මට සිතේ.

මිනිසුන්ට දැනෙන නිර්මාණයක්


අතීතයෙන් වියුක්තව
අතීතයේ මිනිසුන් වින්ද, අදටත් විඳින
සියුම් භාවයන්ගෙන් වියුක්තව
මිනිසුන්ට දැනෙන නිර්මාණයක් බිහි කරන්න
කාටවත් බැහැ.


එකේ ඉඳල දහයට ගනින්න බැරි කෙනෙක්
එකොළහ කියල හඳුන්වන දේ
හිස් වචනයක් විතරයි.
සිංහබාහු සාර්ථක වුණේ
එතෙක් සිංහල ජනජීවිතයේ
රිද්මයට සංගත වෙලා තිබුණ
නූර්ති හා නාඩගම් ලක්ෂණ මත පදනම් වීමත්
සනාතනික පිය පුතු ගැටුම
ඉතාම නාට්‍යමය ආකාරයෙන්,
කාගේත් දොස් දකිමින්
කිසිවෙකුටත් දොස් නොපවරා,
ඉතා සංවේදීව සහ හෘදයාංගමව
නිර්මාණය කල නිසයි.
එහි හැම දෙබසක්ම
හැම සිද්ධියක්ම
එකම අරමුණකින්
එකට බැඳුන
ගංගාවක රැලි වගේ
එකම ජාලයකට සම්බන්ධ
රිද්මයානුකූල තරංග මාලාවක්.
අද නාට්‍යකරුවන්
ඒ රිද්මය හදාරලා
ඒ අවබෝධයෙන් යුතුව නිර්මාණ
කළ යුතුයි කියා මම හිතනවා.
ඒ රිද්මය නොදැනෙන හිතකට
ඒ රිද්මය දැනෙන හිතක් සමග
සම්බන්ධ වෙන්න බැහැ.

අද තියන නිර්මාණ බලන්න
හිතෙන්නෙ නැත්තෙ
ඒ නිර්මාණකරුවන් බොහෝ දෙනෙක්
ප්‍රවීණයන් හෙළා දැකලා
තමන්ගෙ තැන නිර්මාණය කරගන්න
නිතර දරන උත්සාහය නිසායි.
එයින්ම ඔවුන්ගේ චරිතයේ ඇති නොගැඹුරු බව හා
දැනුමට ඇති ද්වේෂය පිළිබිඹු වෙනවා.
දැනුමට ද්වේෂ කරන
නොගැඹුරු චරිතයක් ඇත්තෙකුට
හදවතට දැනෙන නිර්මාණයක්
කළ නොහැකි බව සාමාන්‍ය දැනීමක්.

ජනතාව කියන්නෙ
අතීතයත් සමග බැඳුන ප්‍රවාහයක්.
කලාව කියන්නෙ ඒ ප්‍රවාහයේ දිශානතිය ගැන
අපට පැහැදිලි ඉඟියක් දෙන
හොඳම නිර්ණායකයයි.
කාලාන්තරයක් පවතින කලා කෘතියක
ජනතා ප්‍රවාහයේ රිද්මය හා සංගත වීමක්
අනිවාර්යයෙන්ම තියනවා.
සරච්චන්ද්‍ර, සේකර වැන්නන්
නිරායාසයෙන් ඒ රිද්මයට සංගත වුණ
හෘදයාංගම කලාකරුවන්.
ඔවුන් අතීතයෙන් ඉගෙන නොගත්තානම්
ඔවුන්ටත් වෙන්නෙ අතීතයට ද්වේශ කරමින්
අතීතය හෙළා දකිමින් ඉන්නයි.
ද්වේශය කටකලියාවක් නැති අශ්වයෙක් වගේ.
වල් අශ්වයෙක් පිට නැගලා
නිශ්චිත අරමුණක් කරා යන්න බැහැ.

නිර්මාණකරුවාගේ චරිතයේ
නොමේරූබව, පදම් වීමෙ ඌණතාවය
අල්පශෘතභාවය හැරුණාම
නිර්මාණයක් අසාර්ථක වෙන්න
ප්‍රධානම හේතු තුනක් බලපානවා.
කෑදරකම,
ගරු නම්බු අපේක්ශාව සහ
සිතින් අල්ලාගෙන සිටින දෘශ්ඨීන්.

කලින් කියූ චරිතයේ දුර්වල කම්
කියවීමෙන්, ඉගෙනීමෙන්, අභ්‍යාසයෙන්..
ප්‍රවීණයන් ඇසුරෙන් මඟහරවා ගත හැකියි.
දෙවනුව කී මානසික දුර්වලතාවයන්
මගහරවා ගන්න තියන එකම පිහිට
බුදුන් වහන්සේ උගන්වන
විදසුන පමණයි.
සේකර, සරච්චන්ද්‍ර වැන්නන්ට
ඔවුන් විසූ අදට සාපේක්ශව
බෙහෙවින්ම නිර්මලවූ පරිසරය නිසා
ඒ දුර්වලකම් වලින් තොරව
මග සකසා ගන්න හැකියාව ලැබුණා.
අද තියන දූෂිත සමාජය තුල
විදසුනෙන් තොරව
හිත රැක ගන්න 
වෙනත් ක්‍රමයක් නැහැ.

මම මරණයට බය නෑ, ඒත් මැරෙන්න බයයි

මම මරණයට බය නෑ ඒත් මැරෙන්න බයයි
ධවල භීෂණ නැවත ගෙනෙන ධර්මසිරි බණ්ඩාරනායක කියයි
-----------------------------සංවාදය – අසංක දේවමිත්‍ර පෙරේරා



=ධර්මේ ඔබේ වෙහෙස මට ආඩම්බරයක්.ඔබේ ජීවිතයට මම ඉරිසියා කරනවා.මේ නාට්‍යය නැවත හදා ගත්තා කියන්නේ විශ්මයක්. මේ නාට්‍යය නැවත රිහසල් කරන්න. දැන් නළු, නිළියන්ට දෙබස්, පොෂිෂන්ස් පාඩම්. ඔවුන්ට දැන් ඒ චරිතවල ජීවිතය සොයා ගන්න උදවු කරන්න. ඔබ අපටත් මේ චරිත සොයා දුන්නේ එහෙමයි. 
මා තුළ තවමත් ‘හෙන්රි’ ඉන්න තරමට ඔබ මගේ අධ්‍යාත්මයේ හෙන්රි හැංගුවා. මේ අයටත් ඒ ටික අවශ්‍යයි.’

මේ පසුගිය දිනෙක ප්‍රවීණ නාට්‍යවේදී ධර්මසිරි බණ්ඩාරනායකගේ ජංගම දුරකතනයට ලැබුණු කෙටි පණිවුඩයකි. එය එවා තිබුණේ ජැක්සන් ඇන්තනි විසිනි.
අප හමු වූ මොහොතේ ධර්මසිරි, මේ කෙටි පණිවුඩය මට කියවූයේ කිසියම් උද්දාමයකින් යුතුවය. කෘතවේදිත්වය, ඇගයීම මෙන්ම උපදේශනයක් ද එහි ගැබ්ව ඇතැයි මට සිතේ. මේ සියලු කාරණා ගොනුවූයේ ධර්මසිරි බණ්ඩාරනායකගේ විශිෂ්ටතම වේදිකා නාට්‍යයක් වන ‘ධවල භීෂණ’ පසුබිම් කර ගනිමිනි. එහි මුල් නිෂ්පාදනයේ හෙන්රි නමැති ප්‍රධාන භූමිකාවක් රඟ දැක්වූයේ ජැක්සන්ය. එනිසා ඉහත විග්‍රහයට ඔහුට ඇත්තේ පරම අයිතියකි.

ජැක්සන්ගේ මේ SMS පණිවුඩය මට ලොකු ශක්තියක් වගේම ආශිර්වාදයක්. ඔහු මේ රටේ බිහි වූ විශිෂ්ටතම නළුවෙක්. ‘ධවල භීෂණ’ නාට්‍යය වෙනුවෙන් ඔහු බොහෝ කැප කිරීම් සිදු කොට තිබෙනවා.

‘ධවල භීෂණ’ සමඟ යළිත් වරක් කරළියට පිය මනින
ධර්මසිරි මා හා සංවාදයට ප්‍රවේශ වන්නේ ඒ අයුරිනි.

==මීට වසර විසි පහකට පෙරාතුවයි ඔබ ‘ධවල භීෂණ’ නිර්මාණය කළේ. එවැනි යුගයක කලාකරුවකු හැටියට ඔබ භාර ගත්තේ විශාල අභියෝගයක් වගේම අවදානමක් . . .?

‘ධවල භීෂණ’ මම වේදිකාවට ගෙනාවේ 1988 වසරේ. සැප්තැම්බර් 27, 28 තමයි එහි මංගල දර්ශන කොළඹ ලයනල් වෙන්ට්ඩ් රඟහලේ පැවැත්වුණේ. මේ නාට්‍යය කරන කාලේ රටේ ඇතිවුණ දේශපාලන ප්‍රචණ්ඩත්වය සහ භීෂණකාරි තත්ත්වයන් දරුණු ලෙස නාට්‍යයට බලපෑවා. ඇත්ත වශයෙන්ම මේ නාට්‍යය රචනා වෙලා තියෙන්නේ ප්‍රංශයේ දේශප්‍රේමී අරගල කණ්ඩායමක් හිට්ලර්ගේ හමුදාවට විරුද්ධව කරන අරගලයක් ප්‍රස්තුත කරගෙන. ෂෝන් පෝල් සාත්‍රේ ‘Men Without Shadows නමින් තමයි ඒ අත්දැකීම නාට්‍යයට නැගුවේ.

==එය ‘ධවල භීෂණ’ බවට පත් වෙන්නේ කොහොමද?

‘Men Without Shadows’ ප්‍රංශ බසින් සිංහලට පරිවර්තනය වෙද්දී අරුත් ගැන්වෙන්නේ ‘ස්මාරක නැති මරණ’ කියායි. ඉතිං සොහොන් කොත් නැති මරණාවලි පිළිබඳ මට ඇති වූ අදහසක් අනුවයි මේ නාට්‍යය මම රචනා කරන්නේ. මීට පෙර මෙම නාට්‍යය කරන්නට ගියා 1972 දී නාමෙල් වීරමුණි. ඇත්ත වශයෙන්ම නාමෙල් මාවත් තෝරා ගත්තා ඒ නාට්‍යයේ රඟපාන්න. එතකොට තමයි මම පළමුවතාවට මේ නාට්‍යය කියෙව්වේ. ඉතිං නාමෙල්ට මේ නාට්‍ය පිටපත වශයෙන්ම වාරණ මණ්ඩලයෙන් තහනම් කළා. ඒ නිසා ඔහුට හැකි වුණේ නෑ මේ නාට්‍යය කරළියට ගේන්න.

==ඊට වසර ගණනාවකට පසු ඇයි ඔබ ඒ කාර්යයටම නැවත අත පෙව්වේ?

ලාංකේය ජන සමාජයත් එක්ක බොහොම ළඟින් ගමන් කළ හැකි නාට්‍යයක් හැටියට මම මේක දැක්කා. ඒ අනුව තමයි මම ‘ධවල භීෂණ’ නිෂ්පාදනය කළේ. ඒ කාලේ හැටියට තරමක් ප්‍රසිද්ධියට පත් නළු - නිළි පිරිසක් තමයි ඊට රංගනයෙන් දායක වුණේ.

==අද ඔවුන් රංගන කෂේත්‍රයේ දැවැන්තයෝ?

ඔව්. ජැක්සන් ඇන්තනි, කෞෂල්‍යා ප්‍රනාන්දු, ඩබ්ලිව්. ජයසිරි වගේ අය. දයා අල්විස් පමණක් ඔය ටෙලි නාට්‍යය මාර්ගයෙන් ජනතාව අතර ප්‍රචලිත වෙලා හිටියා. ඉතින් ඒ වගේ අලුත්ම පිරිසක් තමයි 1988 දී මේ නාට්‍යයට දායක වුණේ. ඔවුන් මාස අටක් පුරාවට එක දිගට මේ නාට්‍යය වෙනුවෙන් කැප වුණා. ඔවුන් ඒ නිර්මාණයට, නිර්මාණකරුවාට ගරු කළා කියන්නේ ඔවුන් වෙත එන ප්‍රේක්ෂකයන්ට ගරු කිරීමක්. ඉතින් ඒවා සුන්නත්දූලි වෙච්ච වර්තමානයක තමයි අපි කලාව ඇතුලේ මේ අලුත් නිර්මාණයට පිරිස එකතු කළේ. ඔවුන් යම් ප්‍රමාණයකට නාට්‍යය කලාව එක්ක ගැවසුණු පිරිසක්.

==ඔවුන්ගේ කැපවීම පිළිබඳ ඔබ සෑහීමකට පත් වෙනවාද?

අද නාට්‍යය රිහේසල් එකකට නළුවෙක්, නිළියක් ගෙන්නා ගන්නට බැරි තරමට ඔවුන් අවිවේකයි. ඒ කියන්නේ මේ කලාව වෙනුවෙන් කැප වූ ගතිකයන් අද දවසේ හඳුනාගන්න ලැබෙන්නේ නෑ. නමුත් 2012 දී නැවත වරක් මට මේ නාට්‍යය නිෂ්පාදනය කරන කොට කලාව වෙනුවෙන් කැපවෙන පිරිසක් හොයා ගන්න පුළුවන් වුණා. ඒක මා ලද භාග්‍යයක්.

==මම හිතන්නේ ‘ධවල භීෂණ’ මුල් නිෂ්පාදනයට රංගනයෙන් දායක වූ පිරිස අතරින් අද දවසේ ඊට එක් වන්නේ ඩබ්ලිව්. ජයසිරි පමණයි?

මේ වෙනකොට ඔවුන් වැඩි දෙනෙක් අවිවේකයි. රංගන කාර්යයෙන් දායක නොවුණත් ඔවුන් තවම මේ නාට්‍යය හා බැඳී සිටිනවා. මේ ගැන නිතර අවධියෙන් සිටින කෙනෙක් ජැක්සන් ඇන්තිනි. නීල් අලස් පුහුණුවීම්වලට ඇවිත් තමන් එදා කළ චරිතය ගැන ඒ නළුවා සමඟ පමණක් නෙවේ පොදුවේ සියලු දෙනා සමඟම සාකච්ඡා කරලා ඔවුන්ට උපදෙස් දුන්නා. ඒ වගේම කෞෂල්‍යා ප්‍රනාන්දු පුහුණුවීම්වලට ඇවිත් ඉතාම ගෞරවයෙන් මේ නළු, නිළිියන්ට යා යුතුª තැන සොයා ගන්නට උදවු කළා. ඉතින් මම ආඩම්බර වෙන්නේ එදා වගේම දක්ෂ නළු, නිළි පිරිසක් අදත් මගේ අතින් හදා ගන්නට ලැබීම ගැනයි.

==එදා ‘ධවල භීෂණ’ නාට්‍යය හරහා ප්‍රේක්ෂකයා දුටුවේ ඒ පැවැති සමාජයේම හරස්කඩක්. නළු, නිළියන්ගේ චරිත සාර්ථකව ගොඩ නගා ගන්න ඒ පසුබිමත් ඉවහල් වෙන්නට ඇති?

ජැක්සන් ඒ දිනවල මට කියනවා මේ නාට්‍යය කරලා ගෙදර ගියාට පස්සේ රෑට නින්ද යන්නේ නෑ කියලා. ඔවුන්ගේ මනසට තදින් බලපාන කරුණු ගණනාවක් තමයි නාට්‍යයට විෂයය වුණේ.. මොකද ඒ නළු, නිළියෝ කිසි කෙනෙක් කැරළි, කෝලාහලවලට සම්බන්ධ වුණ අය නෙවෙයිනේ. එතකොට ජැක්සන් වගේම කෞෂල්‍යාත් කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන්. ඔවුන් සමඟම සිටි දයා පතිරණ ඝාතනය කළේ ඒ කාලේ. ඒවායින් ඔවුන් කම්පනයට පත් වුණා.

එතකොට නළුවාට හොඳ ප්‍රවේශයක් වෙනවා තමන්ගේ වටාපිටාව තුළින් තමා ලැබුවා වූ අත්දැකීම් ගවේෂණය කරමින් ඒ චරිතවලට ජීවය දෙන්න. නමුත් අද නළු, නිළියන්ට එහෙම වට පිටාවක් නෙවේ තියන්නේ. මෙයින් මා අදහස් කරන්නේ එවැනි තත්ත්වයක් අද තිබිය යුතුයි කියා නෙවෙයි. යුද්ධය අහවර වෙලා තියනවා. නැවත ඒ අයට කල්පනා කරන්න දේවල් තියෙනවා.

==ඔබ වටා අද සිටින අලුත් පරපුර සමඟ ‘ධවල භීෂණ’ නැවත වේදිකාවට ගෙන ඒම සාර්ථක උත්සාහයක් වෙයි කියා සිතනවාද?

මේ අය අලුත් පිරිසක් කියා හඳුන්වනවාට මගේ කැමැත්තක් නෑ. දැන් ඔවුන් ප්‍රවීණයෝ. ඔවුන්ගේ ඉදිරි ගමන තීරණය වෙන්නේ ඔවුන්ගේ ක්‍රියාදාමයන් උඩයි. සමහර ශිෂ්‍ය, ශිෂ්‍යාවෝ මම පුහුණුවීම් කරන කොට කියන්නේ ‘පොලිස්කාරයෙක්’ වගේ කියලයි. මගෙන් බැණුම් අසමින්, ඔවුන් මේ කාර්යයේ ව්‍යාවෘතව සිටින්නේ දැඩි කැපවීමකින්. දැන් සුගතපාල සිල්වා හැඳින්වූවේ ‘සොඳුරු ආඥාදායකයා’ ලෙසයි. තමන්ගේ දරුවෝ වගේ ඒ පිරිස නළු, නිළියන් බවට පත්කරගෙන මේ ගමන යනකොට එවැනි ආඥාදායක බවකුත් අවශ්‍යයි.

==සුන්දර පොලිස්කාරයොත් ඉන්නවනේ නේද?

ඔව් . . . කලාතුරකින්.

==අද ටෙලි නාට්‍යය හරහා විශාල නළු නිළි පිරිසක් රංගනයට යොමු වී සිටිනවා. ඔවුන් වේදිකා නාට්‍යය දෙසට යොමු වීම අද අප දකින ප්‍රවණතාවක්?

අර රූපවාහිනිය තුළ, උසස් රංගන සම්ප්‍රදාය පහළටම ඇද දාපු නළු, නිළි පිරිස් හිතනවා දැන් වේදිකාව ආක්‍රමණය කළ හැකියි කියලා. ඉතින් අන්න ඒක භයානක තත්ත්වයක්. ජනප්‍රියත්වය පමණයි ඔවුන් ගුරු කොට තකන්නේ. පුහුණුවීම් ඔවුන්ට අදාල නෑ. ඒ වගේම පිටපත් අරන් අධ්‍යයනය කරන උත්තරීතර, ගෞරවනීය රංග සම්ප්‍රදාය ට අනුගතවීමේ අවශ්‍යතාවයකුත් ඔවුන්ට නෑ. කොටින්ම ගාමිණි ෆොන්සේකා, ජෝ අබේවික්‍රම, ටෝනි රණසිංහ වැනි විශිෂ්ටයන් ගොඩ නැගූ උසස් රංග සම්ප්‍රදාය අද මේ පිරිස් විසින් මස්ත බාල්දු කරලා. වේදිකාවේ ‘අසඩක්’ කරපු හෙන්රි ජයසේන ‘ගම්පෙරළියේ’ පියල්ට රඟපාන කොට ඒවා අපට කාන්දු වුණා. ඒ කියන්නේ ඒවා ඉතාමත් අදත්විතීය රංගනයන්.

==එතකොට ඔබ කියන්නේ රඟපෑම ගෞරවනීය ලෙසින් කරන නවක පිරිසක් වර්මානයේ නෑ කියාද?

ඉඳහිට ඉන්නවා. නමුත් වැඩි පිරිසක් අර වගේ. එයාලා දැන් වේදිකාවට ඇවිත් එතන කරන්නෙත් ඊට නොදෙවෙනි ක්‍රියාවලියක්. දැන් මම සුගතපාල සිල්වා, හෙන්රි ජයසේන වැනි නාට්‍යයකරුවන්ගේ නාට්‍යයවල රඟපෑ නළුවෙක්. ඔවුන් අත්දැකීම් බහුලව ලැබූ මේ නාට්‍යය කලාව විෂයයක් වශයෙන් ඉතා ඉහලින් හදාරපු අය. එතකොට දයානන්ද ගුණවර්ධන. ඒ අය අද අපි අතරේ නෑ. නමුත් ඒ පරම්පරාවේ දැනුම අපට ලැබුණා. ඉතින් අද පරම්පරාවට ඒ දැනුම ලබා දෙන්න හදන කොට ඒ අය අපව දකින්නේ පියවරු හැටියට නෙවේ. ඒ අයට ද්වේශ කරන, ඒ අය විනාශ කරන්න එන බලවේග හැටියට. ඒක මේ ලංකාව ඇතුලේ තියන පහත්ම තත්ත්වයක්.

==ඊට හේතුව?

අපේක්ෂා භංගත්වය. තමන් කොහාටද යන්නේ කියා ඔවුනට අරමුණක් නෑ. දැඩි හීනමානයක් එක්ක වගේම ද්වේශයකිනුයි ඔවුන් කටයුතු කරන්නේ. අපි මේ සමාජය සුවපත් කරන්නට යන ගමනේදී හැම කෙනෙකුම මේ තත්ත්වය සැලකිල්ලට ගත යුතුයි. විශේෂයෙන්ම වැඩිහිටි සමාජය. මෙවැනි වූ වර්තමාන සමාජයකට තමයි මම මේ නාට්‍යය රැගෙන යන්නේ. මගේ අවසන් වේදිකා නාට්‍යය ‘ට්‍රෝජන් කාන්තාවෝ’ ට පෙර නිර්මාණය කළ ‘යක්ෂාගමනයත්’ තව සති කිහිපයකින් මම කරළියට ගෙන එනවා.

==ඔබ ‘ධවල භීෂණ’ කළේ මේ රටේ සැබෑවටම භීෂණය රජ කරමින් තිබූ යුගයක. නමුත් අද සමාජයට මේ කාරණය වළංගුද?

ඔය ගැන තමයි දැන් ප්‍රේක්ෂකාගාරයේ තිබෙන කසුකුසුව. මේක කොහොමද අදට ගැළපෙන්නේ, දැන් මේකේ එල්. ටී. ටී. ය ගැන නෑ. ජේ. වී. පී. එක ගැන නෑ. ඒ යුග පසු කරලා ඉවරයි. මේ නාට්‍යය සාංදෘෂ්ටිකවාදී චින්තනය ඇතුළත් කරනු ලැබූ, ඒ කියන්නේ මිනිසා තීරණය කළ යුත්තේ ඔහුගේ අදහස්වලින් නොව ඔහුගේ ක්‍රියාදාමය තුළ බව අපට කියා දෙන නාට්‍යයක්. ඒක තමයි ෂෝන් පෝල් සාත්‍රේ අපට දෙන පණිවිඩය. ඒකට ඔහු තෝරා ගත්තේ කැරළි කෝලාහල සමයක් තුළ අත් අඩංගුවට ගත් පිරිසක් වටා ගෙතුන කතා පුවතක්. මෙය අපේ රටේ යථාර්ථයක් බවට පත් වුණා. ඒ වගේම ‘ධවල භීෂණ’ එක යුගයකට සීමා නොවූ සර්වකාලින නාට්‍යයක් විදිහට හඳුන්වන්නට පුළුවන්.

==ඇත්තටම ‘ධවල භීෂණ’ නිසා ඔබේ ජීවිතයත් එදා දැඩි අවදානමකට ලක්වුණා?

රාජ්‍ය ත්‍රස්තවාදය හා දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය කියන සංවිධානය එකට ගැටෙන මොහොතක තමයි මේ නාට්‍යය බිහි වෙන්නේ. අපි මේ නාට්‍යය පෙන්වන්න යද්දී මහමග තරුණයන්ගේ මළ සිරුරු, ටයර් සෑයවල් අපි දැක්කා. ඒ පරිසරය මැද්දෙන් තමයි අපි ගමන් කළේ. මේ නාට්‍යය නවත්වන්න කියලා, නළු නිළියෝ වෙනස් කරන්න කියලා මට බලපෑම් ආවා.

==කොයි පැත්තෙන්ද?

දෙපැත්තෙන්ම. අපේ නිවසට ආ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ සාමාජිකයකු මට කිව්වේ ‘ඔබ මෙහෙම නිවසේ ඉඳගෙන සිටිද්දී අපට පාලනය කළ නොහැකි කෙනෙක් ඇවිත් ඔබේ හිසට වෙඩි තබයි’ කියලා. ‘ඇයි එහෙම කරන්නේ, මොකක්ද මම කරපු වරද කියලා’ මම ප්‍රශ්න කළා. මොකද කලාව ඇතුලේ දේශපාලනය කරන එකනේ අපි කරන්නේ. කලාකරුවෙක් හැටියට එදා මම කළේත් ඒ දේ. නමුත් මට තේරුණා තවදුරටත් මේ රටේ සිටියොත් මගේ ජීවිතය අනතුරේ කියලා. ඒ අනුව මම ඉන්දියාවට ගොස් මාස හතරක කාලයක් සැඟ වී හිටියා. ‘මම මරණයට බය නෑ. ඒත් මැරෙන්න බයයි’. ඒ තමයි ‘ධවල භීෂණ’ නාට්‍යයේ ස්ලෝගන් එක.

==ඒ ඇවිත් ඔබ නැවත ‘ධවල භීෂණ’ කළා?

1989 වසරේ ‘ධවල භීෂණ’ නතර කළා. නැවත 1992 දී ආරම්භ කළා. ටික කලක් ‘ධවල භීෂණ’ නවතා දමා තිබී පසුගිය සැප්: 01, 02 තමයි තෙවන නිෂ්පාදනය ලෙස කරළියට ආවේ. එහි තවත් දර්ශනයක් හෙට (14) සවස 6.30 ට කොළඹ හැව්ලොක් ටවුමේ ලුම්බිණි රඟහලේදී වේදිකා ගත කෙරෙනවා. මේ වෙනකොට අපි ‘ධවල භීෂණ’ දර්ශන වාර 980 ක් පමණ වේදිකා ගතකර තිබෙනවා.

බොහෝ කලාකරුවන් තමන්ගේ ‘අතීත ශ්‍රී විභූතිය’ මතම රැඳෙන ප්‍රවණතාවක් අපේ කලාව ඇතුලේ තියෙනවා. ඔවුන් අලුත් දෙයක් කරන්නේ නැහැ. මේ චෝදනාව යමෙකු ඔබට නැගුවොත්?

ඒකට හොඳම උත්තරය එන්නේ ‘බවදුක’ චිත්‍රපටයේ. සමහරු මට හම්බ වෙනවා ‘හංස විලක්’ චිත්‍රපටයෙන් පස්සේ ධර්මසිරි චිත්‍රපටයක් කළේ නෑනේද කියලා අසන. එතකොට මට මගේ බයෝග්‍රෆි එක නැවත දිග හරින්න වෙනවා. අන්න ඒ වගේ කරන දේවල් පේන්නේ නැති, කියන දේවල් ඇහෙන්නේ නැති සමාජයක් අද ගොඩ නැඟිලා තියෙනවා. දැන් මේ නාට්‍යවලට මම ආදරය කරන්නේ ඒවා මගේ ජීවිතය නිසා. තව මට මගේ ජීවිතය වගේ නාට්‍යයක් ලියවුණොත් හරි, මුණ ගැසුණොත් හරි මම ඒක නිර්මාණය කරනවා. සමහර විට මගේ අපේක්ෂාව එහෙම වුණත් ඊට ප්‍රථම මගේ ජීවිතය අවසන් වන්නට පුළුවන් මරණයෙන්. ඒක අපි හැමෝටම ලැබෙන දායාදයක් වශයෙන්. හැබැයි ඒ වෙනකල් මම වැඩ කරනවා.

==වේදිකා නාට්‍ය කලාව පසෙක ලා බැලුවත් ඔබ මේ රටේ විශිෂ්ට සිනමාකරුවෙක්. ඒත් ඔබ සිනමා මාධ්‍යය පැත්තෙන් වර්ථමානයේ දැඩි නිහඬතාවයකයි ගිලී ඉන්නේ?

වේදිකා නාට්‍යය කලාව පැත්තේ මේ තියෙන දැඩි කාර්ය බහුලත්වය එහා මෙහා වුණ වෙලාවක මම බොහොම කැමැත්තෙන් සිනමා කැමරාව ළඟට යනවා. නැවත චිත්‍රපට කැමරාවක් දකින්න ආසයි. ඒක ඇතුළේ මම බලන්නේ මා දිහාමයි. මගේ සිනමා භාවිතය ඇතුළේ මට ගොඩක් පාඩම් උගන්වනවා ‘හංස විලක්’ චිත්‍රපටය. ඇයි මේ හැම ප්‍රේක්ෂකයාම එතැනින් ඉවත් වෙන්නේ නැත්තේ. ඒ අය මට උගන්වන පාඩම තමයි කලා කෘතියක වටිනාකම රැඳෙන්නේ නිර්මාණකරුවා ලැබූ අත්දැකීම් නිර්ව්‍යාජව ඉදිරිපත් කිරිම කියන කාරණාව මත බව. ‘හංස විලක්’ චිත්‍රපටයට පතිරාජ ලියූ ’හෙමින් සැරේ පියා විදා’ ගීතය ඒ චිත්‍රපටය තාම ජීවත් කරවනවා. ඒ මොහොත හැම කෙනෙකුම කම්පනයයට පත් කරවනවා චිත්‍රපටය ඇතුලේ.

==ඔබේ මීළඟ චිත්‍රපටයට අනුප්‍රාණය ලබා ගන්නේ ‘හංස විලක්’ තුළින් ද?

ඇත්ත වශයෙන්ම ‘හංස විලක්’ දිහාවට නැවත හැරී බලන්නට වෙනවා. මේ චිත්‍රපටයෙන් මම මටම ළං වෙනවා.

==ඒ කියන්නේ?

ඒ කියන්නේ ඔබට පේන්නේ දැන් ඔබ ඉදිරියේ ඉන්න මගේ රූපකාය පමණයි. නමුත් මගේ ඇතුලාන්තයේ ඉතාම දුඞඛිත මිනිසෙක් ඉන්නවා. මම අනුන්ගේ ජීවිත දිහා බලනවාට වැඩිය ඒ ජීවිතේ දිහා බලලා ඒක ප්‍රති නිර්මාණය කරන්න පුළුවන් නම් මම හිතනවා ඒක තමයි මට කලාව තුළ කරන්න පුළුවන් ඉහළම තැන්පතුව. හදිසියේ මම මැරුණයි කිව්වොත් මගේ මළකඳ තියෙන තැනකට ඇවිත් ඔබ බලලා යාවි. නමුත් ඔබ මාව නෙවෙයි ඒ බලන්නේ මළකඳ. දැනුත් ඔබ මේ බලා ඉන්නේ මගේ මළ කඳ. හැබැයි ඒ මළකඳ ඇතුලේ තිබුණේ මොනවද කියලා කියන්න මම මගේ අයිතිය පාවිච්චි කිරීමට සිනමා කැමරාව නැවත අතට ගන්නවා.

සංවාදය – අසංක දේවමිත්‍ර පෙරේරා