20121122

ගාන්ධර්ව අමරදේවයන්







"ගුරු ගීතය"


සෝවියට් දේශයේ
හුදෙක් ප්‍රචාරාත්මක කෘතියක් වූ 'ගුරු ගීතය'
අපේ රටේ මහා සාහිත්‍ය කෘතියක් වන්නේ ඇයි.?
කෙනෙක් මෙහෙම ප්‍රශ්න කරනවා.
ඒ ඔහු දකින කෝණය.

දේශපාලනික මනසකින් බලන අයට
මේ කෘතිය විඳින්න අපහසු වෙන්නෙ
දේශපාලනයට වඩා මෙහි තියෙන්නෙ
දුයිෂෙන් අල්තිනායි වෙනුවෙන් කරන
පරිත්‍යාග නිසා වෙන්න ඇති.

අල්තිනායි ලෙනින් වෙනුවෙන් සේවය කරන්න
ගමට ඇවිත් දුයිෂෙන්ට එක් වුණා නම්
දේශපාලනික රසිකයන් සැනසේවි.
ඒත් මේ කෘතිය මේ තරම් පිරිසක්
අගය කරන එකක් නෑ.

අපේ සාහිත්‍ය කෘති වශයෙන් ගැනෙන
කෘති සමග ගුරුගීතය සසඳන විට
අපට දැනෙන පරතරයත්
මෙහි ජනප්‍රියත්වයට හේතුවක්
වෙන්න පුලුවන්.

ගුරු ගීතය විඳින්න බැරි අයට
ප්‍රබලම අපහසුව වෙන්නෙ
මේ මුළු කෘතියම
හැඟීම් ප්‍රකාශනයට වඩා
ප්‍රකාශ නොකළ හැඟීම් මත
නිර්මාණය වුණ නිසා වෙන්න පුලුවන්.

ගැහැණියක පාවිච්චි කිරීම
පිරිමියෙකුගේ උදාර භාවය ලෙස සිතන
කාමුක රසිකයන්ගේ බලාපොරොත්තු සුන්වීම
මේ කෘතිය හෙළා දකින්නට හේතුවක් විය හැක්කේ
දුයිෂෙන්ගේ එවැනි හැඟීමක සේයාවක්වත්
මෙහි දකින්නට නැති බැවිනි.

ඔවුන් සනසන්නටම ඔබ්බන ලද
අනඟ රැගුම් සහිට අපේ කෘති
පරිශීලනයෙන් ඔද්දල් වුණ හිත්වලට
මේ සියුම් සෙනෙහස ග්‍රහණය කළ හැකිද?

හැඟීම් වැඩිපුර භාවිතාවෙන
භාවාත්මක කෘති අප්‍රිය කරන
නොමේරූ රසිකයන් මේ පොත කියවන
වැඩිහිටියන් අතර පවා ඉන්නවා.
අපේ රටේ බාල පොත් කියවීමෙන්
රස වින්දනය කුරුවල් කරගත් අයටත්
රුසියානු පොත් කියවීම වධයක්.

ගුරුගීතයට කැමති අයත්
කැමති වෙන හේතු සරල වෙන්න පූවන්.

ඉගෙනගෙන ගමට ගිහින්
දුයිශෙන්ට එකතු නොවී
උපන් ගමත්,
තමන්ගෙ ප්‍රථම ප්‍රෙමයත් අමතක කරලා
මහාචාර්ය වරියක් වෙලා
සාමාන්‍ය ජීවිතයක් දිනා ගත්ත අල්තිනායි
සමහරුන්ට ප්‍රිය නිසා වෙන්නත් පුලුවන්.

දෙයක් සටන් කරල දිනාගන්න නොදන්න
හැමදේම ඔඩොක්කුවට වැටෙන තුරු බලා ඉන්න
අපේ බහුතරයක්
එහෙම බලා ඉඳල පැරදුණාම
පරාජය වීරකමක් විදියට
තමන්ම අර්ථ දක්වගෙන සැනසෙමින්
පරාජය ගැනම හිත හිතා ඉන්නවා.
ඔවුන්ගේ පාරාජිත වින්දනයට
හොඳට ගැලපෙන චරිතයක් ලෙස දුයිෂෙන්
වරදවා වටහාගන්න බොහෝ ඉඩ තියනවා.

ඇත්තටම
දුයිෂෙන්ට අල්තිනායි ගැන
පුද්ගලික ඇල්මක් තිබුණද
කියන එකත් සැක සහිතයි.

අල්තිනායි දුම් රියෙන් බැහැල
ආපහු ආවෙ නැති නිසා
දුයිෂෙන් ගැන හරියටම කියන්න බෑ.

ඒත් අල්තීනායි බේරගත්ත විදියත්
අල්තිනායි ආව වෙලාවෙ
ඇය වෙනුවෙන් තමන්ගෙ කාලය
නාස්ති නොකිරීමත් අනුව
අල්තිනායි දුම් රිරියෙන් බැහැලා ආව නම්
ඔහු ඇය පිළි ගනීවි කියල
සමහර වෙලාවට මම විශ්වාස කරනවා.

ඒත් අල්තිනායිගෙ හිතේ
දුයිෂෙන්ට තිබුණ
ස්නේහමූලික ලෙංගතුකම අමතක කරල
දුයිෂෙන්ගෙ කෝණයෙන් බැලුවම
පෙනෙන රූපය වෙනස්.

ගුරුගීතයෙ අල්තිනායි
දුයිෂෙන්ගෙ කෝණයෙන්
ජයග්‍රහණය සොයා ගිහින්
පාර වරද්දගෙන ආපු
පරාජිත ගැහැණියක්.

දුයිෂෙන්ට අල්තිනායි තේරුණේ නැහැ.
ගමට සේවය කරන්න ඔහුට තිබුණ
දැඩි උවමනාව විසින්
ඔහු මුළා වුණා වෙන්න පුලුවන්..

දුයිෂෙන්ට වරදින්න ඇත්තෙ
අනිත් කෙල්ලන්ට
කිසිම විශේෂයක් නොතිබුණු
මේ පළමු ගුරුවරයාට
උණුහුමට නිදන්න
අල්තිනායි ගෙනත් දීපු
තණකොළ ගෝනිය නිසයි.
දුයිෂෙන් හිතන්න ඇති
ඇය ඔහුට සැලකුවෙ
පාසල හදන්න යන නිසා
ගමට කරන්න යන
සේවය නිසා කියල.

දුයිෂෙන් තමන් ළඟ තිබුණ
සොච්චමෙන් අල්තිනායිට උගන්නලා
ඇය නගරයට යවන්න ඇත්තෙ
ඇය ඉගෙනගෙන ඇවිත්
උපන් ගමට සේවයක් කරාවි
කියල හිතාගෙනයි.

ඇය ඉගෙනගෙන
දැනුමෙන් පිරෙන කොට
ඇයට දුයිෂෙන් අමතක වුණාද?
ඔහුට ඇය ගැන
මොන විදියෙ ඇල්මක් තිබුණද කියල
අපිට පැහැදිලි නැතත්
ඇයට ඔහු ගැන ඇල්මක් තිබුණා.
ඇය අමතක කළේ ඒ ඇල්මයි.

දුයිෂෙන් ඇගෙන් බලාපොරොත්තුවුණ දේ
අල්තිනායි තේරුම් ගත්තෙ නෑ.
ඇගේ ඔහු ගැන වූ හැඟීමෙන්
ඔහුගෙ හිත ඇගෙන් වැළහුණා.

අල්තිනායිගෙ තමන්ට වූ ලෙංගතුකම
දුයිෂෙන්ගෙ පාක්ෂික සේවය පිළිබඳ
හැඟීමට යට වුණා.

දුයිෂෙන් අල්තිනායි බාරගත්තා නම්
ඇගෙන් ඔහු ගමට සෙවූ සේවය
ලබෙන්නත් ඉඩ තිබුණා.

දුයිශෙන් සොයා ගන්න
ඇයත් හැකි පමණින් උත්සාහ කළත්
එය ඉටුවුණෙත් නැහැ.

අල්තිනායි දැනුවත් වෙන්න ගිහින්
දුයිශෙන් බලාපොරොත්තු වුණු දේ
කරගන්න බැරි විදියට
ගැහැණියක් වශයෙන් මංමුලා වුණත්
දුයිෂෙන් ශක්ති පමණින්
මේ නන්නාඳුනන ගමට
ඔහුට කළ හැකිවූ සේවය
උපරිමයෙන් දිගටම කළා.

දුයිෂෙන් වීසි කළේ බූමරැංගයක්.
ඔහු දකින විදියට
ආපහු ගමට ආවේ
වියළි දර ලී කැබැල්ලක්.
ඇගේ මහාචාර්ය කම
තමන්ගෙ ගමට නොකළ සේවයක්
දුයිෂෙන් අනුන්ගෙ ගමට කළා.
ඇගේ ගමට කළා.
අදත් කරනවා.

ගමෙන් ගිහින් තවත් තැනකට පහනක් වූ
අල්තිනායි ගමට වීරවරියක් වෙද්දි
ඒ සඳහා ආත්ම පරිත්‍යාගයෙන්
මග විවර කල දුයිෂෙන්
ගමට අමතක වීම
දෛවයේ සරදමක්.

"ගුරු ගීතය" මේ තරම් ජනප්‍රිය වෙන්න
එහි ගැටුම්වල ඇති අවිනිශ්චිත බවත්
සහ කෙසේවත් අමුණා ගත නොහැකි
නූල් පොටවල් රැසකින්
මේ විචිත්‍ර ගෙත්තම වියා තිබීමත්
ප්‍රධාන හේතුවක් වෙන්න පුලුවන්.

ගැහැණිය කටට රසැති ආහාරයක් .....





ගැහැණිය කටට රසැති ආහාරයක් මිස
අන් කිසිවක් නොවෙයි.
.
ස්ත්‍රීන්ට දෙන අධ්‍යාපනය
හැමවිටම රැඳී පවතින්නේ
පිරිමි ඔවුන් ගැන ඇති
ආකල්ප මතයි.

පිරිමි ගැහැනුන් දෙස බලන හැටි

අපි කවුරුත් හොඳට දන්නවා.
අපි කාව්‍ය, චිත්‍ර ශිල්පය,
ප්‍රතිමා ශිල්පය ගෙන බලමු.
ප්‍රේම කාව‍ය වල සිට
වීනස් දෙවඟනගේ නග්න ප්‍රතිමාව දක්වා
බලන ලද්දේ
විනෝදාස්වාදය ලැබ ගත හැකි මාර්ගයක් ලෙසයි.
රජමාලිගයේ බාල් නැටුම්වලට සහභාගි වන
කුල කතුන්ගේ සිට
මහමග සරන වෙසඟනන් දක්වා
ගැහැනුන් ඉන්නේ
පිරිමින්ගේ විනෝදාස්වාදය පිණිසයි.

ගැහැණිය කටට රසැති ආහාරයක් මිස
අන් කිසිවක් නොවෙයි.

අද මිනිස්සු ගැහැණියට ප්‍රසිද්ධියේ ගරු කරනවා.
සමහරු නැගිටලා හිඳ සිටි අසුන පිළිගන්වනවා.
බිම වැටුණු ලේන්සුව ඇහිඳලා දෙනවා..
පාලන කටයුතු වලදී උසස් තනතුරු දරන්න
ඇයට තිබෙන අයිතිය පිළිගන්නවා.
එහෙත් ඇය ගැන දක්වන ආකල්පයෙහි
වෙනසක් වෙලා නැහැ.
ඈ විනෝදාස්වාදය ලබා දෙන මාධ්‍යයක්.
ඇගේ ශරීරය තෘප්තිය ලබාදෙන මාධ්‍යයක්.
ඇයත් ඒ බව දන්නවා.
ඒක එක්තරා විදියක වහල් කමක්.

ස්ත්‍රිය ලවා
තමාගේ සිත පිනවාගැනීමේ අයිතිය
තමාට තියන බව කල්පනා කරන මිනිසුන් සිටින තෙක්
ස්ත්‍රියගේ වහල් කම නැති වෙන්නෙ නැහැ.
නමුත් ඔවුන් ස්ත්‍රී වර්ගයාගේ නිදහස ගැන කතා කරනවා.
මිනිසා සතු අයිතිවාසිකම් ඇයට දෙනවා.
ඒ අතර ස්ත්‍රිය
තමාගේ ගත සිත තෘප්තිමත් කිරීමට සිටින්නියක් ලෙස
දිගටම සලකනවා.
ඈ ඉතාම පහත්, හීන, අනාචාරයෙහි යෙදෙන
වහලියක ලෙස ජීවත්වන අතර
සල්ලාලයෙකු වන ඇගේ සැමියා
වහල් හිමියා ලෙස ඇයට සලකනවා...

ගැහැණියට
උසස් අධ්‍යාපනය ලබා
උසස් තනතුරු දරන්න පුලුවනි.
අධිකරණයේ විනිශ්චයකාරවරියක වෙන්න පුලුවනි.
එහෙත්
ඇය පිරිමියාගේ විනෝදය සඳහා තිබෙන
භාණ්ඩයක්ය යන මතය වෙනස් වෙලා නැහැ.
තමා ගැන මෙසේ කල්පනා කිරීමට
අප ඇයට උගන්වන තෙක්
ඈ පහත් තත්වයෙහි වෙසෙන සත්ත්වයෙකු ලෙස
දිගටම ජීවත් වෙනවා.

------ක්‍රොයිට්සර් සොනාටා -ලියෝ ටොල්ස්ටෝයි

-------------------------------------------------------
සිරිල් සී පෙරේරාගේ සිංහල පරිවර්තනය
පෙමතෝ ජායතී සෝකෝ -
-------ගොඩගේ ප්‍රකාශනයක්

රෂෝමොන් -දූෂණයෙන් පසුව



ඉපැරණි හා අති විශාල රෂෝමොන් දොරටුව මතට
අතොරක් නැතිව ඇදහැලෙන අනෝරා වැස්සේ
එම දොරටුවෙහි සෙවනට වී සිටින
දරකපන්නා සහ බෞද්ධ පූජකයා
කිසියම් අද්භූත, ඇදහිය නොහැකි සිදුවීමක් නිසා
විමතියෙන් සසලවී සිටිති.

වැස්සේම එහි දිව එන තුන්වැන්නෙකු නිසා
එම සිදුවීම පිළිබඳ කතාබහක් ඇතිවෙයි.

වන ලැහැබක ස්ත්‍රී දූෂණයක් සිදුවී ඇත.
තියුණු සැතකින් කළ තුවාලයක් පපුවෙහි ඇති
පිරිමි මළ සිරුරක් හමුවී ඇත.
ස්ත්‍රී දූෂකයා සහ මිනීමරුවා ලෙස
සැකයට බඳුන්වන සොරදෙටුවාද
නීතියේ රැහැනට හසුව ඇත.
පූජකයා ඔවුන් දැක ඇති නිසා
ඔහුට සාක්ෂි දීමට සිදුවිය.
මළසිරුර මුලින්ම දුටු දර කපන්නාද
එක් සාක්ෂිකරුවෙකි.

අනිත් සාක්ෂිකරුවන් නම්
සොරදෙටුවා, දූෂණය වූ ස්ත්‍රිය සහ
කිසිවෙකුට ආරූඪ වී සාක්ෂි දෙන
මියගිය සමුරායි වරයාය.
දූෂණය වූ ස්ත්‍රිය
ඔහුගේ බිරිඳයි.

ස්ත්‍රී දූශණය දක්වා
සොර දෙටුවා පවසන විස්තරයට
සියල්ලෝම අවිවාදයෙන් එකඟ වෙති.
එකිනෙකාගෙ සාක්ෂි
විවිධ ස්වරූපයෙන් ඉදිරිපත් වන්නේ
දූෂණයෙන් පසුවයි.
  රෂෝමොන් සම්පූර්ණ සිනමාපටය.

දූෂණයෙන් පසුව සොරාගේ ක්‍රියාකලාපය.
1, සොරාට අනුව දූෂණයෙන් පසුව
ඔහු සමුරායිවරයාගේ බැමි කපා
ඔහු සමග සටන්කොට ඔහු මැරුවේය.
2, ස්ත්‍රියට අනුව දූෂණයෙන් පසුව
සොරා සමුරායිවරයාගේ අසිපත ගෙන
ඔහුට අවඥා කොට පැන ගියේය.
3, සමුරායිවරයාට අනුව දූෂණයෙන් පසුව
ඉන් තෘප්තිමත් වූ ස්ත්‍රිය සොරාට බැඳී
ඇය රැගෙන යන්නැයි ඔහුට ආයාචනා කරද්දී
ඇය සමග යන්නට සූදානම් වී
ඇගේ කීමට ඔහු හා සටන් කළේය.
4, දර කපන්නාට අනුව දූෂණයෙන් පසුව
සොරා ස්ත්‍රිය අභියස දණ ගසා
ඔහු සමග විවාහ වන මෙන් ආයාචනා කළේය.

දූෂණයෙන් පසුව ස්ත්‍රියගේ ක්‍රියාකලාපය
1, සොරාට අනුව දූෂණයෙන් පසුව
ඔහු ඉවත්ව යද්දී ඔහු පසුපස පැමිණි ස්ත්‍රිය
දෙදෙනාගෙන් එකෙකු මිය යායුතුයැයිද
ඉතිරිවන්නා සමග ඇය පැමිණෙන බැව්ද පැවසූවාය.
2, ස්ත්‍රියට අනුව දූෂණයෙන් පසුව
සොරා සමුරායිවරයාගේ අසිපත ගෙන පැන ගිය අතර
සමුරායි වරයා ඇය දෙස අවඥා සහගත ලෙස බලා සිටි
නිසා ඇය ඔහු මරා දැමුවාය.
3, සමුරායිවරයාට අනුව දූෂණයෙන් පසුව
ඉන් තෘප්තිමත් වූ ස්ත්‍රිය සොරාට බැඳී
ඇය රැගෙන යන්නැයි ඔහුට ආයාචනා කොට
සමුරායිවරයා මරාදමන මෙන් සොරාගෙන් ඉල්ලුවාය.
4, දර කපන්නාට අනුව දූෂණයෙන් පසුව
සොරා සහ සමුරායිවරයා යන
දෙදෙනාම ප්‍රතික්ශේප කිරීමෙන්
වියරු වැටුණු ස්ත්‍රිය
සැමියාගේ බැමි කපා
සොරා සහ සමුරායිවරයා
සටනට පෙළඹෙව්වාය.

දූෂණයෙන් පසුව සමුරායිවරයාගේ ක්‍රියාකලාපය
1, සොරාට අනුව දූෂණයෙන් පසුව
සමුරායිවරයා සොරා විසින් බැමි කපා දැමූ පසු
ඔහු ඉතා ශූර ලෙස සොරා සමග සටන් කළේය.
2, ස්ත්‍රියට අනුව දූෂණයෙන් පසුව
සමුරායිවරයාට තමා මරාදමන්නැයි ඇය කියනවිට
සමුරායිවරයා අවඥා සහගත බැල්මෙන් බලා සිටියා මිස
ඔහු මරද්දී හෝ නොසැලී සිටියේය..
3, සමුරායිවරයාට අනුව දූෂණයෙන් පසුව
ගැහැණියට කළයුතු කුමක්දැයි
සොරා ඔහුගෙන් විමසද්දී
ස්ත්‍රිය පළාගිය අතර
සොරා ඇය පසුපස එළවා ගොස් ආපසු පැමිණ
සමුරායිවරයා බැමි කපා දැමූ පසු
ඔහු හඬා වැටී සිය දිවි නසා ගත්තේය.
4, දර කපන්නාට අනුව දූෂණයෙන් පසුව
සොරා සහ සමුරායිවරයා යන
දෙදෙනාම ප්‍රතික්ශේප කිරීමෙන්
වියරු වැටුණු ස්ත්‍රිය ගේ පෙළඹවීමට අනුව
එකිනෙකාට බියෙන් සටන් කොට මිය ඇදිණ.

සමුරායිවරයා මියගිය ආකාරය
1, සොරාට අනුව සමුරායිවරයා
ඉතා ශූර ලෙස සොරා සමග සටන් කොට
ඔහු අතින් මියගියේය.
2, ස්ත්‍රියට අනුව සමුරායිවරයා
ඇගේ පිහිපහරින් මියගියේය.
3, සමුරායිවරයාට අනුව ඔහු පිහියෙන් ඇනගෙන
සිය දිවි හානිකරගත් අතර පසුව පැමිණි කිසිවෙක්
පිහිය මුදාගත්තේය.
4, දර කපන්නාට අනුව
සොරාට බියෙන් සටන්කළ සමුරායිවරයා
අසිපතටද අහිමිව සිටිද්දී
සොරාගේ අසිපත් පහරින් මියගියේය..

ස්ත්රී දූෂණය සිදුවූ ආකාරයත්,
එහිදී ඇය තෘප්තිමත්වූ ආකාරයත්,
සමුරායිවරයා මියගිය බවත්
සියල්ලෝම පිළිගත් නමුත්
සත්‍යය සොයාගන්නට නොහැකිවන තරමට
එකම සිද්ධිය මෙසේ විවිධාකාරයෙන්
අර්ථ ගැන්වෙන්නේ ඇයි.?

මේ සියලු දෙනාටම
සත්‍යය විකෘති කරන්නට හේතුවූ
මානසික අවශ්‍යතාවය කුමක්ද?

බෙංගාලි ජන ගී රස වින්දන


ඔබ කවදාවත් බෙංගාලි ජන ගී අහල තියනවද?