20140301

විශ්වීය සිංහල කවි ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ


 
ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ (1913 – 1964) ධී ශක්තියෙන් අනූන කවියෙකි. සිංහල – පාලි - සංස්කෘත – වංග ආදී භාෂා ද බෞද්ධ දර්ශනය - වේදවේදාංග - මහා භාරත – රාමායන – ආයුර්වේදය - ජ්‍යෝතිෂය ඈ පෙරදිග ශාස්ත්‍රාන්තර පිරිසිඳ දැන සිටි ප්‍රාචීන පඬිවරයෙකි. ‘බාහිර බලවේගයන්ගෙන් නොකැළඹුණු තෘප්ති සහගත ජීවිත පැවැත්මක රැඳී සිටි පැරැණි කවීන්ගේ මනස කදිම සරුසාර භූමියක් වුණා කවි සංකල්පනයට. සමාජ ක්‍රමය වෙනස් කළ යුතුය යන වුවමනාව උඩ කිසිම බලපෑමක් ගැන ඒ හැඟීම් මාත්‍රයක්වත් ඇති නොවූ යුගයක කවියකු අවට ලෝකය දෙස බලන්නේ පවතින්නා වූ ලෝකය තුළින් රස උල්පත් පාදා ගන්නයි. ලැබුණු ප්‍රමාණවත් තෘප්ති සහගත වටපිටාවකුත් ඇතිව සිටි මහා කවි කාලිදාස වැනි කවියන් ඒ නිසාම ජගත් සෞන්දර්ය නමැති තටාකයේ රණ හංස ලීලාවෙන් හාත්පස ක්‍රීඩා කළා. උඩින් පියාසර කළා. කිමිද ගියා. පීනා ගියා. ඔවුනට ලෝකය මිහිරි තැනක් වුණා. ඔවුන් ලැබූ ඒ මිහිර අනුනට දීම සඳහා වචනවල අනා පද නමැති බුජම්වල තැන්පත් කළා. ඒවට කවිය කියලා කියනවා.’
ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ ලංකා ගුවන් විදුලි සේවයෙන් කලාව පිළිබඳව කළ කතා මාලාවේදීී ‘ලෝකය මධුර වන හැටි’ කීවේ එලෙසිනි. කලාව පිළිබඳ මානවසිංහ දැක්ම ඔහුගේ සියලු කලාවන්ට බලපා ඇති බව මානවසිංහ නිර්මාණ ගවේෂණයේද පැහැදිලි වෙයි. ඔහු අත ගැසූ කවිය - කෙටි කතාව - පුවත්පත් කලාව - දේශනය – ගීතය ආදී සෑම ක්ෂේත්‍රයකම ඒ අග්‍රස්ථානයට පත් වූ බව පෙනේ. මෙම ලක්ෂණය කවර හෝ ජීවිතයක දක්නට ලැබෙන්නේ ඉතා විරල වශයෙනි.
ගීත ක්ෂේත්‍රය ඔහු ජය කෙහෙළි නැං වූ එක් භූමිභාගයකි. ඔහු ඊට යොමු වන්නේ අපේ ජාතික ගීයේ නිර්මාතෘ ආනන්ද සමරකෝන් නිසාය.
‘ආනනග්ද සමරකෝන් අපට නොනැසෙන ගීතයකි. අපේ ජීවිතයට මිහිරකි. අපේ බසට මිහිරකි. සංගීතයට නවතාවකි. අපේ ප්‍රියතම කලාකරුවාගේ . . . අපට ඉදිරිපිටින් අපට පාර කැපූ කලාකරුවාගේ අවසන් ගමන අපට ඉවසිය නොහෙන දුකකි. සැබෑ වචනයේ යථාර්ථය, මේ ලියන වගතුග ලියුම්කරුට වුවද සෞන්දර්ය රසාකරයෙන් මහගු පබැඳුම් සෙවීමට සිත මෙහෙයවන අවස්ථාව සැලසුණේ සමරකෝන් ගීතයක් නිසා බවයි.’
(ලංකාදීප – 1962 අප්‍රේල් 08)
ගීතයක විරිත් භාවිතය ගැන මානවසිංහයන් දැරූ අදහස් මෙසේය.
‘කවියට ගීතයට විරිත් උවමනා කළේ ස්වභාවධර්මගතව පවතින ශක්තිය පද මාලාවකට එක් කර ගැනීමටයි. වචනයේ පදයේ අර්ථයෙන් ලැබෙන වින්දනයත්, හඬ මෙහෙයවීමේ ඡන්දසින් ලැබෙන වින්දනයත් එකතු වුණාමයි එය වඩාත් උද්දීපනය වන්නේ. ඡන්දසින් ලැබෙන වින්දනය, වචනාර්ථයෙන් නිරූපණයව දැකුම්කම්කලු දෙයින් ලැබෙන වින්දනය, ඡන්දසට වගේම නිරූපිත අදහස කියාපෑමට උචිත වචනවල මාධුර්යයෙන් ලැබෙන වින්දනය මුසු වුණාමයි මිරිස්, ලුණු, ඇඹුල් හරි ගණනට යෙදුණු ආහාරයක් වගේ රසවත් වන්නේ.’
(සාහිත්‍ය රසය – පි. 51)
ගීයක අරුත හා විරිත අතර තිබිය යුතු ඓන්ද්‍රිය සම්බන්ධය මානවසිංහ පෙන්වා දුන්නේ මේ සැටියෙනි. ‘ගීතයයි ලතාවයි යන දෙක හරියටම ගඟයි වතුරයි වගේ. ගඟ යන හැටියට වතුර ගලා යනවා. වතුර බැහැගෙන ගිය හැටියට ගඟ සෑදී තිබෙනවා. මේ ලතාවට රිද්මය කියලයි සමහරු කියන්නේ. ගීතයක් හැදෙන්නේ මොකක් හෝ ලතාවක් අනුවයි. ගීතයෙන් දෙන අදහසෙත් ලතාවෙත් වෙනසක් ඇති වූවොත් ඒ ගීතය නීරස වන බැව් කියන්නට වුවමනා නෑ. භක්ති ගීතයකින් නැෙඟන්නේ ශාන්ත රාවයක්. ප්‍රසාන්ත ලතාවක්. එමෙන්ම සෝක ගීයකින් නැෙඟන රාවයත් ශාන්තයි. කලබලකාරී ස්වභාවයකට හුරු ලතාවක් හෝ රාවයක් මේ දෙකෙන්ම ඇති වෙන්නේ නෑ. භක්ති ගීතයක් ගයන විට එමෙන්ම සෝක ගීතයක් ගැයෙන කොට නැළවිල්ලේ, හෙමින්, එක්තරා සන්සුන් සිහින් ලෙළවීමක් ඇතිවයි භක්තියේ රාවය නැංවෙන්නේ. ගැයෙන ගීතයේ පමණක් නොව වැයෙන වාදනයේත් භක්තිය, සෝකය සටහන් වෙනවා. රණ ගීයක් කවදාවත් ශාන්ත ලෙස ගායනා කරන්නේ නෑ. රණ ගීයේ ලතාවෙන් ඇති විය යුත්තේ උද්‍යෝගයක්. ජන්ම භූමිය ගැන ඇති වූ දේශානුරාගයකින් හෝ ජාතිය ගැන ඇති වූ වාත්සල්‍යයකින් හෝ වීරත්වය ගැන ඇති වූ අභිමානයකින් හෝ යුක්තිය ගැන ඇති වූ යුක්ති පරවශභාවයකින් හෝ රණකාමයෙන් මත්වෙන ගීතයකුයි යුද්ධයට වුවමනා වෙන්නේ. මේ රණකාමයෙන් මත් වීමේදී ජීවිතය – මරණය අමතක වන තරම් උද්‍යේාගිපූර්ණ හැඟීමක් ඇති වෙනවා. මෙවැනි අවස්ථාවකට සන්සුන් ලතාවක් කිසිසේත්ම ගැළපෙන්නේ නෑ. ඒ කාලේ ශබ්දවාහිනී තැටිවලින් ඇහුණු ගීත බොහොමයක තිබුණේ බුදු ගුණ ගීත පමණයි. මේ බුදුගුණ ගීවල ලතාවේ කිසිම ශාන්ත බවක්වත් ශාන්ත රාවයක්වත් තිබුණේ නෑ. ගීතයේ වචනවලින් ඇතිවන හැඟීම එක් අතක. ලතාව වෙන අතක. ගඟ එක පැත්තක. වතුර ගලන්නේ වෙන පැත්තක. ගායනයේදී වින්දනයක් අපට ලැබෙන්නේ ඒ ගායනා කළ ගීතයට ඇතුළත් වී තිබෙන වචනවලින් පමණක් නොවෙයි. තවත් විදියකින් සඳහන් කරනවා නම් ගීතයට ගැබ් වූ අදහසින් පමණක් නොවෙයි. ලතාවෙනුත් වින්දනයක් ලබනවා. ඈත ඇසෙන දවුල් හඬින් සාමාන්‍ය ගම්මුන්ට වුවත් අවමගුල් පෙරහැරක වැයෙන දවුලක් ද නැත්නම් වෙන පෙරහැරක වැයෙන දවුලක් දැයි දැන ගැනීමට පුළුවන්. එය දැනුණේ හඬේ ලතාවෙනුයි.
( සාහිත්‍ය රසය – 130 – 131 පිටු)
ගීතයක හඬේ / ලතාව සේම සාහිත්‍යමය ගුණය ද අනිවාර්ය අංගයක් බව මානවසිංහගේ විශ්වාසය විය. සාහිත්‍යය සිංහල ගීතයට ඇතුළු කළ අපේ ප්‍රථම ගීත ප්‍රබන්ධකයා ආනන්ද සමරකෝන්ය. සාහිත්‍යයික නිබන්ධ, ගීතය පෝෂණය කිරීමක් බව තහවුරු කළේ සුනිල් ශාන්ත සහ අමරදේවයන්ය. සුනිල් ශාන්ත - කුමාරතුංග මුනිදාස - රැ. තෙන්නකෝන් - හියුබත් දිසානායක – ගුණපාල සේනාධීර ආදීන්ගේ ද, ගීත ගෝවින්දයේ ද ප්‍රණීත ප්‍රබන්ධ ගීයට එක්කළ අතර අමරදේව තමන් විසින්ම රචනා කරනු ලැබූ පීනමුකෝ කළු ගඟේ- වඳීමු සුගත සාක්‍ය සිංහ- සාන්ත මේ රෑ යාමේ ආදී ප්‍රබන්ධ ගායනා කළේය. ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ මුල්ම ගීතය ලියන්නේ කිංස්ලි ජයසේකර ගයන ග්‍රැමෆෝන් ගී දෙකකටය. නූර්තිවල පූර්ව නිර්මිත තනුවට රචකයන් ගීත ලීවාක් මෙන් ග්‍රැමෆෝන් අවදියේදීම හින්දි ගී දෙකකට සිංහල වචන ලියන්නට මානවසිංහට සිදු විය. ‘නමවු නමවු සමාදරෙන් පුරා බැතින් පිපී පිපී’ සහ ‘කෝමල තාලෙන්’ ඒ ගීී දෙකයි. පසුව 1955 දීද කොළඹ වික්ටෝරියා උද්‍යානයේ පැවැති කර්මාන්ත ප්‍රදර්ශනයේ ඉදි කළ විශේෂ ගුවන් විදුලි මැදිරියේ සිට රුක්මණී දේවිට ගායනා කරන්නට හින්දි ගීතය තනුවට ඔහු ‘දල්වවු බැති ආදර පෙම්’ ගීතය රචනා කළේය.
මානවසිංහගේ ස්වතන්ත්‍ර රචනයක් මුල් වරට ගයන්නේ අමරදේවයි. ඒ 1952 දී සංගීතඥ බී. ඇස්. පෙරේරා විසින් ගුවන් විදුලියට නිෂ්පාදිත ‘නව ගීත වැඩ සටහනට’ ලියූ ‘කුසුම් පිපේ අතුපතරේ සතර දිගන්තේ’ ගීතයයි. ලක්නව්හි භාත්ඛණ්ඩෙ සංගීත විද්‍යා පීඨයේ සංගීතය උගන්නා අතරතුර පැමිණි අමරදේව, පොසොන් උදාවයි මිහින්තලාවයි – මහ බෝ වන්නම සහ පාතුරහෝසි බුද්ධ ජයන්ති ගීත ගායනා කළේය. ලංකාදීපයේ පළ වූ ‘වන ගැබේ පිළිම ඇස’ වැනි ප්‍රබන්ධ ද අමරදේවයන් විසින් ගයන ලදී.
මානවසිංහ හා ලංකා ගුවන් විදුලි සේවය අතර පැවති දැඩි සබඳතාව නිසා ආරම්භ වුණු ‘ගුවන් විදුලි ගීත නාටක’ කලාව මානවසිංහගේ විශිෂ්ට ගීත ප්‍රබන්ධවලට රසාකරයක් විය. 1955 දෙසැම්බර් 8 වැනිදා ප්‍රචාරය වූ ‘මනෝහාරි’ සිංහල සුභාවිත ගීත කලාවේ හැරවුම් ලක්ෂ්‍යයකි. එය සංගීතවත් කළේ සංගීතවේදී පී. ඩන්ස්ටන් ද සිල්වාය.

මානවසිංහ ගුවන් විදුලියට ලියූ ගීත නාටක අනු පිළිවෙළින් මෙසේය.
1. මමෝහාරි
2. සෝණ ගං තීරය
3. උල්පත
4. විදුර ජාතකය
5. වර්ෂ පුරාණය
6. සීතාවක රණගුරු
7. ශ්‍රීී වල්ලි
8. මහා අභිනිෂ්ක්‍රමණය
9. එදිරිල්ලේ රාල
10. අනංගායනය
11. විශාඛා
12. සේපාලිකා
13. සේනානායක වීරායණය
14. දිග්විජය
මේ ගීත නාටකවලට අමරදේව - එඩ්වින් සමරදිවාකර – ගුණසේන ද සිල්වා ආදීහු සංගීතය සම්පාදනය කළහ.
මේ සියලු ගීත නාටකවල ගීත ස්නිග්ධ කාව්‍ය සංකල්පනාය. ව්‍යක්ත – පූර්ණ – ප්‍රසන්න - සුකුමාර – අලංකාර - සම - සුරක්ත - ශ්ලක්ෂණ – විකෘෂ්ට – මධුර යනුවෙන් ශාරංගදේව දක්වන දස ගුණ ලක්ෂණ මානවසිංහ ගීතවල අන්තර්ගත බවට පූර්වෝක්ත ගීත සාක්ෂි දරයි.

මානවසිංහ අපේ මුද්‍රා නාට්‍ය ගණනාවකට ගීත රචනා කළේය.
1. තිත්ත බත - ප්‍රේමකුමාර එපිටවල
2. වෙසමුනි භවන – කාලිංග ඔබේවංශ
3. මේ අසරණ දෑත් - කාලිංග ඔබේවංශ
4. හිරෝෂිමා - වසන්ත කුමාර
5. ඔමරිලතා - බැසිල් මිහිරිපැන්න
6. රන්කැටි පුතා - බැසිල් මිහිරිපැන්න
7. චණ්ඩාලිකා - චිත්‍රසේන
8. සේපාලිකා - චිත්‍රසේන

ඒ ගී රචනාවල ස්වරූපය කෙසේද යත්
කෝකිලයා මත්වෙලා
කෝකිලයා මත්වෙලා
හොඳටම ඉක්මන් වෙලා
 
කෝකිලයා මත්වෙලා
මී අඹයට හොට ඇනලා
නටුව කැඩී බිම වැටිලා
 
පෙරට යනවා
ආයි ආයි තටු ගහලා
අවට බලා හූ කියලා
තුඩු දී එනවා
කෝකිලයා මත්වෙලා
- ඔමරිලතා
ස්තෝත්‍රය
 
ශ්‍රීමත් චන්ද චූඩ ගිරිජා ගෝපති හා ගෝපිකා
රම්බාදී අමරංගන උරුවිසි පංචප්සරා මේනකා
ආදී රංග රසාතල ලොවේ සෙත්මල් පිපේවයි පතා
මේ රෑ දීපශිඛා කලා නිකේතනයෙන්
දැක්වෙයි රැගුම් ගී ගැයුම්
- ඔමරිලතා
පායා ජීවන ආලොකේ
 
පායා ජීවන ආලෝකේ – ඒකාලෝකය වෙයි සාමේ
ජීවනයේ රස සාමේ දේ – අමධාරා
එව මෙය බලවයි කියලා
පෙන්විය හැකි නෙත සපුරා
රාගේ තණ්හා මොහේ දෝසේ
බිහිසුණු වෙසිනුයි එන්නේ
දෑස අඳුරු ලෙව් දනන්ගේ
එය නිසයි මෙය නොපෙනුණේ
- හිරෝෂිමා

එකමත් එක රටක පුතේ
 
එකමත් එක රටක පුතේ- සරුසාරෙට කලක් ගියා
කන්න බොන්න ඕනෑ තරම් – කාටත් තිබුණා
නියඟත් ආවා එතකොට – ඇල දොළ වැව් ළිං හිඳුණා
ගොවිතැන් නැහැ කොතැනකවත් – පාළු වී ගියා
- තිත්ත බත

එහෙත් මානවසිංහයන්ගේ භාෂාධිපත්‍යය වඩාත් ඉස්මතුව පෙන්නේ ඔහු තමන්ගේ වස්තු විෂයට අනුකූල වන පරිද්දෙන් භාෂාව භාවිත කරන අයුරු පිරික්සීමෙනි. ඔහුගේ සමස්ත ගීතාවලියේ ‘මානවසිංහ ලකුණ’ සෙවිය නොහැක. ඒ සඳහා කැපී පෙනෙන නිදර්ශන හතරක් ගෙනහැර දැක්විය හැකිය. මානවසිංහ ළමා ගීයකට යොදන බස සලකා බලන්න.

අකුරට යනවයි කියලා
ටිකිරි අයිය බැඳීවලමයි
ඉන්නකො මම ගුරු ගෙදරට
ගිහින් කියන්නම්
ගිහින් කියල – මේ බැද්දෙදි අල්ලල දෙන්නම්
පඳුරු අස්සෙ කුරුල්ලන්ට
ඔමරි කරනවා විතරයි
සිළිඳු ඉතින් දර කැඩුවද
මමත් කියන්නම්
ගිහින් කියල – පොඩි නැන්දට අල්ලල දෙන්නම්
ගුරු ගෙදරට යන අතරමග

සම්බුදු සසුනට ද භාෂා සේවාවට නම් දැරූ රත්මලානේ ධර්මාරාම මහා ස්වාමි සමරු ගීය මානවසිංහයන් ලියන්නේ අමා වතුරුකරුවා සිහිපත් කරන හුදු හෙළ බසිනි.

දම්රම් නාහිමි ගුණ මනරම්
සමරමු පුදකොට හද බැති පෙම්
ගරුතර නා හිමි සඳ දම්රම්
සමරමු පුදකොට හද බැති පෙම්
හෙළ පෙළ තකු සකු නිය විවරන දම්
සතර සමය කව්නළු ඇසුරේ
සරසවි මිණි වෙණ තත් ගවසන විට
දම්රම් දම්රම් ගුණ පැතිරේ
දස දෙස හිමි යස රැව් නැගුණා
පරතෙර පඬුවන් පා පිදුවා
ගොයුම් පතංජලි කණද කපිල වෙස්
දෑමිණි පාණිනි සඳගෝමී
කසයින් මුගලන් නුදුටු ඇසේ පව
ඔබ රුව දැකුමෙන් යයි සේදී
- දම්රම් ගීය
බුදු ගුණ දෙසූ බස මාගධීයයි. පාලියයි. එබැවින්ම 2500 ශ්‍රීී සම්බුද්ධ ජයන්තිය අරබයා මානවසිංහයන් ලියන ‘පාතුරහෝසී බුද්ධ ජයන්ති’ යනුවෙන් ඇරැඹෙන ගීතය ලියන්නේ පාලි භාෂාවෙනි.

පාතුරහෝසී බුද්ධ ජයන්තී ධම්ම සමය උදපාදී
උට්ඨනථ නිසීදථ ධාරේථ ධම්මං
ආරහත නික්ඛමක චරකං චාරිකං
අරිය සච්චං ඤාණං ආලෝකෝ උදපාදී
පාතුරහෝසි බුද්ධ ජයන්ති ධම්ම සමය උදපාදී
සම්බෝධී පාරමී පූරේථ නිච්චං
සක්ඛේක සාධුකං පටිපත්ති මග්ගං
සමතිත පවනේ තරුවන ගගණේ ලම්ඛිත ලීලාකේලී
පල්ලව කුසුමාවලි ගායන්නි බුද්ධ බුද්ධ අනුගීතං
‘ළා ඳළු’ චිත්‍රපටයට ‘සාදර කරුණා දයා ගුණේ ‘/ ‘චංචල ලෝකේ මධුරයි’ සහ ‘සුවදෙන සිත සැනසුම්’ යන ගීී තුන ද ‘සැපත සොයා’ චිත්‍රපටයට ‘සුවබර යානේ නින්දේ පුතාගේ’ ගීතය ද, ‘සීතල වතුර’ චිත්‍රපටයට ‘මංගල දිනයේ රස මධුපානේ’ ගීතය ද, ‘සිකුරු තරුව‘ චිත්‍රපටයට ‘ඉර හඳ පායන ලෝකේ’, ‘ඔරු පැද පැද කිරි මූදේ’, ‘ ගමන නොනිමෙයි ලෝකයේ සහ ‘හිමගිරි කුළු මුදුනේ’ ගී හතරද ලියා ඇත.
මානවසිංහයන්ගේ චිත්‍රපට හා සම්බන්ධ වන අනෙක් අවස්ථාව සම්බුද්ධ ජයන්තිය නිමිත්තෙන් බිමල් රෝයි අධ්‍යක්ෂණය කළ ‘ගෞතම බුද්ධ’ වංග චිත්‍රපටයට සිංහල විස්තර කථනය ලිවීමයි.
මානවසිංහ චිත්‍රපට ගීත රචනයට ප්‍රවිෂ්ට වන්නේ ‘ලංකාදීප’ පත්‍රයේ සේවය කළ ජයතිස්ස හේරත් නිසාවෙනි. ‘දෛවයෝගය’ චිත්‍රපට ගීත ප්‍රබන්ධයට මානවසිංහ කැඳවාගෙන යන්නේ ඔහුය. 1959 තිරගත වූ ‘දෛවයෝගය’ චිත්‍රපටයට ඔහු ගිත හතරක් රචනා කරයි. ඒ ගීත සියල්ල උසස් ජනප්‍රිය ගිත බවට පත්වෙයි.
1. ජීවිත ගමනේ දෛවයෝගේ – මෙහිදීන් බෙග් සහ පිරිස
2. ආදරියේ රුචිරාණනියේ - මොහිදීන් බෙග්
3. හද ගිලෙයි අම මිහිරේ – රුක්මණී දේවි / මෙහිදීන් බෙග්
4. දොයි දොයිය පුතා- රුක්මණී දේවි
ඔහු අතිශය ජනප්‍රසාදයට පත් වන්නේ ‘රන්මුතුªදූව’ ට ගී ලිවීමත් සමඟය.
1. පාරමිතා බල පූරිත පූජිත – අමරදේව / නන්දා මාලිනී
2. ගලන ගඟකි ජීවිතේ- නන්දා මාලිනී – නාරද දිසාසේකර
3. පිපී පිපී රේණු නටන – නාරද දිසාසේකර සහ පිරිස
ලේක්හවුස් ආයතනය 1963 දී ටැබ්ලොයිඩ් ප්‍රමාණයෙන් ‘සරසවිය’ කලා තොරතුරු සහිත පවුලේ පුවත්පතක් ආරම්භ කළේය. මෙහිදී මූලික වී කටයුතු කළවුන් අතර බොරලැස්ගමුවේ ජී. එච්. පෙරේරා කවියාගේ පුත් විමලසිරි පෙරේරා ද කෙනෙකි. බොරලැස්ගමුවේ පදිංචිව සිටි මානවසිංහ පවුල සමඟ දැඩි සම්බන්ධතාවක් පැවති හෙයින් සරසවිය මඟින් හාපුරා කියා සිනමා සම්මාන උළෙලක් පැවැත්වීමට තීරණය කළ අවස්ථාවේදී විශිෂ්ටත්වය සඳහා පිරිනැමීම සඳහා වන සම්මානය නිර්මාණය කිරිම බාර කෙරෙන්නේ ජගත් කීර්තියක් ඇති මූර්ති ශිල්පී තිස්ස රණසිංහයටය. සරස්වතීී අභිනන්දන ගීතය රචනා කිරීමට ආරාධනා ලබන්නේ ශ්‍රීී චන්ද්‍රරත්න මානවසිංහයන්ය. තනු නිර්මාණය හා ගායනය පැවරෙන්නේ පණ්ඩිත් අමරදේවයන්ටය.
මානවසිංහයන්ගේ වදනිසුරුබවත් පරිකල්පන මහියත් මැනවින් ප්‍රකට කෙරෙන අසිරිමත් සරස්වතී අභිනන්දන ගීතයක් සරසවිය සම්මාන උත්සවය නිමිත්තෙන් නිර්මාණය වී ජාතියට දායාද වන්නේය. භාරතීය සංස්කෘත ශ්ලෝකවල ආභාසය ද ලබමින් රචනා කෙරෙන චමත්කාරජනක සරස්වතී අභිනන්දන ගීතය අතික්‍රමණය කළ සරස්වතී ගීතයක් හෝ ස්තෝත්‍රයක් නිර්මාණය කිරීමට කිසිවකුට මානසිංහයන් අවසර තබා නැති බව කිව යුතුය.

ජගන් මෝහිනී – මධුර භාෂිනී
චාරු දේහිනී – කමලවාසිනී
සරස්වතී දේවි වන්දේ
සරස්වතී දේවි
අමර භූෂිණි – මන්දභාසිනී
විජයරංජණී - ශාස්ත්‍රධාරිනී
සරස්වතී දේවී
කම්පිත කංචන මාලා කූජිත
කිංකිණි නූපුර ජාලා
පාද සරෝජේ කටී තටාකේ
චංචල නර්තන ලීලා
මීන මකර පංකජ රූපාකුල
අංකිත කුංකම රේඛා
පූර්ණ කුම්භමිව පීන
පයෝධර පූරිතාමෘත ධාරා
භාග්‍ය සාධන පුණ්‍ය මූරතිධර
සුරකුල වර අභිරූපා
දේහි දේහි වරදායක හස්තේ
සුභ මංගල මුද්‍රා
මෙහි භාවිත වන වචනවල ශබ්ද ලීලාත්මක සංවිධානය ගැන සලකන විට ප්‍රබන්ධකයාගේ භාෂා නෛපුණ්‍යය විස්මයජනක බව පැහැදිලිය. ශාරංගදේව දක්වන්නේ ස්වරයන්ගෙන් සංයුක්ත වූ පද – ඡන්දසින් යුක්ත බව මැනවින් පිහිටි මානය හා තාලය යන මොවුන්ගෙන් සමන්විත වූ ගීතය සුගීතයක් වන බවයි. ඒ අනුව සරස්වතී අභිනන්දන ගීතය සුගීතයකි.
ගීතයෙහි නිරූපිත රසභාව දියුණු තියුණුව හදවත් බැඳගෙන සිටිනුයේ ගීතාවෙන් පිරිපුන් වූ පමණටය. රාගය - ස්වරය - ශ්‍රැතිය – විරිත – යතිය – එළිය – පද – අකුරු - වචන – තාලය – ලය - සමය – රසය භාවය – අර්ථය – තානය – වර්ණය – ගමකය – අලංකාරය – ආලාපය – වැයුම – ගැයුම – කටහඬ - ලළනය – උච්චාරණය ද යන මේ අංග එකකට එකක් අඩු වැඩියක් නැතිව හරි පදමට සමබරව සංයෝග වූ විට ගීතතාව මතු වෙයි. ඒ අනුව ද සරස්වතී අභිනන්දන ගීතය, ගීතතායෙන් උසස් තලයක පවතී.
අමරදේව ගයන සරස්වතී අභිනන්දන ගීතය, ලක්දිව චිරපරිචිත ප්‍රචලිත අද්විතීය සරස්වතී අභිනන්දනය බවට අවිවාදාත්මකය. එහි පද පෙළ මුළුනින්ම සංස්කෘතය. එහෙත් ගීත ගෝවින්දයේ එන ‘ලලිත ලවංග ලතා පරිශීලන කෝමල මලය සමීරේ’ බඳු සකු ගීයක්, සිංහල අපට සකු බවක්, ආගන්තුක බවක් නොදක්වන පරිද්දෙන් මානවසිංහ ලියූ ‘ජගත් මෝහිනි’ ගීතය සිංහල ජන සමාජයේ සුළවත් සිත් සතන් පොබයමින් සිටී.
මානවසිංහයන් ලියු සරස්වතී ගීතය සුලලිත වදන් පෙළහරකි. ශ්‍රී ජයදේවයන් සකුª බසෙහි මධුරතාව පද ගෙත්තමක් පරිදි පෙළගන්වමින් ගීත ගෝවින්දය ජන සමාජයට අමූල්‍ය ප්‍රතිපාදනයක් පරිද්දෙන් පිරිනැමූ අයුරින්ම මානවසිංහ මේතාක් අතික්‍රමණය කළ නුහුණු සරස්වතී අභිනන්දනයේ අභිෂ්ට රූපය මේ යැයි විදහා දක්වයි.
මානවසිංහ සරස්වතී අභිනන්දන ගීතය ලියා ඇත්තේ සංස්කෘත වාග් සම්ප්‍රදාය හා ව්‍යාකරණ විධි ක්‍රම අකුරටම රකිමිනි.
ජගත් මෝහිනී – ජගත් මෝහිනී වන්නේ ඒ නියරිනි. කරුණාරත්න අමරසිංහ සූරිහූ පළ කරති.
සරසවිය පත්‍රය සිංහල සිනමාව හා බද්ධ අවශේෂ කලාංගයන්ගේ ප්‍රමිතිය සේම සිංහල ගීත ප්‍රබන්ධ කලාවේ ද උසස් ප්‍රමතියක් ඇති කිරීම සඳහා ආරම්භ කළ සරසවිය සිනමා සම්මාන උළෙල වෙනුවෙන් ශ්‍රීී චන්ද්‍රරත්න මානවසිංහ ලවා නිර්මාණය කරවාගත් අද්විතීය අසමසම සරස්වතී අභිනන්දන ගීතයම සරසවියට අප්‍රමාණ අභිමානයක් බව සඳහන්කර තැබිය යුතුය.
සරසවිය හිටපු කර්තෘ 
 
============================================

ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් අභාවප්‍රාප්ත වී
අඩසියවසක් ගෙවෙමින් පවතී.
 ශ්‍රී ලංකාව නම් කොදෙව්වේ පහළ වූ
විශ්වීය සිංහල කවියා ලෙස ඔහු හැඳින්වීම
 කිසිසේත් අතිශයෝක්තියක් නොවන බව
ඔහු ගැන දන්නෝ දනිති.

මහා සාහිත්‍යධරයකු, කවියකු, ලේඛකයකු, කථිකයකු,
දේශපාලනඥයකු සහ ඡ්‍යෝතිර්වේදියකු වූ
මේ ශ්‍රේෂ්ඨ පුරුෂයා වසර පනස් ගණනකින්
මෙලොවින් සමුගැනීම කෙතරම් නම් අභාග්‍යයක් ද?


ඔහු විශ්වීය පුද්ගලයෙකැයි කිව හැක්කේ ලෝක පූජිත කවියන් අතර කැපී පෙනෙන තරමේ නිර්මාණශීලී කුසලතාවක් ඔහු සතු වූ හෙයිනි. ඒ බව පළ කළ ඔහුගේ ලේඛන ශෛලිය සහ රසිකත්වය උගත්කමින් ඔප වැටුණු, සහජ ශන්තියෙන් ඔදවත් වුණු එකකි. පාලි සංස්කෘත සහ සම්භාව්‍ය සිංහල පොත පත ඔහු කෙතරම් මැනැවින් හදාරා තිබුණේ ද යත් හිටිහැටියේ යමක් ගැන කියනවිට එම පොත පතේ ඡේද උපුටා දැක්වීම ඔහුගේ පුරුද්ද විය. එය ඔහුගේ අසම මතක ශක්තියට එක් නිදසුනකි.
කෙසේ වුවද පැරණි පොතපතට සන්න ලියමින් පාණ්ඩිත්‍යය ප්‍රකට කරමින් සිටි සමකාලීන ප¼ඩිවරයන් අතරට එක් විටම ඔහු අදහස් කෙළේ නැත. ඒ වෙනුවට පුවත්පත් කතුවරයකු ලෙස සමාජ විවේචනය සඳහා තම ලේඛන ශක්තිය මෙහෙයවීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය. මෙයින් කියවෙන්නේ ශාස්ත්‍රීය ප්‍රශ්නවලට මුහුණදීමට ඔහු පසුබට වුණු බවක් නොවේ.
වරක් සමකාලීන ශ්‍රේෂ්ඨ ප¼ඩිවරයකු වූ වැලිවිටියේ සෝරත නාහිමියන්ගේ ලේඛනයක උක්තාඛ්‍යාත සම්බන්ධය වැරදි බව පෙන්වා දීමට ඔහු පසු බට වුණේ නැත. පනහේ දශකයේ අගභාගයේ දඹදෙණියේ පැවැති සාහිත්‍ය සම්මේලනයට සහභාගි වූ ඔහු එවකට සිටි රටේ පිළිගත් පඩිවරුන් මැද එකල විවාදයට භාජනය වෙමින් පැවැති නිසඳැස් පද්‍යයට දැඩි වාග් ප්‍රහාරයක් එල්ල කරමින් කළ දේශනය තවත් එබඳු අවස්ථාවක් විය.
වෘත්තීය ප්‍රවෘත්ති කලාවේදියකු වූ ඔහු මුලදී තමන්ගේ ම පත්‍රයකින් එනම් ‘හෙළදිව‘ නම් පුවත්පතින් වෘත්තීය ජීවිතය ඇරැඹීය. පසුව ඉංග්‍රීසි ජාතිකයින් ආරම්භ කළ ‘ටයිම්ස්’ ආයතනයේ සිංහල පුවත්පත වූ ‘ලංකාදීප’යේ කර්තෘ මණ්ඩලයට බැඳුණු ඔහු එහි ප්‍රාණනාලිය බවට පත්වූ බව නොපිළිගත්තෙක් නැත. ප්‍රධාන වශයෙන් ම එහි දිනපතා ‘වගතුග‘ තීරුව ලියූ මානවසිංහයෝ සිය තියුණු ඇස සමාජයේ සමකාලීන ප්‍රශ්න වෙත යොමු කළහ. එය සාමාන්‍ය පත්‍ර කලාවේදියකුගේ වෘත්තීය වගකීම විය. එහෙත් මානවසිංහයන්ගේ වෙනස වූයේ තමා විග්‍රහ කරන ගැටලුවලට තමන්ගේ ම විසඳුමක් ඉදිරිපත් කිරීමය. එයට පදනම් වූයේ රටේ සංස්කෘතිය, ඉතිහාසය සහ පෞද්ගලික දර්ශනය වූ බව පෙනී යයි. ලංකාදීප වගතුග පමණක් දැන් කොටස් වශයෙන් පොත් හැටියට මුද්‍රණය වෙමින් පැවතීම සතුටට කරුණක් වන්නේ අවශ්‍ය පාඨකයකුට එය නැවත කියවීමට ඉන් අවස්ථාව ලැබෙන හෙයිනි.
සිංහලය රජයේ බස කිරීම, ආයුර්වේදයට නිසි තැන ලබා දීම, භික්ෂූන්ගේ ගෞරවය රැකීම, දේශීය කලාකරුවන්ට නිසි සැලකිලි ලබා දීම, සාහිත්‍යයේ සම්ප්‍රදාය සහ නව ආකෘති, කලාවේ නව ආරවල් වැනි කරුණු ගැන ඔහු ලියූ දේ පාඨක මනසට නැවුම් පෝෂණයක් ලබා දුන්නේ ය.
මානවසිංහයින් සිංහල පාඨකයන් අතර කෙතරම් ජනප්‍රිය වීද යත් යම් කරුණක් ගැන ඔහු දරන මතය කුමක්දැයි දැනගැනීමේ අදහසින් ම ලංකාදීපය මිලට ගත්තෝ වූහ. විශේෂයෙන්ම භික්ෂූන් හා ගුරුවරුන් අතරට ලංකාදීපය ගියේ ‘වගතුග‘ නිසා බව කිව හැකි ය. බස හැසිරවීම සම්බන්ධයෙන් ඔහු හා තරඟ කළ හැක්කකු නොවූ බවට අඩු වැඩි උගත්කමින් යුතු පාඨකයින් ඒකමතික වූ බව සිතේ. වරක සාමාන්‍ය සරල සිංහලයෙන් ලියූ ඔහු තවත් විටක හුදු හෙළයෙන් ම ලිවීය. තවත් විටක වගතුග යනු පද්‍ය රචනාවක් විය. එහෙත් එහි සරල බව සහ රසවත් බව කිසිවිටෙක අඩු නොවීමේ හේතුවෙන් ඒ සියල්ල එක සේ ජනප්‍රිය විය.
ඔහුගේ භාෂාඥානය කෙබඳු වීද යනු දැක්වීමට ඔහු සමත් වූ විභාගයක් හෝ ලබාගත් උපාධියක් සාධකයක් ලෙස දැක්විය හැකි නොවේ. එහෙත් ඔහු ලියූ දේ එම දැනුම පිළිබිඹු කරන කැටපතක් වූ බවට වගතුග තීරුව ම සාක්ෂියකි.
එසේ හුදු හෙළයෙන් ලියූ ‘වගතුග‘ක් වැවුරුකන්නල රජමහා විහාරයේ රාමු කර ප්‍රදර්ශනය කරමින් ඇති අයුරු දක්නට ලැබිණ. එයට හේතුව එය එම ආයතනය ගැන ලියූවක් වීම ය. ධර්මප්‍රදීපිකාව නම් ගුරුළුගෝමීන් කළ සම්භාව්‍ය සාහිත්‍ය කෘතියේ සුළුකලි¼ගුදාව නම් වූ එකම පැරණි සිංහල ගද්‍ය කාව්‍යයේ කොටසක් වන තරමටම එය ගද්‍ය කාව්‍යයක ස්වරූපය දැරීය.
පාලි භාෂාව පිළිබඳ ව ඔහුගේ ප්‍රගුණතාව පළ කරන්නක් නම් දෙදහස් පන්සීයේ බුද්ධ ජයන්තිය නිමිත්තෙන් ලියා ලංකාදීප බුද්ධ ජයන්ති අතිරේකයේ පළ කළ ගීතයයි. එය ඇරඹෙන්නේ මෙසේය.

පාතුරහොසි බුද්ධජියන්ති
ධම්ම සමය මුදණදි
පීතිපමොදානීත ජනෙහි
මානයතෙ තථාවාදී

එහි අදහස නම් “බුද්ධ ජයන්තිය පහළ විය. ධර්ම අවබෝධය හටගත්තේ ය. ප්‍රීති ප්‍රමෝදයෙන් ඇදී ආ ජනතාව තථාගතයින් වහන්සේ වඳිති” යනුය. ගාථාවලින් හා ගද්‍ය ඡේදවලින් පිරී ඇති පාලි සාහිත්‍යයට එක් වූ එකම ගීතය මෙය බව නිසැක ය.
ඔහු මැනැවින් සංස්කෘත සාහිත්‍යය හදාරා සිටි බවට සාක්ෂි දරන්නේ ද වගතුග තීරුවම ය. සංස්කෘතයේ සුප්‍රකට ගද්‍ය කාණ්ඩයක් වන කාදම්බරියේ රසවත් බව ගැන වරක් ඔහු කියා තිබුණේ “එම රසයෙන් මත් වූවෙකුට වෙනත් කිසිම රසයක් ගැන නොසිතේ” යන අදහස ඇතුළත් “කාදම්බරී රස භරෙන සමස්ත එව මතෙතා න කිඤ්චිදපි චෙතයතෙ ජනොයව්” යන්න උපුටා දක්වමිනි. සංස්කෘත සාහිත්‍ය ප්‍රභාවෙන් ඔහුගේ රසික බව දිදුලූ බව පළ වූ තවත් අවස්ථාවක් නම් දහහතර වන සියවසේ තරම් රචිත සංස්කෘත ගීත කාව්‍යයක් වන ජයදේවයින්ගේ ගීත ගෝවින්දයේ රසයට ඔහු කිඳාබැස සිටි බවට සාධක ලැබීමය. කලින් කියැවුණු පාලි ගීතයට පවා එම ආභාසය ලැබී තිබේ. ගීත ගෝවින්දයේ එන,

”නාමසමෙතෙං කෘත සංකේතං
වාදයතෙ මෘදු වෙණුම්”
යන්න සමඟ ඉහත සඳහන් පාලි ගීත කොටස සසඳා බැලූ විට මෙය පැහැදිලි වේ.
”කෝමල රේඛා” නමින් පළ වුණේ ඔහුගේ ගී එකතුවකි. එයට ලියූ පෙරවදනේ තම රසිකත්වය සහ ගී නිර්මාණය පිළිබඳ නිදාන කථාව ලියා දක්වමින් මානවසිංහයින් පළ කරන අදහස් අපූර්වතාවෙන් අනූන ය. තමාගේ රසිකත්වය ඔප නැංවූ වංග ජාතික කාන්තාවක් ගැන ඔහු එහි සඳහන් කරයි. ඇයගෙන් ඔහු වංග භාෂාව උගත් බවටත් එහි කාව්‍ය නිර්මාණ අගය කිරීමට ඉන් අවස්ථාව උදා වුණු බවටත් සාධක තිබේ.
තමා හොඳින් නූගත් භාෂාවක වුවද අන්තර්ගතය ගැන හැඟීමක් ලබා ගැනීමට තරම් පුදුම ඉවක් ඔහු සතු වූ බව පෙනෙන්නේ ඔහු බර්නාඩ් ෂෝ තාගෝර් වැන්නන් ගැන කරන සඳහන් වලදී ය. බර්නාඩ් ෂෝගේ අභාවය ගැන ලංකාදීපයට ගීතයක් මඟින් ශෝක ප්‍රකාශයක් කළ ඔහු එය ඇරඹූයේ
”ජෝර්ජ් බර්නාඩ් ෂෝ කලා මහ සාගරේ” යනුවෙනි. මානවසිංහයන්ගේ ඉංග්‍රීසි දැනුම ශූන්‍යයේ මට්ටමේ පැවතිය ද ඉංග්‍රීසි ලේඛකයින් ගැන ඔහු ලියූ දේ අතිශයින් ම අදාළ බව පුවත්පත පිළිගත්තේ ය. එයට සාධකය නම් මේ වන විට ලංකාදීපයේ ප්‍රධාන කර්තෘ ධූරය දැරුවේ ප්‍රකට ඉංග්‍රීසි ලේඛකයකු වූ ඩී.බී.ධනපාල මහතා වීමය. කෝමල රේඛා පෙරවදනේ සඳහන් පරිදි පත්‍රයේ සෑම අතිරේකයකට ම මානවසිංහයන්ගේ ගීතයක් ඇතුළත් කිරීම ඔහුගේ අභිලාෂය විය.
ඔහු ලියූ සෑම ගීතයක් ම නව නිර්මාණයක් වශයෙන් විශිෂ්ට සාහිත්‍ය කාර්යයක් ම විය. ඒවා සිවුපද, ජන ගී, ගීත නාටක හෝ චිත්‍රපට ගී වශයෙන් කවර අයුරකින් වර්ග කළත් මේ නවතාවේ වෙනසක් නොවීය. විශේෂයෙන් කිවයුත්තේ නම් ගීත නාටක නම් ආකෘතියෙන් කළ රචනා තනිකරම ඔහුගේ ම නව සැලැස්මක් බව ය.
ඔහුගේ නිර්මාණ කෙතරම් දන මන බැඳගත්තේ ද යන්න පළකරන සිද්ධියක් මෙසේ ය. කුරුලු ලෝකයේ වටු පැටියකු දොරට වඩින මංගල්ලය ගැන මානවසිංහයින් අපූරු රචනයක් කර තිබුණි. එය කවර හෝ කාව්‍ය ආකෘතියකට අයත් කළ හැකි නොවන ආකාරයේ ගීතයකි. එහි ඇතුළත් වුණේ කුරුල්ලන් අතර වන සංවාදයකි.
එක කුරුල්ලෙකු අණබෙරයක් ගසමින් යන විට අනිත් කුරුල්ලෝ “මොකොද බොලේ වෙලා තියෙන්නේ” යයි අසති. පිළිතුර වන්නේ “වටුපැටියා තටු ඉදිලා - දොරට වඩින මඟුල් දිනේ ගැනයි කියන්නේ – මඟුල් කෑම ලබන සුමානේ” යන්න ය. පනහේ දශකයේ අගභාගයේ කොළඹ නගර ශාලාවේ පැවැති රැස්වීමක එඩ්වින් කෝට්ටගොඩ කවියාගේ ජන ගී ගායනයක් ද තිබිණ. වෙනත් ගී අතර මේ ගීය ගායනා කළ විට ලැබුණු ජනතා ප්‍රතිචාරය කෙතරම් ද යත් අසන්නෝ එක හ¼ඩින් පාවලින් ලෑලි පොළොවට තට්ටු කරමින් එයට සහභාගි වූහ. අනතුරු ව ගායකයා, ගීයේ රචකයා ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ බව කීවේය. ඔහුගේ කටහඬ නතර වනවාත් සමඟ ම මානවසිංහයෝ ද වේදිකාවේ අසුන් ගත්හ. එවිට නැඟුණු අත්පොළසන් හ¼ඩින් සබාගැබ ගිගුම් කෑවේය. මොහොතකින් වේදිකාවේ සිටි කෙනෙක් “මම ඉල්ලීමක් කරනවා. ඒ ගායනය නැවතත් ඉදිරිපත් කරන්නට” යැයි කීවේ ය. එය ම දෙවන වරට ද ගායනය විය.
ඔහුගේ නිර්මාණවල බස් වහර කෙතරම් ප්‍රකාශන ශක්තියෙන් පිරී පැවැත්තේ දැයි කියතොත් ඇතැම් දෙබසක චරිතවල හැඟුම් සමුදාය වචන දෙක තුනකින් ම රසිකයාට පසක් කරන සුලු විය. කෝමල රේඛාවේ ඇතුළත් ‘ගුරු ගෙදර අතරමඟ’ එවැන්නකි. එහි එන චරිත දෙක නෑනා මස්සිනාලා ය. ඔවුහු ළමා වියේ සිටිති. ගීයෙන් නිම වී ඇති ඔවුන් අතර වන දෙබස් ඇරඹෙන්නේ මෙසේ ය.

“අකුරට යනවයි කියලා
ටිකිරි අයිය බැදිවලමයි
ඉන්නකො මම ගුරු ගෙදරට
ගිහින් කියන්නම් – ගිහින් කියල
මේ බැද්දෙදි අල්ලල දෙන්නම්” යි නෑනා කියන විට
”කුරුල්ලන්ට පඳුරුවලට
ඔමරි කරනවා විතරයි
සිලිඳු ඉතින් දර කැඩුවද
මමත් කියන්නම්
ගිහින් කියල පොඩි නැන්දට
අල්ලල දෙන්නම්”යි මස්සිනා කියයි.

කටවහර ගීයට යොදා ගැමි පෙම පළ කළ කාව්‍ය නිර්මාණවලට මීට වඩා හොඳ නිදසුන් තිබේද?
කුඩා දැරියකගේ සිතේ පහළ වන නොමේරූ බුදු බැතිය කවියට නඟමින් කළ සිව්පද පෙළ තවත් විශිෂ්ට නිර්මාණයකි.

බුදුහාමුදුරුවන් ඉස්සර සිටින කොට
මම හිටියනම් යන විට කැලයට දරට
වනමල් නෙළා තබමින් සිරිපතුල පිට
වැඳවැටෙනවා නොගොහින් ගෙට වරුවකට
යනුවෙන් ඇරඹෙන එහි ඉතිරි පැදි ද ඊටම නොදෙවැනි ය.


කාටත් හොරෙන් ගොඩ අරගෙන කැටය මගේ
සිවුරක් ගෙනත් දෙනවා කහඅත්ත වගේ
එතකොට බලත හැකි පොරොවා වඩින රඟේ
කිනිහිරි මලක් සෙලවෙනවා වැනි සුළඟේ
යනු එහි තවත් කවියකි.

මානවසිංහයන්ගේ සහජ ප්‍රතිභාව මැනවින් දන්නේ ඔහු ළඟින් ඇසුරු කළ අයයි. පහත සඳහන් විස්තරය මට ලැබුණේ අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායකයකු වූ නාරද දිසාසේකරයන් ගෙනි. ‘රන්මුතුදූව‘ නම් ප්‍රථම සිංහල වර්ණ චිත්‍රපටයේ ‘පිපී පිපී” ගීයේ ගායකයා වූයේ ඔහු ය. අමරදේව සූරීන්, නාරද සහ චිත්‍රපටයේ නිෂ්පාදක අංශයේ කෙනකු මානවසිංහයන් හමුවන්නට ගියේ ඔහු ලවා එම චිත්‍රපටයට ගීත කීපයක් ලියවා ගන්නටය.
පළමුව ඔහු ප්‍රිය කළ තෑග්ගක් අතේ තැබූ පිරිස පැමිණි කාරණය පැහැදිලි කළහ. ඒ වනවිටත් ඔහු සිටියේ මීවිතින් මත්වීය. තෑග්ගට ලැබුණු රස පානය ද විවෘත විය. ඔහුගේ කටහඬ බමන හිසට අනුකූ®ල විය. “වසන්තා” ඔහු සිය පියඹ ඇමතුවාය. “පෑනකුයි –කඩදාසියකුයි – අර - ගෙන – මං - කියන එක – ලියා - ගන්න” දැන් කවුරුත් නිහඬ ය. විනාඩි දෙකකින් පමණ මානවසිංහයන්ගේ කටහඬ යළි අවදි විය.
”පිපී පිපී - රේණු නටන – වනේ මලක හැප්පිලා” මේ පද ටික ඔහුගේ මුවින් ටික ටික පිටවන්නට විනාඩි පහක් පමණ ගත විය. විනාඩි විස්සක් තිහක් පමණ ගෙවෙන විට “පිපී පිපී” ගීතයේ රචනය නිම විය.
එම චිත්‍රපටයට ම ඇතුළත් වුණු “ගලන ගඟකි ජීවිතේ දයාලූ ලෝකයේ” වෙසක් පොහෝ දින දිනූ සේක අප බුද්ධදිවාකරයාණෝ” යන ගීත එකිනෙකට වෙනස් ආරකින් රචනා වී ඇත්තේ ප්‍රස්තුතයට ගැළපෙන ධ්වනිය නිනාද වන සේ ය.
“ගලන ගඟකි ජීවිතේ” ගඟේ ගලා යාමට අනුකූල ධ්වනියක් නඟන අතර “වෙසක් පොහෝ දින” ගීතය බුද්ධ භක්තියට තෝතැන්නක් ලෙස හඬ නැඟේ. මුලින් සඳහන් ‘පිපී පිපී” ගීතයේ හඬ චිත්‍රපටයේ ඇතුළත් සාජ්ජයට කෙතරම් නම් ගැළපේ ද?
ලිපිය අවසන් කිරීමට මානවසිංහයන්ගේ අභාවයෙන් වසරක් ගෙවීමේදී කොළඹ ආනන්ද මහා විද්‍යාලයේ පැවැති අනුස්මරණ උත්සවයේදී අභාවප්‍රාප්ත ආචාර්ය ගුණපාල සේනාධීර ප¼ඩිතුමා කළ ප්‍රකාශයක් උපුටා දැක්වීම සුදුසු යැයි සිතමි.
”මානවසිංහ, භාරතීය මහා කවි කාලිදාස ගණයේ ශ්‍රේෂ්ඨ කවියෙකැයි බොහෝ දෙන කියති. මා එයට සංශෝධනයක් කළ යුතුය. සංස්කෘත කාව්‍ය ග්‍රන්ථ රචනා කළ කාලිදාසගේ කෘතීන් මානවසිංහයන්ගේ සිංහල කාව්‍ය නිර්මාණත් සසඳා බැලූ විට කාලිදාසයින්ට වඩා මානවසිංහයන් ප්‍රතිභාශක්තියෙන් ඉහළින් සිටින බව නොබා කිව හැකිය.”



ආචාර්ය ගැමුණුසිරි ගමගේ

1 comment:

  1. රසවත්ව කියවීමි. බොහොම පිං

    ReplyDelete