ජන ගීයක් මෙන්
පහන් සංවේගයෙන් හද තෙත් කරවන
අනුවේදනීය නිර්මාණයක්.
පහන් සංවේගයෙන් හද තෙත් කරවන
අනුවේදනීය නිර්මාණයක්.
- නන්දන වීරසිංහ ලියූ -
දුම්මල ගලට ගිය අම්මා
දුම්මල ගල ඉමේ මහ මූකලානේ
අඳෝනාව ඇඟ හී ගඩු නඟන්නේ
කන්දේ පරවේණි උලලේනියන්නේ
රෑ සමයමේ ඇයි මා බය කරන්නේ
අපෙ අම්මා දුම්මල ගලවන්න ගියා
ඒවා මිටි බැඳන් වඳුරඹ පොළට ගියා
හාල් ටිකට පොල් ගෙඩියට ණයක් තියා
කොපි පොතකුයි පැන්සලකුයි ගෙනෙන්නියා
වැහි වැහැලා ගල ආදා බඩේ වුණා
අම්මා එදත් ඒ ගල මුදුණටම වුණා
රූටා ගිහින් පාවුල ගලටත් රිදුණා
අම්මා තිවු විලාපය තවමත් ඇසෙනා
ඇලබඩ රුප්පාව ළඟ රෑ හඳපානේ
ඉන්නා කලට මට දුම්මල ගල පෙනුණේ
ලෝබ නැතුව ඔය ගල දුම්මල දුන්නේ
අම්මා පෙරලුවත් තරහක් නෑ හිතුනේ
මේ කවිපෙළේ
කොයිතරම් දේවල්
අපිට හිතල හොයාගන්න තියනවද?
දුම්මල ගල ඉමේ මහ මූකලානේ
අඳෝනාව ඇඟ හී ගඩු නඟන්නේ
කන්දේ පරවේණි උලලේනියන්නේ
රෑ සමයමේ ඇයි මා බය කරන්නේ
දුම්මල ගල කෙළවරින් ඇරඹෙන මහ මූකලානේ
පරවේණියෙන් කන්දට හිමි උලලේනියනි...
නුඹේ අඳෝනාවෙන්
මහ රෑ මැදියමේ..
අවතාර හැසිරෙන
සමයං වෙලාවේ..
මා බය කරන්නේ ඇයි..
ඔහුගේ සැබෑ බයක් හෝ
අමනාපයක් මෙහි නැත.
එහෙත් ඔහු සිටින පරිසරයත්..
ඒ පරිසරයෙහි ස්වභාවයත්,
කාලයත් පිළිබඳව මේ එකම කවියෙන්
ප්‍රබල හැඟීමක් ඇති වෙයි.
අපෙ අම්මා දුම්මල ගලවන්න ගියා
ඒවා මිටි බැඳන් වඳුරඹ පොළට ගියා
හාල් ටිකට පොල් ගෙඩියට ණයක් තියා
කොපි පොතකුයි පැන්සලකුයි ගෙනෙන්නියා
අම්මා දුම්මල ගලවන්න ගියේ
මහමූකලාන ඉමේ
දුම්මල ගලට බව
අපි දැනටමත් දනිමු.
ඔවුන්ගේ ජීවන මට්ටම හෙලිවන්නේ
මේ කවියෙනි.
වඳුරඹ පොළට ගොස් මිටි බැඳන් යන
දුම්මල විකුණා මුදලක් ගත්තත්
හාල් ටිකට පොල් ගෙඩියට ණයක් නොතියා
එන්නට තරම් ඇය පොහොසත් නැතත්
ඉතිරි කරගන්නා මුදලින් ඇය ගෙන එන්නේ
කොපි පොතක් හෝ පැන්සලයකි.
පවුලේ කැම බීමට වඩා
දරුවාගේ ඉගෙනීම ඇයට වැදගත්ය.
තව දවසක වැහි වැහැලා ගල පෙඟුණා
දුම්මල ගලවන්න ගල මුදුනට නැගුණා
ගල මුදුණේ ඉඳලම ලිස්සා වැටුණා
පහල ගලට ඇද වැටිලා ඇය මැරුණා
කියා අමුවෙන්ම කියන්නත් තිබුණා.
ඒත් නන්දන වීරසිංහ ලියන්නෙ මෙහෙමයි.
වැහි වැහැලා ගල ආඳා බඩේ වුණා.
අම්මා එදත් ඒ ගල මුදුණටම වුණා
රූටා ගිහින් පාවුල ගලටත් රිදුණා
අම්මා තිවු විලාපය තවමත් ඇසෙනා
වැහි වැහැලා ගල
ලිස්සන ආඳාගේ බඩමෙන් ලිස්සුවත්
අම්මා එදත් ඒ ගල මුදුණටමනැංගා.
ඇය කොතරම් ඉහල සිට පහළට රූටා
පතිත වුණාද කීවොත්
පහළ ගලටත් රිදුණා.
ඇය වැටෙද්දී තැබූ විලාපය
ඔහුට තවමත් ඇසෙන්නක් වැන්න.
ඇයට වූ විපත
ඔහු හැඟීම්බරව විස්තර කළත්
ඔහුතුළ ශෝකයක්,
කෝපයක් වැනි හැඟීමක
අල්පමාත්‍ර ඉඟියක් හෝ ඇත්තේ
ඇලබඩ රුප්පාව ළඟ රෑ හඳපානේ
ඉන්නා කලට මට දුම්මල ගල පෙනුණේ
ලෝබ නැතුව ඔය ගල දුම්මල දුන්නේ
අම්මා පෙරලුවත් තරහක් නෑ හිතුනේ
ඔහු රෑ සමයමේ අඳෝනා දෙන
උල ලේනුන්ට බයකළ හැකි පුතයෙකු නොවේ.
රෑ හඳපානේ
ඇලබඩ රුප්පාව ළඟ ඉන්නා ඔහුට
අදත් දුම්මල ගල පෙනෙයි.
සිය මව අහිම්වන්නට දායක වූ
ඒ නිර්වේදී පර්වතය කඩා බිඳ හෙළා
පාරට දමා තාර දැමිය යුතු යැයි
ඔහුට නොසිතේ.
ලෝබ නැතුව දුම්මල දුන් දුම්මල ගල පිළිබඳව
ඔහු තුළ ඇත්තේ කෘතඥතාවයකි.
දුම්මල ගල දෙස ද්වේශයෙන් තොරව
ඔහු හෙළන උතුම් බැල්ම
මුලු කවි පෙළෙහිම සිළුමිණ වැන්න.
=============================================
“දුම්මල ගලට ගිය අම්මා”
චන්ද්‍රසිරි දොඩංගොඩගේ විවරණය-----------------
නන්දන වීරසිංහ ලියූ “දුම්මල ගලට ගිය අම්මා” කවි පංතිය දකුණු පළාතේ ගිංගඟ අසබඩ දුගී ගැමි ජන ජීවිතය හොඳින් නිරූපණය කරන කවියක්. ගිංගඟ අසබඩ ගණ වනාන්තරයේ යකහළු ගස් නැමැති ගහක මැලියම් වර්ගයක් කඩලා විකිණීම ගැමියන්ගේ දින චර්යාවේ කොටසක්. මේ මවත් තම පුතාට යම් අධ්‍යාපනයක් ලබාදීම සඳහා තමයි දුම්මල ගස් තියෙන වනාන්තරයට යන්නේ. කවිය කියැවෙන්නේ මවගේ දරුවාගේ දෘෂ්ටි කෝණයෙන්. මෙහි ඛේදවාචකය තමයි දුම්මල කඩාගෙන එන්නට ගිය අම්මා ගලකින් ලිස්සා වැටී මියයාම.
මේ පුවත හරහා දුගී ගැමි ජන ජීවිතය ජීවත් වීමට ඔවුන් දරන වෙහෙස ඔවුන්ගේ පීඩිත පන්තිය පිළිබඳ ව මේ කවියෙන් කියැවෙනවා. කවියා පැරණි ජනකවි සම්ප්‍රදාය අනුව යමින් කවිය නිර්මාණය කර තිබෙනවා. එනිසා ම එහි ගුණාත්මක බවක් රැඳී තිබෙනවා.
හැත්තෑව දශකයේ මැද භාගයේදි බිහි වූ බොහෝ කවියෝ විවිධ අත්දැකීම් හා විවිධ අත්හදා බැලීම් ඔස්සේ කවිය නව ඉසව්වකට ගෙන ආහ. නන්දන වීරසිංහ නම් වූ ප්‍රවීණ කවියා ද විවිධ අත්දැකීම් ඔස්සේ සාර්ථක නිර්මාණ කළ කවියෙක් ලෙස හඳුන්වාදීමට ද පුළුවන. “දුම්මල ගලට ගිය අම්මා” ඔහු විසින් මීට වසර විසිහතකට පමණ පෙර ලියන ලද නිර්මාණයකි. “ගිං ගඟේ විලාපය” කාව්‍ය සංග්‍රහයේ එන “දුම්මල ගලට ගිය අම්මා” විශ්ව විද්‍යාල උපාධි පාඨමාලාවන් සඳහා නිර්දේශිත අතර කලක් දහය ශ්‍රේණිය සිංහල පෙළපොතටද ඇතුළත් කර තිබිණ.
දුම්මල සෙවීමත් ඒවා පොළට රැගෙන ගොස් විකිණීමත් ජීවන වෘත්තිය කරගත් අම්මා කෙනකු වැසිදාක දුම්මල සෙවීමට කැලයට ගිය ගමනේදි ගලමතින් ලිස්සා වැටී මිය යාමේ ශෝකජනක පුවතක් පදනම් කර ගනිමින් නන්දන වීරසිංහයන් තම නිර්මාණය කර ඇත. ලැබූ අත්දැකීම ප්‍රතිනිර්මාණය කරමින් කවියා මවගේ මිය යාමට එහායින් වූ බොහෝ දේ ගෙන හැර දක්වයි.
දරිද්‍රතාවය, ආදරය, දරුවාගේ තනිකම ආදී වූ සියල්ල කවිය තුළ ගැබ් ව ඇති අතර කවියා විසින් තමා ලැබූ අත්දැකීම කීමට ජනවහර යොදාගෙන ඇත. ඔහුගේ නිර්මාණය තුළ ජනවහර කටවහර යෙදී ඇත්තේ නිරායාසයෙනි. ඔහු ඒවා නිර්මාණය තුළට බලෙන් රිංගවා නොමැති වීම කවියේ සාර්ථකÀවයට හේතුවකි. ජනකවි ආභාෂය ලත් “දුම්මල ගලට ගිය අම්මා” කියවීමේදී පාඨකයාට එහි සංකල්ප රූප ආදිය මැවී පෙනේ. තෙත බරිත වැසිදාක ගලින් ගල පැන යන අම්මා කෙනෙකුගේ රුවක් දෑස් අභියස මැවේ.
දකුණු පළාතේ ඇති හිනිදුම වැනි ප්‍රදේශවල භාවිතා වන කට වහර කවියා අපූරු ලෙස යොදා ගෙන ඇති අයුරු මෙයින් පැහැදිලි වේ.
වැහි වැහැලා ගල ආඳා බඩේ වුණා
අම්මා එදත් ඒ ගල මුදුනටම වුණා
රූටා ගිහින් පාවුල ගලටත් රිදුණා
අම්මා තිවු විලාපය තවමත් ඇසෙනා...
වැස්සට තෙමුණ ගල ලෙස්සන බව කීමට කවියා යොදා ගෙන ඇත්තේ ‘ගල ආඳා බඩේ වුණා’ යන යෙදුමයි.
අම්මාගේ මියයාමේ සිදුවීම ඉතා ශෝචනීය ලෙස ඉදිරිපත් කරන කවියා එය ළමයා ලවා අපට කියවීමේදී තම අදහස් ඍජු ව ම අපට නොකියයි. එනමුදු ඔහු ළමයා ලවා අපට කියන්නේ දරිද්‍රතාවයත් අම්මාගේ මිය යාම නිසා සමාජය දෙස වෛරයෙන් බලන්න යැයි කියා නොව සමාජය දෙස මෙන් ම තමන්ගේ ජීවිතය දෙස සානුකම්පිතව බලන්නට යැයි නොකියා කියයි.
ඇලබඩ රුප්පාව ළඟ රෑ හඳපානේ
ඉන්නා කලට මට දුම්මල ගල පෙනුණේ
ලෝබ නැතිව ඔය ගල දුම්මල දුන්නේ
අම්මා පෙරලුවත් නෑ තරහක් හිතුණේ
’ගිං ගඟේ විලාපය’ කාව්‍ය සංග්‍රහයට අමතරව කිරි සුවඳැති රාත්‍රිය, සත්‍යකාම නම් වෙමි, ගිරග, මහත් සඳ පිනි බිඳෙක චන්ද්‍ර බිම්බ ආදි කාව්‍ය සංග්‍රහ රචනා කර ඇත. නන්දන වීරසිංහයන්ගේ නවතම කාව්‍ය සංග්‍රහය ‘රැය කරා ගමන’ පසුගියදා එළිදැක්විණ.
සම්මානනීය කවියකු වන නන්දන වීරසිංහයන් පුවත්පත් කලාවේදියකු ද වේ. ඔහු කලක් සිළුමිණ ශාස්ත්‍රීය සංග්‍රහය සැකසුවේය.
http://www.silumina.lk/
=========================================================
============ නන්දන වීරසිංහ ============
===============================================================
නන්දන වීරසිංහගේ කවි මග සැතපුම් කණු
ගිං ගඟේ විලාපය- 1984
නන්දන වීරසිංහගේ කවි මග සැතපුම් කණු
ගිං ගඟේ විලාපය- 1984
කිරි සුවඳැති රාත්‍රිය- 1990
රාජ්‍ය සම්මාන
සත්‍යකාම නම් වෙමි- 1994
රාජ්‍ය සම්මාන
ගිරග- 1998
රාජ්‍ය සම්මාන, ස්වාධීන සාහිත්‍ය සම්මාන
මහත් සඳ පිණි බිඳෙක- 2002
රාජ්‍ය සම්මාන, විද්‍යෝදය සම්මාන
චන්ද්‍ර බිම්බ- 2005 ගොඩගේ සම්මාන,
2005 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානයේ ප්‍රශස්ත කෘති නිර්දේශය.
සමස්ත කාව්‍ය නිර්මාණ කාර්යය වෙනුවෙන්
2000 වසරේ බුන්කා සම්මානය
No comments:
Post a Comment