20140418

සේකර - මා නැති කලෙක උන් සුවඳක් දැනුනාවේ….

ලක්බිම පුවත්පතට ඒ. ඩී. රංජිත් කුමාර ලියූ ලිපියක්.

Mahagama-sekara

ජෝතිට, මිල්ටන්ට, මල්ලවාරච්චිට, එම්.එස්.ට ගීත ලියන්න බලා සිටි මහගම සේකර


කලා ක්‍ෂේත්‍රයේ විවිධ ප්‍රතිභාවන් ප්‍රකට කළ මහගම සේකරයන්ගේ නම මට මුලින්ම හමුවූයේ මා දොළොස් හැවිරිදි වියේදී (1960 දී පමණ) පාසල් පුස්තකාලයේදීය. කුඩා කළ සිට ‍පොත් කියවීමේ නොතිත් ආසාවෙන් පසු වූ මට පුස්තකාලයේ තිබි අමුතු පිටකවරයකින් යුත් කේ. ජයතිලකගේ “පරාජිතයෝ” නවකතාව අහම්බෙන් නෙත ගැටුණි. නවකතාව කියවීමට ප්‍රථම මගේ සිත ඇදී ගියේ එහි පිටකවරයටය. මහරගම සමන් මුද්‍රණාලයේ මුද්‍රණය කර තිබූ ඒ නවකතාවේ පිටකවරයේ පිටුපස පිටුවේ “පිටකවරය - මහගම සේකර නමින් මුද්‍රණය කොට තිබුණි. එය අඩනිරුවත් ගැහැනියකගේ චිත්‍රයකි. එතෙක් මා දුටු ‍පොත් පිට කවරවලට වඩා නිර්මාණාත්මක චිත්‍රයක් සහිත ඒ ‍පොත කියවීමෙන් පසු මා මහගම සේකරගේ චිත්‍ර සහිත ‍පොත් සෙව්වේ කුහුලෙනි. කටු සහ මල්, නොමළ මල්, අප්‍රසන්න කතාවක්, ව්‍යංගා වැනි කෘතිවල පිටකවර දුටු මගේ සිත චිත්‍ර කලාවට වඩ වඩාත් යොමුවිය. පසු කලෙක ‍පොත් කවර නිර්මාණ ශිල්පියකු විමට අනුප්‍රාණය ලැබුණේ සේකරගෙනි.
මහගම සේකරයන් මා ජීවමානව දැකගැනීමට ලැබුණේ මට අවුරුදු 13ක් පමණ වියේදීය. 1961 වසරේ සිංහල අවුරුදු නිවාඩුව මා ගත කළේ ලොකු අම්මාගේ කොළොන්නාවේ මීතොටමුල්‍ලේ පිහිටි නිවසේය. මේ නිවසට අල්ලපු ගෙදර වූයේ සංගීතඥ සෝමදාස ඇල්විටිගලගේ නිවහනය. මට මේ නිවසින් නිතර අසන්නට ලැබුණේ එස්රාජ් හා වයලීන් වාද්‍ය ඛණ්ඩයි. මම ඒවා රසවිඳීමට පුරුදු වුණෙමි. ලොකු අම්මාගේ වැඩිමහල් දියණිය මොනිකා තලගල මනම්පේරි සමග මා එම නිවසට ගියේ ඇය ඇල්විටිගලයන්ගෙන් වයලීන වාදනය ඉගෙනගත් නිසාය. මොනිකා අක්කා විදුහල්පතිනියක ලෙස සේවය කොට විශ්‍රාමගෙන දැනට තලවතුගොඩ විදුර විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනිය ලෙස සේවය කරයි.
දිනක් මොනිකා අක්කාට ඇල්විටිගලයන්ගෙන් කැඳවීමක් ලැබිණ. ඒ අලුත වේදිකාගත කිරීමට නියමිත නාට්‍යයක සමූහ ගී ගැයීමට එක්වන ලෙසය. එදා එම සමූහ ගායනයට පැමිණ සිටි අය අතර, නන්දා මාලනිය වූවාය. එදින මට මහගම සේකරයන් මුල්වරට දැකගන්නට ලැබිණ. මූදූ පුත්තු නම් ඒ නාට්‍යයේ ගීත රචනා කළේ සේකරයන් බව මගේ ඥාති සොහොයුරිය කීවාය. උත්තුංග දේහධාරී මේ පුද්ගලයා බුෂ් ෂර්ට් එකකින් සැරසී අවුල් වූ කෙහෙරැළි සහිත එහෙත් චාම් සරල මිනිසකු බව මට අවබෝධ විය.
“මූදු පතුල යට ඉඳලා මුතුකැටයක නිදි කරලා”, “එපා පුතුනේ මූදු යන්නට”, “නැගෙනා බැසයන නීල රැළි බැලූ බැල්මට සතුට ගෙන එයි”, “සතර මහ සාගරය පතුලෙන්” යන ගීත පුහුණු කරන විට සේකරයන් මිදුලට පැමිණ දුම්වැටියක් උරමින් ඒ ගීත අසා සිටි අයුරු අදත් මට සිහිපත් කළ හැකිය. මම මගේ වීරයා දෙස බලා සිටියෙමි. ඔහු මා දැක සිනාසුණේය.
“මහත්තයා.... මහත්තයා ඇඳපු ‍පොත්කවර චිත්‍රවලට මම ආසයි. මම ඒවා බලාගෙන ගෙදරදී ඩේ‍රා්වින් ‍පොතේ චිත්‍ර අඳිනවා. “මේ වචන ටික ගළපාගෙන
කීමට බලා සිටියත් එයට අවකාශ නොලැබුණේ කවුදෝ “සේකර” යන ඇමැතුමෙන් ඔහු දුම්වැටිය මිදු‍ලේ ගසක් යටට වීසි කොට ගේ තුළට ගිය නිසාය.
මූදු පුත්තු නාට්‍යය වේදිකා ගත වූ දිනවල මම මොනිකා අක්කාගේ තනියට ගියෙමි. ඒ හැම අවස්ථාවකම සේකර සිටියේ කාර්යබහුලවය.
 










මා “සරසවිය” පුවත්පතට පූර්ණකාලීනව සම්බන්ධ වන්නේ 1969 අග භාගයේදීය. මා නොයෙක් දෙනා හමුවී සම්මුඛ සාකච්ඡා පවත්වා විශේෂාංග ලියා ඇතත් මගේ වීරයා ගැන විශේෂාංගයක් ලිවීමේ දොළ දුකෙන් පසු වුණෙමි. සේකර තමාගේ නවකතාව ඇසුරෙන් “තුන්මංහන්දිය” චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන පුවත කන වැකුණු පසු මට ඔහු හමුවීමට ඇති ආසාව වැඩිවිය. සරසවිය පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ ලක්ෂ්මන් වික්‍රමසිංහට මගේ ආසාව ගැන කීවෙමි.
===============================================================

තුංමංහන්දිය 
මහගම සේකරගේ සන්වේදී භාවය, දයාවී ගුණය, 
පෞරෂත්වය, අව්යාජත්වය පෙන්වන කැඩපතක් බඳුය.

‘මහගමට තිබුනේ පුදුම විදිහේ සන්වේදී මනසක්.
සියුම් හඬක් වුණත් ඔහුගේ හද සසල කලා.
රෝහලකට ගියත් ලෙඩුන්ගේ කෑගැසීම් 
අවධානයෙන් අසා සිටියා.
ඔහු හැම දෙයක් ගැනම අවධානයෙන් පසු වුනා.
අප එතරම් නොසලකන සිදුවීමක් පවා 
ඔහුට යම් කිසි අත්දැකීමක් ලබා දුන්නා’

කුසුමලතා මහගම සේකර මහත්මිය 
සේකරයන්ගේ සන්වේදීතාව හා 
නිරීක්ෂණ ශක්තිය ගැන එසේ පවසයි. 
එයට කදිම උදාහරණයක් තුංමංහන්දියේ ඇත.

“……….තුවක්කුව මාමාට නොගැලපෙන ආයුධයකි. මාමා ආයුධ කිව්වේ මේවාට නොව කඩදාසි මල් කපන නියන් වලටය. මම ඇඳ යටට එබී බැලුවෙමි.මමාගේ ආයුධ පෙට්ටිය ඇඳ යට සුරැකිව තබා ඇත.එහි දූවිලි හා මකුලු දැල් බැඳිලාය.තව දුරටත් මේ ආයුධ වලින් මාමාට වැඩක් වේදැයි මට සිතුණි.ඔහු අලුත් ආයුධයක් තෝරාගෙන ඇත.එහෙත් ඒ ආයුධය ඇත්තේ විසිතුරු කැටයම් කැපීමට නොව වෙඩි තැබීමටය.වත්තට හොරෙක් ආවොත් මාමා ඔහුට වෙඩි තියයි දැයි ඊළඟට මට කල්පනා විය.දවසක් වතුර වීදුරුවකට මැස්සෙක් වැටී සිටියේය.මාමා පරිස්සමින් ඌ සුලැඟිල්ලට ගෙන ඌ දෙස බලා සිටින්නට විය.ටික වේලාවකින් මැස්සා ඉගිලී ගොස් බිත්තියේ වැසුවේය. ඌ ඉගිලී යනහැටි බලා සිටි මාමාගේ මූණේ මද ආලෝකයක් ඇති විය……”
උපුටනය : මහගම සේකර හා ඔහුගේ නිර්මාණ, 
ඌවේ නිර්මාණකරුවන්ගේ එකමුතුව.
===============================================================


“ලකී සේකර තුන්මංහන්දිය ෆිල්ම් කරන්න යනවා. සත්‍යජිත් රේ වගේ සේකරත් හැම රූප රාමුවක් අඳිනවලු. දෙන්නම චිත්‍ර ශිල්පියෝනේ. අපිට හොඳ ෆීචර් එකක් ලියන්න පුළුවන් වේවි.”
ලක්ෂ්මන්ගේ අනුමැතිය ලැබිණ. 1970 මුල් කාර්තුවයි. මම සේකරව පුද්ගලිකව නොහඳුනමි. සරසවියේ සාහිත්‍යයට සම්බන්ධ විශේෂාංග රචනා කළේ චන්ද්‍රසිරි සෙනෙවිරත්නය. ප්‍රකට ‍ලේඛකයකු වූ ඔහු අද දක්ෂ නීතිඥයකු ලෙස මහනුවර උසාවියේ කටයුතු කරයි. එදින හවස චන්ද්‍රසිරි මට මුණගැසුණි.
“සෙනෙවි, මචං. මට උඹෙන් උදව්වක් ඕනෑ. මට සේකරයි, තුන්මංහන්දියයි ගැන ලියන්න ඕනෑ. මම සේකරගේ අඳුනන්නේ නෑ. උඹට පුළුවන්ද සේකර ගම්පහ ගෙදර යන්න එන්න.
“ඕකත් අහන්න ඕනෑ. අදම යමු ගම්පහ. සේකර හවස ගෙදර ඇති.”
චන්ද්‍රසිරි පත්‍ර කලා ලෝයේ හිත හොඳ මිතුරෙකි. අපි එදින සවස ගම්පහ ශ්‍රී බෝධි පාරේ සේකරගේ නිවසට ගියෙමු. එදා රාත්‍රියේ හොඳට හඳ පායා තිබූ හැටි මට අද මෙන් මතකය. චන්ද්‍රසිරි සේකරට මා හඳුන්වා දුන්නේය. වසර 10කට පෙර මා දුටු සේකරගේ වෙනසක් නැත. අව්‍යාජ හිනාව. සරල චාම්කම. ඉහවහා යන මානව දයාව දෝර ගලයි.
“මට සේකර මහත්තයා චිත්‍රපටයට ඇඳපු රූප රාමු ටිකක් ගන්න පුළුවන්ද?”
“ඒ රූප රාමු නේද? හිටින්න අපි තේ කෝප්පයක් බිලා ඉඳිමු. සේකර ගේ තුළට ගියේය. ඔහු පැමිණියේ තුන්මංහන්දියේ තිරනාටකය රැගෙනය.
“ඕකේ බලන්න මම කුරුටුගාපු චිත්‍ර වගයක් ඇති. ඕනෑ නම් තෝරාගන්න.”
තිර නාටකයේ ගැලවුණු පිටු අතරින් සේකර විසින් අඳින ලද අබිලිං මාමාගේ සමීප රූපයක්, කඩදාසි කැටයමක සමීප රූපයක් සහිත රූප රාමු කිහිපයක් ගලවා ගතිමි. මගේ විශේෂාංගයත් ඒ රූප රාමුත් දුටු නියෝජ්‍ය කතුවර ලක්ෂ්මන් එය මැද පිටු දෙකේ විශේෂ තැනක් දී පළ කර දුන්නේය.
සේකරයන් හා මා අතර සමීප සම්බන්ධතාවයකට මුල පිරුණේ ඉන් පසුවය. ඉන් පසු මම සේකරයන් ගැන විශේෂාංග රැසක් ලිව්වෙමි. මේ අතර, මහගම සේකරයන් රජයේ කලායතනයේ (අද සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය) විදුහල්පති ධුරයට පත්විය. මේ නිසා සතියකට වරක් දෙවරක් මම එහි යාමට පුරුද්දකොට ගත්තෙමි. දිනක් මාත් සරසවියේ කැමරා ශිල්පී බන්දු එස්. කොඩිකාරත් වෙනත් වැඩකට යන අතරවාරේ කලායතනයට ගොඩ වැදුණෙමු.
අප යන විට උදෑසන නවයට පමණ ඇත. සේකරයන් ගේ මේසය අසල තිබූ ජනේලයෙන් හිරු රශ්මිය කාමරය පුරා පැතිර ගියේ සතුට දෝර ගලමිනි. සේකරයන්ගේ ඡායාරූප ‍ලේක් හවුස් පුස්තකාලයේ තිබුණේ ස්වල්පයකි. එයද වසර 10කට වඩා පැරණිය.
“සේකර මහත්තයා අද කාමරය හොඳට ආලෝකමත් වෙලා. ගනිමුද පින්තූරයක්. මම ඇසීමි.
සේකරයන් තම අතේ රැඳි සිගරට්ටුවෙන් උගුරු කිහිපයක් ඇද්දේය.
“සතුටු නම් ගම්මු.....” ඔහු තෙපළේය.
“අද හොඳ දවස ගන්න ගන්න. “කලායතනයේ රෙජිස්ට්‍රාර් වූ එස්.ඒ. ප්‍රේමරත්න කීවේය. රතු හැට්ටකාරි නාට්‍යයේ නිෂ්පාදකවරයා
වූ ඔහු පරසතුරෝ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයාද විය.
කැමරා ශිල්පී බන්දු එස්. කොඩිකාර පින්තූරය ගත්තේය. සේකරයන් තම මේසයට බර දී අසල ජනේලයෙන් ඇතුළට එන අව් රශ්මියට මුවාවී සිටියේය. මගේ මතකයට ආවේ ග්‍රීක ප්‍රතිමාවකි. කාල වර්ණ උත්තුංග දේහයකින් යුතු සේකරයන්ගේ උඩුකය දක්ෂ මූර්ති ශිල්පියකු විසින් ඉතා සියුම්ව සංයමයෙන්  නිමවුණු ග්‍රීක ප්‍රතිමාවක් වැනි අපූරු සමීප රූපයක් තම කැමරාවට හසුකර ගත්තේය. මෙහි පළවෙන්නේ ඒ ඡායාරූපයයි.
එදා සේකරයන් වෙනදාට වඩා වෙනස් ආකාරයෙන් මා ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දුන්නේය.
“දැන් මට කිසිම ආසාවක් නැහැ. මං කැමති භාවනා කරන්න. විවිධ ආගම් කතුවරයන්ගේ ‍පොත් කියවන්න. නිසොල්මනේ විවේකීව කුරුල්ලන්ගේ හඬ අහන්න. ගලන දොළේ ශබ්ද තරංග අහන්න.”
තමාට ගීත රචනා කිරීමට නොහැකි වූ ගායකයන් හතරදෙනෙක් ගැන සේකරයන් කතා කළේ දොම්නසිනි.
“එච්.ආර්. ජෝතිපාල, ජේ.ඒ.මිල්ටන් පෙරේරා, මිල්ටන් මල්ලවාරච්චි, එම්.එස්. ප්‍රනාන්දුට ගීත ලීවීමට මම ලොකු ආසාවකින් ඉන්නේ. මේ හතරදෙනා අසමාන දක්ෂතා ඇති ගායකයෝ. මේ දක්ෂ ගායකයින්ට හොඳ ගීත ලියා දී හොඳ සංගීත නිර්මාණ සපයා දී ඔවුන්ගේ ගීත උසස් තලයකට ගෙන යාමට මට ලොකු ආසාවක් තියෙනවා. මිල්ටන් පෙරේරා මා රචනා කළ “සිරි සාර බුලත්විට කාලාබලන්” චිත්‍රපට ගීතය ගයා ඇතත්, ඊට වඩා පුළුල් පරාසයක ගීත රචනා දෙන්න මම කැමැතියි.
සේකරයන් සංවේදී ස්වරයෙන් එදා කතා කළේය. මේ වන විට “ප්‍රබුද්ධ” කාව්‍ය සංග්‍රහය මුද්‍රණයෙන් පිටවී නොතිබිණ. තමා ලියූ ඒ ‍පොතේ අත්පිටපත ගෙන අපට කවියක් දෙකක් කීවේය.
මේ කවි ‍පොත මම චිත්‍රපට ගත කරන්න හිතන් ඉන්නේ. ඔහු සිනාසෙමින් කීවේය.
“මා මළ පසු සොහොන් කොතේ දුක් ගීයක් ලියනු මැනව” ගීතය ලිවීමට හිතුණේ ඇයි දැයි අප ඇසූ පැනයට ඔහු මෙසේ පිළිතුරු දුන්නේය.
තුන්මංහන්දිය චිත්‍රපටය බලලා මට හුඟදෙනෙක් සතුට පළකරලා අගය කරලා ලිපි එවලා තිබුණා. මේ ලිපි නන්නාඳුනන අයගේ. මේ ලිපි කියවලා මම හිතුවා මගේ කවි, ගීත අහලා අගය කරන කී දෙනෙක් නං ලංකාවේ කොහේහරි ඉන්නවා නේද කියලා. ඒ ගැන හිතලා මම මේ කවිය ලිව්වා. දවසක් සිරිල් වික්‍රමගේ මේක කවිය අහම්බෙන් වගේ දැක්කා. සිරිල් මේ අතට අරන් සේකර මට මේක මගේ චිත්‍රපටයට අපූරුවට ගැළපෙනවා. කියලා අතට ගත්තා.
සිරිල් වික්‍රමගේ මේ ගේය පද රචනය සෝමදාස ඇල්විටිගල ලවා තනුව නිර්මාණය කොට අමරදේවයන් ලවා ගායනාකොට සිහින ලොවක් චිත්‍රපටයට ඇතුළත් කළේය.
මහගම සේකරයන් සමග මා කළ පිළිසඳරේ කොටස් කිහිපයකි මේ. “සතුටු සාමිචිය” නම් සතිපතා මා ලියූ විශේෂාංගය යටතේ 1975 ඔක්තෝබර් 17 වැනිදා සරසවිය පුවත්පතේ මේ ලිපිය පළ විය. ලිපිය පළ වී මාස තුනක් යන්නට මත්තෙන් ඔහු මියගියේය.
අර පින්තූරයට මම කැමැතිය. කරදරයක් නැත්තන් මට කොපියක් දෙන්න. හැමෝම කිව්වා අර ලිපිය බලලා සේකර ළඟදී මහණ වෙනවද කියලා. ලිපිය පළ වී ටික දිනකින් ගුවන් විදුලියේ කැන්ටිමේදී හමුවී ඔහු කීවේය.
සේකරයන් කොතරම් ශ්‍රේෂ්ඨ නිර්මාණ කළත් තද ලැජ්ජාකාරයෙකි. ඔහු කවි, ගීත, නවකතා පරිවර්තන ලියා තිබුණත් කෙටිකතා ලියා නොතිබුණි. දිනක් දයානන්ද ගුණවර්ධනගේ ගජමන් පුවත නාට්‍ය පුහුණුවන සුදර්ශියේ හමු වූ සේකරයන් මට මෙසේ කීවේය.
“මම බඩුවක් ලිව්වා. ගෙදර ගිහින් බලලා හොඳ නම් නවයුගය පත්‍රයේ පළ කරන්න. රංජිත්ම මේකට චිත්‍රයක් අඳින්න. ඔහු ලජ්ජාවෙන් කීවේය.
මම ගෙදර ගොස් කුතුහලයෙන් යුතුව ඔහු ලියූ කෙටි කතාව කියවීමි.
එය සේකරයන් කියූ ලෙස ඔහුගේ ප්‍රථම කෙටිකතාවය. පීතර නම් ඒ කෙටිකතාව නව යුගය කර්තෘ විමලසිරි පෙරේරා මහතාට දුනිමි.
“ෂා” සේකර කෙටිකතාවක් ලියලා. නැගලා යනවා. අපි මේක සිළුමිණේ එනවුන්ස් කරමු. ලබන සතියේ සේකරගේ පීතර නම් කෙටිකතාව නව යුගයේ පළවෙනවා කියලා. විමලසිරි මහතා අපට කීවේය.
“පීතර” නම් කෙටිකතාව නව යුගයේ පළවූයේ මගේ චිත්‍රයක් සමගය. පුංචි කාලයේ මගේ වීරයා වූ මහගම සේකරයන් අනුගමනය කොට චිත්‍ර අඳින ලද මා ඔහුගේ කෙටිකතාවට චිත්‍රයක් ඇඳීම මට රටක් රාජ්ජයක් ලැබිමක් වැනිය. අනෙක ඔහු උපන්නේ අප්‍රේල් 7 වැනිදාවකය. මා උපන්නේ ඔහු ඉපදී වසර 18 පසු අප්‍රේල් 7 වැනිදාවකය.
Mahagama-sekaraසේකරයන් මියගිය පසු සතියේ මේ පින්තූරය සරසවිය මුල් පිටුවේ පළවිය.
එදා සරසවිය එක් ලක්ෂ පහළොස්දාහක පමණ අළෙවියක් තිබිණ.
ඒ.ඩි.රංජිත් කුමාර

===========================================================

ඔහු නික්ම ගොස් තිබිණි….

……….ඒ 1976 ජනවාරි 14 දාය. සිය සේවා ස්ථානයට රැකියාව පිණිස පැමිණි සේකර ඒ කටයුතු නිමවා පසුදාට නියමිතව තිබූ තවත් කාර්යයක් සදහා අදාල පිරිස් මුන ගැසීමට ගියේය. පසුදාට සේකර ලියූ, අමරදේවයන් ගැයූ ‘රත්නදීප’ ගීතය පදනම් කරගත් යසෝගතය නම් කෙටි චිත්රපටයක රූගත කිරීම් අරඹන්නට නියමිතව තිබිණි.එකී වර්ණ චිත්රපටය ඇරඹෙන්නට තිබුනේ අමරදේවයන් සහ මහගම සේකර පෙනී සිටින රූපරාමුවකිනි. සේකර, අමරදේවයන්ද, චිත්රපට නිර්මාපකයන්ද හමුවී පසුදා එනම් ජනවාරි 15 දා ගම්පහ සිට දුම්රියෙන් කොටුව දුම්රිය පලට එන්නට කතිකා කර ගත්තේය.
අනතුරුව ඔහු ගියේ ෙබෟද්ධ විශ්වකෝෂ කාර්යාලයටයි. ‘ප්රබුද්ධ’ කාව්යයේ පෙරවදන ලියනු සදහා මහාචාර්ය ජෝතිය ධීරසේකර මහතාට භාර දෙන ලද්දේ ඒ තීරණාත්මක දිනයේදීය.
‘ප්රබුද්ධ’ කෘතියේ පාදක සටහන් කිහිපයක් සැකසීමට ‘තිබ්බතීය මලපොත’ සහ ‘ධම්ම පදට්ට කතා’ කෘතිය බන්ධුල ජයවර්දන මහතාගෙන් ඉල්ලා ගත්තේද එවෙලේය.
එහෙත් පුදුමයකට සේකර රැගෙනගියේ තිබ්බතීය මළ පොත පමණි.
මහගම සේකරගේ ප්රිය බිරිඳගේ දුක්බර මතකය මෙබඳුය.
“ආචාර්ය උපාධි නිබන්ධනයේ චේදයක් ලියමින් සිටි මහගම පසුදා කොලඹ යනවිට ඇදීමට කලු හා සුදු කොටු වැටුනු කමිසය මැද තබන්නැයි මට කීවා. ඔහුගේ ප්රියතම කමිසය වූ එය තිස්ස කාරියවසම් මහතාගෙන් ලැබුනු තිලිණයක්.
මා කමිසය මදින්නට ලක ලෑස්ති වනවිට සේකර අමුතු හඬකින් කතා කලා.
“මගේ බඩ දැවිල්ලයි..පෙත්තක් දෙන්න..”
ඔහු කාමරයට ගොස් ඇදෙහි වැතිර සිටියා. දිව යටින් තැබූ පෙත්ත නොරැදී බිම වැටුනා. පපුවෙන් අමුතු හඬක්ද නැගෙන්නට උනා. අසල් වැසියන් ගිලන් රියක් ගෙනෙන්නට දිව ගියා.වේලාව රාත්රී නමයයි හතලිස්පහයි. ඇඳ මත වැතිර හුන් සේකර දෑස් පියා ගත්තා…..
ලියන්නට පටන්ගත් පිටුවේ ‘රිද්මය’ පිලිබද සටහනක්ද අසම්පූර්නව තිබූ අතර පෑන පසෙකින් වැටී තිබුනා.

හිම ගිරිකුලු ඉහල නැගී වලා සිඹින
අහස පොලව දෙක මුසුවන
නිල් මිටියාවත මැද්දෙන්
සුදු මීදුම් පීරාගෙන
සුදු පියාපත් සලමින්
නැඟ බැස පාවී යන
සිහින මුවා අසුපිට නැඟ
සාර කතර බිම් සනහන
‘මරණී’ නම් කෙම් බිම වෙත…

ඔහු නික්ම ගොස් තිබිනි….
(රත්න ශ්රී විජේසින්හයන්ගේ ‘මහගම සේකර චරිතාපදානය’ ඇසුරෙන් සකස් කරන ලදී)
උපුටනය : මහගම සේකර හා ඔහුගේ නිර්මාණ, ඌවේ නිර්මාණකරුවන්ගේ එකමුතුව.


20140412

ගීතයක සැකිල්ල





මම ගීත ගැන
හිතාමතා සොයන්නෙ
විශ්ලේෂණය කරන්නෙ නැහැ,

කොහොමත්
මම අද කාලෙ
ලංකාවෙ කරන
කිසිම නිර්මාණයක් පිළිබඳව
උනන්දු නැහැ.

අද හැම ක්ෂේත්‍රයකම නිර්මාණකරුවන්
ගැහැණුන්ට, මත්පැනට, මුදලට,
ගරු නම්බුවලට, ප්‍රතිරූප පිම්බීමට,
බාහිර සැපසම්පත් වලට යටත්.
ඔවුන්ගෙ නිර්මාණ වල කොයි විදියෙන් හෝ
එම උවමනාවල් ඉටු කරගන්නට උත්සාහ කිරීමක්
එළිපිට හෝ වක්‍රව තියනවා.
ඔවුන්ගෙ දක්ෂකම් ඔහුටම කත් අදිනවා.

ලංකාවෙ මෙතෙක් බිහිවූ
කලාකරුවන් අතර
මගේ හදවතට
වඩාත්ම සමීප කලාකරුවා
ප්‍රේමකීර්තියි.

නිර්ව්‍යාජ කලාකරුවෙක් විදියටත්,
නිර්ව්‍යාජ මිනිසෙක් විදියටත්
වෙනත් කිසිවෙකුට
ඔහු තරම්
මගේ හද සසල කරන්නට සමත් වූ
අන් කිසිවෙක් නැහැ.

අද කාලෙ නම්
නිර්ව්‍යාජ නිර්මාණ
දකින්නට ලැබෙන්නෙ නැහැ.
ඔවුන්ගෙ නිර්මාණ
කිසිවක් මිළදී ගන්නට මුද්‍රණය කරන
හොර නෝට්ටුවක් වගෙයි.

 යසනාත්ගේ ගීතවල
මා දුටු විශේෂයක්
නොකියා බැරි තරම් වැදගත් නිසා කිව යුතුමයි සිතුණා.
මේ යසනාත්ගෙ බ්ලොග් සටහනින්.

[[[කිඳුරු ගීතය ලියන්නට හේතුවුණේ
රත්න ශ්‍රී විජේසිංහයන්ගේ මේ ගීතයයි.

සොඳුර නුඹ ලිහිණියක - රැයේ අඳුරට හඬන
මමද ලිහිණියෙකු වෙමි - කැඩුණු තටු පිරිමදින

අහිංසක අප දෙදෙන - තටු කඩා මේ ලෙසින
සිඳී ගිය ගඟ දෑල - හැර දැමූයේ කවුද
සඳට දොස් නොකියන්න - සඳ කුමක් කරන්නද
බාල වයසින් මැරුණු ප්‍රේමයකි - තරු එළිය....

කටුක දුක් විරහ මැද - අතරමං වී ගියද
අපි තවම පෙම් කරමු අපේ ජීවිත වලට
කියා දෙමු පියඹන්ට අපි අපේ පැටවුනට
නිදහසේ තටු ලැබුනු කුරුල්ලන් වී දිනෙක]]]

මේ යසනාත්ගේ කිඳුරු ගීතය...
සඳ කිඳුරු ලිය නුඹ
සඳ කිඳුරාණ නුඹ
අහිමි වූ - අහිමු වූ
පුන් සද වත අහිමි වූ
සඳ කිඳුරු ලිය නුඹ

මේ ගං දෑලවර
මල් - මල් උයන්තෙර
සිසිල අහිමිව වැලපෙනා
සඳ කිඳුරු ලිය නුඹ - සඳ කිඳුරාණ නුඹ

මේ නිල් වියන යට
නිල් විල් දියඹ මත
නිල්ල අහිමිව වැලපෙනා
සඳ කිඳුරු ලිය නුඹ - සඳ කිඳුරාණ නුඹ

පද : යසනාත් ධම්මික බණ්ඩාර.
ස්වර : නවරත්න ගමගේ.
ගැයුම: කිත්සිරි ජයසේකර/හේමන්ති රණසිංහ.
====================================

මේ දෙක අතර විශාල වෙනසක් තියනවා.
ඒ වෙනස රචකයන් දෙදෙනා
වෙනස්වීම කියන කරුණ
අමතක කරමු.

මේ දෙකම ලිව්වේ එකම රචකයෙක් කියා
දැනට උපකල්පනය කරමු.

රත්න ශ්‍රී විජේසිංහගේ ගීතය
1, එකිනෙකාට අහිමි වූ පෙම්වතුන් යුවළක්.

2, ඔවුන්ට කිසියම් දුකක් පැමිණි බව.
ඒ දුකට කිසිවෙකුට දොස් නොකිව මනා බව.

3, ඔවුන්ගේ පෙම මිය නොගිය බව.
ඔවුන්ට අහිමි වූ ලොව ජයගන්නට
දරුවන්ට හුරු කරන බව.

මේ යසනාත්ගේ ගීතය..
1, එකිනෙකාට අහිමි වූ පෙම්වතුන් යුවළක්.

2, එකිනෙකාට අහිමි වූ පෙම්වතුන් යුවළක්.

3, එකිනෙකාට අහිමි වූ පෙම්වතුන් යුවළක්.

මේ පුනරුත් දෝෂය
යසනාත්ගේ මා දුටු ගීත වල
මට දකින්නට ලැබුණා.
වචන ලස්සණයි.
මවන රූප තුන ලස්සණයි.
රූප තුනම එකාකාරීයි.
වළකුළු බැම්මෙ කොටස් තුනක් වගෙයි.
එක කොටසකට සවන් දුන්නාම ඇති.
කොටස් තුනෙන්ම
හැඟීම අතින් එකම ප්‍රතිඵලයක්.

රත්නශ්‍රීගේ ගීතය
පේසා වළලු,
දාගැබ, දේවතා කොටුව..
කොත, සිළුමිණ ආදී වශයෙන්..
එකක් මත එකක්
විවිධත්වයෙන් තැනූ
දාගැබක් වගෙයි.

ප්‍රේමකීර්තිගේ මෙවැනි ගීත තියනවා.
වික්ටර් රත්නායකයන් ගයන
කුරුල්ලන්ට ගී ගයන්න ගීතය එවැන්නක්.
පටිගත කල දින උදා කල ලිවූ එම ගීතයේ
අපට පුන පුනා කී රූ වර්ණනාවට
අති විශාල අරුතක්
අපව විශ්මයට පත් කරමින්.
ඔහු එහි අවසාන පේළි දෙකෙන් ලබා දෙනවා...

කුරුල්ලන්ට ගී ගයන්න ඔබෙ කට හඬ දෙන්න
නෙළුම් විලේ මල් පිපෙන්න ඔබෙ දෙකොපුල දෙන්න
මැණික් වලට දිස්නෙ දෙන්න ඇසේ කැළුම් දෙන්න
නා දල්ලට පාට එන්න ඔබෙ තොල් පෙති දෙන්න

ගලන ගඟට රළ නගන්න ඔබෙ කඳුලැලි දෙන්න
ඉරට හඳට එළිය එන්න ඔබෙ හසකැන් දෙන්න
නීල වළා සළු එළන්න ඔබෙ කෙහෙරැලි දෙන්න
දේදුන්නට හැඩය ගන්න ඔබෙ නෙත් බැමි දෙන්න

තණ නිල්ලට ඔබෙ දෙපතුල මොළකැටි බව දෙන්න
නළ රැල්ලට ඔබේ සුසුම් වල සිහිලස දෙන්න
ජීවත්වන ඩිංගට මට සැනසිල්ලෙන් ඉන්න
එපා මැණිකෙ හිත පමණක් කිසිවෙකුටත් දෙන්න.......

-ප්‍රේමකීර්ති ද අල්විස්
-වික්ටර් රත්නායක

කුරුල්ලන්ට ගී ගයන්න ගීතය
පහළ සිට ඉහළට පවතින
අපව කළඹන එකාකාරී බව
අපව තෘප්තිමත් කොට නිදහස් කරන
ඝංඨා කුළුණක් වගෙයි.

යසනාත්ගේ ශෛලියෙහි ලොකු වෙනසක් නොකර
ගීතය ඉහළ තැනකට ගෙන යන්නට
ප්‍රේමකීර්තිගේ මේ ශෛලිය
උපකාරී විය හැකියි.
ප්‍රේමකීර්තිගේ
තවත් එවැනි නිර්මාණයක්, මේ.
 
කඳු මුදුනට නැගුණු එලිය ඈත ඉඳන් අත වනනව
හඳ මුදුනට එන්න කලින් අහස වලාකුලු ඉරනව
පරිසරයම හරි පාලුයි ඇඟ තුල සීතල දුවනව
අන්න බලාපන් මැණිකේ සමන් කැකුලු ඇස් අරිනව

කණාමැදිරියන් නටනව නිල් එලිකැට විලිස්සමින්
වල් බෙලිගස් නිදනු වැනිය ඇඟ පොරවා වලස්හමින්
සුළඟ තැනින් තැන දුවනව ලදළු ලපළු හිනස්සමින්
සඳ එලියට පොලොව තෙමිල පය තියන්නෙ පරිස්සමින්

පලගැටියන් වැලි කඩදහි අරගෙන ලෝකය මදිනව
තද සුළඟට පොල් අතුවල ඉරටු ඇඟිලි ඇට කැඩෙනව
හඳට බයේ අඳුරු රංචු හොරු වගෙ ගස් යට ළඟිනව
ළිඳට ගිහින් බලමු මැණිකෙ ලිඳ ඇතුලෙත් හඳ තියෙනව

කම්බි වැටට පිණි ඇමිනිල සතුටු කඳුලු බිංදු වගෙයි
මැණිකෙව කැන්දන් ආදා රැය මගෙ මතකයට නැඟෙයි
එදා වගෙම අදත් සිතට ආදරයේ සිසිල හැඟෙයි
උඹත් එක්ක - හඳ පෑවු මේ මුලු ලෝකයම මගෙයි

ආදරයෙන් නිදිමත නැති පිරුණු දෙනෙත් යුග අරින්න
නා දලු තොල් තෙත් කරවා අනුරා ගීතය ගයන්න
සඳ එළියෙන් බැහැ මැණිකේ මැණිකෙගෙ ලස්සන බලන්න
පැලට ගිහින් පැල ඇතුලේ කුප්පි ලාම්පුව නිවන්න.

හැම අතින්ම සුන්දර යුවතියක්
ඇඟ පෙන්නලා අවධානය ගැනීම
ඇගේ සොඳුරු බවට හානිකරයි..

මොහොතක් පවතින
ග්‍රාම්‍ය හැඟීමක් අවුස්සන්න
කවිකම අවශ්‍ය නෑ..
කාලාන්තරයක් පවතින
සියුම් ශෘංගාරයක්
කවියකින් ඇති කරන්න
කුණුහරුප අවශ්‍ය නෑ.

සියුම් ශෘංගාරයක් ඇති කරන
ප්‍රේමකීර්තිගේ නිර්මාණය......
ආදරයෙන් නිදිමත නැති පිරුණු දෙනෙත් යුග අරින්න
නා දලු තොල් තෙත් කරවා අනුරා ගීතය ගයන්න
සඳ එළියෙන් බැහැ මැණිකේ මැණිකෙගෙ ලස්සන බලන්න
පැලට ගිහින් පැල ඇතුලේ කුප්පි ලාම්පුව නිවන්න.




===============================================================

===============================================================
මා තර්ක කරන්නේ එකම අරමුණකිනි.
මා නොදන්නා දේ දැන ගැනීමට සහ
මා දන්නා දේ පිරිසිදු කර ගැනීමටයි.

යසනාත්ගේත් රත්නශ්‍රීගේත් ගීත සැසඳීමේදී
මා යොදාගත් ක්‍රමය මට අලුත් අත්දැකීමක්.ගීත සාරාංශගත කොට විමසන්නට
මා පටන් ගත්තා.
ගීත සැසඳීමේදී
ගීතයක සැකිල්ල විමසීමට
මා පළමුවරට පෙළඹුණේ එයිනුයි.

20140407

Song of Ceylon දියමන්ති ජුබිලිය සමරමු.


ලංකා ගීතයේ’ දියමන්ති ජුබිලිය අපිත් සමරමුද?

සුනිල් මිහිඳුකුල
සිළුමිණ 06 04 2014

 ශ්‍රී ලංකාව අළලා නිර්මාණිත ’සෝන්ග් ඔෆ් සිලෝන්’ (ලංකා ගීතය) නම් වූ විශිෂ්ට වාර්තා චිත්‍රපටය නිෂ්පාදනය කොට 75 වසරක් සපිරී තිබේ. එංගලන්තය නිපදවූ මෙය අධ්‍යක්ෂණය කළේ බැසිල් රයිට් නමැති ඉංග්‍රීසි ජාතිකයා ය.

’ලංකා ගීතය’ නිර්මාණය වූයේ 1934 රේ ද? 1935 ද? යන්න ගැටලුවකට තුඩුදෙයි. ඇතැම් පොත්වල (විශේෂයෙන් ‘ස්ටඩීස් ඉන් ඩොකියුමෙන්ටරි’ නම් වූ පොතේ) එහි නිෂ්පාදිත වසර 1934 යනුවෙන් දැක්වෙයි. එහෙත් ‘ඩොකියුමෙන්ටරි හිස්ට්‍රි ඔෆ් ද නන් ෆික්ෂන් ෆිල්ම්’ නම් වූ පොතේ එය දැක්වෙන්නේ 1935 යනුවෙනි. කෙසේ වෙතත් ආචාර්ය රොජර් මැන්වෙල්ගේ ‘ෆිල්ම්’ නම් වූ පොතේ එය 1934 – 35 යනුවෙන් සඳහන්ව ඇත.
එබැවින් අපට තවදුරටත් ‘ලංකා ගීතයේ’ දියමන්ති ජුබිලිය සැමරිය හැකිය.
’ලංකා ගීතය’ වැනි වාර්තා චිත්‍රපටයක් අපට වැදගත් වන්නේ ඇයි? ප්‍රධාන වශයෙන්ම එය අපේ රට අළලා තැනුණු සිනමා පටයකි. 1935 පමණ වන විට අපේ රටේ චිත්‍රපට කර්මාන්තයක් ආරම්භ වී නොතිබිණි. ඒ අනුව එම කාලය පිළිබඳ, එකල මෙරට ජන ජීවිතය පිළිබඳ ඇති එකම චලන චිත්‍ර වාර්තාව ‘ලංකා ගීතය’යි. එහෙයින් එහි පවත්නා ඓතිහාසික වටිනාකම ඉමහත්ය.
එසේම ‘ලංකා ගීතය’ට ශ්‍රී ලාංකේය කලාකරුවෝ කීපදෙනෙක්ම දායක වූහ.
http://www.sundaytimes.lk/101114/images/Lionel-Wendt.jpgචිත්‍රපටයේ අටුවාව (නැරේෂන්) ඉදිරිපත් කළේ ලයනල් වෙන්ඩ්ට් ය. මේ චිත්‍රපටයට සුරඹා ගුරුන්නාන්සේගේ උඩරට බෙරවාදන ඇතුළත් වූ අතර එහි ගජගා වන්නම ගායනා කර ඇත්තේ දේවාර් සූර්යසේනය.
පසුගිය දිනෙක මම අන්තර්ජාලය ඔස්සේ ‘ලංකා ගීතය’ නැවතත් නැරඹීමි. (මා මෙය මුලින්ම නැරඹූවේ මීට අවුරුදු 25කට ඉහතදීය) මෙවර ‘ලංකා ගීතය’ නරඹද්දී මට එම සිනමාපටය පිළිබඳ එවක සිටි ප්‍රවීණ සිනමා විචාරක ජයවිලාල් විලේගොඩ ලියා තිබූ දෙයක් සිහියට නැඟිණි. ඒ මෙපරිදි ය.
”’ලංකා ගීතය’ නිපදවූ ජෝන් ග්‍රියර්සන් සුද්දෙකි. එහි කැමරා ශිල්පියා හා අධ්‍යක්ෂවරයා වූ බැසිල් රයිට් සුද්දෙකි. උප අධ්‍යක්ෂ ජෝන් ටේලර් ද සංගීතය සැපයූ වෝල්ටර් ලේ ද සුද්දෙක් ය.
එහෙත් මේ හැමෝම අඩු වශයෙන් චිත්‍රපටය තනද්දිවත් හදවතින් ලාංකිකයන් හා සිංහලයන් වන්නට ඇත. අද වුවද කිසිම සිංහල චිත්‍රපටයක නැති සිංහලකමක් හා ලංකා ගතියක් මේ චිත්‍රපටයේ ඇත්තේ එහෙයිනි.”
ජයවිලාල් එලෙස ලීවේ 1967 දී ය.
’ලංකා ගීතය’ විශිෂ්ට වාර්තා චිත්‍රපටයක් බව ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්, ආචාර්ය තිස්ස අබේසේකර, ලෙස්ලි බොතේජු, බෙනඩික්ට් දොඩම්පෙගම වැනි ශ්‍රී ලාංකිකයන් පමණක් නොව ආචාර්ය රොජර් මැන්වෙල්, ග්‍රැහැම් ග්‍රීන් වැනි ලෝක ප්‍රකට කලා විද්වතුන් ද ප්‍රකාශ කර ඇත.
’ලංකා ගීතය’ට 1935 වසරේ පැවැති බ්‍රසල්ස් අන්තර්ජාතික චිත්‍රපට උළෙලේ දී ප්‍රථම ත්‍යාගය හිමිවී ඇති වගද පැවසේ.
ලංකා තේ වෙළෙඳ මණ්ඩලය වෙනුවෙන් ‘ලංකා ගීතය’ තැනීම ආරම්භ කළේ අධිරාජ්‍ය වෙළෙඳ මණ්ඩලය වුවත් එය නිම කරන ලද්දේ එංගලන්තයේ ජී.පී.ඕ. (මහා තැපැල් කාර්යාලයීය) චිත්‍රපට ඒකකය විසිනි. නිෂ්පාදකයා වාර්තා චිත්‍රපට කලාවේ පුරෝගාමියකු වූ ජෝන් ග්‍රියර්සන් ය. අධ්‍යක්ෂණය, කැමරාව හා සංස්කරණය බැසිල් රයිට් ගෙනි.
බැසිල් රයිට් (1907 – 1987) එංගලන්තයේ ප්‍රකට වාර්තා චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වූයේය. ‘නයිට් මේල්’, ‘ඉන්ඩස්ට්‍රියල් බ්‍රිට්න්’, ‘වෝටර් ඔෆ් ටයිම්’ යනාදී වශයෙන් ඔහු වාර්තා චිත්‍රපට රැසක් අධ්‍යක්ෂණය කර ඇත. ‘යූස් ඔෆ් ද ෆිල්ම්’ ඔහු සිනමාව අළලා ලියූ අගනා පොතකි. 1987 ඔක්තෝබර් 14 වැනි දින ඔහු මිය ගියේය.
බැසිල් රයිට් 1934 දී ලංකාවට පැමිණියේ ලංකාව අරභයා සංචාරක වාර්තා වැඩසටහනක් නිර්මාණය කිරීමටය. එහි අරමුණ වූයේ ලංකාවේ තේ පිළිබඳ එංගලන්ත වාසීන්ට ප්‍රචාරයක් ලබාදීමයි. බැසිල් අත මූලික තිරනාටකයක් තබා දළ සැලැස්මක්වත් නොතිබිණි.
 ඒ වන විට ඔහුට තිබුණේ ලංකාව පිළිබඳ දැඩි උනන්දුවක්, ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් මෘදු ළෙන්ගතු බවක් හා බුදු දහම අරභයා වූ අප්‍රමාණ භක්තියක් පමණි. (ලංකාවට ගොඩබැසීමට පෙර ඔහු පොත පත ආශ්‍රයෙන් ලංකාව ගැනත් මෙරට ජනයා ගැනත් බුදුදහම ගැනත් කිසියම් ප්‍රමාණයක දැනුමක් ලබාගෙන තිබිණි.”
බැසිල් රයිට් මුලින්ම කළේ තම සහාය අධ්‍යක්ෂවරයා වූ ජෝන් ටේලර් සමඟ එක්ව ලංකාව පුරා සංචාරය කරමින් දකින දකින දේ ඡායාරූපගත කිරිමයි. ඔහුට ලංකාවේදී එවක ප්‍රකට කලාකරුවකුව සිටි ලයනල් වෙන්ඩ්ට් මුණගැසීම මහත් භාග්‍යයක් වූවාට නිසැකය.
බැසිල්ට සියලු උපදේශකත්වය සැපයුණේ ලයනල් වෙන්ඩ්ට් ගෙනි. ජන ජීවිතයේ බාහිර පියන්පත් විවෘත කොට එහි වූ අභ්‍යන්තර ස්වභාව ඉවෙන් මෙන් හඳුනාගැනීමට පුළුවන් සියුම් කල්පනා ශක්තියක් හිමි ව සිටි ලයනල් අපේ රටේ ජන ජීවිතය පිළිබඳ නිවැරැදි යථාර්ථවාදී අවබෝධයක් මේ බටහිර අමුත්තන් දෙදෙනාට ලබා දුන්නාට සැකයක් නැති බව ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් කියයි.
කලින් ද දැක්වූ පරිදි ‘ලංකා ගීතයේ’ කථනය ලයනල් වෙන්ඩ්ට්ගෙනි. ඒ සඳහා රොබට් නොක්ස් විසින් ලියන ලද ‘ඇන් හිස්ටොරිකල් රිලේෂන් ඔෆ් ද අයිලන්ඩ් ඔෆ් සිලෝන්’ නම් වූ ග්‍රන්ථය ඉවහල් කරගෙන ඇත.
චිත්‍රපටයේ සංස්කරණ කටයුතු සිදු කෙරුණේ එංගලන්තයේදීය. මෙරට දී අහම්බෙන් මෙන් රූගත කළ වැව් ඉවුරක ගසක අත්තක් මත හුන් පිළිහුඩුවාගේ දර්ශනය චිත්‍රපටයේ වරින් වර දැක්වෙන අතර එය අපූර්ව සංකේතයක් ලෙස අර්ථගැන්වෙයි.
පොලොන්නරුව ගල් විහාරයේ බුදුපිළිමයේ පසුබිමේ එම රූපත් සමඟ පිළිහුඩුවාගේ රූපය අතුරු ඡේදනය කිරීමෙන් මැවෙන සංකේතය (ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් කියන ආකාරයට බුද්ධාලම්භන ප්‍රීතිය ඔස්සේ අත්‍යන්ත අහසට නඟින භක්තියේ සංකේතය) බෞද්ධයන්ට වටහාගැනීම අසීරු නොවේ.
පිළිහුඩුවාගේ රූපය මෙසේ චිත්‍රපටයට යොදා ගැනුණේ නිෂ්පාදන ග්‍රියර්සන්ගේ අදහසක් පරිදි බව කියැවෙයි. මෙහි සංස්කරණය සඳහා ඔහුගේ උපදෙස් බැසිල් රයිට් අතිශය ප්‍රයෝජනවත් වී ඇත.
වරක් ග්‍රියර්සන් දැක්වූ එක්තරා විවේචනයකින් කිපුණ බැසිල් දින තුනක් මත්පැන් බොමින් කිසිවකු හා කතා නොකර කල්පනා කරමින් හිඳ ඇත. අවසානයේ ඔහු සංස්කරණ මැදිරියේ වාඩිවී චිත්‍රපටයේ ග්‍රියර්සන්ගේ විවේචනයට හසුවූ කොටස නැවත සංස්කරණය කර ඇත. නැවත චිත්‍රපටය බැලූ ග්‍රියර්සන් ‘ආ ඔය තියෙන්නේ’ යැයි ප්‍රශංසාත්මකව කියා ඇත.
’ලංකා ගීතය’ විනාඩි 40ක ධාවන කාලයකින් යුක්තය. චිත්‍රපටය කතාංග හතරකට බෙදා ඇත. ඒ ‘ද බුද්ධා’, ‘ද වර්ජින් අයිලන්ඩ්’, ‘වොයිස් ඔෆ් කොමර්ස්’ හා ‘ද ඇපරල් ඔෆ් ගෝඩ්’ යනාදී වශයෙනි. මුල් කොටස ශ්‍රීපාද වන්දනාව අළලා සකස් වී ඇත. ඉන් බෞද්ධ විශ්වාස ගැන කියැවෙයි. මෙරට පාරම්පරික ගැමි ජීවන ක්‍රමය දෙවැනි කොටසින් නිරූපිතය.
තුන්වැනි කොටස වෙන්වන්නේ වාණිජත්වයන් විසින්, කාර්මීකරණය විසින් ජනජීවිතය ග්‍රහණය කර ගනු ලබන ආකාරයයි. මේ කොටසේදී එංගලන්තයේ කොමන් ගාර්ඩ්න් වෙන්දේසි පොළේ තේ වෙන්දේසි පසුබිමින් ඇසේ. ආගමික අංශයෙන් ලංකාව දෙස බැලීමක් හතරවැනි කොටසින් සිදුකෙරේ. එහි බුදුන් වඳින කත්කරුවාගේ දර්ශන පෙළ විශිෂ්ට රූපරාමු පද්ධතියකි.
බැසිල් රයිට් පසුකලෙක ‘ලංකා ගීතය’ ගැන මෙසේ අදහස් දක්වා ඇත. “මගේ ‘ලංකා ගීතය’ ඔබේ රටත් එහි මිනිසුනුත් බුදුදහමක් පිළිබඳ මගේ හදේ උපන් සුහදතාව මිස වෙන අන් කිසිවක් නොවේ.”
’ලංකා ගීතයේ’ නිර්මාණාත්මක බලපෑම පසුව තැනුණ වාර්තා චිත්‍රපට කීපයකම දක්නා ලැබුණු බව විචාරක අදහසයි. එසේම ‘රේඛාව‘ හා ගම්පෙරළිය’ වැනි වෘත්තාන්ත චිත්‍රපටවල පවා ‘ලංකා ගීතයේ’ බලපෑම දක්නා ලැබෙන බව ආචාර්ය තිස්ස අබේසේකර ප්‍රකාශ කර ඇත.
එපමණක් ද නොවේ ලෝකය පිළිගත් විශිෂ්ට සිනමා විශාරදවරියක වූ මාරි සිට්න් මහත්මිය කියා ඇත්තේ ඉන්දියාවේ සත්‍යජිත් රායි හා ඉතාලියේ විටොරියෝ ඩිසිකා වැනි අධ්‍යක්ෂවරුන් පවා ‘ලංකා ගීතයෙන්’ ආභාස ලැබූ බවට සිතිය හැකි බවයි.
’ලංකා ගීතය’ අද ආපසු බලන විට ඉතාම ඇසෙන නෑසෙන හඩින් සිංහලයකු කියන කුණුහරුපයක් අසන්ට ලැබීම ආස්වාදජනක අත්දැකීමකි. එය ලයනල් වෙන්ඩ්ට්ගෙන් ‘ලංකා ගීතය’ට එක්වූවක් ලෙස සිතන්ට තමා ප්‍රියකරන බව ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් කියයි.

සුනිල් මිහිඳුකුල
සිළුමිණ පුවත්පතට ලියූ ලිපියකි.