20140418

සේකර - මා නැති කලෙක උන් සුවඳක් දැනුනාවේ….

ලක්බිම පුවත්පතට ඒ. ඩී. රංජිත් කුමාර ලියූ ලිපියක්.

Mahagama-sekara

ජෝතිට, මිල්ටන්ට, මල්ලවාරච්චිට, එම්.එස්.ට ගීත ලියන්න බලා සිටි මහගම සේකර


කලා ක්‍ෂේත්‍රයේ විවිධ ප්‍රතිභාවන් ප්‍රකට කළ මහගම සේකරයන්ගේ නම මට මුලින්ම හමුවූයේ මා දොළොස් හැවිරිදි වියේදී (1960 දී පමණ) පාසල් පුස්තකාලයේදීය. කුඩා කළ සිට ‍පොත් කියවීමේ නොතිත් ආසාවෙන් පසු වූ මට පුස්තකාලයේ තිබි අමුතු පිටකවරයකින් යුත් කේ. ජයතිලකගේ “පරාජිතයෝ” නවකතාව අහම්බෙන් නෙත ගැටුණි. නවකතාව කියවීමට ප්‍රථම මගේ සිත ඇදී ගියේ එහි පිටකවරයටය. මහරගම සමන් මුද්‍රණාලයේ මුද්‍රණය කර තිබූ ඒ නවකතාවේ පිටකවරයේ පිටුපස පිටුවේ “පිටකවරය - මහගම සේකර නමින් මුද්‍රණය කොට තිබුණි. එය අඩනිරුවත් ගැහැනියකගේ චිත්‍රයකි. එතෙක් මා දුටු ‍පොත් පිට කවරවලට වඩා නිර්මාණාත්මක චිත්‍රයක් සහිත ඒ ‍පොත කියවීමෙන් පසු මා මහගම සේකරගේ චිත්‍ර සහිත ‍පොත් සෙව්වේ කුහුලෙනි. කටු සහ මල්, නොමළ මල්, අප්‍රසන්න කතාවක්, ව්‍යංගා වැනි කෘතිවල පිටකවර දුටු මගේ සිත චිත්‍ර කලාවට වඩ වඩාත් යොමුවිය. පසු කලෙක ‍පොත් කවර නිර්මාණ ශිල්පියකු විමට අනුප්‍රාණය ලැබුණේ සේකරගෙනි.
මහගම සේකරයන් මා ජීවමානව දැකගැනීමට ලැබුණේ මට අවුරුදු 13ක් පමණ වියේදීය. 1961 වසරේ සිංහල අවුරුදු නිවාඩුව මා ගත කළේ ලොකු අම්මාගේ කොළොන්නාවේ මීතොටමුල්‍ලේ පිහිටි නිවසේය. මේ නිවසට අල්ලපු ගෙදර වූයේ සංගීතඥ සෝමදාස ඇල්විටිගලගේ නිවහනය. මට මේ නිවසින් නිතර අසන්නට ලැබුණේ එස්රාජ් හා වයලීන් වාද්‍ය ඛණ්ඩයි. මම ඒවා රසවිඳීමට පුරුදු වුණෙමි. ලොකු අම්මාගේ වැඩිමහල් දියණිය මොනිකා තලගල මනම්පේරි සමග මා එම නිවසට ගියේ ඇය ඇල්විටිගලයන්ගෙන් වයලීන වාදනය ඉගෙනගත් නිසාය. මොනිකා අක්කා විදුහල්පතිනියක ලෙස සේවය කොට විශ්‍රාමගෙන දැනට තලවතුගොඩ විදුර විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනිය ලෙස සේවය කරයි.
දිනක් මොනිකා අක්කාට ඇල්විටිගලයන්ගෙන් කැඳවීමක් ලැබිණ. ඒ අලුත වේදිකාගත කිරීමට නියමිත නාට්‍යයක සමූහ ගී ගැයීමට එක්වන ලෙසය. එදා එම සමූහ ගායනයට පැමිණ සිටි අය අතර, නන්දා මාලනිය වූවාය. එදින මට මහගම සේකරයන් මුල්වරට දැකගන්නට ලැබිණ. මූදූ පුත්තු නම් ඒ නාට්‍යයේ ගීත රචනා කළේ සේකරයන් බව මගේ ඥාති සොහොයුරිය කීවාය. උත්තුංග දේහධාරී මේ පුද්ගලයා බුෂ් ෂර්ට් එකකින් සැරසී අවුල් වූ කෙහෙරැළි සහිත එහෙත් චාම් සරල මිනිසකු බව මට අවබෝධ විය.
“මූදු පතුල යට ඉඳලා මුතුකැටයක නිදි කරලා”, “එපා පුතුනේ මූදු යන්නට”, “නැගෙනා බැසයන නීල රැළි බැලූ බැල්මට සතුට ගෙන එයි”, “සතර මහ සාගරය පතුලෙන්” යන ගීත පුහුණු කරන විට සේකරයන් මිදුලට පැමිණ දුම්වැටියක් උරමින් ඒ ගීත අසා සිටි අයුරු අදත් මට සිහිපත් කළ හැකිය. මම මගේ වීරයා දෙස බලා සිටියෙමි. ඔහු මා දැක සිනාසුණේය.
“මහත්තයා.... මහත්තයා ඇඳපු ‍පොත්කවර චිත්‍රවලට මම ආසයි. මම ඒවා බලාගෙන ගෙදරදී ඩේ‍රා්වින් ‍පොතේ චිත්‍ර අඳිනවා. “මේ වචන ටික ගළපාගෙන
කීමට බලා සිටියත් එයට අවකාශ නොලැබුණේ කවුදෝ “සේකර” යන ඇමැතුමෙන් ඔහු දුම්වැටිය මිදු‍ලේ ගසක් යටට වීසි කොට ගේ තුළට ගිය නිසාය.
මූදු පුත්තු නාට්‍යය වේදිකා ගත වූ දිනවල මම මොනිකා අක්කාගේ තනියට ගියෙමි. ඒ හැම අවස්ථාවකම සේකර සිටියේ කාර්යබහුලවය.
 










මා “සරසවිය” පුවත්පතට පූර්ණකාලීනව සම්බන්ධ වන්නේ 1969 අග භාගයේදීය. මා නොයෙක් දෙනා හමුවී සම්මුඛ සාකච්ඡා පවත්වා විශේෂාංග ලියා ඇතත් මගේ වීරයා ගැන විශේෂාංගයක් ලිවීමේ දොළ දුකෙන් පසු වුණෙමි. සේකර තමාගේ නවකතාව ඇසුරෙන් “තුන්මංහන්දිය” චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන පුවත කන වැකුණු පසු මට ඔහු හමුවීමට ඇති ආසාව වැඩිවිය. සරසවිය පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ ලක්ෂ්මන් වික්‍රමසිංහට මගේ ආසාව ගැන කීවෙමි.
===============================================================

තුංමංහන්දිය 
මහගම සේකරගේ සන්වේදී භාවය, දයාවී ගුණය, 
පෞරෂත්වය, අව්යාජත්වය පෙන්වන කැඩපතක් බඳුය.

‘මහගමට තිබුනේ පුදුම විදිහේ සන්වේදී මනසක්.
සියුම් හඬක් වුණත් ඔහුගේ හද සසල කලා.
රෝහලකට ගියත් ලෙඩුන්ගේ කෑගැසීම් 
අවධානයෙන් අසා සිටියා.
ඔහු හැම දෙයක් ගැනම අවධානයෙන් පසු වුනා.
අප එතරම් නොසලකන සිදුවීමක් පවා 
ඔහුට යම් කිසි අත්දැකීමක් ලබා දුන්නා’

කුසුමලතා මහගම සේකර මහත්මිය 
සේකරයන්ගේ සන්වේදීතාව හා 
නිරීක්ෂණ ශක්තිය ගැන එසේ පවසයි. 
එයට කදිම උදාහරණයක් තුංමංහන්දියේ ඇත.

“……….තුවක්කුව මාමාට නොගැලපෙන ආයුධයකි. මාමා ආයුධ කිව්වේ මේවාට නොව කඩදාසි මල් කපන නියන් වලටය. මම ඇඳ යටට එබී බැලුවෙමි.මමාගේ ආයුධ පෙට්ටිය ඇඳ යට සුරැකිව තබා ඇත.එහි දූවිලි හා මකුලු දැල් බැඳිලාය.තව දුරටත් මේ ආයුධ වලින් මාමාට වැඩක් වේදැයි මට සිතුණි.ඔහු අලුත් ආයුධයක් තෝරාගෙන ඇත.එහෙත් ඒ ආයුධය ඇත්තේ විසිතුරු කැටයම් කැපීමට නොව වෙඩි තැබීමටය.වත්තට හොරෙක් ආවොත් මාමා ඔහුට වෙඩි තියයි දැයි ඊළඟට මට කල්පනා විය.දවසක් වතුර වීදුරුවකට මැස්සෙක් වැටී සිටියේය.මාමා පරිස්සමින් ඌ සුලැඟිල්ලට ගෙන ඌ දෙස බලා සිටින්නට විය.ටික වේලාවකින් මැස්සා ඉගිලී ගොස් බිත්තියේ වැසුවේය. ඌ ඉගිලී යනහැටි බලා සිටි මාමාගේ මූණේ මද ආලෝකයක් ඇති විය……”
උපුටනය : මහගම සේකර හා ඔහුගේ නිර්මාණ, 
ඌවේ නිර්මාණකරුවන්ගේ එකමුතුව.
===============================================================


“ලකී සේකර තුන්මංහන්දිය ෆිල්ම් කරන්න යනවා. සත්‍යජිත් රේ වගේ සේකරත් හැම රූප රාමුවක් අඳිනවලු. දෙන්නම චිත්‍ර ශිල්පියෝනේ. අපිට හොඳ ෆීචර් එකක් ලියන්න පුළුවන් වේවි.”
ලක්ෂ්මන්ගේ අනුමැතිය ලැබිණ. 1970 මුල් කාර්තුවයි. මම සේකරව පුද්ගලිකව නොහඳුනමි. සරසවියේ සාහිත්‍යයට සම්බන්ධ විශේෂාංග රචනා කළේ චන්ද්‍රසිරි සෙනෙවිරත්නය. ප්‍රකට ‍ලේඛකයකු වූ ඔහු අද දක්ෂ නීතිඥයකු ලෙස මහනුවර උසාවියේ කටයුතු කරයි. එදින හවස චන්ද්‍රසිරි මට මුණගැසුණි.
“සෙනෙවි, මචං. මට උඹෙන් උදව්වක් ඕනෑ. මට සේකරයි, තුන්මංහන්දියයි ගැන ලියන්න ඕනෑ. මම සේකරගේ අඳුනන්නේ නෑ. උඹට පුළුවන්ද සේකර ගම්පහ ගෙදර යන්න එන්න.
“ඕකත් අහන්න ඕනෑ. අදම යමු ගම්පහ. සේකර හවස ගෙදර ඇති.”
චන්ද්‍රසිරි පත්‍ර කලා ලෝයේ හිත හොඳ මිතුරෙකි. අපි එදින සවස ගම්පහ ශ්‍රී බෝධි පාරේ සේකරගේ නිවසට ගියෙමු. එදා රාත්‍රියේ හොඳට හඳ පායා තිබූ හැටි මට අද මෙන් මතකය. චන්ද්‍රසිරි සේකරට මා හඳුන්වා දුන්නේය. වසර 10කට පෙර මා දුටු සේකරගේ වෙනසක් නැත. අව්‍යාජ හිනාව. සරල චාම්කම. ඉහවහා යන මානව දයාව දෝර ගලයි.
“මට සේකර මහත්තයා චිත්‍රපටයට ඇඳපු රූප රාමු ටිකක් ගන්න පුළුවන්ද?”
“ඒ රූප රාමු නේද? හිටින්න අපි තේ කෝප්පයක් බිලා ඉඳිමු. සේකර ගේ තුළට ගියේය. ඔහු පැමිණියේ තුන්මංහන්දියේ තිරනාටකය රැගෙනය.
“ඕකේ බලන්න මම කුරුටුගාපු චිත්‍ර වගයක් ඇති. ඕනෑ නම් තෝරාගන්න.”
තිර නාටකයේ ගැලවුණු පිටු අතරින් සේකර විසින් අඳින ලද අබිලිං මාමාගේ සමීප රූපයක්, කඩදාසි කැටයමක සමීප රූපයක් සහිත රූප රාමු කිහිපයක් ගලවා ගතිමි. මගේ විශේෂාංගයත් ඒ රූප රාමුත් දුටු නියෝජ්‍ය කතුවර ලක්ෂ්මන් එය මැද පිටු දෙකේ විශේෂ තැනක් දී පළ කර දුන්නේය.
සේකරයන් හා මා අතර සමීප සම්බන්ධතාවයකට මුල පිරුණේ ඉන් පසුවය. ඉන් පසු මම සේකරයන් ගැන විශේෂාංග රැසක් ලිව්වෙමි. මේ අතර, මහගම සේකරයන් රජයේ කලායතනයේ (අද සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය) විදුහල්පති ධුරයට පත්විය. මේ නිසා සතියකට වරක් දෙවරක් මම එහි යාමට පුරුද්දකොට ගත්තෙමි. දිනක් මාත් සරසවියේ කැමරා ශිල්පී බන්දු එස්. කොඩිකාරත් වෙනත් වැඩකට යන අතරවාරේ කලායතනයට ගොඩ වැදුණෙමු.
අප යන විට උදෑසන නවයට පමණ ඇත. සේකරයන් ගේ මේසය අසල තිබූ ජනේලයෙන් හිරු රශ්මිය කාමරය පුරා පැතිර ගියේ සතුට දෝර ගලමිනි. සේකරයන්ගේ ඡායාරූප ‍ලේක් හවුස් පුස්තකාලයේ තිබුණේ ස්වල්පයකි. එයද වසර 10කට වඩා පැරණිය.
“සේකර මහත්තයා අද කාමරය හොඳට ආලෝකමත් වෙලා. ගනිමුද පින්තූරයක්. මම ඇසීමි.
සේකරයන් තම අතේ රැඳි සිගරට්ටුවෙන් උගුරු කිහිපයක් ඇද්දේය.
“සතුටු නම් ගම්මු.....” ඔහු තෙපළේය.
“අද හොඳ දවස ගන්න ගන්න. “කලායතනයේ රෙජිස්ට්‍රාර් වූ එස්.ඒ. ප්‍රේමරත්න කීවේය. රතු හැට්ටකාරි නාට්‍යයේ නිෂ්පාදකවරයා
වූ ඔහු පරසතුරෝ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයාද විය.
කැමරා ශිල්පී බන්දු එස්. කොඩිකාර පින්තූරය ගත්තේය. සේකරයන් තම මේසයට බර දී අසල ජනේලයෙන් ඇතුළට එන අව් රශ්මියට මුවාවී සිටියේය. මගේ මතකයට ආවේ ග්‍රීක ප්‍රතිමාවකි. කාල වර්ණ උත්තුංග දේහයකින් යුතු සේකරයන්ගේ උඩුකය දක්ෂ මූර්ති ශිල්පියකු විසින් ඉතා සියුම්ව සංයමයෙන්  නිමවුණු ග්‍රීක ප්‍රතිමාවක් වැනි අපූරු සමීප රූපයක් තම කැමරාවට හසුකර ගත්තේය. මෙහි පළවෙන්නේ ඒ ඡායාරූපයයි.
එදා සේකරයන් වෙනදාට වඩා වෙනස් ආකාරයෙන් මා ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දුන්නේය.
“දැන් මට කිසිම ආසාවක් නැහැ. මං කැමති භාවනා කරන්න. විවිධ ආගම් කතුවරයන්ගේ ‍පොත් කියවන්න. නිසොල්මනේ විවේකීව කුරුල්ලන්ගේ හඬ අහන්න. ගලන දොළේ ශබ්ද තරංග අහන්න.”
තමාට ගීත රචනා කිරීමට නොහැකි වූ ගායකයන් හතරදෙනෙක් ගැන සේකරයන් කතා කළේ දොම්නසිනි.
“එච්.ආර්. ජෝතිපාල, ජේ.ඒ.මිල්ටන් පෙරේරා, මිල්ටන් මල්ලවාරච්චි, එම්.එස්. ප්‍රනාන්දුට ගීත ලීවීමට මම ලොකු ආසාවකින් ඉන්නේ. මේ හතරදෙනා අසමාන දක්ෂතා ඇති ගායකයෝ. මේ දක්ෂ ගායකයින්ට හොඳ ගීත ලියා දී හොඳ සංගීත නිර්මාණ සපයා දී ඔවුන්ගේ ගීත උසස් තලයකට ගෙන යාමට මට ලොකු ආසාවක් තියෙනවා. මිල්ටන් පෙරේරා මා රචනා කළ “සිරි සාර බුලත්විට කාලාබලන්” චිත්‍රපට ගීතය ගයා ඇතත්, ඊට වඩා පුළුල් පරාසයක ගීත රචනා දෙන්න මම කැමැතියි.
සේකරයන් සංවේදී ස්වරයෙන් එදා කතා කළේය. මේ වන විට “ප්‍රබුද්ධ” කාව්‍ය සංග්‍රහය මුද්‍රණයෙන් පිටවී නොතිබිණ. තමා ලියූ ඒ ‍පොතේ අත්පිටපත ගෙන අපට කවියක් දෙකක් කීවේය.
මේ කවි ‍පොත මම චිත්‍රපට ගත කරන්න හිතන් ඉන්නේ. ඔහු සිනාසෙමින් කීවේය.
“මා මළ පසු සොහොන් කොතේ දුක් ගීයක් ලියනු මැනව” ගීතය ලිවීමට හිතුණේ ඇයි දැයි අප ඇසූ පැනයට ඔහු මෙසේ පිළිතුරු දුන්නේය.
තුන්මංහන්දිය චිත්‍රපටය බලලා මට හුඟදෙනෙක් සතුට පළකරලා අගය කරලා ලිපි එවලා තිබුණා. මේ ලිපි නන්නාඳුනන අයගේ. මේ ලිපි කියවලා මම හිතුවා මගේ කවි, ගීත අහලා අගය කරන කී දෙනෙක් නං ලංකාවේ කොහේහරි ඉන්නවා නේද කියලා. ඒ ගැන හිතලා මම මේ කවිය ලිව්වා. දවසක් සිරිල් වික්‍රමගේ මේක කවිය අහම්බෙන් වගේ දැක්කා. සිරිල් මේ අතට අරන් සේකර මට මේක මගේ චිත්‍රපටයට අපූරුවට ගැළපෙනවා. කියලා අතට ගත්තා.
සිරිල් වික්‍රමගේ මේ ගේය පද රචනය සෝමදාස ඇල්විටිගල ලවා තනුව නිර්මාණය කොට අමරදේවයන් ලවා ගායනාකොට සිහින ලොවක් චිත්‍රපටයට ඇතුළත් කළේය.
මහගම සේකරයන් සමග මා කළ පිළිසඳරේ කොටස් කිහිපයකි මේ. “සතුටු සාමිචිය” නම් සතිපතා මා ලියූ විශේෂාංගය යටතේ 1975 ඔක්තෝබර් 17 වැනිදා සරසවිය පුවත්පතේ මේ ලිපිය පළ විය. ලිපිය පළ වී මාස තුනක් යන්නට මත්තෙන් ඔහු මියගියේය.
අර පින්තූරයට මම කැමැතිය. කරදරයක් නැත්තන් මට කොපියක් දෙන්න. හැමෝම කිව්වා අර ලිපිය බලලා සේකර ළඟදී මහණ වෙනවද කියලා. ලිපිය පළ වී ටික දිනකින් ගුවන් විදුලියේ කැන්ටිමේදී හමුවී ඔහු කීවේය.
සේකරයන් කොතරම් ශ්‍රේෂ්ඨ නිර්මාණ කළත් තද ලැජ්ජාකාරයෙකි. ඔහු කවි, ගීත, නවකතා පරිවර්තන ලියා තිබුණත් කෙටිකතා ලියා නොතිබුණි. දිනක් දයානන්ද ගුණවර්ධනගේ ගජමන් පුවත නාට්‍ය පුහුණුවන සුදර්ශියේ හමු වූ සේකරයන් මට මෙසේ කීවේය.
“මම බඩුවක් ලිව්වා. ගෙදර ගිහින් බලලා හොඳ නම් නවයුගය පත්‍රයේ පළ කරන්න. රංජිත්ම මේකට චිත්‍රයක් අඳින්න. ඔහු ලජ්ජාවෙන් කීවේය.
මම ගෙදර ගොස් කුතුහලයෙන් යුතුව ඔහු ලියූ කෙටි කතාව කියවීමි.
එය සේකරයන් කියූ ලෙස ඔහුගේ ප්‍රථම කෙටිකතාවය. පීතර නම් ඒ කෙටිකතාව නව යුගය කර්තෘ විමලසිරි පෙරේරා මහතාට දුනිමි.
“ෂා” සේකර කෙටිකතාවක් ලියලා. නැගලා යනවා. අපි මේක සිළුමිණේ එනවුන්ස් කරමු. ලබන සතියේ සේකරගේ පීතර නම් කෙටිකතාව නව යුගයේ පළවෙනවා කියලා. විමලසිරි මහතා අපට කීවේය.
“පීතර” නම් කෙටිකතාව නව යුගයේ පළවූයේ මගේ චිත්‍රයක් සමගය. පුංචි කාලයේ මගේ වීරයා වූ මහගම සේකරයන් අනුගමනය කොට චිත්‍ර අඳින ලද මා ඔහුගේ කෙටිකතාවට චිත්‍රයක් ඇඳීම මට රටක් රාජ්ජයක් ලැබිමක් වැනිය. අනෙක ඔහු උපන්නේ අප්‍රේල් 7 වැනිදාවකය. මා උපන්නේ ඔහු ඉපදී වසර 18 පසු අප්‍රේල් 7 වැනිදාවකය.
Mahagama-sekaraසේකරයන් මියගිය පසු සතියේ මේ පින්තූරය සරසවිය මුල් පිටුවේ පළවිය.
එදා සරසවිය එක් ලක්ෂ පහළොස්දාහක පමණ අළෙවියක් තිබිණ.
ඒ.ඩි.රංජිත් කුමාර

===========================================================

ඔහු නික්ම ගොස් තිබිණි….

……….ඒ 1976 ජනවාරි 14 දාය. සිය සේවා ස්ථානයට රැකියාව පිණිස පැමිණි සේකර ඒ කටයුතු නිමවා පසුදාට නියමිතව තිබූ තවත් කාර්යයක් සදහා අදාල පිරිස් මුන ගැසීමට ගියේය. පසුදාට සේකර ලියූ, අමරදේවයන් ගැයූ ‘රත්නදීප’ ගීතය පදනම් කරගත් යසෝගතය නම් කෙටි චිත්රපටයක රූගත කිරීම් අරඹන්නට නියමිතව තිබිණි.එකී වර්ණ චිත්රපටය ඇරඹෙන්නට තිබුනේ අමරදේවයන් සහ මහගම සේකර පෙනී සිටින රූපරාමුවකිනි. සේකර, අමරදේවයන්ද, චිත්රපට නිර්මාපකයන්ද හමුවී පසුදා එනම් ජනවාරි 15 දා ගම්පහ සිට දුම්රියෙන් කොටුව දුම්රිය පලට එන්නට කතිකා කර ගත්තේය.
අනතුරුව ඔහු ගියේ ෙබෟද්ධ විශ්වකෝෂ කාර්යාලයටයි. ‘ප්රබුද්ධ’ කාව්යයේ පෙරවදන ලියනු සදහා මහාචාර්ය ජෝතිය ධීරසේකර මහතාට භාර දෙන ලද්දේ ඒ තීරණාත්මක දිනයේදීය.
‘ප්රබුද්ධ’ කෘතියේ පාදක සටහන් කිහිපයක් සැකසීමට ‘තිබ්බතීය මලපොත’ සහ ‘ධම්ම පදට්ට කතා’ කෘතිය බන්ධුල ජයවර්දන මහතාගෙන් ඉල්ලා ගත්තේද එවෙලේය.
එහෙත් පුදුමයකට සේකර රැගෙනගියේ තිබ්බතීය මළ පොත පමණි.
මහගම සේකරගේ ප්රිය බිරිඳගේ දුක්බර මතකය මෙබඳුය.
“ආචාර්ය උපාධි නිබන්ධනයේ චේදයක් ලියමින් සිටි මහගම පසුදා කොලඹ යනවිට ඇදීමට කලු හා සුදු කොටු වැටුනු කමිසය මැද තබන්නැයි මට කීවා. ඔහුගේ ප්රියතම කමිසය වූ එය තිස්ස කාරියවසම් මහතාගෙන් ලැබුනු තිලිණයක්.
මා කමිසය මදින්නට ලක ලෑස්ති වනවිට සේකර අමුතු හඬකින් කතා කලා.
“මගේ බඩ දැවිල්ලයි..පෙත්තක් දෙන්න..”
ඔහු කාමරයට ගොස් ඇදෙහි වැතිර සිටියා. දිව යටින් තැබූ පෙත්ත නොරැදී බිම වැටුනා. පපුවෙන් අමුතු හඬක්ද නැගෙන්නට උනා. අසල් වැසියන් ගිලන් රියක් ගෙනෙන්නට දිව ගියා.වේලාව රාත්රී නමයයි හතලිස්පහයි. ඇඳ මත වැතිර හුන් සේකර දෑස් පියා ගත්තා…..
ලියන්නට පටන්ගත් පිටුවේ ‘රිද්මය’ පිලිබද සටහනක්ද අසම්පූර්නව තිබූ අතර පෑන පසෙකින් වැටී තිබුනා.

හිම ගිරිකුලු ඉහල නැගී වලා සිඹින
අහස පොලව දෙක මුසුවන
නිල් මිටියාවත මැද්දෙන්
සුදු මීදුම් පීරාගෙන
සුදු පියාපත් සලමින්
නැඟ බැස පාවී යන
සිහින මුවා අසුපිට නැඟ
සාර කතර බිම් සනහන
‘මරණී’ නම් කෙම් බිම වෙත…

ඔහු නික්ම ගොස් තිබිනි….
(රත්න ශ්රී විජේසින්හයන්ගේ ‘මහගම සේකර චරිතාපදානය’ ඇසුරෙන් සකස් කරන ලදී)
උපුටනය : මහගම සේකර හා ඔහුගේ නිර්මාණ, ඌවේ නිර්මාණකරුවන්ගේ එකමුතුව.


No comments:

Post a Comment