20160724

ටෝල්ස්ටෝයිගේ - බාල් නැටුමෙන් පසු

නාරම්මල දම්පැලැස්ස ප්‍රදේශයේදී 
පොලිස් වෙඩි පහරකින් 
41 හැවිරිදි තිදරු පියෙකු මිය ගියා.

නාරම්මල වෙඩි තැබීමෙන් පසු
ෆේස්බුක් වැසියෙක් කිව්වා
"මම නම් ජීවිතේට
පොලිස්කාරයෙකුගෙ දුවෙක්
බඳින්නෙ නෑ" කියලා.

ඒ අවස්ථාවට අනුව..
දක්ෂ කෙටිකතා කරුවෙකුට
ඔහුගෙ හැඟීම ප්‍රබල තේමාවක්.
එවන් පිළිකුළක් මුලු රටේම
දකින්න ලැබුණ බව අපි දුටුවා.

අපේ ආරක්ෂාවට ඉන්න
යම් නිලධාරියෙක් විසින්ම
අපේ ආරක්ෂාව බින්දාම ඇතිවෙන
අනාරක්ෂිත ස්වභාවය නිසා
ඒ පිළිකුළ ඇති වෙනවා.

"මම නම් ජීවිතේට
පොලිස්කාරයෙකුගෙ දුවෙක්
බඳින්නෙ නෑ"
මේ හැඟීම ඒ අයුරින්ම
සියවසකට පමණ පෙර
ලියෝ ටොල්ස්ටෝයි විසින්
කෙටි කතාවකට නැගුවා.

ටෝල්ස්ටෝයි මේ අත්දැකීම
ඉතාම අපූරුවට, ඉතා සියුම් විදියට
ඉතාම නිර්මාණ ශීලීව
ප්‍රති නිර්මාණය කරනවා...
"බාල් නැටුමෙන් පසු..." නමින්.

ඒ කතාවෙ ප්‍රධාන චරිතයත්
අර ෆේස් බුක් වැසියා වගේම
මානසිකව වෙනස් වෙනවා.
ඔහුගෙ හිත ඇළුණ අරමුණ
ඒ පිළිකුළත් සමග අත්හරින්න
ඔහු ඉන් පෙළඹෙනවා.

මේ පරිවර්තනය
පද්ම හර්ෂ කුරණගේ.
මේ කතාව උපුටා ගත්තේ
"රුසියන් කෙටිකතා : 
සම්භාව්‍ය රුසියානු සාහිත්‍යය" නම් පොතෙන්. .
#athulasiriwardhane




















ලස්සණ මරණ දැන්වීමක්....


කවුදෝ දොරට ගසන ශබ්දයක් ඇසී වහාම විදුලි පහන දල්වා බිමට පැන
එහි වූ සරම ඇහිද ගෙන ඇගට දා ගත් මම..

"කවුද..?" කියා ඇසීය.

"මං සෑර්.."

"මං කියන්නේ කවුද..! හමුදාවෙන්ද? පොලිසියෙන්ද..? පාතාලෙන්ද..? ඉන්කම් ටැක්ස් එකෙන්ද..? නැත්නම් සුදු වෑන් වලින්ද..?"

"ඒ එකකින්වත් නෙවෙයි සෑර්.. මං මේ පීටර්. වටලප්පන් නෝනාගේ පණිවිඩේකට."

"මේ රෑ දොළහට වටලප්පන් නෝනාට මොකෝ මං ඕනෑ වුනේ..? යකෙක්වත් ගැහුවද..?"

"නෑ සෑර්.. නෝනා කිව්වා විගහට මහත්තයාව අඩගහගෙන එන්න කියලා.."

"ඒ මොකටද..?"

"ඒ නෝනාගේ මහත්තයා දැන් මැරුණා.."

"අහ්.. හොද මහත්තයා! කොහෙද මැරුණේ..?"

"ගෙදර.. සෙනග පිරෙන්න ඉස්සර මහත්තයාව එක්ක එන්න කියලයි මාව එවුවේ.."

"ඉතින් මගෙන් ඇති වැඩේ.."

"ගියාම නෝනා කියයි.."

"අනුමානයක් නෑ. හොරට අන්තිම කැමති පත්‍රය ලියවාගෙන අත්සන ගහන්න වෙන්න පුළුවන්.. කාටත් හොරෙන්.." යැයි මටම කියාගත් මම එහි ගියෙමි. එය පයින් විනාඩි දහයක ගමනකි.

පීටර් සමග මා ගෙට ඇතුළු වූ විට ඈ මිය ගිය සැමියාගේ ඇද ළග තනියම සිටියාය. පීටර් කුස්සියට යැවූ ඈ මට ඒ අසලින්ම වාඩි වීමට ඉඩ සැලස්වූවාය. එවිටම අසල කාමරයක සිට ඇගේ ලොකු මහත් වූ දියණියද අප අසලට අවුත් වාඩි වූවාය.

"කරදර කරාට සමාවෙන්න.. මහත්තයාගේ පණ ගිය හැටියෙමයි මහත්තයාට පණිවිඩේ එවුවේ. අපිට පිහිට වෙන්න කවුරුවත් නෑ වෙන..!"

"මරණේ දැනුම දෙන්නද රෙජිස්ටාර්ට..?"

"නෑ.."

"මිනී සාප්පුවට.."

"නෑ.."

"මුදල් ප්‍රශ්නයක්..?"

"නෑ.."

"අන්තිම කැමති පත්තරේ..?"

"නෑ.."

"එහෙනම්..?"

"අපිට පත්තරේටයි රේඩියෝ එකටයි දාන්න මරණ දැන්වීමක් ලියාගන්න.."

"මේ රෑ..!! මෙච්චර හදිසියෙන්..? වෙන වැඩ ඔක්කොම තිබෙද්දී..?" මම පුදුම වී ඇසීමි..

"මේක පිට කවුරුවත් රැස් වෙන්න ඉස්සර හොරෙන් කෙරෙන්න ඕන දෙයක්. හොද සිහි බුද්ධියෙන්, හිතට දුක එන්න ඉස්සර, අඩන්න ඉස්සර!! " ඈ මගෙන් ඉල්ලා සිටියාය.

"ඉතින් මේක ගෙදර අයටම ලියන්න තිබුනනේ, අහවලාගේ අහවලා අහවල් දවසේ මළා කියලා.."

"ඇත්ත මහත්තයෝ..!! ඒ වුනාට නියම නම් ගම් ඒ විදියටම ලිව්වොත් අපේ තත්වෙට හරි නෑ.. ඒකයි මහත්තයා ගෙන්නා ගත්තේ. නම් ගම් අකුරු ලස්සනට ගලපලා ලියවා ගන්න..!" කියා ඈ පෑනක් හා කඩදාසියක් මට සපයා දුන්නාය.

"හරි.. කියන්න. මං ලියන්නම්.."

"දැන් මැරිච්ච මහත්තයාගේ නම උඩගෙදර ඩිංගා. ඒ දවස් වල කරත්තේ දැක්කුවේ. කසිප්පු බිස්නස් ඒකෙන හම්බකරාට පස්සේ තමා පොහොසත් වුනේ..! ඉතින් නම ටිකක් වෙනස් කරලා..."

"හරි.. මං දාන්නම් ඩිංගිරි බණ්ඩා, උඩගෙදර කියලා..! සත් ගුණවත්, සමාජ සේවක වූ ප්‍රසිද්ධ ප්‍රවාහන නියෝජිත.. සහ මොනවද., කසිප්පු නේද නිෂ්පාදනය කරේ..?"

"ඔව්.."

"ඒක බෙහෙතක්නේ? මං ලියන්නම් වෛද්‍යයාචාර්ය කියලා.."

"එතකොට මං ඇසිලියා.."

"උපන් ගම..?"

"මඩගාලේ රේල් ගේට්ටුව ළග.."

"මං ලියන්නම් වාසල මුදලිගේ ඇසිලින් මඩපාත මහත්මියගේ ආදරණීය ස්වාමි පුරුෂයා වූද.."

"මහත්තයෝ.. මේ මගේ තුන් වෙනි මිනිහා.."

"ඒක ලියන්න ඕනේ නෑ.. ළමයි..?"

"ඕක තමා මහත්තයෝ හැබෑ ප්‍රශ්නේ.. ළමයි එකොළහක් ඉන්නවා. හැබැයි මේ මිනිහාගේ කියලා කියන්න බෑ ඔක්කොම.. ඔය බාල එවුන් ටික ගැන මේ මිනිහා හැමදාම රණ්ඩු කළා.."

"කාගේ වුනත් කමක් නෑ.. මෙයාගේ ළමයි කියලා දාමු.. මැරිච්ච මිනිහා මගේ නෙමෙයි කියලා කෑගහයි කියලයෑ.."

"හොදයි මහත්තයෝ.. ලොකුම පුතා ජෙමා.. දැන් හිරේ පස අවුරුද්දකට.."

"මං ලියන්නම් ජයම්පත්- බන්ධනාගාර දෙපාර්තමේන්තුව.."

"දෙවැනි එකී මාළු ලෑල්ලක් දාගෙන ඉන්නවා මෝදර වැල්ලේ.. නම යසෝ.."

"යස්මින් - ධීවර දෙපාර්තමේන්තුව.. ඔව්, ඊළගට..?"

"තුන්වැනි එකා ඇන්ඩා.. ඌ ගැට කපනවා.."

"ඇන්දෘ - දේශීය ආදායම් දෙපාර්තමේන්තුව.."

"හතරවැනියා උස්වැටකෙයියාව වැල්ලේ.. ඔය පෙම් ජෝඩු බය කරලා චේන්, ඔරලෝසු , සල්ලි ගන්නවා. උගේ නම විලි.."

"විල්සන් - යු.කේ.."

"පස්වැනි එකී නන්නත්තාරේ යනවා.. එපා කිව්වට අහන්නෙම නෑ..! නම සොපි.."

"සොෆායා - සංචාරක මණ්ඩලය.. ඔව්. ඊළග.."

"හයවැනි එකී සල්ලි පොලියට දෙනවා. නම් ජොසි.."

"ජොසෆින් - උකස්‌ හා ආයෝජන බැංකුව.. ඊළග.."

"හත්වැනි එකා ඩගියා.. ඌ කොළ තුනේ සූදුව තමා උගේ වැඩේ.."

"ඩග්ලස් - ජාතික ලොතරැයි මණ්ඩලය.."

"අටවැනි එකා කුඩු විකුනනවා.. උගේ නම ජුවා.."

"ජයවන්ත - රාජ්‍ය ඖෂධ සංස්ථාව.."

"නවවැනියා සයිමා .. ඌ නිධන් හාරනවා.."

"සයිමන් - පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව.."

"දහවැනි එකී ගෙදර.. මේ ඉන්නේ.. නම මැගී.."

"මාග්‍රට් - ගෘහකර්මාන්ත දෙපාර්තමේන්තුව.."

"එකලොස් වැනි එකා පිනා.. හොර සම්මාදමේ යනවා.."

"පුණ්‍යවන්ත - මුදල් අමාත්‍යාංශය.."

"ඔය තියෙන්නේ මරණ දැන්වීම නියමෙට ලියලා.." ඈ මරණය අමතක කර සතුටින් සතුටට පත්වූවාය.

"දැන් මහත්තයෝ ඔය විදියට ලියලා පත්තරේටයි, රේඩියෝ එකටයි යවන්න.. දැන් වැඩේ හරි.. බය නැතුව අඩන්න පුළුවන්.." යැයි මට පැවසු ඈ මොහොතකින් ..

"අනේ මගේ රත්තරන් නැතෝ..! අනේ මාරයා මාවත් අරන් පලෝ..!"

කියමින් ඇය මහා හඩ දී හඩන්නට පටන් ගත් කල අසල්වැසියෝ කඩාගෙන, බිදගෙන මරණ ගෙදරට රැස් වන්නට වූහ. මම හීං සීරුවේ ආපසු ගෙදර ආවෙමි.."

______________________________________________________
චන්ද්‍ර අනගිරත්නයන්ගේ මුල් කෘතිය සංස්කරණයන්ට බඳුන් වී ඇති බව සිතිය හැකිය.

නරලොව හොල්මන්


දශක තුනකට අධික කාලයක් තුළ චන්ද්‍ර අනගිරත්න විසින් විවිධ පුවත්පත්වලට සපයන ලද හාස්‍ය හා උපහාස රසයෙන් පිරි ලිපිවලින් කොටසක් රැගත් "නරලොව හොල්මන් 2" පොතක් වශයෙන් මෙසේ එළිදකිනු ලබන්නේ උසස් භාෂා විලාශයෙන් ද සරල සුගම හාස්‍ය රචනා ශෛලියෙන් ද පැහැදිලි සන්දර්භයෙන් ද ගැඹුරු දර්ශනයෙන් ද යුත් හාස්‍ය හා උපහාස රසය රැගත් කෘතීන් සිංහල සාහිත්‍ය වංශයේ නූතන යුගයේ විරල බැවින් එම අඩුව සපුරාලීම සඳහාය.

පේරාදෙණිය සරසවියේ සමාජ විද්‍යාව පිළිබඳව ගෞරව උපාධියක් ලබා සිටින චන්ද්‍ර අනගිරත්න සංකීර්ණ සමාජය හා කාලීන සමාජ, සංස්කෘතික, ආර්ථික හා දේශපාලන සිදුවීම් පිළිබඳ සිය පුළුල් දැනුම මෙහි එන සෑම ලිපියකින්ම පිළිබිඹු කර දක්වයි.
(less)
Paperback, 310 pages
Published October 30th 2013
by Dayawansa Jayakodi & Company (first published August 1st 1965)
ISBN139789556862133


20160208

හෙළ සිනමාවේ පුණ්‍යවන්තිය



පුණ්‍යා හීන්දෙනියගේ අත්දැකීම්
 ඒ. ඩී. රන්ජිත් කුමාර




‘ජනතා’ කර්තෘ මණ්ඩලයේ සේවයේ නියුතු විජය රාමනායක පසු කාලීනව මෙරට කැසට් ව්‍යාපාරයේ ජය‍ කෙහෙළි නැංවූ අතර චිත්‍රපට නිෂ්පාදනයට යොමු විය. දිනක් අප හිතවත් මිත්‍රයා මා අමතා මෙසේ කීවේය.
“මම ලෙස්ටර් මහත්තයා එක්ක චිත්‍රපට නිෂ්පාදනය කරන්න ආසයි. එහෙත් මම හඳුනන්නේ නැහැ. උඹ මාව හඳුන්වල දෙනව ද?”
මම විජය කැටුව ලෙස්ටර් මහතාගේ නිවසට ගියෙමි.
විජය හඳුන්වා දීමෙන් පසු ලෙස්ටර් මහතා අපූරු යෝජනාවක් ගෙනාවේය.


ගම්පෙරළියට වසර 20 යි
“මම ගම්පෙරළිය හදලා දැන් වසර 20 ක් ගතවෙන්න ළඟයි. කැමති ද? විජය ගම්පෙරළියේ දෙවන කොටස ‘කලියුගය’ කරන්න.”
“හොඳ අදහස මිස්ටර් පීරිස්, අපි දැම්ම ප්ලෑන් කළොත් වසර 20 පිරෙන දවස් ළංකරලා ‘කලියුගය’ පෙන්වන්නත් පුළුවන්... නේද විජේ” මම විජය රාමනායකට කීවෙමි.
“ඔව් මම කැමැතියි”
“මිස්ටර් පීරිස් ගම්පෙරළියේ හිටපු නන්දා, පියල්, තිස්ස දැන් මැදි වියේනෙ. ඒ අය ගත්තොත් චිත්‍රපටයේ අගය වැඩි වේවි.” මම කීවෙමි.
“අපි ඒ ගැන හිතල තිබුණේ...” සුමිත්‍රා පීරිස් මහත්මිය කීවාය.
“විජය කැමති නැද්ද පුණ්‍යාව පිටරට ඉඳලා ගෙන්වන්න. එයා ඉන්නේ සැම්බියාවේ. මිස්ටර් පීරිස් කිව්වොත් ඩොක්ටර් නානායක්කාරත් කැමැති වේවි.” ඇය කීවාය.
“මිසිස් පීරිස්, මම පුණ්‍යට කැමතියි. ඉස්කෝලෙ යන කාලෙ මගේ ප්‍රියතම නිළිය. ඩොක්ටර් මිල්රෝයි නානායක්කාරත්, මමත් ගාල්ලෙනේ.” විජය කීවේය.
පුණ්‍යා නැවත ශ්‍රී ලංකාවට ගෙන්වාගෙන ‘කලියු‍ගයේ’ රඟපෑමට යොදා ගැනීමට ලෙස්ටර් - සුමිත්‍රා යුවළට විජයත් මාත් සම්මාදම් වීම මට දැනෙන්නේ වාසනාවක් ලෙසය.
විජයත් මාත් එතැන් සිට නිෂ්පාදනය සැලසුම් කළෙමු.
පුණ්‍යා ලෙස්ටර් මහතාගේ ඇරියුම ඉහළින්ම පිළිගත්තාය.
එතැන් සිට පුණ්‍යා ලංකාවට පැමිණි පසු ඇයත් ඇගේ සැමියා වෛද්‍ය නානායක්කාර අපේ සමීප හිතවත්තු වූහ.
පුණ්‍යා නන්දා ලෙස රඟපෑ ‘ගම්පෙරළිය’ තිරගත වූයේ 1963 වසරේය. වසර 20 කට පසු එනම් 1983 මාර්තු 04 වැනිදා ‘කලියුගය’ තිරගත විය. 


මෙහි පුණ්‍යා නන්දා ලෙස ද, හෙන්රි පියල් ලෙස ද, ට්‍රිලිෂියා අනුලා ලෙස ද, වික්‍රම බෝගොඩ තිස්ස ලෙස ද රඟපෑ අතර එදා බලදේව ලෙස රඟපෑ ටෝනි රඟපෑවේ වෛද්‍යවරයකුගේ චරිතයකි.
කලියුගයෙන් පසු විදේශගත වූ පුණ්‍යා දැන් පදිංචිව සිටින්නේ එක්සත් රාජධානියේය.


මිහිරිගම මිහිරාවිය
එදා පුවත්පත් පුණ්‍යා හීන්දෙණිය හැඳින්වූයේ ‘මිහිරිගම මිහිරාවිය’ නමිනි. ඇය මීරිගම උපත ලැබුවා මෙන්ම සිනමාවෙන් උපත ලැබුවේ ‘දෙයියන්ගේ රටේ’ චිත්‍රපටයෙනි. පසුගිය දා අපට යළිත් හමු වූයේ සිග්නීස් සම්මාන උලෙළට සහභාගි වීමට පැමිණි අවස්ථාවේ මඳ විවේකයකදීය.
“මගේ විස්තර මම ම කියලා ඇති නේද? මගේ මල්ලී අමර තරම් මා ගැන දන්න කෙනෙක් තවත් නෑ. එයා දැන් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. මගේ කලා ජීවිතයට වැඩියෙන්ම බලපෑවේ ලොකු අයියා - වීරවර්ධන. එයාට පුළුවන් හොඳට සින්දු කියන්න. ඒවා අපි ආසාවෙන් අහගෙන ඉන්නවා. අමර මල්ලී, අයියාටත් වැඩිය සංගීතයට කැමැතියි. වීරවර්ධන අයියා සංගීතය ඉගෙන උපාධියත් ගත්තා. 


මීට වසර තුනකට පමණ පෙර මම ලංකාවට ආවාම අයියා හම්බ වුණා. මේ පාර එනකොට අයියා මියගිහින්. අවමඟුලට මට එන්නට නොලැබීම ගැන මම තවමත් කනගාටු වෙනවා.

අපි ලොකු ධනවත්තු නෙවෙයි. අපිට ඉඩකඩම් කුඹුරු තිබුණා. තාත්තාගෙ නම එම්. ඒ. හීන්දෙණිය. ගමත් මිරිගමමයි. අම්මා ඩී. එල්. කහවිට. ගම පාණදුරේ. මීරිගම සාශෝධන පිරිවෙනට යාබද ඉඩමේ අපි හිටියෙ. ඒ පන්සලේ වැඩ විසූ මෑත දී අපවත් වූ මේධාලංකාර නාහිමියෝ තාත්තාගේ නෑයෙක්. බෞද්ධ පරිසරයක අපි හැදුණෙ වැඩුණෙ. ගෙදර දොර අරින කොට පෙනෙන්නේ ශාන්ත බුදු පිළිමයක්.
අපේ පවුලේ හත් දෙනයි. ලොකු අක්කා දයා මිය ගිහින්. ශීලා අක්කාගේ පදිංචිය මහරගම. තුන්වැනි අක්කා රම්‍යාත් මිය ගිහින්. ඇය ‘කුරුලු බැද්දේ’ මගේ අම්මට රඟපෑවා. ඇය කලා විචාරක පුෂ්කර වන්නිආරච්චිගේ හා ප්‍රවීණ රූපවාහිනී වෙළෙඳ දැන්වීම් අධ්‍යක්ෂ සමීර වන්නිආරච්චිගේ මවයි. සංගීත ගුරුවරයකු වූ වීරවර්ධන අයියා ළඟදි මිය ගියේ. අමර මල්ලි ඕස්ට්‍රේලියාවේ. පුංචි මල්ලි කරුණා ඉංජිනේරුවෙක් විදිහට කටයුතු කරනවා” පුණ්‍යා කීවේ තම සහෝදරයාගේ වියෝවීමේ සංවේගයත් හදවතේ දරාගෙනය.
පුණ්‍යා මුලින්ම අධ්‍යාපනය ලබා ඇත්තේ අද මීරිගම ඩඩ්ලි සේනානායක විද්‍යාලය නමින් හැඳින්වෙන එදා මිරිගම ප්‍රථමික විද්‍යාලයෙනි. එදා විදුහල්පතිව සිටි කේ. ඒ. පඤ්ඤාරත්න මහත්තයා තමයි ඇය කලාවට යොමු කළේ. තාත්තා කලාව ප්‍රිය කළත් අම්මා කලාවට මාව යොමු කරන්න බය වුණා.
පුණ්‍යාගේ දකුණු පස ඇගේ පියාණන්. වම්පස අමරදේවයන් සහ පී.කේ.ඩී. සෙනෙවිරත්න
මම පුංචි කාලයේ ඉඳලම කවි, සින්දු, වන්නම්, කියන්න කැමැතියි. මෙයට හේතුව ගෙදර තිබුණ ග්රැමෆෝනය. තාත්තා කොළඹ ගිහිල්ලා ගෙනාවේ බෞද්ධ ගීත ඇතුළත් ග්රැමෆෝන් තැටි. තාත්තා දෙවැනි මල්ලිව නැළෙව්වේ මේ ගීතය ගයලා.
“තෙරුවන් සරණ නමදිමු
හැම දා මගේ පුංචි පුතේ
පින මගේ පස්කම් දුරලා
තෙරුවන් සරණ නමදිමු”
පුණ්‍යා පාසලේ දී නැටුම් ඉගෙනීමට ලැබුණේ විශිෂ්ට නර්තන ශිල්පියකු වූ පණීභාරත මහතාගෙනි. එතුමා නිෂ්පාදනය කළ “දිට්ඨ මංගලිකා” මුද්‍රා නාට්‍යයේ ප්‍රධාන චරිතයට තෝරා ගත්තේ පුණ්‍යාවය. නර්තනය මෙන් ම ගායනය ඉගෙනීමට ආසා කළ ඇය සංගීතඥ එඩ්වින් සමරදිවාකර මහතාගේ ශිෂ්‍ය ඇස්. ඩී. ඩේවිඩ් අප්පුහාමි (පසුව භාරතයේ ග්වාලියර් සංගීත විශ්වවිද්‍යාලයේ උප කුලපති) ගුරුතුමාගෙන් ඇය ගායනය ඉගෙන ගෙන ඇත. කලාවට මෙන්ම ක්‍රීඩාවටත් ද පුණ්‍යා දස්කම් පෑවාය. ඇය නෙට්බෝල් කණ්ඩායමේ නායකාව ද ඉසිලුවාය.
පුණ්‍යා ගැන අපූරු තොරතුරු අපට කීවේ අමර මල්ලීය.

පුණ්‍යාගේකලා ජීවිතයට අනුබල දුන් මල්ලී - අමර


දඟකාර දැරිය
“පවුලේ බාල මල්ලිලා ඇය ඇමතුවේ ‘චූටි අක්කා’ කියලා චූටි අක්කා ඉපදුණ දා ඇගේ මුහුණ දෙස බැලූ පමණින් ඇයට “පුණ්‍යා” යන නම මවුපියන් තබන්නට ඇත්තේ පුණ්‍යවන්තියක නිසා යයි මට සිතෙනවා. මුළු පවුලේම ‘විශේෂත්වය’ ඇයම තමා. අප කුඩා කල ජීවත් වූ මීරිගම මහගෙදර ඉදිරිපිට තාප්පයකින් වෙන් වී තිබුණේ ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහානායක ස්වාමීන් වහන්සේ වැඩ විසූ පිරිවෙනයි. චූටි අක්කා බාල කාලයේ දී දිනපතා හවස අම්මා සමඟ පන්සලේ මල් පූජාවට ගියා. වෙසක් පොසොන් වැනි විශේෂ පොහෝ දිනවල දස සිල් සමාදන් වුණා.”
අමර කියන හැටියට පුණ්‍යා දඟකාර දැරියක වශයෙන් බොහෝ විට සෙල්ලම් කළේ අමරත්, කරුණාත් සමඟයි. ඔවුන් මහගෙදර පොල් අතු සෙල්ලම් ගෙයක් තනා පාසලක් පැවැත්වූ අතර ඇය අම්මාගේ සාරියක් පටලවා ගුරුවරියක වී ඇත.
“ගොයම් නෙළන කාලයට මට තැවරුණු නියර දිගේ පාවහන් නොමැතිව ඇය ඇඹුල ගෙන ගියා. ඇය අඩිය ඔසවන විට එම තැවරුණ අඩි සලකුණ තුළ, මා හරියටම වම දකුණ නොවරදවා අඩිය තබමින් අනෙකුත් දේ රැගෙන පසුපසින් ගිය හැටි අද වගේ මතකයි. ආපසු එන ගමනේ වෙලෙන් ගොඩ ගොඩබිම වෙන් කළ කෙටල ඇළේ වතුරට බැස අපේ කකුල්වල මඩ සෝදද්දී, ඇය ගෙවිලියන් ගැයූ නෙළුම් ගී කට පාඩමින් මිමිණුවා මට මතකයි. ගොයම් කපන දිනවල කිරිල්ලියක මෙන් ඉපනැල්ලේ දිව ගිය ඈ කමතේ බැත ගොඩවල් හා පිදුරු කඳුවල සුවඳ විඳ ගත්තා.” අමර කියන්නේය.


පුණ්‍යා ලියු කෙටිකතා
ද්වි භාෂා අධ්‍යාපනය ලැබූ පුණ්‍යා කුමාරතුංග මුනිදාස, මාර්ටින් වික්‍රමසිංහ, ඩබ්ල්යු. ඒ. සිල්වා වැනි සිංහල ලේඛකයන් මෙන් ම චාල්ස් ඩිකන්ස්, විලියම් ශේක්ස්පියර්, තෝමස් හාඩි, ජේන් ඔස්ටින්, චාලට් බ්‍රොන්ටේ වැනි ලේඛක ලේඛිකාවන්ගේ කෘති පරිශීලනය කළ නිසා ලන්ඩනයේ දී ලේඛන කටයුතුවල යෙදුණාය. “බ්‍රින්දා” “කෙටිකතා සහ විචිත්‍ර විත්ති” නම් කෘතිය 2005 වසරේ ඇය පළ කළාය. එහි ඇය ලියූ ඉංග්‍රීසි කෙටිකතාවක් ද ඇතුළත්ව ඇත.

පුණ්‍යා ලියූ කෙටිකතා පොත
එංගලන්තයේ හාර්ට්ෆර්ඩිෂයර් නම් විචිත්‍ර ප්‍රාන්තයේ නිසල පරිසරයක මේ කතා ලියූ බව පුණ්‍යා කීවාය.
“මට සිංහල ඉංග්‍රීසි ශබ්ද කෝෂයක් එහි නැති වීම ගැන දුක් වුණා.”
කෙසේ වුවත් මේ නිර්මාණ එතෙරදී බිහි වූ පසුබිම ඇය මෙසේ විස්තර කළාය.
“මගේ සැමියා ගෙදර නැති අවස්ථා මට මේ නිර්මාණ බිහි කිරීමට ලොකු උනන්දුවක් වුණා. මා ලියන දේට බාධා නොකොට මිල්රොයි “අඩාජියෝ ඉන් ජී මයිනර්” නම් තැටිය යාන්තමට පසුබිමින් ඇසීමට සලස්වනවා. එය මට ලොකු සහනයක්. හාර්ට්ෆර්ඩිෂයර් ප්‍රාන්තයේ අප නිවසට වසන්තය උදාවෙත්ම රෝස කුසුමින් ද, ගෙට නැමුණු පොප්ලර් ගස්වල, සුළගේ දඟලන කොළවල සිලි සිලියෙන් ද සැනසෙමින්, හරිත වර්ණය සහිත අවට දර්ශනය තවත් ප්‍රබෝධවත් කරමින් සියොතුන් නඟන කන්කලු ගී සරණියට කවුළුව විවර කර භාවනුයෝගීව සවන් දී සිටීම මගේ එකම විනෝදාංශයක්.” ඇය කීවාය.
මගේ ප්‍රශ්නයක් නිසා ඇගේ මතකය ඈතට ඈතට ගියේය. අප කතා කරමින් සිටින්නේ කොළඹ රැජින පාරත් ඩුබ්ලිකේෂන් පාරත් අතර පිහිටි සුඛෝපභෝගී එපාට්ස්මන්ට් එකක් උඩු මහලේ සිටය.


දෙයියන්ගෙ රටේ රඟපෑම


‘‘මගේ කලා ජීවිතයට ලබන වසරේ දී 60 වසර සපිරෙනවා. 1956 වසරේ ‘දෙයියන්නේ රටේ’ නම් චිත්‍රපටයේ නිෂ්පාදක එස්. ඩී. ද ඇස්. සෝමරත්න මහතා හමුවීමට මගේ ඥාතියෙකු සමඟ ගියා. ඊට ඉහත ‘අසෝකා’ චිත්‍රපටයේ නැටුම් දර්ශනයකට පෙනී සිටීමට මට අවස්ථාව ලැබෙන්නේ 1954 වර්ෂයේ දී. 


මට ඒ අවස්ථාව ලැබුණේ පණීභාරත සර් නිසා. මට එතකොට වයස අවුරුදු 15 ක් විතර ඇති.


මම ‘දෙයියන්නේ රටේ’ චිත්‍රපටයේ කැතරින් වුණා.
  මහා ගත් කතුවර ඩබ්ල්යු. ඒ. සිල්වා සූරින්ගේ නවකතාවකින් මගේ චිත්‍රපට ජීවිතය අරඹා, ගුවන් විදුලියෙන් ප්‍රචාරය වූ ජනප්‍රිය ගුවන් විදුලි නාට්‍යයක් ඇසුරින් නිපදවූ චිත්‍රපටයක ප්‍රධාන චරිතය රඟපෑමට ලැබීම මම සතුටට පත් වෙනවා. ‘කුරුලු බැද්ද’ නම් මේ චිත්‍රපටයේ තිර නාටක රචකයා වූ හක්ගල්ලේ පී. කේ. ඩී. සෙනෙවිරත්නගේ ඒ කතාව තුළින් නිර්ව්‍යාජ ගැමි සුවඳ වහනය වුණා. 
 ‘දෙයියන්නේ රටේ'ට වඩා ගැමි දෙබස්, ගැමි දර්ශන, ගැමි වටපිටාව, මා රඟපෑ කුරුලු බැද්දේ රන් මැණිකාගේ චරිතය තිරේ මැවීමට රුකුලක් වුණා. නිෂ්පාදක ජෝන් අමරතුංග මහතා මා උපන් මීරිගම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. ඒ මහතා නිහඬ, නිරහංකාර ගැමියෙක්. වලව්කාරකම තුට්ටුවකට මායිම් නොකළ ඔහු මට වරක් පොල්අතු වියන හැටි කියා දුන්නා. රබන් ගසන ගැමි ලියන්ට රබන් පද තෝරා දුන්නා. ඩී. ආර්. නානායක්කාර, දයානන්ද ගුණවර්ධන, රංජිත් දයානන්ද සමඟ රඟපෑම නිසා මගේ චරිතය වඩාත් මූර්තිමත් වුණා.” පුණ්‍යා කියන්නීය.
“සුනීතා”, “ශ්‍රී 296” චිත්‍රපටවල ඇය රඟපෑව ද ඒවා තුළින් ඇගේ ප්‍රතිභාව මොට වූ බව විචාරකයන් ද සිනමා රසිකයන් ද කියා ඇත. ඒත් ඇය කියන්නේ ඒ චිත්‍රපටවල රඟපෑමෙන් පියවරෙන් පියවර තමා පන්නරය ලැබූ බවය.
“කුරුලු බැද්දේ” මම මනාලියක් වී ගමෙන් නික්ම යන අවස්ථාවේ පසුබිමින් ගයන රසවත් කවි බණ්ඩාර මහත්තයාගේ (දයානන්ද ගුණවර්ධන) ප්‍රේම හැඟීම් සිනිඳුව එයින් ධ්වනිතව නැඟී යනු මට හැඟී ගියේ මෙසේ ධර්මදාස වල්පොල පසුබිමින් ගයන විටය. එය ඒ තරම්ම හැඟීම්බරය.
“වැඩිහිටියන්ට කීකරුකම නොම බින්ද
දීගෙක ගියා ඇය හිමියකු හා බැන්ද
දෙමාපියන් නිදහස් වන මුත් ඉන්ද
පාළුයි ගමේ ඇළ දොළ වෙල ළිඳ ලන්ද
පී. කේ. ඩී. සෙනෙවිරත්නයන් ලියූ මේ කවි දෙස ප්‍රවේසමින් සිත යොමු කිරීමෙන් රන් මැණිකාගේ සිතුවිලි දැකීමට මම මහන්සි ගත්තා. බණ්ඩාර මහත්තයාගේත් රන්මැණිකාගේත් ප්‍රේමය මෙසේ යයි ලියූ (චිත්‍රපටයට ඇතුළත් නොවූ) තවත් කවිවලින් ද මම අදහස් තීව්‍ර කර ගත්තා. රන් මැණිකා ගමින් ගිය පසු ඔහු ගමේ ගත කළ ජීවිතය සියුම්ව විදහාපෑ කවියක් මට මතක් වෙනවා. ධර්මදාස වල්පොල මේ කවියත් ගායනා කළේ.”

ගමේ ළඳ ළඟදි හමු වී ඇතිව දයා
යෙහෙළියො මගෙන් ඇස මා දැන් කොහිද කියා
මා නොදිනිතත් ඇය මට පෙම් කරපු නියා
උන් දැන සිටිය වග සිනහවෙ තිබුණි ලියා

“කුරුලු බැද්දෙන් ලැබු අත්දැකීම් ‘සිකුරු තරුවෙන්’ තවත් පෝෂණය වූ බව පුණ්‍යා කීවාය.


මීමනගේ පොඩි පුතා
“සිකුරු තරුවේ කතාව මම සම්පූර්ණයෙන් පිටපත් කළා. එය ලියමින් එක එක චරිතය ගැන සිතා බැලුවා. චිත්‍රපටයේ අනුලාගේ චරිතයට මගේ සැබෑ ජීවන රටා එක් කළා. මට මේ චිත්‍රපටයේ කුඩා නළුවකු හා රඟපෑමට අවස්ථාව ලැබුණා. ඔහු සරත් ප්‍රේමතිලකය. (මීමන ප්‍රේමතිලක නම් අග්‍රගණ්‍ය කවියා හා සිළුමිණ පුවත්පතේ කර්තෘවරයාගේ පුතෙකු වූ සරත් පසුව ලේක්හවුස් ප්‍රකාශනයක් වූ ‘ක්‍රීඩා’ පුවත්පතේ කතුවරයා ලෙස දීර්ඝ කාලයක් කටයුතු කළේය.) ආනන්දයේ ඉගෙනුම ලබමින් සිටි එවකට දොළොස් හැවිරිදි වියේ පමණ පසුවෙන්නට ඇති. ආධුනිකයකු වුවද ඔහු ඉක්මනින් හැඟීම් නිරූපණයේ සමත් හුරුබුහුටි කුසලතා ඇති අපූරු ‘මලයකු’ බව මට අවබෝධ වුණා.
සරත් චිත්‍රපටයේ දර්ශන සඳහා පැමිණි හැම මිනිත්තුවක්ම ගත කළේ අප සමඟයි. ඔහුට අක්කා වීමට මටත්, මට මල්ලි වීමට ඔහුටත් අපූරුවට හැකි වන පරිසරයක අපි ජීවත් වුණා. සෑම විට ම මට කවටකම් කළා. ගැහැව්වා. බැන්නා. කෙනිත්තුවා. තරහ වුණා. දිව්වා. මගෙන් ද නොඅඩුව සරත් මේවාට පිළිතුරු ලැබුවා. චිත්‍රපටයේදී සේම ගස්වලට පොලු ගසා සියඹලාවලට අපි පොර කෑවා. මේ සෑම දෙයක්ම අප දෙදෙනාගේ රඟපෑම තාත්විකව ඉදිරිපත් කිරීමට රුකුලක් වුණා.” පුණ්‍යා අතීතය මතක් කළාය.
පුණ්‍යා කියන්නේ ‘සිකුරු තරුවේ’ ප්‍රේමය සම්පූර්ණ මානසික යුද්ධයක් කියාය. ෂෙල්ටන් සිල්වා සහ නෙල්සන් කරුණාගම පුණ්‍යාගේ ආදරය දිනා ගැනීමට උත්සාහ ගනිති. ගමේ පාසලේ මුල් ගුරුතුමියගේ පුතා තිලක් ලෙස ෂෙල්ටන් ද එම පාසලේම ගුරුවරයකු ලෙස නෙල්සන් ද රඟපෑහ.
“සිකුරු තරුවේ දර්ශන ගෙන සුළු විරාමයකදී කතා රචක සෙනෙවිරත්න ඉස්කෝල මහත්තයාත්, නිෂ්පාදක අමරතුංග මහතාත් පුණ්‍යා අසලට පැමිණියා.


වික්‍රමසිංහගේ හොඳහිත
“ඊයේ රන්මැණිකා. අද අනුලා, පුණ්‍යා හෙට කවුද?”
“හෙට... මම නන්දා” ඇයට කියවුණේ ඉබේටමය.
ඇයට මෙය ප්‍රහේළිකාවකි.
“පුණ්‍යා කැමති නම් ලෙස්ටර් කැමතියි ගම්පෙරළියේ නන්දාගේ චරිතයට තෝරා ගන්න. ලෙස්ටර් මට කතා කළා.” පී. කේ. ඩී. කීය.
ඇගේ සිතේ දහසක් මල් පිපිණි.
මම ගම්පෙරළියේ නන්දා වුණා. 
 මගේ ප්‍රියතම ලේඛකයන් දෙදෙනා වූ ඩබ්ල්යු. ඒ. සිල්වා හා මාර්ටින් වික්‍රමසිංහගේ ජනප්‍රිය නවකතා දෙකක මට ප්‍රධාන චරිත ලැබුණා. සිල්වා මහතා මම නොදැකීම කනගාටුවට කරුණක්. වික්‍රමසිංහ මහතා කිහිප විටක්ම බලපිටියේ මහ කප්පිත වලව්වට ආවා. 

මේ මහා ලේඛකයා අප සමඟ කවටකම් කරමින් තරුණයකු මෙන් සැහැල්ලු වී එහා මෙහා ගියා. වික්‍රමසිංහ මැතිනියත් මේ මහා ලේඛකයාගේ දඟකාරකම් දැක සිනාසුණා. එතුමා වරෙක රබන් ගැහුවා. අප සමඟ පංච සෙල්ලම් කළා. අවසානයේ මගේ ලිපිනය ඉල්ලා ගත්තා. සතියකින් මට එතුමා ලියූ අගනා පොත් පාර්සලයක් තැපෑලෙන් ලැබුණා.
 

 






 
 

මා සමඟ රඟපෑ පියල් (හෙන්රි), ජිනදාස (ගාමිණි), අනුලා (ට්‍රිලිෂියා), බලදාස (ටෝනි), තිස්ස (වික්‍රම) හා සහාය අධ්‍යක්ෂ තිස්ස අබේසේකර, කැමරා ශිල්පි (බ්ලේක්) අප අතරින් වෙන්වීම ගැන මට ඇත්තේ සංවේගයක්. ශාන්ති අක්කා (මාතර හාමිනේ) හා කයිසාරුවත්තේ (ඩේවිඩ්) ටික කලකට පෙර මියගියා. ඔවුන් සමඟ සුහදව සිටි මීට වසර පනස් පහක් පමණ ඈත අතීතයට මම යොමු වෙනවා.” පුණ්‍යා සංතාපයෙන් කීවාය.

පුණ්‍යා ජීවිතයේ අමතක නොවන අවස්ථාවක් මතක් කළාය.



සේකර හමුවීම
“ගම්පෙරළිය චිත්‍රපටය මැක්සිකෝ ජාත්‍යන්තර චිත්‍රපට නියෝජනය කරමින් තිරගත කළ අවස්ථාවට හෙන්රි ජයසේන, සුමිත්‍රා පීරිස් සමඟ මම සහභාගි වුණා. ආපසු එන ගමනේ දී අපි ඇමෙරිකාවටත් ගියා. ඒ කාලේ එහි තානාපති සර් සෙනරත් ගුණවර්ධන. ඒ මහතා අපට රාත්‍රී භෝජන සංග්‍රහයකට ආරාධනා කළා. නිව්යෝක් හි උස් ගොඩනැඟිල්ලක 47 වැනි මහලේ තමයි තානාපති කාර්යාලය තිබුණේ. එදා තමයි මගේ ප්‍රියතම කවියා, ගීත රචකයා වූ මහගමසේකර මහත්තයා හෙන්රි මඟින් අඳුනා ගත්තේ. සාදය ඉවරවෙලා අපි සින්දු කිව්වා.
“මේ සිංහල අපගේ රටයි
අප ඉපදෙන මැරෙන රටයි”
සේකර, හෙන්රි, සුමිත්‍රා සහ මම 47 වැනි තට්ටුවේ සිට මුළු ඇමෙරිකාවටම ඇහෙන්න මේ ගීතය කිව්වා. ඇමෙරිකන් තානාපති කාර්යාලයේ සිංහල නිලධාරීන් අපට අත්වැල් ඇල්ලුවා.
“දැන් පුණ්‍යා කැමැති ගීතයක් කියන්න” හෙන්රි ගෙන් ආරාධනාවක්. මම සේකරයන් ලියූ අමරදේවයන් ගැයූ “කෙලෙස් මල පිරි නුවර අතහැර බවුන් වඩනට වනේ වැඩි ඔබ” ගීතය ගැයුවා. හැමෝටම සතුටුයි. කොයි තරම් රසවත් අවස්ථාවක් ද ඒ!
“අපි ඉක්මනටම ලංකාවට එනවා. දැන් මට වයස අවුරුදු 77 ක්. මම උපන්නේ 1938 ජුලි 31 වැනිදා. මමත් මිල්රෝයි විවාහ වෙලා වසර 47 ක්. අපේ පුතා ජයන් හා දියණිය නිවනි විශේෂඥ වෛද්‍යවරු. අපි දැන් ජීවත්වන්නේ මුනුපුරු මිනිබිරියන්ගේ සුරතල් බලමින්” හීන්දෙණිය විදානරාලගේ පුණ්‍යා හීන්දෙණිය අප සමු ගනිද්දී කීවාය.
 

ඒ. ඩී. රන්ජිත් කුමාර


 =====================================