20121228

සිංහල ශෛලීගත නාට්‍යය -දයානන්ද ගුණවර්ධන





නාට්‍යයේ ශෛලිගත අංග මිනිය යුත්තේ 
වෙන් වෙන්ව රැගෙන නොව 
නාට්‍යය සමස්තයක් වශයෙන් ගෙනය. 
ශෛලීය, නාට්‍යය ගෙන යන වාහනය මිස,  
නාට්‍යය, ශෛලීය ගෙන යන්නක් නොවීය යුතුය. 
කොතෙක් රසවත් ගීත, නැටුම් ආදිය යෙදුවද,  
නාට්‍යය නාට්‍යමය ගුණයන්ගෙන් හීන නම් 
එය අසාර්ථක වේ.

දයානන්ද ගුණවර්ධන
1962 දී නරිබෑනා නාට්‍යය පොත සඳහා ලියු පෙරවදන ඇසුරින්....


ශෛලීගත නාට්‍ය - 
ශෛලීගත නාට්‍ය නමින් හැඳින්වෙන වර්තමාන සිංහල නාට්‍යය, ප්‍රධාන අංග කීපයකින් සමන්විත වේ. මේ නාට්‍යවල සංවාද, ගී හෝ කව් ස්වරූපයෙන් වේ. රඟපෑම හා අවස්ථා නිරූපණය සඳහා අභිනය හා නැටුම් ක්‍රම ඉවහල් කොට ගනී. අංග රචනය හා වෙස් ගැන්වීම, රංගභූමි අලංකරණය හා ආලෝකය යෙදීමේදී ස්වභාවික තත්ත්වයෙන් ඈත්ව සංකල්පනාත්මක බවක් යොදනු ලැබේ.
මේ අනුව බලන කල ශෛලීගත නාට්‍ය ස්වභාවික සම්ප්‍රදායෙන් වෙනස් වේ. ස්වාභාවික ක්‍රමය අනුව ඇති සීමාවලින් ශෛලීගත, නාට්‍යකරුවා මිදෙයි. ස්වාභාවික ලෝකය ඔහු කලා ඇසින් දකියි. චරිත, අදහස් සිදුවීම් ආදිය එමගින් උද්දීපනය කර දක්වයි. නාට්‍යය ප්‍රථම වශයෙන් ශ්‍රව්‍ය කලාවකි. එබැවින් භාෂාව නාට්‍යයට මූලික වෙයි. නාට්‍යයෙහි එන දෙබස් ආදිය ප්‍රේක්ෂකයාට එකෙනෙහිම වැටහිය යුතුය. එවෙලෙහිම රස විඳිය යුතුය. පොතක මෙන් ඔහුට තව වරක් කියවීමට මෙහිදී අවස්ථාවක් නැත. නාට්‍යයක නොවැටහුන දෙයක් පසුව තෝරාගෙන රස විඳිය නොහැක. එබැවින් නාට්‍ය භාෂාව, ප්‍රේක්ෂකයාට තියුණු ලෙස ප්‍රකේෂ්පනය වන ලෙස යෙදිය යුතුය. අවස්ථාවට උචිතව, භාෂාව ශෛලිගත කිරීමෙන් මෙය බොහෝ දුරට ඉෂ්ඨ කර ගත හැක. අනෙක් ශෛලිගත අංගවලින්ද නාට්‍ය රසය තීව්‍රවේ.
අපේ ශෛලිගත නාට්‍ය දළ වශයෙන් දෙකොටසකට බෙදී යයි. එනම් පූර්ණ ශෛලිගත නාට්‍ය හා අර්ධ ශෛලිගත නාට්‍ය වශයෙනි. මනමේ, එලොවගිහින් මෙලොව ආවා, සිංහබාහු, බෙර හඬ, සඳ කිඳූරු ආදී නාට්‍යවල ශෛලීගත භාවය අබණ්ඩව පවතී. එම නාට්‍යවල භාෂාව සම්පූර්ණයෙන්ම කාව්‍යමය වේ. අංගචලන හා අවස්ථා නිරූපනයද එලෙසින්ම නැටුමින් දැක්වේ. නමුත් කදා වළලූ, රත්තරං, මැටි කරත්තය හෝ මා විසින් නිපද වූ පරාස්සයා, පිංගුතර වැනි නාට්‍යවල එලෙස ශෛලිගත ස්වරුපයේ අබණ්ඩ භාවයක් දක්නට නැත. භාෂාව සමහර තැන්වල ශෛලිගත වන නමුදු සමහර තැන්වල ස්වාභාවික වේ. අනෙක් අංගද එලෙසය. ´´නරිබෑනා´´ ද මේ ගණයට වැටේ.
දෙවෙනි වර්ගයේ සාර්ථක නාට්‍යයක, ශෛලිගත ස්වාභාවික අංගයන්ගේ කදිම තුළනයක් හෝ ස්වාභාවික අංග ශෛලිගත ස්වාභාවයට නතුවීමක් දක්නට ලැබේ. නිදසුනක් වශයෙන් ස්වාභාවික දෙබස් ඇති විටක ශෛලිගත අංග චලනවලින් එවැනි තුළනයක් ඇතිවේ. හස්තිකාන්ත මන්තරේ මීට උදාහරණයකි.
ශෛලිගත නාට්‍යයක් නිපදීවීමට යාමේදී, මුල්ම අවස්ථාවේදී එනම් නාට්‍යය නිර්මාණය කරන අවස්ථාවේදී ශෛලීය ගැන කල්පනා නොකොට නාට්‍ය ධර්මයන් ගැන කල්පනා කළ යුතුය. නාට්‍ය ධර්මයන් අනුව සකස් උන වරිච්චියට ඊලඟට භෂා මැට්ට ඇතුල් කල යුතුය. නැටුම්, සංගීතය, අංගරචනා, වෙස් ගැන්වීම් ආදි පිරියම්වලින් නාට්‍යය නිෂ්පාදනය කළ යුතුය.
තවද මෙවැනි නාට්‍යවල ශෛලිගත අංග යෙදිය යුත්තේ උචිත අවස්ථාවන්හීදීය. නරිබෑනා නාටකයේ ශෛලිගත අංග උචිත අවස්ථාවන්හි කැපී පෙනේ. කපුරාල එන විකට ගමනිනුත්, ඉඳ ගන්නා සුරලිනුත්, අදහස් වනුයේ ඔහුගේ චරිතය කෙරෙහි ප්‍රේක්ෂකයාගේ අවධානය යොමු කරලීමේ උපක්‍රමයකි. ඔහුගෙන් නාටකයේ ඉදිරියෙහිදී රසවත් දේ ඉටු වන බව ප්‍රේක්ෂකයාට දන්වනු වස්ය එය. ගම පවුල හා කපුරාල නෑගං එන ගමනද, ප්‍රේක්ෂකයා තුළ ඉදිරිය පිළිබඳ උනන්දුව හා කුතුහලය ඇති කරනු සඳහාය. ගෙදරකට අමුත්තන් පැමිණි හණික සංවාද, කලබලකාරි තත්ත්වයක් උසුලන බැවින් නරි ගෙදරට ගම පවුල නෑගං ආවිට දෙබස් ඒ ආකාරයට ශෛලිගත වෙයි. කෙසේ වුවද නාට්‍යයේ ශෛලිගත අංග මිනිය යුත්තේ වෙන් වෙන්ව රැගෙන නොව නාට්‍යය සමස්තයක් වශයෙන් ගෙනය. ශෛලීය, නාට්‍යය ගෙන යන වාහනය මිස, නාට්‍යය, ශෛලීය ගෙන යන්නක් නොවීය යුතුය. කොතෙක් රසවත් ගීත, නැටුම් ආදිය යෙදුවද, නාට්‍යය නාට්‍යමය ගුණයන්ගෙන් හීන නම් එය අසාර්ථක වේ.
ශෛලීගත නාට්‍ය හා බටහිර නාට්‍ය ක්‍රම - නාට්‍ය වර්ගීකරණයකදී අපේ ශෛලීගත නාට්‍ය කුමන කොටසකට වැටිය යුතුද යන්න පිළිබඳව පැටලිලි ගතියක් ඇතිවී තිබේ. එමෙන්ම සමහරු ශෛලීගත නාට්‍ය නා නා වශයෙන් හඳූන්වති. නාට්‍ය වර්ගීකරණය පිළිබඳ පැහැදිලි අදහසක් අප තුළ නැතිවීමට හේතුව, ප්‍රධාන වශයෙන් අප රටේ පුලුල් නාට්‍ය සම්ප්‍රදායක් නොතිබීමය. එමෙන්ම බටහිර හෝ පෙරදිග නාට්‍යයක්ද අප රටට නොපැමිණේ. නාට්‍ය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ජනයා තුළ ඇතිවීමට එම රටෙහි මුල් බැසගත් නාට්‍ය කලාවක් තිබිය යුතුය.
මුල් බැසගත් නාට්‍ය කලාවක් හා නාට්‍ය පිළිබඳ දැඩි උනන්දුවක් හා පහසුකම් ඇති යුරෝපීය රටවල, පැහැදිලි නාට්‍ය වර්ගීකරණයක් ඇති අතර ප්‍රේක්ෂකයන් තුළ ඒ පිළිබඳ මනා අවබෝධයක් ද ඇත.
බටහිර රටවල ප්‍රචලිත නාට්‍ය ක්‍රම නම්, මුද්‍රා නාට්‍ය (Ballet) ගීත නාටක (Opera), අර්ධ ගීත නාටක(Operetta) ස්වාභාවික නාට්‍ය (Naturalistic Dram) සහ සංගීත සුබාන්ත (Musical Comedy) ආදී වශයෙනි. මේ හැරෙන්නට වෙනත් බොහෝ අතුරු ක්‍රමද දක්නට ඇත. මේ අයුරින් බටහිර නාට්‍ය ක්‍රම වෙන් වෙන් වශයෙන් දියුණුවන්නට පටන් ගත්තේ විද්‍යා පුනර්ජිවයෙන් පසුවයැයි කිව හැක. බටහිර පැරණි නාට්‍ය දෙස බැලු විට මේ අංග සියල්ලගේ සංකලනයක් දැක ගත හැක. ෂේක්ස්පියර්, මොලියර් හා බියුමාෂේ වැනි නාට්‍ය කරුවන්ගේ කෘතීන් වල පවා මේ සංකලනය දැක ගත හැක.
බැලේ හෙවත් මුද්‍රා නාටකය වනාහි නැටුම්, අභිනය හා වාද්‍ය සංගීතය මඟින් කතාවක් ඉදිරිපත් කිරීමය. පැරණි ග්‍රීක අභිනය නාට්‍ය (Pantonine) මුද්‍රා නාටකයේ මූලය ලෙස සැලකිය හැක. පසුකලෙක ඉතාලියේ මුද්‍රානාට්‍යවල නැටුම් හා ගීත යන දෙකම ඇතුළත් විය. නමුත් මුද්‍රානාට්‍ය ගීතයෙන් ඈත් වී වෙනම කලාවක් ලෙස හැඩගැසුනේ ප්‍රංශයේ  දහහතරවෙනි ලූවි රජු දවසය. වර්තමානයේ මුද්‍රා නාට්‍යය පිළිබඳ විශාල කීර්තියක් දරන්නේ රුසියාවය.
මුද්‍රා නාට්‍යයක්, කතාවකින් තෝරාගන්නේ නැටුම් හුවා දැක්වීමට, නැටුමින් ප්‍රයෝජන ගතහැකි අවස්ථාවන්ය. වාද්‍ය සංගීතයෙන් එම අවස්ථාවන් උද්දීපනය වෙයි. මුද්‍රා නාට්‍යවල වෙස් ගැන්වීමේදී නැටුමට පහසුවන පරිදි සකසනවා මිස ශෛලීගත කිරීමක් ඇතැයි කිව නොහැක. වේදිකා අලංකරණයද ස්වාභාවික පරිදි සිදුවේ. නාට්‍ය මෙන්ම වේදිකා සැරසිලි අතින් විශිෂ්ඨ දියුණුවක් ලබා ඇති චෙකොස්ලෝවේකියාවේ වේදිකාව තුළ සංකේතාත්මක පරිසරයක් දක්වන අයුරු දැකගත හැක. බටහිර මුද්‍රා නාට්‍ය පෙරදිග මුද්‍රා නාට්‍යයන්ට වෙනස් වන්නේ පසුබිම් ගායනය අනුවය. පෙරදිග මුද්‍රා නාට්‍යවල පසුබිම් ගායනයන් මගින් විස්තර කියාදෙන නමුත් බටහිර මුද්‍රානාට්‍යවල සෑම හැඟීමක්ම නැටුමින් හා වාදනයෙන් ඉදිරිපත් කිරීමට යත්න දරති.
ගීත නාටක හෙවත් ඔපෙරාවලද ප්‍රභවය පැරණි ග්‍රීක නාටක තෙක් ගියද, එහි උප්පත්තිය ඉතාලියට දිය හැක. දහසය සහ දහහත් වන ශතවර්ෂවල ඉතාලියේ ගීත නාටකවල විශාල ජනප්‍රිය භාවයක් ඇතිවිය. ඉතාලි ජාතිකයින් තුළ ඇති ගී ගැයිමේ සහජ දක්ෂතාව ඉතාලියේ ඔපෙරාව දියුණුවීමට හේතුවක් වශයෙන් සැළකිය හැක. ගීත නාටකය යුරෝපයේ ව්‍යාප්ත වී ගිය අතර රුසියාව, ජර්මනිය, ප්‍රංශය හා එංගලන්තය යන රටවල එය මුල් බැස ගත්තේය. විශේෂයෙන් රුසියාවේ ඔපෙරාව එහි ජනගී ආශ්‍රයෙන් හැඬගැසුනේය. ඔපෙරාව ගායනය මුල්කරගෙන හැඩ ගැසුනු නාටකයෙකි. ඔපරාවක ඇති වටිනාකම රඳා පවතින්නේ ප්‍රධාන වශයෙන් එහි ඇති සංගීතයේ වටිනාකම උඩය. ´´ඔපරාවක් උසස් වන්නේත්, එය නොනැසී පවතින්නේත් එහි සංගීතයේ විශිෂ්ඨත්වය නිසායි´´ ලයනල් සෝල්ටර් පවසයි (Lionel Salter Going to the Opera). නමුත් ඔපරාවකට නාට්‍යයමය කතාවක් ද තිබිය යුතුය. මුද්‍රා නාට්‍යයේ මෙන් එහි ද තෝරාගනු ලබන්නේ සංගීතය කැපී පෙන්විය හැකි අවස්ථාවන්ය. නාට්‍යමය කතා නොමැතිව ඔපෙරා නිපදවීම නිසා ඉතාලි ඔපරාව පිරිහුනු අවස්ථාවක්ද විය. බොහෝ ඔපෙරා ජනප්‍රිය නාට්‍ය අනුව රචනා කරන ලද ඒවා වේ. බියුමාෂේ නමැති ප්‍රංශ නාට්‍යකරුවාගේ කෘතියක් උඩ නිපදවන ලද මෝසාට්ගේ ´´ෆිගාරෝගේ විවාහය(Marriage of Figaro)´´ මිහිරි සංගීතයෙන් හා නාට්‍යමය කතාවකින් යුත් ජනප්‍රිය ඔපෙරාවකි. ´´එව්ජින් ඔනෙගින්(Eugin Onegin)´´ නැමැති රුසියානු ඔපරාවද එවැන්නකි.
ඔපෙරාව දිගටම ගායනයකි. එහි අත්වැල් ගායකයන් වශයෙන් වෙනම නොමැත. ඔපෙරා ගායකයින්ගේ කටහඬ මනහරය. හතරපස් දෙනා එකිනෙකාගේ අදහස වේගයෙන් එක්වන් ප්‍රකාශ කරන ගීතමය අවස්ථා ඔපරාවල සිත් ඇදගන්නා තැන්ය. ඔපෙරාවට අත්වැල් ගායකයින් වශයෙන් වෙනම කොටසක් නැතිවද පිරිස් වශයෙන් රඟපාන අය එකට ගයති. ගායනය හැරෙන්නට ගතානුගතික, ඔපරාවේ අනෙක්හැම අංශයක්ම ස්වාභාවික සම්ප්‍රදාය අනුව සිදුවේ. රඟපෑම්, වෙස්, අංග රචනය, රංග භුමි අලංකරණය සියල්ල ස්වාභාවිකය. චරිත හෝ අවස්ථා නිරූපනය කිරීම සඳහා නැටුම් හෝ අභිනය යෙදීමක් මෙහි නොමැත. නැටුම් ආදිය ඇතුළත්වන්නේ එවැනි සිද්ධියක් අවශ්‍ය නම් පමණය.
ඔපරටා හෙවත් අර්ධ ගීතනාටකය ඔපෙරාවෙන් වෙනස් වන එකම දෙය නම් එහි අතරින්පතර ස්වාභාවික දෙබස් තිබීමය. එම නිසා ඔපරටාවක ගීත ඇතුළත් වන්නේ උචිත අවස්ථාවන්හිය.
මුද්‍රා නාට්‍ය, ඔපෙරා, ඔපරටා ආදි හැමෙකම වාදක මණ්ඩලය ඉතා වැදගත් තැනක් ගනී. වේදිකාව ඉදිරිපිට සිටින වාදකයෝ ස්වකීය නායකයාගේ පාලනය යටතේ සමූහ වාදනයේ යෙදෙති. වේදිකාව මත සිදුවන දේ හා වාදනයේ සමඟිතාවය ඇති කරන්නේ එම නායකයාය.
ස්වාභාවික නාට්‍ය යුරෝපයේ ප්‍රචලිත නාට්‍ය ක්‍රමයය. එම නාට්‍යවල චරිත නිරූපන අවස්ථා, අංග රචනය, රංග භූමි අලංකරණය, අලෝකය ආදි සියල්ලක්ම ස්වාභාවික අන්දමට සිදුවේ. මෙහිදී ප්‍රධාන අරමුණ වන්නේ කතාව හා ඉන් බලපොරොත්තු වන ඵලය නාට්‍ය ධර්මයෙන්ගෙන් පරිපූර්ණව ඉදිරිපත් කිරීමය. කොටින් කියතොත් මේ නාට්‍ය රඳාපවතින්නේ සම්පූර්ණයෙන්ම නාට්‍ය ධර්මයන් උඩය. තවත් කියතොත් සැබෑ නාට්‍යය මේය. මේ නාට්‍ය තාත්ත්වික මගෙහි යති. තාත්ත්වික යනු සැබෑ නිරූපනයය. සෑම ස්වාභාවික නාට්‍යයක්ම තාත්ත්වික නොවේ. එමෙන්ම තාත්ත්වික නාට්‍යක්වීමට ස්වාභාවික සම්ප්‍රදායම අනුගමනය කළ යුතු නොවේ. මුද්‍රා නාට්‍යය, ඔපෙරා, ශෛලීගත නාට්‍ය ආදියෙන් හෝ ස්වාභාවික නොවන කතාවලින් පවා තාත්ත්විකත්වය නිරූපනය කළ හැක.
සංගීත සුබාන්තය මෑතකදී ඇති වූ නාට්‍ය ක්‍රමයකි. එය අමෙරිකාවේ ප්‍රචලිතය. මෙහි ප්‍රධාන අරමුණ අස් කන් පිනවීම වැනි දෙයකි. එබැවින් මිහිරි ගීත, නැටුම්, වෙස්. රංග භූමි අලංකරණය ආදිය සඳහා විශේෂ තැනක් ලැබේ. නාට්‍ය ක්‍රමයක් වශයෙන් මෙහි ඇති වැදගත්කම නම් එය ගී හා නැටුම් සංකලනයකින් ඉදිරිපත් කරන්නක් වීමය. මුද්‍රා නාට්‍යයක මෙන් නොවුවද මෙහි රඟපෑම් හා අවස්ථා නිරූපනයේදී නැටුම් යොදුනු ලැබේ. සංගීත ද එසේමය.
මේ අනුව බලන කල අපේ ශෛලීගත නාට්‍ය මින් එකදු වර්ගයකටවත් පැහැදිලිව ඇතුළත් කළ නොහැකිය. පූර්ණ ශෛලීගත නාට්‍ය ඔපෙරාවෙන් වෙනස් වන්නේ ශෛලීගත අංග චලන, වෙස්, රංග භූමි අලංකාරය ආදිය නිසාය. අර්ධ ශෛලීගත නාට්‍ය ඔපරටාවෙන් වෙනස් වන්නේ ද ඒ අයුරිනි. සංගීත සුබාන්තයට මදක් කිට්ටු වුවද අපේ ශෛලීගත නාට්‍යයෙහි නැටුම්, සංගීතය හා වෙස් ආදියෙහි ඊට වඩා ගැඹුරු යෙදුමක් ඇත. මේ අනුව ශෛලීගත නාට්‍යය අපටම විශිෂ්ට වූ දෙයක් හැටියට සැළකීමට තරම් සාධක ඇත.
නමුත් බර්ටොල්ට් බ්‍රෙච් (Berrtolt Brecht) නමැති ජර්මන් ජාතික නාට්‍ය කරුවාගේ සම්ප්‍රදාය මේ අවස්ථාවේ දී සිහියට ගැනීම වටී. ආසියාතික සම්ප්‍රදායයන්ගේ ප්‍රභාව නිසායැයි කිවහැකි ශෛලීගත අංග බ්‍රෙච්ගේ නාට්‍යවල දැක ගත හැකිය. තාත්ත්වික වාදය ඔහුගේ පදනම වුවද ඔහු ස්වාභාවික අන්දමට ඉදරිපත් නොකළේය. මා දුටු බ්‍රෙච් නාට්‍යයක ජර්මන් සොල්දාදුවෝ බියකරු වෙස්මුහුණු, පැළඳගෙන සිටියහ. ඒ ඔවුන්ගේ කුරිරු බව උද්දීපනය කිරීම සඳහාය. හිට්ලර් සහ ඔහුගේ ඇමැතිවරු තම හිස් මත දැවැන්ත බොරු හිස් පැළඳ සිටියහ. ඒ ද එවුන්ගේ දැඩි මානය හා හිස් බව දැක්වීම සඳහාය. හැඟීම් ඇති කිරිම සඳහා බ්‍රෙච් නාට්‍යවල සංගීතය ද වැදගත් තැනක් ගනී. නමුත් නැටුම්වලින් එතරම් ප්‍රයෝජනයක් බ්‍රෙච් නාට්‍ය නොලබයි. පොතේ ගුරුන් වැනි චරිතයන් මඟින් හා වේදිකාවනට උඩින් පෙනෙන තිරයක මාර්ගයෙන් සිනමා රූප ප්‍රකේෂ්පනය කොට කතාව පැහැදිලි කරදීම බ්‍රෙච් නාට්‍යවල තවත් ලක්ෂණයකි. බ්‍රෙච් නාට්‍යවල වේදිකා සැරසිලිද සංකේතාත්මකය. දොරක් දැක්වීම සඳහා දොර පියන් නොමැති රාමුවක් පමණක් තිබෙන අතර නලුවෝ අභිනයෙන් දොර විවෘත කරන හැටි හෝ වහන හැටි දක්වති.
බ්‍රෙච්ගේ මේ සංකේතාත්මක සැරසිලික්‍රමය බොහෝදෙනා විසින් දැන් අනුගමනය කරන බව පෙනේ. බ්‍රෙච්, වේදිකාව වේදිකාවක් වශයෙන් දක්වන්නට තැත් කරයි. ස්වෙයික්(chweik) නැමැති නාට්‍යයේ ඉදිරි තිරය විවෘත කළ විට වේදිකාවේ යට කොටස පමණක් ආවරණය වන තවත් කුඩා තිරයක් විය. එම නාට්‍යය ජර්මන් යුද්ධ සේනාව පිළිබඳ එකක් වූයෙන් එම තිරයේ, ඉදිරියට යන ජර්මන් සේනාව ඇඳ තිබුණේය. දර්ශන වෙනස් වන විට වැටුනේ එම තිරය පමණය. ඒ තුළින් වේදිකා සැරසිලි වෙනස් කරන ආකාරය ප්‍රේක්ෂකයනට පෙනුනේය. එම නාට්‍යයේ යුරෝපය ජර්මන් ආධිපත්‍යට යටත් වූ බව දැක්වීම සඳහා පිටුපස තිරයක යුරෝපය සිතුවම් කොට ඒ ඉදිරිපිට කටු කම්බි වැටක් ගසා තිබුණේය.
මුද්‍රා නාට්‍ය, ඔපෙරා, ශෛලීගත නාට්‍ය ආදියෙන් තක්කාලීන කතා සාර්ථක ලෙස, ඉදිරිපත් කිරිමට හැකිද යන බිය අප රටෙහි මෙන්ම යුරෝපයේද පවතී. මේ පැනය විසදීම සඳහා බ්‍රෙච්ගේ නාට්‍යය බොහෝ උපකාරි වෙයි. සිංහල ශෛලීගත නාට්‍යය තවම පර්යේෂණ අවස්ථාවක පවතී. කල් යාමේදී එමගින්ද මේ පැනය විසඳිය හැකි වේයයි බලාපොරොත්තු විය හැක.
-------දයානන්ද ගුණවර්ධන
1962-08-29 උඩුගම්පොල දීය...

(1962 දී නරිබෑනා නාට්‍යය පොත සඳහා ලියු පෙරවදන ඇසුරිණි)

No comments:

Post a Comment