20130522

ප්‍රේමකීර්ති ද අල්විස්‌ මතක සටහන්



“ප්‍රේමකීර්ති ද අල්විස්‌”" නම් සොඳුරු මිනිසා
පිළිබඳ සාකච්ඡා කළ ගී මකරන්දය වැඩසටහන

මෙහි ප්‍රේම් ගැන කතා කරන අයගෙ
බොල් හරසුන් අදහස් කාලය කාදැමීමක් වීමත්
උච්චාරණ ශෛලිය ජුගුප්සා ජනක වීමත්
කණගාටුවට කරුණක්.

එහෙත් ඉතා මසුරු ලෙස ඔවුන් ඉදිරිපත් කරන
ප්‍රේම්ගේ නිවේදන ඛණ්ඩ නිසා මෙය නොඅසා සිටිය නොහැකිවිය.


. .

(ප්‍රේමකීර්ති ද අල්විස්‌ ඝාතනය කොට 
වසර 22 ක්‌ පිරීම නිමිත්තෙන් පළවූ ලිපියක් පහත උපුටා දැක්වේ )

වෙඩි හඬින් නිහඬ කළ කට හඬක සාඩම්බරය..

ප්‍රේමකීර්ති ද අල්විස්‌

“ලොවින් එකෙක්‌ එක්‌ දෙයකට වෙයි සමත” යන පැරැණි සිංහල කියමන අනාථ කරන නිර්මාණ ශිල්පීන් දෙදෙනකු මෑත ඉතිහාසයේ අපට හමුවෙයි. ඒ විශිෂ්ට කලාකරුවන් දෙදෙනා මහගමසේකර සහ සමරවීර මුදලිගේ දොන් ප්‍රේමකීර්ති ද අල්විස්‌ නම් වෙති. 60 දශකයේ අග භාගයේ කලඑළි බසින ප්‍රේමකීර්ති චරිතය, නූතන FM මාල ගිරවුන්ට සහ ගිරවියන්ට සේම, විවිධ විද්යුත් නාලිකා ඔස්‌සේ එක්‌ රැයෙකින් දැල්වී, නිවී යන කෝකිල කෝකිලාවන්ට ගැඹුරින් අධ්‍යයනය කර චරිතායනය කරගැනීමෙන් හරවත් පෞරුෂයක්‌ හා සාර්ථක අනාගතයක්‌ උරුම කරගත හැකි චරිතයකි. මරා දමා 22 වසරක්‌ ගතවීත් මෙතෙක්‌ කිසිදු ශාස්‌ත්‍රීය අධ්‍යයනයකට හසු නොවූ මෙම කුඩා මිනිසාගේ උත්තුංග නිර්මාණ මෙහෙවර පිළිබඳ යමක්‌ සටහන් කිරීම ඔහු සජීවීව දුටු පළමු පරපුරේ පුරවැසියකු සතු වගකීමක්‌ ලෙස මම සලකමි.
1947 ජුනි මස 02 වැනි දින කොළඹදී මෙලොව එළිය දුටු ප්‍රේමකීර්ති කුඩා අවධිය ගත කළේ මරදාන දුම්රිය නිවාසයකය. ඒ ඔහුගේ පියා දුම්රිය සේවකයකු වූ බැවිනි. පියාට අවශ්‍ය වූයේ ප්‍රේමකීර්ති දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයකු කිරීමටය. මාලිගාකන්ද මහා විද්‍යාලයෙන් මරදාන ආනන්ද විද්‍යාලයට පිවිසි ප්‍රේමකීර්තිගේ ප්‍රතිභා ප්‍රභාව දැල්වෙන්නේ ආනන්දයෙනි. 1961 දී තම ළමා වැඩසටහනකදී “කරු අයියා” විසින් මොහු හඳුනා ගන්නා ලදී. පසුව මෙම අපූරු තරුණයා ගුවන්විදුලි ළමා වැඩසටහන්වල පිටපත් කියවන්නකු ලෙස යොදාගනු ලබන්නේ ඉසිවර නුවණින් ඔහුගේ දක්‍ෂතා හඳුනා ගනිමිනි. ප්‍රේමකීර්ති 1966 දී තම පියාගේ මඟපෙන්වීම අනුව “දවස” පුවත්පත් ආයතනයේ සිනමා ප්‍රකාශනය වූ “විසිතුර” පුවත්පතට එක්‌වූයේය.
1967 දෙසැම්බර් 17 වැනි දින සහාය නිවේදකයකු ලෙස ගුවන්විදුලියට බැඳුණු ප්‍රේමකීර්ති, 1971 ජුනි 01 වැනි දින නිවේදකයකු ලෙස තනතුරෙහි ස්‌ථිර කරන ලදී. ඔහු 1989 ජුලි 31 වැනි දින සාහසික ලෙස ඝාතනය කරන ලද්දේ වැඩසටහන් නිෂ්පාදකවරයකු ලෙස ගුවන් විදුලියේ සේවය කරමින් සිටියදීය.
ප්‍රේමකීර්ති ඉතා සරල දිවි පෙවෙතක්‌ ගත කළ කුඩා නිරහංකාර මිනිසකු වූ බව ඔහු ඇසුරු කළ සියල්ලන්ම හොඳින් දන්නා කරුණකි. අතට හසුවන ඕනෑම දෙයකින් කුසගිනි පුරවාගන්නා ඔහු පොදු ජලනළයෙන් දෝතට දිය ගෙන බීවේය. පෙට්‌ටි කඩයෙන් වඩේ එකක්‌ හා ප්ලේන්ටියක්‌ බී බීඩියක්‌ දල්වා ගැනීම ඔහුට සාමාන්‍ය කටයුත්තකි. ගමට ගියවිට නියරෙන් බැස ඇළෙන් මුහුණ සෝදා එයින්ම දිය දෝතක්‌ බීම ඔහුගේ පුරුද්දයි. සතියක දීර්ඝ සංචාරයකට ඔහුට අවශ්‍ය වන්නේ ඇඳුම් දෙකකි. රබර් සෙරෙප්පු දෙක ඔහුට හොඳටම සෑහේ. පයින් යැම, කඩපිල්වල ගැමියන් හා දරුවන් සමග කාලය ගත කිරීම ඔහුගේ විනෝදාංශයයි. ඔහු මහත් අභිරුචියෙන් පානය කළේ රටේ පුංචිම මිනිසා පානය කළ මත්පැන් වර්ගයයි. ඔහු තම ජීවිතයේ අවසන් මාස කිහිපය ගත කළේ මාසිකව වැටුපෙන් ගෙවීමට ණයට ගත් තනි කාමරයක්‌ සහිත කුඩා ගෙපැලකයි. එහි වූ කුඩා ගෙවත්තේ වගා කරගත් එළවළු හා පලතුරු ඔහු මහත් අභිරුචියෙන් බිරිඳ සමග උයා පිහාගෙන වැළඳුවේය. තම බිරිඳගේ ආහාර වේල සකස්‌ වූයේ ද මේ කුඩා අහිංසක මිනිසා අතිනි.
ජීවත් වූ වසර 42 ක්‌ තරම් කෙටි කාලයක්‌ තුළ ගීත එක්‌දහස්‌ හයසියයකට ආසන්න සංඛ්‍යාවක්‌ ලියූ ප්‍රේමකීර්ති තම පළමු ගීය ලෙස “හද පුද අසුනේ සෙනෙහස මැවුණේ” රචනා කළේ රූපා ඉන්දුමතී හා මල්කාන්ති පීරිස්‌ (නන්දසිරි) වෙනුවෙන් 1969 වසරේදීය. 
-------------------------------------------------------------------------------------
ප්‍රේමකීර්ති තම පළමු ගීය ලෙස
“හද පුද අසුනේ සෙනෙහස මැවුණේ” ලියූ අයුරු
ප්‍රෙම්ගේම හඬින්.... 

මෙම වසරේම කේ. ඒ. ඩබ්. පෙරේරා අධ්‍යක්‍ෂණය කළ “ලොකුම හිනාව” චිත්‍රපටයට පසුබිම් ගීයක්‌ ලෙස “පරණ කෝට්‌” ගීතය ලියමින් චිත්‍රපට ගීත ක්‍ෂේත්‍රයට පිවිසි ප්‍රේමකීර්ති චිත්‍රපට 150 කට අධික සංඛ්‍යාවක පසුබිම් ගීත රචනා කළේය.
ප්‍රේමකීර්ති ලාංකික සාම්ප්‍රදායික සංස්‌කෘතික හා ජනප්‍රිය සංස්‌කෘතිය යා කළ පාලමක්‌ වැන්න. ඔහු තම නිර්මාණ තුළින් කිසිවිටෙක සම්ප්‍රදාය හෑල්ලු කළේ වත්, අවමානයට පත් කළේ වත් නැත. ඊට හොඳම සාධකය වන්නේ ප්‍රෙඩී සිල්වා චරිතයයි. එවකට ප්‍රෙඩී සිල්වා ජනප්‍රිය වුවත්, සමාජය ඔහු පිළිගැනීමකට ලක්‌ කළේ නැත. පරණ කෝට්‌ ගීතයත් සමග ජනප්‍රිය වූ ප්‍රෙඩී ශීඝ්‍ර ගමනකට මුල පිරුවේ සිනමා නළුවකු ද වෙමිනි. ඒ පසුපස සිටි දැවැන්ත චරිතය ප්‍රේමකීර්ති බව දන්නේ අතළොස්‌සකි. ප්‍රෙඩී ගායනා කළ, “අලුත් කලාවක්‌”, “ආරොන් මාමා”, “පාන්කිරිත්තා”, “නෑදෑයෝ”, “හඳමාමා”, “කැකිල්ලේ ර-ජුරුවෝ”, “කුණ්‌ඩුමනී”, “තේ කූඩය පිටේ බැඳන්” හා මුලින් සඳහන් කළ “පරණ කෝට්‌” ආදී ගීතවල නිර්මාණ හිමිකරුවා ප්‍රේමකීර්ති බව දන්නෝ කවරහුද? වරක්‌ මෙම උපහාස ගීත පිළිබඳ සඳහන් කරමින් ප්‍රේමකීර්ති කීවේ, “ලංකාවේ අපට අපේම කියා උපහාස සාහිත්‍යයක්‌ ඇති බවයි.” ඔහු ඊට දුන් උදාහරණය වූයේ, අන්දරේ, කුංකුණාවේ හාමුදුරුවෝ සහ යක්‌කඩුවේ ප්‍රඥරාම හිමි යන චරිතය. කොළඹ යුගයේ කවියන් කිහිප දෙනකුගේ නම් ද ඔහු කීවේය. ඒ අනුව, සම්භාව්‍ය උපහාස ගීයේ නිර්මාතෘවරයා වන්නේ ද ප්‍රේමකීර්ති බව මගේ විශ්වාසයයි.
ප්‍රේමකීර්ති හැමවිටම දරුවන් සමග සිටීම ප්‍රිය කළ අහිංසකයෙකි. රූපවාහිනියේ “ශනිදා සාදය” හා “අඳුන” තුළින් ද ඔහු ඇමතුවේ බොහෝවිට දරුවන්ටය. සාරධර්ම හා ළමා මනස සංවර්ධනය උදෙසා ඔහු නොමසුරුව ගුවන් කාලය වෙන් කළේය. “කියන්න සුළඟේ ඔබ කොයි සිට දෝ එන්නේ”, “පුංචි පන්තිවල”, “රූම් පෙත්ත කැරකෙනවා”, සුරංගීට දුක හිතුනා”, “සමනළයා මල හා ළමයා”, “මා එක්‌කලා අමනාපව වී දබර” වැනි ගීත ද, ටයිටස්‌ තොටවත්තයන් හඬගැන්වූ “දොස්‌තර හොඳහිත” වෙනුවෙන් රචිත “බෑ කියලා බැරිය මලේ” ආදී වූ ගීත සමුච්චිය අද ද දරුවන් අතර ආදරයට පාත්‍ර වී තිබේ.
ප්‍රේමකීර්ති තරම් පරිසරය හා ගහකොළ සතා සීපාවා පිළිබඳ සංවේදී වූ ගීත රචකයෙක්‌ මට හමුවී නැත. පරිසරයේ අප අවට සිටින ලොකු කුඩා සතුන්ගේත් ගහකොළවලත් සියුම් නිරීක්‍ෂණයක්‌ තුළින් ලත් පරිචයක්‌ ඔහු සතුව පැවැති බව ඔහුගේ ගී නිර්මාණ තුළින් අපට පෙනේ. මීට ඇති හොඳම උදාහරණය නම්, “බානෙන් බැඳ රජරට පෙදෙසින්නේ” ගීතයයි. එසේම, “හැන්දෑ කරේÊඅඹ මල් වට”, “කොහෝ කොහෝ කොහේ ඉඳන්”, “අඹ දඹ නාරන් කෙසෙල් දෙල්”, “සෙවනේ කඹුක්‌ සෙවනේ”, “දකුණු ලකේ අග නගරේ”, “නුවරවැවේ”, “
ප්‍රේමකීර්ති ලියා ඇති බැති ගී ප්‍රමාණය ද ඉතා විශාලය.අම්මා පිළිබඳව අප සියල්ලන්ගේම හදවතේ ඇති ළබැඳි සිතුවම “ආදරයේ උල්පත වූ අම්මා” ගීතවලින් වර්ණවත් වී ඇතැයි පැවසීම අතිශයෝක්‌තියක්‌ නොවේ. එසේම මාතෘත්වය නොලද විවාහක කාන්තාවකගේ සිතුවිලි ද ඔහු හොඳින් තේරුම්ගත් වග පෙනෙන්නේ, “දරුවෝ ඇති අම්මාලා” ගීතයෙනි. සාම්ප්‍රදායික සිංහල පවුල්වල දරුවන් හා දෙමාපියන් අතර ඇත්තේ දැඩි ආධ්‍යාත්මික බැඳීමකි. එම බැඳීමේ ගැඹුර “පුංචි දවස්‌වල නින්දට යද්දී” ගීතයෙන් අපට පවසන්නේ නෙතඟට කඳුළක්‌ නංවමිනි.
තරුණ වියේ දරුවන්ගේ නොමේරූ හැඟීම් මැනැවින් තේරුම්ගත් ප්‍රේමකීර්ති, ඔවුන් දෙස බැලුවේ දයාබර පියකු ලෙසයි. “හිතුවක්‌කාරෙට කරගත්තයි කියලා”, “ආශාවේ මල් වැටෙන් එබී” මේ සඳහා දැක්‌විය හැකි එක්‌ උදාහරණයකි. සමාජය විසින් කොන් කළ අහිංසක සූදුකරුවා සමාජයේ අවධානයට යොමු කරන්නේ “මිනිසකු පිට නැඟි අසරුවෙකි” ගීයෙනි. ප්‍රේමකිර්තිගේ දේශපාලන චින්තනය හඳුනාගත හැකි නිර්මාණ රාශියක්‌ ද මෙම ගී පදමාලා තුළ අන්තර්ගත ය. ඒවා සියුම් ලෙස විග්‍රහ කරන්නකුට පහසුවෙන් ඔහුගේ සිතුවිලි හා ඒකාත්මික විය හැකිය. ප්‍රෙඩී සිල්වා ගායනා කළ “කුණ්‌ඩුමනී” ගීතය එවක රටේ ප්‍රධාන දේශපාලන ගැටලුව වූ ජාතිවාදී ප්‍රශ්නය පිළිබඳ ඔහුගේ දැක්‌ම ප්‍රකට කරයි. ගුණදාස කපුගේ ගායනා කරන “සබඳ අපි කඳු නොවෙමු”, “උතුරු කොනේ නුඹ හිනැහෙන්” ඔහුගේ සමාජ සත්තා යථාර්ථය කුළුගන්වන නිර්මාණයෝ වෙති.
ඔහුගේ ගී පදමාලා රචනා ප්‍රතිභාව පිළිබඳ කිව හැකි හැමෝම දන්නා කතාව මම ඔබට කියමි. ප්‍රේමකීර්තිට ගීයක්‌ ලිවීමට ගත වන්නේ සිගරැට්‌ටුවක්‌ දැවී යන කාලය පමණි. උපකරණ ලෙස අවශ්‍ය වන්නේ බස්‌ ටිකට්‌ටුවක තරමේ කඩදාසි කැබැල්ලකි. “ආදරයේ උල්පත වූ අම්මා” ගීතය ලියෑවුණේ 138 බස්‌ රථයක ඇස්‌වාට්‌ටුවේ සිට හෝමාගම යද්දී එම ගමන සඳහා නිකුත් කළ ටිකට්‌ පතේ බව දන්නේ වික්‌ටර් රත්නායකයන්ම පමණි. ඔහු පිළිබඳ මෙවැනි කතා සිය ගණනක්‌ තිබේ. ඒවා ද සාහිත්‍යයකි. මහා හඬ පෞරුෂයක්‌ සහිත වූ ගුවන්විදුලි නිවේදකයකු වූ ප්‍රේමකීර්ති 60 දශකයේ අග භාගය වන විට ශ්‍රී ලංකා ගුවන්විදුලියේ සෙසු සියලු නිවේදකයන් අභිබවා සිටියේය. ඔහුගේ ඉතිහාසය, සාහිත්‍යය, ආගම හා සමාජ පරිඥනය පිළිබඳ වූ විශිෂ්ට දැනුම ගුවන් තලය හරහා ශ්‍රාවක දෙසවන් තුළින් හදවත් තුළට කිඳා  බැස්‌සේය. ප්‍රවෘත්ති නිවේදනයේ විශිෂ්ටයකු වූ ප්‍රේමකීර්ති එනිසාම පසු කලෙක රූපවාහිනියේ “පුවත් සැරිසර නමින් සාර්ථක වැඩසටහනක්‌ ඉදිරිපත් කළේය. “පුවත් සැරිසර” තුළින් සජීවීව ශ්‍රාවකයන් වැඩසටහනට සම්බන්ධ කරගැනීම ඔහු කළ අභියෝගාත්මක අත්හදා බැලීමකි.
1969 සිට 1977 දක්‌වා කාලසීමාව තුළ ගුවන්විදුලි බලධාරීන් විසින් ප්‍රේමකීර්තිගේ වැඩ තහනම් කළ අවස්‌ථා ගණන 12 කි. 1977 සිට 1987 දක්‌වා විවිධ දේශපාලන පළිගැනීම්වලට බඳුන් වූ ප්‍රේමකීර්ති අවසන වසර දෙකක වැඩ තහනමකට ද ලක්‌විය. වසර දෙකක අනිවාර්ය නිවාඩු යෑවීමෙන් පසු කිසිදු දඬුවමකින් තොරව නැවත සේවයට කැඳවූ ප්‍රේමකීර්ති ද අල්විස්‌ හා ගුණදාස කපුගේ රජරටට මාරු කරන ලදී. වැව් බැඳි රාජ්‍යයේ ගමක්‌ ගානේ යමින් රජරට සේවය ජනප්‍රිය කොට එය පොදු ජනතාවගේ හඬ බවට පත් කළ මොවුහු රජරට කළුගල් නිල් මැණික්‌ බවට පත් කළහ. ඊට ඇති හොඳම නිදසුන වන්නේ කරුණාරත්න දිවුල්ගනේ නම් ගායකයායි. රජරට සේවය කොළඹ ගුවන්විදුලියට තර්ජනයක්‌ම විය. වැව් බැඳි රාජ්‍යයේ දොරින් දොර, ගමින් ගම, ඇසුණු එකම ගුවන්විදුලිය වූයේ රජරට සේවයයි.
ඔහු දේශපාලන වේදිකා මත කෑ ගසා හෝ කරපටි සලකුණෙන් හෝ කේලාම් කීමෙන් දේශපාලනය නොකළ මානව හිතවාදියෙකි. ඔහු පිළිබඳ සැබෑව නම්, තමාගේ මාසික සොච්චම් පඩියෙන් මාස්‌ පතා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ සාමාජික මුදල අඩු කර යවන්නැයි ස්‌ථාවර නියෝගයක්‌ ලබාදී තිබූ එකම ගුවන්විදුලි සේවකයා වීමය. ඔහු මරා දැමූ පසු බිරිඳ අතට ලැබුණු 1989 ජුලි මස පඩිපතේ ද ඒ බව සටහන් වී තිබිණි.
1989 ජුලි මස 31 වැනි දින සීතල රාත්‍රියේ මැදියමට සුළු මොහොතකට පසු පාළු මාවතක බෝක්‌කුවක්‌ මතදී ලොවම ආදරය කළ ඒ මහා හඬ පෞරුෂය ගලා ආ අවිහිංසක සිනාව රැඳි මුවට වෙඩි තබා මෙම අවිහිංසක සමනළයකු වන් සියුමැලි මිනිසා ඝාතනය කරවන ලදී.

* සමරවීර මුදලිගේ දොන් ආරියරත්න ද අල්විස්‌
(ප්‍රේමකීර්ති ද අල්විස්‌ ඝාතනය කොට වසර 22 ක්‌ පිරීම නිමිත්තෙන් පළවූ ලිපියක්. )
 -------------------------------------------------------------------------------------------
 ඉහත සටහන ගැන
රජරට නිජබිම වූ
"අස්වැන්න" රචක දයානන්ද රත්නායක සහෘදයන්
මෙසේ පවසනවා.

"ඇත්තටම මම මේ සටහන ලියවුණු අතීතය ඊයේ යළිත් කල්පනා කළා. මගේ මතකයේ හැටියට හියවසරේ ජූනි මාසේ මැද හරියේ විතර ඉරිදා දිවයි‍න පුවත්පතේ ප්‍රේමකීර්තිගේ සොහොයුරෙක් නමින් මේ පුවත පළවෙලා තිබුනේ. ඒත් ප්‍රේම්ගේ පුද්ගලික ජීවිතය ගැන සමහර තොරතුරු සත්‍ය ඒවා වුනත්.මෙහි ඇතුළත් ගිත ගැන ලොකු ආන්දෝලනයක් ඊට පසු සතියේ ඇතිවුණා.

මේක ලිව්ව තැනැත්තා ප්‍රේමකීර්තිගේ ඥාතියෙකු නොවන බවත්,ව්‍යාජ නමකින් පෙනි සිටි තැනැත්තෙකු බවත් විද්වතුන් කිපදෙනෙකුම ඊට පසු සතිවල ඒ පුවත්පතේම සටහන් කරලා තිබුණා.

අනික කරුණාරත්න දිවුල්ගනේ රජරට මිනිසුන් හදුනාගත්තායින් පසුවයි ප්‍රේම් රජරටට ආවේ.ඒවන විටත් කුලසේන ෆොන්සේකා, විජයාන්නද ජයවීර, ස්වර්ණ බණ්ඩාර සමග දිවුල්ගනේ කටයුතු කරල තිබුණා.

මම ඒගැන පුංචි සදහනක් කරල තිබුණා අස්වැන්නෙන් මෙන්න මෙතනින් බලන්න
http://aswanna.blogspot.com/2013/03/blog-post_20.html

"සමරවීර මුදලිගේ දොන් ආරියරත්න ද අල්විස්‌" මේ නම ව්‍යාජ නමක්.ඒ නිසා අපි ප්‍රේම්ගේ ජීවිතයෙන් සහ ඔහුගේම නිර්මානවලින් ගත හැකි ආදර්ශය විතරක් ගනිමු "
-------------------------------------------------------------------------------------------

ජෝන්ද සිල්වා ශූරීන්ගේ රාමායණයේ "අඹ දඹ නාරං" සහ 
“කොහෝ කොහෝ කොහේ ඉඳන්/ “සෙවනේ කඹුක්‌ සෙවනේ”, /“දරුවෝ ඇති අම්මාලා”/ “පුංචි දවස්‌වල නින්දට යද්දී” /“ආශාවේ මල් වැටෙන් එබී”/ගුණදාස කපුගේ ගායනා කරන “සබඳ අපි කඳු නොවෙමු”, “උතුරු කොනේ නුඹ හිනැහෙන්” ගීත ප්‍රේම්ගේ නොව අජන්තා රණසිංහ/ මඩවල/ දර්ශන මේදිස්/ චන්දුා වාකිස්ට/ ලියූ ගීත බව තිස්ස ගුණවර්ධන හා දයානන්ද රත්නායකගෙ ප්‍රකාශ පහත දැක්වෙන ප්‍රකාශ වල පළවුණා.

-----------------------------------------------------------------------------------------------








ප්‍රෙමකීර්ති ගී රස වින්දන


































20130521

1956 ජෝතිගෙ ප්‍රවේශය - සිරියමෙ සාරා


උපුටා ගත්තේ
දයානන්ද රත්නායකගේ අස්වැන්න
බ්ලොග් සටහනෙන්
---------------------------------------

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiFnUwHoZbfoJFJw4BIs9C_0zV1nzC1gifImO7Sq1Qit1z5HbgmNe_zkFypuunUgz_7vxpjfpKKdagwSdkldFxV3ZQxqh-Z3kLe24gtfqPVc9ka7aoucD4HsQAdhxRdhr_HkaZF2wOp1xk/s400/Picture+009.jpg1947දී “කඩවුණු පොරොන්දුව”  චිත්‍රපටය තිරගත වන විට දකුණු ඉන්දීය සංගිතඥයන් ලෙස කටයුතු කළ ආර්. නාරයන් අය්යර්, පාණ්ඩුරංගන්,  ඇස් ඇස්. වේදාචලම්,  ඇස් . දක්ෂිණ මූර්ති, ටී.ආර්. පාපා, එස්.එම්. සුබෙයියා, ආර්.මුත්තුසාමි, ආර්. සුදර්ශනම්, ජී ඇස්. දිවාකර්, වී. ක්‍රිෂ්ණ මූර්ති ආදී සංගීතවේදීහු  මෙරට ද ජනප්‍රිය සංගිතකරුවන්  වී සිටියහ. ඒ ඔවුන්ගේ හින්දි සහ දෙමල චිත්‍රපට මෙරට ද තිරගත වී තිබූ බැවිනි.
චිත්‍රපට සංගීතය යනු ගීත ම පමණක් බව ඔවුන් දැඩි ව එළඹ තිබූ මතය හේතුවෙන් එවකට බිහි වූ චිත්‍රපට වල ගීත 12  හෝ 14 පමණ එල්ලා  තිබුණි. මේ තත්වයම "කඩවුණු පොරාන්දුව”  චිත්‍රපටයට අත්වූ අතර මලයාලම් ජාතික ආර්. නාරයන් අය්යර් සංගීතවත් කළ "කඩවුණු පෙරොන්දුව" චිත්‍රපටයේ ද ගීත 12 ක් විය.
ඒ අනුව සිංහල චිත්‍රපට සියල්ල එතැන් පටන් කිසිඳු අඩුවක් නොමැතිව දකුණු ඉන්දියානු චිත්‍රපට අනුකරණය කරමින් මෙරට සිංහල චිත්‍රපට නිෂ්පාදනය කළේ දකුණු ඉන්දියාවේ තමිල් නාඩුවේ දීය. ඒ නිසාම  චිත්‍රපට ගීත ගායනය සඳහා සිංහල කිසිවක් නොදත් කේ.ජමුණා රාණී,  ඒ.එම්.රාජා,  ජික්කි, ලතා මංගේෂ්කාර්, රූපාවතී , ජෙමිනි කාන්තා,  භාග්‍යරතී  ආදි ඉන්දියානු ගායක ගායිකාවෝ රැසක්  සිංහලෙන්  ගී ගැයුහ. ඒ චිත්‍රපටවල ලංකාවෙන් ගී ගැයූ ගායක ගායිකාවන් වූයේ  රුක්මණී දේවි, එඩී ජයමාන්න, පර්ල් වාසුදේවි, ධර්මදාස වල්පොල,  ලතා, සහ ජී.ඇස්.බී.රාණි පෙරේරා ආදීහුය. මේ දශකය තුළ නිමවුණු සිංහල චිත්‍රපට කීපයක් හැර  සෙසු සියළුම  චිත්‍රපට ඉන්දීය අනුකාරක චිත්‍රපට වූ අතර, ඒවායේ ගීත ද ඒ අනුකාරකත්වය තුළ ගිලී තිබුණි.
මේ යුගය වන විට ජෝතිපාලට වයස අවුරුදු 16 පමණ විය.  ඒ වන විට හින්දියෙන් ගී ගයන ගමේ ගායකයෙකු ලෙස ජෝතිපාල මරදාන ප්‍රදේශයේ තරමක් දුරට නමක් දිනා  සිටියේ ය. මරදාන, දෙමටගොඩ, නාරාහේන්පිට, ආදී ප්‍රදේශවල පැවති "පැදුරු සාජ්ජයන්" සඳහා ජෝතිපාල ගැයුවේ හින්දි ගීත ය. මේ පිළිබඳව මීට කළකට ඉහත දී ප්‍රවීන ගුවන්විදුලි නිවේදක ආරියදාස පීරිස් මහතා මා සමග දැක් වූ අදහසක් මේ.
ආරියදාස පීරිස් සොයා ගත් ජෝතිපාල:
ජෝතිපාල යොවුන් වියේ දී රැකියාවක් ලෙස පිටකොටුවේ  රෙදි සාප්පුවක වැඩ කරමින් සිටියේය. පීරිස් මහතා නිතර ආ ගිය තැනක් වූ ඒ රෙදි සාප්පුවේ වැඩ කල ‍අයෙක් එක දවසක සාප්පුවේ වැඩ කල කඩවසම් තරුණයෙකු පෙන්වා
"ආරියදාස මහත්තයා මේ කොල්ලට හොදට සිංදු කියන්න පුළුවන් පුලුවන් නම් රේඩියෝ සිලෝන් එකෙන් සිංදුවක් කියන්න දෙන්න"
" එහෙනම් කියනව බලන්න සිංදුවක්" ආරියදාස පීරිස් මහතා කීවේය
එදා ජෝතිපාල රෙදි සාප්පුවේ බිත්තියකට තට්ටු කරමින් හින්දි ගීයක් ගයා ආරියදාස පීරිස් මහතාට පෙන්වීය. ඔහු විමතියට පත්විය.
"හෙට උදේ රේඩියො සිලෝන් එකට ඇවිත මාව හම්බවෙනව" පීරිස් මහතා කීවේය.
පසුදින උදෑසන ජෝතිපාල ගුවන් විදුලියේ දොරකඩට වී සිටියේය. එදා පීරිස් මහතා පැමිණ ජෝතිපාල ආධුනික පැය වැඩසටහනට දැම්මේය.  ජෝතිපාල  තමන්ට ලැබුණ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගෙන ගීය ගැයීය. ඔහු ඉන් සමත් විය.  ඉන් අනතුරුව ජෝතිපාල ගුවන් විදුලියේ "ජයග්‍රාහි පෙළපාලියට " ද  යොමු කළේය. එයින් ද ජෝතිපාල සමත් විය. එයින් සමත් වූ ආධුනිකයන්ට විනාඩි 15 ක ආධුනික ගුවන් විදුලි වැඩසටහනක්  ලැබුණ බැවින් ඒ අවස්ථාව ජෝතිපාලට ද හිමි විය. ආරියදාස පීරිස් මහතා ජෝතිපාලව ගුවන් විදුලියට ගෙනාවේ ඒ අයුරිනි. මෙසේ ගායකයෙක් වූ ජෝතිපාල චිත්‍රපට අධ්‍යක්ෂක සිරිල් පී. අබේරත්නටද හඳුන්වා දුන්නේ ආරියදාස පීරිස් මහතා විසිනි.
ආරියදාස පීරිස් මහතා
මේ ආකාරයට පියවරෙන් පියවර ගීත ගායනයට පිවිසෙමින් සිටි  ජෝතිපාලට 1955 වර්ෂයේ දී සිරිසේන විමලවීර තැනූ "පොඩි පුතා" චිත්‍රපටයට  ගී ගැයිමට අවස්ථාවක් ලැබුණි. ජෝතිපාල ගීතය ගායනා කළේය.  චිත්‍රපටය නිෂ්පාදනය කළ නව ජීවන චිත්‍රපට සමාගම ජෝතිපාලගේ ගීතයට විරෝධය පල කළේ‍ය.
  
"මිනිහගේ කට හඬ හරි නෑ, මහ රළු හඬක් , මේ මිනිහට සිංදු කියන්න බෑ ඒ නිසා මේ චිත්‍රපටයෙන් මිනිහා අයින් කරනවා"  චිත්‍රපට සමාගම සංගීත අධ්‍යක්ෂ වරයාටත්, චිත්‍රපට අධ්‍යක්ෂවරයාටත් දන්වා සිටියේය. කිසිඳු තර්කයක් නොමැතිව ජෝතිපාල ගැයූ  ඒ චිත්‍රපට ගීතය චිත්‍රපටයෙන් කැපී විසි වුණි.
එසේ වුවද, ජෝතිපාල  එවකට තිබූ "පැදුරු පාටි" සඳහා දිගින් දිගටම සහභාගි විය. මේ පැදුරු පාටි සංගීත සඳහා එවකට  පී.එල්.ඒ. සෝමපාල සහ ආර්.ඒ චන්ද්‍රසේන නම් දරා සිටියේය.
ජී.ඇස්.බී රාණිට හමු වූ ජෝතිපාල:
"මගේ මහත්තයා ඇන්ටන් පෙරේරා තමයි මුලින්ම ජෝතිපාලව අඳුන ගත්තෙ. මහත්තයා එතකොට වැඩ කළේ රෙඩිෆියුෂන් සමාගමේ මරදාන ඒජන්ට් විදියට. ඇන්ටන් මරදානෙ නොදන්න කෙනෙක් නෑ. මටත් වඩා හුඟක් ජනප්‍රියයි ඇන්ටන්. ඒ කාලෙ මරදාන ප්‍රදේශයේ හිටපු චණ්ඩියෙක් වූ "චණ්ඩි චොප්පෙ " ඇන්ටන්ට ජෝතිපාලව හඳුන්වා දී තිබුණි.
"හොඳට සිංදු කියන කොල්ලෙක් සර්! නෝනට කියල අපේ කොල්ලට මොකක් හරි සපෝට් එකක් අරන් දෙන්න."
ඇන්ටන්ද හිස වැනුවා මිස ඉන් එහාට යමක් පැවසිමට නොගියේ ය. ඒ ඇන්ටන් සහ රාණි විවාහ වූ අලුත බැවින් ඔවුන් දෙදෙනා ඇසුරු කල බොහෝ අයගෙන් පැදුරු පාටියකට හෝ බජව්වකට  ඇරැයුමක් නොලැබුණා නම් ඒ කලාතුරකිනි.
"අපි විවාහය රෙජිස්ටර් කළේ පුවත් පත් කලාවේදී සිසිර කුමාර  මාණික්කආරච්චි මහත්තයාගෙ නුගේගොඩ ගෙදරදි. දැන් නන්දා මාලනී  ඉන්න ගෙවල් පාරෙ කෙළවර තමයි සිසිරගෙ ගෙදර තිබුණෙ.
ජී.ඇස්. බී. රාණී පෙරේරා
අපේ විවාහය වෙනුවෙන් සිසිර පැදුරු පාටියක් සූදානම් කළා. අපි දෙන්නත් එතැන  ඉන්දැද්දි ඒ බජව්වට චොප්පෙ ජෝතිපාලව එක්කන් ආවා."
ආර්.ඒ. චන්ද්‍රසේන මාස්ටර්  පැදුරු පාටිය භාරව කටයුතු කල අතර ඇන්ටන් චන්ද්‍රසේන මාස්ටර් ළඟින්ම ඇසුරු කළ අයෙකු බැවින් චන්ද්‍රසේන මාස්ටර් ළඟට ගොස් ජෝතිපාල ඔහුට හඳුන්වා දුන්නේය.
"හොඳට සිංදු කියන කොල්ලෙක් මචං කොල්ලට සිංදුවක් කියන්න දීපං"
යහළුවාගේ ඉල්ලීමට පිටුපෑමට නොහැකි වූ බැවින් චන්ද්‍රසේන මාස්ටර්  ද දෙවරක් නොසිතා ම ඊට කැමැත්ත පළ කළේ ය. ආර්.ඒ චන්ද්‍රසේන මාස්ටර් ද ඕනෑම වෙලාවක ඕනැම තැනකදි  අනුන්ට උදව් කිරිමට තරම් හිතක් තිබූ මහත්මාගුණයෙන් පෝෂිත අයෙකු වූ බැවින් ජෝතිපාලට ඒ අවස්ථාව ලැබුණි. එය ඔහුගේ ජීවිතයේ අමරණීය එකක් බව පසු කාලයේදි ජෝතිපාල විසින් ඇන්ටන්ටත්  රාණිටත් කියා තිබුණි.
"එදා ජෝති හරි ලස්සනට හින්දි සිංදු දෙකක්ම කිව්ව. " රාණි කීවාය.
කඳුළෙන්, සුසුමෙන්, සිනාවෙන් උපන් ගීතය:
නැවත ජෝතිපාලට චිත්‍රපටයක  ගීයක් ගායනා කිරිමට අවස්ථාව උදා කර දුන්නේ  පෙර දවසක ආරියදාස පීරිස් මහතා හඳුන්වා දුන් චිත්‍රපට අධ්‍යක්ෂක සිරිල් පී. අබේරත්න විසිනි. ඒ  ජබීර්.ඒ.කාදර් නිෂ්පාදනය කළ  "සුරතලී" චිත්‍රපටය සඳහා ය. ඒ "සිරියා මෙ සාරා"  ගීයයි.
1956 දී තිරගත වූ "සුරතලී" චිත්‍රපටයද ජනප්‍රිය හින්දි චිත්‍රපටයක් වූ "බර්සාත්" චිත්‍රපටය ඇසුරින්  නිර්මාණය වූවකි. සිරිල් පී. අබේරත්නට අමතරව දකුණු ඉන්දියාවේ දෙමළ චිත්‍රපට අධ්‍යක්ෂක‍වරයෙකු වූ කේ. වෙම්බු මහතාද චිත්‍රපටයේ අධ්‍යක්ෂ වරයෙකු ලෙස  කටයුතු  කළේය.
චිත්‍රපටයට ගීත 12 ක් ඇතුළත් විය. "සුරතලී " චිත්‍රපටයේ ගීත ගායනා කිරිමට සිටි ප්‍රධානතම  ගායක පිරිස  වූයේ ජී.ඇස්.බී.රාණි පෙරේරා, ස්වර්ණා අබේරත්න,  ධර්මදාස වල්පොල, එල්.එම්.පෙරේරා,  ලතා සහ ජෝතිපාල ද, ඉන්දියාවේ මදුරාසියේ "වාහිනි" ශබ්දාගාරයට  ගොස් සිටියහ. ටී.ආර්. පාපා  "සුරතලී" චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය භාරව කටයුතු කළේය. චිත්‍රපටයේ ගීත අතුරින් එකක් සමූහ ගායනයක්ද, තව ගියක් යුග ගීතයක් ලෙසින්ද, ඒකල ගීයක් ද ජෝතිපාලට ගැයිමට නියමිතව තිබුණි.
ජෝතිපාල නවක ගායකයෙකු නිසා එකවරම චිත්‍රපට පසුබ්ම් ගීතයක් ගායනා කිරිමට භාර දිමට පාපා අකමැති විය. පාපා  ජෝතිපාල එම චිත්‍රපටයෙන් ඉවත් කිරිමට අපමණ වෙහෙසක් ගත්තේ ය.
'මෙයාගෙ වොයිස් එක මේ චිත්‍රපටයට ගැලපෙන්නෙ නෑ" පාපා කීවේය. එයින් නොනැවතී ඔහු  ඒ බව චිත්‍රපට නිෂ්පාදක ජබීර්.ඒ. කාදර්ට ද දැනුම් දීමට කටයුතු කළේය.
කෙසේ වුවත්, එදා පටිගත කිරිම් සඳහා "වාහිනී" ශබ්දාගාරයට ගොස් සිටි ජී.ඇස්බී. රාණි ඇතුළු පිරිස පාපාගෙන් ඉල්ලීමක් කළේ  ජෝතිපාලට ගීය ගායනා කරන්න දෙන ලෙස ය. ජෝතිපාල නිසා "සුරතලී" චිත්‍රපටයට යම් හානියක් හෝ  පාඩුවක් වුවහොත් යළිත් කිසිඳු දිනයක කාදර්ගේ චිත්‍රපටවලට සම්බන්ධ නොවන බව ඔව්හු පාපා ට කියා සිටියහ.
ඒ වන විටත් දෙවන වරටත් අහිමි වෙමින් තිබූ වාසනාව පිලිබඳව ජෝතිපාලගේ සිත දැඩිව කලකිරීමට පත්ව තිබුණි. ඒ හේතුවෙන් ම ඔහු මදුරාසියේ දී දුම්රියට පැන සිය දිවි හානි කරගැනිමට   උත්සාහ කළේය. ඒ ජෝතිපාලගේ උත්සාහහය යාන්තමට එදා  ලංකාවෙන් ගොස් සිටි ශිල්පීන්ට වලක්වා ගත හැකි විම සතුටට කාරණයක් විය. අන්තිමේ දී සිරිල් පී. අබේරත්නගේ දැඩි බලපැම හමුවේ කණ්ඩායමට ජය අත්විය. ජෝතිපාල "සිරියා මෙ  සාරා"  ගීතය ගායනා කළේය.
චිත්‍රපටයේ ගීත අතුරින් හරි අඩකට වඩා ජනප්‍රිය විය. ජෝතිපාල ගැයූ සෙසු ගීත එතරම් ජනප්‍රිය නොවුන ද කාදර්ගේ චිත්‍රපටයට කිසිඳු හානියක් හෝ පාඩුවක් සිදු නොවුනි. කාදර්ගේත්, ටී.ආර්. පාපාගේත්, ඉහේ මලක් පිපුණාක් මෙන් විය. ඔවුන්ගේ මුවගට සිනා රැල්ලක්ද නැගුණි. කඳුළින් සුසුමින් සිනාවෙන් උපන් මේ ගීය නිසාය.
සිරියා මෙ සාරා නැගේවි හද මෝරා
දී ප්‍රේමේ අමධාරා හෝ ප්‍රේමේ අමධාරා
ප්‍රේමේ නුරා ගීත රාවේ නැගෙන්නා
මේ පෙම් මල් පිපීලා මා හර්දේ පිරෙන්නා
හෝ...
දින රාජයා ඈත අහසේ දිලෙන්නා
දී ප්‍රේමේ අමධාරා හෝ ප්‍රේමේ අමධාරා
ගංගා පිරීලා‍ ඉතිරී ගලන්නා
ආලේ රසේ මා හදේහි නැගෙන්නා
හෝ..
මේ සන්ධ්‍යා ශ්‍රියාවෝ නැගේ හද මෝරා
දී ප්‍රේමේ අමධාරා හෝ ප්‍රේමේ අමධාරා
මල් ලෝකෙ සරලා ගුමු නාදෙ දීලා
බඹරා ගියා සේ  පෙම් ගී ගයාලා
හෝ..
යාවී මේ දැන් පෙම් කුමාරි සොයාලා
දී ප්‍රේමේ අමධාරා හෝ ප්‍රේමේ අමධාරා
ගීත පබැඳුම:   ඩබ්ලිව්. විල්ෆ්‍රඩ් සිල්වා
සංගිතය:        ටී.ආර්. පාපා
ගායනය:        එච්.ආර්. ජෝතිපාල
චිත්‍රපටය:        සුරතලී
නිෂ්පාදක:      ජබීර්.ඒ. කාදර්
තිරගතවූ වසර:  1956

මේ චිත්‍රපටයේ  සියළුම ගීත අනුකාරක ගීත විය. ඒවා හින්දි සහ දෙමල චිත්‍රපටවලින් උපුටා ගත් ඒවාය.
ඒ අනුව පසු කාලයේ දී ජනප්‍රියම චිත්‍රපට පසුබ්ම්  ගායකයා වූ එච්.ආර්.ජෝතිපාලගේ මුල්ම ගීතය සහ චිත්‍රපට ගීතය ලෙස "සිරියා මෙ සාරා"  ගීතය ඉතිහාස ගත විය. ඒ වන විට ජෝතිපාලගේ වයස අවුරුදු විස්සකි. ගීතයට අදට වසය අවුරුදු 56 කි. ෴

හින්දි ගීයෙන් සිංහල ගීය





20130513

වෛශ්ණව ජන තෝ



http://img.timeinc.net/time/time100/images/main_gandhi.jpg
ඛමාජ් රාගයෙන් ගැයෙන වෛශ්ණව ජන තෝ 15වන සියවසේදී නරිශ් මෙහ්තා විසින් ලියැවුණ ගුජරාති භජන් ගීයකි. මහත්මා ගාන්ධි විසින්  දිනපතා පූජාවෙහිදී ගයන ලද ඔහුගේ ප්‍රියතම භජන් ගීයකි. මෙම ගීය නිරන්තරයෙන් ඉන්දියාවේ ආගමික උත්සව හා සංගීත ප්‍රසංග වල ගැයෙන්නකි.