20131124

කවියා සංවේදනා පළකරන්නෙක්‌ විය යුතුයි -නන්දන වීරසිංහ



http://sphotos-g.ak.fbcdn.net/hphotos-ak-ash3/557558_3705012950613_485321972_n.jpgනන්දන වීරසිංහ

කවියා සංවේදනා පළකරන්නෙක්‌ විය යුතුයි

"රැයකරා ගමන" පද්‍ය නිර්මාණ එකතුව සඳහා මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් හා විෙද්‍යාදය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලද නන්දන වීරසිංහ සිය ප්‍රකාශන මාධ්‍ය ලෙස කවිය තෝරා ගනිමින් දශක තුනකට ආසන්න කාලයක්‌ නිර්මාණකරණයේ යෙදෙන්නෙකි. 1984 දී "ගිංගඟේ විලාපය" නමින් කවි එකතුවක්‌ පළ කරමින් ඇරැඹි ඔහුගේ ගමන "කිරි සුවදැති රාත්‍රිය" "සක්‍යතාව නම් වෙමි" "ගිරග" "මහත් සඳ පිණිබිඳු" "චන්ද්‍ර බිම්බ" ආදී කවි එකතුවලින් ශක්‌තිමත් වූ අතර ඒ නිර්මාණ අතරින් බහුතරයක්‌ ඇගයීමට ලක්‌වීම ද සුවිශේෂ කාරණයකි. සිළුමිණ කර්තෘ මණ්‌ඩලයේ වසර 15 ක පමණ කාලයක්‌ සේවය කළ නන්දන වීරසිංහ "පුන්කළස" සහ "සියපත" සාහිත්‍යය අතිරේකවල ආරම්භක සංස්‌කාරකවරයා ද විය. පහතින් පෙළගැසෙන්නේ ඔහු හා කළ සම්මුඛ සාකච්ඡාවක සංක්‍ෂිප්ත සටහනකි.

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhP6SnU25HxGmSxSX6FP_f3VIyH2KBV4Sqrh5x407GOWDbimkr7GTRipuJ8xf2g45LChe2Ain2GnAeJmMwKkmzbQfK3dQLVKVfRGQ46JrS-Lw6-LqfSdc8vqDNJnqEFkZ2su0Ed_4V-Bpg/s1600/Going+into+the+night-Nandana+Weerasinghe+fp.jpg

  • "රැයකරා ගමන" කවි එකතුව පිළිබඳ, ඔබේම අදහස්‌ විමසන්නට කැමතියි?
"චන්ද්‍ර බිම්බ" ලියා වසර පහක කාලයක්‌ ගතවීමෙන් පසුවයි රැය කරා ගමන පළ කෙරෙන්නේ. බොහෝ දෙනෙක්‌ මත පළ කළා මම මේ කවි එකතුව ඔස්‌සේ අද්‍යතන දේශපාලන, ආර්ථික දශාව පිළිබඳ මගේ මතය දක්‌වන්නට උත්සාහ කරනවා කියා. නමුත් එබඳු යමක්‌ මෙහි නැති බවයි මගේ අදහස. මෙය හුදකලා වුණු පෞද්ගලික යමක්‌ කියා අයකුට කියන්න පුළුවන්. වියුක්‌ත දාර්ශනික සංකල්ප ඉදිරිපත් කිරීමට දරණ උත්සාහයකුත් නොවේ. එක්‌තරා ආකාරයකින් ජීවිතය පිළිබඳ අවලෝකනයක යෙදීමක්‌. මගේ සංවේදනා පළ කිරීම හැරෙන්නට මතවාදයක්‌ ගොඩනැගීමට මා උත්සාහ කළේ නැතැයි කියන කාරණය පැහැදිලිව කිව යුතුයි. මේ සමාජ සන්දර්භයන්ට මුහුණ දෙන පුද්ගලයාම කවියේ කථිකයා වූ විට ඇතැම් විට සමාජයට වැරදි දෙයක්‌ දෙන බව මා හිතනවා. එනිසා පරිණත ජීවිතාවලෝකනයක යෙදෙන පුද්ගලයකු මේ කවිවලට විෂය වුණු බවයි මගේ හැඟීම.

මා එසේ කිව්වත් මේ නිර්මාණවල විනිශ්චයකරුවා වන්නේ කවි කියවන රසිකයා බව මා විශ්වාස කරනවා. මගේ සංවේදනා කොයි ආකාරයෙන් පළ කෙරුණත් ඒවා තමන්ගේ කියෑවීම තුළ විග්‍රහ කරගන්නට රසිකයාට තිබෙන අයිතියට මා ගරු කරනවා.

මේ කවිවල දේශපාලනික දශාවක්‌ නොවන බව ඔබ කිව්වත් බොහෝ කවිවල යටි අරුතින් ඔබ ඔබේ දේශපාලනය කවිය හා ආබද්ධ කරන බව මා දකිනවා.

රැය කරා ගමනෙහි එන එක්‌ කවියක විජයබා රජු ගැන කියෑවෙනවා. ඔහු යුද්ධ කරලා විශාල ජයග්‍රහණයක්‌ අත්පත් කර ගත්තා. ඒත් ඒ ජයග්‍රහණය ඔහුගේ පෞද්ගලික ප්‍රයෝජනයට ගත්තේ නැහැ. විජයබා පිළිරුවට පේනවා තමා වටා සිටි මහා සෙනඟ අද නැති බව. අද සිටින්නේ ගහකොළ කුරුල්ලන් පමණයි. පිළිරුව තේරුම් ගන්නවා ජයග්‍රහණ කියන්නේ තාවකාලික දේ පමණක්‌ බව. අදත් එබඳු පුද්ගලයන් සිටිනවා. නමුත් මට වුවමනා වුණේ මේ ජීවිත යථාර්ථය විජයබා පිළිරුව පාදක කොටගෙන පෙන්වා දෙන්නයි. එය යම් පුද්ගලයකු හෝ යමකුගේ දේශපාලන හැසිරීම ඉලක්‌ක කොට ලියෑවුණක්‌ නොවේ. මා පවා ජීවිතය තුළ අත්දුටු දේ පිළිබඳ කළ ඉදිරිපත් කිරීමයි.

මේ තිබෙන ආර්ථික දේශපාලන සන්දර්භය අප ග්‍රහණය කරගත යුත්තේ කොහොමද කියා කල්පනා කිරීමට නිර්මාණකරුවකු පෙළඹිය යුතුයි. එහෙත් ඒ සඳහා යම් ශික්‍ෂණයක්‌ තිබෙනවා. ආවේගයන්ට වහල් වී මේ සමාජ විචල්‍යයන් අර්ථ ගැන්විය හැකි වන්නේ නැහැ. මේවා කියන්න ඕනේ කොහොමද කියා අපි සොයා පාදා ගත යුතුයි.

මා හිතනවා අද වන විට පොදුවේ මුළු ලෝකයේම සාහිත්‍යය ප්‍රකාශනය තුළ ආවේග සංසිඳුණු උසස්‌ ගතියක්‌ තිබෙනවා කියා. ඒ ශික්‍ෂණය මගේ කවිවල රඳවා ගන්නටත් මා උත්සාහ කරනවා. මට හිතෙන දේ මගේ අදහස ඒ අයුරින් ම සමාජගත කරන්නට කවියකු ලෙස මා උත්සාහ කරන්නේ නැහැ. එය කිසියම් ආකාරයකට අර්ථ පූර්ණ, භාවපූර්ණ වූ සියුම් සංවේදනාත්මක ආකාරයකට විතැන් කොට ඉදිරිපත් කිරිමයි කළ යුත්තේ. මා යොදා ගන්නා අනුභූතීන්, අත්දැකීම් අවසානයේ සියුම් කථනයකට යොමු විය යුතුයි. ඒ කථනයමයි කවියාගේ භාෂාවේ තිබෙන්නේත්. මේ සියලු අනුභූතීන් පිළිබඳ විමර්ශනයක යෙදිලා ඔහු මිශ්‍රණයක්‌ හදනවා කවිය ඇසුරින්. ඉන් යමක්‌ තේරුම් ගන්නට පුළුවන්.

කවිය කියන්නේ තමා ගැන කරන ප්‍රචාරණයක්‌ නොවන බව අවබෝධ කර ගත යුතුයි. තමා ම පෙනී සිටිමින් තමා ගැන වහසි බස්‌ දොඩන ආකාරයක්‌ නොවිය යුතුයි. මෙය සරලව විග්‍රහ කරනවා නම් කවිය මතවාදයන් ඉදිරිපත් නොකළ යුතුයි කියා කියන්න පුළුවන්. වෙනත් අයකුට මේ පිළිබඳ වෙනත් මතයක්‌ තිබෙන්නට පුළුවන්. නමුත් මුලිනුත් පැවසූ පරිදි මා විශ්වාස කරනවා කවියා සංවේදනා ඉදිරිපත් කරන්නකු වියයුතුයි කියලා.

  • "කවි බස" වඩාත් කතා බහට ලක්‌වන අංගයක්‌.
    ඔබ ඒ පිළිබඳ යම් අදහසක්‌ දරනවාද?
නිර්මාණයේ යෙදෙන විට මගේ වස්‌තු විෂය ඉක්‌මවා යැමේදී බිහිවන බස මා යොදා ගන්නා කවි බස බව කිව යුතුයි. එය සම්භාව්‍ය සාහිත්‍යය වෙන්න පුළුවන්. ජීව බස වෙන්න පුළුවන්. සමකාලීන ලේඛන භාවිතය වෙන්න පුළුවන්. එහෙත් බොහෝ දුරට මා උත්සාහ කරන්නේ සාමාන්‍ය වචනවලින් සියුම් අරුත් දනවන්නයි. එය මහා විශාල හාස්‌කමකුත් නොවේ. කොහොම වුණත් අපි රැහේ බසට අරුත් සැපයීමකුත් කළ යුතුයි. එය සාමාන්‍ය බසම අපූර්ව ආකාරයකට යොදා ගැනීමක්‌ විය යුතුයි.

මා කවි ලිවීම නිසාම බොහෝ දෝෂ දර්ශනවලට ලක්‌වී තිබෙනවා. ඇතැම් විට ඒ බොහෝ චෝදනා නිර්මාණකරවා හා නිර්මාණකරණය පිළිබඳ අනවබෝධයෙන් ඉදිරිපත් වන්නක්‌. මෙය යම් යම් සොයා බැලීම් කරමින් යන ගමනක්‌. වැරදීම් සිදුවන්න පුළුවන්. නිර්මාණ මටසිලිටු වන්නේ එබඳු ප්‍රයත්නයකින් පමණයි.

සම්මාන, ඇගයීම් ලැබුණාය කියා ලොකු පාඨක පිරිසක්‌ මට ඇත්තේ නෑ. මගේ පොත් දාහකටත් වැඩිය අලෙවි වුණා කියා බොරුවට පුරසාරම් දොඩවන්න මට වුවමනාවක්‌ නෑ. "ගිං ගඟේ විලාපය" වැනි කෘතියක්‌ සම්මාන ඇගයීම්වලට ලක්‌ නොවූවත් එහි කවි කටපාඩමින් කියන්න පුළුවන් පාඨක පිරිසකුත් සිටිනවා.

විරිත් භාවිතය හෝ සදැස්‌ නිසදැස්‌ ආර පිළිබඳ ඔබ කෙබඳු අදහසක ද සිටින්නේ

අපේ සාම්ප්‍රදායික විරිත්වලට මා ගරු කරනවා. නමුත් වස්‌තු විෂය හා විරිත නොගැලපෙන විට මා විරිත් පිළිබඳ සැලකිල්ලක්‌ දක්‌වන්නේ නෑ. ඇතැම් කවිවල දී විරිත් භාවිත කරන අවස්‌ථාවන් තියෙනවා. ඒ කවියට අවශ්‍ය ප්‍රකාශනය ලබාදීම සඳහා "රැය කරා ගමන" පොතේ එන "බ්‍රොaහයර් දසුන" වැනි කවියක දී සමුද්‍රඝෝෂ විරිත භාවිත කළා. යම් කාව්‍ය සන්දර්භයක්‌ විරිතක්‌ ඉල්ලා සිටින්නේ නම් එය අපේ සාම්ප්‍රදායික විරිතකින් උවත් ඉදිරිපත් කිරීමට මා සූදානම්.

පැරණි කවියා භාවිත කළ කාව්‍යානුභූතීන් හුදෙක්‌ අලංකාරයට මුල්තැන දීම නිසා විරිත් මත රැඳෙන්නට සිදු වී යෑයි අපට අදහස්‌ කළ නොහැකි ද?

විරිත්වලට ප්‍රමුඛත්වය දෙමින් පද්‍ය නිර්මාණය කළ එදා සමාජය මේ තරම් බරපතළ තත්ත්වයකට පත් වී තිබුණේ නැහැ. 19 වැනි සියවසෙන් පසු කවිය විශාල පරිවර්තනයකට ලක්‌වුණා. කිසියම් චලනයක්‌ කවියට පිවිස වීමේ දී ඔය තත්ත්වය බලපානවා. සමාජ වුවමනාවක්‌ අනුව කවිය වෙනස්‌ වීමේ ඓතිහාසික භෞතිකවාදයක්‌ අපේ කවිය තුළ දැකිය හැකියි. මා ලියන කවියේ විරිත් ලක්‍ෂණ, රිද්ම ලක්‍ෂණ මා කියන්න උත්සාහ කරන දේ අනුව භාවිත කළ යුතුයි. එබඳු අවස්‌ථාවකදී සම්මත නිද්‍රdගත විරිතේ රැඳෙන්නට මට හැකියාවක්‌ නැහැ. මගේ පමණක්‌ නොවේ අද ලියෑවෙන බොහෝ කවිවලින් ඒ බව පැහැදිලි වෙනවා.

  • නූතන සාහිත්‍ය සමාජය තුළ කවිය කෙරෙහි වන උද්යෝගය පිළිබඳ ඔබ සෑහීමකට පත් වෙනවා ද?
කවියාට මේ වනවිට විශාල හඬක්‌ තිබෙනවා. බූන්දි ඩොට්‌ කොම්  වැනි වෙබ් අඩවියක්‌ බලන විට කවිය තමන්ගේ ප්‍රබල ප්‍රකාශන මාධ්‍ය ලෙස භාවිත කරන තරුණ පෙළක්‌ සිටින බව පෙනෙනවා. වෙනදා ගීත රචනයට ඇදී ගිය අය වේගයෙන් කවියට ඇදී එන බවක්‌ පෙනෙනවා. මෙය සුභ ලකුණක්‌ ලෙසයි මා දකින්නේ. මෙයින් අපට පැහැදිලි වෙනවා කවියට හිමි තැන කවිය විසින්ම තීරණය කරන බව.

  • අලුත් කවි පරපුර ගැන ඔබට යමක්‌ කිව හැකි ද?
ලක්‍ෂාන්ත අතුකොරළ, ප්‍රදීප් සාරංග කුමාර, සංජීවනී කුස්‌තුරිආරච්චි, අනිල් නිශාන්ත, රෝහණ පොතුලියෑද්ද, උපුල් සේනාධීරගේ වැනි පිරිසක්‌ අද වඩාත් ප්‍රබල ලෙස කවිය සිය ප්‍රකාශන මාධ්‍ය කොටගෙන තිබෙනවා. නමුත් ඔවුන්ගේ මතවාදවලට වඩා ඔවුන්ගේ සංවේදනා ඉදිරිපත් වෙනවා නම් වඩාත් සාර්ථක බවයි මගේ හැඟීම. කවි ලිවීමෙන්ම ශික්‍ෂණභාවයක්‌ ගොඩනඟාගත යුතුයි. අප අතර ඒ පිළිබඳ සුසංවාදයක්‌ ඇතිවිය යුතුයි. එබඳු අදහස්‌ මතුකරගත හැකිවන්නේ විවෘත කතිකාවක්‌ තුළින් පමණයි.

  • කවිවලට "මාර්කට්‌ එකක්‌" නෑ කියනවා.
ප්‍රකාශකයා විසිනුයි මේ මතය සමාජගත කර තිබෙන්නේ. තමන් ප්‍රකාශයට පත් කරන කෘතියටවත් පාඨක අවධානය යොමු කරන්නට ඔවුන් කටයුතු කරන්නේ නැහැ. අද ඇතැම් ප්‍රකාශන ආයතනවල අලෙවි ප්‍රවර්ධකයන් ලෙස කටයුතු කරන්නේ කිරිපිටි විකුණූ පුද්ගලයන්. ඔවුන්ට සාහිත්‍යය කෘතියක්‌ හා වෙළෙඳ භාණ්‌ඩයක්‌ අතර වෙනස තේරුම් ගැනීමේ හැකියාවක්‌ ඇත්තේ නැහැ.

ඇතැම් ප්‍රකාශන මහත්වරු මට යෝජනා කළා නවකතාවක්‌ ලිව්වොත් විකුණන්න පුළුවන් කියා. එසේ කළ යුතු නම් මේ ප්‍රකාශන මාධ්‍යයෙන්ම මේ තරම් දුරක්‌ මා ආ යුතු නැහැ. මගේ රැයකරා ගමන කෘතියත් මුද්‍රණය කරලා තිබෙන්නේ පිටපත් සීයයි. තව සියයක්‌ මුද්‍රණය කර තියෙනවා කියනවා. ඒත් මිළදී ගන්න පොත් නැහැ. මුද්‍රණය හෝ අලෙවිය අඩු වුණාය කියා මම මගේ නිර්මාණකරණය ගැන අධෛර්ය වන්නේ නැහැ. දැන් මගේ පොත් දාහක්‌ විකිණිලා කියා ප්‍රචාරයක්‌ අරින්න පුළුවන් නමුත් ඉන් පළක්‌ නැහැ. කොහොම වුණත් කවියට විශාල ඇල්මක්‌ පාඨක සමාජයේ නැති බව අපි පිළිගත යුතුයි.

  • කාව්‍ය විචාරය පිළිබඳ ඔබේ ආස්‌ථානය කෙබඳු ද?
විචාර මතවාදවල තිබෙන යම් යම් අගතීන් හේතුවෙන් ඇගයුම් උළෙලවල පවා ගැටලු ඇති වුණා. පසුගිය දිනවල එබඳු දේ අප දුටුවා. විට්‌ගන්ස්‌ටයින් දාර්ශනිකයා පැවසූ පරිදි සත්‍ය යන වචනය ඕනෑම සන්දර්භයක බහා පාවිච්චි කරන්නට පුළුවන්. කවියේ සන්දර්භයත් ඒ ආකාරයෙන් විය යුතුයි. නමුත් අද බොහෝ විචාරකයන් අල්ල ගන්නේ වැරදි කොන් වලින්. තමන්ගේ මිතුරන්ගේ කෘති ඉදිරියටගෙන එන්න අවශ්‍ය විට පෙරහැරක්‌ වගේ ඒ ගැන කතා බහ කරනවා. මේ නිසා එක්‌ එක්‌ පුද්ගලයාගේ ප්‍රතිරූප ඔස්‌සේ යැම නොවේ නව මං ඔසසේ යැමයි කවියා කළ යුත්තේ. රීස්‌ ඩේවිට්‌ස්‌ පඬිතුමා කිව්වා අපි සෑම විටම කළ යුත්තේ අපව අභිබවා යැමට අනුන්ට අනුබල දීමයි කියා. මා ඒ කියමන වඩාත් හොඳින් අනුගමනය කරනවා. පුද්ගල චරිතයක්‌ ලෙස අදත් සටන්කාමී මංවල ගමන් කිරීමට මා කැමතියි. ඒත් නිර්මාණකරුවෙක්‌ ලෙස මම චක්‍රනාභියේ සිට සියල්ල නිරීක්‌ෂණය කරන්නෙක්‌ පමණයි.
http://www.divaina.com/2010/10/21/sarasavi-head.jpg

=============================== උපුටනය| දිවයින 2010.10.21
  • සංවාදය - නිරෝෂන් හැඳලගේ
 
===============================================================
නන්දන වීරසිංහගේ කවි මග සැතපුම් කණු

ගිං ‍ගඟේ විලාපය- 1984

කිරි සුවඳැති රාත්‍රිය- 1990 
රාජ්‍ය සම්මාන

සත්‍යකාම නම් වෙමි- 1994 
රාජ්‍ය සම්මාන

ගිරග- 1998 
රාජ්‍ය සම්මාන, ස්වාධීන සාහිත්‍ය සම්මාන

මහත් සඳ පිණි බිඳෙක- 2002 
රාජ්‍ය සම්මාන, විද්‍යෝදය සම්මාන

චන්ද්‍ර බිම්බ- 2005 ගොඩගේ සම්මාන, 
2005 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානයේ ප්‍රශස්ත කෘති නි‍ර්දේශය.

සමස්ත කාව්‍ය නිර්මාණ කාර්යය වෙනුවෙන් 
2000 වසරේ බුන්කා සම්මානය
 
 

20131120

Facebook සටහන්




සැබෑ කලාකරුවෙකු
ඔහු තුළ ඇති සිහියත් උපේක්ෂාවත් නිසා
රාගයෙන් හා ද්වේශයෙන් මුළා නොවෙයි.
ඔහු රාගය හා ද්වේශය දකියි.
ඔහු අත්දැකීමක් සියුම්ව විඳියි.

ඔහු නිවන් මගෙන් පිට පනින්නේ
තමා දකින සත්‍යය
මිනිසාට පසක් කරන්නට
මායාවෙහි දවටන බැවිනි.

ඔහු නදිය ස්පර්ශ කරන නමුදු
නදිය තරණය නොකරයි... -


-------------------------------------------- සත්‍යය නම්
බුදුන් වහන්සේ දුටු ලෙසම
දුක තමයි.

කලාකරුවෙක්
දුක සුන්දර දෙයක් ලෙස විඳින නිසා
සත්‍යය ඇසුරු කළත්
ඔහු සත්‍යය සත්‍ය ලෙසම
ග්‍රහණය කරගන්නේ නැහැ.

එහෙත් ඔහු නිසා
තවත් බොහෝ දෙනෙක්
ආවේගයක් පහළ වුණාම
ඉන් වියරු නොවැටී
ගොරෝසු විදියට ප්‍රතික්‍රියා නොකර
සියුම් විදියට
හිත නිවා ගන්නවා.

ප්‍රේමයෙන් පැරදුන පෙම්වතෙක්
විරහ ගීයක් රස විඳිමින්
කඳුලක් හෙලුවොත්
ඒ ප්‍රේමය
වෛරයක් වෙන්නෙ නැහැ.

ඒ අතරෙම
ඔහුට සත්‍යය දකින්න තියන
අවස්ථාවත් මග හැරෙනවා.

--------------------------------------------

සැබෑ කලාකෘතියක් ඉදිරියෙත්
රස විඳින්නාගෙ සීමාව
පුලුල් නොවෙනවා නම්
කලාකරුවාගෙ වරදක් නෙවෙයි..ඒ.

හිරු පිපුණත් පුරුදු සේ
නොපිපෙනවනම් මල්
හිරු නොවෙයි
වැරදි කරු.

--------------------------------------------
http://theinspirationroom.com/daily/commercials/2009/4/stihl-deathbed-scene.jpg
තාත්තා කෙනෙකුට
පුතෙක් වෙනවාට වඩා
මිනිසෙකුට මිනිසෙක් වීම උතුම්.

Read the story
-------------------------------------------- -------------------------------------------- 

Facebook සමූහය වසා දැමීමට තීරණය කළ
ඇඩ්මින් හිතවතෙකුට...
---------------------------------------------
https://fbcdn-sphotos-b-a.akamaihd.net/hphotos-ak-prn2/1475923_10200954632574750_1322270530_n.jpg
සෙක්කුවක් හදන්නෙ තෙල් හිඳින්න වුණාට
කොල්ලො රොක් වෙන්නෙ
විනෝදෙට සෙක්කුව පදින්නයි.

අදින එකා හරකෙක් නම්
පදින එවුන්ගේ අඬහැරේට
තෙල් නැතත්
සෙක්කුව අදින්න පුලුවන්.

කොප්පරා දන්නෙත් නැති
තෙල් දන්නෙත් නැති
කොල්ලො ටිකක් සෙක්කුව පැද්දට
හිඳෙන තෙලක් නැහැ.

ඉඳල හිටල
තෙල් ටිකක් හිඳගන්න කියල
කොප්පරා ටිකක් හොයාගෙන එන
සිහි නුවණ තියන කෙනෙකුට
තෙල් ටිකක් හිඳල දීල
සැනසිල්ලෙන් ඉන්න.....

සෙක්කුව ඔහෙ තියෙන්න අරින්න.

===============================================================

 කුඩා කල්ලි රැසක් එක්ව
ප්‍රබල කල්ලියක් වටා සුහදව රැස්වෙලා
ශීලාචාර අන්දමට කා කොටා ගැනීම
එජා සංවිධානය, පාර්ලිමේන්තුව මෙන්ම
ආගමික සංවිධාන ජාලවලත්
දකින්නට පුලුවන්.

අතුරු කල්ලි එකට රැස්වෙන
මේ අපූරු ප්‍රවණතාවය
පාර්ලිමේන්තුව තුළ හැරුණාම
ඉතාම සාර්ථකව දකින්නට පුලුවන් වෙන
එක් ප්‍රබල තැනක් ලෙස
මත්පැන්හලක් හඳුන්වන්නට පුලුවන්.

මත්පැන් ශාලාවක
එක මේසයක සිදුවෙන දේ
අනික් මේසවලට අදාළ නැහැ.
ඔවුන් කතා කරන්නෙ
කල්ලිය පවත්වාගෙන යන්නයි.
කතාකරනදේට අරමුණක් හෝ
තේරුමක් තිබිය යුතු නැහැ.
මත්පැන් බොන අය නිතර ගැටුණත්
තමන් කරන්නෙ මොනවාද කියල
කවුරුවත් හරියට නොදන්න තැනක
ගැටුමක් වුණත් දුර දිග යන්නෙ නැහැ.

එවැනිම මානසිකත්වයකින්
කල්ලි රැසක් එකට රැස්වෙන
එකට රැස්වී තමා අමතක කරගන්නා
අති සාර්ථකම සමාජ ශාලාව බවට
ෆේස්බුක් සමාජ ජාලය පත් වෙලා තියනවා.

සමාන සිතුම් පැතුම් ඇති සාමාජික පිරිසක්
ප්‍රබල ඇඩ්මින් කෙනෙකුට ආකර්ෂණය වුණ
ඇඩ්මින්වරු පිරිසක් පවත්වාගෙන යන
ෆේස්බුක් සමූහවලත් සිදුවෙන්නෙ
කොප්පරා කියා හිතන යමක් යොදාගෙන
හිඳෙන තෙලක් නැතත්
සෙක්කුව හැඟීමෙන් පැදීමයි.

කිසියම් අරමුණක් හෝ කාර්යයක් මුල් කරගෙන
සිය කල්ලි ගැසීමේ අවශ්‍යතාවය
මුදුන් පමුණුවා ගන්නා
ෆේස්බුක් සමාජශීලීන්ට තියන තරම්
කල්ලි ගැසීමේ පහසුකම්
වෙනත් කිසිම සමාජ ශාලාවක
දකින්නට නැහැ.

==========================================

විසංස්කෘතික ජීවිතයකට
මිනිසුන් ඇලුම් කරන්නෙ
බේබද්දන්, මැරයන් මෙන්
අත්තනෝමතිකව
හැසිරෙන්න පුලුවන් නිසයි.

බහුතරය අදාන්ත වුණාම
දුර්වල වුණාම, පිරිහුණාම
සංස්කෘතිය පිරිහෙනවා.

==========================================
ජාතියක් විදියට පෙළෙන
අසාධ්‍ය රෝග වලට

පුද්ගලයන් විදියට විසඳුම් දෙන්න බැහැ.
පුද්ගලික මට්ටමෙන්
ඒ නිහීන රෝග වලට
රැල්ලට ගොදුරු වීමෙන්
අපිව මුදාගන්න
අපේ විරෝධාකල්ප ඇති.

ඉන් එහාට දෙයක් කරන්න ගිහින්
සෙක්කුව පදින අසරන ජනතාවට
අපිත් එකතුවුණා කියලා
වෙන හොඳක් වෙන්නෙ නැහැ.

විඳින දුක ශක්තියක් කරගෙන
ඔවුන් නොසැලී ගතකරන ජීවිතයට
ගරු කිරීම හැර
වෙන කළහැකි දෙයක් නැහැ.කුමාර..

කතා කිරීමට වඩා
ඒ හැඟීම පද වැලකට නැගුවොත්
එයින් වැඩි ප්‍රයෝජනයක් වෙයි.


http://sinhala-lyrics.com/slyrics/files/Ma_Thotin_Ena_Deepika.jpg
මේ ගීතය රස විදිමින් රත්න ශ්‍රී විජේසිංහ ඉස්මතු කළ කරුණක් මතක් වුණා. ඔහු කියන්නේ 'වරක් දැක හිත නිවා ගන්නට දුවේ ඩිංගක් හිනැහියන්' කී පලියට සරෝජලාට හිනැහිය නොහැකි බවයි.-
Kumara Liyanage
-------------------------------------------------------
බුදුන් වහන්සේ වරක් කිව්වා,
කිඹුල්වතින් එන සුළඟත් සැපයි කියලා.
ඒක ස්වාභාවික හැඟීමක්..
අම්මා තාත්තා මෙන් සම්බන්ධයි.
අම්මා තාත්තා වුණත්
බලය ලබන්නට පාවා දෙන
දේශපාලනඥයන්ගෙ දූෂිත වදන් වලින්
අපේ හිත කිළුටු කරගත යුතු නැහැ.

අපේ හිතේ අ
පි ගැන තියන ලොකු කම
එවැනිම හැඟීමකින් ඉන්න
තවත් කෙනෙකුට දනවන්න ගියාම
ප්‍රශ්න එනවා.

මම මට ලොකුයි..
මගේ ගම, රට, ජාතිය මට ලොකුයි.
ඔබේ ගම, රට, ජාතිය ඔබට ලොකුයි.
සමහර දේවලින් අපි පෑහෙන නිසා
නොපෑහෙන එවුන්ට අපිව දනවන්න
අපි කල්ලි ගැසිය යුතු නැහැ.

සරෝජා විඳිදිත්
රත්නශ්‍රීට ප්‍රශ්නයක් වෙන්නෙ...
කුමාරට ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ,

පාක්ෂිකව සිතීමයි.

කිසිවෙකු තමන් ලොකු කරගෙන
හෙළා දකින පිරිසක්
තමන්ගේ කර ගැනීමත්
තමන් ඒ හෙළා දකින පිරිසෙන්
කෙනෙක් වීම වගෙයි.

තමන් ලොකු කරගන්නා තැනත්තාත්
ඊට විරුද්ධව නැගී සිටින්නාත්
පෙළන්නේ එකම ආවේගයක්.

දෙගොල්ලම අවි දරන්නෙ
තමන් වෙනුවෙන්.

මහින්ද සරෝජා ලියල තියෙන්නෙ
එවැනි දර්ශනයකින් නෙමෙයි.
ඔහු පාක්ෂික නැහැ.
ඒ ගුරුවරියත් දැරියත් අතර
සිංහල දෙමළ ප්‍රශ්නයක් නැහැ.

ඒක ලෝකෙ ඕනම කෙනෙකුට පොදුයි.
ඒක කුඩා දරුවෙකුගෙ සහ
ඇගේ ගුරුවරිය අතර කතාවක්.
ඔවුන් දිහා ජාතිවාදීව බැලුවොත්
"ඔය කොටි පැටියට කිරි පොවන්නෙ නැතුව
යන තැනකට තොලොංචි වෙයන් ගෑණියේ,
මැරුම් නොකා"
කියල කියන්න පුලුවන්.

ජාතිවාදයට විරුද්ධව බලනවානම්
රත්න ශ්‍රී විජේසිංහ කීවාක් මෙන්
'වරක් දැක හිත නිවා ගන්නට දුවේ ඩිංගක් හිනැහියන්'
කී පලියට සරෝජලාට හිනැහෙන්න බෑ කියන්න පුලුවන්.

සත්‍යය සරෝජා පමණක් නොවෙයි.
සරෝජා කියන්නෙ මහා සිතුවමක
එක පුංචි තිතක් විතරයි.

රත්න ශ්‍රී දක්ෂයි කියල
මම පිළිගත්තට
ප්‍රෙමකීර්තිට වගේ
ළයාන්විත බැඳීමක්
නොසැලෙන ගෞරවයක් දැනෙන්නෙ නැහැ..
ලංකාවේ පහළවූ ලේඛකයන් අතර
ළයාන්විත බවින් ඉහළම ලේඛකයා
ප්‍රේමකීර්තියි.
මා ඔහු ගැන පුන පුනා කියන්නේ
සරෝජා ගීතය
ඔහුගේ ගීතත් අභිබවා යන නිසයි.
මහිනද ප්‍රේම් අහලකින්වත් තියන්න බැහැ.
ඒත් මේ ගීතය
ඔහුටත් අභියෝගයක්.

රත්න ශ්‍රී සහ සුනිල් ආරියරත්නයන්
ජීවිත කාලය පුරා ලියන්නට
උත්සාහ කරන වර්ගයේ ගීතයක්
ඉතා පුලුල්ව සහ ගැඹුරින් දැකලා
ඉතාම සරලව
ප්‍රේමකීර්ති මෙන් නිරායාසයෙන්
ලියල තියනවා.

සරෝජා අහද්දි මට දැනෙන හැඟීම
සදාතනිකයි. අකාලිකයි.

මට දැනෙන හැඟීම කරුණාවයි.
ඒ ගුරුවරියත් දැරියත් දෙදෙනාටම
ඒ කරුණාව හිමියි.

රත්න ශ්‍රී හෝ
ඔබ කතා කරන කෝණය කාලීනයි.
ඔබේ තියෙන්නෙ ද්වේශයක්.
ද්වේශය තාවකාලිකයි.

ද්වේශය ජාතියකට අයිති නැහැ.
දුක ජාතියකට අයිති නැහැ.
භය ජාතියකට අයිති නැහැ.
ඒ අතින් සිංහල දෙමළ දෙගොල්ලම
එක පංතියේ.

සත්‍යය පාක්ෂික නැහැ.
සරෝජා ගීතය පාක්ෂික නැහැ.
රත්න ශ්‍රී දකින අඩුව ඒකයි

===============================================

මිනිස්සු හැමෝම එකයි..

හොඳ මිනිස්සු නැහැ..

හොඳ මිනිස්සු කියන්නෙ
නරක පාලනය කරගත්ත මිනිස්සු..
http://sansaranee.blogspot.com/2012/12/blog-post_1370.htm

===================================================

මිනිසෙකුට මිනිසෙක් වීම උතුම්.


http://theinspirationroom.com/daily/commercials/2009/4/stihl-deathbed-scene.jpg
තාත්තා කෙනෙකුට පුතෙක් වෙනවාට වඩා
මිනිසෙකුට මිනිසෙක් වීම උතුම්.
------------------------------------------------------------------

මානව ගුණයෙන් යුතු සැබෑ කතාවක්

මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර

කතාව පටන් ගැනුණේ බ්රූක්ලින් නගරාන්තරයේ වීදි කොනකයි.

වැඩිමහල් මිනිසෙක්, පාරේ පැත්තක සිට අනිත් පැත්තට යද්දී ඇද වැටුණා. ගිලන් රථයක් ඉක්මනින් ගෙන්වා කින්ග්ස් කවුන්ට් රෝහලට ඇතුළු කරනු ලැබුවා. එහිදී කෙමෙන් සිහිය ලද ඔහු විටින් විට තම පුතා අමතා තිබෙනවා.

රෝහලේ හදිසි වාට්ටුවේ වැඩ කටයුතුවල නියැළී සිටි එක්තරා හෙදියකට ඔහුගේ පොඩිවුණු බොහෝ වරක් කියවන ලද ලියුමක් කියවන්නට ලැබුණා. ඒ අනුව මේ කියන පුතා උතුරු කැරොලිනාහි නාවික භටයකු (Marine) බව දැනගත්තා.

දැනගන්නට ලැබුණු හැටියට නම් ඔහුට වෙනත් නෑදෑ කෙනකු හිටිය වගක් පෙනුණෙ නෑ.

රෝහලේ සිටි කෙනෙක් බ්රූක්ලින්හි රතුකුරුස කන්තෝරුවට කතා කෙරුවා. කතා කරලා මේ ලියුමෙන් හැඟවුම් කරන උතුරු කැරොලිනාහි මැරියන් (නාවුක) සේනාංක කඳවුරට දන්වනු ලැබුවා. මෙහෙම කරන්නට සිදුවුණේ වැඩි කාලයක් ඉතිරි ව නොතිබූ නිසා. ලෙඩා මියැදෙමින් සිටියා. පණිවුඩය අසන රතුකුරුස නිලධාරියා සහ තවත් නිලධාරියෙක් නියමිත තැනට ජීප් රියක නැඟී ගමන් ගනු ලැබුවා. ඔවුනට මේ කියන තරුණ පුත්‍රයා යැයි සිතිය හැකි පුද්ගලයා ඔබ මොබ සක්මන් කරමින් සිටිනු දැකගත හැකිවුණා. ඔහු කැඳවා වහා නියමිත වෙලාවට ගුවන් තොටුපළට ඇරලනු ලැබුවා. ඒ අනුව ඔහුට තමන්ගේ මියැදෙමින් සිටින පියා දැක බලාගන්නට පුළුවන් වේයයි නිගමනය කෙරුණා.

තරුණ නාවුක භටයා කින්ග්ස් කවුන්ට් රෝහලේ ඇතුල් වන දිනට ළඟා වෙන විට හැන්දෑව යම්තමින් පසුවී තිබුණා. වෙහෙස කර බැල්මකින් යුතු සෙබළා කැටුව එක්තරා හෙදියක් අර මියැදෙමින් හුන් පුද්ගලයාගේ ඇඳ අසලට ගමන් ගත්තා.

”මෙන්න ඔබේ පුතා ඇවිත්” ඇය මහල්ලාට පැවසුවා. ඇයට ඒ වදන් කීප වරක් ම කීමට සිදුවීමෙන් පසු ව ය මහල්ලා යම්තමින් දෑස් හැර බැලුවේ. හෘදය පීඩනයෙන් ඇතිවුණු වේදනාව හා කම්පනය හේතුවෙන් මහල්ලාට හමුදා ඇඳුමින් සැරසී සිටි තරුණයා පෙනුණේ යම්තම් අඩවන් එළියේ ය. ඔහු සිටගෙන සිටියේ ඔක්සිජන් ඒකකයෙන් පිටත. ඔහු තම අත දික්කළා. නාවුක භටයා තමන්ගේ අත මහල්ලාගේ හිරිවැටී තිබූ බෙහෙවින් ඔත්පළ වියළි අතින් අල්ලා ගත්තා. එසේ කොට මිරිකා තම ආදරයේ හා දිරි ගැන්වීම පෙන්නුම් කළා. හෙදිය පුටුවක් ගෙන ආවා. නාවුක භටයාට ඔහු අසල හිඳ ගැනීමට පුළුවන් වුණා.

රෝහල්වල ගෙවෙන රෑ කල දිගුයි. එහෙත් නාවුක භටයා අයහපත් ලෙස එළිය කරන ලද වාට්ටුවේ මුළු රැයක් පහන් කෙරුවා. ඔහු මහල්ලාගේ අතින් අල්ලාගෙන බලාපොරොත්තු හා ශක්තිය ලැබෙන පරිදි වදන් කියමින් කල් ගත කළා. එතැනට පැමිණෙන හෙදිය ඔහු අමතා කියා සිටියේ විටින් විට එතැනින් බැහැර ගොස් විවේක ගෙන පැමිණෙන ලෙසයි. ඔහු එය පිළිගත්තේ නැහැ.

හෙදිය එතැනට එන හැම අවස්ථාවකදීම නාවුක භටයා එතැනම රැඳී සිටිනු දැක ගත හැකිවූවා. ඇය ගැන තැකීමක් නොකරමින් ද, එක ම ඔක්සිජන් සිලින්ඩරය ශබ්ද ආදිය – හා රෑ වැඩකරන අයගෙන් නැඟෙන හිනා, ලෙඩුන්ගේ විවිධාකාර කෙඳිරීම්, ගෙරවීම් ආදිය ගැන ගණන් නොගෙන ඇඳ අසලට ම වී සිටියා.

ඇය පැමිණි විට ඔහු මුදු වදන්වලින් යමක් පවසනු ඇසුණා. මියැදෙමින් හුන් මිනිසා කිසිවක් කියනු ඇසුණේ නෑ. ඔහු සිටියේ තම පුතුගේ අත තරයේ අල්ලා ගනිමින්.

අරුණු නැඟෙන්නට ආසන්න ව තිබියදී ගිලනා මිය ගියා. නාවුක භටයා තමන් අල්ලා සිටි මහල්ලාගේ පණ නැති අත ඇදමත රැඳෙව්වා. එසේ කොට සිදුවූ දේ කීමට හෙදිය මුණ ගැසීමට ගියා.

ඇය තමන්ට කළ හැකි දේ ඉටු කරමින් සිටියදී ඔහු දුම්වැටියක් දල්වා ගත්තා. එය තමන් රෝහලට පැමිණි පසු දල්වාගත් පළමු සිගරැට්ටුවයි.

ඇත්තට ම, ඔහු හෙදියන්ගේ කාර්යාලයට ගමන් කළා. ඇය කාරුණික වදනින් ඔහු ඇමතුමා. තම ශෝකය ද ප්‍රකාශ කළා. එහෙත් නාවුක භටයා ඇයට බාධා කොට මෙසේ ඇසුවා.

”කවුද ඒ මනුස්සයා?”

”ඒ ඔබේ තාත්තා” ඇය කැලඹිලි ලෙස ප්‍රතිචාර දැක්වූවා.

”නෑ, ඒ මගේ තාත්තා නොවේ, මීට ඉස්සෙල්ලා ජීවිතේ කවදාවත් මම ඒ මනුස්සයා දැකලා නෑ.”

”එහෙමනන් මම ඔබ කැටුව ඒ මනුස්සයා ළඟට යන කොට මොකුත් ම නොකිව්වේ ඇයි?” හෙදිය ඇසුවා.

”මට මුලින්ම දැනුණා මොකක්දෝ වැරැද්දක් වෙලා තියෙන වග. ඒත් එක්ක ම මට හැඟුණා ඒ මනුස්සයාට අවශ්‍යයයි තමන්ගේ පුතාව ළංකරගන්න. ඒ වෙලාවේ ඒ මනුස්සයාගේ පුතා ළඟපහළක සිටියෙත් නෑ.

ඒ මනුස්සයා හුඟාක් අසනීප බව දැනගත්තු වේලාවේ මට හිතුණා, මම එයාගේ පුතා ද නැද්ද කියන එක නොවේ උවමනා. මාවයි උවමනා කරන්නේ කියලා. ඒ ගමන මම නතර වුණා.”

එසේ කීමෙන් පසුව නාවුක භටයා රෝහලෙන් බැහැරට ගමන් කළා දවස් දෙකකට පසුව ‘රුටින් මැසේජ’ නමින් හඳුන්වන නිල හසුනක් උතුරු කැරොලිනාහි නාවුක හමුදාවෙන් ලැබුණා. ඒ අනුව බ්රූක්ලින් රතුකුරුස සමාජය දන්වා සිටියේ නියම පුත්‍රයා තම පියාණන්ගේ අවමංගල්‍යයට එන බව ය. දැනගැනීමට ලැබුණේ එක ම නමක් ඇති නාවුක සෙබළුන් දෙදෙනකු හා එක ම හමුදාංක ඇති සෙබළුන් දෙදෙනකු ඒ කඳවුරේ සිටින බවයි. සේවා ලැයිස්තු කාර්යාලයේ කිසිවෙක් විසින් එළියට ඇද ඇත්තේ වැරදි ලේඛනයකි.

එහෙත් වැරදි ලෙස පැමිණි නාවුක සෙබලා නියම වෙලාවට නියම ලෙස නියම පුතා ලෙස පෙනී සිටියා. ඔහු ඔප්පු කළා අද්විතීය මානවීය ගුණයක් ලෙස තම මානව කලාව ඉටු කළ යුතුය යන කාරණය.

(Reader’s Digest සඟරාවේ (ඔක්. 1965) පළ වූ Night Watch ඇසුරිනි)
silumina. 2011 04 24

20130923

ටෝල්ස්ටෝයිගේ "ඇනා කැරනිනා" ස්වර්ණකාන්ති රාජපක්ෂ දුටු හැටි



https://fbcdn-sphotos-f-a.akamaihd.net/hphotos-ak-frc3/q71/1234923_10200640545882779_103282440_n.jpg
හොඳම පරිවර්තන කෘතියට
ස්වර්ණකාන්ති රාජපක්ෂ 2010 රාජ්‍ය සාහිත්‍ය සම්මාන දිනූ
'ඇනා කැරනිනා'.
------------------------------------------------

මම පොත් මිළදී ගන්නෙ
මූලික වශයෙන් මගේ බිරිඳටයි..
ඇය සමාන්‍යයෙන්
ගන්න හැම පොතක්ම වගේ
වසර පුරා කියවනවා.

පොත පත හා ලේඛකයන් පිළිබඳව
අපේ රුචිකත්වය බොහෝ දුරට සමානයි.
අදහස් සමානයි..

ඇය කියවන පොතපත ගැන
ඒ ලේඛකයන් ගැන
ඒ චරිත, හැසිරීම ආදිය ගැන
අපි නිතර කතා කරනවා.

ආස හිතුණොත් මමත් කියවනවා.

21 සිකුරාදා අනුරාධපුරෙන් රෑ එකොළහට
පොඩි දෙන්නත් එක්ක පිටත් වෙලා
බස් එකෙන් පොත් ප්‍රදර්ශනයට ගියා,
ආපහු එනකොට
23 ඉරිදා උදේ තුනහමාරයි.
අපි රුපියල් 18000ක විතර පොත් ගත්තා.
ඇය ගත් පොත් අතර
නිශ්ශංක විජේමාන්නගෙ
පොත් කිහිපයක් ඇරුණාම
අන් සියල්ලම පරිවර්තන කෘති.

දැන් පරිවර්තන වලත් අඩුපාඩු එමටයි.

බිරිඳ මුලින්ම කියවන්න ගත්තෙ
ස්වර්ණකාන්ති රාජපක්ෂ

හොඳම පරිවර්තන කෘතියට
2010 රාජ්‍ය සාහිත්‍ය සම්මාන දිනූ
'ඇනා කැරනිනා'.

මම ඇයට කලින් දවසක
'ඇනා කැරනිනා' ඉංග්‍රීසි පොතේ
එක් ඡේදයක් තේරුම් කළා.

මේ පරිවර්තනය තුළ ඒ ගතිය නැතැයි බිරිඳ කියූ නිසා
ඇය කියවමින් සිටි කොටස මමත් බැලුවා.

මා කියwana ඡේදය නිවැරදි නැතැයි
මට සිතුණ නිසා
මම එහි ඉංග්‍රීසි පොත
අන්තර්ජාලයෙන් අරන්  වෙනස බැලුවා.
------------------------------------------------------

මේ කොටස් දෙකේහි වෙනස බලන්න.

Now she was afraid that Vronsky might confine himself to simply flirting with her daughter. She saw that her daughter was in love with him, but tried to comfort herself with the thought that he was an honorable man, and would not do this. But at the same time she knew how easy it is, with the freedom of  manners of today, to turn a girl's head, and how lightly men generally regard such a crime."

-Tolstoy

"රොන්ස්කිගේ අවධානය කිටීට පෙම්කිරීමෙහි පමණක් සීමාවේයැයි ඈ බියපත් වූවාය. දියණිය දැනටමත් ඔහුට පෙම් කරන බව ඈ දුටුවාය. රොන්ස්කි වැදගත් අවංක තරුණයෙකි. ඔහු අතින් වරදක් සිදු නොවනු ඇත. එහෙත් නූතන සමාජයේ තරුණියන්ට මුල්කාවන්නට ඇති ඉඩකඩ වැඩිය."
--ස්වර්ණකාන්ති රාජපක්ෂ

--------------------------------------------------------------

ටොල්ස්ටෝයි ඉතා පැහැදිලිව දක්වා ඇති
මවගේ සිතේ රොන්ස්කි ගැන ඇති බිය හා සැක ගැන
මෙම පරිවර්තනයෙහි සංකාවක්වත් නැත.

Flirting යනු පෙම්කිරීම නොව
පොළඹවාගැනීමයි.

" රොන්ස්කි වැදගත් අවංක තරුණයෙකි.
ඔහු අතින් වරදක් සිදු නොවනු ඇත."
ස්වර්ණකාන්තිට අනුව
මේ මව ඔහු ගැන දරන ආකල්පයයි..
රොන්ස්කි ගැන මව දරන ආකල්පය ගැන
ටොල්ස්ටෝයිගේ හැඟීම සපුරාම වෙනස්ය..

මව රොන්ස්කිගේ ගුණ සිතුවේ
සිත සනසාගන්නටය..
එහෙත් මවගේ ආත්ම වංචාව පිළිබඳව
වචනයකින් හෝ ඉඟියක්
මෙම පරිවර්තනයෙහි නැත.

She saw that her daughter was in love with him, but tried to comfort herself with the thought that he was an honorable man, and would not do this.

දියණියගේ අනාගතය සම්බන්ධව
සමාජය ගැන මව සිතන දේ ලියා ඇත්තේ
ඉතා සරල අයුරිනි.

"එහෙත් නූතන සමාජයේ තරුණියන්ට මුලාවන්නට ඇති ඉඩකඩ වැඩිය."

අද සමාජයේ සිරිත් විරිත් වල ඇති නිදහස නිසා
දියණිය නොමග ගියොත්
සාමාන්‍ය මිනිසුන් එවැනි අපරාධයක් දෙස
කොතරම් සැහැල්ලුවෙන් බලනු ඇත්දැයි
සිටු කුමරිය සිතූ බව
මෙහි සඳහන් නොවෙයි.

But at the same time she knew how easy it is, with the freedom of manners of today, to turn a girl's head, and how lightly men generally regard such a crime."

දියණිය ගැනත් රොන්ස්කි ගැනත් ඇය සිතන ආකාරය
ඔවුන් තිදෙනා අතර නිර්මාණය වන ත්‍රිකෝණයෙහි
ඉතා වැදගත් අංගයකි.

එම අගය වරදවා පරිවර්තනය කළ විට
අපට දකින්නට ලැබෙන්නේ
ටෝල්ස්ටෝයි නිර්මාණය කළ චරිත නොව
කිසියම් සිංහල ගැහැණියක
ඒ ඇසුරෙන් නිර්මාණය කළ චරිතයි.

මුනිදාස සෙනරත් යාපාගෙ අනුවාදය
ඇයට බෙහෙවින් දැනුණ බව
මගේ බිරිඳ කියනවා.

අපට කියවන්නට සිදුවන්නේ
ඇනා කැරනිනා පිළිබඳව
ලාංකික ගැහැණියකගේ ඕපාදූපයකි.

" ටෝල්ස්ටෝයිගේ ඇනා කැරනිනා
මා දුටු හැටි" කිව්වා නම් නිවැරදියි.

හොඳම පරිවර්තන කෘතියට
ස්වර්ණකාන්ති රාජපක්ෂ
2010 රාජ්‍ය සාහිත්‍ය සම්මාන දුන් අය කවුද?

මගේ බිරිඳට
වෙනත් කළ හැකි දෙයක් නැති නිසා
ඇය මේ පොත කියවා අවසන් කළාය

ඇය එය නොකියවා ඉවත දැම්මත්
මම ඒ රු 700ක පමණ මුදල ගැන
කිසි සේත් නොතැවෙමි.

ඉන් තුටු වෙමි.

පෝලා කියවා
කාන්තාවන් ලියූ පරිවර්තන පොත්
මිළදී නොගැනීමට තීරණය කළ අප
කාන්තාවන් කළ පරිවර්තනද
මිළදී නොගන්නට තීරණය කළෙමු.

මීට වසර දෙකකට පමණ පෙර
ගම්පහ සරසවි පොත් හලේදී
මෙම 'ඇනා කැරනිනා' පොත
අතටත් ගෙන ආපසු තබා ආවේ
මෙම සැකය නිසා වුවත්
BMICH පොත් ප්‍රදර්ශනයේදී
අවාසනාවන්ත ලෙස
මෙම පොතට රැවටුණෙමු..

වී.එස්.නයිපෝල් කියනවා
" ලියපු දෙයක ඡේදයක් කියවනකොට
ඒක ගැහැණියක් ලියපු එකක්ද
කියල කියන්න පුලුවන්" කියලා.
සාහිත්යමය වශයෙන්
තමන්ට සමානව ලියන්න ගැහැණියෙකුට බෑ
කියලත් ඔහු කියනවා.

ඒකට හේතු වශයෙන් ඔහු දක්වන්නෙ
"භාවාතිෂය බව -( හැඟීම්බර බව ) සහ
ලෝකය පිළිබඳව ඇති පටු දැක්ම...
ඒ වගේම ඔහු කියනවා
"අනිවාර්යයෙන්ම ගැහැණිය
නිවසක ස්වමිදුව නොවන අතර
ඒක ඈ ලියන දේටත් බලපානවා."

කාන්තාවන්ගේ ලේඛන හැකියාව ගැන
නයිපෝල් දරන මතය නිවැරදි බව
නැවත වරක් ඔප්පු විය.

20130522

ප්‍රේමකීර්ති ද අල්විස්‌ මතක සටහන්



“ප්‍රේමකීර්ති ද අල්විස්‌”" නම් සොඳුරු මිනිසා
පිළිබඳ සාකච්ඡා කළ ගී මකරන්දය වැඩසටහන

මෙහි ප්‍රේම් ගැන කතා කරන අයගෙ
බොල් හරසුන් අදහස් කාලය කාදැමීමක් වීමත්
උච්චාරණ ශෛලිය ජුගුප්සා ජනක වීමත්
කණගාටුවට කරුණක්.

එහෙත් ඉතා මසුරු ලෙස ඔවුන් ඉදිරිපත් කරන
ප්‍රේම්ගේ නිවේදන ඛණ්ඩ නිසා මෙය නොඅසා සිටිය නොහැකිවිය.


. .

(ප්‍රේමකීර්ති ද අල්විස්‌ ඝාතනය කොට 
වසර 22 ක්‌ පිරීම නිමිත්තෙන් පළවූ ලිපියක් පහත උපුටා දැක්වේ )

වෙඩි හඬින් නිහඬ කළ කට හඬක සාඩම්බරය..

ප්‍රේමකීර්ති ද අල්විස්‌

“ලොවින් එකෙක්‌ එක්‌ දෙයකට වෙයි සමත” යන පැරැණි සිංහල කියමන අනාථ කරන නිර්මාණ ශිල්පීන් දෙදෙනකු මෑත ඉතිහාසයේ අපට හමුවෙයි. ඒ විශිෂ්ට කලාකරුවන් දෙදෙනා මහගමසේකර සහ සමරවීර මුදලිගේ දොන් ප්‍රේමකීර්ති ද අල්විස්‌ නම් වෙති. 60 දශකයේ අග භාගයේ කලඑළි බසින ප්‍රේමකීර්ති චරිතය, නූතන FM මාල ගිරවුන්ට සහ ගිරවියන්ට සේම, විවිධ විද්යුත් නාලිකා ඔස්‌සේ එක්‌ රැයෙකින් දැල්වී, නිවී යන කෝකිල කෝකිලාවන්ට ගැඹුරින් අධ්‍යයනය කර චරිතායනය කරගැනීමෙන් හරවත් පෞරුෂයක්‌ හා සාර්ථක අනාගතයක්‌ උරුම කරගත හැකි චරිතයකි. මරා දමා 22 වසරක්‌ ගතවීත් මෙතෙක්‌ කිසිදු ශාස්‌ත්‍රීය අධ්‍යයනයකට හසු නොවූ මෙම කුඩා මිනිසාගේ උත්තුංග නිර්මාණ මෙහෙවර පිළිබඳ යමක්‌ සටහන් කිරීම ඔහු සජීවීව දුටු පළමු පරපුරේ පුරවැසියකු සතු වගකීමක්‌ ලෙස මම සලකමි.
1947 ජුනි මස 02 වැනි දින කොළඹදී මෙලොව එළිය දුටු ප්‍රේමකීර්ති කුඩා අවධිය ගත කළේ මරදාන දුම්රිය නිවාසයකය. ඒ ඔහුගේ පියා දුම්රිය සේවකයකු වූ බැවිනි. පියාට අවශ්‍ය වූයේ ප්‍රේමකීර්ති දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයකු කිරීමටය. මාලිගාකන්ද මහා විද්‍යාලයෙන් මරදාන ආනන්ද විද්‍යාලයට පිවිසි ප්‍රේමකීර්තිගේ ප්‍රතිභා ප්‍රභාව දැල්වෙන්නේ ආනන්දයෙනි. 1961 දී තම ළමා වැඩසටහනකදී “කරු අයියා” විසින් මොහු හඳුනා ගන්නා ලදී. පසුව මෙම අපූරු තරුණයා ගුවන්විදුලි ළමා වැඩසටහන්වල පිටපත් කියවන්නකු ලෙස යොදාගනු ලබන්නේ ඉසිවර නුවණින් ඔහුගේ දක්‍ෂතා හඳුනා ගනිමිනි. ප්‍රේමකීර්ති 1966 දී තම පියාගේ මඟපෙන්වීම අනුව “දවස” පුවත්පත් ආයතනයේ සිනමා ප්‍රකාශනය වූ “විසිතුර” පුවත්පතට එක්‌වූයේය.
1967 දෙසැම්බර් 17 වැනි දින සහාය නිවේදකයකු ලෙස ගුවන්විදුලියට බැඳුණු ප්‍රේමකීර්ති, 1971 ජුනි 01 වැනි දින නිවේදකයකු ලෙස තනතුරෙහි ස්‌ථිර කරන ලදී. ඔහු 1989 ජුලි 31 වැනි දින සාහසික ලෙස ඝාතනය කරන ලද්දේ වැඩසටහන් නිෂ්පාදකවරයකු ලෙස ගුවන් විදුලියේ සේවය කරමින් සිටියදීය.
ප්‍රේමකීර්ති ඉතා සරල දිවි පෙවෙතක්‌ ගත කළ කුඩා නිරහංකාර මිනිසකු වූ බව ඔහු ඇසුරු කළ සියල්ලන්ම හොඳින් දන්නා කරුණකි. අතට හසුවන ඕනෑම දෙයකින් කුසගිනි පුරවාගන්නා ඔහු පොදු ජලනළයෙන් දෝතට දිය ගෙන බීවේය. පෙට්‌ටි කඩයෙන් වඩේ එකක්‌ හා ප්ලේන්ටියක්‌ බී බීඩියක්‌ දල්වා ගැනීම ඔහුට සාමාන්‍ය කටයුත්තකි. ගමට ගියවිට නියරෙන් බැස ඇළෙන් මුහුණ සෝදා එයින්ම දිය දෝතක්‌ බීම ඔහුගේ පුරුද්දයි. සතියක දීර්ඝ සංචාරයකට ඔහුට අවශ්‍ය වන්නේ ඇඳුම් දෙකකි. රබර් සෙරෙප්පු දෙක ඔහුට හොඳටම සෑහේ. පයින් යැම, කඩපිල්වල ගැමියන් හා දරුවන් සමග කාලය ගත කිරීම ඔහුගේ විනෝදාංශයයි. ඔහු මහත් අභිරුචියෙන් පානය කළේ රටේ පුංචිම මිනිසා පානය කළ මත්පැන් වර්ගයයි. ඔහු තම ජීවිතයේ අවසන් මාස කිහිපය ගත කළේ මාසිකව වැටුපෙන් ගෙවීමට ණයට ගත් තනි කාමරයක්‌ සහිත කුඩා ගෙපැලකයි. එහි වූ කුඩා ගෙවත්තේ වගා කරගත් එළවළු හා පලතුරු ඔහු මහත් අභිරුචියෙන් බිරිඳ සමග උයා පිහාගෙන වැළඳුවේය. තම බිරිඳගේ ආහාර වේල සකස්‌ වූයේ ද මේ කුඩා අහිංසක මිනිසා අතිනි.
ජීවත් වූ වසර 42 ක්‌ තරම් කෙටි කාලයක්‌ තුළ ගීත එක්‌දහස්‌ හයසියයකට ආසන්න සංඛ්‍යාවක්‌ ලියූ ප්‍රේමකීර්ති තම පළමු ගීය ලෙස “හද පුද අසුනේ සෙනෙහස මැවුණේ” රචනා කළේ රූපා ඉන්දුමතී හා මල්කාන්ති පීරිස්‌ (නන්දසිරි) වෙනුවෙන් 1969 වසරේදීය. 
-------------------------------------------------------------------------------------
ප්‍රේමකීර්ති තම පළමු ගීය ලෙස
“හද පුද අසුනේ සෙනෙහස මැවුණේ” ලියූ අයුරු
ප්‍රෙම්ගේම හඬින්.... 

මෙම වසරේම කේ. ඒ. ඩබ්. පෙරේරා අධ්‍යක්‍ෂණය කළ “ලොකුම හිනාව” චිත්‍රපටයට පසුබිම් ගීයක්‌ ලෙස “පරණ කෝට්‌” ගීතය ලියමින් චිත්‍රපට ගීත ක්‍ෂේත්‍රයට පිවිසි ප්‍රේමකීර්ති චිත්‍රපට 150 කට අධික සංඛ්‍යාවක පසුබිම් ගීත රචනා කළේය.
ප්‍රේමකීර්ති ලාංකික සාම්ප්‍රදායික සංස්‌කෘතික හා ජනප්‍රිය සංස්‌කෘතිය යා කළ පාලමක්‌ වැන්න. ඔහු තම නිර්මාණ තුළින් කිසිවිටෙක සම්ප්‍රදාය හෑල්ලු කළේ වත්, අවමානයට පත් කළේ වත් නැත. ඊට හොඳම සාධකය වන්නේ ප්‍රෙඩී සිල්වා චරිතයයි. එවකට ප්‍රෙඩී සිල්වා ජනප්‍රිය වුවත්, සමාජය ඔහු පිළිගැනීමකට ලක්‌ කළේ නැත. පරණ කෝට්‌ ගීතයත් සමග ජනප්‍රිය වූ ප්‍රෙඩී ශීඝ්‍ර ගමනකට මුල පිරුවේ සිනමා නළුවකු ද වෙමිනි. ඒ පසුපස සිටි දැවැන්ත චරිතය ප්‍රේමකීර්ති බව දන්නේ අතළොස්‌සකි. ප්‍රෙඩී ගායනා කළ, “අලුත් කලාවක්‌”, “ආරොන් මාමා”, “පාන්කිරිත්තා”, “නෑදෑයෝ”, “හඳමාමා”, “කැකිල්ලේ ර-ජුරුවෝ”, “කුණ්‌ඩුමනී”, “තේ කූඩය පිටේ බැඳන්” හා මුලින් සඳහන් කළ “පරණ කෝට්‌” ආදී ගීතවල නිර්මාණ හිමිකරුවා ප්‍රේමකීර්ති බව දන්නෝ කවරහුද? වරක්‌ මෙම උපහාස ගීත පිළිබඳ සඳහන් කරමින් ප්‍රේමකීර්ති කීවේ, “ලංකාවේ අපට අපේම කියා උපහාස සාහිත්‍යයක්‌ ඇති බවයි.” ඔහු ඊට දුන් උදාහරණය වූයේ, අන්දරේ, කුංකුණාවේ හාමුදුරුවෝ සහ යක්‌කඩුවේ ප්‍රඥරාම හිමි යන චරිතය. කොළඹ යුගයේ කවියන් කිහිප දෙනකුගේ නම් ද ඔහු කීවේය. ඒ අනුව, සම්භාව්‍ය උපහාස ගීයේ නිර්මාතෘවරයා වන්නේ ද ප්‍රේමකීර්ති බව මගේ විශ්වාසයයි.
ප්‍රේමකීර්ති හැමවිටම දරුවන් සමග සිටීම ප්‍රිය කළ අහිංසකයෙකි. රූපවාහිනියේ “ශනිදා සාදය” හා “අඳුන” තුළින් ද ඔහු ඇමතුවේ බොහෝවිට දරුවන්ටය. සාරධර්ම හා ළමා මනස සංවර්ධනය උදෙසා ඔහු නොමසුරුව ගුවන් කාලය වෙන් කළේය. “කියන්න සුළඟේ ඔබ කොයි සිට දෝ එන්නේ”, “පුංචි පන්තිවල”, “රූම් පෙත්ත කැරකෙනවා”, සුරංගීට දුක හිතුනා”, “සමනළයා මල හා ළමයා”, “මා එක්‌කලා අමනාපව වී දබර” වැනි ගීත ද, ටයිටස්‌ තොටවත්තයන් හඬගැන්වූ “දොස්‌තර හොඳහිත” වෙනුවෙන් රචිත “බෑ කියලා බැරිය මලේ” ආදී වූ ගීත සමුච්චිය අද ද දරුවන් අතර ආදරයට පාත්‍ර වී තිබේ.
ප්‍රේමකීර්ති තරම් පරිසරය හා ගහකොළ සතා සීපාවා පිළිබඳ සංවේදී වූ ගීත රචකයෙක්‌ මට හමුවී නැත. පරිසරයේ අප අවට සිටින ලොකු කුඩා සතුන්ගේත් ගහකොළවලත් සියුම් නිරීක්‍ෂණයක්‌ තුළින් ලත් පරිචයක්‌ ඔහු සතුව පැවැති බව ඔහුගේ ගී නිර්මාණ තුළින් අපට පෙනේ. මීට ඇති හොඳම උදාහරණය නම්, “බානෙන් බැඳ රජරට පෙදෙසින්නේ” ගීතයයි. එසේම, “හැන්දෑ කරේÊඅඹ මල් වට”, “කොහෝ කොහෝ කොහේ ඉඳන්”, “අඹ දඹ නාරන් කෙසෙල් දෙල්”, “සෙවනේ කඹුක්‌ සෙවනේ”, “දකුණු ලකේ අග නගරේ”, “නුවරවැවේ”, “
ප්‍රේමකීර්ති ලියා ඇති බැති ගී ප්‍රමාණය ද ඉතා විශාලය.අම්මා පිළිබඳව අප සියල්ලන්ගේම හදවතේ ඇති ළබැඳි සිතුවම “ආදරයේ උල්පත වූ අම්මා” ගීතවලින් වර්ණවත් වී ඇතැයි පැවසීම අතිශයෝක්‌තියක්‌ නොවේ. එසේම මාතෘත්වය නොලද විවාහක කාන්තාවකගේ සිතුවිලි ද ඔහු හොඳින් තේරුම්ගත් වග පෙනෙන්නේ, “දරුවෝ ඇති අම්මාලා” ගීතයෙනි. සාම්ප්‍රදායික සිංහල පවුල්වල දරුවන් හා දෙමාපියන් අතර ඇත්තේ දැඩි ආධ්‍යාත්මික බැඳීමකි. එම බැඳීමේ ගැඹුර “පුංචි දවස්‌වල නින්දට යද්දී” ගීතයෙන් අපට පවසන්නේ නෙතඟට කඳුළක්‌ නංවමිනි.
තරුණ වියේ දරුවන්ගේ නොමේරූ හැඟීම් මැනැවින් තේරුම්ගත් ප්‍රේමකීර්ති, ඔවුන් දෙස බැලුවේ දයාබර පියකු ලෙසයි. “හිතුවක්‌කාරෙට කරගත්තයි කියලා”, “ආශාවේ මල් වැටෙන් එබී” මේ සඳහා දැක්‌විය හැකි එක්‌ උදාහරණයකි. සමාජය විසින් කොන් කළ අහිංසක සූදුකරුවා සමාජයේ අවධානයට යොමු කරන්නේ “මිනිසකු පිට නැඟි අසරුවෙකි” ගීයෙනි. ප්‍රේමකිර්තිගේ දේශපාලන චින්තනය හඳුනාගත හැකි නිර්මාණ රාශියක්‌ ද මෙම ගී පදමාලා තුළ අන්තර්ගත ය. ඒවා සියුම් ලෙස විග්‍රහ කරන්නකුට පහසුවෙන් ඔහුගේ සිතුවිලි හා ඒකාත්මික විය හැකිය. ප්‍රෙඩී සිල්වා ගායනා කළ “කුණ්‌ඩුමනී” ගීතය එවක රටේ ප්‍රධාන දේශපාලන ගැටලුව වූ ජාතිවාදී ප්‍රශ්නය පිළිබඳ ඔහුගේ දැක්‌ම ප්‍රකට කරයි. ගුණදාස කපුගේ ගායනා කරන “සබඳ අපි කඳු නොවෙමු”, “උතුරු කොනේ නුඹ හිනැහෙන්” ඔහුගේ සමාජ සත්තා යථාර්ථය කුළුගන්වන නිර්මාණයෝ වෙති.
ඔහුගේ ගී පදමාලා රචනා ප්‍රතිභාව පිළිබඳ කිව හැකි හැමෝම දන්නා කතාව මම ඔබට කියමි. ප්‍රේමකීර්තිට ගීයක්‌ ලිවීමට ගත වන්නේ සිගරැට්‌ටුවක්‌ දැවී යන කාලය පමණි. උපකරණ ලෙස අවශ්‍ය වන්නේ බස්‌ ටිකට්‌ටුවක තරමේ කඩදාසි කැබැල්ලකි. “ආදරයේ උල්පත වූ අම්මා” ගීතය ලියෑවුණේ 138 බස්‌ රථයක ඇස්‌වාට්‌ටුවේ සිට හෝමාගම යද්දී එම ගමන සඳහා නිකුත් කළ ටිකට්‌ පතේ බව දන්නේ වික්‌ටර් රත්නායකයන්ම පමණි. ඔහු පිළිබඳ මෙවැනි කතා සිය ගණනක්‌ තිබේ. ඒවා ද සාහිත්‍යයකි. මහා හඬ පෞරුෂයක්‌ සහිත වූ ගුවන්විදුලි නිවේදකයකු වූ ප්‍රේමකීර්ති 60 දශකයේ අග භාගය වන විට ශ්‍රී ලංකා ගුවන්විදුලියේ සෙසු සියලු නිවේදකයන් අභිබවා සිටියේය. ඔහුගේ ඉතිහාසය, සාහිත්‍යය, ආගම හා සමාජ පරිඥනය පිළිබඳ වූ විශිෂ්ට දැනුම ගුවන් තලය හරහා ශ්‍රාවක දෙසවන් තුළින් හදවත් තුළට කිඳා  බැස්‌සේය. ප්‍රවෘත්ති නිවේදනයේ විශිෂ්ටයකු වූ ප්‍රේමකීර්ති එනිසාම පසු කලෙක රූපවාහිනියේ “පුවත් සැරිසර නමින් සාර්ථක වැඩසටහනක්‌ ඉදිරිපත් කළේය. “පුවත් සැරිසර” තුළින් සජීවීව ශ්‍රාවකයන් වැඩසටහනට සම්බන්ධ කරගැනීම ඔහු කළ අභියෝගාත්මක අත්හදා බැලීමකි.
1969 සිට 1977 දක්‌වා කාලසීමාව තුළ ගුවන්විදුලි බලධාරීන් විසින් ප්‍රේමකීර්තිගේ වැඩ තහනම් කළ අවස්‌ථා ගණන 12 කි. 1977 සිට 1987 දක්‌වා විවිධ දේශපාලන පළිගැනීම්වලට බඳුන් වූ ප්‍රේමකීර්ති අවසන වසර දෙකක වැඩ තහනමකට ද ලක්‌විය. වසර දෙකක අනිවාර්ය නිවාඩු යෑවීමෙන් පසු කිසිදු දඬුවමකින් තොරව නැවත සේවයට කැඳවූ ප්‍රේමකීර්ති ද අල්විස්‌ හා ගුණදාස කපුගේ රජරටට මාරු කරන ලදී. වැව් බැඳි රාජ්‍යයේ ගමක්‌ ගානේ යමින් රජරට සේවය ජනප්‍රිය කොට එය පොදු ජනතාවගේ හඬ බවට පත් කළ මොවුහු රජරට කළුගල් නිල් මැණික්‌ බවට පත් කළහ. ඊට ඇති හොඳම නිදසුන වන්නේ කරුණාරත්න දිවුල්ගනේ නම් ගායකයායි. රජරට සේවය කොළඹ ගුවන්විදුලියට තර්ජනයක්‌ම විය. වැව් බැඳි රාජ්‍යයේ දොරින් දොර, ගමින් ගම, ඇසුණු එකම ගුවන්විදුලිය වූයේ රජරට සේවයයි.
ඔහු දේශපාලන වේදිකා මත කෑ ගසා හෝ කරපටි සලකුණෙන් හෝ කේලාම් කීමෙන් දේශපාලනය නොකළ මානව හිතවාදියෙකි. ඔහු පිළිබඳ සැබෑව නම්, තමාගේ මාසික සොච්චම් පඩියෙන් මාස්‌ පතා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ සාමාජික මුදල අඩු කර යවන්නැයි ස්‌ථාවර නියෝගයක්‌ ලබාදී තිබූ එකම ගුවන්විදුලි සේවකයා වීමය. ඔහු මරා දැමූ පසු බිරිඳ අතට ලැබුණු 1989 ජුලි මස පඩිපතේ ද ඒ බව සටහන් වී තිබිණි.
1989 ජුලි මස 31 වැනි දින සීතල රාත්‍රියේ මැදියමට සුළු මොහොතකට පසු පාළු මාවතක බෝක්‌කුවක්‌ මතදී ලොවම ආදරය කළ ඒ මහා හඬ පෞරුෂය ගලා ආ අවිහිංසක සිනාව රැඳි මුවට වෙඩි තබා මෙම අවිහිංසක සමනළයකු වන් සියුමැලි මිනිසා ඝාතනය කරවන ලදී.

* සමරවීර මුදලිගේ දොන් ආරියරත්න ද අල්විස්‌
(ප්‍රේමකීර්ති ද අල්විස්‌ ඝාතනය කොට වසර 22 ක්‌ පිරීම නිමිත්තෙන් පළවූ ලිපියක්. )
 -------------------------------------------------------------------------------------------
 ඉහත සටහන ගැන
රජරට නිජබිම වූ
"අස්වැන්න" රචක දයානන්ද රත්නායක සහෘදයන්
මෙසේ පවසනවා.

"ඇත්තටම මම මේ සටහන ලියවුණු අතීතය ඊයේ යළිත් කල්පනා කළා. මගේ මතකයේ හැටියට හියවසරේ ජූනි මාසේ මැද හරියේ විතර ඉරිදා දිවයි‍න පුවත්පතේ ප්‍රේමකීර්තිගේ සොහොයුරෙක් නමින් මේ පුවත පළවෙලා තිබුනේ. ඒත් ප්‍රේම්ගේ පුද්ගලික ජීවිතය ගැන සමහර තොරතුරු සත්‍ය ඒවා වුනත්.මෙහි ඇතුළත් ගිත ගැන ලොකු ආන්දෝලනයක් ඊට පසු සතියේ ඇතිවුණා.

මේක ලිව්ව තැනැත්තා ප්‍රේමකීර්තිගේ ඥාතියෙකු නොවන බවත්,ව්‍යාජ නමකින් පෙනි සිටි තැනැත්තෙකු බවත් විද්වතුන් කිපදෙනෙකුම ඊට පසු සතිවල ඒ පුවත්පතේම සටහන් කරලා තිබුණා.

අනික කරුණාරත්න දිවුල්ගනේ රජරට මිනිසුන් හදුනාගත්තායින් පසුවයි ප්‍රේම් රජරටට ආවේ.ඒවන විටත් කුලසේන ෆොන්සේකා, විජයාන්නද ජයවීර, ස්වර්ණ බණ්ඩාර සමග දිවුල්ගනේ කටයුතු කරල තිබුණා.

මම ඒගැන පුංචි සදහනක් කරල තිබුණා අස්වැන්නෙන් මෙන්න මෙතනින් බලන්න
http://aswanna.blogspot.com/2013/03/blog-post_20.html

"සමරවීර මුදලිගේ දොන් ආරියරත්න ද අල්විස්‌" මේ නම ව්‍යාජ නමක්.ඒ නිසා අපි ප්‍රේම්ගේ ජීවිතයෙන් සහ ඔහුගේම නිර්මානවලින් ගත හැකි ආදර්ශය විතරක් ගනිමු "
-------------------------------------------------------------------------------------------

ජෝන්ද සිල්වා ශූරීන්ගේ රාමායණයේ "අඹ දඹ නාරං" සහ 
“කොහෝ කොහෝ කොහේ ඉඳන්/ “සෙවනේ කඹුක්‌ සෙවනේ”, /“දරුවෝ ඇති අම්මාලා”/ “පුංචි දවස්‌වල නින්දට යද්දී” /“ආශාවේ මල් වැටෙන් එබී”/ගුණදාස කපුගේ ගායනා කරන “සබඳ අපි කඳු නොවෙමු”, “උතුරු කොනේ නුඹ හිනැහෙන්” ගීත ප්‍රේම්ගේ නොව අජන්තා රණසිංහ/ මඩවල/ දර්ශන මේදිස්/ චන්දුා වාකිස්ට/ ලියූ ගීත බව තිස්ස ගුණවර්ධන හා දයානන්ද රත්නායකගෙ ප්‍රකාශ පහත දැක්වෙන ප්‍රකාශ වල පළවුණා.

-----------------------------------------------------------------------------------------------








ප්‍රෙමකීර්ති ගී රස වින්දන


































20130521

1956 ජෝතිගෙ ප්‍රවේශය - සිරියමෙ සාරා


උපුටා ගත්තේ
දයානන්ද රත්නායකගේ අස්වැන්න
බ්ලොග් සටහනෙන්
---------------------------------------

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiFnUwHoZbfoJFJw4BIs9C_0zV1nzC1gifImO7Sq1Qit1z5HbgmNe_zkFypuunUgz_7vxpjfpKKdagwSdkldFxV3ZQxqh-Z3kLe24gtfqPVc9ka7aoucD4HsQAdhxRdhr_HkaZF2wOp1xk/s400/Picture+009.jpg1947දී “කඩවුණු පොරොන්දුව”  චිත්‍රපටය තිරගත වන විට දකුණු ඉන්දීය සංගිතඥයන් ලෙස කටයුතු කළ ආර්. නාරයන් අය්යර්, පාණ්ඩුරංගන්,  ඇස් ඇස්. වේදාචලම්,  ඇස් . දක්ෂිණ මූර්ති, ටී.ආර්. පාපා, එස්.එම්. සුබෙයියා, ආර්.මුත්තුසාමි, ආර්. සුදර්ශනම්, ජී ඇස්. දිවාකර්, වී. ක්‍රිෂ්ණ මූර්ති ආදී සංගීතවේදීහු  මෙරට ද ජනප්‍රිය සංගිතකරුවන්  වී සිටියහ. ඒ ඔවුන්ගේ හින්දි සහ දෙමල චිත්‍රපට මෙරට ද තිරගත වී තිබූ බැවිනි.
චිත්‍රපට සංගීතය යනු ගීත ම පමණක් බව ඔවුන් දැඩි ව එළඹ තිබූ මතය හේතුවෙන් එවකට බිහි වූ චිත්‍රපට වල ගීත 12  හෝ 14 පමණ එල්ලා  තිබුණි. මේ තත්වයම "කඩවුණු පොරාන්දුව”  චිත්‍රපටයට අත්වූ අතර මලයාලම් ජාතික ආර්. නාරයන් අය්යර් සංගීතවත් කළ "කඩවුණු පෙරොන්දුව" චිත්‍රපටයේ ද ගීත 12 ක් විය.
ඒ අනුව සිංහල චිත්‍රපට සියල්ල එතැන් පටන් කිසිඳු අඩුවක් නොමැතිව දකුණු ඉන්දියානු චිත්‍රපට අනුකරණය කරමින් මෙරට සිංහල චිත්‍රපට නිෂ්පාදනය කළේ දකුණු ඉන්දියාවේ තමිල් නාඩුවේ දීය. ඒ නිසාම  චිත්‍රපට ගීත ගායනය සඳහා සිංහල කිසිවක් නොදත් කේ.ජමුණා රාණී,  ඒ.එම්.රාජා,  ජික්කි, ලතා මංගේෂ්කාර්, රූපාවතී , ජෙමිනි කාන්තා,  භාග්‍යරතී  ආදි ඉන්දියානු ගායක ගායිකාවෝ රැසක්  සිංහලෙන්  ගී ගැයුහ. ඒ චිත්‍රපටවල ලංකාවෙන් ගී ගැයූ ගායක ගායිකාවන් වූයේ  රුක්මණී දේවි, එඩී ජයමාන්න, පර්ල් වාසුදේවි, ධර්මදාස වල්පොල,  ලතා, සහ ජී.ඇස්.බී.රාණි පෙරේරා ආදීහුය. මේ දශකය තුළ නිමවුණු සිංහල චිත්‍රපට කීපයක් හැර  සෙසු සියළුම  චිත්‍රපට ඉන්දීය අනුකාරක චිත්‍රපට වූ අතර, ඒවායේ ගීත ද ඒ අනුකාරකත්වය තුළ ගිලී තිබුණි.
මේ යුගය වන විට ජෝතිපාලට වයස අවුරුදු 16 පමණ විය.  ඒ වන විට හින්දියෙන් ගී ගයන ගමේ ගායකයෙකු ලෙස ජෝතිපාල මරදාන ප්‍රදේශයේ තරමක් දුරට නමක් දිනා  සිටියේ ය. මරදාන, දෙමටගොඩ, නාරාහේන්පිට, ආදී ප්‍රදේශවල පැවති "පැදුරු සාජ්ජයන්" සඳහා ජෝතිපාල ගැයුවේ හින්දි ගීත ය. මේ පිළිබඳව මීට කළකට ඉහත දී ප්‍රවීන ගුවන්විදුලි නිවේදක ආරියදාස පීරිස් මහතා මා සමග දැක් වූ අදහසක් මේ.
ආරියදාස පීරිස් සොයා ගත් ජෝතිපාල:
ජෝතිපාල යොවුන් වියේ දී රැකියාවක් ලෙස පිටකොටුවේ  රෙදි සාප්පුවක වැඩ කරමින් සිටියේය. පීරිස් මහතා නිතර ආ ගිය තැනක් වූ ඒ රෙදි සාප්පුවේ වැඩ කල ‍අයෙක් එක දවසක සාප්පුවේ වැඩ කල කඩවසම් තරුණයෙකු පෙන්වා
"ආරියදාස මහත්තයා මේ කොල්ලට හොදට සිංදු කියන්න පුළුවන් පුලුවන් නම් රේඩියෝ සිලෝන් එකෙන් සිංදුවක් කියන්න දෙන්න"
" එහෙනම් කියනව බලන්න සිංදුවක්" ආරියදාස පීරිස් මහතා කීවේය
එදා ජෝතිපාල රෙදි සාප්පුවේ බිත්තියකට තට්ටු කරමින් හින්දි ගීයක් ගයා ආරියදාස පීරිස් මහතාට පෙන්වීය. ඔහු විමතියට පත්විය.
"හෙට උදේ රේඩියො සිලෝන් එකට ඇවිත මාව හම්බවෙනව" පීරිස් මහතා කීවේය.
පසුදින උදෑසන ජෝතිපාල ගුවන් විදුලියේ දොරකඩට වී සිටියේය. එදා පීරිස් මහතා පැමිණ ජෝතිපාල ආධුනික පැය වැඩසටහනට දැම්මේය.  ජෝතිපාල  තමන්ට ලැබුණ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගෙන ගීය ගැයීය. ඔහු ඉන් සමත් විය.  ඉන් අනතුරුව ජෝතිපාල ගුවන් විදුලියේ "ජයග්‍රාහි පෙළපාලියට " ද  යොමු කළේය. එයින් ද ජෝතිපාල සමත් විය. එයින් සමත් වූ ආධුනිකයන්ට විනාඩි 15 ක ආධුනික ගුවන් විදුලි වැඩසටහනක්  ලැබුණ බැවින් ඒ අවස්ථාව ජෝතිපාලට ද හිමි විය. ආරියදාස පීරිස් මහතා ජෝතිපාලව ගුවන් විදුලියට ගෙනාවේ ඒ අයුරිනි. මෙසේ ගායකයෙක් වූ ජෝතිපාල චිත්‍රපට අධ්‍යක්ෂක සිරිල් පී. අබේරත්නටද හඳුන්වා දුන්නේ ආරියදාස පීරිස් මහතා විසිනි.
ආරියදාස පීරිස් මහතා
මේ ආකාරයට පියවරෙන් පියවර ගීත ගායනයට පිවිසෙමින් සිටි  ජෝතිපාලට 1955 වර්ෂයේ දී සිරිසේන විමලවීර තැනූ "පොඩි පුතා" චිත්‍රපටයට  ගී ගැයිමට අවස්ථාවක් ලැබුණි. ජෝතිපාල ගීතය ගායනා කළේය.  චිත්‍රපටය නිෂ්පාදනය කළ නව ජීවන චිත්‍රපට සමාගම ජෝතිපාලගේ ගීතයට විරෝධය පල කළේ‍ය.
  
"මිනිහගේ කට හඬ හරි නෑ, මහ රළු හඬක් , මේ මිනිහට සිංදු කියන්න බෑ ඒ නිසා මේ චිත්‍රපටයෙන් මිනිහා අයින් කරනවා"  චිත්‍රපට සමාගම සංගීත අධ්‍යක්ෂ වරයාටත්, චිත්‍රපට අධ්‍යක්ෂවරයාටත් දන්වා සිටියේය. කිසිඳු තර්කයක් නොමැතිව ජෝතිපාල ගැයූ  ඒ චිත්‍රපට ගීතය චිත්‍රපටයෙන් කැපී විසි වුණි.
එසේ වුවද, ජෝතිපාල  එවකට තිබූ "පැදුරු පාටි" සඳහා දිගින් දිගටම සහභාගි විය. මේ පැදුරු පාටි සංගීත සඳහා එවකට  පී.එල්.ඒ. සෝමපාල සහ ආර්.ඒ චන්ද්‍රසේන නම් දරා සිටියේය.
ජී.ඇස්.බී රාණිට හමු වූ ජෝතිපාල:
"මගේ මහත්තයා ඇන්ටන් පෙරේරා තමයි මුලින්ම ජෝතිපාලව අඳුන ගත්තෙ. මහත්තයා එතකොට වැඩ කළේ රෙඩිෆියුෂන් සමාගමේ මරදාන ඒජන්ට් විදියට. ඇන්ටන් මරදානෙ නොදන්න කෙනෙක් නෑ. මටත් වඩා හුඟක් ජනප්‍රියයි ඇන්ටන්. ඒ කාලෙ මරදාන ප්‍රදේශයේ හිටපු චණ්ඩියෙක් වූ "චණ්ඩි චොප්පෙ " ඇන්ටන්ට ජෝතිපාලව හඳුන්වා දී තිබුණි.
"හොඳට සිංදු කියන කොල්ලෙක් සර්! නෝනට කියල අපේ කොල්ලට මොකක් හරි සපෝට් එකක් අරන් දෙන්න."
ඇන්ටන්ද හිස වැනුවා මිස ඉන් එහාට යමක් පැවසිමට නොගියේ ය. ඒ ඇන්ටන් සහ රාණි විවාහ වූ අලුත බැවින් ඔවුන් දෙදෙනා ඇසුරු කල බොහෝ අයගෙන් පැදුරු පාටියකට හෝ බජව්වකට  ඇරැයුමක් නොලැබුණා නම් ඒ කලාතුරකිනි.
"අපි විවාහය රෙජිස්ටර් කළේ පුවත් පත් කලාවේදී සිසිර කුමාර  මාණික්කආරච්චි මහත්තයාගෙ නුගේගොඩ ගෙදරදි. දැන් නන්දා මාලනී  ඉන්න ගෙවල් පාරෙ කෙළවර තමයි සිසිරගෙ ගෙදර තිබුණෙ.
ජී.ඇස්. බී. රාණී පෙරේරා
අපේ විවාහය වෙනුවෙන් සිසිර පැදුරු පාටියක් සූදානම් කළා. අපි දෙන්නත් එතැන  ඉන්දැද්දි ඒ බජව්වට චොප්පෙ ජෝතිපාලව එක්කන් ආවා."
ආර්.ඒ. චන්ද්‍රසේන මාස්ටර්  පැදුරු පාටිය භාරව කටයුතු කල අතර ඇන්ටන් චන්ද්‍රසේන මාස්ටර් ළඟින්ම ඇසුරු කළ අයෙකු බැවින් චන්ද්‍රසේන මාස්ටර් ළඟට ගොස් ජෝතිපාල ඔහුට හඳුන්වා දුන්නේය.
"හොඳට සිංදු කියන කොල්ලෙක් මචං කොල්ලට සිංදුවක් කියන්න දීපං"
යහළුවාගේ ඉල්ලීමට පිටුපෑමට නොහැකි වූ බැවින් චන්ද්‍රසේන මාස්ටර්  ද දෙවරක් නොසිතා ම ඊට කැමැත්ත පළ කළේ ය. ආර්.ඒ චන්ද්‍රසේන මාස්ටර් ද ඕනෑම වෙලාවක ඕනැම තැනකදි  අනුන්ට උදව් කිරිමට තරම් හිතක් තිබූ මහත්මාගුණයෙන් පෝෂිත අයෙකු වූ බැවින් ජෝතිපාලට ඒ අවස්ථාව ලැබුණි. එය ඔහුගේ ජීවිතයේ අමරණීය එකක් බව පසු කාලයේදි ජෝතිපාල විසින් ඇන්ටන්ටත්  රාණිටත් කියා තිබුණි.
"එදා ජෝති හරි ලස්සනට හින්දි සිංදු දෙකක්ම කිව්ව. " රාණි කීවාය.
කඳුළෙන්, සුසුමෙන්, සිනාවෙන් උපන් ගීතය:
නැවත ජෝතිපාලට චිත්‍රපටයක  ගීයක් ගායනා කිරිමට අවස්ථාව උදා කර දුන්නේ  පෙර දවසක ආරියදාස පීරිස් මහතා හඳුන්වා දුන් චිත්‍රපට අධ්‍යක්ෂක සිරිල් පී. අබේරත්න විසිනි. ඒ  ජබීර්.ඒ.කාදර් නිෂ්පාදනය කළ  "සුරතලී" චිත්‍රපටය සඳහා ය. ඒ "සිරියා මෙ සාරා"  ගීයයි.
1956 දී තිරගත වූ "සුරතලී" චිත්‍රපටයද ජනප්‍රිය හින්දි චිත්‍රපටයක් වූ "බර්සාත්" චිත්‍රපටය ඇසුරින්  නිර්මාණය වූවකි. සිරිල් පී. අබේරත්නට අමතරව දකුණු ඉන්දියාවේ දෙමළ චිත්‍රපට අධ්‍යක්ෂක‍වරයෙකු වූ කේ. වෙම්බු මහතාද චිත්‍රපටයේ අධ්‍යක්ෂ වරයෙකු ලෙස  කටයුතු  කළේය.
චිත්‍රපටයට ගීත 12 ක් ඇතුළත් විය. "සුරතලී " චිත්‍රපටයේ ගීත ගායනා කිරිමට සිටි ප්‍රධානතම  ගායක පිරිස  වූයේ ජී.ඇස්.බී.රාණි පෙරේරා, ස්වර්ණා අබේරත්න,  ධර්මදාස වල්පොල, එල්.එම්.පෙරේරා,  ලතා සහ ජෝතිපාල ද, ඉන්දියාවේ මදුරාසියේ "වාහිනි" ශබ්දාගාරයට  ගොස් සිටියහ. ටී.ආර්. පාපා  "සුරතලී" චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය භාරව කටයුතු කළේය. චිත්‍රපටයේ ගීත අතුරින් එකක් සමූහ ගායනයක්ද, තව ගියක් යුග ගීතයක් ලෙසින්ද, ඒකල ගීයක් ද ජෝතිපාලට ගැයිමට නියමිතව තිබුණි.
ජෝතිපාල නවක ගායකයෙකු නිසා එකවරම චිත්‍රපට පසුබ්ම් ගීතයක් ගායනා කිරිමට භාර දිමට පාපා අකමැති විය. පාපා  ජෝතිපාල එම චිත්‍රපටයෙන් ඉවත් කිරිමට අපමණ වෙහෙසක් ගත්තේ ය.
'මෙයාගෙ වොයිස් එක මේ චිත්‍රපටයට ගැලපෙන්නෙ නෑ" පාපා කීවේය. එයින් නොනැවතී ඔහු  ඒ බව චිත්‍රපට නිෂ්පාදක ජබීර්.ඒ. කාදර්ට ද දැනුම් දීමට කටයුතු කළේය.
කෙසේ වුවත්, එදා පටිගත කිරිම් සඳහා "වාහිනී" ශබ්දාගාරයට ගොස් සිටි ජී.ඇස්බී. රාණි ඇතුළු පිරිස පාපාගෙන් ඉල්ලීමක් කළේ  ජෝතිපාලට ගීය ගායනා කරන්න දෙන ලෙස ය. ජෝතිපාල නිසා "සුරතලී" චිත්‍රපටයට යම් හානියක් හෝ  පාඩුවක් වුවහොත් යළිත් කිසිඳු දිනයක කාදර්ගේ චිත්‍රපටවලට සම්බන්ධ නොවන බව ඔව්හු පාපා ට කියා සිටියහ.
ඒ වන විටත් දෙවන වරටත් අහිමි වෙමින් තිබූ වාසනාව පිලිබඳව ජෝතිපාලගේ සිත දැඩිව කලකිරීමට පත්ව තිබුණි. ඒ හේතුවෙන් ම ඔහු මදුරාසියේ දී දුම්රියට පැන සිය දිවි හානි කරගැනිමට   උත්සාහ කළේය. ඒ ජෝතිපාලගේ උත්සාහහය යාන්තමට එදා  ලංකාවෙන් ගොස් සිටි ශිල්පීන්ට වලක්වා ගත හැකි විම සතුටට කාරණයක් විය. අන්තිමේ දී සිරිල් පී. අබේරත්නගේ දැඩි බලපැම හමුවේ කණ්ඩායමට ජය අත්විය. ජෝතිපාල "සිරියා මෙ  සාරා"  ගීතය ගායනා කළේය.
චිත්‍රපටයේ ගීත අතුරින් හරි අඩකට වඩා ජනප්‍රිය විය. ජෝතිපාල ගැයූ සෙසු ගීත එතරම් ජනප්‍රිය නොවුන ද කාදර්ගේ චිත්‍රපටයට කිසිඳු හානියක් හෝ පාඩුවක් සිදු නොවුනි. කාදර්ගේත්, ටී.ආර්. පාපාගේත්, ඉහේ මලක් පිපුණාක් මෙන් විය. ඔවුන්ගේ මුවගට සිනා රැල්ලක්ද නැගුණි. කඳුළින් සුසුමින් සිනාවෙන් උපන් මේ ගීය නිසාය.
සිරියා මෙ සාරා නැගේවි හද මෝරා
දී ප්‍රේමේ අමධාරා හෝ ප්‍රේමේ අමධාරා
ප්‍රේමේ නුරා ගීත රාවේ නැගෙන්නා
මේ පෙම් මල් පිපීලා මා හර්දේ පිරෙන්නා
හෝ...
දින රාජයා ඈත අහසේ දිලෙන්නා
දී ප්‍රේමේ අමධාරා හෝ ප්‍රේමේ අමධාරා
ගංගා පිරීලා‍ ඉතිරී ගලන්නා
ආලේ රසේ මා හදේහි නැගෙන්නා
හෝ..
මේ සන්ධ්‍යා ශ්‍රියාවෝ නැගේ හද මෝරා
දී ප්‍රේමේ අමධාරා හෝ ප්‍රේමේ අමධාරා
මල් ලෝකෙ සරලා ගුමු නාදෙ දීලා
බඹරා ගියා සේ  පෙම් ගී ගයාලා
හෝ..
යාවී මේ දැන් පෙම් කුමාරි සොයාලා
දී ප්‍රේමේ අමධාරා හෝ ප්‍රේමේ අමධාරා
ගීත පබැඳුම:   ඩබ්ලිව්. විල්ෆ්‍රඩ් සිල්වා
සංගිතය:        ටී.ආර්. පාපා
ගායනය:        එච්.ආර්. ජෝතිපාල
චිත්‍රපටය:        සුරතලී
නිෂ්පාදක:      ජබීර්.ඒ. කාදර්
තිරගතවූ වසර:  1956

මේ චිත්‍රපටයේ  සියළුම ගීත අනුකාරක ගීත විය. ඒවා හින්දි සහ දෙමල චිත්‍රපටවලින් උපුටා ගත් ඒවාය.
ඒ අනුව පසු කාලයේ දී ජනප්‍රියම චිත්‍රපට පසුබ්ම්  ගායකයා වූ එච්.ආර්.ජෝතිපාලගේ මුල්ම ගීතය සහ චිත්‍රපට ගීතය ලෙස "සිරියා මෙ සාරා"  ගීතය ඉතිහාස ගත විය. ඒ වන විට ජෝතිපාලගේ වයස අවුරුදු විස්සකි. ගීතයට අදට වසය අවුරුදු 56 කි. ෴