20131120

මිනිසෙකුට මිනිසෙක් වීම උතුම්.


http://theinspirationroom.com/daily/commercials/2009/4/stihl-deathbed-scene.jpg
තාත්තා කෙනෙකුට පුතෙක් වෙනවාට වඩා
මිනිසෙකුට මිනිසෙක් වීම උතුම්.
------------------------------------------------------------------

මානව ගුණයෙන් යුතු සැබෑ කතාවක්

මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර

කතාව පටන් ගැනුණේ බ්රූක්ලින් නගරාන්තරයේ වීදි කොනකයි.

වැඩිමහල් මිනිසෙක්, පාරේ පැත්තක සිට අනිත් පැත්තට යද්දී ඇද වැටුණා. ගිලන් රථයක් ඉක්මනින් ගෙන්වා කින්ග්ස් කවුන්ට් රෝහලට ඇතුළු කරනු ලැබුවා. එහිදී කෙමෙන් සිහිය ලද ඔහු විටින් විට තම පුතා අමතා තිබෙනවා.

රෝහලේ හදිසි වාට්ටුවේ වැඩ කටයුතුවල නියැළී සිටි එක්තරා හෙදියකට ඔහුගේ පොඩිවුණු බොහෝ වරක් කියවන ලද ලියුමක් කියවන්නට ලැබුණා. ඒ අනුව මේ කියන පුතා උතුරු කැරොලිනාහි නාවික භටයකු (Marine) බව දැනගත්තා.

දැනගන්නට ලැබුණු හැටියට නම් ඔහුට වෙනත් නෑදෑ කෙනකු හිටිය වගක් පෙනුණෙ නෑ.

රෝහලේ සිටි කෙනෙක් බ්රූක්ලින්හි රතුකුරුස කන්තෝරුවට කතා කෙරුවා. කතා කරලා මේ ලියුමෙන් හැඟවුම් කරන උතුරු කැරොලිනාහි මැරියන් (නාවුක) සේනාංක කඳවුරට දන්වනු ලැබුවා. මෙහෙම කරන්නට සිදුවුණේ වැඩි කාලයක් ඉතිරි ව නොතිබූ නිසා. ලෙඩා මියැදෙමින් සිටියා. පණිවුඩය අසන රතුකුරුස නිලධාරියා සහ තවත් නිලධාරියෙක් නියමිත තැනට ජීප් රියක නැඟී ගමන් ගනු ලැබුවා. ඔවුනට මේ කියන තරුණ පුත්‍රයා යැයි සිතිය හැකි පුද්ගලයා ඔබ මොබ සක්මන් කරමින් සිටිනු දැකගත හැකිවුණා. ඔහු කැඳවා වහා නියමිත වෙලාවට ගුවන් තොටුපළට ඇරලනු ලැබුවා. ඒ අනුව ඔහුට තමන්ගේ මියැදෙමින් සිටින පියා දැක බලාගන්නට පුළුවන් වේයයි නිගමනය කෙරුණා.

තරුණ නාවුක භටයා කින්ග්ස් කවුන්ට් රෝහලේ ඇතුල් වන දිනට ළඟා වෙන විට හැන්දෑව යම්තමින් පසුවී තිබුණා. වෙහෙස කර බැල්මකින් යුතු සෙබළා කැටුව එක්තරා හෙදියක් අර මියැදෙමින් හුන් පුද්ගලයාගේ ඇඳ අසලට ගමන් ගත්තා.

”මෙන්න ඔබේ පුතා ඇවිත්” ඇය මහල්ලාට පැවසුවා. ඇයට ඒ වදන් කීප වරක් ම කීමට සිදුවීමෙන් පසු ව ය මහල්ලා යම්තමින් දෑස් හැර බැලුවේ. හෘදය පීඩනයෙන් ඇතිවුණු වේදනාව හා කම්පනය හේතුවෙන් මහල්ලාට හමුදා ඇඳුමින් සැරසී සිටි තරුණයා පෙනුණේ යම්තම් අඩවන් එළියේ ය. ඔහු සිටගෙන සිටියේ ඔක්සිජන් ඒකකයෙන් පිටත. ඔහු තම අත දික්කළා. නාවුක භටයා තමන්ගේ අත මහල්ලාගේ හිරිවැටී තිබූ බෙහෙවින් ඔත්පළ වියළි අතින් අල්ලා ගත්තා. එසේ කොට මිරිකා තම ආදරයේ හා දිරි ගැන්වීම පෙන්නුම් කළා. හෙදිය පුටුවක් ගෙන ආවා. නාවුක භටයාට ඔහු අසල හිඳ ගැනීමට පුළුවන් වුණා.

රෝහල්වල ගෙවෙන රෑ කල දිගුයි. එහෙත් නාවුක භටයා අයහපත් ලෙස එළිය කරන ලද වාට්ටුවේ මුළු රැයක් පහන් කෙරුවා. ඔහු මහල්ලාගේ අතින් අල්ලාගෙන බලාපොරොත්තු හා ශක්තිය ලැබෙන පරිදි වදන් කියමින් කල් ගත කළා. එතැනට පැමිණෙන හෙදිය ඔහු අමතා කියා සිටියේ විටින් විට එතැනින් බැහැර ගොස් විවේක ගෙන පැමිණෙන ලෙසයි. ඔහු එය පිළිගත්තේ නැහැ.

හෙදිය එතැනට එන හැම අවස්ථාවකදීම නාවුක භටයා එතැනම රැඳී සිටිනු දැක ගත හැකිවූවා. ඇය ගැන තැකීමක් නොකරමින් ද, එක ම ඔක්සිජන් සිලින්ඩරය ශබ්ද ආදිය – හා රෑ වැඩකරන අයගෙන් නැඟෙන හිනා, ලෙඩුන්ගේ විවිධාකාර කෙඳිරීම්, ගෙරවීම් ආදිය ගැන ගණන් නොගෙන ඇඳ අසලට ම වී සිටියා.

ඇය පැමිණි විට ඔහු මුදු වදන්වලින් යමක් පවසනු ඇසුණා. මියැදෙමින් හුන් මිනිසා කිසිවක් කියනු ඇසුණේ නෑ. ඔහු සිටියේ තම පුතුගේ අත තරයේ අල්ලා ගනිමින්.

අරුණු නැඟෙන්නට ආසන්න ව තිබියදී ගිලනා මිය ගියා. නාවුක භටයා තමන් අල්ලා සිටි මහල්ලාගේ පණ නැති අත ඇදමත රැඳෙව්වා. එසේ කොට සිදුවූ දේ කීමට හෙදිය මුණ ගැසීමට ගියා.

ඇය තමන්ට කළ හැකි දේ ඉටු කරමින් සිටියදී ඔහු දුම්වැටියක් දල්වා ගත්තා. එය තමන් රෝහලට පැමිණි පසු දල්වාගත් පළමු සිගරැට්ටුවයි.

ඇත්තට ම, ඔහු හෙදියන්ගේ කාර්යාලයට ගමන් කළා. ඇය කාරුණික වදනින් ඔහු ඇමතුමා. තම ශෝකය ද ප්‍රකාශ කළා. එහෙත් නාවුක භටයා ඇයට බාධා කොට මෙසේ ඇසුවා.

”කවුද ඒ මනුස්සයා?”

”ඒ ඔබේ තාත්තා” ඇය කැලඹිලි ලෙස ප්‍රතිචාර දැක්වූවා.

”නෑ, ඒ මගේ තාත්තා නොවේ, මීට ඉස්සෙල්ලා ජීවිතේ කවදාවත් මම ඒ මනුස්සයා දැකලා නෑ.”

”එහෙමනන් මම ඔබ කැටුව ඒ මනුස්සයා ළඟට යන කොට මොකුත් ම නොකිව්වේ ඇයි?” හෙදිය ඇසුවා.

”මට මුලින්ම දැනුණා මොකක්දෝ වැරැද්දක් වෙලා තියෙන වග. ඒත් එක්ක ම මට හැඟුණා ඒ මනුස්සයාට අවශ්‍යයයි තමන්ගේ පුතාව ළංකරගන්න. ඒ වෙලාවේ ඒ මනුස්සයාගේ පුතා ළඟපහළක සිටියෙත් නෑ.

ඒ මනුස්සයා හුඟාක් අසනීප බව දැනගත්තු වේලාවේ මට හිතුණා, මම එයාගේ පුතා ද නැද්ද කියන එක නොවේ උවමනා. මාවයි උවමනා කරන්නේ කියලා. ඒ ගමන මම නතර වුණා.”

එසේ කීමෙන් පසුව නාවුක භටයා රෝහලෙන් බැහැරට ගමන් කළා දවස් දෙකකට පසුව ‘රුටින් මැසේජ’ නමින් හඳුන්වන නිල හසුනක් උතුරු කැරොලිනාහි නාවුක හමුදාවෙන් ලැබුණා. ඒ අනුව බ්රූක්ලින් රතුකුරුස සමාජය දන්වා සිටියේ නියම පුත්‍රයා තම පියාණන්ගේ අවමංගල්‍යයට එන බව ය. දැනගැනීමට ලැබුණේ එක ම නමක් ඇති නාවුක සෙබළුන් දෙදෙනකු හා එක ම හමුදාංක ඇති සෙබළුන් දෙදෙනකු ඒ කඳවුරේ සිටින බවයි. සේවා ලැයිස්තු කාර්යාලයේ කිසිවෙක් විසින් එළියට ඇද ඇත්තේ වැරදි ලේඛනයකි.

එහෙත් වැරදි ලෙස පැමිණි නාවුක සෙබලා නියම වෙලාවට නියම ලෙස නියම පුතා ලෙස පෙනී සිටියා. ඔහු ඔප්පු කළා අද්විතීය මානවීය ගුණයක් ලෙස තම මානව කලාව ඉටු කළ යුතුය යන කාරණය.

(Reader’s Digest සඟරාවේ (ඔක්. 1965) පළ වූ Night Watch ඇසුරිනි)
silumina. 2011 04 24

No comments:

Post a Comment