20170130

මගේ වීරයා තාත්තා – වික්ටර් රත්නායක

මෙතෙක් ආ ගමනේ වීරත්වය කාට ද හිමිවෙන්න ඕනි සර්?
සහතිකවම තාත්තා තමයි මගේ වීරයා. මොකද මම එහෙම කියන්නේ එයා තරම් මාව හඳුනාගත්ත වෙනත් කෙනෙක් තවත් නෑ. මගේ තාත්තා කඩුගන්නාවේ රජයේ බෙහෙත් ශාලාවේ ඔෟෂධ සංයෝජකයෙක් ලෙසයි රැකියාව කළේ. ඒක ලොකු වැටුප් හම්බවෙන ඉහළ තරාතිරමේ රැකියාවක් නො වුණත් ගමේ අය තාත්තට හරියට සැලකුවා. ගමේ අය තාත්තට කිව්වේ රත්නායක වෙදමහත්තයා කියලා. තාත්තට යන යන තැන අපූරු මිතුරන් පිරිසකුත් හිටියා. එයා අතිශය කලාකාමී චරිතයක්. මගේ කුඩා කාලේ අපේ ගෙදර නිරන්තරයෙන් සංගීතය ඇහෙන පරිසරයක් තිබුණා. අපි ඒවට කිව්වේ සංගීත සාජ්ජ කියලා. ගමෙත් එහෙමයි. සංගීත සාජ්ජ තිබුණා. මේවායේ සර්පිනා, තබ්ලා, බටනලා, මැන්ඩලීන් වැනි වාදක භාණ්ඩ මැනවින් තිබුණා. අපි මේ වගේ අවස්ථාවලින් ලොකු වින්දනයක් ලැබුවා. ඉතින් තාත්තා ගැන කතාවට මම එන්නම්. අපේ ගමේ ඔය හැම විශේෂ අවස්ථාවකම ඒ කියන්නේ කොටහළු මඟුල් ගෙයක්, මඟුල් ගෙයක්, ස්ථාන මාරුවක් මේ හැම එකකම සාජ්ජ තිබුණා. එක දවසක් ඔය වගේ සාජ්ජයක සංගීතය අතරතුර ලැබුණු විරාමයක වාදක පිරිස පොඩ්ඩකට එහාමෙහා වුණා. ඒ වෙලාවේ මට ඒ වාදක භාණ්ඩ අතර තිබුණු සර්පිනාව අතපත ගාන්න ආස හිතුණා. ඒක ෆුට් බෙලෝ සර්පිනා එකක්. ඒක වාදනය කරන්න ඕන කකුලෙන් පාග පාගා හුළං දෙමින්. මමත් කකුල් දෙකින් බෙලෝ එක පාගමින් අර ඇඟිල් පුවරුවේ අත එහාමෙහා ආසාවට අරන් ගියා. මට එකපාරටම ලොකු ටොක්කක් වැදුණා රිදෙන්නම. ඒ මේ සර්පිනා එකේ අයිතිකරුවාගෙන්. ඊටපස්සේ මගේ කන් කෙටියෙන් අල්ලලා මාව පැත්තකට වීසි කරන ගමන් කිව්වා මේක සෙල්ලම් බඩුවක් කියලා හිතුව ද කියලා. ඉතින් ඔය සිද්ධිය අපේ තාත්තට ආරංචි වෙලා එයාගේ හිත හොඳටම රිදිලා තැන් තැන්වල ගිහින් ටොකු කන්නේ නැතිව මෙන්න ඉගෙන ගනින් කියලා අර වර්ගයේම සර්පිනාවක් මට අරන් දුන්නා. ඒක තමයි මගේ සංගීත දිවියේ ආරම්භය.

තාත්තා ගැන තවත් අහන්න කැමතියි.
අපි බොහොම නැති බැරිකම් මැද්දේ හැදුණු උදවිය. අපේ පවුලේ උදවිය නව දෙනෙක් තාත්තගේ පුංචි රස්සාවේ පඩියෙන් තමයි ජීවත් වුණේ. මට අපේ තාත්තාගේ සමහර ප්‍රතිපත්ති ගැන පුදුමත් හිතෙනවා. මොන තරම් අඟහිඟ තිබුණත් එයා අපිට හොඳට කන්න බොන්න දුන්නා. ඒ වගේම අපිට හොඳ ඇඳුම් අරන් දුන්නා. සල්ලි නැති වෙලාවේ වුණත් මම ටොකු කාපු වෙලාවේ එයා මට ෆුට් බෙලෝ සර්පිනා එකක් අරන් දුන්නා. එයා දරුවන්ව තේරුම් ගත්ත ආකාරයට ඒක හොඳම නිදසුනක්. ඒ වගේම එයා ගෙදරට දරදඬු පාලකයෙක් වුණා. ඔහුගේ පාලනයට අපි ඔක්කොට යටයි. ඒ වගේම තාත්තට සාමාන්‍ය දැනීම පුදුමාකාර විදියට පිහිටලා තිබුණා. එයා මුළු ලංකාවේම තියෙන දුම්රිය පොළවල්වල නම් කවියෙන් කියනවා. ලෝකයේම ගුවන්තොටුපලවල නම් කවියෙන් කියනවා. මුල් වකවානුවේ තාත්තාගේ චින්තනය සහ පෙළඹවීම තමයි මේ ගමන එන්න මූලික අඩිතාලම වැටුණේ. ඔහු ගීත කියනවා අහන්න මම ආසයි. මුල් කාලේ මම තාත්තාගේ රසිකයෙක් වුණා. පස්සේ කාලෙක තාත්තා මගේ රසිකයෙක් වුණා. මගේ ගායනා එයා  හරි ආසාවෙන් රසවින්දා.

ඔය කාලේ රේඩියෝ එක අහන්නේ නැද්ද සර්?
ඇත්තටම අපේ ගෙදර රේඩියෝ එකක් තිබුණේ නෑ. අපේ ගෙවල් ගාව බාබර් සාප්පුවක් තිබුණා. මට තාම මතකයි ජයසේන කියලා අයියා කෙනෙක් තමයි කොණ්ඩේ කපන්නේ. සැලුන් එකේ රේඩියෝ එකක් තිබුණා. ඕක අහන්න අපි නිතරම සැලුන් එකට යනවා. ධර්මදාස වල්පොල, මොහිදින් බෙග්, මොහොමඩ් රාෆි ඒ දවස්වල හරි ජනප්‍රියයි. එයාලගේ ගොඩක් ගීත චිත්‍රපට ගීත. ඔය කාලේ අපේ ගමේ ටෙන්ට් ගහලා චිත්‍රපටි පෙන්නනවා. ඉතින් එවා බලන්න ගියාමත් අර ඇහෙන සිංදු අලුතින් දකිනවා.

ඊටපස්සේ ඉස්කෝලේ කාලේ… විශ්වවිද්‍යාල කාලේ… ගැන කෙටියෙන් හරි කියමු සර්?
ඔව්. පාසල් කාලේ පොඩි වයසටම තාත්තා අරන් දුන්නු සර්පිනාව මට පුළුවන් විදියට වාදනය කරමින් ස්වතන්ත්‍රව ගීත ගායනා කිරීමට මම අතහුරු කරගෙන හිටියේ. ඉස්කෝලේ කලා උළෙලවලදී සාහිත්‍ය උත්සවවලදී ගීත ගායනා කිරීමට මට බොහෝ දෙනෙක් ආරාධනා කරනවා. මම මේ වෙලාවේ අපේ ඉස්කෝලේ සංගීත ගුරුවරයා වෙච්ච ම්.ර්. සුගතපාල සර්ව මතක් කරනවා. ඉස්කෝලෙදි මම සංගීතය විෂයක් විදියට හැදෑරුවේ නැතත් ඔහු මාව අන්තර් පාඨශාලීය තරගවලට යොමු කරනවා. මට මතකයි 1958 අවුරුද්දේ සමස්ත ලංකා අන්තර් පාඨශාලීය ගායනා තරගේ හොඳම ගායනය කුසලතාවය මම හිමි කරගන්නවා. ඔය අතරේ අපේ තාත්තා මාව මහනුවර ර්.ට්.ර්ථී. කලායතනයේ සිරිල් පෙරේරා සර්ට සංගීතය කියලා දෙන්න කියලා භාරදෙනවා. එතකොට අර කණෙන් අහලා ස්වර ඥාණයකින් තොරව ගීත ගායනා කරපු වාදනය කරපු කාලේ ඉවර වෙනවා. සර්පිනාව එවකට විභාගවලදී අදාල වාදන භාණ්ඩයක් නෙවෙයි. ඒක නිසා සිරිල් පෙරේරා සර්ගෙන් දැනුවත් වෙලා තාත්තා මට වයලීනයක් අරන් දෙනවා මේක ඉගෙන ගන්න කියලා. වයලීන් වාදනයේ මුල එතන. ඒ වගේම මගේ සංගීත ජීවිතයේ තව සන්ධිස්ථානයක් තමයි ප්‍රවීණ සංගීතවේදී ආර්.ඒ.චන්ද්‍රසේනයන් මුණගැසීම. ඔහුගේ ආධුනික ගායකයන් බඳවා ගැනීමේ පරීක්ෂණයකින් සමත්වෙලා මම කොළඹ එනවා. ඔහුගේ සංගීත කණ්ඩායමේ වයලීන් වාදකයෙකු විදියට කටයුතු කරා. ඔහුගේ ප්‍රසංගවල ගීත ගායනා කරන්නත් ඔහු අවස්ථාව දුන්නා. ඔය අතරවාරේ මම සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ඇතුළු වෙනවා. එහිදී ශාස්ත්‍රීය සංගීතය පිළිබඳ වැඩිදුර හදාරලා 1996දී සංගීත ගුරුපත්වීමක් එක්ක මම බණ්ඩාරවෙලට යනවා. පසුකාලීනව ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් වුණ සුජාතා අත්තනායක මර්වින් පෙරේරා, සරත් දසනායක, අමරසිරි පීරිස්, අමිතා වැදිසිංහ විශ්වවිද්‍යාලයේ මගේ සමකාලීනයන්.

ඔය කාලේ ඇත්තටම දක්ෂයින්ට විතරයි නේද ක්ෂේත්‍රයට පිවිසෙන්න පුළුවන් වුණේ?
සහතිකවම. හැමෝටම ගායනයට, වාදනයට අවස්ථාව දෙන්නේ නෑ. ගුවන්විදුලියේ පරීක්ෂණයක් තියෙනවනේ. විශිෂ්ට ශේ‍ර්ණියේ, ඒ ශේ‍ර්ණියේ, බී ශේ‍ර්ණියේ ඉන්න අයට විතරයි අවස්ථාව හිමි වුණේ. ගුවන්විදුලිය විතරමනේ තිබුණේ. ඉතින් කෙනෙක් මේ ක්ෂේත්‍රයට එනවා නම් මේ පරීක්ෂණයෙන් සමත් වෙන්න ඕනි. එතනින්ම පිළිගන්න වෙනවානේ ගායකයින් වීමට අපේක්ෂා කරපු අයව කිසියම් ප්‍රමිතිගතකරණයට ලක්වෙලයි ජනතාකරණය වෙන්නේ කියලා. අදටත් ඒ නිර්මාණ මිනිස්සු රසවිඳින්නේ ඒ ප්‍රමිතිය නිසානේ. අද මාධ්‍ය ආයතනවලට මුදල් දීලා තමන්ගේ ගීත මිනිස්සුන්ට බලෙන් අවුස්සවනවා. කෝ ප්‍රමිතියක්?

වැඩ කරද්දි තනි තනියෙන් වීරකම් හදාගන්න ගියා නම් මෙච්චර දුරක් එන්න වෙන එකක් නෑ නේද?
ඇත්තටම. හැකියාවන් කුසලතාවයන් ඇති අතිදක්ෂයෝ තමයි එකට එකතු වෙන්නෙත්. ගායකයා තනු නිර්මාණය කරන්නා, ගේය පද රචකයා මේ තුන්දෙනාම ගමුකෝ. දැන් ගායකයනේ වැඩිපුර කැපී පේන්නේ. නමුත් අනිත් දෙන්නටත් ගෞරවයක් සහ ආදරයක් ඇති වෙන විදියට ඒ වෙලාවේ ගායකයෝ කටයුතු කරා. උදාහරණයකට ප්‍රේමකීර්ති සිංදුවක් ලියනවා. මම තනුව දාලා ගායනා කරනවා. ගීතය ප්‍රචාරය වෙද්දි අපි ප්‍රේම්ව මතක් කරනවා. වැඩසටහන්වලදී නිවේදකයෝ මේ සියලුදෙනාම මතක් කරනවා. ඔවුන් සියලුදෙනාගේම නිර්මාණශීලීත්වය අගය කරනවා. තනි තනිව වීරයා වෙන්න කටයුතු කරන්නේ නෑ. එකිනෙකා අගය කරගැනීම අපේ සදාචාරාත්මක ගුණනේ. ඒ සදාචාරය අද නෑ. අපි හුදු විනෝදය තකාම හමුවුණ අය නෙවෙයි. වැඩක් කරන්න නිර්මාණශීලීත්වය වැඩිදියුණු කරගන්න හමුවුණු අය. නමුත් අද බලන්න. අද කණ්ඩායම් වශයෙන් හමුවෙන්නේ අධ්‍යනයකට නෙවෙයි වෙන වෙන අරමුණ ­ සමහර විට පෞද්ගලික වාසි බලාපොරොත්තුවෙන්. ඒකයි බිහිවෙන නිර්මාණවල පෝෂණීය ගුණය අඩු.

නමුත් මේ මොහොතෙත් වික්ටර් රත්නායක වගේ වීරයෙක් වෙන්න හිතාගෙන ඉන්න අයත් ඉන්නවා.
කොටින්ම වෙන කෙනෙක්ව අනුකරණය කරන කෙනෙක් වීරයෙක් වෙන්නෙ නෑ නේද? තමාගේ අනන්‍යතාවයක් නේද හදාගන්න ඕනි. මම ලෙළුම්ටයි, ජයන්තටයි කිව්වෙත් මගේ සිංදු කියන්නේ නැතිව ඔයාලගේම අනන්‍යයතාවයක් හදාගන්න කියලා. නමුත් පහුගිය දවසක මම ඒ දෙන්නට කිව්වා මගේ සිංදුත් කියන්න කියලා. මොකද නැත්නම් මට අර ඔයා කිව්ව වගේ වෙන පුතාලා හැදෙනවා.

ඔබතුමාගේ කොණ්ඩය සහ රැවුලේ විලාසිතාව හිතට එන්නේ කවුරුන් නිසා ද?
අනේ නෑ. මම හිතලා තමයි මෙහෙම හිටියේ. විලාසිතා කරද්දී කිසිම කෙනෙක්ව මම අනුකරණය කරලා නෑ. ගායනයේදී පවා මම මගේම හඬක් තමයි හදාගන්න ඕන වුණේ. කොටින්ම ක්ෂේත්‍රයට පිවිසෙන්න කලින් විතරයි අනුන්ගේ ගීත පවා ගායනා කළේ. ශිල්පියෙක් වුණාට පස්සේ මම ගායනා කළේ ස්වතන්ත්‍ර ගීත විතරයි.

සර්.. ප්‍රේමකීර්ති ගැනත් කතා කරමු ද?
ප්‍රේම් කියන්නේ ඇත්තම ඇත්ත වීරයෙක්. අවුරුදු හතලිස් දෙකයි ජීවත් වුණේ. නමුත් අවුරුදු අසූවක් ජීවත් වුණ කෙනෙකුට වඩා වැඩ කරපු කෙනෙක්. ඒ වගේම එයාගේ නිර්මාණවල මූල්‍යමය වටිනාකම් නො සිතුව හිත හොඳ කෙනෙක්. එතුමා අකාලයේ ඝාතනය කිරීම පිළිබඳව මහා දුකක් තියෙනවා. නමුත් ඒ එක්කම මම හිතනවා ඔහු ඒ විදිහට අපෙන් සමුගත්ත නිසා තමයි අදටත් එතුමා ගැන සමාජය කතා කරන්නේ කියලා.

ඔබතුමාලගේ මිත්‍රසමාගම්වල අග්‍රඵලයක් තමයි “ස” කියන්නේ. පටන් ගත්ත විදිය බොහෝදෙනා දන්නවනේ. 
“ස” නැවැත්තුවේ ඇයි සර්?
ඔයා කියන එක හරි. “ස” පටන් ගන්නකොට ක්ෂේත්‍රයේ මම අවුරුදු නමයක් ගීත ගායනා කරලා තිබුණා. අපි අතරේ තිබුණු සහයෝගීත්වයට හොඳ උදාහරණයක් “ස”. ප්‍රසංග එක්දහස් හාරසියයකට වැඩි ප්‍රමාණයක් කරා. අතිශය රසික ආකර්ෂණයට නතු වුණා. තවදුරටත් ප්‍රසංග කරන්නත් ඉල්ලුම තිබුණා. නමුත් ඔය ගීත අහලා අත්පොලසන් දෙන විසිල් ගහන තව එකක් කියලා කෑ ගහන කට්ටියම තමයි කිසියම් දවසක වැරදුණොත් හූ කියන්නෙත්. දැන් එයාට බෑ කියන්නෙත් ඔය රසිකයින්ම තමයි. ඒක රසික චර්යාවේ කොටසක්. ඉතින් ඊට කලින් මේක නවත්තගන්න නම් හොඳයිනේ. ඒක ප්‍රසංගයේ ගෞරව රැකීමට මට කරන්න පුළුවන් දේ තමයි හරි වෙලාවේ නැවැත්වීම.

නමුත් සමහර උදවිය ගීත ගායනයෙන් පස්සේ දේශපාලන වීරකම් හදාගන්නත් ගියා?
නො දැනුවත්කමනේ. කෙනෙක් වීරත්වය හොයන්න ඕනි තමාගේ විෂයානුබද්ධවනේ. තමන් යන ගමන ගැන අවබෝධයෙන්නේ. කලාකරුවෙක් නම් වීරයෙක් වෙන්නේ කලා නිර්මාණවලින්නේ. දේශපාලනය කරන්න ගියා කියලා මොන කලාකරුවට ද වීරත්වයක් ඇති වුණේ. අඩු ගාණේ එයාලට දේශපාලනයෙන් මේ ක්ෂේත්‍රයට කරන්න පුළුවන් වුණේ මොනව ද?

ඉදිරියට සර්ලාගේ පරම්පරාවේ වගේ වීරයින් ක්ෂේත්‍රයේ බිහිවෙයි ද?
බිහි වෙන්නෙම නෑ. මොකද හැමෝම ජනප්‍රිය වෙන්න සහ ප්‍රසිද්ධ වෙන්න උත්සාහ ගන්නවා මිසක් විෂය හදාරන්නේ නෑ. හැදෑරීමක් නැති තැන කෝ පැවැත්මක්. පැවැත්මක් නැති තැන කොයින් ද වීරයෙක්.

ක්ෂේත්‍රයේ ඔය වගේ පිරිහිලා නම් තියෙන්නේ ප්‍රවීණයෝ විදියට හිත්රිදීමක් නැත්ද?

මම කලාකරුවෙක් නිසා ඔයා ඔය ප්‍රශ්නේ මගෙන් අහනවා. මම ඔයාගෙන් මෙහෙම ඇහැව්වොත්. දැන් ඔයා මට කියන්න ලංකාවේ මොන ක්ෂේත්‍රය ද පිරිහිලා නැත්තේ?
http://sundayapple.lk/
කතාව : දිමුතු පරාක්‍රම ලියනගේ
කැමරාව : නිශාන්ත යටගම්පිටිය

20170112

සේකර නොමැති ජීවිතය පදවැලක් නැති කවියක්. -අමරදේව

"සිරිපා පියුමේ රොන්සුණු තැවරේ"
රන්සළු සඳහා ලියන ලද්දේ
මහගම සේකරයන්ය.
වරක් ඇමෙරිකාවට ගුවනින් යද්දී ලද
අත්දැකීමක චමත්කාරය ඇසුරෙන්
බදුල්ලට යන අතරතුර දුම්රියේදීත්
ඇල්ල තානායමේදීත් ඔහු ගීය රචනා කළේය.

සිරිපා පියුමේ - රොන්සුණු තැවරේ
ගිමන් නිවන පවන් හමා ඒ
නිවී පහන් වී ළය සැනහේ
නිවන් දොරට මඟ පානා
සමනොළ රන්කොත මුදුණේ
බැන්ද වියන් සේ
අරුණ වලා රන්සළු පැටලේ
හද කිමිදේ ලොව්තුරු සුවඳේ
කෙලෙස් මලින් මිදී සිත සුවපත් වී
පා වී යයි නිසංසලේ
මහ රහතුන් වැඩි මඟ ඔස්සේ
වලා අතුළ කඳු වැටි අතරේ

ඔහු ලියා අවසන් කළ ගීතයට
තනුව යෙදුණු ආකාරය පිළිබඳව
වෙසෙසින් සඳහන් කරන සේකර කරන විස්තරය
දක්ෂ නවක ගීත රචකයන්ට සහ
සුභාවිත තනු නිර්මාණය කරන
නවක සංගීතඥයන්ටට මනා ආදර්ශයකි.

" මීළඟට ගීතයට තනුව යෙදිය යුතුය.
ගීතය චිත්‍රපටයට නගන ස්ථානයටම ගොස්,
ඒ කාර්යය කළ යුතු බව
( කථා රචක පී. කේ. ඩී. )සෙනෙවිරත්නගේ
අදහස විය.
මෙය අඹේපුස්සට නුදුරු ගමක පිහිටි
ගල්කුළින් හා නිල් තුරුලියෙන් සැදි
උස් කඳු මුදුනකි.
සේනාසනයක පවත්නා වැනි
සාන්ත ස්වභාවයක් එහි විය.
එවැනි පරිසරයකදී
වඩාත් උසස් නිර්මාණයක් අප අතින් බිහිවෙතැයි
නිවැරදි ලෙසම සිතූ සෙනෙවිරත්න
අමරදේවයනුත් මාත් එහි කැඳවාගෙන ගියේය.

"එහි කඳු බෑවුමේ ගල්තලාවක
අපි දෙදෙනා තනිවීමු.
මම ගීතය ලියූ කරදාසිය
අමරදේවට දුනිමි.
ඔහු නිශ්ශබ්දව එය කියවන්නට විය.
ඔහු එය කියවා අවසන් කරන තුරු මමද,
ඉදිරියෙන් ඇති විශාල වෙල්යාය දෙසත්,
ඊට එපිටින් ඇති නිල්වන් කඳුවැටිය දෙසත්
නිහඬව බලා සිටියෙමි.
මද වේලාවකට පසුව,
අමරදේව සර්පිනාව වාදනය කරමින්
ගීතයට තනුව යෙදීමට පටන්ගත්තේය.
ඔහුගේ අදහස් අනුව ඇතැම් ගීත පාදයක
දිග අඩුවැඩි කිරීමට මම කැමති වීමි.
මගේ අදහස අනුව ඇතැම් ගීත පාදයක
තනුව වෙනස් කිරීමට ඔහුද කැමතිවීමය.
"ගීතයට තනුව යොදා අවසන් කොට
සර්පිනාව වාදනය කරමින්ම,
අමරදේව එය ගායනා කරන්නට විය.
එය ගීත රචකයා, සංගීතඥයා සහ
ගායකයා යන තිදෙනා ඒකාත්මික වන
දුර්ලභ අවස්ථාවක් විය."
[ මහගම සේකරගේ ගීත - පෙරවදන ]

අපට ඇසෙන ගීය සේකරගේ ගීයක්
අමරදේව තනුව යොදා ගායනා කිරීමක් නොවේ.
ඔවුන් දෙදෙනාගේ සුසංයෝගයෙන් බිහිවූ
ඒකමිතික නිර්මාණයකි.

‘‘මහගම සේකර විසින් රචිත පහන් සිතිවිලි රැුගත් මේ ගීතය,
ස්වර ගැන්වීමේ දී ගීතයේ ප‍්‍රස්තුතාර්ථයට ගැළපෙන
සංගීතමය ආවේශයක් ලබන අටියෙන්
සිංහල බොදු හැඟුම් පුබුදුවන
නාද රූප සොයා ගිය ගමනේ ඵල විසින්,
සැහැල්ලු කරලා, සැහැල්ලු සිතින්, සැහැල්ලු ගතින්
සමනොළ නඟින බැතිමතුන් මුවින් ගිලිහෙන,
 ‘බුද්ධං සරණේ සිරස දරාගෙන’ යන
තුන්සරණේ නාද මාලාවන්ගේ ආභාසය
පරිපුර්ණ ගීයක් කරා විහිදුවාලීමි.
මෙපරිද්දෙන් මනෝභාව රඳවමින් ජන ආර ඔස්සේ ම
පරිසමාප්ත ගීතයක් නිර්මාණය කර ගැනිමේ මං සැලසිණි.”
(නාද සිත්තම් – අමරදේව 93-94 පිටු)

රචකයා, සංගීතඥයා සහ
ගායකයා තිදෙනාම සහභාගිවී
ගීතයක් නිර්මාණය කරන විට
ඔවුන්ගේ අදහස්, රුචි අරුචි,
හැඟීම් අනුව සංස්කරණය වෙන ගීතය
උස් තැන් කපා හැර, මිටි තැන් සම කර
එකිනෙකාගේ සම්මුතියෙන් කරන
සංගතික නිර්මාණයකි.
මේ නිර්මාණය ඔවුන් තිදෙනාටම ගැළපෙන
අපූර්ව ඇඳුමක් හෝ ආභරණයක් වැන්න.
එවැනි වෙසෙස් නිර්මාණයක් රසවිඳීමට හැකි
රසික පරාසය වඩාත් පුළුල්වෙයි.
එක් එක් නිර්මාණකරුවාගේ රසිකයන්ට
ගැටළුවක් විය හැකි තැන් කපා කොටා උරගා
වේලාසනින්ම මට සිලුටු කරගන්නට
එවන් නම්‍ය ශීලී නිර්මාණකරුවන් සමත්වීම
ඔවුන් එක්වී නිර්මාණකරණයෙහි යෙදීමෙහි
අනභිභවනීය ප්‍රතිඵලයයි.

 "ස" ප්‍රසංගයට වශී වූ පාසල් සිසුවකු ලෙස
වික්ටර් රත්නායකයන් බැහැ දකින අටියෙන්
ඔහු එකල විසූ පාගොඩ දේවාල පාරේ නිවසට
පැමිණි එක් දිනයක මා ඔහු දුටුවේ
ප්‍රේමකීර්ති ද අල්විස් සහ සුනිල් ආරියරත්න සමග
නිවසේ වූ කුඩා සංගීත කාමරයට වී
නිර්මාණකරණයෙහි යෙදෙන අයුරුය.
ඒ නිර්මාණ වලට තනුව යොදන විට
ප්‍රේම් සුනිල් දෙදෙනාගේම ගී වලට
ඔවුන් දෙදෙනාගේම සංස්කරණ එක්වන්නට ඇතැයි
මම අනුමාන කරමි.

උතුරු සහ දකුණු ඉන්දියානු ගීත නිර්මාණයේදී
ගීත රචකයා පැමිණ සංගීතඥයාට සහය වීම
ඒ නිර්මාණවල රසයට, විශිෂ්ඨත්වයට, විවිධත්වයට
සහ කාලාන්තරයක් පැවැත්මට හේතු වෙයි.

අපට ඇසෙන මේ ගීය සේකරගේ පදවැලක්
අමරදේව තනුව යොදා ගායනා කිරීමක් නොවේ.
ඔවුන් දෙදෙනාගේ සුසංයෝගයෙන් බිහිවූ
ඒකමිතික නිර්මාණයකි.

=========================================================

මළහිරු බසිනා යාමේ පායා හිනැහෙන සේකර....

මහගම සේකර අනුස්මරණ දිනය නිමිත්තෙනි.

කැත්ලීන් ජයවර්ධනගේ සටහනක්.


'කලාකරුවන්ගේ දුක්ගන්නා රාළ' සෝමපාල හේවාකපුගේ



සුලෝචන වික‍්‍රමසිංහගේ සටහනක්..

අයි.පී.බී. සෝමේ යනු කලා ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රකටයෙකි. පෝස්ටර් කලාවේ සුවිශේෂී නමක් තැබූවෙකි.  හිතහොඳ මිනිසෙකි.

මේ හිටපු සෝමපාල කොළඹට ඇවිත් I.P.B සෝමේ වුණේ කොහොමද?

මම ඉපදුණේ මාතර නාවිමන. පවුලෙ දහතුන් දෙනාගේ බාලයා වුණේ මම. ඉගෙන ගත්තේ මාතර ශාන්ත තෝමස් විද්‍යාලයෙ. මම එස්.එස්.සී. ඉහළින්ම සමත් වුණා. ඔය අතරතුර තමයි එඞ්වින් හේවාකපුගේ කියන මගෙ අයියා කොළඹ කුමාර විද්‍යාලයට ගුරුවරයෙක් වශයෙන් පැමිණෙන්නේ. කොළඹ ඇවින් ඔහු I.P.B මුද්‍රණාලය පටන් ගත්තා. අයියට උදව් වෙන්න කොළඹ යන්න කියලා. අයියට ඕන වුණේ මම උසස් අධ්‍යාපනය කරනවා දකින්න. ඒත් මුද්‍රණාලේ උදව්වට කවුරුත් නැති නිසා මට හිතුනා ඒක බාර අරගෙන කරන්න ඕන කියලා. අයියට කිව්වේ ඉස්කෝලෙ මහත්තයා කියලා. ඒ කාලේ අපේ මුද්‍රණ ආයතනයට ඉතා ලොකු ඉල්ලූමක් තිබුණා. මොකද ඒ කාලේ ඕෆ්සෙට් නැති කාලේ. ඕෆ්සෙට් නැති වුණත් ඒ කාලේ අපි ෂීට් කපලා අකුරු අමුනලා ඉතා ආකර්ෂණීය පෝස්ටර් නිර්මාණය කළා. ඒ නිසා රටේ සෑම අස්සක් මුල්ලක් නෑරම අපේ වැඩ ප‍්‍රසිද්ධ වුණා. ඒ දවස්වල නාට්‍යවලට එකම සන්නිවේදන මාධ්‍යය වුණේ පෝස්ටරය විතරයි. ඒ නිසා නාට්‍ය පෝස්ටරය ඒ කාලේ ඉතා වැදගත් කාර්යභාරයක් ඉටුකළා. අපි අමාරුවෙන් ගහපු පෝස්ටර් දැකලා මිනිස්සු වේදිකා නාට්‍ය ශාලාවල පිරී ඉතිරී ගියා. මිනිස්සු අපි ගහපු පෝස්ටර් ගෙවල්වල ගහගෙන හිටියා. එතරම් ආකර්ෂණයක් ඒ කාලේ අපේ පෝස්ටර්වලට තිබුණා. එවකට ලංකාවේ හිටපු හැම කලාකරුවෙක්ම වගේ අපේ ප්‍රෙස් එකට ආවා. ඒ නිසා නිකම්ම නිකන් සෝමේ I.P.B සෝමේ බවට පත් වුණා.

I.P.B කියන්නේ ‘ඉන්න පොඞ්ඩක් බලන්න’ කියලා මිනිස්සු නමක් පටබැඳලා තිබුණා නේද?

ඒ ගැන මතක් වෙනකොටත් මට හිනා යනවා. Intenational Publication Bureau කියන එකේ කෙටි නම තමයි I.P.B. කියන්නේ. ඒත් ඒකට ‘ඉන්න පොඞ්ඩක් බලන්න’ කියන අන්වර්ථ නාමය පටබැඳුනා. එයට හේතු දෙකක් තියෙනවා. ඒ හේතු දෙකම නිර්මාණය වෙන්නේ ඉස්කෝලේ මහත්තයා මුල් කරගෙන. ඉස්කෝලේ මහත්තයා වැඩිය කා එක්කවත් කතා බහක් නැහැ. ටිකක් බුම්මගෙන වගේ ඉන්නේ. ඒ වගේම ණයට වැඩ නැහැ. මම ඒකේ අනිත් පැත්ත. හැමෝම එක්ක හිතවත්. ඒ වගේම පෝස්ටර් ගහලා දෙන්නෙත් ණයට. ඒ නිසා කට්ටිය වැඩක් බාරදෙන්න එන්නෙත් වැඬේ අරගෙන යන්නෙත් මං ඉන්න වෙලාවට ඇවිල්ලා. ඒ එනකොට කට්ටිය ඉන්න පොඞ්ඩක් බලන්න කියලා අයියා ඉන්නවද කියලා බලලා තමයි එන්නේ. විමල් කුමාර ද කොස්තා මුද්‍රණ භාෂාවෙන්ම අයියට කිව්වේ Matter එක කියලා. අයියා ඉන්නවා නම් අපෝ අද නම් යන්න බෑ Matter එක ඉන්නවා කියලා ආපහු හැරිලා යනවා. හැබැයි මම කොහොම හරි අයියට හොරෙන් ඒගොල්ලන්ව හම්බවෙනවා. ඒ නිසා කට්ටිය ඔක්කොම ප්‍රෙස් එකට ආවේ අයියා ඉන්නවද කියලා පොඞ්ඩක් බලලා. ඒ වගේම මමත් නාට්ටි පෝස්ටර් කට්ටියට බාරදෙන්නේ අයියා ඉන්නවද කියලා පොඞ්ඩක් බලලා. ඉන්නවා නම් බුහාරියෙ වැසිකිළිය පැත්තෙන් ඒවා ගිහින් දෙනවා. ඔවුන් ඒවා අරගෙන ගිහින් තාප්පවල ගහලා තියෙනකොට තමයි ඉස්කෝලෙ මහත්තයා දැනගන්නේ ඒවා ගෙනිහින් කියලා. ණයට අරන් ගියාට එක්කෙනෙක් ඇරෙන්න කවුරුත් පස්සේ මුදල් නොදී හිටියේ නැහැ. හැමෝම මුදල් ගෙව්වා. කඩින් කඩ වුණත් ගෙව්වා. ඔවුන් ඇත්තටම අවංකයි. එහෙම කළා කියලා අපේ ප්‍රෙස් එකට අලාභයක් වුණෙත් නැහැ. මොකද මුළු ලංකාවෙම පෝස්ටර් සමරු කලාප ගැහුවේ අපි.

පෝස්ටර්වලට සල්ලි නොගෙවූ එකම එක්කෙනා කවුද?

සුගතපාල ද සිල්වා. ඔහු කවදාවත් සල්ලි ගෙව්වේ නැහැ. පෝස්ටර්වලට සල්ලි නොදුන්නට අපි එයාට හරි ආදරෙයි. සුගත්ට අපි හරි ආසයි. ඒක සේවයක් කියලා හිතලා කරපු වැඩක්. ඒ වගේම සමාජ සත්කාරයක්. සුගත් පෝසටර්වල සල්ලි දුන්නෙත් නැහැ. හැබැයි පෝස්ටරුත් නිකන් ගහලා අපිට සුගත්ට සල්ලි දෙන්නත් වුණු අවස්ථා තියෙනවා. ඒ වගේම බැනුම් අහපු අවස්ථාත් තියෙනවා. සුගත්ගේ ‘සත සහ සත’ නාට්ටියේ සමරු කලාපෙ එක නමක වැරැුද්දක් තිබුණා කියලා මට බැන්නා. ආර්.ආර්. සමරකෝනුත් එතැන හිටියා. සමරකෝන් මට කිව්ව ඕවා ගණන් ගන්න එපා කියලා. කොහොම හරි නාට්ටිය ඉවර වෙලා සුගත් මං ළඟට ඇවිල්ලා කියනවා ‘සෝමේ සංගීතකාරයන්ට ගෙවන්න සල්ලි නැහැ මචං. කොහෙන් හරි රු.300ක් හොයාගන්න බැරිද කියලා. මම මගේ ලැම්බ්‍රෙටා ස්කූටරයෙන් මුළු කොළඹම කරක් ගහලා යාළුවන්ගෙන් ඉල්ලගෙන රු.300 සුගත්ට ගෙනත් දුන්නා. ඒවා ආයි ලැබුණේ නැති වුණාට සුගත්ට අපේ තියෙන හිතවත්කම, ආදරය නිසා අමතක කරලා දැම්මා.

I.P.B. හරහා බිහිවුණු රසවත් සැමැරුම් රාශියක් ඔබට ඇති.

I.P.B. එක කියන්නේ තනිකරම රස ගුලාවක්. එක දවසක් රෝහණ වීරසිංහ කලා භූමි එකේ වැඩක් අරගෙන ආවා. එදා මට හොඳටම උණ අරගෙන තිබුණේ. අයියා කිව්වා මට ගෙදර යන්න කියලා. මම ගෙදර ගිහින් ටිකක් වෙලා ඉඳලා අයියා නැතුව ඇති කියලා හිතාගෙන ආයිත් ප්‍රෙස් එකට ආවා. රෝහණත් හිටියා. මාව දැක්ක ගමන් අයියා ඇහුවා මොකටද ආවේ කියලා. එතකොට රෝහණ බොහොම බැගෑපත් විදිහට කිව්වා අපේ සඟරාවක් තියෙනවා සෝමේ කොහොම හරි ගහලා දෙන්නම් කිව්වා කියලා. ණයට කරගන්න වෙන්න ඇති නේද? කියලා අයියා ඇහුවා. රෝහණ මට ඇවිත් කිව්වා සෝමේ වැඬේ ඕන නැහැ මම යන්නම් කියලා. මම කිව්ව මං ආවේ උඹේ පොත ගහන්න. ඒක නිසා යන්න එපා කියලා. පොත බාරගන්නකොටම මම දන්නවා සල්ලි ලැබෙන්නේ පස්සේ කියලා. ඒ වුණාට කවදාවත් සල්ලි නොදී ඉන්නේ නැහැ. එක දවසක් සුගතපාල ද සිල්වාගේ ‘හරිම බඩු හයක්’ නාට්ටියේ ‘ක්’ වැරදීමකින් උඩ යට මාරුවෙලා ගහලා තිබුණා. ඒකෙන් අමුතු වටිනාකමක් ඒ පොස්ටරයට ලැබුණා. ඒක ඊට පස්සේ දිගටම ගියා. සයිමන් නවගත්තේගමගේ ‘පුස් ලෝඩං’ නාට්ටියට හරි අපූරු පෝස්ටරයක් නිර්මාණය කළා. ඒක දැකලා කපිල කුමාර කාලිංග මාව හොයාගෙන ආවා. ඔහුගේ ‘බිංගේ’ නාට්ටියටත් හරි අපූරු පෝස්ටරයක් නිර්මාණය වුණා. සරච්චන්ද්‍රයන්ගේ ‘මනමේ’, ‘සිංහබාහු’ ඉඳන් ගලප්පත්ති, දයානන්ද ගුණවර්ධන ඇතුළු පරම්පරා කිහිපයකම පෝස්ටර් මගේ අධීක්ෂණය යටතේ නිමවුණා. ඒ පෝස්ටර් ඔක්කොම වගේ නිර්මාණය කළේ රැලෙක්ස් රණසිංහ. ඔහු අපිට විශාල ආලෝකයක් වුණා.

සංගීත ප‍්‍රසංග අතුරින් අමරදේව-නන්දාමාලිනීගේ ‘ශ‍්‍රවණ ආරාධනා’ ඉඳන් ‘සත්‍යයේ ගීතය’, ‘පවන’ වගේම කේමදාසයන්ගේ නිර්මාණ වෙනුවෙන් ඉතා නිර්මාණශීලී පෝස්ටර් අපි අතින් බිහිවුණා. ඉස්සර හැම නාට්ටියක්ම බලන්න මම යනවා. සමහරු මගේ ස්කූටරය ශාලාවෙ අයිනේ දකින්නේ නැත්නම් අද තියෙන නාට්ටිය හරි නැහැ කියලා ආපහු හැරිලත් යනවා.

සරච්චන්ද්‍ර හා කේමදාස පිළිබඳව ද ඔබට ඉතා රසවත් සැමැරම් තියෙනවා

මම සරච්චන්ද්‍ර මහත්තයාගේ ගෝලයෙක් නොවන නිසා ඔහුව මම ඇසුරු කළේ යාළුවෙක් විදිහට. ඉස්සර මට පුරුද්දක් තිබුණා උදෙට ඇවිදින්න යන්න. ඒ යන ගමන් මම බොහෝ වෙලාවට සරච්චන්ද්‍ර මහත්තයාගේ ගෙදරට ගොඩවෙලා තමයි යන්නේ. ඔහුගේ පුරුද්දක් තිබුණා උදේට පාන් කනකොට ඒකේ මී පැණි ටිකක් ගාගෙන කන්න. මටත් දෙනවා. කවුද අකමැති පැණි කන්න. මමත් කනවා. ඒ අතරේ අපි හිනාවෙවී කතා කර කර ඉන්නවා. ලලිතත් ඇවිල්ලා සංග‍්‍රහ කරනවා. හැබැයි ලලිතා වසයි. හරියට නීති. ඉස්සර එහෙ රැුස්වීම් තියෙනවා. සාකච්ඡුා තියෙනවා. මමත් ඒකෙ සාමාජිකයෙක්. හැබැයි අපි කාටවත් කතා කරන්න දෙන්නේ නැහැ. ලලිතා තමයි කතා කරන්නෙ. මම එක දවසක් සරච්චන්ද්‍රට කිව්ව මං එන එකේ තේරුමක් නැහැ මොකද නෝනා විතරනේ කතා කරන්නේ කියලා. නැහැ නැහැ සෝමේ එන්නම ඕනේ කියලා ඔහු කියනවා. මැග්සෙයිසෙ සම්මානය දිනපු වෙලාවේ සරච්චන්ද්‍ර පිළිගන්න උත්සවයක් තිබුණා. මගේ එහා පැත්තෙ පුටුවෙ හිටියෙ දයානන්ද ගුණවර්ධන. ඒවා අර කුලියට ගන්න ඇලූමිනියම් පුටු. සරච්චන්ද්‍ර එයාගේ කතාවෙදි කිව්ව මොනවා නැතත් ලලිතා නාට්‍ය පුහුණුවීම්වලට ආවහම මම කියන දේ අහනවා කියලා. ඒක අහලා හිනාවෙලා දයානන්ද ගුණවර්ධන පුටුවෙනුත් වැටුණා. ගුණසේන ගලප්පත්තිව ස්කූටරයෙ පිටිපස්සේ තියාගෙන යන්න හරි අමාරුයි. හරියට දඟලනවා.

කේමදාසත් එක්ක කාටවත් ඇවිදින්න බැහැ. එච්චර හයියෙන් ඔහු ඇවිදින්නේ. එක දවසක් ඔහුගේ සංධ්වනියක් කොළඹ කාන්තා විද්‍යාලෙ තිබ්බා. ඒකට එච්චර සෙනඟ හිටියේ නැහැ. මම සංධ්වනිය ඉවරවෙලා කේමදාසව සොයනවා. ඒ වෙනකොට කේමදාස පාර දිගේ ඇවිදගෙන යනවා. ගේට්ටුවෙන් හම්බවෙච්ච සල්ලිවලින් සංගීතඥයන්ගේ ගණන් බේරලා ඔහු ගෙදර යමින් හිටියෙ. මම ස්කූටරයෙන් ගිහින් ඔහුව ඒකට දාගත්තා. යන ගමන් මං ඇහුවා මාස්ටර් වැඩිය සෙනඟ නැහැ හිටියේ නැහැ නේද? කියලා. එතකොට කේමදාස කියනවා සෙනඟ හිටියෙ නැති වුණාට සෝමේ හොඳ Audience එකක් තිබුණා කියලා. මං කල්පනා කරලා බැලූවා ඒක එහෙම වුණේ කොහොමද? කියලා. එතකොටම ඔහු කියනවා ඇයි දැක්කේ නැද්ද කාන්තා විද්‍යාලයේ මියගිය විදුහල්පතිවරුන් බිත්තියේ එල්ලිලා කිසි හැල හොල්මනක් නැතිව සංධ්වනිය අහගෙන හිටියනෙ කියලා. ඒ මිනිස්සු උසස් වැදගත් මිනිස්සුනේ. ඒ වගේම සංගීතය තේරෙන අයනේ. මට ඒ හොඳටම ඇති කියලා එතැනින් එහාට අපි දෙන්නා අතරේ කිසිම කතා බහක් ඒ සම්බන්ධව ඇති වුණේ නැහැ. ඔහුව ගෙදරින් ඇරලලා මම ගියා. ඒ කිසි කෙනෙක් අද ජීවතුන් අතර නැති එකත් මට දුකයි.

I.P.B. එකේ නිල නොවන හිමිකරු වුණේ ඔබයි

ප්‍රෙස් එක අයියගෙ වුණාට මිනිස්සු ආවේ මම නිසා. අයියට අපේ ලොකු සැලකිල්ලක් තිබුණා. ඇත්තටම ඔහු නොසිටින්න අපිට මෙවැනි අතීතයක් පිළිබඳ කතා කරන්න පවා බැරිවෙන්න ඉඩ තිබුණා. ප්‍රෙස් එක සම්පූර්ණයෙන්ම වගේ මෙහෙයවුයේ මායි. ඒ නිසා අයියගෙන් මෙන්ම කලාකරුවන්ගෙනුත් බැනුම් අහන්න වුණෙත් මටයි. හැබැයි ඒවා ඉතා සුහද බැනුම්. මම අන්තිම මොහොතෙ කොළ වේලෙන්නෙත් නැතුව සමරු කලාප ගෙනත් දෙනවා කියලා ඉතා ප‍්‍රසිද්ධියක් ලැබුවා. ඇත්තටම එහි වැරදිකාරයා මං නෙමෙයි. නිර්මාණකරුවො හැම එක්කෙනෙක්ම වගේ සමරු කලාපයට අවශ්‍ය විස්තර මට ලබාදෙන්නේ අන්තිම මොහොතේ. අදත් එහෙම තමයි මගෙ හිතේ. අන්තිම මොහොතෙ දීලා මගෙන් බලාපොරොත්තු වෙනවා ඉක්මනට ගන්න. මම ඉතින් ප්‍රෙස් එකේ වැඩ කරන මිනිස්සු එක්ක හොඳට මැරෙනවා. ඒ කොහොම වුණත් නාට්ටියෙ විවේක කාලයෙදිවත් ඒ සමරු කලාප ලැබෙන්න මම සලස්වනවා. එතකොට ඇත්තටම තීන්ත වේලිලත් නැහැ.

ප්‍රෙස් එක වැහුවට පස්සේ මොකද වුණේ.

අයියා මිය ගියාට පස්සේ මට තනියෙන් එය කරගන්න අමාරු වුණා. ඒ නිසා ප්‍රෙස් එක වහලා දැම්මා. ඊට පස්සේ රනිල් ඇල්විටිගලගෙ ප‍්‍රින්ට් ඇන්ඞ් ප‍්‍රින්ට් ආයතනය එක්ක සම්බන්ධ වෙනවා. රනිල් එක්ක වැඩ කර කර ඉන්නකොට තමයි මම ලෙඩ වෙන්නේ. මගෙ හිතවතුන් ඒ අවස්ථාවේ මාව අත ඇරියේ නැහැ. බණ්ඩාර ඇහැලියගොඩ මුල් වෙලා ‘ආදරණීය සෝමේ’ කියලා සංගීත ප‍්‍රසංගයක් පවත්වලා මට ප‍්‍රතිකාර සඳහා අවශ්‍ය ප‍්‍රමාණයට වඩා මුදල් හොයලා දුන්නා. සුනිල් ආරියරත්න, බුද්ධි, රෝහණ, ලක්ෂ්මන්, සපුතන්ත‍්‍රී, සුනිල් එදිරිසිංහ, මනෝරත්න, කුරුවිට බණ්ඩාර මේ ඔක්කොම වගේ මචංලා. ඒගොල්ලෝ විතරක් නෙමේ මගේ හිතවතුන් හැම දෙනාගෙම දරුවන්ද මට මචංලා. කැත්ලින් ලියපු ‘සෝමේ සබඳ සෝමේ’ මම කිහිප වතාවක්ම කියෙව්වා. මං ගැන එවැනි කෘතියක් කිරීම ගැන රනිල්ටත් කැත්ලින්ටත් මම ස්තූතිවන්ත වෙනවා. මම කවදාවත් නරකට හැසිරුණු කෙනෙක් නෙමේ. එක අවස්ථාවකදී හැර වෙන කිසිම අවස්ථාවක මට සතුරො ඉන්නවා කියලා මට හිතුනේ නැහැ. එක දවසක් මමයි රැලෙක්සුයි ශාලිමාර් හෝටලයේ  මධුවිතක් තොළ ගගා ඉන්නකොට තොප්පියක් දාපු මිහිහෙක් ඇවිත් මගේ තොප්පියට දෙසැරයක් වැටෙන්න අතින් ඇන්නා. ඒ අවස්ථා දෙකේදිම මම ඔහු සමග හිනාවුණා මිසක කරදර කරගන්න ගියේ නැහැ. අන්තිමට ඔහු මට කිව්වා මම ආවේ කොන්තරාත් එකකට මහත්තයට වැඩක් දෙන්න ඒත් මහත්තයා හිනාවෙනකොට මට ඒක කරන්න හිතෙන්නේ නැහැ කියලා. හොයලා බලනකොට ඒ කාලේ අපේ ප්‍රෙස් එකත් එක්ක තරගෙට වැඩ කරපු තවත් එකක කොන්ත‍්‍රාත්තුවක්. එයත් එතනින්ම ඉවර වුණා.

ඔබ ඉතා දක්ෂ නිහඬ නළුවෙක් කියලා කතාවක් තියෙනවා.

මට දෙබස් හරියට කියන්න බැහැ. ඒ නිසා අශෝක හඳගමගේ ‘දියකැට පහණ’ ටෙලි නාට්‍යයේ කිසිදු දෙබසක් නැති චරිතයක් මට විශේෂයෙන් නිර්මාණය කළා. ඒ චරිතය මම හොඳට කළා කියලත් ඔහු කියනවා. ඉස්සර මට හරියට දෙබස් කියාගන්න බැරිවෙන කොට ඩබ්.ජයසිරි ‘ඔන්න සෝමේ නානවෝ’ කියලා කෑගහනවා. මොකද මං නිසා ඒගොල්ලක්ට පරක්කු වෙනවා. ‘පළඟැටියෝ’ චිත‍්‍රපටයේ මුද්‍රණාලේ දර්ශන රූගත කළේ I.P.B එකේ. එදා ධර්මසිරි බණ්ඩාරනායක මගේ පුටුවේ ඉඳගෙන මට වැඩ පැවරුවා.

ඔබ රෝද පුටවේ හිටියත් දැඩි ආත්මශක්තියකින් ජීවිතයට මුහුණ දෙන පුද්ගලයෙක්.

ඒ ආත්ම ශක්තිය ලැබුණේ අම්මගෙන්. මං ඉපදුණු වෙලාවේ නර්ස් නෝනගේ ඉන්ජෙක්ෂන් කටුව පැත්තකට දාලා මට එන්නත් කරේ දයාවයි, කරුණාවයි. ඒ ශක්තිය මත තමයි මම තාම ආත්ම ශක්තියෙන් යුතුව ජීවත් වෙන්නේ. මට අලූතින් හිතන්න දෙයක් නැහැ. කරන්න දෙයක් නැහැ. අතීතය තමයි මාව ජීවත් කරවන්නේ. අමරදේවගේ ‘සිරිපා පියුමේ රොන්සුණු තැවරේ’ ගීතයට මම දැඩිව ඇලූම් කරන කෙනෙක්. ඒක වාදනය වෙනකොට අමරදේව ඉස්සර අපිත් එක්ක මුහුදේ නාන්න ගිහින් වැල්ලෙ ඔළුවෙන් හිටගෙන ඉන්න කාලෙ මතක් වෙනවා. ඒ වගේම ඔහු මාළුවෙක් වගේ උඩුබැලි අතට පීනගෙන එන කාලේ මතක් වෙනවා. නන්දාමාලිනීට පළවෙනි ලෙටර් හෙඞ් එක ගහලා දීලා පොඩි දෙයක් හෝ අරගෙන ඇයව බලන්න ගිය කාලේ මතක් වෙනවා. සමහර මිතුරන්ගේ දරුවන්ට මම ‘ටුකුම්’ මාම වුණා. තවත් අයගේ දරුවන්ට මම ‘කජු මාමා’ වුණා. ගොඩක් දෙනා මට මචං වුණා. සුනිල් ආරියරත්න මගේ දෙවන මනමාලයා වුණා. ටයිටස් තොටවත්ත ඉස්සර අපේ අයියට බොරු කියලා රවට්ටල මට ඇවිත් කියනවා මචං අද මම ඉස්කෝලයට හොඳ වැඩක් දුන්නා කියලා. ටෝනි, පුණ්‍යා, හෙන්රි, රංජිත් යායින්න, පේ‍්‍රමා ගණේගොඩ රඟපාපු හැටි මතක් වෙනවා. මේ සියලූ අතීත තොරතුරු සමගින් මම අදත් හිනාවෙලා ඉන්නේ මගේ ආදරණීයයන් මාව හොඳට රැකබලා ගන්න නිසා.
http://ravaya.lk/?p=9592

==============================================

 

බුද්ධදාස ගලප්පත්තිගේ සටහනක්..

අයි.පී.බී. සෝමෙගෙ කතා වස්තුව

මරදාන, ඩේවිඩ් මාවතේ අංක 32හි පවත්වාගෙන ගිය අයි.පී.බී.මුද්‍රණාලය හා සම්බන්ධ කතානායකයන් දෙදෙනා වන ඉස්කෝලෙ මහත්තයා, එඩ්වින් හේවාකපුගේ ගැනත් ඔහු සොයුරු සෝමපාල හේවාකපුගේ පිළිබඳවත් පහුගිය කාලයේ තීරු ලිපි රාශියකම ලියවී තිබුණා මතකයි. සිළුමිණ රසඳුන ටැබ්ලොයිඩයේ එඩ්වඩ් චන්ද්‍රසිරිගේ තීරුවේත් බද්දර මල්ල, කපිලගේ අතන මෙතන තීරුවේත්, මගේ තීරුවේත් මේ චරිත දෙක පිළිබඳව, විශේෂයෙන්ම අපට වඩාත් සමීප හිතවතා, සුන්දර මිනිසා, සෝමපාල හේවාකපුගේ පිළිබඳව බොහෝ කතාන්දර ලියවුණු නමුත්, ඒවා බොහොමයක් මුද්‍රණ කටයුතුවලට නාට්‍ය කලාවට සම්බන්ධ විහිළු කතා වුණා. ඒත් සෝමෙගෙ ජීවිතේට සම්බන්ධ තවත් බොහෝ රසවත් අත්දැකීම් තිබෙන නිසාත්, පසුගියදා, ඔහු වඩාත් ප්‍රියකරන ක්‍රීඩාව වන ක්‍රිකට් භාෂාවෙන් කියනවා නම් සෙවන්ටි ෆයිව් නොට්අවුට්, නොදැවී හැත්තෑපස්වන ලකුණ සටහන් කළ නිසාත්, මෙවර ඔහුගේ කතා වස්තුව ලියා තබන්නට හිතුණා.
මාතර නිල්වලා ගඟ අසබඩ සුන්දර ගමක් වූ නාවිමන සෝමෙගේ උපන් ගමයි. සෝමෙ මාතර සාන්ත තෝමස් විද්‍යාලයේ ඉගෙන ගත් නිසාත් මා ඔවුන්ගේ තරගකාරී පාසල වන සාන්ත සර්වේෂසයේ ඉගෙනීම කළ නිසාත්, ක්‍රිකට් පිළිබඳ කතා බහේදී සෝමෙගේ එගොඩහ සෙන් තෝමස් එක, එක පේළියකින් කෑන්සල් කරන්නට පහුගිය කාලයේ මෙගොඩහ මට හැකි වුණේ ලෝක ප්‍රකට මාතර ප්‍රහාරකයා සනත් ජයසූරිය සර්වේෂසයේ ආදි ශිෂ්‍යයෙක් බව ආඩම්බරයෙන් කියන්නට ලැබුණු නිසායි. “ඔහේගෙ සෙන් තෝමස් එකේ සනත් කෙනෙක් නෑ නේ සෝමේ” කියා සෝමෙගේ ඔහේ භාෂාවෙන්ම සෝමේ නිහඬ කරන්නට මට හැකි වු‍ෙණ් මාස්ටර්බ්ලාස්ටර් සනත් මල්ලීට පින් සිදුවන්නටයි. සෝමේ මාතරයෙක් වුණත්, ඔහේ කෑල්ල නැතුව කතා බහ කරන්න තවමත් බැරි වුණත්, ඔහුට මිත්‍ර සමාගමයේ දී මාතර, කොළඹ, උඩරට , පාතරට , සිංහල, දෙමළ ,මුස්ලිම් ආදී කිසිම භේදයක් නොවුණු බව හැමෝම දන්නා කාරණාවක්.
සොමේ ළමයින්ට ළෙන්ගතු ය
නාට්‍ය කලාවේ, සිනමාවේ, ජනමාධ්‍යයේ, රාජ්‍ය සේවයේ, පන්සලේ, පල්ලියේ, පෞද්ගලික අංශයේ බැංකු ක්‍ෂේත්‍රයේ එතෙර , මෙතෙර කලාවට සම්බන්ධ ජ්‍යෙෂ්ඨතමයන්ගේ සිට නව තරුණ පරපුර තෙක් සෝමෙ නොදන්නා කෙනෙක් නැති තරම්.
කඩියෙක් වගේ කඩිසරව හිටපු සෝමෙ හදිසියේ අසනීප වූ‍ෙණ්, දෙදහස් ගණන්වල මැද වගේ. සෝමෙගෙ යාළුවො ටික දෙනෙක්, බණ්ඩාර , රෝහණ, රවීන්ද්‍ර ඩබල, රන්දෙනිය හා ගුරුගේ , ප්‍රේම්, තිලක් හේවා කපුගේ, සුනිල් එදිරිසිංහ, ලකී සමඟ මාත් එකතු වුණා. 2007 අප්‍රේල් 03 දා ජෝන් ද සිල්වා රඟහලේ පවත්වපු හරසර මංගල්‍යය සංවිධානය කරන්න. සෝමෙගෙ ඇස්වලින් එදා සතුටු කඳුළු ගලනව මම දැක්කෙ, මතක සැමරුම දේශනය කළ සුනිල් ආරියරත්නගෙ කතාව අහගෙන ඉඳල. ඒ විතරක් නෙවි සෝමෙ වෙනුවෙන් රසිකයන් පිනවන්න ගී ගැයූ නන්දා, වික්ටර්, සුනිල්, එඩ්වඩ් වගේ සහෘදයන්ගෙ ආදරේ දැනිලා. දයාබර සෝමේ - නමින් එදා පළවුණු සමරුවට මහාචාර්ය තිස්ස කාරියවසම් අපූරු සටහනක් ලියල තිබුණා.
“හිඟා නොකා හිඟා කා නාට්‍යයක් රචනා කොට නිෂ්පාදනය කළ නාට්‍යකරුවන්ට, ඔහු සල්ලි ලැබුණත් නොලැබුණත් උදවු කළා. සෝමෙගෙ කබල් ස්කූටරය ලුම්බිණි ශාලාව ළඟ හැන්දෑවට දකින්නට නැත්නම් එතැන නාටකයක් නොපවත්වන බව බොහෝ දෙනා පුරුද්දෙන් කීවා. සෝමෙ කළ්‍යාණ මිත්‍රයෙකි. ඔහු තම මිතුරන්ගේ දූ දරුවන් විස්සකට වඩා පෝරුවට නැංවූ මාමා ය. කතාවෙන් ද මාමා ය. එහෙත් කුලියට ජීවිතයේ කවදාවත් කතා කළේ නැත. කතා හදන්නට ඔහු තරම් දක්ෂයකු අපට හමු නොවේ’ ඔහු අල්ලේ පැලවෙන කතාත්, හිනායන කතාත්, උපහාස කතාත් කියන්නේ ඇඟට නොදැනෙන අන්දමටයි.” සෝමෙගේ චරිතය පිළිබඳ ඉතින් තව කුමක් කියන්නද? සෝමෙගෙ මිතුරු සමාජෙයේ දූ දරුවන්ට සෝමෙ මාමාය. අපිට නිකම්ම නිකම් සෝමේය. තවත් බොහෝ දෙනාට අයිපීබී සෝමේය. පවුලේ සමීප ඥාතීන්ට මුණුබුරු මිණිබිරියන්,ලේලිලා, බෑනලාට ඔහු බාබු ය. බාබු සීයා ය.
1996 දී රාජ්‍ය නාට්‍ය උළෙලේ 25 වන සංවත්සරය වෙනුවෙන් පැවති ප්‍රදර්ශනයේ දී සෝමපාල හේවාකපුගේ සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරු
‘ඔහු අපේ මිත්‍ර සමාගමයේ පවුල්වල පුතුන්ට ආදෙර්ය. ඒ ඔහුට එක්වර දියණියන් දෙදෙනෙකු (සුදින්තා හා සුලක්ඛණී) ලැබීමත් පුතෙකු නොලැබීමත් නිසා විය යුතුයි. සෝමේ අපට දැනෙන්නේ අපේම පවුලේ කෙනෙක් ලෙසයි. එක්කෝ මා ඔහුගේ බාල මල්ලී කෙනෙකු හෝ ඔහු අපගේ පවුලේ වැඩිමහල් සොහොයුරෙකු යයි දැනෙන තරමට ‍ෙළන්ගතුය. සමීපය. හිතවත්ය. ආදෙර්ය.
සෝමෙලාගේ වර්ගයේ බඩ බැඳගත් මිතුරන් මට ඇත්තේ අතළොස්සකි. ඒ අය බොහෝ දෙනා වන් ඇන්ඩ් ඕන්ලිය. සෝමේ නාට්‍ය පෝස්ටර් මුද්‍රණය, නාට්‍ය පෙළපොත් ප්‍රකාශනය, රංග පත්‍රිකා සැලසුම, මුද්‍රණය ආදී මුද්‍රණ කටයුතු මෙන්ම සම්බන්ධීකරණ සංවිධාන කටයුතු වලද අති දක්ෂයෙකි. රාජ්‍ය නාට්‍ය උළෙල 25 වන සංවත්සරය සඳහා උළෙලක් සිරිසර නම් ප්‍රදර්ශනය සංවිධානය කිරීමට, එවකට සංස්කෘතික අමාත්‍යාංශ ලේකම් ආරියවංශ රණවීර ඇරැයුම් කළේ සෝමේටය.
1996 ජුනි 22 - 29 තුළ පැවැති ප්‍රදර්ශනය සාර්ථක කර ගැනීමට සෝමේ තම කණ්ඩායම තෝරා ගත්තේ ය. සරත් සූරසේන, ජැක් කුලසිංහ, නාලන් මෙන්දිස්, නිමල් ඒකනායක,අතුල පීරිස් හා මා ද ඔහුගේ කණ්ඩායමට අයත් වූහ. සම්මානලාභීන්ගේ ඡායාරූප ගැනීමේ භාරදූර වගකීම පැවරුනේ සරත් පෙරේරාටයි. රාජ්‍ය නාට්‍ය උළෙල ඉතිහාසයේ කඩඉමක් සිහිපත් කළ අපූරු ප්‍රදර්ශනයක් බව එය නැරඹූ බොහෝ නාට්‍යකරුවන්ගේ අදහස් වීය. ඒ වෙනුවෙන් සෝමේට පිදුණු උපහාරයක් වීදැයි මම නොදනිමි.
සෝමෙගේ මුද්‍රණ ප්‍රචාරණ, සම්බන්ධීකරණ කටයුතුවලට අමතරව, ඔහුගේ නිර්මාණ හැකියාවන් කාව්‍ය රචනයෙහිද ගීත රචනයෙහි ද හමුවන බව මම දනිමි. ඔහුගේ තරුණ වියේ, ගමේදී පෙම්බැඳි යුවතියක් පිළිබඳ ඔහු විසින් ලියූ මේ ගීතය, ඔහුගේ හැත්තෑපස්වන උපන් දිනය දා රාත්‍රියේ ද ගැයූ බව මට මතකය.
“පැලේ සිටිනා දැලී
මගේ එකම හුරතලී
හොඳින් සිටී නම් මගේ සුදෝ
දෙනව යන්න පලු පැලී
උඩින් බැලූවත් දැලී
බිමින් බැලූවත් දැලී
හොඳින් සිටී නම් මගේ සුදෝ
දෙනව යන්න පලු පැලී...”

======================================

එඩ්වඩ් චන්ද්‍රසිරිගේ සටහනක්..

අයි.පී.බී. එකේ හේවාකපුගේ දෙබෑයෝ

60, 70 දශකවල සිංහල වේදිකාවේ ස්වර්ණමය යුගයේ දී හරවත් නාට්‍ය පෙන්වන ප්‍රේක්ෂකාගාර වටා රොක්වූ ප්‍රේක්ෂකයන් රැසක් අගනුවර වගේම දිවයිනේ ප්‍රධාන නගර සෑම එකකම පාහේ සිටියා. කොළඹින් හොඳ නාට්‍යයක් බිහිවෙද්දී එය තම නගරයේ පෙන්වීම සඳහා දින වෙන්කර ගන්නට සැදී පැහැදී සිටි පළපුරුදු සංවිධායකයන් රැසක් ද බිහිවී සිටියා. මේ වකවානුවෙදි නාට්‍යකරුවන්ට තමන්ගේම නිවහනක් වුණේ මරදානේ, අයි.පී.බී. මුද්‍රණාලය. තමන්ගෙ නාට්‍යයේ ප්‍රවේශ පත්‍ර අලුත් නිමාවකින් මුද්‍රණය කර ගන්නට, ලයිනෝලියම් ක්‍රමයට නාට්‍ය පෝස්ටරයක් නිර්මාණය කර ගන්නට, සමරු කලඹක් කලාත්මකව සකසා ගන්නට නාට්‍යකරුවන් වගේම නාට්‍ය සංවිධායකවරුන් ගියේ අයි.පී.බී. මුද්‍රණාලයට.
මෙම මුද්‍රණාලය පවත්වාගෙන ගියේ අයිය – මලෝ දෙදෙනෙක්. අයියා ඉස්කෝල මහත්තයා නමින් කා අතරත් ප්‍රකට වුණු එඩ්වින් හේවාකපුගේ. ඔහු ගේ බාල සහෝදරයා සෝමපාල හේවාකපුගේ. ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව, කලා ලෝකයේ කාටත් උදව් උපකාර කළ කෙළිලොල් තරණයකු වූ ඔහු කා අතරත් ප්‍රකට වුණේ ‘අයි.පී.බී. සෝමේ’ නමින්.
පාසල් සිසුන් තම පාසල්වල විවිධ සමාගම්වලට ආධාර පිණිස නාට්‍ය සංවිධානය කිරීමේ වැඩි ප්‍රවණතාවයක් ඒ දිනවල දක්නට ලැබුණා. එම හේතුව නිසා අයි.පී.බී. මුද්‍රණාලය නිතර පාසල් සිසුන්ගෙන් පිරී පැවතුණා. පාසල් සිසුන් වඩාත් ප්‍රිය කළේ තම මුද්‍රණ ඇණවුම පි‍්‍රයමනාප තරුණයකු වූ සෝමේට භාරදීමටයි. ගම්භීර පෙනුමකින් යුත් නිහඬ පුද්ගලයකු වූ ඉස්කෝල මහතා හා සමාගමට සිසුන් යොමවුණේ නැහැ.
තමන් මුද්‍රණය සඳහා භාරදුන් ප්‍රවේශ පත්‍ර වගයක් ලබාගැනීමට දවසක් දා පාසල් සිසුන් කීපදෙනෙක් අයි.පී.බී. මුද්‍රණාලයට ගොඩවුණා. සෝමේ පේන තෙක් මානයක නැහැ. ඉස්කෝල මහතා මේසයක් ඉදිරිපස පුටුවක වාඩිවී පුවත්පතක් බලමින් සිටියා.
”මොකෝ මේ ළමයි?” මුද්‍රණාලය තුළට එබිකම් කරන ළමුන් දුටු ඉස්කෝලෙ මහතා ඇසුවා.
”අපි මේ ‘හුණුවටයේ’ ටිකට් වගයක් ප්‍රින්ට් කරගන්ඩ බාර දුන්නා, සෝමෙ අයියට. ඒක ගෙනියන්ඩ ආවේ’ එක සිසුවෙක් කිව්වා.
”ආ.. ඉන්ඩ පොඩ්ඩක් බලන්ඩ” මෙසේ කියූ ඉස්කෝලෙ මහතා හෙමිහිට නැගිටලා මුද්‍රණාලය තුළට ගියා. පැය භාගයක් විතර ගතවුණා. ඉස්කෝලෙ මහත්තයා එළියට එන පාටක් නැහැ. සෝමෙ ඉන්න වගක්වත් නැහැ.
තවත් අඩහෝරාවක් ගෙවෙද්දී එක සිසුවෙක් නොඉවසිල්ලෙන් මෙහෙම කිව්වා.
”වරෙන් බං යන්ඩ. දැන් පැයක් විතර ගියා..”
”ඉන්ඩ පොඩ්ඩක් බලන්ඩ” කියලනෙ ඉස්කෝලේ මහත්තයා ඇතුළට ගියෙ. තව පොඩ්ඩක් බලමු” තවත් සිසුවෙක් කිව්වා.
”උඹලට වල්ගෙ පෑගිලා. ඉන්ඩ පොඩ්ඩක් බලන්ඩ කිව්වේ ‘අයි.පී.බී.’ කියන එක. තේරෙන්නෙ නැද්ද .. යමං යන්ඩ” සිසුවා කේන්තියෙන් කියනවා ප්‍රවේශ පත්‍ර මිටිය සොයමින් සිටි ඉස්කෝලෙ මහතා කට කොනකින් සිනාසෙමින් අසා සිටියා.
======================================
පෝස්ටර් කලාවේ ප්‍රවීණයකු මෙන්ම නාට්‍ය කලා ක්ෂේත්‍රයේ දිගුකාලීන හිතවතෙකු වූ සෝමපාල හේවාකපුගේ මහතා ඊයේ (2016.04.12) අභාවප්‍රාප්ත විය. සිය සොයුරා සමඟ එක්ව මරදානේ අයි. පී. බී. මුද්‍රණාලය පවත්වාගෙන ගිය හෙයින් ඔහු " අයි.පී.බී. සෝමේ " නමින් ප්‍රකට විය.
මාතර නාවිමන ප්‍රදේශයේ දරුවන් 13 දෙනෙකුගෙන් යුතු පවුලක බාලයා ලෙස උපන් ඔහු අධ්‍යාපනය ලැබුවේ මාතර ශාන්ත තෝමස් විද්‍යාලයෙනි. එඩ්වින් හේවාකපුගේ නම් ගුරුවරයකු වූ සිය වැඩිමහල් සොයුරා කොළඹට පැමිණ ආරම්භ කරන ලද අයි.පී.බී. මුද්‍රණාලයේ වැඩ කටයුතු වලට සහාය වීමට ඔහුද කොළඹ පැමිණෙන්නේ එස්. එස්.සී. විභාගයෙන් අනතුරුවය.
60-70 දශකයන් හි ලාංකේය නාට්‍ය කලාව එහි හිණිපෙත්තේ පැවති යුගයක ඉතා ආකර්ශනීය පෝස්ටර්, ප්‍රවේශපත් සහ සමරු කළඹ සකසමින් ඔහු නාට්‍ය ප්‍රචාරණයට දායක විය. ඕෆ්සෙට් මුද්‍රණ යන්ත්‍ර නොතිබුණු යුගයක අකුරු කපා අමුණමින් ඉතා නිර්මාණශීලී ලෙස මුද්‍රණය කෙරුණු පෝස්ටර් නිසා අයි.පී.බී. මුද්‍රණාලය ක්ෂේත්‍රයේ කා අතරත් එදා ප්‍රචලිත විය. එවකට තිබූ එකම ප්‍රචාරණ මාධ්‍ය වූයේද පෝස්ටරය පමණක් හෙයින් මෙහි වටිනාකම බොහෝ විය. නාට්‍ය සහ සංගීත ප්‍රසංග සඳහා නිර්මාණය කෙරුණු පෝස්ටර් නිසාවෙන් ම කලා ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ චරිත නිතර ගැවසෙන තැනක් බවට ඔවුන්ගේ මුද්‍රණාලය පත්ව තිබිණි.
කලාවට ඇති ලැදිභාවය සහ හිතමිතුරුකම් නිසාම ඔහු ඇතැම් මුද්‍රණ කටයුතු සිදුකර තිබුණේ මුදල් ගැනීමෙන් තොරවය.
එවකට ඔහුගේ ප්‍රසිද්ධිය කෙතරම්ද යත් නාට්‍ය පෙන්වන ශාලාව අසල ඔහුගේ ස්කූටරය නවතා නොතිබීණි නම් අදාල නාට්‍ය 'වැඩකට නැති එකකැයි' කියවුණු බවද පැවසේ.
වැඩිමල් සොයුරු එඩ්වින් හේවාකපුගේ මහතාගේ අභාවයෙන් අනතුරුව සෝමපාල මහතා මුද්‍රණාලය වසා දැමුවේය. වෙනත් ආයතනයකට සම්බන්ධ වී සිටිය දී ඔහු අසනීප වූ මොහොතේ කලාව තුළ එතෙක් ඔහු ඉපයූ මිනිස්කම් කොතෙක්දැයි මනාව පෙන්නුම් කෙරුණේ හිතවත් කලාකරුවන් එක්ව "ආදරණීය සෝමේ" නමින් සංගීත ප්‍රසංගයක් පවත්වා ප්‍රතිකාර සඳහා අවශ්‍ය මුදල් සොයා දීමෙනි. කලාවේ මේ දිගු කාලීන හිතවතා බොහෝ මතකයන්ද රැගෙන ඊයේ නික්ම ගියේය.
ඔහුගේ දේහය 14 වැනිදා පස්වරු 2.00 සිට බොරැල්ල ජයරත්න මල්ශාලාවේ මහජන ගෞරවය උදෙසා තැන්පත් කර තැබීමට නියමිත අතර අවසන් කටයුතු 15 වැනිදා සවස 5.00ට බොරැල්ල කනත්තේදී ඉටු කිරීමට නියමිතය.
=======================================

එඩ්වඩ් චන්ද්‍රසිරිගේ සටහනක්..

සොමි සබඳ සෝමේ

සොඳුරු රසවතකුගේ නික්ම යාම

මුලින්ම අයි. පී. බී. මුද්‍රණාලයට එන සේවා දායකයාගේ ස්වභාවය අනුව ඔහුට ළෙන්ගතුව 'මිස්ටර්' හෝ 'ඔහේ' යනුවෙන් ආමන්ත්‍රණය කරන සෝමේට දෙතුන් වරක් පැමිණි හුරුපුරුදු වන තැනැත්තා 'මචං' වෙයි. කුසගිනි තදින් දැනෙන්දදී යමක් ගිල දමන සෝමේ ඊට පෙර එහි සිටින කිසියම් සේවාදායකයකු වේ නම් ඔහු අමතන්නේ 'මචෝ' උඹ කාලද?' යනුවෙන් අසමිනි.
පසුගිය සතියේ අප අතරින් සදහටම සමුගත් සෝමපාල හේවාකපුගේ මහතා හෙවත් අප නිරන්තරයෙන් ඔහු හැඳින් වූ අයුරින් කිවහොත් අයි. පී. බී. සෝමේ පිළිබඳ අපගේ දීර්ඝ මතකය 70 දශකයේ මුල් භාගය දක්වා දිව යන්නකි.
1971 වසරේදී අප සයිමන් නවගත්තේගමයන්ගේ මඟ පෙන්වීමෙන් ධම්ම ජාගොඩ ගුරු දේවයන් සෙවණේ ලයනල් වෙන්ඩ්ට් රංග ශිල්ප ශාලිකාවේදී නාට්‍ය සහ රංග කලා ඩිප්ලෝමාව හදාරා නිම කළ නමුත් එම ශිල්ප ශාලිකාවේ සෙසු සමකාලිනයන් නිෂ්පාදනයෙන්, රංගනයෙන් නාට්‍ය රචනයෙන් හෝ වෙනත් අනුශාංගික අංශයකින් නාට්‍ය කලාවට දායක වෙද්දී මා'තින් සිදු වූයේ සෘජු ලෙස නිර්මාණයකට දායක නොවී නාට්‍ය සංවිධානය කෙරෙහි යොමුවීමයි.
නාට්‍ය සංවිධාන ක්ෂේත්‍රය තුළ මගේ කාර්යභාරය ක්‍රමිකව පුළුල් වෙද්දී නාට්‍ය ප්‍රවේශ පත්‍ර, රංග පත්‍රිකා, පෝස්ටර් සහ සමරු කලඹ යන නාට්‍යයේ ප්‍රමුඛ මුද්‍රණ අවශ්‍යතා නාට්‍ය කලාවට අනන්‍ය වූ සුවිශේෂී රටාවකින් නිම කර ගැනීම සඳහා අප නිරායාසයෙන්ම යොමු වූයේ කොළඹ මරදානේ එල්ෆින්ස්ටන් රඟහල පිටුපස කේ. ඩී. ඩේවිඩ් මාවත අවසන් වන තැන පිහිටි අයි. පී. බී. මුද්‍රණාලය වෙතය.
වෙනත් බොහෝ මුද්‍රණාලවල මෙන්ම ව්‍යාපාරික ස්ථානවල ද විවිධ ප්‍රමාණයන්ගෙන් තේමා රටාවන්ගෙන් යුතු ආකර්ෂණීය නාම පුවරු ප්‍රදර්ශනය කර තිබෙන නමුදු මගේ මතකයේ හැටියට නම් එවන් නාම පුවරුවක් අයි. පී. බී. මුද්‍රණාලය ඉදිරියේ නොවීය.
එල්ෆින්ස්ටන් සිනමාහල අයිනෙන් කේ. ඩී. ඩේවිඩ් මාවතට පිවිසෙද්දී මුලින්ම අප නෙත ගැටෙන්නේ ව්‍යාපාරික ස්ථාන කීපයකි. ඉන් පසු එම පටු මාර්ගය දෙපස වූයේ ගෙවල් පේළි දෙකකි.
අයි. පී. බී. මුද්‍රණාලය පිහිටි දකුණුපස වූ ගෙවල් පේළියත්, මුද්‍රණාලයත් අතර පිහිටියේ මරදාන සුප්‍රකට බුහාරි හෝටලයේ මුළුතැන්ගෙයයි. කේ. ඩි. ඩේවිඩ් මාවත නිමා වන්නේ මුද්‍රණාලයට යාබදව දිවෙන මහා කුණු කාණුවකිනි.
එසේම අක්‍රමත්ව ගොඩනැඟුණු රළු, විසල් බිත්තිවලින් යුත් අඳුරු මුද්‍රණාලය ද එහි වූ අබලන් පුටු, මේස, පොත් අල්මාරි, සේම එහි සේවය කළ පැරණි පන්නයේ සේවක මඬුල්ල ද මුද්‍රණලයට පිවිසෙන සේවාදායකයකුගේ සිත් අලවන දසුන් නොවේ. මේ සකලවිධ පසුගාමී තත්ත්වයන් මධ්‍යයේ මහා නාට්‍යකරුවන් ප්‍රධාන සමස්ත නාට්‍ය ක්ෂේත්‍රයේම නියමුවෝ ප්‍රකට ලේඛකයෝ, ප්‍රවිණ පුවත්පත් කලාවේදීන් වැනි අපගේ බුහුමනට පාත්‍ර වූ සුවිශේෂී පුද්ගලයෝ අයි. පී. බී. මුද්‍රණාලය වෙත රොද බැඳ ගැනීමේ රහස කුමක්දැයි විමසා බැලීම සුදුසුය.
එවන් නාගරික රළු පරිසරයක් කිසිසේත් අපේක්ෂා කළ නොහැකි නාට්‍ය කලාවට අනන්‍ය වූ සොඳුරු නිමාවකින් යුත් මුද්‍රිත නිර්මාණ අයි. පී. බී. මුද්‍රණාලය තුළින් බිහිවීම ඒ සඳහා හේතුකාරක වූ ප්‍රධාන සාධකය වූයේ යැයි හැඟේ.
ඒ පිටුපස වූ අනෙක් ප්‍රබලතම සාධකය වූයේ එහි මුද්‍රණ කාර්යභාරය සියුම් උපක්‍රම හස්තයකින් මෙහෙය වූ සෝමපාල හේවාකපුගේ නම් වූ දැවැන්ත චරිතයයි. හේ දැවැන්ත චරිතයක් වූ බැව් ප්‍රකට වන්නේ ගාම්භිර, බැරෑරුම් ස්වභාවකින් වෙනුවට අතිශය සොඳුරු, තමන්ට උපත්පත්තියෙන්ම උරුම වූ සරල හැසිරීම් රටාවකින් අයි. පී. බී මුද්‍රණාලය තුළ ක්‍රියාක්මක වීමෙනි.
අයි. පී. බී. මුද්‍රණාලයේ හිමිකරු වූයේත්, එහි සභාපති, කළනාකරණ අධ්‍යක්ෂ ධූරය හෙබ වූයේ එක් කලෙක කොළඹ හිල් වීදියේ කුමාර විද්‍යාලයෙහි ගුරුවරයකු වූ එඩ්වින් හේවාකපුගේ මහතාය. හේ සුදු ජාතික ඇඳුමින් නිතර සැරසුණු, බැරෑරුම් පෙනුමක් මුහුණේ රැඳුණු නිහඬ පුද්ගලයෙකි. හේ ඩේවිඩ් මාවත දිගේ සුනාමි රළ පෙළක් නැග එනු දුටුවද නොසැලෙන චරිතයකි. මුද්‍රණාලයේ නිල නොලත් මෙහෙයුම් කළමනාකරු වූ සෝමේ තම දෙටු සොයුරු ඉස්කෝල මහතාට වඩා හාත්පසින්ම වෙනස්, කෙළිලොල් අපූර්ව පුද්ගලයෙකි.
හේ මුද්‍රණාලය තුළ දුව පැන ඇවිදිමින් එහි සේවකයන් හට විවිධ රාජකාරි පවරයි. සොදුපත් බලයි. මුද්‍රණාලය සඳහා අවශ්‍ය කඩදාසි, තින්ත වැනි දෑ පිටකොටුවට ගොස් රැගෙන එයි. පුංචි බොරැල්ලට ගොස් ඊයම් අකුරු රැගෙන මරදානෙන් ලී අකුරු නිම කර ගනියි.
ඒ අතර මුද්‍රණ දැන්වීම් රැගෙන පමිණෙන සේවා දායකයන්ගේ අවශ්‍යතා ඉටුකර දෙයි. ඔවුන් හා කවට වදනක් දොඩයි. ඒ අතර හිතවතකු වූයේ නම් කිසියම් යටි අරුතක් ගැබ්වුණු සිනා කතාවක් ඉඟිමරා කියා ඔහු සනසයි. උදෑසන මරදානට ළගා වූ වේලේ පටන් බිම් කරුවල වැටෙන තෙක් සෝමේගේ දවස ගෙවෙන්නේ එපරිද්දෙනි.
මාතර ශාන්ත තෝමස් විද්‍යාලයේදී සිප්සතර හැදෑරූ එහෙයින්ම ඉංග්‍රීසි බස හොඳින් හැසිරවීමේ හැකියාවක් ඇති අයකු වුවද හේ තම ඉංග්‍රීසි දැනුම අභිමානයක්, සැරසිල්ලක් කර නොගත් අමුම අමු ගැමියකුගේ ස්වභාව නිරන්තරයෙන් පළ කළ අව්‍යාජ මිනිසෙකි. 'ඔහේ සරච්චන්ද්‍ර මහත්තයාව හම්බ වුණාද? හෙන්රි ජයසේන මහත්තයා ඔහේට දිනයක් දුන්නද? නාට්‍යය ඔහේලාගේ ගමට ගෙනියන්න දිනේ ස්ථිර කර ගත්තද? හේ මුද්‍රණ අවශ්‍යතා සඳහා තමා වෙත එන කොළඹින් බැහැර සංවිධායකවරු අමතා විමසමින් ඔහු සංවිධාන කටයුතු පිළිබඳ වැදගත් උපදෙස්, තොරතුරු ලබා දෙයි.
මුලින්ම අයි. පී. බී. මුද්‍රණාලයට එන සේවා දායකයාගේ ස්වභාවය අනුව ඔහුට ළෙන්ගතුව 'මිස්ටර්' හෝ 'ඔහේ' යනුවෙන් ආමන්ත්‍රණය කරන සෝමේට දෙතුන් වරක් පැමිණි හුරුපුරුදු වන තැනැත්තා 'මචං' වෙයි. කුසගිනි තදින් දැනෙන්දදී යමක් ගිල දමන සෝමේ ඊට පෙර එහි සිටින කිසියම් සේවාදායකයකු වේ නම් ඔහු අමතන්නේ 'මචෝ' උඹ කාලද?' යනුවෙන් අසමිනි. ඊට ලැබෙන ප්‍රතිචාර අනුව අනුභව කරන දෙයින් කොටසක් ඔහුට ද ලබා දෙමිනි. සෝමේ මේ සෑම දෙයක්ම කියන්නේ කරන්නේ හදවතින්මය. මූණඉච්ඡාවට තෙපලන ව්‍යාජ කියුම් කෙරුම් සෝමේ තුළ නොවීය.
ඉහ වහා ගිය මෙබඳු මිනිස් ගුණ දම්වලින් අනූන වූ මේ විරල මිනිසා සමීප වන්නට, එමෙන්ම නිරන්තරයෙන් ඔහුගේ චර්යාව නිරීක්ෂණය කරන්නට ඔහු හා සමීපව ඇසුරු කරන්නට ඔහු වෙතින් යහගුණ ද රැසක් ඉගෙන ගන්නට අපි අවකාශ ලැබුවෙමු. නාට්‍ය කළමනාකරණයට අදාළ අපගේ කාර්යාලයීය කටයුතු අයි. පී. බී. මුද්‍රණාලයේ රැඳී සිට කළේ එඩ්වින් හේවාකපුගේ මහතා විසින් 80 දශකයේ අග භාගයේදී කරන ලද ආරාධනයක් හේතුවෙනි.
එතැන් පටන් වසර ගණනාවක් පුරා සෝමේගේ ළෙන්ගතු ඇසුර ලබන්නට ඔහුගේ සරල ප්‍රියමනාප පැවැත්මේ පහස විඳින්නට ඔහුගෙන් බොහෝ දෑ හදාරන්නට අප භාග්‍යවන්ත වූ බැව් සිහිපත් කරන්නේ සොම්නසිනි.අප එහි ගත කළ වකවානුවේ කලා ලෝකයේ නමක් දිනූ තවත් අපූර්ව පුද්ගලයන් දෙදෙනෙකු ද වරින් වර අප මෙන්ම අයි. පී. බී. මුද්‍රණාලයේ රැඳී සිටියා මතකය.
ඉන් එක් අයකු වන්නේ අති දක්ෂ ඡායාරූප ශිල්පියකු සේම මුද්‍රණ සැලසුම් ශිල්පියකු ලෙස තම ප්‍රතිභාව ප්‍රකට කළ රැලෙක්ස් රණසිංහයන්ය. අනෙකා වූයේ පෙරළිකාර ලේඛකයකු වූ අජිත් තිලකසේනයන්ය.බොහෝ ඇසූ පිරූ තැන් ඇති මේ වියතුන් මැද සෝමේගේ රසාලිප්ත පරිසරයේ අප ගෙවූ ජීවිතය රස ගුලාවක් වූයේය.
නාට්‍යකරුවන් හා නිතර හැසිරෙන ඒ නිසාම අයි පී. බී. මුද්‍රණාලය හා සෝමපාල හේවාකපුගේ මහතා ද දන්නා හඳුනන සරත් නමැති කලා ලෝලියකු දිනක් උදය වරුවේ ලේක්හවුසියට ගොස් එවක සරසවිය කර්තෘ ධූරය දැරූ තිලකරත්න කුරුවිට බණ්ඩාරයන් මුණ ගැසුණේය. හේ කුරුවිට බණ්ඩාරයන් හඳුනාගත්තේ ද නාට්‍යකරුවකු මඟිනි.
'මොකී සරත් අද තකහනියක් මේ පැත්තේ?' කුරුවිට බණ්ඩාර මහතා සරත්ගෙන් විමසුවේ පුළුල් සිනහවක් පාමිනි.
අපේ තාත්තා හදිසියේ මැරුණා තිලක් අයියේ' සරත් කීවේ හැගුම්බර ස්වරයෙනි.
'ඇත්තද . . .' කුරුවිට බණ්ඩාරයන් කම්පා වෙමින් විමසුවේ අයාගත් මුවෙනි. 'සරත් දැන් දුක් වෙලා පලක් නෑ. කොහොම හරි හිත හදාගන්ඩ බලන්ඩ. මට විස්තර ඔක්කොම දෙන්ඩ. මම මරණය ගැන 'සිළුමිණේ' නිව්ස් එකක් දාන්නං. එතකොට 'දිනමිණ'ටත් ඒ නිව්ස් එක දෙමු. කාට හරි මරණය ගැන දන්වන්න එහෙම ඕනේ නං අපි එකත් මෙහෙන් කරමු. දැන් කාට කාටද මරණෙ ගැන දැන්නුවේ' කුරුවිට බණ්ඩාරයන් කරුණාවෙන් විමසුවේ ඔහුට උපකාරීවීමේ අදහසිනි.
'මම එන ගමන් මරදානෙන් බැහැලා අයි. පී. බී. එකට ගිහින් සෝමේ අයියට මරණේ ගැන දැන්නුවා' සරත් කීවේය.
'හැබෑද , එහෙම නං ඒක පත්තරේ දාන්න ඕනෑ වෙන්නෙ නැහැ' කුරුවිට බණ්ඩාරයන් කීවේ මරණය මොහොතකට අමතකව නැගී ආ සිනාව ආයාසයෙන් වළක්වා ගනිමිනි.

2000 දශකයේ මැද භාගයේදී ඔත්පළ වූ සෝමේට කළගුණ දැක් වූ සත් පුරුෂයන්ගේ වටිනා ක්‍රියාකාරකම් ද්විත්වයක් මෙහිදී සිහිපත් කරනු වටී. ඉන් පළමුවැන්න 2007 වසරේ දිනෙක ජෝන් ද සිල්වා සමරු රඟහලේදී පැවැත්වුණු හරසර මංගල්‍යයයි. ඒ සඳහා මුලික වූ ප්‍රේම් දිසානායක, බණ්ඩාර ඇහැලියගොඩ, බුද්ධදාස ගලප්පත්ති වැනි කලාකරුවෝ අපගේ ගෞරවයට පාත්‍ර විය යුතුය.
එහි දෙවැන්න සෝමේ බොහෝ අබලන්ව සිටි මේ මෑත භාගයේදී ප්‍රකට ලේඛිකා කැත්ලින් ජයවර්ධන ලියා රනිල් ඇල්විටිගල නිකුත් කළ 'සොමි සබඳ සෝමේ' ග්‍රන්ථය දොරට වැඩීමයි. එය ද ඔහු වෙනුවෙන් කළ ඉතා අනගි උපහාරයකි. මේ දෙපාර්ශවයම අපගේ ගෞරවයට පාත්‍ර විය යුතු වන්නේ ඔවුන්ගේ ප්‍රතිචාරයන් විඳීමෙන්, ඒ සඳහා එකතු වූ කලා ලෝකයේ සහෘදයන් දැකීමෙන් සෝමේ ඒ අවස්ථාවන්හිදී ඉහළම තෘප්තියක් ලැබිමේ හේතුවෙනි.
'සොමි සබඳ සෝමේ' ග්‍රන්ථය නිකුත් වූදා සෝමේ රෝද පුටුවේ සිට කළේ අප හද සසල කරන කතාවකි.
'මේ හැමෝම අද මා වෙනුවෙන් මෙතැනට ආවට බොහොම ස්තූතියි. ඔහේලා හැමෝම මගේ මරණෙටත් එන බව මම දන්නවා. මම අද මේ හැමෝටම ස්තූති කරලා කතා කරන්නේ මගේ මරණය වුණාම මට ඔබව පේන්නේ නැති හින්දා. එදාට මට ඔබට කතා කරන්නට නොලැබෙන හින්දා. මේ නොබෝදා එළැඹුණු ඒ අවසන් ගමන සිහිපත් කරමින් සෝමේ එසේ කීවේ එහි සිට සැවොම හඬවමිනි.
සදාදරණීය මිතුරු සෝමේ,
ඔබට නිවන් සුව!


20170111

"ශාන්ත මේ රෑ යාමේ" ගීතය හින්දි ගීයක අනුකරණයක්ද?

අමරදේවයන්ගේ
"ශාන්ත මේ රෑ යාමේ" ගීතයේ තනුවට බලපෑවේ
පන්කාජ් මලික් ගායනා කරන හින්දි ගීතයක්.
"පියා මිලන කෝ ජානා"
මම ප්‍රියාව හමුවීමට යමි.



එහෙත් ඔහු ඒ ගීතයට වහල්වී නැත.
එය අනුකරණය නොකොට
එහි රසය, අලංකාරය පමණක් ගෙන
නිදහසේ නිර්මාණය කරන
"ශාන්ත මේ රෑ යාමේ" ගීතය තුළ
අපේ සිංහල කම ඉස්මතු වීම
ඔහුගේ දක්ෂතවයයි.

"ශාන්ත මේ රෑ යාමේ" ගීතය පිළිබඳව
අමරදේවයන් මෙසේ පවසනවා.

"මෙම ගීතයේ තනුවට බලපෑවේ
පන්කාජ් මලික් ගායනා කරන හින්දි ගීතයක්.
"පියා මිලන කෝ ජානා" මම ප්‍රියාව හමුවීමට යමි.
"ශාන්ත මේ රෑ යාමේ" ගීතය
බිහිවුණ අවධිය ගැන
විශේෂයෙන් යමක් කියන්ට ඕනෑ.
මේ අවධියේදී තමයි, සිංහල ගීතය
ස්වාධීන මාර්ගයකට අවතීර්ණ වන්නෙ.
එහි ගෞරවය,
ආනන්ද සමරකෝන් සහ සුනිල් ශාන්ත යන
පුරෝගාමී සංගීතඥයන්ට ලැබිය යුතු බව
නොමසුරුව පැවසිය යුතු කාරණයක්.
"සීගිරියේ සිතුවම් රමණී"
"ශාන්ත මේ රෑ යාමේ"
"පීනමුකෝ කළු ගඟේ" වැනි ගීත වලදී
මා ආනන්ද සමරකෝන් සහ සුනිල් ශාන්තගෙන්
නොමඳව ආභාෂය ලැබුවා.
හැබැයි,
මම මගේ සංගීත චාරිකාවේ
නිවැරදිම පියසටහන් තැබුවේ
ඔවුන් දෙදෙනාගේම රීතිය
අතික්‍රමණය කිරීමෙනුයි.
ඔවුන්ගේ "දේශීය සංගීත සංකල්පය"
මා ඒ හැටියෙන්ම භාරගත්තේ නැහැ.
භාරතීය මහා සම්ප්‍රදාය ඇසුරෙන්
අපගේ ජන සංගීතය නැමැති
චූල සම්ප්‍රදාය පෝෂණය කිරීමේ වගකීම
මා පසුකාලීනව වටහාගත්තා.
ඒ සම්බන්ධයෙන් දැක්විය යුතුව ඇති
නිදසුන් බොහොමයි"
-අමරදේව, ගී සර මුවරද කෘතිය.

20170110

ඔබේ නමින් සෑය බඳිම් - අමරදේවයන්ගේ විවරණය.


"ගීතයේ සමස්තාර්ථයම,
ස්වර නිර්මාණයෙන් ධ්වනිත විය යුතුයි."
 _අමරදේව



ඔබේ නමින් සෑය බඳිම්
විමානයෙන් බසිනු මැනවි
ස්වර්ණමාලියේ
රූබර  ස්වර්ණමාලියේ

උනා නීල වර්ණ වරල
දෑලේ මල් ගැවසි ලියේ
නගා ඉන්ද්‍රචාප දෙබැම
ඇසින් විදුලි මවන ලියේ
සිනාසිසී විමානයෙන්
බසින්න ස්වර්ණමාලියේ

අතේ ගිගිරි නාද සළඹ
නුරා හඬින් හඩන ලියේ
කරේ පද්ම කැකුළු මාල
හංස තුඩින් තැලෙන ලියේ
කනේ තෝඩු මිණි ගනරන්
මූණ ඔපය කරන ලියේ
පමා නොවී විමානයෙන්
බසින්න ස්වර්ණමාලියේ

බාලචන්ද්‍ර පටු නළලත
අලක අඳුන් අඳින ලියේ
ආල වඩන දන්ත කැකුළු
කුන්ද සමන් පිපෙන ලියේ
දෑල දෑත ස්වර්ණදාම
තාල හඬට සැලෙන ලියේ
කෝල නොවී විමානයෙන්
බසින්න ස්වර්ණමාලියේ
ස්වර්ණමාලි ගීතය තුළින් වහනය වන හැඟීම් ධාරාව
ආයාචනාත්මක ස්වරූපයෙන් නිර්මාණය වූවක්,
එහිදී පණ්ඩිත් රවී ශංකර් විසින් ජනප්‍රිය කරන ලද
කීර්වාණී රාගය ආශ්‍රය කරගන්ට මා පෙළඹුණා,
මෙම දකුණු ඉන්දියානු රාගය
මුලින්ම උතුරු ඉන්දියාවට හදුන්වා දුන්නේ
පණ්ඩිත් රවී ශංකර්.
එය බටහිර සංගීතයේ ප්‍රචලිතව ඇත්තේ,
Harmonic Minor කියා,
ඒ අවධියේදී එය බොහොම ජනප්‍රිය රාගයක් වෙලා තිබුණා.

මහගමගේ මුල් ප්‍රබන්ධයේ තිබුණු ආයාචනාත්මක ස්වරූපය,
ඒ ආකාරයෙන්ම ප්‍රකාශ කරන්නට එය ප්‍රමාණවත් වුණා,
මෙම ගීතය නිර්මාණයේදී කීර්වාණී රාගය
පමිණියේ නිරායාසයෙන්ම වාගේ,
ගීතයේ සමස්තාර්ථයම,
මෙම රාගයේ ස්වර නිර්මාණයෙන් ධ්වනිත වෙනවා.

කවියා මෙතැන්හිදී කරන්නේ
දෙවඟනට ගසින් බහින්ඩ කියා කරන ආයාචනයක්,
ගීතයේ ස්වර සංගතියෙන් , ඒ ආයාචනය ප්‍රකාශ වෙනවා,
රාගයක් කියන්නේ, ස්වර සංගතියක්
සංගීත නිර්මාණයේදී
කාව්‍යයේ භාවාර්ථය නිරූපණය කරන්නට සුදුසු
ස්වර තෝරාගැනීමයි, අවශ්‍ය කාර්යය වන්නේ.
වචන , එහෙම නැතිනම් පද වෙන වෙනම ගෙන නොවෙයි,
එය කල යුත්තෙ.
.
සේකර අතින් මෙම ගීතය මුලින්ම ලියවුණෙත්,
කවියක් හැටියට නෙමෙයි.
ඔහු එය ලියා ඇත්තේ ගීතාත්මක ආකෘතියකට,
ඒ නිසා මෙම ගීතය,
ගායන මාධ්‍යය සිත්හි තබාගෙන ලියන ලද්දක්,
ගීතය කියන්නේ, විශේෂිත සංගීතාංගයකට.
එය හුදු කවියක් නොවෙයි.
ඒ කාරණය මහගම සේකරත් හොදින් දැනගෙන හිටියා.

ඔබේ නමින් සෑය බඳිම් ගීතය ලියවුණේ
හැටගණන්වල ජනප්‍රියව පැවති
මධුවන්ති නැමැති ගුවන් විදුලි වැඩසටහන සඳහා.
ඒ අවධිය වන විට,
ජන ගායනා, රස මියුරු, ස්වර වර්ණ, විජය ගීත යන
වැඩසටහන් පෙළක්ම මවිසින් කර තිබුණා.
එකී වැඩසටහන් මගින්
ස්වාධීන ආකාරයෙන්
ජන සංගීතයේ ආභාසය ලබන්ට හැකිවීම නිසා
මධුවන්ති වැඩසටහන වඩාත් පරිසමාප්ත වූ බවයි,
මාගේ හැගීම.

මහගම සේකර කවියා
තම නිර්මාණයට පාදක කරගන්නේ,
අපේ වංස කතාවේ අති විශේෂ අවස්ථාවක්.
රුවන්වැලි මහ සෑය ගොඩනගන්ට තීරණය කරන
දුටුගැමුණු රජ්ජුරුවන්ට
ඒ සඳහා භූමි භාගයක් අවශ්‍යයි.
මහ සෑය තනන ජය භූමිය වන්නේ,
රන් තෙළඹු ගසක් හාත්පස විහිදෙන භූමි භාගයයි,
එසේ හෙයින් රන් තෙළඹු ගස කපා බිම හෙළිය යුතුය,
එහෙත් එය එතරම්ම පහසු නැත.
මන්ද යත්, එයට අරක් ගත් දෙවඟනක් සිටිනා බැවිනි.
ඇය වනාහී අන් කිසි තැනැත්තියක නොව,
ස්වර්ණමාලි දෙවඟනයි
ස්වර්ණමාලිය බවට පැමිණ සිටින්නී,
අන් එකියක නොව රත්නවල්ලී නැමැති රොඩී තරුණියයි.
දැන් ඇය දෙවඟන.
ඇය රන් තෙළඹුවට අරක්ගෙන සිටින්නීය
රජතුමාගේ ආයාචනය, ඇයට සිය විමානයෙන් බසින්නටය,
ඇයගේ නමින්ම මෙම සෑය බදින්නට රජතුමා පොරොන්දු වෙයි.

විමානයෙන් බසින්නට,
ස්වර්ණමාලියට ආයාචනය කරන කවියා,
මහත් අභිරුචියෙන් ඇගේ රූසිරිද වර්ණනා කරයි.

ඇය සිටින්නී
සිය නිල්වන් කෙස් කළඹ උනා පිට මැද හෙලාගෙනය.
ඇය සිය කෙස් කළඹ දෙපස මල් ගවසාගෙන සිටින්නීය.
ඇගේ දෙබැම ඉන්ද්‍රචාප හෙවත් දේදුනු දෙකක් වැන්න
එහෙයින් අගේ නෙතින් විදුලි කොටන්න සේ දැනේ,
ඇයගේ ළමැදෙහි කිණිහිරි මල් පෙති ගැවසී ඇත.
නළල මත රත්න තිලකයකි.
අත්වලින් ගිගිරි හඬ නැගෙයි.
ගෙලෙහි නෙළුම් කැකුළු මාලයකි.
ඒ මාලයෙන් හංස තුඩු වැනි අගේ පියයුරු තුඩු තැලෙයි.
ඇගේ කන්පෙතිවල මැණික් ඔබ්බවන ලද ගනරන් තෝඩුය.
ඒ තෝඩුවල මැණික් එළියෙන් ඇගේ මුහුණ ඔපවත්ව දිලෙයි.
ඇගේ නළල, බාල චන්ද්‍රයකු හෙවත් අඩ සඳක් වැන්න.
දත් දෙපෙළ කොඳමල්, සමන්මල් පිපෙන්නා සේ සුදුවන්ය.
දෑතෙහි රන් දම්ය.

පමා නොවී විමානයෙන් බසින්නැයි
කවියා ආයාචනය කරන්නේ,
එවන් රූබර ස්වර්ණමාලියටය.

මහගම සේකර කවියා
සිය නිර්මාණයට පාදක කරගන්නේ,
එකී කාව්‍යානුභුතියයි.
එහිලා ඔහු රන් තෙළඹුවේ කවිවලින්ද
ආභාසය ලබනවා.

ගීත නිර්මාණයේදීද
රන් තෙළඹුවේ කවි මවිසින් ඇසුරු කොට ඇත.
ඒ ඇසුරත්, කීර්වාණී රාගයේ ඇසුරත්,
මෙම ගීතයේ නාද ආකෘතිය කෙරෙහි
බෙහෙවින් බලපා තිබෙනවා.
ඇත්ත  වශයෙන්ම,කීර්වාණී ස්වර සමුදාය,
අපගේ ජන ගීවල ස්වර මාලාවට
බෙහෙවින් අනුගතයි.

ගීතය නැමැති විශේෂිත සංගීතාංගය
විශ්වාකර්ශනීය නිර්මාණයක් බවට පත් වන්නේ,
කාරණා දෙකක සංයෝගය උඩයි.
පළමුවැන්න, තනුව හෙවත් නාදාකෘතිය.
Melody කියා අප හදුන්වන්නේ එයයි.
දෙවැන්න තමයි, මිනිස් කටහඩ.
ඒ කියන්නෙ, ගේය කාව්‍යානුබද්ධ මිනිස් කටහඩ.
මේ දෙකේ සංයෝගයෙනුයි,
ගීතය විශ්ව ආකර්ශනීය නිර්මාණයක් වන්නේ.
ස්වර්ණමාලී ගීතය ගැන සඳහන් කරද්දී,
ඒ කාරණය මතක් කර දීම සුදුසුය කියා මට හිතෙනවා.
_____________________________

අමරදේවයන්ගේ
"ගී සර මුවරද" පොතෙන්.