20121123

මම මරණයට බය නෑ, ඒත් මැරෙන්න බයයි

මම මරණයට බය නෑ ඒත් මැරෙන්න බයයි
ධවල භීෂණ නැවත ගෙනෙන ධර්මසිරි බණ්ඩාරනායක කියයි
-----------------------------සංවාදය – අසංක දේවමිත්‍ර පෙරේරා



=ධර්මේ ඔබේ වෙහෙස මට ආඩම්බරයක්.ඔබේ ජීවිතයට මම ඉරිසියා කරනවා.මේ නාට්‍යය නැවත හදා ගත්තා කියන්නේ විශ්මයක්. මේ නාට්‍යය නැවත රිහසල් කරන්න. දැන් නළු, නිළියන්ට දෙබස්, පොෂිෂන්ස් පාඩම්. ඔවුන්ට දැන් ඒ චරිතවල ජීවිතය සොයා ගන්න උදවු කරන්න. ඔබ අපටත් මේ චරිත සොයා දුන්නේ එහෙමයි. 
මා තුළ තවමත් ‘හෙන්රි’ ඉන්න තරමට ඔබ මගේ අධ්‍යාත්මයේ හෙන්රි හැංගුවා. මේ අයටත් ඒ ටික අවශ්‍යයි.’

මේ පසුගිය දිනෙක ප්‍රවීණ නාට්‍යවේදී ධර්මසිරි බණ්ඩාරනායකගේ ජංගම දුරකතනයට ලැබුණු කෙටි පණිවුඩයකි. එය එවා තිබුණේ ජැක්සන් ඇන්තනි විසිනි.
අප හමු වූ මොහොතේ ධර්මසිරි, මේ කෙටි පණිවුඩය මට කියවූයේ කිසියම් උද්දාමයකින් යුතුවය. කෘතවේදිත්වය, ඇගයීම මෙන්ම උපදේශනයක් ද එහි ගැබ්ව ඇතැයි මට සිතේ. මේ සියලු කාරණා ගොනුවූයේ ධර්මසිරි බණ්ඩාරනායකගේ විශිෂ්ටතම වේදිකා නාට්‍යයක් වන ‘ධවල භීෂණ’ පසුබිම් කර ගනිමිනි. එහි මුල් නිෂ්පාදනයේ හෙන්රි නමැති ප්‍රධාන භූමිකාවක් රඟ දැක්වූයේ ජැක්සන්ය. එනිසා ඉහත විග්‍රහයට ඔහුට ඇත්තේ පරම අයිතියකි.

ජැක්සන්ගේ මේ SMS පණිවුඩය මට ලොකු ශක්තියක් වගේම ආශිර්වාදයක්. ඔහු මේ රටේ බිහි වූ විශිෂ්ටතම නළුවෙක්. ‘ධවල භීෂණ’ නාට්‍යය වෙනුවෙන් ඔහු බොහෝ කැප කිරීම් සිදු කොට තිබෙනවා.

‘ධවල භීෂණ’ සමඟ යළිත් වරක් කරළියට පිය මනින
ධර්මසිරි මා හා සංවාදයට ප්‍රවේශ වන්නේ ඒ අයුරිනි.

==මීට වසර විසි පහකට පෙරාතුවයි ඔබ ‘ධවල භීෂණ’ නිර්මාණය කළේ. එවැනි යුගයක කලාකරුවකු හැටියට ඔබ භාර ගත්තේ විශාල අභියෝගයක් වගේම අවදානමක් . . .?

‘ධවල භීෂණ’ මම වේදිකාවට ගෙනාවේ 1988 වසරේ. සැප්තැම්බර් 27, 28 තමයි එහි මංගල දර්ශන කොළඹ ලයනල් වෙන්ට්ඩ් රඟහලේ පැවැත්වුණේ. මේ නාට්‍යය කරන කාලේ රටේ ඇතිවුණ දේශපාලන ප්‍රචණ්ඩත්වය සහ භීෂණකාරි තත්ත්වයන් දරුණු ලෙස නාට්‍යයට බලපෑවා. ඇත්ත වශයෙන්ම මේ නාට්‍යය රචනා වෙලා තියෙන්නේ ප්‍රංශයේ දේශප්‍රේමී අරගල කණ්ඩායමක් හිට්ලර්ගේ හමුදාවට විරුද්ධව කරන අරගලයක් ප්‍රස්තුත කරගෙන. ෂෝන් පෝල් සාත්‍රේ ‘Men Without Shadows නමින් තමයි ඒ අත්දැකීම නාට්‍යයට නැගුවේ.

==එය ‘ධවල භීෂණ’ බවට පත් වෙන්නේ කොහොමද?

‘Men Without Shadows’ ප්‍රංශ බසින් සිංහලට පරිවර්තනය වෙද්දී අරුත් ගැන්වෙන්නේ ‘ස්මාරක නැති මරණ’ කියායි. ඉතිං සොහොන් කොත් නැති මරණාවලි පිළිබඳ මට ඇති වූ අදහසක් අනුවයි මේ නාට්‍යය මම රචනා කරන්නේ. මීට පෙර මෙම නාට්‍යය කරන්නට ගියා 1972 දී නාමෙල් වීරමුණි. ඇත්ත වශයෙන්ම නාමෙල් මාවත් තෝරා ගත්තා ඒ නාට්‍යයේ රඟපාන්න. එතකොට තමයි මම පළමුවතාවට මේ නාට්‍යය කියෙව්වේ. ඉතිං නාමෙල්ට මේ නාට්‍ය පිටපත වශයෙන්ම වාරණ මණ්ඩලයෙන් තහනම් කළා. ඒ නිසා ඔහුට හැකි වුණේ නෑ මේ නාට්‍යය කරළියට ගේන්න.

==ඊට වසර ගණනාවකට පසු ඇයි ඔබ ඒ කාර්යයටම නැවත අත පෙව්වේ?

ලාංකේය ජන සමාජයත් එක්ක බොහොම ළඟින් ගමන් කළ හැකි නාට්‍යයක් හැටියට මම මේක දැක්කා. ඒ අනුව තමයි මම ‘ධවල භීෂණ’ නිෂ්පාදනය කළේ. ඒ කාලේ හැටියට තරමක් ප්‍රසිද්ධියට පත් නළු - නිළි පිරිසක් තමයි ඊට රංගනයෙන් දායක වුණේ.

==අද ඔවුන් රංගන කෂේත්‍රයේ දැවැන්තයෝ?

ඔව්. ජැක්සන් ඇන්තනි, කෞෂල්‍යා ප්‍රනාන්දු, ඩබ්ලිව්. ජයසිරි වගේ අය. දයා අල්විස් පමණක් ඔය ටෙලි නාට්‍යය මාර්ගයෙන් ජනතාව අතර ප්‍රචලිත වෙලා හිටියා. ඉතින් ඒ වගේ අලුත්ම පිරිසක් තමයි 1988 දී මේ නාට්‍යයට දායක වුණේ. ඔවුන් මාස අටක් පුරාවට එක දිගට මේ නාට්‍යය වෙනුවෙන් කැප වුණා. ඔවුන් ඒ නිර්මාණයට, නිර්මාණකරුවාට ගරු කළා කියන්නේ ඔවුන් වෙත එන ප්‍රේක්ෂකයන්ට ගරු කිරීමක්. ඉතින් ඒවා සුන්නත්දූලි වෙච්ච වර්තමානයක තමයි අපි කලාව ඇතුලේ මේ අලුත් නිර්මාණයට පිරිස එකතු කළේ. ඔවුන් යම් ප්‍රමාණයකට නාට්‍යය කලාව එක්ක ගැවසුණු පිරිසක්.

==ඔවුන්ගේ කැපවීම පිළිබඳ ඔබ සෑහීමකට පත් වෙනවාද?

අද නාට්‍යය රිහේසල් එකකට නළුවෙක්, නිළියක් ගෙන්නා ගන්නට බැරි තරමට ඔවුන් අවිවේකයි. ඒ කියන්නේ මේ කලාව වෙනුවෙන් කැප වූ ගතිකයන් අද දවසේ හඳුනාගන්න ලැබෙන්නේ නෑ. නමුත් 2012 දී නැවත වරක් මට මේ නාට්‍යය නිෂ්පාදනය කරන කොට කලාව වෙනුවෙන් කැපවෙන පිරිසක් හොයා ගන්න පුළුවන් වුණා. ඒක මා ලද භාග්‍යයක්.

==මම හිතන්නේ ‘ධවල භීෂණ’ මුල් නිෂ්පාදනයට රංගනයෙන් දායක වූ පිරිස අතරින් අද දවසේ ඊට එක් වන්නේ ඩබ්ලිව්. ජයසිරි පමණයි?

මේ වෙනකොට ඔවුන් වැඩි දෙනෙක් අවිවේකයි. රංගන කාර්යයෙන් දායක නොවුණත් ඔවුන් තවම මේ නාට්‍යය හා බැඳී සිටිනවා. මේ ගැන නිතර අවධියෙන් සිටින කෙනෙක් ජැක්සන් ඇන්තිනි. නීල් අලස් පුහුණුවීම්වලට ඇවිත් තමන් එදා කළ චරිතය ගැන ඒ නළුවා සමඟ පමණක් නෙවේ පොදුවේ සියලු දෙනා සමඟම සාකච්ඡා කරලා ඔවුන්ට උපදෙස් දුන්නා. ඒ වගේම කෞෂල්‍යා ප්‍රනාන්දු පුහුණුවීම්වලට ඇවිත් ඉතාම ගෞරවයෙන් මේ නළු, නිළිියන්ට යා යුතුª තැන සොයා ගන්නට උදවු කළා. ඉතින් මම ආඩම්බර වෙන්නේ එදා වගේම දක්ෂ නළු, නිළි පිරිසක් අදත් මගේ අතින් හදා ගන්නට ලැබීම ගැනයි.

==එදා ‘ධවල භීෂණ’ නාට්‍යය හරහා ප්‍රේක්ෂකයා දුටුවේ ඒ පැවැති සමාජයේම හරස්කඩක්. නළු, නිළියන්ගේ චරිත සාර්ථකව ගොඩ නගා ගන්න ඒ පසුබිමත් ඉවහල් වෙන්නට ඇති?

ජැක්සන් ඒ දිනවල මට කියනවා මේ නාට්‍යය කරලා ගෙදර ගියාට පස්සේ රෑට නින්ද යන්නේ නෑ කියලා. ඔවුන්ගේ මනසට තදින් බලපාන කරුණු ගණනාවක් තමයි නාට්‍යයට විෂයය වුණේ.. මොකද ඒ නළු, නිළියෝ කිසි කෙනෙක් කැරළි, කෝලාහලවලට සම්බන්ධ වුණ අය නෙවෙයිනේ. එතකොට ජැක්සන් වගේම කෞෂල්‍යාත් කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන්. ඔවුන් සමඟම සිටි දයා පතිරණ ඝාතනය කළේ ඒ කාලේ. ඒවායින් ඔවුන් කම්පනයට පත් වුණා.

එතකොට නළුවාට හොඳ ප්‍රවේශයක් වෙනවා තමන්ගේ වටාපිටාව තුළින් තමා ලැබුවා වූ අත්දැකීම් ගවේෂණය කරමින් ඒ චරිතවලට ජීවය දෙන්න. නමුත් අද නළු, නිළියන්ට එහෙම වට පිටාවක් නෙවේ තියන්නේ. මෙයින් මා අදහස් කරන්නේ එවැනි තත්ත්වයක් අද තිබිය යුතුයි කියා නෙවෙයි. යුද්ධය අහවර වෙලා තියනවා. නැවත ඒ අයට කල්පනා කරන්න දේවල් තියෙනවා.

==ඔබ වටා අද සිටින අලුත් පරපුර සමඟ ‘ධවල භීෂණ’ නැවත වේදිකාවට ගෙන ඒම සාර්ථක උත්සාහයක් වෙයි කියා සිතනවාද?

මේ අය අලුත් පිරිසක් කියා හඳුන්වනවාට මගේ කැමැත්තක් නෑ. දැන් ඔවුන් ප්‍රවීණයෝ. ඔවුන්ගේ ඉදිරි ගමන තීරණය වෙන්නේ ඔවුන්ගේ ක්‍රියාදාමයන් උඩයි. සමහර ශිෂ්‍ය, ශිෂ්‍යාවෝ මම පුහුණුවීම් කරන කොට කියන්නේ ‘පොලිස්කාරයෙක්’ වගේ කියලයි. මගෙන් බැණුම් අසමින්, ඔවුන් මේ කාර්යයේ ව්‍යාවෘතව සිටින්නේ දැඩි කැපවීමකින්. දැන් සුගතපාල සිල්වා හැඳින්වූවේ ‘සොඳුරු ආඥාදායකයා’ ලෙසයි. තමන්ගේ දරුවෝ වගේ ඒ පිරිස නළු, නිළියන් බවට පත්කරගෙන මේ ගමන යනකොට එවැනි ආඥාදායක බවකුත් අවශ්‍යයි.

==සුන්දර පොලිස්කාරයොත් ඉන්නවනේ නේද?

ඔව් . . . කලාතුරකින්.

==අද ටෙලි නාට්‍යය හරහා විශාල නළු නිළි පිරිසක් රංගනයට යොමු වී සිටිනවා. ඔවුන් වේදිකා නාට්‍යය දෙසට යොමු වීම අද අප දකින ප්‍රවණතාවක්?

අර රූපවාහිනිය තුළ, උසස් රංගන සම්ප්‍රදාය පහළටම ඇද දාපු නළු, නිළි පිරිස් හිතනවා දැන් වේදිකාව ආක්‍රමණය කළ හැකියි කියලා. ඉතින් අන්න ඒක භයානක තත්ත්වයක්. ජනප්‍රියත්වය පමණයි ඔවුන් ගුරු කොට තකන්නේ. පුහුණුවීම් ඔවුන්ට අදාල නෑ. ඒ වගේම පිටපත් අරන් අධ්‍යයනය කරන උත්තරීතර, ගෞරවනීය රංග සම්ප්‍රදාය ට අනුගතවීමේ අවශ්‍යතාවයකුත් ඔවුන්ට නෑ. කොටින්ම ගාමිණි ෆොන්සේකා, ජෝ අබේවික්‍රම, ටෝනි රණසිංහ වැනි විශිෂ්ටයන් ගොඩ නැගූ උසස් රංග සම්ප්‍රදාය අද මේ පිරිස් විසින් මස්ත බාල්දු කරලා. වේදිකාවේ ‘අසඩක්’ කරපු හෙන්රි ජයසේන ‘ගම්පෙරළියේ’ පියල්ට රඟපාන කොට ඒවා අපට කාන්දු වුණා. ඒ කියන්නේ ඒවා ඉතාමත් අදත්විතීය රංගනයන්.

==එතකොට ඔබ කියන්නේ රඟපෑම ගෞරවනීය ලෙසින් කරන නවක පිරිසක් වර්මානයේ නෑ කියාද?

ඉඳහිට ඉන්නවා. නමුත් වැඩි පිරිසක් අර වගේ. එයාලා දැන් වේදිකාවට ඇවිත් එතන කරන්නෙත් ඊට නොදෙවෙනි ක්‍රියාවලියක්. දැන් මම සුගතපාල සිල්වා, හෙන්රි ජයසේන වැනි නාට්‍යයකරුවන්ගේ නාට්‍යයවල රඟපෑ නළුවෙක්. ඔවුන් අත්දැකීම් බහුලව ලැබූ මේ නාට්‍යය කලාව විෂයයක් වශයෙන් ඉතා ඉහලින් හදාරපු අය. එතකොට දයානන්ද ගුණවර්ධන. ඒ අය අද අපි අතරේ නෑ. නමුත් ඒ පරම්පරාවේ දැනුම අපට ලැබුණා. ඉතින් අද පරම්පරාවට ඒ දැනුම ලබා දෙන්න හදන කොට ඒ අය අපව දකින්නේ පියවරු හැටියට නෙවේ. ඒ අයට ද්වේශ කරන, ඒ අය විනාශ කරන්න එන බලවේග හැටියට. ඒක මේ ලංකාව ඇතුලේ තියන පහත්ම තත්ත්වයක්.

==ඊට හේතුව?

අපේක්ෂා භංගත්වය. තමන් කොහාටද යන්නේ කියා ඔවුනට අරමුණක් නෑ. දැඩි හීනමානයක් එක්ක වගේම ද්වේශයකිනුයි ඔවුන් කටයුතු කරන්නේ. අපි මේ සමාජය සුවපත් කරන්නට යන ගමනේදී හැම කෙනෙකුම මේ තත්ත්වය සැලකිල්ලට ගත යුතුයි. විශේෂයෙන්ම වැඩිහිටි සමාජය. මෙවැනි වූ වර්තමාන සමාජයකට තමයි මම මේ නාට්‍යය රැගෙන යන්නේ. මගේ අවසන් වේදිකා නාට්‍යය ‘ට්‍රෝජන් කාන්තාවෝ’ ට පෙර නිර්මාණය කළ ‘යක්ෂාගමනයත්’ තව සති කිහිපයකින් මම කරළියට ගෙන එනවා.

==ඔබ ‘ධවල භීෂණ’ කළේ මේ රටේ සැබෑවටම භීෂණය රජ කරමින් තිබූ යුගයක. නමුත් අද සමාජයට මේ කාරණය වළංගුද?

ඔය ගැන තමයි දැන් ප්‍රේක්ෂකාගාරයේ තිබෙන කසුකුසුව. මේක කොහොමද අදට ගැළපෙන්නේ, දැන් මේකේ එල්. ටී. ටී. ය ගැන නෑ. ජේ. වී. පී. එක ගැන නෑ. ඒ යුග පසු කරලා ඉවරයි. මේ නාට්‍යය සාංදෘෂ්ටිකවාදී චින්තනය ඇතුළත් කරනු ලැබූ, ඒ කියන්නේ මිනිසා තීරණය කළ යුත්තේ ඔහුගේ අදහස්වලින් නොව ඔහුගේ ක්‍රියාදාමය තුළ බව අපට කියා දෙන නාට්‍යයක්. ඒක තමයි ෂෝන් පෝල් සාත්‍රේ අපට දෙන පණිවිඩය. ඒකට ඔහු තෝරා ගත්තේ කැරළි කෝලාහල සමයක් තුළ අත් අඩංගුවට ගත් පිරිසක් වටා ගෙතුන කතා පුවතක්. මෙය අපේ රටේ යථාර්ථයක් බවට පත් වුණා. ඒ වගේම ‘ධවල භීෂණ’ එක යුගයකට සීමා නොවූ සර්වකාලින නාට්‍යයක් විදිහට හඳුන්වන්නට පුළුවන්.

==ඇත්තටම ‘ධවල භීෂණ’ නිසා ඔබේ ජීවිතයත් එදා දැඩි අවදානමකට ලක්වුණා?

රාජ්‍ය ත්‍රස්තවාදය හා දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය කියන සංවිධානය එකට ගැටෙන මොහොතක තමයි මේ නාට්‍යය බිහි වෙන්නේ. අපි මේ නාට්‍යය පෙන්වන්න යද්දී මහමග තරුණයන්ගේ මළ සිරුරු, ටයර් සෑයවල් අපි දැක්කා. ඒ පරිසරය මැද්දෙන් තමයි අපි ගමන් කළේ. මේ නාට්‍යය නවත්වන්න කියලා, නළු නිළියෝ වෙනස් කරන්න කියලා මට බලපෑම් ආවා.

==කොයි පැත්තෙන්ද?

දෙපැත්තෙන්ම. අපේ නිවසට ආ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ සාමාජිකයකු මට කිව්වේ ‘ඔබ මෙහෙම නිවසේ ඉඳගෙන සිටිද්දී අපට පාලනය කළ නොහැකි කෙනෙක් ඇවිත් ඔබේ හිසට වෙඩි තබයි’ කියලා. ‘ඇයි එහෙම කරන්නේ, මොකක්ද මම කරපු වරද කියලා’ මම ප්‍රශ්න කළා. මොකද කලාව ඇතුලේ දේශපාලනය කරන එකනේ අපි කරන්නේ. කලාකරුවෙක් හැටියට එදා මම කළේත් ඒ දේ. නමුත් මට තේරුණා තවදුරටත් මේ රටේ සිටියොත් මගේ ජීවිතය අනතුරේ කියලා. ඒ අනුව මම ඉන්දියාවට ගොස් මාස හතරක කාලයක් සැඟ වී හිටියා. ‘මම මරණයට බය නෑ. ඒත් මැරෙන්න බයයි’. ඒ තමයි ‘ධවල භීෂණ’ නාට්‍යයේ ස්ලෝගන් එක.

==ඒ ඇවිත් ඔබ නැවත ‘ධවල භීෂණ’ කළා?

1989 වසරේ ‘ධවල භීෂණ’ නතර කළා. නැවත 1992 දී ආරම්භ කළා. ටික කලක් ‘ධවල භීෂණ’ නවතා දමා තිබී පසුගිය සැප්: 01, 02 තමයි තෙවන නිෂ්පාදනය ලෙස කරළියට ආවේ. එහි තවත් දර්ශනයක් හෙට (14) සවස 6.30 ට කොළඹ හැව්ලොක් ටවුමේ ලුම්බිණි රඟහලේදී වේදිකා ගත කෙරෙනවා. මේ වෙනකොට අපි ‘ධවල භීෂණ’ දර්ශන වාර 980 ක් පමණ වේදිකා ගතකර තිබෙනවා.

බොහෝ කලාකරුවන් තමන්ගේ ‘අතීත ශ්‍රී විභූතිය’ මතම රැඳෙන ප්‍රවණතාවක් අපේ කලාව ඇතුලේ තියෙනවා. ඔවුන් අලුත් දෙයක් කරන්නේ නැහැ. මේ චෝදනාව යමෙකු ඔබට නැගුවොත්?

ඒකට හොඳම උත්තරය එන්නේ ‘බවදුක’ චිත්‍රපටයේ. සමහරු මට හම්බ වෙනවා ‘හංස විලක්’ චිත්‍රපටයෙන් පස්සේ ධර්මසිරි චිත්‍රපටයක් කළේ නෑනේද කියලා අසන. එතකොට මට මගේ බයෝග්‍රෆි එක නැවත දිග හරින්න වෙනවා. අන්න ඒ වගේ කරන දේවල් පේන්නේ නැති, කියන දේවල් ඇහෙන්නේ නැති සමාජයක් අද ගොඩ නැඟිලා තියෙනවා. දැන් මේ නාට්‍යවලට මම ආදරය කරන්නේ ඒවා මගේ ජීවිතය නිසා. තව මට මගේ ජීවිතය වගේ නාට්‍යයක් ලියවුණොත් හරි, මුණ ගැසුණොත් හරි මම ඒක නිර්මාණය කරනවා. සමහර විට මගේ අපේක්ෂාව එහෙම වුණත් ඊට ප්‍රථම මගේ ජීවිතය අවසන් වන්නට පුළුවන් මරණයෙන්. ඒක අපි හැමෝටම ලැබෙන දායාදයක් වශයෙන්. හැබැයි ඒ වෙනකල් මම වැඩ කරනවා.

==වේදිකා නාට්‍ය කලාව පසෙක ලා බැලුවත් ඔබ මේ රටේ විශිෂ්ට සිනමාකරුවෙක්. ඒත් ඔබ සිනමා මාධ්‍යය පැත්තෙන් වර්ථමානයේ දැඩි නිහඬතාවයකයි ගිලී ඉන්නේ?

වේදිකා නාට්‍යය කලාව පැත්තේ මේ තියෙන දැඩි කාර්ය බහුලත්වය එහා මෙහා වුණ වෙලාවක මම බොහොම කැමැත්තෙන් සිනමා කැමරාව ළඟට යනවා. නැවත චිත්‍රපට කැමරාවක් දකින්න ආසයි. ඒක ඇතුළේ මම බලන්නේ මා දිහාමයි. මගේ සිනමා භාවිතය ඇතුළේ මට ගොඩක් පාඩම් උගන්වනවා ‘හංස විලක්’ චිත්‍රපටය. ඇයි මේ හැම ප්‍රේක්ෂකයාම එතැනින් ඉවත් වෙන්නේ නැත්තේ. ඒ අය මට උගන්වන පාඩම තමයි කලා කෘතියක වටිනාකම රැඳෙන්නේ නිර්මාණකරුවා ලැබූ අත්දැකීම් නිර්ව්‍යාජව ඉදිරිපත් කිරිම කියන කාරණාව මත බව. ‘හංස විලක්’ චිත්‍රපටයට පතිරාජ ලියූ ’හෙමින් සැරේ පියා විදා’ ගීතය ඒ චිත්‍රපටය තාම ජීවත් කරවනවා. ඒ මොහොත හැම කෙනෙකුම කම්පනයයට පත් කරවනවා චිත්‍රපටය ඇතුලේ.

==ඔබේ මීළඟ චිත්‍රපටයට අනුප්‍රාණය ලබා ගන්නේ ‘හංස විලක්’ තුළින් ද?

ඇත්ත වශයෙන්ම ‘හංස විලක්’ දිහාවට නැවත හැරී බලන්නට වෙනවා. මේ චිත්‍රපටයෙන් මම මටම ළං වෙනවා.

==ඒ කියන්නේ?

ඒ කියන්නේ ඔබට පේන්නේ දැන් ඔබ ඉදිරියේ ඉන්න මගේ රූපකාය පමණයි. නමුත් මගේ ඇතුලාන්තයේ ඉතාම දුඞඛිත මිනිසෙක් ඉන්නවා. මම අනුන්ගේ ජීවිත දිහා බලනවාට වැඩිය ඒ ජීවිතේ දිහා බලලා ඒක ප්‍රති නිර්මාණය කරන්න පුළුවන් නම් මම හිතනවා ඒක තමයි මට කලාව තුළ කරන්න පුළුවන් ඉහළම තැන්පතුව. හදිසියේ මම මැරුණයි කිව්වොත් මගේ මළකඳ තියෙන තැනකට ඇවිත් ඔබ බලලා යාවි. නමුත් ඔබ මාව නෙවෙයි ඒ බලන්නේ මළකඳ. දැනුත් ඔබ මේ බලා ඉන්නේ මගේ මළ කඳ. හැබැයි ඒ මළකඳ ඇතුලේ තිබුණේ මොනවද කියලා කියන්න මම මගේ අයිතිය පාවිච්චි කිරීමට සිනමා කැමරාව නැවත අතට ගන්නවා.

සංවාදය – අසංක දේවමිත්‍ර පෙරේරා

No comments:

Post a Comment