20121123

ලොව පුරා,... දිනපතා,... සිංහබාහුලා සිංහයන්ට විදිනවා.

කොළඹ ඉන්න දවස්වල
මාසෙකට දෙකකට වරක්
අපි පවුල පිටින් නැරඹූ 
සිංහබාහු.........
සිංහබාහු නාට්‍යයෙ මූලිකව කතා කරන්නෙ 
දරුවන්ට නොතේරෙන පිතෘ ප්‍රෙමය පිළිබඳවයි.

පුතු සෙනේ මස් නහර හම සිඳ
ඇට සොයා ගොස් ඇට තුලට වැද
ඇට මිඳුළු මත රඳා සිට
දුක් දෙයි නිබන්දා...

 


මගේ පුතා දෙස මම බලන විදිය
මට පෙනෙන තුරු මට මගේ පියා
මා දෙස බැලූ විදිය
මට තෙරුම් ගත නොහැකි වුණා.
මා දෙස ඒ විදියට බලන්න
පුතාට නොහැකි බවත් මට තෙරුණා.
ඒ සත්‍යය පැහැදිලිව වටහාගන්න
මට විශාල ආධාරකයක් වුණේ සිංහබාහුයි.

නිර්මාණයක් විදියට සිංහබාහු නාට්‍යයෙ චරිත
බෙහෙවින්ම සමබරයි.
හැම චරිතයකම හොඳ නරක,
දුර්වලතා ආදිය තියනවා වගේම
ඔවුන් තුළ ඇතිකරන පෙළඹවීම් ආදිය
මැනවින් ඉදිරිපත් කෙරෙනවා.
ඒ චරිත වලට අයාලෙ මතුවන
සිතුවිලි නැහැ.
ඔවුන් කිසියම් ගැටුමකට මුහුණ දීලා
තවත් බලපෑම් මත
ඔවුන් තුළ ඇතිකරන පෙළඹවීම් මත
ඔවුන් ශක්ති පමණින් ගන්න තීරණ මත
ඔවුන්ගෙ ක්‍රියාකාරකම් සිදුවෙන බව
අපට වැටහෙනවා.

සිංහබාහු සිංහයාට විදින තැන
ඔහු "ආවා, විද්දා"නෙමෙයි.

සිංහබාහු පියා මරන්න එන්නෙ
සිංහයා කෙරෙහි ද්වේශයෙන් නෙමෙයි.
රටේ ජනතාවට කරන හානිය නිසයි.
පියා එන්නෙත් අඹු දරුවන්ට ඇති ස්නේහය නිසයි.
සිංහබාහු දැක්කම සිංහයාට අවශ්‍ය
සිංහබාහු වැළඳ ගන්නයි.
ඒ ස්නේහයෙන් ඔහුගෙ හිත මොළොක් වෙනවා.
ඔහු හිත දැඩි කරගන්නේ ආයාසයෙන්.
පියාගෙ මෛත්‍රිය නිසා හී සරය වදින්නෙ නැහැ.
ඔහු නැවත විදිනවා.
ඒ හී සරය වදින්නෙත් නැහැ.

කෝපය නිසා මෛත්‍රිය බිඳීමෙනුයි
හී පහර වදින්නෙ.

මේ මොහොත ...
අපි විතරක් නෙමෙයි,
අපේ අවුරුදු හයේ හතරෙ දරුවො දෙන්නාත්
මේ සිදුවීමෙන් සසල වෙනවා..
බලන හැම දවසකම
දෑසින් කඳුළු එන තරමට
අපි සසල වෙනවා..
ඒ සසලවීම අපිට දැනෙන්නෙ
දෙමව්පියන් හා දරුවන් විදියට
අපි ඒ ගැටුම විවිධාකාරයෙන්
ජීවිතකාලය පුරා
අත් විඳින නිසයි.


ලයනල් වෙන්ඩ්ට් එකේ සිංහබාහු තියනවා.
එදාටත් බලන්න හිත කියනවා.

1 comment:

  1. Indunil Prasanna says...........
    වයස අවුරුදු 17 වෙන මගේ වඩිමල් පුතා මාත් එක්ක ලොකු වාදයක් උනා අද උදේ. මිනිහට කෙල්ලෙක්සෙට් වෙලා මිනිහා දැන් මට එක එක බොරු කිය කියා සල්ලි ඉල්ලනව. මම දන්නව ගොනා හැරෙන්නෙ පොල් පැලේට කියල. ඔය වයසෙදි මමත් ඔහොම කල නිසා. ඉතින් මම සල්ලි දෙන කොට මේකගෙන් අහනව මොකටද ඕන කීයක්යනවද කියල මම මේකට කියනව දැන් බිල් ගෙනත් මට පෙන්නන්න කියල කොහොම හරි මේක මාටිය පාර ගහනව මගෙන් නැත්නම් අම්මගෙන්..ඔහොම ගිහින් මම මේකට ලෙඩේ ඇද්ද සල්ලි ඉල්ලද්දි මූ අහණව මගෙන්
    "තාත්තෙ කන්න බොන්න දීපු එක ඇරෙන්නෙ ඔයා මොනවද අපිට කරල තියෙන්නෙ" කියල

    මම මොනවත්ම කිව්වෙ නෑ මම සද්ද වහන් පැත්තකට උනා. වාහනේ ට නැගල පැත්තකට ගිහින් කදුලු ආපුව පහ වෙලා යනකන් උන්නා.

    ඒ මගේ පුතා මට කතා කළ විදිය ගැන දුක හිතිල නෙවෙයි

    මම මගේ තාත්තට කතා කල විදිය ගැන හිතල

    තාත්ත සහ මම අතර කුඩා කාලයේ දැඩි බැදීමක් තිබ්බත් වයස 13-14 පස්සෙ ඒ බැදීම නැතිවෙලා ගියා නහර කාරන් දෙන්නෙකුට එක ගෙදර ඉන්න බෑනෙ ඉතින්. තාත්තට මාව පේන්න බෑ මට තාත්ත පේන්න බෑ.

    මම දවසක් තාත්තගෙ වාහණය අරන් ජෙවිපි කලබල කාලෙ එලියට ගියා මට වයස 18 වගේ. ගෙදර ආවගමන් ගුටි වරුසාවයි.

    මම ඇහුව තාත්තගෙන්
    "තාත්තල හම්බකලේ යනකොට ගෙනියන්නද ? ලමයි හැදුවනම් තමන්ට තියන දේවල් උන්ටත් බුක්ති විදින්න දෙන්න ඕන "
    කියල

    එදා මගේ තාත්ත මම අද සද්ද නැතුව උන්න විදියටම සද්ද නැතුව ඉදල වාහනය අරමන් ගෙදරින් බැහැලගියා

    මම හරි පොර වගේ උන්න ආ මම තාත්තට දුන්න කට උත්තර නැති වෙන්න කියල

    අද මම හිතන විදියට මගේ තාත්ත ගැන එදා මගේ තාත්ත එයාගේ තාත්තා ගැනත් හිතන්න ඇති

    පුතේ මම උඹ මට දවසක ඔහොම දෙයක්ම්කියන බව මම දැනන් උන්න මම ඇඩුවෙ උබ මට කියපු දේට නෙවෙයි මම.මගේ තාත්තට කියපු දෙයට. උඹ උඔඅන් වෙලාවෙ මගේ ඇස් දෙකට උඹ දැක්කම.තමා මම දැන්ගත්තෙ මගේ තාත්තට මම උපන් වෙලාවෙ කොහිම හැගීමක් එන්න ඇත්ද කියල. එදා තමයි මම තාත්තට ආදරය කරන්න ගත්‍ තේ. එදා ඉදල සිදුවුනු හෑම සිදුවීමක්ම මායි මගේ තාත්තයි අතර සිදුවුනු සිදුවිම් වගේ ගලාගෙන යද්ද්දි මම අද උන දේ දැකල එය බලපොරොත්තුව හිටපු දෙයක්
    නමුත් කදුල නතර උනෙ නෑ...

    මම දැන් දන්නව තාත්තෙ මම එදා එහෙම අහපු වෙලාවෙ තාත්තට මම ගැන කිසිමන්තරහක් ඇති නොව්න බව මම ගැන.

    මම දන්නව දැන් මම උපන් වෙලේ ඉදන් තාත්ත මැරෙන් මොහොත දක්ක්ව තාත්ත ගත්ත හුස්ම පවා ගත්තෙ මම වෙනුවෙන් කියල එහෙම කල තාත්තට මට මොනවද කියන්නතියෙන්නෙ නිශ්ශබ්දව පැත්තකට යන එක හැරෙන්න....එදා මම ඔබව නිශ්ශබ්ද කරල ලබපු ජය ග්‍රහණය මගේ ජීවිතේ ලබපු ලොකුම පරාජය කියල දැනෙන්නෙ දැන් තාත්තෙ...ඒ පරාජය මම මැරෙන කල් විදිනව මොකද අද ඔබ මගේ ලග නෑ...

    සමහරවිට ඔබත් එවැනි පරාජයක් විදින්න ඇති
    මගේ පුතාත් එවැනි පරාජයක් විදී දවසක
    මේක ලෝක ස්වභාවය වෙන්න ඇති

    ReplyDelete