20130203

සේකර ඇසුරෙන් බිඳක්

මහගමසේකර (1929 – 1976) අප හිතවතාණන්
සොයා ආපසු යාමේ ගමන



එක්දහස් නවසිය පනස් නවය හෝ හැට පමණ කාලයේදී මම කොළඹ ආනන්ද මහා විද්‍යාලය පැත්තේ සිට පුංචි බොරැල්ල පැත්තට පයින් ඇවිදගෙන යමි. පුංචි බොරැල්ල හන්දියේ වම් පැත්තේ තිබූ මහා පරණ ගොඩනැඟිල්ල හඳුන්වන ලද්දේ නොරිස් හෝටලය යනුවෙනි. මෙහි පසුපස එක් කාමරයක උත්තුංග දේහධාරී ගුරුතුමෙක් නේවාසිකව සිටියේය. ඔහු සරමකින් හා බැනියමකින් සැරසී කාමරයේ සිටින අතර එළියට පහළියට ගියේ දිග ජාතික ඇඳුමකින් සැරසීය. සිනාමුසු මුහුණින් යුතු මේ මහා පුරුෂයා දෙස බලා කිසි කෙනකුට එක්වරම ඔහු රැස්වළලු රැසකින් සංයුක්ත නිර්මාණ ශිල්පියෙකැයි කිව නොහැකිය. ඔහු පුංචි බොරැල්ලේ සිය හෝටල් කාමරයේ සිට සේවා ස්ථානය වූ රාජගිරියේ හේවාවිතාරණ විද්‍යාලයට ඇතැම් දිනෙක ගමන් කළේ පයින් ම ය. මේ මහගමසේකරයන් ය.
ඔහු එකල ‘සේකරගේ ජරමර’ යනුවෙන් කුඩා කාටූනයක් ලංකාදීප පුවත්පතට ඇන්දේය. අතිරේක වශයෙන් ඉරිදා ලංකාදීප පුවත්පතට කයිකතන්දර හා පරිවර්තන සැපයුවේ ය. ඔහු පාසල් ගුරුවරයෙකු ව සිටි අවධියේ නාට්‍යකරණයට යොමුවිය. ඔහුගේ ‘ස්වර්ණතිලකා’ නාට්‍යය බොරැල්ලේ තරුණ බෞද්ධ සමිති ශාලාවේ පෙන්වූ අවස්ථාව මට අමතකව නොයේ.
මට වඩා වැඩිමහල්ලෙකු වූ මහගමසේකරයන්ගේ ඇසුර මට ප්‍රියමනාප වීය. ඔහු පාලි, සංස්කෘත හා සිංහල භාෂාවල නිපුණත්වයක් ලබා තිබූ අතර ඉංග්‍රීසි පොත් කියවා ඒවායේ සිංහල පරිවර්තන සිංහල පාඨක ජනතාව අතට පත්කිරීමේ කාර්යයට උරදී සිටියේ ය. එකල ඔහු ප්‍රිය කළ කතුවරුන් දෙදෙනකු වූයේ ඛලීල් ජිබ්රාන් සහ රබීන්ද්‍රනාත් ඨාකුරයන් ය. ඔහු, ඔවුන්ගේ නිර්මාණ කෘති පරිශීලනය කළේ ඉංග්‍රිසි භාෂාව ඔස්සේය. ඔහුගෙන් ඉගෙනුම ලද හේවාවිතාරණ පාසලේ සමහර සිසුහු තවමත් අවට ජීවත්වෙති. ඉන් එක් අයෙකි, මගේ සමීප හිතවතකු වන ආරි මල්ලි හෙවත් ආරියදාස වික්‍රමගේ.
”සේකර සර්, හරි අපූරු මනුස්සය” ආරි මල්ලි කියයි.
”ඇයි ආරි මල්ලි?”
”ඔන්න අපි කීපදෙනෙක් හිටිය සේකර සර්ට හුඟක් ගරු කරන. සේකර සර් මොකක් හරි වැඩක් කරවාගන්ට උවමනා වුණාම මට තමයි හුඟාක්ම කතාකරන්නේ. හැමදාම වාගේ තේ විවේකය වෙලාවෙදි සේකර සර්, මට කතාකරනවා. ආරි මෙහෙ එන්න. ඉතින් මම යනවා. උඩ සාක්කුවට අත දාල රුපියලක් දෙකක් අතට ගන්නවා. ඊළඟට හෙමින් වටපිට බලලා කියනවා “ආරි, ඉක්මනට ගිහිල්ල ප්ලේන්ටි එකකුයි, වඩේ එකකුයි, ත්‍රිරෝස් එකකුයි ගේන්න”. මම දූ..වල ගිහින් ඒවා සේකර සර්ට ගෙනත් දෙනවා.” ඒ සියල්ල සේකර නම් වූ සැහැල්ලු නිහතමානී මිනිසාගේ හැඩරුව පෙන්වන්නකි. ඔහු බොහෝ නිර්මාණ කාර්යයන්හි නියැලුණේ සැහැල්ලු සිතිනි.
මගේ ප්‍රථම නවකතාව “සෙවණැලි ඇද මිනිස්සු” පිටපත මම මහගමසේකරයන්ට කියවීම සඳහා පසු කාලයේ ඔහුගේ නිවස පිහිටි ගම්පහ ශ්‍රී බෝධි පාරට ගියෙමි. මට, මගේ නවකතාව කියැවීමට උවමනා කළේ අන් කිසිවක් සඳහා නොව, කවරයේ චිත්‍රය ඔහු ලවා අන්දවා ගැනීමටය.
”අද මෙහෙ නතර වෙලා යන්න”යි ඔහු කීය. තනිකඩයකුව සිටි මට එය කිසිදු අපහසුවක් නොවීය. කවරයේ චිත්‍රය කෙසේ නිම විය යුතුදැයි ඔහු මගෙන් ප්‍රශ්න කළේ නැත. ඔහු සුදු කඩදාසියක් ගත්තේය. ඒ මත පන්ති කාමරයක දිස්වන පරණ පන්නයේ කළු ලෑල්ලක් බඳු කොටුවක් ඇන්දේය. මේ කාර්යයේ නියැළී සිටින විට වැස්සක් වැස්සේ ය. අපි ඔහුගේ නිවසේ ඉස්තෝප්පුවේ ඉඳගෙන සිටියෙමු. වහලයේ උළු කැටයක් බිඳීගොස් ඇති නිසාදෝ දිය බින්දුව බින්දුව බිමට වැටෙන හැටි අපට පෙනිණි. ඔහු තමන් අඳිමින් සිටි චිත්‍රය ඒ දිය බිඳු වැටෙන තැනට ඇල්ලුවේය. දිය බිඳක් දෙකක් වැටීමෙන් කඩදාසිය තරමක් බොඳවී තිබිණ. ඔහු ගිනිකූරක් අතට ගත්තේය. ඉන්පසුව ඒ ගිනි කූරේ තුඩගින් කව කීපයක් ඇන්දේය. “මේක හොඳද?”යි සිනාසෙමින් කී සේකර තම චිත්‍රය නිමකර ඇති බව ඉඟි කර සිටියේ එලෙසිනි.
”පොතේ නමයි, කතුවරයගේ නමයි, මුද්‍රණය කරල මේක උඩින් අලවන්න”යි ඔහු කීය. සේකර ලවා පොත් කවරවලට චිත්‍ර අන්දවා ගැනීම මේ ආකාරයෙන් සිදුවූ අවස්ථා බොහෝ විය. ඔහුගේ එක් සිත්තමක් මා පළමු වරට දුටුවේ අපේ මහගෙදරදීය. අපේ එක් මාමා කෙනකු සේකරයන්ගේ හිතවතකුවී සිටිය බව මම දැනගතිමි. මගේ මාමාට සේකරයන්ගෙන් ලැබුණු තෑග්ගක් වූයේ ඔහු නිට්ටඹුව ගුරු අභ්‍යාස විදුහලේ ඉගෙනුම ලබන කාලයේදී අඳින ලද සිතුවමකි. පසු කාලයේ මම ඒ සිතුවම සෙව්වෙමි. එහෙත් මට දැන ගැනීමට ලැබුණේ එය එල්ලා තිබූ තැනින් අතුරුදහන් වී ඇති බවය. මගේ මාමාගේ හිතවතකු හෝ සේකර රසිකයකු එය එතැනින් උස්සන්ට ඇතැයි සිතා මම සිත සනසා ගත්තෙමි.
මා මිත්‍ර සේකරගේ ඇසුර වඩාත් ලබාගනු සඳහා මම ඇතැම් දිනෙක රදාවානේ ඔහුගේ මහගෙදරට ගියෙමි. එකල ඔහුගේ මවත් පියාත් ජීවත් ව සිටියහ. බොහෝ රෑ වෙනතුරු කතාබහ කරමින් හිඳින අපි එළිවෙන යාමේ නිවසට ගියෙමු. නිදාගෙන සිට අවදිවන මම, සේකර මිතුරා කොහිදැයි සොයා බලමි. ඔහු අලුයම් යාමේදීම ගෙදරින් නික්ම ගොස්ය. මෙසේ ඔහු නොමැතිව සිටි දවසක ඔහු කොහි යන්නට ඇද්දැයි මම විමසුවෙමි. එවිට අම්මා මෙසේ කීවාය.
”අද මගේ හිතේ තිරික්කල රේස් එකක් තියෙනවා. ඔය ඉතින් පුරුදු වෙන්ඩත් එක්ක යන්ඩ ඇති”
ඔහු “නොමියෙමි” කාව්‍ය සංග්‍රහය ලිවීමට බොහෝ කාලයක් ගත කළේය. මට මතක ඇති හැටියට නම් සේකරයන් අතින් ලියූ කරදාසි කොළ පන්සියයක්වත් මුල් අත් පිටපතේ තිබෙන්නට ඇත. “පුංචි රාජකාරියක් පවරන්ට වෙලා තිබෙනවා” ඔහු වතාවක් මට කීය.
”මොකක්ද?”
”මගේ මේ කවි පොතට පෙරවදනක් ලියල දෙන්න”
මම ඔහු හා එක්වී පිටුවෙන් පිටුව “නොමියෙමි” කියවූයෙමි. මගේ පෙරවදන ඊට එක්වූයේ ඒ අයුරිනි. ඔහු ලියා තිබූ ඇතැම් දේ අප දෙදෙනාගේ සමූහ කියවීමෙන් පසුව කැපී කෙටී ගිය අයුරු ද මට සිහිපත් වේ.
සේකරයන් ගුවන් විදුලි සේවයේ සංගීත අංශයේ නිබන්ධ සම්පාදකවරයා වීම අහම්බෙන් සිදුවූවකැයි මම සිතමි. එහෙත් ඒ අහම්බය විස්මයජනක ප්‍රාතිහාර්යයකි. ඔහු සංගීත අංශයට පිවිසීමත් සමඟම සේකර – අමරදේව සුසංයෝගය මත අපූරු නිර්මාණ සමුදායක් බිහිවූ බව අමුතුවෙන් කිව යුතු නොවේ. එහි අග්‍ර ඵලය වූයේ ‘මධුවන්තී’ ය.
’මධුවන්තී’ ගීත සංග්‍රහය පසුබිමේ ඇත්තේ මහගමසේකර නමැති උගතා කලක් මුළුල්ලේ උකහා ගත් ඥාන දායාදයේ බිඳක් පමණකි. ඔහු ලියා පසෙක තැබූ බොහෝ නිර්මාණයන් වෙනත් වෙසක් ගෙන ‘මධුවන්ති’ තුළින් ජනගත විය.
”මම ඕමාර් ඛයියම්ගේ රුබයියාත් සිංහලට පරිවර්තනය කෙරුවා” යි වතාවක් මහගමසේකර මට කීය.
”ඉතින් පළකරන්නේ නැත්තේ ඇයි?” මම විමසුවෙමි.
”දැනට සිංහල පරිවර්තන දෙකක්ම තියෙන නිසා මගේ එකෙන් වැඩක් වෙයිද මන්දා”යි ඔහු කීවේ සිනාසෙමිනි.
මහගමසේකර තම ‘රුබයියාත්’ පරිවර්තනය ප්‍රකාශයට පත් නොකළේ මන්ද යන්න මට තවමත් ප්‍රශ්නයකි. ඔහු ඒ පරිවර්තනය කරන්නට ඇත්තේ පරිවර්තන පුහුණුව සඳහා විය යුතු යයි මම නිගමනය කරමි.
’සිළුමිණ’ පුවත්පතේ කලක් විශේෂාංග කතුවරයකු වූ අභාවප්‍රාප්ත බෙනඩික්ට් දොඩම්පෙගම, සේකරගෙත් මගෙත් කුළුපග මිතුරකුව සිටියේය.
”සේකරගෙන් මම කෙටිකතාවක් ලියවා ගත්තා” යි බෙන් දිනක් මට කීය. ඔහු මට එහි පිටපතක් ලබා දුන්නේය. මම කියෙව්වෙමි. ඉන්පසුව බෙන් කිවූ දෙයක් මට මතකය. “අපේ සේකර ෆ‍්‍රාන්ස් කෆ්කාට වඩා හොඳයි නේද?”
මහගම සේකරයන් ජර්මන් ලේඛක ෆ්‍රාන්ස් කෆ්කාගේ කෙටිකතා කියවා තිබුණාදැයි මම නොදනිමි. එහෙත් මම අදත් විශ්වාස කරන්නේ ‘පුඤ්ඤා’ නමැති ඒ කෙටිකතාව හැම අතින්ම උසස් ගණයේ නවීන නිර්මාණ කෘතියක් බවයි.

No comments:

Post a Comment