20130114

සුගත් නම් වූ ඔහු – ධර්මසිරි බණ්ඩාරනායක


  සිනමාවේදී ධර්මසිරි බණ්ඩාරනායක ත‍්‍රිමාන සඟරාව – 2008 නොවැම්බර් – දෙසැම්බර්
---------------------------------------------------------















මං බලපු පළමුවැනි නාට්‍යය තමයි ජේ. සෙල්වදෝර්ගෙ ‘ගොඩෝ එනකං’. ඒක බැලූවට මට කිසිම දෙයක් තේරුණේ නැහැ. නාට්‍ය කියන්නෙ මට තේරෙන්නෙ නැති දෙයක් හින්දා මං ඒක තේරුම් ගන්න  ඕන කියලා මට ඒ නාට්‍යය කියා දුන්නා. මම නොදන්න දේ තේරුම් ගන්න එදා ඉඳලා උත්සාහ කළා. ඊළඟට මං කළුතරදි ගියා සුගතපාල ද සිල්වාගේ ‘තට්ටු ගෙවල්’ නාට්‍යය බලන්න. මං සුගතපාල ද සිල්වා ගේ නාට්‍ය බලන්න පෙළඹුණේ ටෝනි රණසිංහ හින්දා.
ටෝනි සිනමාවට ආවට පස්සෙ එයාව නාට්‍යයකින් හැබැහින් දකින්න අපි හරියට උත්සාහ කළා. ටෝනි හුඟක් චිත‍්‍රපටවල අත් දිගට දාලා හරි, ඉරි ෂර්ට්, කලිසමට යට කරලා, උරහිස පැත්තකින් උස්සලා කතා කර කර යනකොට හරිම ලස්සනයි.

ටෝනිගෙ කොණ්ඩෙ ගාමිණි ෆොන්සේකාගේ වගේ
කර්ල් නැති අයට පීරන්න පුළුවන් කට් එකක් වුණා. බාබර්ලා ටෝනි කට් එක කපනවද කියා අහන්න තරම් ඒකට පුරුදු වුණා. ‘තට්ටු ගෙවල්’ ටෝනි හිටපු නාට්‍යයක් නිසා රුපියලේ ටිකට් එකකතුත් අරගෙන කළුතර ටවුන් හෝල් එකේ නාට්‍යය බලන්න වාඩි වුණා. නාට්‍යය පටන් ගත්තා. නාට්‍යය ඉන්ටවල් වෙනකං ගියා. නමුත් ටෝනි නාට්‍යයේ හිටියෙ නැහැ. රඟපාන කෙනෙකුට මිනිස්සු හූ කියන්න ගත්තා. ඔහු හීන්දෑරි තට්ටෙ තියෙන මනුෂ්‍යයෙක්. මාත් ගියේ ටෝනි බලන්න. මිනිස්සු හූ කියන පාරට මාත් ඔවුන් එක්කම හූ කිව්වා. පස්සෙ මං දැනගත්තෙ මං හූ කියලා තියෙන්නෙ සුගතපාල ද සිල්වාට. ටෝනි කළුතර ෂෝ එකට ආවෙ නැති නිසා ටෝනි වෙනුවට එදා ඇඳලා තියෙන්නෙ සුගත්. හිතාගන්න කොහොමට ඇත්ද කියලා. මං සුගතපාලද සිල්වා මුලින් අඳුනගන්නෙ ඔහුට හූ කියලා. ඒ නාට්‍යය තමයි මං බලපු දෙවෙනි නාට්‍යය. එදා මං හිතුවා අල්ලන්නෙ නැති නාට්‍යයකට හූ කිව්වට කමක් නෑ කියලා. එදා සුගත් මට ඒක කියා දුන්නා.
ඊළඟට මං හොරණ විද්‍යාරත්න පාසැලට යන අතරෙ, අරුන්දතියෙ ‘හරිම බඩු හයක්’ බලන්න ගියා. ඒක පෙන්නපු දවසෙ මට හරිම සතුටුයි. ඒකෙ ටෝනි හිටියා. නවනන්දන විජේසිංහ, ජී.ඩබ්ලිව්. සුරේන්ද්‍ර, පේ‍්‍රමා ගනේගොඩ ඒකෙ රඟපාපු නිසා මං ආශාවෙන් ඒක බැලූවා. ටෝනි හැබෑවටම මං ඒකෙ දැක්ක නිසා මට නාට්‍ය මැජික් එකක් වගේ පෙනුණා. නළු නිළියෝ අපි වාඩිවෙලා හිටපු පුටු අතරින් ඇවිදගෙන ගිහින් වේදිකාවට ගොඩවෙන කොට මට පුදුම හිතුණා. ටෝනි වේදිකාවට ගොඩවුණේ අපිට අතගාන්න පුළුවන් ළඟින් ගිහින්. එදා සුගතපාල ද සිල්වා රඟපාපු නැති නිසා නාට්‍යය හරි ෂෝක්.

ඊට පස්සෙ මං බැලූවෙ හුණුවටය. හුණුවටය බලලා අපි පාසලේ නාට්‍ය කරන්න පටන් ගත්තා. ඔය අතරවාරෙදි සුගතපාලද සිල්වාගේ ‘හිත හොඳ අම්මණ්ඩි’ බැලූවා. මට ඒක ඇල්ලූවෙ නෑ. ශි‍්‍රයානි අමරසේනත්, සමන් කොතලාවලත් ඒකෙ රඟපෑවා. ‘බැරි සිල්’ වලින් පස්සෙ කේමදාස මේ නාට්‍යයේ මියුසික් කළා. කොහොම වුණත් එතැන ඉඳලා සුගතපාල ද සිල්වා හොඳ නාට්‍යකරුවෙක් කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය වුණේ නැහැ. සුගත්ගෙ නාට්‍ය වල නළුවො හරිම දක්ෂ විදිහට රඟපානවා. සුගත් ඉහළ නාට්‍යකරුවෙක් වග අපි පිළිගත්තෙ අපේ පාසැල් කාලයේ ඉඳලා.
අපි ‘නිල් කට්රොල් මල්’ බලන්න ඇවිල්ලා ටිකට් නැතිව ආපහු යනකොට සුගත් දුවලා ඇවිල්ලා අපෙන් ඇහුවා ඔයාලා කොහේ ඉඳලද ආවෙ කියලා. අපි කිව්වා හොරණ විද්‍යාරත්නෙ ඉඳලා ආවෙ කියලා. විද්‍යාරත්නෙ කොල්ලන්ට මං ආදරෙයි කියලා අපිව ටිකට් නැතිව ඇතුළට දැම්මා.
ඔය අතරෙ මම සුදර්ශියෙ නාට්‍ය පාඨමාලාවකට ඇතුල් වුණා. ඒක මෙහෙයුවේ දයානන්ද ගුණවර්ධන. රුපියල් සීයක් දීලා මං සතියක නේවාසික පාඨමාලාවක් කළා සුදර්ශියෙ. ඒකෙ නාට්‍ය රචනය හා අධ්‍යක්ෂණයට ඔන්න සුගතපාල ද සිල්වා ආවා. ඔහුගේ අදහස් අහගෙන ඉන්න කොට මේ නාට්‍ය අධ්‍යක්ෂවරයාගේ නාට්‍යයක ජීවිතේ කවදහරි දවසක චරිතයක් රඟපාන්න අවස්ථාවක් ලැබුණොත් කියලා හැමවිටම හිතුණා. හෙන්රිගෙ හුණුවටය බලපු දවසෙත් මට එහෙම හිතුණා. දවසක් මම වෙනත් වැඩකට ගුවන් විදුලියට ගිය වෙලාවක දැක්කා සුගතපාල ද සිල්වාත් එහි ඉන්නවා. එහිදී දයානන්ද ගුණවර්ධන සුගත්ට මාව හඳුන්වලා දුන්නා නාට්‍ය වලට ආස විද්‍යාරත්නෙ කොල්ලෙක් කියලා. මෙයාව ‘බක්මහ දීගේ’ පේ‍්‍රමදාසට ගන්න හිතාගෙන ඉන්නවා කියලා. මගෙ අම්මෝ මට නින්ද ගියෙ නැහැ. බක්මහ දීගෙ මං අනුලා කරුණාතිලකටයි, අයිරාංගනී සේරසිංහටයි මැදිවෙලා සම්පූර්ණ විකට චරිතයක් වගේ එකක් කළා. ඊට පස්සෙ හේමසිරි ලියනේගේගෙ ‘සුදු ඇතා’ නාට්‍යයේ රඟපෑවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය සුදු අලියෙක් විදිහටයි අපි රඟපාලා පෙන්නුවෙ.
කොහොමහරි ඒ නාට්‍යය පිට දාලා අපිව පාසලෙන් අයින් කළා. ඒ අයින් කරපු එක් යාළුවෙක් තමයි ඩග්ලස් සිරිවර්ධන. ඊට පස්සෙ මම කසාද බැන්දා රැකියා විරහිතවම. මේ කාලයේ 71 කැරැල්ල සෙට් වුණා. මට ලිපිකරු රැකියාවක් ලැබුණා. මේ කාලයේ සුගත් නාට්‍ය කිහිපයක්ම කළා. මම දවල්ට රස්සාව කරලා හවසට නාට්‍ය බලන්න යනවා. මේ කාලයෙදි හෙන්රි ජයසේන මට කතාකරලා කිව්වා එයාගෙ ‘මකරා’ නාට්‍යයේ ‘ලාන්ස්ලොට්’ චරිතය මට දෙනවා කියලා. මට ස්විප් එක්ක ඇදුනා වගේ. මේ අතරෙදි තමයි සුගත්ගෙ ’දුන්න දුනුගමුවේ’ ආවෙ. එය කම්කරු පන්තිය විසින් පාලක පන්තියට ගහපු බෝම්බයක්. විමල් කුමාර ද කොස්තා, ඩබ්ලිව්.ජයසිරි, යූ.ආරියවිමල්, මර්සි එදිරිසිංහ, මාලනී වීරමුණි, දයාතෙන්න කෝන්, ගේ‍්‍රස් ආරියවිමල්, පියසේන අහංගම වෙඩි වගේ රඟපෑවා. පේ‍්‍රක්ෂකාගාරයෙන් පුදුම ප‍්‍රතිචාරයක් ලැබුණා. සමසමාජ ව්‍යාපාරය අපිව පාවලා දෙනකොට සුගත්ගෙ දුන්න අපේ කම්කරු සමාජයේ කොන්ද කෙලින් කළා. මනමේ කුමරියට වඩා මං ආදරේ හුණු වටයේ ගෲෂාට. නමුත් පියෙක් විදිහට සිංහයාගෙ වේදනාව අද මට හැම මොහොතෙම දැනෙනවා. බන්දුල විතානගේ ‘බෙකට්’ නාට්‍යය කරද්දි බෙකට්ගෙ චරිතෙට මාව තෝරාගත්තා. බෙකට් පුහුණු වීම් අවසාන කාලයෙදි සුගත් ආවා පුහුණුවීම් සඳහා උපදෙස් දෙන්න. මේ කාලයේ මට දැණුනෙ පුදුම වේදනාවක්. ඒ වේදනාවට මුල සුගතපාල ද සිල්වා. ඔහු ලූෂන් බුලත්සිංහලට විතරක් උපදෙස් දෙනවා. මට උපදෙස් දෙන්න ආවෙ නවනන්දන විජේසිංහ. මට මාරයා නැග්ගා. අයිසෙ තමුසෙ තමුසෙගෙ වැඩක් බලාගන්නවා. මම නවනන්දනට කිව්වා. සුගත් ඊට වගකිව යුතුයි. උළෙලේ හොඳම නළුවා විය යුත්තේ ධර්මසිරි බණ්ඩාරනායක කියන තීන්දුවට අනු මණ්ඩලයේ බොහෝ අය විරුද්ධ වුණු නිසා අනුමණ්ඩලයේ සභාපති චාල්ස් අබේසේකර සිය ධූරයෙන් ඉල්ලා අස්වුණා. ප‍්‍රතිපල ප‍්‍රකාශයට පත්වුණා. ‘රතු හැට්ටකාරී’ නාට්‍යයේ ජයලත් මනෝරත්න උළෙලේ හොඳම නළුවා වුණා. ලූෂන්ටත්, මටත් කුසලතා සම්මාන ලැබුණා. ලූෂන් එදා ? ලූම්බිණියෙදි වලියක් ඇද්දා. මම සභාපතිගෙ අත්සනත් නැතිව දීපු සහතිකේ අරගෙන කෝච්චියෙන් ගෙදර ගියා. බන්දුල, සුගත්ව ගේන කොට මට හෙන්රිව ගෙනාවා නම් වැඬේ කැතයි නේද? මං අහන්නෙ ඔබගෙන් නෙවි. ඒ වරද මං අද දක්වා කරලා නැහැ. ඒක මට ඉගැන්වුවේ සුගත්.

මේ කාලෙදි සුගත්ගෙ දුන්නෙන් කිහිපදෙනෙක්ම වලියක් දාගෙන අයින් වුණා. මටත්, හෙන්රිටත්, ලූෂන්ටත්, සොමීටත්, ජැක්සන්ටත් සුගත්ගෙ නාට්‍යයෙ රඟපාන්න චාන්ස් එක ආවෙ ඔහොම. මගේ ඉස්කෝලෙදි තිබූ ප‍්‍රාර්ථනාව ඔටෝමැටිකලි හරි ගියා අර අයින් වූ කට්ටියට පිං සිද්ධ වෙන්න. නාට්‍යකරුවෙක් විදිහට සුගත්ට රඟපාලා පෙන්වන්න බැරි වුණාට ඔහුට නාට්‍ය අධ්‍යක්ෂවරයෙක් විධියට ඔහුගේ ඔළුවෙ තියෙන චරිතය දක්ෂ ලෙස අපි තුළින් ගන්න ඔහුට හැකියාවක් තිබූ බව ඒ කෙටි පුහුණු වීම් කාලෙදි මට තේරුණා. ඒක තමයි සුගත්ගෙ එඩිතරකම. එතැන් සිට සුගත් මට මචං කියන්න ගත්තා. බොන්න ඉඳහිට එකතු වෙන යාළුවෙක් බවට පත්වුණා. නමුත් මැරෙනකං අපි සුගත්ට මචං කිව්වෙ නැත්තෙ අපිට ඔහු වටිනා ගුරුවරයෙක් නිසා. අද එහෙම නං කොහොමද?

මමත් ටික ටික නාට්‍ය පිටපත් ලියන්න පටන් ගත්තා. මං ලියපු පිටපතක් දුන්නා සුගත්ට බලන්න. මචං උඹේ පිටපතේ ඉරිසියා හිතෙක ඩයලොග් වගයක් තියෙනවා කියලා ඔහු කිව්වා. මං ඒ ප්ලේ එකට නමක් දාන්න කියලා සුගත්ටම කිව්වා. ඔහු බස් ටිකට් එකක නම ලියලා එව්වා. ඒකෙ ලියලා තිබුණෙ ඒකා-අධිපති කියලා. මං ඒකා-අධිපති පෙන්නුවා. සුගත් මට ලියලා එවලා තිබුණා බය නැතිව ඉස්සරහට පලයන් කියලා. මේ මොහොතෙදි සුගත්ගෙ රස්සාව නැතිවුණා. මං ඔහුගෙ දුන්න රඟපෑම වෙනුවෙන් ඊට පස්සෙ මුදල් ගත්තෙ නැහැ. ඒක දැනට ජීවතුන් අතර ඉන්න සුගත්ගෙ බිරිඳ දන්නවා. සුගත්ට උදව් කරන්න වෙන ක‍්‍රමයක් අපිට තිබුණෙ නැහැ. දුන්නෙ ශෝචනීයම සිදුවීම වුණේ කැළණිය විශ්ව විද්‍යාලයෙදි. එදා හෙන්රි ආවෙ නෑ. දුන්නෙ හෙන්රි කළේ කම්පැනියෙ ලොක්කගෙ රෝල් එක. වහස පහාමාර වෙනකොට සුගත් කම්පැනියෙ ලොක්කට ඇන්දා. ටයි පටිය දාලා, කලිසම යට කළාට දාලා හිටියෙ සෙරෙප්පු. නාට්‍යයේ භාගයක් යනකොට සුගත්ගෙ උත්සාහය තුළින් මට පෙණුනෙ කොම්පැණියෙ ලොක්කා වගේ නෙමෙයි එහි කශල ශෝධකයා විධියට. වේදිකාවෙ රඟපාන කොට මම දැක්කා මේ මනුෂ්‍යයා විඳින දුක. සුගත් වේදිකාවට නගින හැම වෙලාවෙම වෙව්ලනවා. කටහඬත් වෙව්ලමින් ඔහ ුනාට්‍ය ගෙනියන්න දරපු උත්සාහය මට දුන්න සදහටම එපා කළා. ‘සුගත් දුන්න නවත්තන්න, ඔයා මේ රටේ ඔළු තියෙන එවුන්ගෙ ඔළුව හදපු මිනිහෙක් ඇයි මේ විදිහට දුක් විඳින්නෙ’. මං නාට්‍යයෙන් අයින් වුණා. කැළණිය විශ්ව විද්‍යාලයේ හැම කෙනෙක්ම දැක්කා ඔහු තුළ තිබූ උත්සාහය. හැමකෙනෙක්ම නාට්‍යය අවසානයේ නැගිටලා ආචාර කළා. නාට්‍ය ඉවර වෙනකං ඔහුට කළ ගෞරවයක් විධියට සද්ද කළේ නැහැ. මට මතක් වුණේ කළුතර තට්ටු ගෙවල් බලද්දි සුගත්ට හූ කිව්ව හැටි.

මං චිත‍්‍රපට තිර රචනයක් ලියලා සුගත්ට බලන්න දීලා නමක් දාන්න කිව්වා. ඔහු සතුට ප‍්‍රකාශ කරලා නමක් දැම්මා. ඒ තමයි, ‘තාත්තෙ අපි ගෙදර යං’. ඒ පිටපතේ තිබුණු අන්තිම වාක්‍යය. මං ලූෂන් ලියපු ගීතයකින් අරගෙන ‘හංස විලක්’ කියලා දැම්මා. චිත‍්‍රපටය බලන්න සුගත්ට ගෞරවයෙන් ඇරයුම් කළා. සැවෝයි හෝල් එකට එන්න කියලා. සුගත් චිත‍්‍රපටිය බලලා උඹ ඔහොම ඉස්සරහට පලයන් කිව්වා. උඹ දාපු නම වැඩේට නියමෙට ගැලපෙනවා කියලා කිව්වා. සුගත් චිත‍්‍රපටිය ගැන පත්තරේට පොඩි තීරු ලිපියක් ලිව්වා. ඒකෙ ලියලා තිබුණෙ හෙන්රිට මං පිටපත දීලා ඒකෙ රඟපාන්න කිව්වම ඔහු මට කියූ දේ. ඉලන්දාරියා ෆිල්ම් එකක් ඩිරෙක් කරන්න තමුසෙට තව කල් තියෙනවා. මේක ගිහින් ටයිටස් තොටවත්තට දීලා තමුසෙ ඇසිස්ට් කරනවා. හෙන්රි මට කිව්වෙ අන්න ඒ ටික. නමුත් හෙන්රි හංස විලක් රඟපාන්න ආවා. ඒ වසරේ සරසවි සම්මාන උළෙලේදි හෙන්රි ඒ චරිතෙට හොඳම සහය නළුවා සම්මානය දිනා ගත්තා. මගේ හංස විලක් ගැන එවකට හිටපු තරුණ මාක්ස්වාදී විචාරකයො ලිව්වෙ මේක චෙක් සහ පෝලන්ත චිත‍්‍රපටිවල අහක දාන කෑලි එකතු කරලා හදපු කබල් චිත‍්‍රපටියක් කියලා. එවකට දෙසතියට ඞී.බී වර්ණසිංහලා ලියූ දේවල් නිසා මං කලකිරිලා සුගත් හමුවුණා. මාව දිරිමත් කළේ සුගත්. ඔහු මට කතාවක් කිව්වා. සුගත් ‘සමනළයෝ’ කියලා චිත‍්‍රපටියක් කළාලූ. ඒකෙ කැමරාව ඞී.බී.නිහාල්සිංහ. නමුත් නිහාල්සිංහ චිත‍්‍රපටි සංස්ථාවෙ සභාපති වෙලා සුගත්ට කියලා තියෙනවා සංස්ථාවෙ නීතියට අනුව චිත‍්‍රපට අධ්‍යක්ෂ කියන සහතිකයක් නැතිව චිත‍්‍රපටි කරන්න බැහැ කියලා. මේක තමයි ධම්ම ජාගොඩටත් වුණේ. චිත‍්‍රපටි සංස්ථාව එහෙම නොකළා නම් සුගත්ලා, ධම්මලා චිත‍්‍රපටිකාරයො වෙලා. මේ කතාව ඔහු කිව්වෙ මාව දිරිමත් කරන්න. මම චිත‍්‍රපටිකාරයෙක් වුණේ සංස්ථාවට පිටින් බිහිවුණ නිසා.

 සුගත් ‘මරාසාද්’ හැදුවට පස්සෙ ඒ ගැන දවසක් මෙහෙම කිව්වා. ‘මචං මං බෝඩිංකාරයො, තට්ටු ගෙවල්, දුන්න කරන කොට හරිම නිර්භීතයි. හැම දෙයක්ම මං අල්ල ගත්තෙ ඉවෙන්. එතන සුගතපාල ද සිල්වා හිටියා. මරාසාද් කරන කොට සුගතපාල ද සිල්වාගේ ඔළුවට වෙන එවුන් ඇතුල් වෙලා ඉන්නවා. එක එකා කියන ඒවා ඔළුව ඇතුළට දාගත්තම තමන් තුළ ඉන්න හිතන්න පුළුවන් එකා නැති වෙනවා. ඊට පස්සෙ අළුත් පාරවල් හොයනවා. ඒ පාරවල් අර ඔළුවෙ ඉන්න එවුන්ගෙ’. ඒ කියමනේ ඇත්ත තේරෙන්නෙ දැන්. අද සුගත් ජීවතුන් අතර නැහැ. නමුත් අපි තුළ සුගත් සදහටම ජීවත් වෙනවා. ඒ ඔහු ඉතිරි කරලා ගිය දේ වැඩි නිසා.

මං කළේ සුගත් ගැන වර්ණනාවක් නෙමෙයි. ඔහු නැතිවීම අපිට පියෙකු නැතිවීම වැනියි. එදා හඳගමගෙ ‘හෙණ’ නාට්‍යය, නාට්‍ය උළෙලින් ඉවත් කළොත් මං මගේ ‘මරාසාද්’ ආරාධිත නාට්‍ය උළෙලින් ඉවත් කර ගන්නවා කියලා සුගත් කිව්වා. අඩි 5යි අඟල් 6ක් උස නැති වුණාත් එහෙම අභියෝග කරන්න පුළුවන් මහා පෞරෂයක් ඔහුට තිබුණා. මං මෙය අවසන් කරනවා සුගත්ගෙ යෙදුමකින්ම.

‘කුසල් සිත් ඇත්තෝ

තව කෙනෙකුගේ වුව

පින්කමක් දැක බිය නොවෙති’.
සිනමාවේදී ධර්මසිරි බණ්ඩාරනායක
ත‍්‍රිමාන සඟරාව – 2008 නොවැම්බර් – දෙසැම්බර්

20130113

රෝහණ බැද්දගේ සහ ‘රාළහාමි’






සංගීතය, නර්තනය, ගායනය ආත්මය කොට ගත්
නවතම ස්වතන්ත්‍ර නාට්‍යයක් සමඟින්
ඔබ හමුවට එන රෝහණ බැද්දගේ
ඒ පිළිබඳ සරසවිය සමඟ කළ කතාබහකි මේ.

 
* ‘රාළහාමි’ කතාව අපි කොතැනින් පටන් ගත්තොත්ද හොඳ?
මට නම් හිතෙන්නේ මගෙන් මේ ළඟදී එක් කෙනෙක් අහපු ප්‍රශ්නයකින්ම මේ කතාව පටන් ගන්න එක හොඳයි කියලයි. ඒ මොකෝ එයා මගෙන් අහනවා මේ නාට්‍යය දුවයි ද කියලා? මේක දුවයි ද නැද්ද කියන එක මට අදාළ කාරණයක් නෙවෙයි. මට ඕන කරන්නේ දුවන්න නාට්‍යය හදන්න නෙවෙයි. නාට්‍යයක් හදලා පෙන්නන එකයි මගේ් අරමුණ. පළවෙනි වතාවේ මේ නාට්‍යය පෙන්නුවට පස්සේ ඕක බලන මිනිස්සු තීරණය කරයි මේ නාට්‍යය තවදුරටත් බලනවද නැද්ද කියලා. නාට්‍යය දුවන නොදුවන එක තීරණය වෙන්නේ් ඒක උඩයි. එහෙම නැතිව මොකක් හරි කුණුහරුපයක් කරලා දුවවන්න වුවමනාවක් මට නෑ. ඒ මොකෝ මම කලාව රස්සාවක් හැටියට කරන කෙනෙක් නෙවෙයි.

* එහෙම නම් මේ නාට්‍යය නිර්මාණය කරන්න පෙළඹුණේ ඇයි?
පහුගිය කාලය පුරාවටම පෙන්වපු විවිධ නාට්‍ය දිහා බැලුවහම පේනවා ඒවයේ අපේකම, අපේ හඬ, අපේ රංග ශිල්ප ක්‍රම, දේශියත්වය නැති විත්තිය. ඒ වගේම ඒ නාට්‍ය හුදෙක් අනුකාරක නාට්‍ය බවත් පේනවා. අපට තියෙන අපේම සිංහල රංග ශිල්ප ක්‍රමයත්, ඒක කිසි කෙනෙක් පාවිච්චි කරන්නේ නෑ. බෙර තාලෙට ඇවිල්ලා, අඩිය තියලා, කවිය කියලා රඟපාන රංග ශිල්ප ක්‍රමය පැත්තක තියලා අපේ අය බටහිරෙන් ගත්තුවා අර තියටර් එකෙන්, මේ තියටර් එකෙන් කිය කියා යනවා. අරයා මෙයා එහෙම කිව්වා, මෙහෙම කිව්වා කිය කියා අනුන්ගේ මත කර ගහගෙන යන ගමනක් තමයි අද තියෙන්නේ. ඒකත් හරියට මෙලෝ දෙයක් නො දැන සංගීතය විශ්ව භාෂාවක්ය කියලා කියනවා වගේ.

* ඔබට ඔය කියන විදිහේ අනුකාරකවාදී නාට්‍යවලට හුරු වෙච්ච ප්‍රෙක්ෂකාගාරය ඔබේ මේ නාට්‍යය මොන විදිහට බලයි කියලද ඔබ හිතන්නේ?
අනුකාරකවාදී නාට්‍යවලට හුරු වෙච්ච ප්‍රේක්ෂකයන්ට මම කියන්නේ පුළුවන් නම් මේ නාට්‍යය බලන්න එන්න. ඇවිත් මෙතන තියෙන වෙනස වටහා ගන්න කියලයි. අපේ දෙයක් හැටියට අපට උරුම අපේ දේ ලෝකේ ඕනෑම තැනකදී මේ අපේ දෙයක්ය කියලා කියන්න පුළුවන් නාට්‍ය කලාව හඳුනා ගන්න කියන ආරාධනයක් තමයි මට කරන්න තියෙන්නේ.
 
* මේකට ‘රාළහාමි’ කියන නම දැම්මෙ?
‘රාළහාමි’ කිව්ව ගමන් අපේ අය තුළ ඇති වෙන්නේ කුතුහලයක්. මේ මොන රාළාහමි ගැන ද දන්නෑ කියන්නේ කියන කුතුහලයත් නාට්‍ය බලන්න කරන පෙළඹවීමක් වේවිය කියන එකත් එක හේතුවක්. නමුත් මම මේකෙදී ගමේ හිටිය පරණ ගම්මුලාදෑනියව තමයි රාළහාමි චරිතය හැටියට යොදා ගන්නේ. ගමක ප්‍රධානියා වුණු ‘රාළහාමි’ ගේ ගැමි ජීවිතය, මනුෂ්‍යත්වය මතුª කිරීමක් තමයි මේ නාට්‍යයෙන් කෙරෙන්නේ. ඒකට දරු සෙනෙහස, මව් සෙනෙහස, ඒ්වත් මේකට එකතු වෙලයි තියෙන්නේ.
 
* ඔබ ‘රාළහාමි’ නාට්‍යය හඳුන්වලා දෙන්නේ ‘ස්වතන්ත්‍ර සංගීතමය නාට්‍යයක්’ හැටියටයි?
අපේ සංගීතය ගැන කියා ගන්න පුළුවන් හොඳම අංශයක් තමයි නාට්‍ය. සංගීතයෙන් යම් යම් දේවල් කියාපාන එක ගැමි ජනතාවගේ ස්වභාවයක්. ගැමි ජීවිතයේ ප්‍රබලම දෙයක් තමයි සී පදය. ගැමියා ගැන කතා කරද්දී අපට සී පදය බැහැර කරන්න බෑ. ගැමි සංගීතයත් මෙතැන තිබිය යුතුම වෙනවා. නූතන වේදිකාවට ඒක ගේද්දී අපි එය ගැළපෙන හා අවශ්‍ය පරිදි යොදා ගන්නවා. මේ නාට්‍යයේ එන්නේ ගැමි නැටුම් හා ගැමි බස. මේ දේවල් සංගීත රිද්මයෙන් තමයි එකට බැඳලා තියෙන්නේ්. ඒ වගේම මේකේ් ගීත ගොඩක් ගායනා කෙරෙනවා.
 
* අද දවසේ අපේ වේදිකා නාට්‍ය නිර්මාණ ගැන ඔබේ අදහස?
අපේ දෙයක් අද දකින්න නැති තරම්. හැදෙන බොහොමයක් නාට්‍ය එක්කෝ අනුවර්තන නැත්නම් පරිවර්තන. මේ නිසා තමයි මම මගේම ස්වතන්ත්‍ර නිර්මාණයක් කරන්න පෙළැඹුණේ. ඔය අනුවර්තන හෝ පරිවර්තනවල නම් ගම් පවා අපේ ඒවා නෙවෙයි. ඒවා අපට යාදෙන්නේ නෑ. ඒවායේ සම්බන්ධතාවක් අපට ඇති වෙන්නේ නෑ.
 
* ඔබ කියන්නේ විදෙස් කෘති ප්‍රතිනිර්මාණය නුසුදුසුය කියලද?
පිට දේවල්වලින් අපි පෝෂණය වුණාට කමක් නෑ. ඒකෙන් ඇති වැරැද්දක් නෑ. නමුත් ඒක කරන ගමන් අපේ දේත් අරගෙන ඒකෙනුත් නිර්මාණ කරනවා නම් තමා වඩා හොඳ. පිට දේවල්වලින් පෝෂණය වෙනවය කියන්නේ් හැමදාම රට හාල් කන්ඩ බලං ඉන්නවා වගේ වැඩක්ය කියන එකයි මගේ අදහස. අපේ චාරිත්‍ර වාරිත්‍ර, සදාචාරය වගේ් දේවල් ඇසුරෙන් අපට අපේම නිර්මාණයක් බිහි කරන්න බැරිකමක් නෑ.
 
* ඔබ මුලදිත් කිව්වා ඔබේ ප්‍රධාන අරමුණ මේ නාට්‍යය හදන්නේ් වැඩි වැඩියෙන් පෙන්නන්න නෙවේය කියලා. එහෙම නම් පවතින්නේ කොහොමද?
දැනටමත් මම මේකට විශාල මුදලක් යට කරලා තියෙනවා. මිනිස්සුන්ට මේ නාට්‍යය හඳුන්වා දීම සඳහා මම මේ විදියට මුදල් යට කරන්නේ අපේකම, අපේ දේ මතු කරලා ගන්නයි. ඒ උත්සාහය හොඳයි කියලා මිනිස්සු පිළිගන්නවා නම් මට ඒ් ඇති. මොකද නාට්‍යයක් කරලා ජීවත් වෙන්න මුදල් හම්බ කරන්න ඕනකමක් මට නෑ. මට ජීවත් වෙන්න මුදල් තියෙනවා. මේ නාට්‍යය දිව්වේ නෑ කියලා මාව හැලෙන්නේ නෑ. මාවා නැති වෙන්නේ නෑ.
 
* මම කරන්නේ මට හොඳයි කියලා දැනෙන නිර්මාණයක්ය. ඒක විකුණලා මුදල් හම්බ කරන්න අවශ්‍ය නැහැය කියලා කියන්න් මොන පදනමින්ද?
ඒක තමයි මගේ් අදීනත්වය. දෙපයින් නැගී හිටින්න පුරුදු වුණොත් තමයි ඒක එන්නේ. මොළේ තියෙනවා නම් එහෙම නැගී හිටින්න පුළුවන්. මම එක එකා පස්සේ යන්නේ් නැතිව මම මගේ ශක්තියෙන් ගොඩ නැගෙනවාය කියන දර්ශනය ඇති කර ගන්න ඕනෑ. පරගැතිකම ඔළුවෙන් අයිං කළොත් තමයි එහෙම කරන්න පුළුවන් වෙන්නේ.
 
* ඒ කියන්නේ කලාකරුවාගේ නිර්මාණය සහ ඔහුගේ් භාවිතාව එකක් වෙන්න ඕනය කියන එකද?
අනිවාර්යයෙන්ම ඔව්. එකක් කියමින් තව එකක් කරන මිනිහා කුහකයෙක් මිසක් හොඳ මිනිහෙක් වෙන්න බෑ. ඒ වගේ සවුත්තු මිනිහෙකුගෙන් වැඩක් නෑ. කලාකරුවා අවංක කෙනෙක් වෙන්න ඕනෑ. සම්බෝලයි බතුයි කාලා හරි කමක් නෑ කුහකයෙක්, හොරෙක් නොවී ඉන්න පුළුවන් නම් ඒක තමයි වටින්නේ.
 
* නිර්මාණකරුවෙකුගේ සංතුෂ්ටිය හැටියට ඔබ සලකන්නේ?
නිර්මාණය එළි දැක්වීම නිසා තමන් මුලින්ම සතුටු වෙනවා. එය රස විඳින රසිකයා ලබන සතුට දැකීමෙන් ලබන සතුට තමයි නිර්මාණකරුවෙකුගේ සංතුෂ්ටිය වෙන්නේ.