20121122

"ගුරු ගීතය"


සෝවියට් දේශයේ
හුදෙක් ප්‍රචාරාත්මක කෘතියක් වූ 'ගුරු ගීතය'
අපේ රටේ මහා සාහිත්‍ය කෘතියක් වන්නේ ඇයි.?
කෙනෙක් මෙහෙම ප්‍රශ්න කරනවා.
ඒ ඔහු දකින කෝණය.

දේශපාලනික මනසකින් බලන අයට
මේ කෘතිය විඳින්න අපහසු වෙන්නෙ
දේශපාලනයට වඩා මෙහි තියෙන්නෙ
දුයිෂෙන් අල්තිනායි වෙනුවෙන් කරන
පරිත්‍යාග නිසා වෙන්න ඇති.

අල්තිනායි ලෙනින් වෙනුවෙන් සේවය කරන්න
ගමට ඇවිත් දුයිෂෙන්ට එක් වුණා නම්
දේශපාලනික රසිකයන් සැනසේවි.
ඒත් මේ කෘතිය මේ තරම් පිරිසක්
අගය කරන එකක් නෑ.

අපේ සාහිත්‍ය කෘති වශයෙන් ගැනෙන
කෘති සමග ගුරුගීතය සසඳන විට
අපට දැනෙන පරතරයත්
මෙහි ජනප්‍රියත්වයට හේතුවක්
වෙන්න පුලුවන්.

ගුරු ගීතය විඳින්න බැරි අයට
ප්‍රබලම අපහසුව වෙන්නෙ
මේ මුළු කෘතියම
හැඟීම් ප්‍රකාශනයට වඩා
ප්‍රකාශ නොකළ හැඟීම් මත
නිර්මාණය වුණ නිසා වෙන්න පුලුවන්.

ගැහැණියක පාවිච්චි කිරීම
පිරිමියෙකුගේ උදාර භාවය ලෙස සිතන
කාමුක රසිකයන්ගේ බලාපොරොත්තු සුන්වීම
මේ කෘතිය හෙළා දකින්නට හේතුවක් විය හැක්කේ
දුයිෂෙන්ගේ එවැනි හැඟීමක සේයාවක්වත්
මෙහි දකින්නට නැති බැවිනි.

ඔවුන් සනසන්නටම ඔබ්බන ලද
අනඟ රැගුම් සහිට අපේ කෘති
පරිශීලනයෙන් ඔද්දල් වුණ හිත්වලට
මේ සියුම් සෙනෙහස ග්‍රහණය කළ හැකිද?

හැඟීම් වැඩිපුර භාවිතාවෙන
භාවාත්මක කෘති අප්‍රිය කරන
නොමේරූ රසිකයන් මේ පොත කියවන
වැඩිහිටියන් අතර පවා ඉන්නවා.
අපේ රටේ බාල පොත් කියවීමෙන්
රස වින්දනය කුරුවල් කරගත් අයටත්
රුසියානු පොත් කියවීම වධයක්.

ගුරුගීතයට කැමති අයත්
කැමති වෙන හේතු සරල වෙන්න පූවන්.

ඉගෙනගෙන ගමට ගිහින්
දුයිශෙන්ට එකතු නොවී
උපන් ගමත්,
තමන්ගෙ ප්‍රථම ප්‍රෙමයත් අමතක කරලා
මහාචාර්ය වරියක් වෙලා
සාමාන්‍ය ජීවිතයක් දිනා ගත්ත අල්තිනායි
සමහරුන්ට ප්‍රිය නිසා වෙන්නත් පුලුවන්.

දෙයක් සටන් කරල දිනාගන්න නොදන්න
හැමදේම ඔඩොක්කුවට වැටෙන තුරු බලා ඉන්න
අපේ බහුතරයක්
එහෙම බලා ඉඳල පැරදුණාම
පරාජය වීරකමක් විදියට
තමන්ම අර්ථ දක්වගෙන සැනසෙමින්
පරාජය ගැනම හිත හිතා ඉන්නවා.
ඔවුන්ගේ පාරාජිත වින්දනයට
හොඳට ගැලපෙන චරිතයක් ලෙස දුයිෂෙන්
වරදවා වටහාගන්න බොහෝ ඉඩ තියනවා.

ඇත්තටම
දුයිෂෙන්ට අල්තිනායි ගැන
පුද්ගලික ඇල්මක් තිබුණද
කියන එකත් සැක සහිතයි.

අල්තිනායි දුම් රියෙන් බැහැල
ආපහු ආවෙ නැති නිසා
දුයිෂෙන් ගැන හරියටම කියන්න බෑ.

ඒත් අල්තීනායි බේරගත්ත විදියත්
අල්තිනායි ආව වෙලාවෙ
ඇය වෙනුවෙන් තමන්ගෙ කාලය
නාස්ති නොකිරීමත් අනුව
අල්තිනායි දුම් රිරියෙන් බැහැලා ආව නම්
ඔහු ඇය පිළි ගනීවි කියල
සමහර වෙලාවට මම විශ්වාස කරනවා.

ඒත් අල්තිනායිගෙ හිතේ
දුයිෂෙන්ට තිබුණ
ස්නේහමූලික ලෙංගතුකම අමතක කරල
දුයිෂෙන්ගෙ කෝණයෙන් බැලුවම
පෙනෙන රූපය වෙනස්.

ගුරුගීතයෙ අල්තිනායි
දුයිෂෙන්ගෙ කෝණයෙන්
ජයග්‍රහණය සොයා ගිහින්
පාර වරද්දගෙන ආපු
පරාජිත ගැහැණියක්.

දුයිෂෙන්ට අල්තිනායි තේරුණේ නැහැ.
ගමට සේවය කරන්න ඔහුට තිබුණ
දැඩි උවමනාව විසින්
ඔහු මුළා වුණා වෙන්න පුලුවන්..

දුයිෂෙන්ට වරදින්න ඇත්තෙ
අනිත් කෙල්ලන්ට
කිසිම විශේෂයක් නොතිබුණු
මේ පළමු ගුරුවරයාට
උණුහුමට නිදන්න
අල්තිනායි ගෙනත් දීපු
තණකොළ ගෝනිය නිසයි.
දුයිෂෙන් හිතන්න ඇති
ඇය ඔහුට සැලකුවෙ
පාසල හදන්න යන නිසා
ගමට කරන්න යන
සේවය නිසා කියල.

දුයිෂෙන් තමන් ළඟ තිබුණ
සොච්චමෙන් අල්තිනායිට උගන්නලා
ඇය නගරයට යවන්න ඇත්තෙ
ඇය ඉගෙනගෙන ඇවිත්
උපන් ගමට සේවයක් කරාවි
කියල හිතාගෙනයි.

ඇය ඉගෙනගෙන
දැනුමෙන් පිරෙන කොට
ඇයට දුයිෂෙන් අමතක වුණාද?
ඔහුට ඇය ගැන
මොන විදියෙ ඇල්මක් තිබුණද කියල
අපිට පැහැදිලි නැතත්
ඇයට ඔහු ගැන ඇල්මක් තිබුණා.
ඇය අමතක කළේ ඒ ඇල්මයි.

දුයිෂෙන් ඇගෙන් බලාපොරොත්තුවුණ දේ
අල්තිනායි තේරුම් ගත්තෙ නෑ.
ඇගේ ඔහු ගැන වූ හැඟීමෙන්
ඔහුගෙ හිත ඇගෙන් වැළහුණා.

අල්තිනායිගෙ තමන්ට වූ ලෙංගතුකම
දුයිෂෙන්ගෙ පාක්ෂික සේවය පිළිබඳ
හැඟීමට යට වුණා.

දුයිෂෙන් අල්තිනායි බාරගත්තා නම්
ඇගෙන් ඔහු ගමට සෙවූ සේවය
ලබෙන්නත් ඉඩ තිබුණා.

දුයිශෙන් සොයා ගන්න
ඇයත් හැකි පමණින් උත්සාහ කළත්
එය ඉටුවුණෙත් නැහැ.

අල්තිනායි දැනුවත් වෙන්න ගිහින්
දුයිශෙන් බලාපොරොත්තු වුණු දේ
කරගන්න බැරි විදියට
ගැහැණියක් වශයෙන් මංමුලා වුණත්
දුයිෂෙන් ශක්ති පමණින්
මේ නන්නාඳුනන ගමට
ඔහුට කළ හැකිවූ සේවය
උපරිමයෙන් දිගටම කළා.

දුයිෂෙන් වීසි කළේ බූමරැංගයක්.
ඔහු දකින විදියට
ආපහු ගමට ආවේ
වියළි දර ලී කැබැල්ලක්.
ඇගේ මහාචාර්ය කම
තමන්ගෙ ගමට නොකළ සේවයක්
දුයිෂෙන් අනුන්ගෙ ගමට කළා.
ඇගේ ගමට කළා.
අදත් කරනවා.

ගමෙන් ගිහින් තවත් තැනකට පහනක් වූ
අල්තිනායි ගමට වීරවරියක් වෙද්දි
ඒ සඳහා ආත්ම පරිත්‍යාගයෙන්
මග විවර කල දුයිෂෙන්
ගමට අමතක වීම
දෛවයේ සරදමක්.

"ගුරු ගීතය" මේ තරම් ජනප්‍රිය වෙන්න
එහි ගැටුම්වල ඇති අවිනිශ්චිත බවත්
සහ කෙසේවත් අමුණා ගත නොහැකි
නූල් පොටවල් රැසකින්
මේ විචිත්‍ර ගෙත්තම වියා තිබීමත්
ප්‍රධාන හේතුවක් වෙන්න පුලුවන්.

2 comments:

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  2. මේ කියලා තියෙන ටික නිසාම වෙන්න ඇති ගුරු ගීතය ගැන මෙච්චර කතිකාවක් ඇති වෙලා තියෙන්නේ අපේ රටේ............. :)

    ReplyDelete