20121126

මියුරු ඉන්දියානු ගීත.


1971 දී ශක්ති සමන්තා අධ්‍යක්ෂණය කළ
"අමර් ප්‍රෙම්"චිත්‍රපටියේ
කිෂෝර් කුමාර් ගයන මේ ගීතයට අනුව රඟන්නේ
එවකට ඉතා ජනප්‍රිය නළුනිළි යුවළක් වූ
රාජේශ් ඛන්නා සහ ශර්මිලා තාගෝර් ය.

"ගිනි පුපුරක් ඇවිලුණොත් වැස්ස නිවාදමනු ඇත.
වැස්ස අවුලුවන ගින්න නිවන්නේ කවුරුන්ද? "

රන්බණ්ඩා සෙනෙවිරත්නගේ කවි



නුවරකලාවියේ ජනවහර රටට හෙළි කළ මරදන්කල්ලේ බයියා
ගේයපද රචක අධිනීතිඥ රන්බණ්‌ඩා සෙනෙවිරත්නයන් අභාවයට පත්වී වසර 15 යි.
සිංහල ගීත ක්‍ෂේත්‍රයට ගේය පද රචනා විශාල ප්‍රමාණයක්‌ දායාද නොකළත් තමන් විසින් රචිත ගීත රචනා කිහිපයෙන් සිංහල ගීත සාහිත්‍යය ඉහළට ඔසවා තැබුමට ඇවැසි ශක්‌තිය සැපයූ අධිනීතිඥ රන්බණ්‌ඩා සෙනෙවිරත්නයන් අපගෙන් සමුගත්තේ මින් වසර 15 කට පෙර 2001 දෙසැම්බර් මස 05 වැනි දායි.
මළ බෙර හඬ පසුබිම් කොට ගෙන විශාරද ගුණදාස කපුගේ ගායන ශිල්පියා විසින් ගයන "පබළු නඟේ නාමල් තිලකේ" ගීතය ඔබ අසා ඇතිවාට සැක නැත. නමුත් එම ගීතයේ පද රචනය කෙරෙහි ඔබේ අවධානය යොමු වුණා දැයි මම නොදනිමි.
පබළු නඟේ නාමල් තිලකේ
පුංචි ඔසරි මැණිකේ - සුමනෝ.........ඇයි නුඹ නැත්තේ
වැවේ දියේ ඇති නිකිණ්‌න නිල්ලේ
අඩ හඳ යායට කෙකටිය පිපිලා
වෑ කන්දේ බෝ ගස්‌ සෙවනේ
මම අද තනියම ඔළිඳ ගණිනවා
වෙනදා වාගෙම තල මල පිපිලා - තිබුණත් ඇළ ළඟ වත්තේ
සුමනෝ ඇයි නුඹ නැත්තේ
මළ හිරු එළියෙන් කොක්‌කු ගියාදොa
මිහින්තලා ගල පැත්තේ
පිරුවට ඇඳ පෙට්‌ටියක තියාලා - පහන් දෙකක එළි මැද්දේ
මදටිය වැටෙද්දි හඳ කැළතෙන ඇළ
ඒදණ්‌ඩේ ඉස්‌මත්තේ
සුමනෝ ඇයි නුඹ නැත්තේ
මෙම විශිෂ්ට ගීතයේ ගේය පද රචනාව අධිනීතිඥ රන්බණ්‌ඩා සෙනෙවිරත්නයන්ගේය. මෙහි අන්තර්ගත වන්නේ තරුණ ගැහැනු දරුවෙකුගේ අකාල මරණයයි. ගුණදාස කපුගේ විසින් ගායනා කරන මෙම ගීතයේ සංගීතය වශයෙන් යොදාගෙන ඇත්තේ ඈතින් සෙමෙන් ඇසෙන මළ බෙරහඬ හා තම්මැට්‌ටම් නාදයයි.
ඔහුගේ ගීතවල අඩංගු වන බොහෝ වචන හා යෙදුම් නුවරකලාවියේ බස්‌ වහර ආත්ම කොටගෙන තිබේ. විශේෂයෙන් මෙම ගීතයේ සඳහන් වන නිකිණ්‌න නිල්ල" යන වචනය අප රටෙහි වෙනත් කිසිදු ප්‍රාදේශීය බස්‌ වහරක දකින්නට නොලැබෙන වචනයකි. නිකිණ්‌න නිල්ල යනු වැවෙහි දිය නිකිණි මාසයේ දී වියළී යන විට වියළි යන වැවේ පිටියේ ජලය හිඳීගිය තැන්වල මතුවන නිල්වන් ලා තණ ගොබයි. මෙම නිල්ල මතුවන්නේ තෙතමනය තාවකාලිකව ඇති නිසාය. නමුත් ඒ නිල්ල වැඩි කලක්‌ පවතින්නේ නැත. ග්‍රීෂ්මය විසින් එම නිල්ල දවා හළු කරයි. විනාශය වියෝගය සනිටුහන් කරන්නට යොදාගෙන හැකි එවන් වෙනත් රූපකාර්ථයක්‌ තවත් ඇත්ද?
ඔහු විසින් රචිත ගී පද රචනා කිහිපය වුවද සිංහල ගීත සාහිත්‍යයේ හැරවුම් ලCෂ්‍යයකි. අධිනීතිඥ රන්බණ්‌ඩා සෙනෙවිරත්නයන් උපත ලද්දේ අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ මිහින්තලේ මරදන්කල්ල නමැති හද්දා පිරිසර ගම්මානයේයි. වන්නිහාමි නමැති ආයුර්වේද වෙදමහතෙකු මෙන්ම ගුරුවරයෙකු වූ සිය පියා මහත් වැර වෑයමින් තම දරුවන් පෝෂණය කරන්නට විඳින අපමණ දුක්‌ සමුදාය හෙතෙම ජීවත්වීමෙන්ම වටහා ගත්තේය. නුවරකලාවියේ අව්ව, වැස්‌ස හා හුළඟ යන ස්‌වාභාවික සංසිද්ධීන් ගෙන් නිතර බැට කන ගැමියා විසින් පෙළෙන කටුක බව ඔහුගේ ගීතයේ ආත්මය විය. එම ගීතවලින් නැඟෙන්නේ එකී වේදනාවේ රිද්මයයි.
හද්දා පිටිසර වන්නියේ උපන් තමන් මිහින්තලේ අමුම අමු බයියෙක්‌ බව කියන්නට රන්බණ්‌ඩා සෙනෙවිරත්නයන් කුමන අවස්‌ථාවකදී වත් මැළි වූයේ නැත. බයියා යන වචනයෙන් කියෑවෙන පිටිසර ගැමියා යන පර්යාය පදයට ඔහු මහත් ඇලුම් කළේය. ගේය පද රචනයේ දී පැරැණි සාහිත්‍යයේ ගැඹුරු අරුත් සහිත පද සොය සොයා රසවිඳින්නට සහෘදයන්ට සිදුවන කල රන්බණ්‌ඩා සෙනෙවිරත්නයන් සිය ගීත කිහිපයට කිසි කලෙක අසීරුවෙන් සොයා රසය විඳිය යුතු පද එක්‌ කළේ නැත. ඒ වෙනුවට තමන් දන්න දකින දේ මෙන්ම අසන දේ හා ඇසෙන දේ නිර්මාණවලට එක්‌ කිරීමට හෙතෙම උත්සාහ කළේය. ඔහුගේ ගීතවල ඇති අපූර්වත්වයද එයයි.
අප හැමෝම දන්නා මෙතෙක්‌ අප රටේ බිහිව තිබෙන විශිෂ්ටම මවු ගුණ ගීතය ලෙස අවිවාදයෙන් පිළිගන්නා "දවසක්‌ පැල නැති හේනේ" ගීතයේ පදරචනය ද අධිනීතිඥ රන්බණ්‌ඩා සෙනෙවිරත්නයන්ගේය. මෑත කාලය තුළ වැඩිම දෙනෙකුගේ වන්දනාත්මක විවේචනයට ලක්‌ වූ ගීතය වන එම ගීතයේ එන ඡේද තුනෙහිම ඇතුළත් වන්නේ වැහි තුනක්‌ ගැනයි.
පළමුවන ඡේදයේ එන්නේ අකාල මහ වැසි වැස්‌සා" යන්න වන අතර දෙවැනි ඡේදයේ එන්නේ "නින්දා වැහි වැගිරුණදා" යන්නයි තෙවැනි ඡේදයේ එන්නේ කොළඹ අහස කළු කරගෙන මුහුදු හුළඟ හඬලමින් තවත් මහවැස්‌සක්‌ වසින්නට අරඅඳින බවයි. මෙම වැහි තුනෙන් අදහස්‌ කරන්නේ විපතක්‌, කරදර ආපදා බාධා පිරිපතවල, පෙරනිමිත්තක්‌ බවයි. එමෙන්ම රජරට ජනතාව නියඟයකින් පසු වැස්‌ස වශයෙන් සලකන වැහි තුන මෙම ගීතයේ රූපකාර්ථයක්‌ බවට පත් කර ගැනීමට අධිනීතිඥ රන්බණ්‌ඩා සෙනෙවිරත්නයන් උත්සුක වූ බව පෙනේ.
දවසක්‌ පැල නැති හේනේ ගීතයේ ඇතුළත් වන වචන සමුදාය නුවරකලාවියේ ජනවහරෙහි එන වචනයි. යෝධ ඇළේ නැම්මේ. පැළ නැති හේන උඹ තෙමුණා අම්මේ, මං එනතුරු ඉඳිකඩ ළඟ ඉන්නවාද අම්මේ වැනි යෙදුම්වලින් ඒ බැව් සනාථ වේ. එමෙන්ම එම යෙදුම වූකලී සාර්ථක නිර්මාණයක බලෙන් ඔබ්බවන ලද සංකේත නොව ස්‌වාභාවිකවම යොදන ලද සංකේතයෝය.
අධිනීතීඥ රන්බණ්‌ඩා සෙනෙවිරත්නයන් විසින් "උලලේනෝ" ගීතය ද විපත වියෝව පාදක කොට රචිත ගීතයකි. රජරට සේවය ආරම්භක සමයේ ලියෑවුණු මෙම ගීතය රජරට සේවය ඔස්‌සේ විකාශය විය. රාත්‍රිකාලයට වාදනය වන මෙම ගීතයේ ගුණදාස කපුගේගේ ගැඹුරු හඬ සමඟ මුසු වූ පදරුත්, උගත් මෙන්ම සාමාන්‍ය අවබෝධයක්‌ ඇති ගැමියාට පවා ලබා දුන්නේ මහත් වින්දනයකි.
උලලේනෝ ගීතයට පදනම් වූයේ මර්දනය කළ අසාර්ථක 71 කැරැල්ලෙන් අහිමි වූ තරුණ ජීවිත බව කියෑවේ. එහි එන "ඉහිරුණු කිරි කොතලෙට ඉකි බිඳලා පල නෑ. නුඹටත් එක්‌කයි මං මේ පැල් කවිය කියන්නේ" යන යෙදුම 71 අහිමි විප්ලවය පිළිබඳ ඉඟි කරයි.
මීට අමතරව අමරසිරි පීරිස්‌ මහතා ගයන ළඳුනේ ගීය ද රන්බණ්‌ඩා සෙනෙවිරත්නයන් විසින් රචිත ගීතයකි. ගණිකාවක්‌ වුණත් ඇය කෙරෙහි දැක්‌විය යුතු මානුෂික දයාව පිළිබඳව එමගින් කියෑවේ.
පසුකාලයක රූපවාහිනි වැඩසටහන්වල පෙනීසිටි රන්බණ්‌ඩා සෙනෙවිරත්නයන් ගේය පද රචනය මෙන්ම සුභාවිත ගීතය පිළිබඳ ප්‍රේක්‍ෂක මතකයේ රැඳී පවතින වැඩසටහන් රැසක්‌ ඉදිරිපත් කළේය. එමෙන්ම ඔහු "හිතේ දුකට කියන කවි" හා "නිහඬ නිම්නය" නමැති කාව්‍යමය ග්‍රන්ථ දෙකක්‌ භැඅ ඡදකසඑසජ්ක ඤබජැචඑs දෙ Sරස ඛ්බන් නමැති කෘතියත් පළ කරනු ලැබීය.
සෑම කෙනකුටම තමන් ගත් තීරණ වැරදී ගිය අවස්‌ථා විය. ක්‍රියාකාරී දේශපාලනයට ප්‍රවිශ්ඨ වීම ඔහු ගත් වැරදි තීරණයක්‌ බව මම සිතමි. මක්‌නිසාද යත් දේශපාලනය වැනි කඨෝර කර්කශ මනුෂ්‍යත්වයෙන් ඈත්වූ විෂයයක්‌ රන්බණ්‌ඩා සෙනෙවිරත්න නමැති සරළ අහිංසක ගැමියෙකුට බර වැඩිය. දවසක්‌ පැල නැති හේනේ ගීතයේ අවසානයට යොදා තිබෙන මහවැස්‌සක්‌ වසින්නට තැත් දරන කොළඹ අහස ගැන හෙතෙම පවසන්නේ ඒ නිසාය.
ඔහු විසින් එක්‌තරා වැඩසටහනක දී කියන ලද වැකියක්‌ මේ අවස්‌ථාවේ සිහිපත් කිරීම වටී. සුනඛයෙක්‌ මියගිය විට මිනිස්‌සු හැටක්‌ පමණ වටවී සොයා බැලූ යුගයක්‌ අපට තිබිණි. නමුත් මිනිස්‌සු හැටක්‌ මැරුණත් එක්‌කෙනෙක්‌වත් නොබලන යුගයක අපි ජීවත්වෙමු. එවැනි යුගයකට වඩාත්ම අවශ්‍ය වන්නේ රන්බණ්‌ඩා සෙනෙවිරත්න වැනි මිනිසුන් බව අපිට පසක්‌ වේ.
===== ධර්ම වන්නිනායක =====

















රන්බණ්ඩා සෙනෙවිරත්න පිළිබඳව සොඳුරු මතක සටහනක්..

තවත් එක් සොදුරු ශ්‍රී ලාංකිකයෙක්....... 01





අම්මා තිවු විලාපය තවමත් ඇසෙනා...- නන්දන වීරසිංහ



ජන ගීයක් මෙන්
පහන් සංවේගයෙන් හද තෙත් කරවන
අනුවේදනීය නිර්මාණයක්.


http://www.silumina.lk/punkalasa/20090802/ar0908021-1.jpg
- නන්දන වීරසිංහ ලියූ -

දුම්මල ගලට ගිය අම්මා


දුම්මල ගල ඉමේ මහ මූකලානේ
අඳෝනාව ඇඟ හී ගඩු නඟන්නේ
කන්දේ පරවේණි උලලේනියන්නේ
රෑ සමයමේ ඇයි මා බය කරන්නේ

අපෙ අම්මා දුම්මල ගලවන්න ගියා
ඒවා මිටි බැඳන් වඳුරඹ පොළට ගියා
හාල් ටිකට පොල් ගෙඩියට ණයක් තියා
කොපි පොතකුයි පැන්සලකුයි ගෙනෙන්නියා

වැහි වැහැලා ගල ආදා බඩේ වුණා
අම්මා එදත් ඒ ගල මුදුණටම වුණා
රූටා ගිහින් පාවුල ගලටත් රිදුණා
අම්මා තිවු විලාපය තවමත් ඇසෙනා

ඇලබඩ රුප්පාව ළඟ රෑ හඳපානේ
ඉන්නා කලට මට දුම්මල ගල පෙනුණේ
ලෝබ නැතුව ඔය ගල දුම්මල දුන්නේ
අම්මා පෙරලුවත් තරහක් නෑ හිතුනේ


මේ කවිපෙළේ
කොයිතරම් දේවල්
අපිට හිතල හොයාගන්න තියනවද?

දුම්මල ගල ඉමේ මහ මූකලානේ
අඳෝනාව ඇඟ හී ගඩු නඟන්නේ
කන්දේ පරවේණි උලලේනියන්නේ
රෑ සමයමේ ඇයි මා බය කරන්නේ

දුම්මල ගල කෙළවරින් ඇරඹෙන මහ මූකලානේ
පරවේණියෙන් කන්දට හිමි උලලේනියනි...
නුඹේ අඳෝනාවෙන්
මහ රෑ මැදියමේ..
අවතාර හැසිරෙන
සමයං වෙලාවේ..
මා බය කරන්නේ ඇයි..

ඔහුගේ සැබෑ බයක් හෝ
අමනාපයක් මෙහි නැත.
එහෙත් ඔහු සිටින පරිසරයත්..
ඒ පරිසරයෙහි ස්වභාවයත්,
කාලයත් පිළිබඳව මේ එකම කවියෙන්
ප්‍රබල හැඟීමක් ඇති වෙයි.

අපෙ අම්මා දුම්මල ගලවන්න ගියා
ඒවා මිටි බැඳන් වඳුරඹ පොළට ගියා
හාල් ටිකට පොල් ගෙඩියට ණයක් තියා
කොපි පොතකුයි පැන්සලකුයි ගෙනෙන්නියා


අම්මා දුම්මල ගලවන්න ගියේ
මහමූකලාන ඉමේ
දුම්මල ගලට බව
අපි දැනටමත් දනිමු.
ඔවුන්ගේ ජීවන මට්ටම හෙලිවන්නේ
මේ කවියෙනි.
වඳුරඹ පොළට ගොස් මිටි බැඳන් යන
දුම්මල විකුණා මුදලක් ගත්තත්
හාල් ටිකට පොල් ගෙඩියට ණයක් නොතියා
එන්නට තරම් ඇය පොහොසත් නැතත්
ඉතිරි කරගන්නා මුදලින් ඇය ගෙන එන්නේ
කොපි පොතක් හෝ පැන්සලයකි.
පවුලේ කැම බීමට වඩා
දරුවාගේ ඉගෙනීම ඇයට වැදගත්ය.

තව දවසක වැහි වැහැලා ගල පෙඟුණා
දුම්මල ගලවන්න ගල මුදුනට නැගුණා
ගල මුදුණේ ඉඳලම ලිස්සා වැටුණා
පහල ගලට ඇද වැටිලා ඇය මැරුණා
කියා අමුවෙන්ම කියන්නත් තිබුණා.

ඒත් නන්දන වීරසිංහ ලියන්නෙ මෙහෙමයි.
වැහි වැහැලා ගල ආඳා බඩේ වුණා.
අම්මා එදත් ඒ ගල මුදුණටම වුණා
රූටා ගිහින් පාවුල ගලටත් රිදුණා
අම්මා තිවු විලාපය තවමත් ඇසෙනා


වැහි වැහැලා ගල
ලිස්සන ආඳාගේ බඩමෙන් ලිස්සුවත්
අම්මා එදත් ඒ ගල මුදුණටමනැංගා.
ඇය කොතරම් ඉහල සිට පහළට රූටා
පතිත වුණාද කීවොත්
පහළ ගලටත් රිදුණා.
ඇය වැටෙද්දී තැබූ විලාපය
ඔහුට තවමත් ඇසෙන්නක් වැන්න.
ඇයට වූ විපත
ඔහු හැඟීම්බරව විස්තර කළත්
ඔහුතුළ ශෝකයක්,
කෝපයක් වැනි හැඟීමක
අල්පමාත්‍ර ඉඟියක් හෝ ඇත්තේ

ඇලබඩ රුප්පාව ළඟ රෑ හඳපානේ
ඉන්නා කලට මට දුම්මල ගල පෙනුණේ
ලෝබ නැතුව ඔය ගල දුම්මල දුන්නේ
අම්මා පෙරලුවත් තරහක් නෑ හිතුනේ


ඔහු රෑ සමයමේ අඳෝනා දෙන
උල ලේනුන්ට බයකළ හැකි පුතයෙකු නොවේ.

රෑ හඳපානේ
ඇලබඩ රුප්පාව ළඟ ඉන්නා ඔහුට
අදත් දුම්මල ගල පෙනෙයි.
සිය මව අහිම්වන්නට දායක වූ
ඒ නිර්වේදී පර්වතය කඩා බිඳ හෙළා
පාරට දමා තාර දැමිය යුතු යැයි
ඔහුට නොසිතේ.

ලෝබ නැතුව දුම්මල දුන් දුම්මල ගල පිළිබඳව
ඔහු තුළ ඇත්තේ කෘතඥතාවයකි.
දුම්මල ගල දෙස ද්වේශයෙන් තොරව
ඔහු හෙළන උතුම් බැල්ම
මුලු කවි පෙළෙහිම සිළුමිණ වැන්න.

=============================================

“දුම්මල ගලට ගිය අම්මා”
චන්ද්‍රසිරි දොඩංගොඩගේ විවරණය-----------------

නන්දන වීරසිංහ ලියූ “දුම්මල ගලට ගිය අම්මා” කවි පංතිය දකුණු පළාතේ ගිංගඟ අසබඩ දුගී ගැමි ජන ජීවිතය හොඳින් නිරූපණය කරන කවියක්. ගිංගඟ අසබඩ ගණ වනාන්තරයේ යකහළු ගස් නැමැති ගහක මැලියම් වර්ගයක් කඩලා විකිණීම ගැමියන්ගේ දින චර්යාවේ කොටසක්. මේ මවත් තම පුතාට යම් අධ්‍යාපනයක් ලබාදීම සඳහා තමයි දුම්මල ගස් තියෙන වනාන්තරයට යන්නේ. කවිය කියැවෙන්නේ මවගේ දරුවාගේ දෘෂ්ටි කෝණයෙන්. මෙහි ඛේදවාචකය තමයි දුම්මල කඩාගෙන එන්නට ගිය අම්මා ගලකින් ලිස්සා වැටී මියයාම.

මේ පුවත හරහා දුගී ගැමි ජන ජීවිතය ජීවත් වීමට ඔවුන් දරන වෙහෙස ඔවුන්ගේ පීඩිත පන්තිය පිළිබඳ ව මේ කවියෙන් කියැවෙනවා. කවියා පැරණි ජනකවි සම්ප්‍රදාය අනුව යමින් කවිය නිර්මාණය කර තිබෙනවා. එනිසා ම එහි ගුණාත්මක බවක් රැඳී තිබෙනවා.

හැත්තෑව දශකයේ මැද භාගයේදි බිහි වූ බොහෝ කවියෝ විවිධ අත්දැකීම් හා විවිධ අත්හදා බැලීම් ඔස්සේ කවිය නව ඉසව්වකට ගෙන ආහ. නන්දන වීරසිංහ නම් වූ ප්‍රවීණ කවියා ද විවිධ අත්දැකීම් ඔස්සේ සාර්ථක නිර්මාණ කළ කවියෙක් ලෙස හඳුන්වාදීමට ද පුළුවන. “දුම්මල ගලට ගිය අම්මා” ඔහු විසින් මීට වසර විසිහතකට පමණ පෙර ලියන ලද නිර්මාණයකි. “ගිං ගඟේ විලාපය” කාව්‍ය සංග්‍රහයේ එන “දුම්මල ගලට ගිය අම්මා” විශ්ව විද්‍යාල උපාධි පාඨමාලාවන් සඳහා නිර්දේශිත අතර කලක් දහය ශ්‍රේණිය සිංහල පෙළපොතටද ඇතුළත් කර තිබිණ.

දුම්මල සෙවීමත් ඒවා පොළට රැගෙන ගොස් විකිණීමත් ජීවන වෘත්තිය කරගත් අම්මා කෙනකු වැසිදාක දුම්මල සෙවීමට කැලයට ගිය ගමනේදි ගලමතින් ලිස්සා වැටී මිය යාමේ ශෝකජනක පුවතක් පදනම් කර ගනිමින් නන්දන වීරසිංහයන් තම නිර්මාණය කර ඇත. ලැබූ අත්දැකීම ප්‍රතිනිර්මාණය කරමින් කවියා මවගේ මිය යාමට එහායින් වූ බොහෝ දේ ගෙන හැර දක්වයි.

දරිද්‍රතාවය, ආදරය, දරුවාගේ තනිකම ආදී වූ සියල්ල කවිය තුළ ගැබ් ව ඇති අතර කවියා විසින් තමා ලැබූ අත්දැකීම කීමට ජනවහර යොදාගෙන ඇත. ඔහුගේ නිර්මාණය තුළ ජනවහර කටවහර යෙදී ඇත්තේ නිරායාසයෙනි. ඔහු ඒවා නිර්මාණය තුළට බලෙන් රිංගවා නොමැති වීම කවියේ සාර්ථකÀවයට හේතුවකි. ජනකවි ආභාෂය ලත් “දුම්මල ගලට ගිය අම්මා” කියවීමේදී පාඨකයාට එහි සංකල්ප රූප ආදිය මැවී පෙනේ. තෙත බරිත වැසිදාක ගලින් ගල පැන යන අම්මා කෙනෙකුගේ රුවක් දෑස් අභියස මැවේ.

දකුණු පළාතේ ඇති හිනිදුම වැනි ප්‍රදේශවල භාවිතා වන කට වහර කවියා අපූරු ලෙස යොදා ගෙන ඇති අයුරු මෙයින් පැහැදිලි වේ.

වැහි වැහැලා ගල ආඳා බඩේ වුණා
අම්මා එදත් ඒ ගල මුදුනටම වුණා
රූටා ගිහින් පාවුල ගලටත් රිදුණා
අම්මා තිවු විලාපය තවමත් ඇසෙනා...

වැස්සට තෙමුණ ගල ලෙස්සන බව කීමට කවියා යොදා ගෙන ඇත්තේ ‘ගල ආඳා බඩේ වුණා’ යන යෙදුමයි.

අම්මාගේ මියයාමේ සිදුවීම ඉතා ශෝචනීය ලෙස ඉදිරිපත් කරන කවියා එය ළමයා ලවා අපට කියවීමේදී තම අදහස් ඍජු ව ම අපට නොකියයි. එනමුදු ඔහු ළමයා ලවා අපට කියන්නේ දරිද්‍රතාවයත් අම්මාගේ මිය යාම නිසා සමාජය දෙස වෛරයෙන් බලන්න යැයි කියා නොව සමාජය දෙස මෙන් ම තමන්ගේ ජීවිතය දෙස සානුකම්පිතව බලන්නට යැයි නොකියා කියයි.

ඇලබඩ රුප්පාව ළඟ රෑ හඳපානේ
ඉන්නා කලට මට දුම්මල ගල පෙනුණේ
ලෝබ නැතිව ඔය ගල දුම්මල දුන්නේ
අම්මා පෙරලුවත් නෑ තරහක් හිතුණේ

’ගිං ගඟේ විලාපය’ කාව්‍ය සංග්‍රහයට අමතරව කිරි සුවඳැති රාත්‍රිය, සත්‍යකාම නම් වෙමි, ගිරග, මහත් සඳ පිනි බිඳෙක චන්ද්‍ර බිම්බ ආදි කාව්‍ය සංග්‍රහ රචනා කර ඇත. නන්දන වීරසිංහයන්ගේ නවතම කාව්‍ය සංග්‍රහය ‘රැය කරා ගමන’ පසුගියදා එළිදැක්විණ.

සම්මානනීය කවියකු වන නන්දන වීරසිංහයන් පුවත්පත් කලාවේදියකු ද වේ. ඔහු කලක් සිළුමිණ ශාස්ත්‍රීය සංග්‍රහය සැකසුවේය.

http://www.silumina.lk/punkalasa/20100718/_art.asp?fn=ar10071811

=========================================================
============ නන්දන වීරසිංහ ============
===============================================================
නන්දන වීරසිංහගේ කවි මග සැතපුම් කණු

ගිං ‍ගඟේ විලාපය- 1984

කිරි සුවඳැති රාත්‍රිය- 1990 
රාජ්‍ය සම්මාන

සත්‍යකාම නම් වෙමි- 1994 
රාජ්‍ය සම්මාන

ගිරග- 1998 
රාජ්‍ය සම්මාන, ස්වාධීන සාහිත්‍ය සම්මාන

මහත් සඳ පිණි බිඳෙක- 2002 
රාජ්‍ය සම්මාන, විද්‍යෝදය සම්මාන

චන්ද්‍ර බිම්බ- 2005 ගොඩගේ සම්මාන, 
2005 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානයේ ප්‍රශස්ත කෘති නි‍ර්දේශය.

සමස්ත කාව්‍ය නිර්මාණ කාර්යය වෙනුවෙන් 
2000 වසරේ බුන්කා සම්මානය