20121227

නින්ද නැති රැයේ - ලය දෙකකින්


නින්ද නැති රැයේ ගීතය
කපුගේ විසින් දෙවරක් පටිගත කළා.
ඒ 1976දී සහ 1985දීයි.

කපුගේ ගැයූ ඉතාම මියුරු ගීයක් වන
මේ සොඳුරු ගීතයේ පළමුවන උත්සාහයත්
දෙවන නිර්මාණයත් අතර වෙනස
ඉතාම අපූරුයි.

එකම කලාකරුවෙකු එකම ගීයක්
ආසන්න තනුවකට ගයන විට
මෙතරම් වෙනසක් සිදුවිය හැකිදැයි
සිතාගත නොහැකි තරම්..

ගීතයක ලය වෙනස් කිරීම අනුව
අපි රස විඳින හැඟීම මෙන්ම
ගායකයා ගයන හැඟීමත්
කොතරම් වෙනස් කරනවාද...?

මේ රසවත් තොරතුර මා උපුටා ගන්නේ
දයානන්ද රත්නායකගේ 'අස්වැන්න' නම්
විශිෂ්ඨ අන්තර්ජාල රචනා සංග්‍රහයෙන්.

--------------------------------------------------------------------------------------
මෙතැන් සිට දයානන්ද රත්නායකගේ විවරණය...


කපුගේ මියගියේ 2003 අප්‍රේල් මාසෙ 03 වැනිදා . ඒ  හරියටම මීට අවුරුදු නවයකට කළින්.  ඒ සොඳුරු මිනිසා වෙනුවෙන් ම  අදත්  “අස්වැන්න” වෙන් කළා. 
මට කපුගේ හමුවෙන්නෙ රජරට දී  ඒ අසූව දශකය මැද හරියේ දි  විතර, කපුගේ රජරට සේවයට ආවෙ  1981 දි විතර එතකොට මා පුංචි පන්තිවල ඉගන ගත්ත කුඩා සිසුවෙක්. සාමාන්‍ය පෙළ කරපු කාලෙ කපුගේ ඉදිරිපත් කළ නිර්මාණාත්මක වැඩසටහන්වල ගුණ සුවඳ මට දැනෙන්න පටන් අරන් තිබුණෙ ඒ කාලෙ. ඒ දවස්වල කපුගේ රජරට සේවයේදි සෙනසුරදා උදේ “මන්දාකිණිය” නමින් වැඩසටහනකුත් ඉරිදා දවස්වල “ රස දහර” නමින් වැඩසටහනකුත් රසවින්දන වැඩසටහන් වශයෙන් කපුගේ ඉදිරිපත් කළා. ඒ දෙකම ඉතා අපූර්ව රසවත් වැඩසටහන්. එතකොට රජරට හිටපු මට "ඔසිබිසා" "යාල්ලා" ෆ්‍රැන්ක් සිනෙට්‍රා, බොබ් මාලේ  වගේ අයගේ ගීත ගැන එතරම් දැනුමක් තිබුණෙ නෑ. ඒත් කපුගේ ගේ ඒ වැඩසටහනෙන් පස්සෙ අපි ඒ ගීත ගැන හෙව්වා. ඒ වැඩ සටහන්වලට නිරන්තයෙන් ලිව්වා. කපුගේ මගේ නමින් ම මං  ඒ ලියපු ඒවා ආයෙමත් කපල කොටල රසට හදල  ප්‍රචාරය කළා.  ඒ නිසාම පාසල් සිසුවෙකුව සිටිය දීම මට කපුගේ අඳුනගන්න ලැබුණෙ රජරට සේවයෙන්. එදා පළමු වරට දැන හඳුනාගෙන  රජරට දී ඇරඹුන කපුගේ සමග පැවති සුහද මිතුදම ඔහු මිය යන තෙක්ම පැවතුණු සදාකාලික මතකයක්. ඔහු මට පසු කාලීනව නිර්මාණාත්මක අත්වැලක් වූවා වගේම  අදටත් ඔහු මට ආලෝකයක්.


නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ
හැංගිලා හඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේ
තාරකා දියේ ගිලේ නිල් එළිය නිවේ
වැහි බිංදු වැටේවී  ‍රෝස පෙති කඩා හැලේ


කිළිපොලා සැලී යමින් නොහිම් සීතලේ
තුරුළු වෙමි දෙනෙත් පියා ඔබගෙ උණුසුමේ
ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ
හෙට උදේම අවදි වී යා යුතුව තිබේ...

රැය ගෙවේ සඳත් නිවේ දුරයි ජීවිතේ
ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ
කටු වලට දෙතොල් තියා මලක් නැති ගසේ
සිඹිමි එකම හාදුවයි සොදුර  ඒ මගේ

ගේය පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය : විශාරද ගුණදාස කපුගේ

1985 පටිගත ක
නින්ද නැති රැයේ ගීතය

           (ඔබ අසා ඇති නින්ද නැති රැයේ ගීතය මෙතනින් බලන්න)
අද ඔහු වෙනුවෙන් මා තෝරාගත් මේ ගීතයත් ඉතාම විශේෂ ගීයක්.    
මේ ඔබ කවුරුත් අසා ඇති “නින්ද නැති රැයේ” ගීතය. 
ඒත් මේ ගීය සමහර විට ඔබ කවදාවත් ම අහලා නැතුව ඇති. මේ ගීය පටිගත කරල තියෙන්නෙ 1976  දී විතර  ඒ කලෙ මේ ගීය ජනප්‍රිය වුනේ නැහැ. කපුගේ මේක කිව්වෙ ගුවන් විදු ලි  සරල ගී වැඩසටහනකට. පළමු පටිගත කිරීමෙන්ම  ගීතය ඉවත් වුණා. කොහොම වුනත් ඒ මුල් ගිය අහපු කපුගේටම හිතෙන්න ඇති මේ ගීයට  ඔහු අතින් කිසිම සාධාරනයක් ඉටුවෙලා නෑ කියලා. ඒ ගීයට සාධාරණයක් ඉටුනොවුන විට ඔහු කම්පනයට පත්වෙන්නත් ඇති. ඒ මොකද කපුගේ සැබෑ ගීතය  වෙනුවෙන් පෙනී සිටි කෙනෙක් නිසා. ඒ නිසාම කපුගේ මේ ගීය නැවත ඊට අවුරුදු දහය කට දොලහකට  විතර පස්සෙ නැවත පටිගත කරනවා ඒ 1985 දී “මාවතේ ගීතය” සිංග්ලංකා කැසට් පටය වෙනුවෙන්.  දෙවන වරට මේ  ගීය අලුත් තනුවකට පටිගත කළා.  ඉන් පස්සෙ ඒ ගීය ඉතාමත් ජනප්‍රිය වුණා. ඒ වගේ ම ලංකාවෙම ජනප්‍රියම ගීත දර්ශක තෝරපු ආරම්භක වර්ෂවල පිට පිටම වසර 03 පළමු ස්ථානයේ තිබ්බෙ “නින්ද නැති රැයේ” දෙවන පටිගත කළ  ගීතයයි. 

 1976 දී මුල්වරට පටිගත කළ නින්ද නැති රැයේ ගීය මෙතනින් අහන්න


බෙහෝ වෙලාවට තමන් අතින් අසාර්ථක වූ ගීයක් නැවත ශිල්පියෙකු  නැවත පටිගත කිරීමක් නොකර ඉවත දානවා. ඒත් කපුගේ තුල හිටපු සෙඳුරු මිනිසා රත්නශ්‍රී විජේසිංහ ලියූ  ගීතයට උපරිම සාධාරනය ඉටු කළා. ශිල්පියෙකුගේ පරිණත භාවයත්, නිර්මාණයක තිබිය යුතු ගුණාත්මක බවත් කපුගේ  තේරුම් ගත්තා.  ඒක තමයි නියම කලාකරුවකුගේ ස්වභාවය. කපුගේ කියන්නෙ ඒවගේ සොඳුරු හදවතක් තිබූ සොඳුරුතම මිනිසෙක් ඒකයි ජනතාව කපුගේට ආදරේ කරන්නෙ. මමත් කපුගේට ආරේ කරන්නෙ අන්න ඒ මානව වාදී ගුණය කපුගේ තුල තිබුණු නිසයි..෴
--------------------------------------------

ඒ දයානන්ද රත්නායකගේ විවරණය...
 
 --------------------------------------------------------------------------------------------------------------