20140509

අමරදේවයන්ගේ අනන්‍යතාවය පිටපත් කරන්න බැහැ..


"අමරදේව අද වයසයි,
හොඳට සිංදු කියාගන්න බැහැ".කියලා
ඔහුගෙ බාහිර ස්වරූපය දෙස බලන අය කිව්වත්
ඒ ගීත රස විඳින්න පුලුවන් අය
එදා වගේම අදත්
ඒ ගීත රස විඳින බව
මීට මාස කිහිපයකට පෙර
අපි අනුරාධපුරේ ඉඳලා හොරණ ගිහින් බලපු
සංගීත ප්‍රසංගයෙදි ඉතාම පැහැදිලිව දැක්කා.

 
හොරණ ශ්‍රීපාලි ශාලාව
අතුරු සිදුරු නැතිව රසවතුන්ගෙන් පිරීගිය
සැන්දෑවේ
ජීවිතයේ ඉතාම සොඳුරු,
ආනන්දනීය සහ හැඟීම් බර හෝරා දෙකක්
සතුටු කඳුලෙන් පිරුණු නෙතින් ගත කළා.


අමරදේව සමග රසිකයන් එක්වුණේ
පැදුරු පාටියක තරම් සමීපව..


ඒ අත්දැකීම ඉතාම ප්‍රබල
අමතක නොවෙන අත්දැකීමක්..


ඒ කාලයෙන් විශාල ප්‍රමාණයක්
පහන් සංවේගය නිසා
වැගුරුණ කඳුලෙන්
දෙකොපුල් තෙත්වුණා..


ඒ ආනන්දය
වචනයට නැගිය නොහැකියි.

එතුමාත් එවැනිම ආනන්දයකින්
පිනා ගොස් තිබුණ බව
ප්‍රසංගයෙන් පසු වේදිකාවට නැග
ශීර්ෂ ප්‍රණාමයෙන් පිදූ වේලේ
අපට පැහැදිලිව දැනුනා.


අපත් එතුමාත් සහෘදයන් වන්නේ
එනිසායි..


==============================================


ඕනම කෙනෙක්
ගායනා කරන කොටම
ස්වර තියනවා.
ඒත් හැඟීම් බර ගායනයක තියෙන්නෙ ස්වර මිශ්‍රණයක්..


ඊයෙ අපේ අම්මා මැරුණා
කියන වචන ටික
තමන්ගෙ හිතවතුන්ට දැනුම් දෙන
දරුවන් පිරිසක්
ඒ වචන හතර උච්චාරණය කරන්නෙ
විවිධාකාරයෙන්.

ඔවුන්ගෙ අම්මට තිබුණ බැඳීම,
අම්මගෙ ඔවුන්ට තිබුණ බැඳීම,
ඔවුන් තොරතුර දෙන
අනික් තැනැත්තාට ඇති බැඳීම..
මේ ආදී බොහෝ දේ
ඒ වචන සමග සම්ප්‍රේෂණය වෙනවා.

ගීයක් ගයද්දි වුණත්
ගයන තැනැත්තාගෙ හැඟීම
ඒ ස්වර වලට මිශ්‍ර වෙනවා.
විවිධ රාග වලින්
ස්වර මාලාව ගයද්දි
ස්වර සංගති වෙනස් වෙනවා.
ස්වරවල ගුණයත් වෙනස් වෙනවා.
ගායකයා විඳින විදිය අනුව
ඔහුගෙ ගායනය
අපි රස විඳින විදියත්
වෙනස් වෙනවා.

ස්වරයක් නිවැරදිව ගයනවා කියන එක
මහා දක්ෂතාවයක් නෙවෙයි..
හඬක් තියන ඕනම කෙනෙකුට
හොඳ පුහුණුවකින් පසු
ඒක කරන්න පුලුවන්..

ඒ ස්වරයට හැඟීමක් කවලා
තව කෙනෙකුට දැනෙන්න සලස්වන එක
මහා දක්ෂකමක්.

ඒ හැඟීම් ඇති කිරීමේ හැකියාව
අඩ සියවසක් තිස්සේ
නොනැසී පැවතීම
ඒ මහා දක්ෂතාවයේ ප්‍රතිඵලයක්.

එකම ස්වරය වුණත්
වයලින් දෙකක වාදනය කළත්
වෙනසක් සහ
ආවේණික අනන්‍යතාවයක් තියනවා.
දක්ෂ සංගීත අධ්‍යක්ෂකවරු
වයලීන රාශියක් උපයෝගි කරගන්නෙ ඒ නිසයි..

එකම රාගයක ස්වර
දෙන්නෙක් නිවැරදිව ගායනා කලත්
ආවේණික අනන්‍යතාවයක් තියනවා.

ඩබ්. ඩී. ආරියසිංහට
දෙවැනි අමරදේව කෙනෙක් වෙන්න
නොහැකි වුණේ ඒ නිසයි..

අමරදේවයන්ගේ හඬ පිටපත් කරාට
ඔහුගෙ අනන්‍යතාවය පිටපත් කරන්න බැහැ...

අමරදේවයන් කියන ලෝහය
රත් වූ උදුන් වල රත් නොකොට
ඔහු පදම් වූ කිණිහිරය මත තබා
පදම් නොකර
තවත් අමරදේව කෙනෙක්
බිහි වෙන්නෙ නෑ..

අමරදේවයන් ගායනා කරද්දි
ඔහු හැම වචනයක්ම තනි තනිව විඳිනවා.

දවසක් රූපවාහිනී වැඩසටහනක
වික්ටර් රත්නායකයන්ගේම තනුවකට
අමරදේවයන් ගැයූ "කුමරියක පා සළඹ සැලුනා"
ගීතය ගයන්නට
වික්ටර් රත්නායකයන්ට ඇරයුම් ලැබුණා..

ඔහු ඉතා නිහතමානීව කිව්වා
"එතුමා ගැයූ ගීතයක් ගයන්න තියා
අපට හිතන්නවත් බැහැ
එතුමා ඉන්නෙ අපට ගව් ගාණක් ඉහළින්.
මම උත්සාහ කරන්නම්." කියලා.
ගයනා කරද්දි අපට වෙනස වැටහුණා.

දිගු කලක් තිස්සේ සංගීතය හැදෑරූ..
අමරදේවයන්ගෙනුත් සංගීතය හැදෑරූ
තමන් ගැනත් හොඳින්ම දන්නා
අමරදේවයන් ගැනත් හොඳින් දන්නා
වික්ටර් රත්නායකයන් එසේ පවසනවා.


අපට අමරදේවයන් කෙරෙහි මෙන්ම
තමන් ඉන්නා තැන හොඳින් දැන ගැනීම පිළිබඳව
වික්ටර් රත්නායකයන් පිළිබඳවද
ඉමහත් ගෞරවයක් ඇති වෙනවා.



මේ ගීය වික්ටර් රත්නායකයන් ගයද්දි
ඔහු නිහඬව රස විඳින අයුරු බලන්න.
ඔහු නිවන් දකින තුරු කියද්දි
නිවන ගැන හිතලයි
ඒ වචන ගයන්නෙ.

ඔහු දන්න දේත්...
ඔහු විඳින දේත්..
ඔහු අරමුණු කරන දේත්...
ඔහු සම්ප්‍රේෂණය කරන දේත්
ආදී සියලු දේ
ඔහුගෙ වර්ණාවලියෙන් මතුවෙලා
ගීතය පැහැ ගන්වනවා.

සංගීත ස්වරය
ඒ සියල්ලෙන් අපේ හදවත තෙත් කරන්නට
ඔහු උපයෝගී කරගන්නා
හිස් බඳුනක් පමණයි..

ඒ හිස් බඳුන හිමි කර ගැනීමෙන්
කෙනෙක් ඔහු හෝ නන්දා මාලනිය
ඉක්මවනවා තබා
ඔවුන් අසලටවත් එනවායැයි සිතීම
හිස් සිතිවිල්ලක්..