20121129

Full movies Online - සම්භාව්‍ය චිත්‍රපට.




ඉපැරණි හා අති විශාල රෂෝමොන් දොරටුව මතට
අතොරක් නැතිව ඇදහැලෙන අනෝරා වැස්සේ
එම දොරටුවෙහි සෙවනට වී සිටින
දරකපන්නා සහ බෞද්ධ පූජකයා
කිසියම් අද්භූත, ඇදහිය නොහැකි සිදුවීමක් නිසා
විමතියෙන් සසලවී සිටිති.
වැස්සේම එහි දිව එන තුන්වැන්නෙකු නිසා
එම සිදුවීම පිළිබඳ කතාබහක් ඇතිවෙයි.

වන ලැහැබක ස්ත්‍රී දූෂණයක් සිදුවී ඇත.


අකිරා කුරොසාවාගේ

රෂෝමොන්

 

===========================

 ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ  

ගම්පෙරළිය


===========================



ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ 

දෑස නිසා

===========================

විශිෂ්ඨ කෙටි චිත්‍රපට. Amazing Short films..


විනාඩි කිහිපයක් තුළ
කිසියම් සත්‍යයකට අපේ සිත් විවරකරන
විශිෂ්ඨ කෙටි චිත්‍රපට කිහිපයක් නරඹමු.

==========================================

  "මා  යදින්නේ මසුරෙකුගෙනි...."


" ඔහේ ඇවිදිමි, දෙපා විරියෙන්
මසුරෙකුගෙනි, මා යදින්නේ
වැඩ කරන්නට මහළු වැඩි මා,
මියෙන්නත් බිය ඇත්තෙමි.

එකම දිනකට නිවාලන්නට
නොහැකි නම් කුස ගිනි මගේ
මා දයාබර දෙවිඳුනේ,
හිඟන්නෙකි මා මෙන් නුඹත්.."
.
 ජරාව කෑම
ඉන්දියාවෙ පොලිසියෙත් විශාල ප්‍රශ්නයක්.
ඉතාම මානුෂික හා සානුකම්පිත අයුරින්
හැම චරිතයකටම සාධාරණය ඉටුවන අයුරින්
ඉතාම සංයමයෙන් නිපදවා ඇති
මෙම කෙටි චිත්‍රපටිය
මිලකළ නොහැකි දියමන්තියක්.

සැබෑ හිඟන්නා කවුද?

===========================================================

  =====================================================

.

=====================================================

  =================================================

ඇයි අපි වයසට ගිහින්,
ලෙඩ වෙලා දුක් විඳලා මැරෙන්නෙ.
ගහකින් කොළයක් ගිලිහෙනවා වගේ
සැනසිල්ලෙ මැරෙන්න බැරි ඇයි..

  ===========================================

පුතු සෙනේ පිතු හද තුළම මිස
නැත පුතුන් හද තුළ රඳන්නේ.

 

  =============================================

අද ඔබ සා පිපාසා විඳින්නට
අතීත හේතුව කුමක්ද? 

  ============================================

ජීවිතයෙහි පරිපූර්ණත්වයද, ඔබේත් අරමුණ.?

.

 =============================================

 අද ඔබට ලැබෙන අවස්ථාවන්
ඔබ උපයෝගී කරගන්නා ආකාරය
ඔබේ අනාගතය තීරණය කරයි.

   =============================================
ඔබ ඔබේ දෙමව්පියන්ට අකමැතිද?

ඔබේ ධනවත් බවෙහි ප්‍රතිමූර්තිය
ඔබ සතු ධනය නොවේ.
ඔබ පරිත්‍යාග කරන ධනයයි..

 

   =============================================

දකින හැම වරකම කඳුලෙන් දෑස් තෙත් කරන සලරුවක්.

දයාවෙන් යුතුව
තබන පුංචි පියවරක්
අනන්තවූ තරංග ජනිත කරවයි..
ඔබ වෙත යළිදු පැමිණෙන...

 

 =============================================

පසන් සිතින් ඔබ කියන කරන දේ
සෙවනැල්ලක් ලෙස ඔබ පසු පස පැමිණෙයි.
--------- බුදුන් වහන්සේ ---------

 =============================================

 

  =============================================

 

=============================================

 

  =======================================

  මේ පියාට අනුකම්පා කළ යුතුයි..
ඔහු ආදරණීය පියෙක්...
හොඳ පියෙක් නොවෙයි..
පව්කාර පියෙක්..

ඔහු ආදරණීය පියෙක්...
ඒත් ඔහුට ගරු කරන්න බෑ.
ඔහු බාලයෙක්..
ඔහු බොරු කියන කෙනෙක්..
ඔහු තමන්ගේ දියණියට
බොරුව සාධාරණීකරණය කරන්න
උගන්වන කෙනෙක්..
දරුවා නොමග යවන පියෙක්..

  ==============================================

සොඳුරු සිත් ඇති කාන්තාවෝ සුන්දරයි..

=========================================

සැබෑවිය හැකි නිසා..
සිහින මවන්නේ පරිස්සමෙන්


WINNER - 2010 Australian Effects and Animation Festival
NOMINEE - 2009 Australian Film Institute Award. Best Visual Effects
WINNER -- 2009 Visual Effects Society Award, LA, USA
FINALIST -- 2008 Best Tertiary Short Fiction, Enhance TV ATOM Awards, Australia
WINNER -- 2008 Best Short Sharp Short, In The Bin Festival, Australia
SILVER -- 2008 ACS Victoria/Tasmania, Short Fictional Drama Australia,
Official Selection - Palm Springs, USA;

  ==================================================

  අසීමාන්තික

  .

 

 

 

20121128

Scotch Whisky හදන්නෙ මෙහෙමයි



1 පියවර: මෝල්ට් කිරීම
බාර්ලි කියන්නෙ ධාන්‍ය වර්ගයක්.
මුලින්ම කරන්නෙ මේ බාර්ලි උල්පත් ජලය සහ යීස්ට් සමග මිශ්‍ර කර පල් වීමට තබා බාර්ලි පිෂ්ටය සීනි මිශ්‍රනයක්(මෝල්ට් සාරය) බවට පත් කර ගනී. ඉන්පසු මෙම මිශ්‍රණය මෝල්ට් පෝරණු(Malt Kiln) තුල දමා රත් කර වේලා ගනු ලබයි.


 
  මේ දැක්වෙන්නේ එසේ වියලා සකස් කර ගත් මෝල්ට් බර්ලි මිශ්‍රණයකි.


2 පියවර: මෝල්ට් බාර්ලි අඹරා ගැනීම සහ අමු බීර(Wort) නිශ්පාදනය
මුලින්ම කරන්නෙ මේ මෝල්ට්බාර්ලි ඇඹරුම් යන්ත්‍ර වලින් අඹරලා කුඩු කර ගන්න එකයි. මෙම ක්‍රියාවලියේදී බාර්ලි සහ පිදුරු/පොතු වෙන් කර මෝල්ට් සාරය විස්කි නිෂ්පාදනයටත් පිදුරු සහ පොතු කෘෂි පොහොර නිෂ්පාදනයටත් යවනු ලබයි.

මෙසේ අඹරා කුඩු කරගත් මෝල්ට් බාර්ලි ධාන්‍ය Mash Tun නමින් හැදින්වෙන පීප්ප වල දමා උල්පත් ජලය සමග මිශ්‍ර කරමින් අඹරනු ලබයි.
මෙම ක්‍රියාවලිය 3 වරක් සිදු කරීමෙන් අමු බීර ලෙස හදුන්වන මිශ්‍රණය සාදා ගනු ලැබේ.

පලමුවෙනි සහ දෙවෙනි වාරවල කලවම් කරන ලද මිශ්‍රණයෙ ද්‍රාවනය පෙර විස්කි නිශ්පාදනයට යවන අතර තෙවෙනි වර පෙරා ගත් ද්‍රාවනය ඊලග මෝල්ට් බාර්ලි මිශ්‍රනය සකස් කර ගැනීමට යොදා ගනී.
 


3 පියවර: පැසවීම (fermentation)
2 වන පියවරෙන් ලබා ගත් අමු මද්‍යසාර ද්‍රාවනය ඩග්ලස් ෆර් දැවයෙන් නිෂ්පාදනය කල මීටර් 5ක් පමන උස Wash-back Vats නම් වූ ගුදම් වල දමා ලීටර් 50,000ට යීස්ට් ලීටර් 250ක් අනුපාතයට මිශ්‍ර කර පැසවනු ලබයි.

මේ දැක්වෙන්නේ ඩග්ලස් ෆර් ගස්
 


 
Wash-back Vats
මෙම ක්‍රියාවලියට දවස් 2ත් 4ත් අතර කාලයක් ගතවේ. උෂ්නත්වය සෙල්සියස් අශක 33හි තබා ගෙන සිදු කරන fermentation ක්‍රියාවලියේදී ඇල්කොහොල් 6%-8% අතර ප්‍රමාණයේ බියර් බවට පත්වේ. මෙම ක්‍රියාවලිය බීර පැසවන ක්‍රමයට බෙහෙවින්ම සමානය.




4 පියවර: භාගික ආසවනය (Distillation)
භාගික ආසවනයේ අවශ්‍යතාවය වනුයේ නිපදවාගත් බීර වල ඇති ඇල්කොහොල් වාශ්ප කර සිසිළනය කරවීමෙන් ඇල්කොහොල් ද්‍රාවන ලබා ගැනීමයි. මෙම ක්‍රියාවලිය සදහා තඹ වලින් නිෂ්පාදිත ආසවන යන්ත්‍ර භාවිතා කරයි. මෙම ආසවන උපකරණ වල හැඩය සහ නිමාව මත ලැබෙන ඇල්කොහොල් නිශ්පාදනයේ ගුනාත්මකබව රදා පවතී. එම නිසා මෙම ආසවන උපකරණ විස්කි නිෂ්පාදකයින් තමන්ට කැමති පරිදි විවිද වෙනස් කම් කරමින් සකස් කර ගෙන ඇත.





 
copper, brass and glass spirit stills

මෙසේ ලබා ගත් ඇල්කොහොල් මිශ්‍රණයේ සාන්ද්‍රණය ඉතාම විෂ සහිත වන අතර මෙම ඇල්කොහොල් මිශ්‍රණය තවදුරටත්" copper, brass and glass spirit stills" නම් වූ විශේෂ පෙරුම් උපකරණයකින් 17%ක් වූ විෂ රහිත ඇල්කොහොල් සහ විෂ සහිත ඇල්කොහොල් වෙන් කර ගනී.
මින් අනතුරුව විෂ රහිත ගුණාත්මක ඇල්කොහොල් Maturation සදහා යවනු ලබයි.



5 පියවර: පරිණත කරවීම (Maturation)
ආසවන ක්‍රියාවලියෙන් වෙන් කරගත් පිරිසිදු විෂ රහිත ඇල්කොහොල් දියර ඇමෙරිකන් ඕක් ලීයෙන් නිපදවූ ගුදම් වල බහා වසර 3 ක් හෝ ඊට වැඩි ගනණක් පරන වීමට තබා බෝතල් කර වෙළද පොලට නිකුත් කරයි.





From
http://www.facebook.com/media/set/?set=oa.475146205871463



මද්‍යපානයෙහි සංයමයෙන් යුක්ත වීම
උතුම් මංගල කාරණයකි.

සුරාපානයෙන් ප්‍රමාදයට නොපැමිණෙමි

කියලයි ශික්ෂාපදය තියෙන්නෙ.

ප්‍රමාදය කියන්නෙ දැන් වෙන දේ
දැන් පෙනෙන්නෙ නැහැ කියන එකයි.

අප්‍රමාදී කෙනෙක් කැලේක යනකොට
කූඩැල්ලෙක් කකුලට ගොඩ වුණොත්
ගොඩ වෙන කොටම දන්නවා.

ප්‍රමාදී තැනැත්තා දන්නෙ
කූඩැල්ලා බඩ පිරෙන තුරු ලේ බීල
වැටුණටත් පස්සෙ
රෙද්දෙ තියන ලේ දැක්කමයි.

ප්‍රමාදී තැනැත්තා මළමිණියක් වගෙයි.
පමාදෝ මච්චුනෝ පදං කියන්නෙ
ඒ නිසා කියන එකයි මගේ අවබෝධය.

ශාරීරිකව අක්මාවට දරන්න පුලුවන්
මධ්‍යසාර ප්‍රමාණය ඉක්මවා යනවා වගේම
මානසිකව සිහිය පවත්වා ගන්නට
හැකි පමණ ඉක්මවා යාම
ප්‍රශ්නවලට මුල් වෙනවා.

------------------------------------------------------------------

අරක්කු කාලකින්,
නැත්නම් බියර් බෝතලයකින්
මත්වෙන, වෙරි වෙන කෙනෙකු අතරත්
අරක්කු බාගයකින්,
නැත්නම් බියර් බෝතල් දෙකකින්
මත්වෙන, වෙරි වෙන කෙනෙකු අතරත්
ශාරීරිකව හා මානසිකව ඇති වෙනස්කම
ගැන හිතනකොට මට හිතෙනවා
අරක්කු කාලකින් වෙරි වෙන කෙනෙක්
අරක්කු කාලක් බීල එන මානසිකත්වයෙන්
මත්පැනට හුරු පුරුදු තැනැත්තා දවසෙම ඉන්නවාද කියල..

ඒක එහෙම වෙන්න පුලුවන්ද?


Photo: මත්පැන් බොන නොබොන අයට 
ප්‍රශ්නයක්, දෙකක්...

1, මත්පැන් පානය කරන දෙන්නෙක්
හෝ එකම පුද්ගලයා
තමන් පිළිබඳ පාලනය
තමන්ගෙන් ගිලිහෙන පමණට
මත්වෙන්නට, වෙරි වෙන්නට,
අවශ්‍ය මත්පැන් ප්‍රමාණය
පුද්ගලයාගෙන් පුද්ගලයාට
නැත්නම් එක දිනයකින් තවත් දිනකට
වෙනස් වෙන්නේ ඇයි.?

2, අරක්කු කාලකින්,
නැත්නම් බියර් බෝතලයකින්
මත්වෙන, වෙරි වෙන කෙනෙකු අතරත්
අරක්කු බාගයකින්,
නැත්නම් බියර් බෝතල් දෙකකින්
මත්වෙන, වෙරි වෙන කෙනෙකු අතරත්
ශාරීරිකව හා මානසිකව ඇති
වෙනස් කම් මොනවාද?

3, මේ දෙන්නාගෙන් වඩා ශක්තිමත්
හා වඩා දුර්වල කවුද?

4, ඒ මොන අංශ වලින්ද?

--------------------------------------------------
මත්පැන් පානයෙහි හෝ
මෙම සංවාදයෙහි
හරි වැරදි කතා නොකර
මාතෘකාවේ කරුණු පමණක්
කතා කරමු..

නින්දා අපහාස,
පුද්ගලික දෝෂාරොපන,
අශ්ලීල වචන හා
ද්වේෂ සහගත ප්‍රකාශ වලින්
සම්පූර්ණයෙන් වැලකිලා
සංවරව සංවාද කරමු.
එවැනි ප්‍රකාශ ඉදිරිපත් වුවහොත්
පිළිතුරු දීමෙන් වැලකී සිටිමු.

මත්පැන් පානය කරන නොකරන
හැම කෙනෙකුටම සංවාදය විවෘතයි.

අත්දැකීම ඇති අය
අත්දැකීමෙන් කියන්න.
නැති අය තර්කයෙන් කියන්න.

මගේ මතය තියෙන්නෙ
අත්දැකීමත් තර්කයත්
අතර තැනකයි.

මම මගේ මතය අන්තිමට
කියන්නම්. :) 

20121127

මහගම සේකර නිර්මාණ


මා යන මග කටු පඳුරින්
දෙපය බිඳී ගලන ලෙයින්
කටු මඟහැර නිසිමඟ දැන
ඔබෙ ගමන නිම කොට ඔබ
අප සොයනා පහන් තරුව
මට පළමුව දැකගත හොත්
එ වෙනුවෙන් ඔබෙ පයට
ආසිරි මල් පිබිදෙනු ඇත්.

එ මල් තුල මා දකින්න.....
මගෙ කවියෙන් ඔබ දකින්න... 
-------------- සක්වාළිහිණි --------------

 අඳුරු අහස් ගැබ කෙළවර
රන්වන් පෑයෙන් පායන
පහන් තරුව දැක ගන්නට
ඒ බව දැන හෝ නොම දැන
ඔබත් මමත් අපි හැම දෙන
යමින් සිටිමු එකම අතට

ඒ ගමනේ මට හමු වන
ගල් පරුවත හෙල් ප්‍රපාත
මට වාගෙම ඔබ හැමටත්
යම් දවසෙක හමු වනු ඇත.






https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhv7oKvz7BGmNzMgoH2e_ssUHzM6wgd2FmUHkQWZfSa0xQOqJRKgQw_aXEPXeVaxM6GY1kUPpnA2QAZcQU3DHv0KEqGgzM9ixVvXRoQ6kjX6PCc0yGRzUxIXsuvg2IS18kS8IVlmKy-Jgs/s400/sekara.jpg



------------------------------------------------------------------
ප්‍රබුද්ධ

භවයකින් පසු තවත් භවයක
උපන්නා සේ ඔහුට හැඟුණේ ය.
මරණයෙන් පසු අළුත් උපතක්
ලබන්නා සේ ඔහුට හැඟුණේ ය.

ගිලන් හලේ සුදු හැඳ ගත් හෙදියන්
සුදු බිත්ති හා ඇඳන්
සියළු වස්තු සම්මිශ්‍ර ව
තිරයක් සේ විය
අඩක් ඇරී සිහි ලබනා දෑසට

වාට්ටුවේ ඇතුළත හා පිටත නැගෙන
සියළු ශබ්ද සම්මිශ්‍ර ව
සමුද්‍ර ඝෝෂාවෙ හි
වර්ෂාවෙ හි
එක් වන් හෝ නාදය මෙන්
ශුද්ධ ඕංකාරය මෙන්
ප්‍රකෘතියෙහි සංගීතය
මඳින් මඳ ව ඇසෙන්ට විය.

කාලය මිදී ඝන ව තිබී
අසංඛ්‍ය කල්පයකට පසු
කෙමෙන් ඇරෙන නෙත් ආලෝකයෙන් උණු ව
සෙමින් සෙමින් ගලා ගියේ ය.

පිටුවඃ1

 ---------------------------------------------------------------------

[sekara1.jpg]
--------------------------------------------------------------

ප්‍රබුද්ධ

යසෝදා !
පසක් කලා මම තවත් සත්‍යයක්
සාගතයෙන් පෙළෙන තැනක
වගා නොවන බව ධර්මය
සාගින්නෙන් පෙළෙන අයට
පසක් කර ගත නොහැක ධර්මය
සුන්දරත්වය, නිවන .. සත්‍යය..
….. ….. ..
ධර්මය වටහා ගත හැකි
සත්‍යය සුන්දර බව දැකගත හැකි
උත්තර සමාජයක් ගොඩ නැගුමේ මුල් පියවර
කෑමෙන් බීමෙන්
ඇඳුමෙන්
ගෙයින් දොරින්
තෘප්තිමත් වූ ලොවක් තැනීමය
ඒ සඳහා මම නවතිමි
නැවතීම මය ගමන
සංසාරය.. නිවන
 -------------------------------------------------------------- 

මගේ කවියෙන් ඔබ දකින්න…

අඳුරු අහස් ගැබ කෙළවර
රන්වන් පෑයෙන් පායන
පහන් තරුව දැක ගන්නට
ඒ බව දැන හෝ නොම දැන
ඔබත් මමත් අපි හැම දෙන
යමින් සිටිමු එකම අතට

ඒ ගමනේ මට හමු වන
ගල් පරුවත හෙල් ප්‍රපාත
මට වාගෙම ඔබ හැමටත්
යම් දවසෙක හමු වනු ඇත

දෙපය බැඳෙන මළ පුඬුවෙන්
ඔබ යන මග ඇහිරී
බොරුව ඉසින අයස මඬින
ගත කිලි කුණු තැවරී
කැට මුගුරින් පහර ලබා
දුබල අතින් පොළොව බදා
මා දමන් ඔබ ඒ දවසේ
අසරණ වී වැළපෙන විට
මා ලිව් කවි මට වාගෙම
ඔබ හැමටත් පොදු වනු ඇත

සබඳ ! එවිට මගෙ කවියේ
මා නොසොයා ඔබ දකින්න..

මා යන මග කටු පඳුරින්
දෙපය බිඳී ගලන ලෙයින්
කටු මඟ හැර නිසි මඟ දැන
ඔබේ ගමන නිම කොට ඔබ
අප සොයනා පහන් තරුව
මට පළමුව දැක ගත හොත්
ඒ වෙනුවෙන් ඔබේ පයට
ආසිරි මල් පිබිදෙනු ඇත.

ඒ මල් තුළ මා දකින්න.

සක්වා ලිහිණි 
1962
 -----------------------------------------------------
 







20121126

මියුරු ඉන්දියානු ගීත.


1971 දී ශක්ති සමන්තා අධ්‍යක්ෂණය කළ
"අමර් ප්‍රෙම්"චිත්‍රපටියේ
කිෂෝර් කුමාර් ගයන මේ ගීතයට අනුව රඟන්නේ
එවකට ඉතා ජනප්‍රිය නළුනිළි යුවළක් වූ
රාජේශ් ඛන්නා සහ ශර්මිලා තාගෝර් ය.

"ගිනි පුපුරක් ඇවිලුණොත් වැස්ස නිවාදමනු ඇත.
වැස්ස අවුලුවන ගින්න නිවන්නේ කවුරුන්ද? "

රන්බණ්ඩා සෙනෙවිරත්නගේ කවි



නුවරකලාවියේ ජනවහර රටට හෙළි කළ මරදන්කල්ලේ බයියා
ගේයපද රචක අධිනීතිඥ රන්බණ්‌ඩා සෙනෙවිරත්නයන් අභාවයට පත්වී වසර 15 යි.
සිංහල ගීත ක්‍ෂේත්‍රයට ගේය පද රචනා විශාල ප්‍රමාණයක්‌ දායාද නොකළත් තමන් විසින් රචිත ගීත රචනා කිහිපයෙන් සිංහල ගීත සාහිත්‍යය ඉහළට ඔසවා තැබුමට ඇවැසි ශක්‌තිය සැපයූ අධිනීතිඥ රන්බණ්‌ඩා සෙනෙවිරත්නයන් අපගෙන් සමුගත්තේ මින් වසර 15 කට පෙර 2001 දෙසැම්බර් මස 05 වැනි දායි.
මළ බෙර හඬ පසුබිම් කොට ගෙන විශාරද ගුණදාස කපුගේ ගායන ශිල්පියා විසින් ගයන "පබළු නඟේ නාමල් තිලකේ" ගීතය ඔබ අසා ඇතිවාට සැක නැත. නමුත් එම ගීතයේ පද රචනය කෙරෙහි ඔබේ අවධානය යොමු වුණා දැයි මම නොදනිමි.
පබළු නඟේ නාමල් තිලකේ
පුංචි ඔසරි මැණිකේ - සුමනෝ.........ඇයි නුඹ නැත්තේ
වැවේ දියේ ඇති නිකිණ්‌න නිල්ලේ
අඩ හඳ යායට කෙකටිය පිපිලා
වෑ කන්දේ බෝ ගස්‌ සෙවනේ
මම අද තනියම ඔළිඳ ගණිනවා
වෙනදා වාගෙම තල මල පිපිලා - තිබුණත් ඇළ ළඟ වත්තේ
සුමනෝ ඇයි නුඹ නැත්තේ
මළ හිරු එළියෙන් කොක්‌කු ගියාදොa
මිහින්තලා ගල පැත්තේ
පිරුවට ඇඳ පෙට්‌ටියක තියාලා - පහන් දෙකක එළි මැද්දේ
මදටිය වැටෙද්දි හඳ කැළතෙන ඇළ
ඒදණ්‌ඩේ ඉස්‌මත්තේ
සුමනෝ ඇයි නුඹ නැත්තේ
මෙම විශිෂ්ට ගීතයේ ගේය පද රචනාව අධිනීතිඥ රන්බණ්‌ඩා සෙනෙවිරත්නයන්ගේය. මෙහි අන්තර්ගත වන්නේ තරුණ ගැහැනු දරුවෙකුගේ අකාල මරණයයි. ගුණදාස කපුගේ විසින් ගායනා කරන මෙම ගීතයේ සංගීතය වශයෙන් යොදාගෙන ඇත්තේ ඈතින් සෙමෙන් ඇසෙන මළ බෙරහඬ හා තම්මැට්‌ටම් නාදයයි.
ඔහුගේ ගීතවල අඩංගු වන බොහෝ වචන හා යෙදුම් නුවරකලාවියේ බස්‌ වහර ආත්ම කොටගෙන තිබේ. විශේෂයෙන් මෙම ගීතයේ සඳහන් වන නිකිණ්‌න නිල්ල" යන වචනය අප රටෙහි වෙනත් කිසිදු ප්‍රාදේශීය බස්‌ වහරක දකින්නට නොලැබෙන වචනයකි. නිකිණ්‌න නිල්ල යනු වැවෙහි දිය නිකිණි මාසයේ දී වියළී යන විට වියළි යන වැවේ පිටියේ ජලය හිඳීගිය තැන්වල මතුවන නිල්වන් ලා තණ ගොබයි. මෙම නිල්ල මතුවන්නේ තෙතමනය තාවකාලිකව ඇති නිසාය. නමුත් ඒ නිල්ල වැඩි කලක්‌ පවතින්නේ නැත. ග්‍රීෂ්මය විසින් එම නිල්ල දවා හළු කරයි. විනාශය වියෝගය සනිටුහන් කරන්නට යොදාගෙන හැකි එවන් වෙනත් රූපකාර්ථයක්‌ තවත් ඇත්ද?
ඔහු විසින් රචිත ගී පද රචනා කිහිපය වුවද සිංහල ගීත සාහිත්‍යයේ හැරවුම් ලCෂ්‍යයකි. අධිනීතිඥ රන්බණ්‌ඩා සෙනෙවිරත්නයන් උපත ලද්දේ අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ මිහින්තලේ මරදන්කල්ල නමැති හද්දා පිරිසර ගම්මානයේයි. වන්නිහාමි නමැති ආයුර්වේද වෙදමහතෙකු මෙන්ම ගුරුවරයෙකු වූ සිය පියා මහත් වැර වෑයමින් තම දරුවන් පෝෂණය කරන්නට විඳින අපමණ දුක්‌ සමුදාය හෙතෙම ජීවත්වීමෙන්ම වටහා ගත්තේය. නුවරකලාවියේ අව්ව, වැස්‌ස හා හුළඟ යන ස්‌වාභාවික සංසිද්ධීන් ගෙන් නිතර බැට කන ගැමියා විසින් පෙළෙන කටුක බව ඔහුගේ ගීතයේ ආත්මය විය. එම ගීතවලින් නැඟෙන්නේ එකී වේදනාවේ රිද්මයයි.
හද්දා පිටිසර වන්නියේ උපන් තමන් මිහින්තලේ අමුම අමු බයියෙක්‌ බව කියන්නට රන්බණ්‌ඩා සෙනෙවිරත්නයන් කුමන අවස්‌ථාවකදී වත් මැළි වූයේ නැත. බයියා යන වචනයෙන් කියෑවෙන පිටිසර ගැමියා යන පර්යාය පදයට ඔහු මහත් ඇලුම් කළේය. ගේය පද රචනයේ දී පැරැණි සාහිත්‍යයේ ගැඹුරු අරුත් සහිත පද සොය සොයා රසවිඳින්නට සහෘදයන්ට සිදුවන කල රන්බණ්‌ඩා සෙනෙවිරත්නයන් සිය ගීත කිහිපයට කිසි කලෙක අසීරුවෙන් සොයා රසය විඳිය යුතු පද එක්‌ කළේ නැත. ඒ වෙනුවට තමන් දන්න දකින දේ මෙන්ම අසන දේ හා ඇසෙන දේ නිර්මාණවලට එක්‌ කිරීමට හෙතෙම උත්සාහ කළේය. ඔහුගේ ගීතවල ඇති අපූර්වත්වයද එයයි.
අප හැමෝම දන්නා මෙතෙක්‌ අප රටේ බිහිව තිබෙන විශිෂ්ටම මවු ගුණ ගීතය ලෙස අවිවාදයෙන් පිළිගන්නා "දවසක්‌ පැල නැති හේනේ" ගීතයේ පදරචනය ද අධිනීතිඥ රන්බණ්‌ඩා සෙනෙවිරත්නයන්ගේය. මෑත කාලය තුළ වැඩිම දෙනෙකුගේ වන්දනාත්මක විවේචනයට ලක්‌ වූ ගීතය වන එම ගීතයේ එන ඡේද තුනෙහිම ඇතුළත් වන්නේ වැහි තුනක්‌ ගැනයි.
පළමුවන ඡේදයේ එන්නේ අකාල මහ වැසි වැස්‌සා" යන්න වන අතර දෙවැනි ඡේදයේ එන්නේ "නින්දා වැහි වැගිරුණදා" යන්නයි තෙවැනි ඡේදයේ එන්නේ කොළඹ අහස කළු කරගෙන මුහුදු හුළඟ හඬලමින් තවත් මහවැස්‌සක්‌ වසින්නට අරඅඳින බවයි. මෙම වැහි තුනෙන් අදහස්‌ කරන්නේ විපතක්‌, කරදර ආපදා බාධා පිරිපතවල, පෙරනිමිත්තක්‌ බවයි. එමෙන්ම රජරට ජනතාව නියඟයකින් පසු වැස්‌ස වශයෙන් සලකන වැහි තුන මෙම ගීතයේ රූපකාර්ථයක්‌ බවට පත් කර ගැනීමට අධිනීතිඥ රන්බණ්‌ඩා සෙනෙවිරත්නයන් උත්සුක වූ බව පෙනේ.
දවසක්‌ පැල නැති හේනේ ගීතයේ ඇතුළත් වන වචන සමුදාය නුවරකලාවියේ ජනවහරෙහි එන වචනයි. යෝධ ඇළේ නැම්මේ. පැළ නැති හේන උඹ තෙමුණා අම්මේ, මං එනතුරු ඉඳිකඩ ළඟ ඉන්නවාද අම්මේ වැනි යෙදුම්වලින් ඒ බැව් සනාථ වේ. එමෙන්ම එම යෙදුම වූකලී සාර්ථක නිර්මාණයක බලෙන් ඔබ්බවන ලද සංකේත නොව ස්‌වාභාවිකවම යොදන ලද සංකේතයෝය.
අධිනීතීඥ රන්බණ්‌ඩා සෙනෙවිරත්නයන් විසින් "උලලේනෝ" ගීතය ද විපත වියෝව පාදක කොට රචිත ගීතයකි. රජරට සේවය ආරම්භක සමයේ ලියෑවුණු මෙම ගීතය රජරට සේවය ඔස්‌සේ විකාශය විය. රාත්‍රිකාලයට වාදනය වන මෙම ගීතයේ ගුණදාස කපුගේගේ ගැඹුරු හඬ සමඟ මුසු වූ පදරුත්, උගත් මෙන්ම සාමාන්‍ය අවබෝධයක්‌ ඇති ගැමියාට පවා ලබා දුන්නේ මහත් වින්දනයකි.
උලලේනෝ ගීතයට පදනම් වූයේ මර්දනය කළ අසාර්ථක 71 කැරැල්ලෙන් අහිමි වූ තරුණ ජීවිත බව කියෑවේ. එහි එන "ඉහිරුණු කිරි කොතලෙට ඉකි බිඳලා පල නෑ. නුඹටත් එක්‌කයි මං මේ පැල් කවිය කියන්නේ" යන යෙදුම 71 අහිමි විප්ලවය පිළිබඳ ඉඟි කරයි.
මීට අමතරව අමරසිරි පීරිස්‌ මහතා ගයන ළඳුනේ ගීය ද රන්බණ්‌ඩා සෙනෙවිරත්නයන් විසින් රචිත ගීතයකි. ගණිකාවක්‌ වුණත් ඇය කෙරෙහි දැක්‌විය යුතු මානුෂික දයාව පිළිබඳව එමගින් කියෑවේ.
පසුකාලයක රූපවාහිනි වැඩසටහන්වල පෙනීසිටි රන්බණ්‌ඩා සෙනෙවිරත්නයන් ගේය පද රචනය මෙන්ම සුභාවිත ගීතය පිළිබඳ ප්‍රේක්‍ෂක මතකයේ රැඳී පවතින වැඩසටහන් රැසක්‌ ඉදිරිපත් කළේය. එමෙන්ම ඔහු "හිතේ දුකට කියන කවි" හා "නිහඬ නිම්නය" නමැති කාව්‍යමය ග්‍රන්ථ දෙකක්‌ භැඅ ඡදකසඑසජ්ක ඤබජැචඑs දෙ Sරස ඛ්බන් නමැති කෘතියත් පළ කරනු ලැබීය.
සෑම කෙනකුටම තමන් ගත් තීරණ වැරදී ගිය අවස්‌ථා විය. ක්‍රියාකාරී දේශපාලනයට ප්‍රවිශ්ඨ වීම ඔහු ගත් වැරදි තීරණයක්‌ බව මම සිතමි. මක්‌නිසාද යත් දේශපාලනය වැනි කඨෝර කර්කශ මනුෂ්‍යත්වයෙන් ඈත්වූ විෂයයක්‌ රන්බණ්‌ඩා සෙනෙවිරත්න නමැති සරළ අහිංසක ගැමියෙකුට බර වැඩිය. දවසක්‌ පැල නැති හේනේ ගීතයේ අවසානයට යොදා තිබෙන මහවැස්‌සක්‌ වසින්නට තැත් දරන කොළඹ අහස ගැන හෙතෙම පවසන්නේ ඒ නිසාය.
ඔහු විසින් එක්‌තරා වැඩසටහනක දී කියන ලද වැකියක්‌ මේ අවස්‌ථාවේ සිහිපත් කිරීම වටී. සුනඛයෙක්‌ මියගිය විට මිනිස්‌සු හැටක්‌ පමණ වටවී සොයා බැලූ යුගයක්‌ අපට තිබිණි. නමුත් මිනිස්‌සු හැටක්‌ මැරුණත් එක්‌කෙනෙක්‌වත් නොබලන යුගයක අපි ජීවත්වෙමු. එවැනි යුගයකට වඩාත්ම අවශ්‍ය වන්නේ රන්බණ්‌ඩා සෙනෙවිරත්න වැනි මිනිසුන් බව අපිට පසක්‌ වේ.
===== ධර්ම වන්නිනායක =====

















රන්බණ්ඩා සෙනෙවිරත්න පිළිබඳව සොඳුරු මතක සටහනක්..

තවත් එක් සොදුරු ශ්‍රී ලාංකිකයෙක්....... 01





අම්මා තිවු විලාපය තවමත් ඇසෙනා...- නන්දන වීරසිංහ



ජන ගීයක් මෙන්
පහන් සංවේගයෙන් හද තෙත් කරවන
අනුවේදනීය නිර්මාණයක්.


http://www.silumina.lk/punkalasa/20090802/ar0908021-1.jpg
- නන්දන වීරසිංහ ලියූ -

දුම්මල ගලට ගිය අම්මා


දුම්මල ගල ඉමේ මහ මූකලානේ
අඳෝනාව ඇඟ හී ගඩු නඟන්නේ
කන්දේ පරවේණි උලලේනියන්නේ
රෑ සමයමේ ඇයි මා බය කරන්නේ

අපෙ අම්මා දුම්මල ගලවන්න ගියා
ඒවා මිටි බැඳන් වඳුරඹ පොළට ගියා
හාල් ටිකට පොල් ගෙඩියට ණයක් තියා
කොපි පොතකුයි පැන්සලකුයි ගෙනෙන්නියා

වැහි වැහැලා ගල ආදා බඩේ වුණා
අම්මා එදත් ඒ ගල මුදුණටම වුණා
රූටා ගිහින් පාවුල ගලටත් රිදුණා
අම්මා තිවු විලාපය තවමත් ඇසෙනා

ඇලබඩ රුප්පාව ළඟ රෑ හඳපානේ
ඉන්නා කලට මට දුම්මල ගල පෙනුණේ
ලෝබ නැතුව ඔය ගල දුම්මල දුන්නේ
අම්මා පෙරලුවත් තරහක් නෑ හිතුනේ


මේ කවිපෙළේ
කොයිතරම් දේවල්
අපිට හිතල හොයාගන්න තියනවද?

දුම්මල ගල ඉමේ මහ මූකලානේ
අඳෝනාව ඇඟ හී ගඩු නඟන්නේ
කන්දේ පරවේණි උලලේනියන්නේ
රෑ සමයමේ ඇයි මා බය කරන්නේ

දුම්මල ගල කෙළවරින් ඇරඹෙන මහ මූකලානේ
පරවේණියෙන් කන්දට හිමි උලලේනියනි...
නුඹේ අඳෝනාවෙන්
මහ රෑ මැදියමේ..
අවතාර හැසිරෙන
සමයං වෙලාවේ..
මා බය කරන්නේ ඇයි..

ඔහුගේ සැබෑ බයක් හෝ
අමනාපයක් මෙහි නැත.
එහෙත් ඔහු සිටින පරිසරයත්..
ඒ පරිසරයෙහි ස්වභාවයත්,
කාලයත් පිළිබඳව මේ එකම කවියෙන්
ප්‍රබල හැඟීමක් ඇති වෙයි.

අපෙ අම්මා දුම්මල ගලවන්න ගියා
ඒවා මිටි බැඳන් වඳුරඹ පොළට ගියා
හාල් ටිකට පොල් ගෙඩියට ණයක් තියා
කොපි පොතකුයි පැන්සලකුයි ගෙනෙන්නියා


අම්මා දුම්මල ගලවන්න ගියේ
මහමූකලාන ඉමේ
දුම්මල ගලට බව
අපි දැනටමත් දනිමු.
ඔවුන්ගේ ජීවන මට්ටම හෙලිවන්නේ
මේ කවියෙනි.
වඳුරඹ පොළට ගොස් මිටි බැඳන් යන
දුම්මල විකුණා මුදලක් ගත්තත්
හාල් ටිකට පොල් ගෙඩියට ණයක් නොතියා
එන්නට තරම් ඇය පොහොසත් නැතත්
ඉතිරි කරගන්නා මුදලින් ඇය ගෙන එන්නේ
කොපි පොතක් හෝ පැන්සලයකි.
පවුලේ කැම බීමට වඩා
දරුවාගේ ඉගෙනීම ඇයට වැදගත්ය.

තව දවසක වැහි වැහැලා ගල පෙඟුණා
දුම්මල ගලවන්න ගල මුදුනට නැගුණා
ගල මුදුණේ ඉඳලම ලිස්සා වැටුණා
පහල ගලට ඇද වැටිලා ඇය මැරුණා
කියා අමුවෙන්ම කියන්නත් තිබුණා.

ඒත් නන්දන වීරසිංහ ලියන්නෙ මෙහෙමයි.
වැහි වැහැලා ගල ආඳා බඩේ වුණා.
අම්මා එදත් ඒ ගල මුදුණටම වුණා
රූටා ගිහින් පාවුල ගලටත් රිදුණා
අම්මා තිවු විලාපය තවමත් ඇසෙනා


වැහි වැහැලා ගල
ලිස්සන ආඳාගේ බඩමෙන් ලිස්සුවත්
අම්මා එදත් ඒ ගල මුදුණටමනැංගා.
ඇය කොතරම් ඉහල සිට පහළට රූටා
පතිත වුණාද කීවොත්
පහළ ගලටත් රිදුණා.
ඇය වැටෙද්දී තැබූ විලාපය
ඔහුට තවමත් ඇසෙන්නක් වැන්න.
ඇයට වූ විපත
ඔහු හැඟීම්බරව විස්තර කළත්
ඔහුතුළ ශෝකයක්,
කෝපයක් වැනි හැඟීමක
අල්පමාත්‍ර ඉඟියක් හෝ ඇත්තේ

ඇලබඩ රුප්පාව ළඟ රෑ හඳපානේ
ඉන්නා කලට මට දුම්මල ගල පෙනුණේ
ලෝබ නැතුව ඔය ගල දුම්මල දුන්නේ
අම්මා පෙරලුවත් තරහක් නෑ හිතුනේ


ඔහු රෑ සමයමේ අඳෝනා දෙන
උල ලේනුන්ට බයකළ හැකි පුතයෙකු නොවේ.

රෑ හඳපානේ
ඇලබඩ රුප්පාව ළඟ ඉන්නා ඔහුට
අදත් දුම්මල ගල පෙනෙයි.
සිය මව අහිම්වන්නට දායක වූ
ඒ නිර්වේදී පර්වතය කඩා බිඳ හෙළා
පාරට දමා තාර දැමිය යුතු යැයි
ඔහුට නොසිතේ.

ලෝබ නැතුව දුම්මල දුන් දුම්මල ගල පිළිබඳව
ඔහු තුළ ඇත්තේ කෘතඥතාවයකි.
දුම්මල ගල දෙස ද්වේශයෙන් තොරව
ඔහු හෙළන උතුම් බැල්ම
මුලු කවි පෙළෙහිම සිළුමිණ වැන්න.

=============================================

“දුම්මල ගලට ගිය අම්මා”
චන්ද්‍රසිරි දොඩංගොඩගේ විවරණය-----------------

නන්දන වීරසිංහ ලියූ “දුම්මල ගලට ගිය අම්මා” කවි පංතිය දකුණු පළාතේ ගිංගඟ අසබඩ දුගී ගැමි ජන ජීවිතය හොඳින් නිරූපණය කරන කවියක්. ගිංගඟ අසබඩ ගණ වනාන්තරයේ යකහළු ගස් නැමැති ගහක මැලියම් වර්ගයක් කඩලා විකිණීම ගැමියන්ගේ දින චර්යාවේ කොටසක්. මේ මවත් තම පුතාට යම් අධ්‍යාපනයක් ලබාදීම සඳහා තමයි දුම්මල ගස් තියෙන වනාන්තරයට යන්නේ. කවිය කියැවෙන්නේ මවගේ දරුවාගේ දෘෂ්ටි කෝණයෙන්. මෙහි ඛේදවාචකය තමයි දුම්මල කඩාගෙන එන්නට ගිය අම්මා ගලකින් ලිස්සා වැටී මියයාම.

මේ පුවත හරහා දුගී ගැමි ජන ජීවිතය ජීවත් වීමට ඔවුන් දරන වෙහෙස ඔවුන්ගේ පීඩිත පන්තිය පිළිබඳ ව මේ කවියෙන් කියැවෙනවා. කවියා පැරණි ජනකවි සම්ප්‍රදාය අනුව යමින් කවිය නිර්මාණය කර තිබෙනවා. එනිසා ම එහි ගුණාත්මක බවක් රැඳී තිබෙනවා.

හැත්තෑව දශකයේ මැද භාගයේදි බිහි වූ බොහෝ කවියෝ විවිධ අත්දැකීම් හා විවිධ අත්හදා බැලීම් ඔස්සේ කවිය නව ඉසව්වකට ගෙන ආහ. නන්දන වීරසිංහ නම් වූ ප්‍රවීණ කවියා ද විවිධ අත්දැකීම් ඔස්සේ සාර්ථක නිර්මාණ කළ කවියෙක් ලෙස හඳුන්වාදීමට ද පුළුවන. “දුම්මල ගලට ගිය අම්මා” ඔහු විසින් මීට වසර විසිහතකට පමණ පෙර ලියන ලද නිර්මාණයකි. “ගිං ගඟේ විලාපය” කාව්‍ය සංග්‍රහයේ එන “දුම්මල ගලට ගිය අම්මා” විශ්ව විද්‍යාල උපාධි පාඨමාලාවන් සඳහා නිර්දේශිත අතර කලක් දහය ශ්‍රේණිය සිංහල පෙළපොතටද ඇතුළත් කර තිබිණ.

දුම්මල සෙවීමත් ඒවා පොළට රැගෙන ගොස් විකිණීමත් ජීවන වෘත්තිය කරගත් අම්මා කෙනකු වැසිදාක දුම්මල සෙවීමට කැලයට ගිය ගමනේදි ගලමතින් ලිස්සා වැටී මිය යාමේ ශෝකජනක පුවතක් පදනම් කර ගනිමින් නන්දන වීරසිංහයන් තම නිර්මාණය කර ඇත. ලැබූ අත්දැකීම ප්‍රතිනිර්මාණය කරමින් කවියා මවගේ මිය යාමට එහායින් වූ බොහෝ දේ ගෙන හැර දක්වයි.

දරිද්‍රතාවය, ආදරය, දරුවාගේ තනිකම ආදී වූ සියල්ල කවිය තුළ ගැබ් ව ඇති අතර කවියා විසින් තමා ලැබූ අත්දැකීම කීමට ජනවහර යොදාගෙන ඇත. ඔහුගේ නිර්මාණය තුළ ජනවහර කටවහර යෙදී ඇත්තේ නිරායාසයෙනි. ඔහු ඒවා නිර්මාණය තුළට බලෙන් රිංගවා නොමැති වීම කවියේ සාර්ථකÀවයට හේතුවකි. ජනකවි ආභාෂය ලත් “දුම්මල ගලට ගිය අම්මා” කියවීමේදී පාඨකයාට එහි සංකල්ප රූප ආදිය මැවී පෙනේ. තෙත බරිත වැසිදාක ගලින් ගල පැන යන අම්මා කෙනෙකුගේ රුවක් දෑස් අභියස මැවේ.

දකුණු පළාතේ ඇති හිනිදුම වැනි ප්‍රදේශවල භාවිතා වන කට වහර කවියා අපූරු ලෙස යොදා ගෙන ඇති අයුරු මෙයින් පැහැදිලි වේ.

වැහි වැහැලා ගල ආඳා බඩේ වුණා
අම්මා එදත් ඒ ගල මුදුනටම වුණා
රූටා ගිහින් පාවුල ගලටත් රිදුණා
අම්මා තිවු විලාපය තවමත් ඇසෙනා...

වැස්සට තෙමුණ ගල ලෙස්සන බව කීමට කවියා යොදා ගෙන ඇත්තේ ‘ගල ආඳා බඩේ වුණා’ යන යෙදුමයි.

අම්මාගේ මියයාමේ සිදුවීම ඉතා ශෝචනීය ලෙස ඉදිරිපත් කරන කවියා එය ළමයා ලවා අපට කියවීමේදී තම අදහස් ඍජු ව ම අපට නොකියයි. එනමුදු ඔහු ළමයා ලවා අපට කියන්නේ දරිද්‍රතාවයත් අම්මාගේ මිය යාම නිසා සමාජය දෙස වෛරයෙන් බලන්න යැයි කියා නොව සමාජය දෙස මෙන් ම තමන්ගේ ජීවිතය දෙස සානුකම්පිතව බලන්නට යැයි නොකියා කියයි.

ඇලබඩ රුප්පාව ළඟ රෑ හඳපානේ
ඉන්නා කලට මට දුම්මල ගල පෙනුණේ
ලෝබ නැතිව ඔය ගල දුම්මල දුන්නේ
අම්මා පෙරලුවත් නෑ තරහක් හිතුණේ

’ගිං ගඟේ විලාපය’ කාව්‍ය සංග්‍රහයට අමතරව කිරි සුවඳැති රාත්‍රිය, සත්‍යකාම නම් වෙමි, ගිරග, මහත් සඳ පිනි බිඳෙක චන්ද්‍ර බිම්බ ආදි කාව්‍ය සංග්‍රහ රචනා කර ඇත. නන්දන වීරසිංහයන්ගේ නවතම කාව්‍ය සංග්‍රහය ‘රැය කරා ගමන’ පසුගියදා එළිදැක්විණ.

සම්මානනීය කවියකු වන නන්දන වීරසිංහයන් පුවත්පත් කලාවේදියකු ද වේ. ඔහු කලක් සිළුමිණ ශාස්ත්‍රීය සංග්‍රහය සැකසුවේය.

http://www.silumina.lk/punkalasa/20100718/_art.asp?fn=ar10071811

=========================================================
============ නන්දන වීරසිංහ ============
===============================================================
නන්දන වීරසිංහගේ කවි මග සැතපුම් කණු

ගිං ‍ගඟේ විලාපය- 1984

කිරි සුවඳැති රාත්‍රිය- 1990 
රාජ්‍ය සම්මාන

සත්‍යකාම නම් වෙමි- 1994 
රාජ්‍ය සම්මාන

ගිරග- 1998 
රාජ්‍ය සම්මාන, ස්වාධීන සාහිත්‍ය සම්මාන

මහත් සඳ පිණි බිඳෙක- 2002 
රාජ්‍ය සම්මාන, විද්‍යෝදය සම්මාන

චන්ද්‍ර බිම්බ- 2005 ගොඩගේ සම්මාන, 
2005 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානයේ ප්‍රශස්ත කෘති නි‍ර්දේශය.

සමස්ත කාව්‍ය නිර්මාණ කාර්යය වෙනුවෙන් 
2000 වසරේ බුන්කා සම්මානය


20121125

"මාතොටින් එන උතුරු හුළඟ"... සරෝජා.

http://sinhala-lyrics.com/slyrics/files/Ma_Thotin_Ena_Deepika.jpg


කලාව කියන්නේ
සමාජයට කණවැලක් වත්,
කලා කරුවා කියන්නේ
කණ වැල
අල්ලන යන්නෙක්වත් නොවෙයි..
එහෙත් ඔහුත් සමාජය තුළම
තවත් අන්ධයෙක් කියන්න බැහැ.
සාමාන්‍ය පුද්ගලයට වඩා
ඔහුගේ දැක්ම පුළුල්.

උදාහරණයක් කියන්නම්.
යුද්ධයෙන් පීඩා විඳපු
අහිංසක දෙමළ මිනිස්සු ගැන
ඕන තරම් ප්‍රවෘති අපි කියවනව.
ඒත් ඒවයෙන් පමණක් නොවෙයි..
සැබෑ සිද්ධියකින්වත් සසල නොවෙන
කම්පනය නොවෙන ගැඹුරකට කතා කරන්න
හොඳ නිර්මාණයකට පුලුවන්.

http://www.becon.mrt.ac.lk/bess/Images/Singers/deepika-priyadarshani.jpg
දීපිකා ප්‍රියදර්ශනී
ගයන "මාතොටින් එන" ගීතය අහද්දි හිතේ මැවෙන රූපය
මගේ ඇස් වලට නිතරම වගේ කඳුලු නංවනවා,

විශේශයෙන්ම  පොඩි ළමයෙක්
ඒ ගීතය හැඟීම්බරව ගායනා කරද්දි..

කොච්චර හුරුපුරුදු උණත්
වෙඩිහඬටත් බයවෙන පුංචි සරෝජා,
එයා ජීවත් වෙන බියකරු පරිසරය,
එයා අත්හැරල යන එයත් එක්ක
එකම දුක විඳින පන්තියෙ ටීචර්..
යුද්ධයෙන් මියගිය
නැත්නම් මායිමෙන් ඈතට පළාගිය
සරෝජගෙ වයසෙ පුංචි දරු දැරියන්,
මියගිය, නැත්නම් ත්‍රස්තවාදීන් අතර ඉන්න තාත්තා,
හෙට ත්‍රස්තවාදීන්ට ගොදුරු වෙන්න
එහෙම නැත්නම්
මන්දිරයක බේබිලාට බැලමෙහෙ කරන්නට ඉඩ ඇති
සරෝජගෙ අවිනිශ්චිත අනාගතය,...
මේ හැමදේම සුලු වෙලාවකදි
හිතට දැනෙන්න කියන්න
කිසිම ප්‍රවෘත්තියකට බෑ.

මේ සිද්ධිය සාමාන්‍ය පුද්ගලයෙක්
කෙලින්ම කිව්වොත් කියන්න තියෙන්නෙ
"ඔන්න අද අර සරෝජගෙ සිංහල ටීචර්...
ඉස්කෝලෙන් මාරුවක් අරන්
අඬ අඬා ගියා" කියල තමයි.

සමහරු මේ දෙකෙන්ම තේරුම් ගන්නෙ
එකම දේ වෙන්න පුලුවන්.
එතන ප්‍රශ්නයක් තියනවා.

විනාඩි හතරක්
හරියට නොතෙරෙන දෙයක් අහන්න
නිකරුනේ කාලෙ නාස්ති කරන්නෙ නැතුව
අයිටීඑන් ප්‍රවෘත්ති වලින්
ඒක කෙලින්ම අහන එක
එයාලට හොඳයි

ඒත් මේක අහල සසල වෙන්න තරම්
සංවේදී හිතක්
මේක අහල සසල වෙන කොට
ඒ හිතේ සංවේදී බව
අංශු මාත්‍රයකින් හරි වැඩි වෙනවා.

ඇත්තටම උතුරෙ ඉඳල පැනල ආපු
සිංහල ගුරුවරුන්
සියයට අනූනමයක්ම පැනලා එන්න ඇත්තෙ
තමන් මුණගැහෙන්න පෙරමග බලාගෙන ඉන්න
තමන්ගෙ දරුවො ගැන හිත හිතා.
ඒක සුවිශේෂී හැඟීමක් නෙමෙයි..
තිරිසන් සත්තු ලඟ උනත් ඒ හැඟීම තියනවා,
සමහර මිනිසුන් ලඟ තියනවටත් වඩා..
කලාකරුවන් ලෙස හැසිරෙන
සාමාන්‍ය පුද්ගලයා නිර්මාණ කරන්නෙ
ඒ සාමාන්‍ය පොදු හැඟීම උලුප්පලයි.
මර්කට් එකට බොම්බයි මොටයි වගේ
කොලවෙරි ඩී වගේ අල්ලනවා.

ඒත් මේ ටීචෙර්
සරෝජා දිහා බැලුවම පෙනෙන තොරතුරු ටික
රචකයා එක මොහොතකට ගොනු කරල
අපට පෙන්වලා දෙන්නෙ
හොඳ නිර්මාණ කරුවෙකු ගෙ
ප්‍රබල සම්පජානො සතිය තුළින්.
ඒක ටීචර්ගෙ හිත උණාට
කියවෙන්නෙ සරෝජගෙ අනුවේදනීය කතාව.

හොඳ නිර්මාණ කරුවෙකුගෙ නිර්මාණ ඇසුරෙන්
අපේ ජීවිත තුළත්
ඒ පුළුල් දැක්ම
චුට්ටක් හරි වර්ධනය වෙනවා.
ඊට පස්සෙ අමු අමුවෙ සිද්දියක් ඇහුවත්
ඒ තුළින් අර වගේ දුර දකින්න
අපට උදව් වෙන්නෙ
ඒ වගේ පුළුල් දැක්මකින් යුතු නිර්මාණ කරුවෙක් කරන
පුළුල් දැක්මකින් යුතු නිර්මාණයක් තමයි.

සමහර විට කෙනෙක්
තමන්ගෙ නොසිඳෙන කාමාශාව,
සල්ලිවලට, බලයට තියන කෑදරකම
ආදිය පදනම් කරගෙන
නිර්මාණයක් කළත්
සසල වෙන පිරිසක් සමාජයෙ ඉන්නවා.
ඒත් එයාලගෙ ජීවිත දිහා
කාලෙකට පස්සෙ ආපහු හැරිල බැලුවොත්
එයාලට තේරේවි,
ඒ සසල වීමෙන් කැළඹිලා
තමන් එදාටත් වඩා පිරිහුණ
පව්කාර ජීවිත බවට පත්වෙලා තියන බව.

කොයි විදියට නිර්මාණයකින් සසල වුණත්
නිර්මාණයේ හොඳ හෝ නරක අනුව
ඔය කියන වෙනස නම් සිදු වෙනවා....

අමුවෙන් කරන නිර්මාණයකින් වුණත්
සසල වෙන අයත් ඉන්නවා.
ඒ වගේ අය තමයි වැඩි හරියක් සමාජයෙ ඉන්නෙ.
එයාල කරන්නෙ තල් අත්තට තල්ගෙඩිය වැටිච්ච වෙලාවෙ
හාව කළා වගේ තමන්ගෙ ඔලුව බේරගන්න හදන එකයි.
ඒ හැඟීම සතෙකුගෙ වගෙයි..
ඒ මොහොතට විතරයි.

හදිසි අනතුරක් උණාම තුවාල කාරය පණ අදිද්දි
රියදුරායි කොන්දොස්තරයි අල්ලගෙන
මැරෙනකම් තඩි බාන්නෙ ඒ සංවේදී පිරිස තමයි.

කලාකරුවා තම අන්ධ කම නිහතමානීව පිළිගනිමින්
තමන්ගේ අතට හසුවන
අලියාගේ කොටස ගැන වියමනක් කරනවා...
එය අසම්පූර්ණ බව ඔහු දන්නවා....
එහෙත් එය රසිකයා නොදුටු පැත්තක් බවත්
නොදුටු ස්වරූපයක් බවත්
ඔහු දන්නවා.

අපි මාස දෙකතුනකට වරක්  "සිංහබාහු" බලනව.
නිතරම පටිගත කරන ලද නාට්‍යය
අහල රස විඳිනවා.
ඒත් තවමත් ඒ චරිත තුල
අපි හැමදාම අලුතෙන් දකින දේ අනන්තයි.

ඒ කතාබහ තුලින්
අපි දෙමව්පියන් ගැන,
දරුවන් ගැන,
ඔවුන්ගේ සබඳතාවයන් ගැන
සැබෑ ජීවිතයෙන් පසක් කර නොගන්නා
දහසක් දේ පසක් කර ගන්නවා.
දරුවන්ට පෙන්වනවා.
"නාට‍යය බලන්න යමු"
"සිංහබාහු සින්දු දාන්න"
කියන්නෙ අවුරුදු හතරෙ හයේ දරුවො.

කලාකෘතියක් විඳින්න
පණ්ඩිතයෙක් විය යුතු නැහැ.
කලාකෘතිය බලෙන් බොන
තිත්ත කසායක් විය යුතු නැහැ.
කලාකෘතියක් කියන්නෙ
මිහිරි ජීවන දැක්මක්.

තවත් විදියකට කියනවා නම්,
කලා කෘතියක් කියන්නෙ
අපේම ජීවිතවල
අපි නොදකින දේ මත,
එහෙම නැත්නම්
අපි හරියට නොදකින දෙ මත පතිත වෙන
තාවකාලික හිරු රැස් දහරක්.
එයින් මා තුල යම් සසල වීමක් වුණොත්
ඒ සසල වීමෙන් මා තුළ
කිසියම් නව දැක්මක් පහළ වුණොත්
මට ඒ කෘතිය කලාකෘතියක්.



කලාකරුවාගේ කාරිය



සිත්තරාගේ කාරියත්,
නළුවාගේ කාරියත්
හරියටම එක සමානය.
ඔහු මෙන්ම
"දක්නා"වස්තුවක් නොව
"දන්නා"වස්තුවක්
ආරම්භයෙහි ගන්නා මොහුද
ස්වභාව ධර්මයේ වහල් කෘතියක් නොව
යථාර්ථයේ පිටපතක් සොයයි.

මේ සඳහා ඔහු යොදා ගන්නේ
සීමිත වාග් මාලාවකි.
සියල්ලන්ටම තේරුම් ගතහැකි
විශ්වභාෂාවක් වන ඒ වචන මාලාව
සම්මත සිද්ධාන්ත ශ්‍රේණියකින් යුක්ත වන අතර
එක්තරා ගණයක පූර්වකෘති කොටසක් ආශ්‍රයෙන්
කලාකරුවාගේ මනස තුළම
වීස්තෘත තත්වයට පත් කර ගනු ලැබේ.

නළුවාගේ මෙන්ම සිත්තරාගේද අරමුණ වනුයේ
නරඹන්නාගේ සිතේ රස යනුවෙන හැඳින්වෙන
උද්වේගාවස්ථාවක් ඇති කිරීමයි.
මේ වනාහි බාහිර පෙනුමේ සැඟවුණු
අර්ථ පක්ෂය පිළිබඳ වූද,
නරඹන්නන්ගේ සංවේදනේන්ද්‍රියට
පරාවර්තනය කරනු ලබන
සම්ප්‍රදායික චිත්ත රූප පිළිබඳ වූද
විද්‍යාවයි.
නරඹන්නා තුළ අවෛෂයික භාවෝද්දීපනයක්
මෙයින් ඇති කරලයි.
මෙපමණක් නොව නළුවා මෙන්ම සිත්තරාද
ආකාරස්වරූපය නිශ්චය කොට ගනිමින්,
කෘත්‍රිම වූ එහෙත් ඵලදායී වූ චිත්ත භාව ගණනාවක්
කෘත්‍රිම ලෙස නිපදවනු ලබයි.
මේ නිසා,
නාට්‍යයක මෙන්ම සිතුවමකද
සකලාංගයක්ම
යථෝක්චිත රසෝත්පාදනයට සමත් වන සේ
සකස් කළ යුතුය.

කලාකරුවාගේ ප්‍රයත්නයේ
සාර්ථකාසාර්ථකත්වය නිශ්චය කළ හැක්කේ
නරඹන්නා තුළ මේ හැඟීම දැනවීමෙහි
කලාකෘතිය සමත්වන ප්‍රමාණය අනුවය.
එසේම නරඹන්නාට සිය කෘතීන් මගින්
මේ හැඟීම දීමට නම්,
කලාකරු පළමු කොට
එය තම සිත් තුළ ඇතිකර ගත යුතුය.
---------------------------සෙනරත් පරණවිතාන
---------------------------ඓන්දීය කලා සහ සාහිත්‍යය

-------------------------------------------------------------
මෙහි වටිනාම වාක්‍යය අවසාන වාක්‍යයයි..

20121124

සත්‍යජිත් රායිගෙ "පාතර් පංචාලි"




සත්‍යජිත් රායිගෙ "පාතර් පංචාලි"
තාක්ශණික අවබෝධයේ ඌනතාව
කලාත්මක ප්‍රබලතාවයෙන්
වැසෙන බවට හොඳ උදාහරණයක්.
සත්‍යජිත් රායි
"පාතර් පංචාලි" නිර්මාණය කරන්නේ
සිනමාකරණයෙහි අත්දැකීම් රහිත
කණ්ඩායමක් සමගයි.

එහි කැමරා ශිල්පියා වූ සුබ්‍රතා මිත්‍රා
සිනමාව ගැන කිසිම දැනුමක් නැති
විසි එක් වියැති තරුණයෙක්.
ඔහු තම ඡායාරූප රායිට පෙන්වමින් පසුපස එනවිට
ඔහු සහායකයෙකු ලෙස ගන්නට
රායි පොරොන්දු වුණා.
එහෙත් චිත්‍රපටය රූගත කිරීම අරඹන විට
ඔහු මිත්‍රාට කැමරාකරණය භාර දුන්නා.



විශ්ව සිනමාවේ මුල් පෙලේ දැවැන්තයෙකු වන
ජපන් ජාතික අකිරා කුරොසාවා මෙසේ පවසනවා.
"පාතර් පංචාලි නැරඹීමෙන් පසු
මා සිත තුල ඇතිවූ උද්වේගය
මට කවදාවත්ම අමතක කරන්න බැහැ.
ඉන් පසුවද කිහිපවතාවක්ම
මා එය නැරඹූ අතර
ඒ හැම වරම වඩවඩාත් කැළඹුණෙමි.
එය සුවිසල් නදියක මහිමාන්විත භාවයෙන් සහ
සැහැල්ලුවෙන් ගලා බසින ආකාරයේ සිනමාවක්.

මිනිසුන් උපදිනවා, ජීවත් වෙනවා, මරණය භාරගන්නවා.

ඉතාම නිරායාසයෙන් සහ
කිසිදු හදිසි ගැස්සීම් වලින් තොරව
රායි සිය සිත්තම පින්තාරු කරනවා.
ඒත් ඒකෙ ප්‍රථ්ඵලය
නරඹන්නාගේ ගැඹුරු හැඟීම්
අවදි කිරීමයි.
ඔහු මෙය කරන්නේ කෙසේද?
ඔහුගේ සිනමානුරූපී තාක්ශනයේ
අවුල්සහගත හෝ අදාල නොවන
කිසිමදෙයක් නෑ.
විශිෂ්ඨත්වයේ රහස එතැනයි."

Satyajit Ray shooting for Pather Panchali.

අපේ පුතාට අවුරුදු හයේදි සහ
දෝණිට අවුරුදු හතරෙදි
ඔවුන් මුලින්ම "පාතර් පංචාලි" බැලුවා.

චිත්‍රපටිය බලල ටික වෙලාවකින්
ඉස්සෙල්ලා පුතා සහ
පසුව දෝණි
හෝ ගාල අඬන්නට පටන් අරන් තිබුණා.

බිරිඳ ඇයි කියල ඇහුවාම
ඔවුන් කියල තිබුණෙ
"දුර්ගා මැරුණ නිසා" කියල.
---------------------------------------------------
පාතර් පංචාලි චිත්‍රපටිය
1958දී නිව්යෝක් හි
Fifth Avenue Playhouse සිනමා හලේ
එක දිගට මාස අටක්
ප්‍රදර්ශනය වෙලා තිබුණා.

http://youtu.be/TrC2UIZSg4Y.



 

20121123

ලොව පුරා,... දිනපතා,... සිංහබාහුලා සිංහයන්ට විදිනවා.

කොළඹ ඉන්න දවස්වල
මාසෙකට දෙකකට වරක්
අපි පවුල පිටින් නැරඹූ 
සිංහබාහු.........
සිංහබාහු නාට්‍යයෙ මූලිකව කතා කරන්නෙ 
දරුවන්ට නොතේරෙන පිතෘ ප්‍රෙමය පිළිබඳවයි.

පුතු සෙනේ මස් නහර හම සිඳ
ඇට සොයා ගොස් ඇට තුලට වැද
ඇට මිඳුළු මත රඳා සිට
දුක් දෙයි නිබන්දා...

 


මගේ පුතා දෙස මම බලන විදිය
මට පෙනෙන තුරු මට මගේ පියා
මා දෙස බැලූ විදිය
මට තෙරුම් ගත නොහැකි වුණා.
මා දෙස ඒ විදියට බලන්න
පුතාට නොහැකි බවත් මට තෙරුණා.
ඒ සත්‍යය පැහැදිලිව වටහාගන්න
මට විශාල ආධාරකයක් වුණේ සිංහබාහුයි.

නිර්මාණයක් විදියට සිංහබාහු නාට්‍යයෙ චරිත
බෙහෙවින්ම සමබරයි.
හැම චරිතයකම හොඳ නරක,
දුර්වලතා ආදිය තියනවා වගේම
ඔවුන් තුළ ඇතිකරන පෙළඹවීම් ආදිය
මැනවින් ඉදිරිපත් කෙරෙනවා.
ඒ චරිත වලට අයාලෙ මතුවන
සිතුවිලි නැහැ.
ඔවුන් කිසියම් ගැටුමකට මුහුණ දීලා
තවත් බලපෑම් මත
ඔවුන් තුළ ඇතිකරන පෙළඹවීම් මත
ඔවුන් ශක්ති පමණින් ගන්න තීරණ මත
ඔවුන්ගෙ ක්‍රියාකාරකම් සිදුවෙන බව
අපට වැටහෙනවා.

සිංහබාහු සිංහයාට විදින තැන
ඔහු "ආවා, විද්දා"නෙමෙයි.

සිංහබාහු පියා මරන්න එන්නෙ
සිංහයා කෙරෙහි ද්වේශයෙන් නෙමෙයි.
රටේ ජනතාවට කරන හානිය නිසයි.
පියා එන්නෙත් අඹු දරුවන්ට ඇති ස්නේහය නිසයි.
සිංහබාහු දැක්කම සිංහයාට අවශ්‍ය
සිංහබාහු වැළඳ ගන්නයි.
ඒ ස්නේහයෙන් ඔහුගෙ හිත මොළොක් වෙනවා.
ඔහු හිත දැඩි කරගන්නේ ආයාසයෙන්.
පියාගෙ මෛත්‍රිය නිසා හී සරය වදින්නෙ නැහැ.
ඔහු නැවත විදිනවා.
ඒ හී සරය වදින්නෙත් නැහැ.

කෝපය නිසා මෛත්‍රිය බිඳීමෙනුයි
හී පහර වදින්නෙ.

මේ මොහොත ...
අපි විතරක් නෙමෙයි,
අපේ අවුරුදු හයේ හතරෙ දරුවො දෙන්නාත්
මේ සිදුවීමෙන් සසල වෙනවා..
බලන හැම දවසකම
දෑසින් කඳුළු එන තරමට
අපි සසල වෙනවා..
ඒ සසලවීම අපිට දැනෙන්නෙ
දෙමව්පියන් හා දරුවන් විදියට
අපි ඒ ගැටුම විවිධාකාරයෙන්
ජීවිතකාලය පුරා
අත් විඳින නිසයි.


ලයනල් වෙන්ඩ්ට් එකේ සිංහබාහු තියනවා.
එදාටත් බලන්න හිත කියනවා.

කවදාවත් විවාහවෙන්න එපා,



කවදාවත් විවාහවෙන්න එපා,
මා ආදරණීය මිත්‍රයා.
ඔබට දෙන අවවාදය එයයි.

තමා කරන්නට කැමති

තමාට කරන්නට පුලුවන්
හැමදෙයක්ම කරලා අවසානයි කියා
ඔබටම කියාගන්නට හැකිවනතෙක්
කවදාවත් විවාහවෙන්න එපා.
ඔබ තෝරාගන්නා යුවතියට ඇති ආදරය නිවිලා,
ඇය ඈ සිටින විදියට පෙනෙන්න කලින් විවාහවුණොත්
කවදාවත් නිවැරදි කරන්න බැරි,
ක්‍රූර වරදක් කළා වෙනවා.
වයසට ගිහින්
කිසිදේකට වැඩක් නැති කෙනෙක් වුණාට පස්සෙ
විවාහ වෙන්න.
එහෙම නොකළොත්
ඔබ තුළ තියන උසස් ගුණාංග
ටිකින් ටික නැතිවී යාවි.
හැමදේම බිඳෙන් බිඳ නැතිවී යාවි.
ඔව්! ඔව්! ඔව්!..
ඔය තරම් පුදුමයෙන් මාදිහා බලන්න එපා.
ඔබ අනාගතේදි
ඔබෙන් කිසිවක් බලාපොරොත්තුවෙන් විවාහ වුණොත්
පියවරක් පියවරක් පාසා
ඔබේ සියල්ලම හමාර වී ඇති බව
ඔබට වැටහේවි.
විසිත්තකාමරය හැරෙන්නට
හැම දෙයක්ම නැති වෙලා
රාජසභාවක දාසයෙකුගෙ මට්ටමට වැටේවි.
මොකක්ද ඇති හොඳේ?"
==================================

ලියෝ ටෝල්ස්ටෝයිගේ
"යුද්ධය හා සාමය"
කියවන්නට පටන් ගතිමි.

2009දී NEWSWEEK සඟරාව මගින් තේරූ
ලොව මෙතෙක් ලියැවුණු හොඳම පොත් 100 අතුරෙන්
පළමුවැන්නට තේරුණු මෙම පොතෙහි
සැබෑ චරිත 160 පමණ ඇති අතර
මුලු චරිත සංඛ්‍යාව 500කට අධිකය.

කොතෙක් චරිත තිබුණද
ඉතා පැහැදිලි අනන්‍යතාවයෙන් යුතුව
මෙම චරිත සිතන පතන ආකාරය සහ
ඔවුන් හැසිරෙන ආකාරයද
ඒ දෙක අතර වෙනස්කම්ද
ටොල්ස්ටෝයි ඉතා ගැඹුරෙන් සහ
සියුම්ව විස්තර කරන අයුරු විශ්මිතය.

අප නොදන්නා නොහඳුනන පරිසරය
අප හමුවේ මැවෙද්දී
සිනමා පටයක් නරඹනවාක් වැනි
කුතුහලයකින් සහ තෘප්තියකින්
කියවිය හැකි පොතකි.

මෙය කියවන්නට
මෙතෙක් කල් සිටීම ගැනද
මහත්සේ සතුටුවෙමි.
මීට පෙර කියෙව්වානම්
අද මට මෙහි පෙනෙන බොහෝ දේ
එදා මා නොදකිනු ඇතැයි මට සිතේ.

මිනිසුන්ට දැනෙන නිර්මාණයක්


අතීතයෙන් වියුක්තව
අතීතයේ මිනිසුන් වින්ද, අදටත් විඳින
සියුම් භාවයන්ගෙන් වියුක්තව
මිනිසුන්ට දැනෙන නිර්මාණයක් බිහි කරන්න
කාටවත් බැහැ.


එකේ ඉඳල දහයට ගනින්න බැරි කෙනෙක්
එකොළහ කියල හඳුන්වන දේ
හිස් වචනයක් විතරයි.
සිංහබාහු සාර්ථක වුණේ
එතෙක් සිංහල ජනජීවිතයේ
රිද්මයට සංගත වෙලා තිබුණ
නූර්ති හා නාඩගම් ලක්ෂණ මත පදනම් වීමත්
සනාතනික පිය පුතු ගැටුම
ඉතාම නාට්‍යමය ආකාරයෙන්,
කාගේත් දොස් දකිමින්
කිසිවෙකුටත් දොස් නොපවරා,
ඉතා සංවේදීව සහ හෘදයාංගමව
නිර්මාණය කල නිසයි.
එහි හැම දෙබසක්ම
හැම සිද්ධියක්ම
එකම අරමුණකින්
එකට බැඳුන
ගංගාවක රැලි වගේ
එකම ජාලයකට සම්බන්ධ
රිද්මයානුකූල තරංග මාලාවක්.
අද නාට්‍යකරුවන්
ඒ රිද්මය හදාරලා
ඒ අවබෝධයෙන් යුතුව නිර්මාණ
කළ යුතුයි කියා මම හිතනවා.
ඒ රිද්මය නොදැනෙන හිතකට
ඒ රිද්මය දැනෙන හිතක් සමග
සම්බන්ධ වෙන්න බැහැ.

අද තියන නිර්මාණ බලන්න
හිතෙන්නෙ නැත්තෙ
ඒ නිර්මාණකරුවන් බොහෝ දෙනෙක්
ප්‍රවීණයන් හෙළා දැකලා
තමන්ගෙ තැන නිර්මාණය කරගන්න
නිතර දරන උත්සාහය නිසායි.
එයින්ම ඔවුන්ගේ චරිතයේ ඇති නොගැඹුරු බව හා
දැනුමට ඇති ද්වේෂය පිළිබිඹු වෙනවා.
දැනුමට ද්වේෂ කරන
නොගැඹුරු චරිතයක් ඇත්තෙකුට
හදවතට දැනෙන නිර්මාණයක්
කළ නොහැකි බව සාමාන්‍ය දැනීමක්.

ජනතාව කියන්නෙ
අතීතයත් සමග බැඳුන ප්‍රවාහයක්.
කලාව කියන්නෙ ඒ ප්‍රවාහයේ දිශානතිය ගැන
අපට පැහැදිලි ඉඟියක් දෙන
හොඳම නිර්ණායකයයි.
කාලාන්තරයක් පවතින කලා කෘතියක
ජනතා ප්‍රවාහයේ රිද්මය හා සංගත වීමක්
අනිවාර්යයෙන්ම තියනවා.
සරච්චන්ද්‍ර, සේකර වැන්නන්
නිරායාසයෙන් ඒ රිද්මයට සංගත වුණ
හෘදයාංගම කලාකරුවන්.
ඔවුන් අතීතයෙන් ඉගෙන නොගත්තානම්
ඔවුන්ටත් වෙන්නෙ අතීතයට ද්වේශ කරමින්
අතීතය හෙළා දකිමින් ඉන්නයි.
ද්වේශය කටකලියාවක් නැති අශ්වයෙක් වගේ.
වල් අශ්වයෙක් පිට නැගලා
නිශ්චිත අරමුණක් කරා යන්න බැහැ.

නිර්මාණකරුවාගේ චරිතයේ
නොමේරූබව, පදම් වීමෙ ඌණතාවය
අල්පශෘතභාවය හැරුණාම
නිර්මාණයක් අසාර්ථක වෙන්න
ප්‍රධානම හේතු තුනක් බලපානවා.
කෑදරකම,
ගරු නම්බු අපේක්ශාව සහ
සිතින් අල්ලාගෙන සිටින දෘශ්ඨීන්.

කලින් කියූ චරිතයේ දුර්වල කම්
කියවීමෙන්, ඉගෙනීමෙන්, අභ්‍යාසයෙන්..
ප්‍රවීණයන් ඇසුරෙන් මඟහරවා ගත හැකියි.
දෙවනුව කී මානසික දුර්වලතාවයන්
මගහරවා ගන්න තියන එකම පිහිට
බුදුන් වහන්සේ උගන්වන
විදසුන පමණයි.
සේකර, සරච්චන්ද්‍ර වැන්නන්ට
ඔවුන් විසූ අදට සාපේක්ශව
බෙහෙවින්ම නිර්මලවූ පරිසරය නිසා
ඒ දුර්වලකම් වලින් තොරව
මග සකසා ගන්න හැකියාව ලැබුණා.
අද තියන දූෂිත සමාජය තුල
විදසුනෙන් තොරව
හිත රැක ගන්න 
වෙනත් ක්‍රමයක් නැහැ.

මම මරණයට බය නෑ, ඒත් මැරෙන්න බයයි

මම මරණයට බය නෑ ඒත් මැරෙන්න බයයි
ධවල භීෂණ නැවත ගෙනෙන ධර්මසිරි බණ්ඩාරනායක කියයි
-----------------------------සංවාදය – අසංක දේවමිත්‍ර පෙරේරා



=ධර්මේ ඔබේ වෙහෙස මට ආඩම්බරයක්.ඔබේ ජීවිතයට මම ඉරිසියා කරනවා.මේ නාට්‍යය නැවත හදා ගත්තා කියන්නේ විශ්මයක්. මේ නාට්‍යය නැවත රිහසල් කරන්න. දැන් නළු, නිළියන්ට දෙබස්, පොෂිෂන්ස් පාඩම්. ඔවුන්ට දැන් ඒ චරිතවල ජීවිතය සොයා ගන්න උදවු කරන්න. ඔබ අපටත් මේ චරිත සොයා දුන්නේ එහෙමයි. 
මා තුළ තවමත් ‘හෙන්රි’ ඉන්න තරමට ඔබ මගේ අධ්‍යාත්මයේ හෙන්රි හැංගුවා. මේ අයටත් ඒ ටික අවශ්‍යයි.’

මේ පසුගිය දිනෙක ප්‍රවීණ නාට්‍යවේදී ධර්මසිරි බණ්ඩාරනායකගේ ජංගම දුරකතනයට ලැබුණු කෙටි පණිවුඩයකි. එය එවා තිබුණේ ජැක්සන් ඇන්තනි විසිනි.
අප හමු වූ මොහොතේ ධර්මසිරි, මේ කෙටි පණිවුඩය මට කියවූයේ කිසියම් උද්දාමයකින් යුතුවය. කෘතවේදිත්වය, ඇගයීම මෙන්ම උපදේශනයක් ද එහි ගැබ්ව ඇතැයි මට සිතේ. මේ සියලු කාරණා ගොනුවූයේ ධර්මසිරි බණ්ඩාරනායකගේ විශිෂ්ටතම වේදිකා නාට්‍යයක් වන ‘ධවල භීෂණ’ පසුබිම් කර ගනිමිනි. එහි මුල් නිෂ්පාදනයේ හෙන්රි නමැති ප්‍රධාන භූමිකාවක් රඟ දැක්වූයේ ජැක්සන්ය. එනිසා ඉහත විග්‍රහයට ඔහුට ඇත්තේ පරම අයිතියකි.

ජැක්සන්ගේ මේ SMS පණිවුඩය මට ලොකු ශක්තියක් වගේම ආශිර්වාදයක්. ඔහු මේ රටේ බිහි වූ විශිෂ්ටතම නළුවෙක්. ‘ධවල භීෂණ’ නාට්‍යය වෙනුවෙන් ඔහු බොහෝ කැප කිරීම් සිදු කොට තිබෙනවා.

‘ධවල භීෂණ’ සමඟ යළිත් වරක් කරළියට පිය මනින
ධර්මසිරි මා හා සංවාදයට ප්‍රවේශ වන්නේ ඒ අයුරිනි.

==මීට වසර විසි පහකට පෙරාතුවයි ඔබ ‘ධවල භීෂණ’ නිර්මාණය කළේ. එවැනි යුගයක කලාකරුවකු හැටියට ඔබ භාර ගත්තේ විශාල අභියෝගයක් වගේම අවදානමක් . . .?

‘ධවල භීෂණ’ මම වේදිකාවට ගෙනාවේ 1988 වසරේ. සැප්තැම්බර් 27, 28 තමයි එහි මංගල දර්ශන කොළඹ ලයනල් වෙන්ට්ඩ් රඟහලේ පැවැත්වුණේ. මේ නාට්‍යය කරන කාලේ රටේ ඇතිවුණ දේශපාලන ප්‍රචණ්ඩත්වය සහ භීෂණකාරි තත්ත්වයන් දරුණු ලෙස නාට්‍යයට බලපෑවා. ඇත්ත වශයෙන්ම මේ නාට්‍යය රචනා වෙලා තියෙන්නේ ප්‍රංශයේ දේශප්‍රේමී අරගල කණ්ඩායමක් හිට්ලර්ගේ හමුදාවට විරුද්ධව කරන අරගලයක් ප්‍රස්තුත කරගෙන. ෂෝන් පෝල් සාත්‍රේ ‘Men Without Shadows නමින් තමයි ඒ අත්දැකීම නාට්‍යයට නැගුවේ.

==එය ‘ධවල භීෂණ’ බවට පත් වෙන්නේ කොහොමද?

‘Men Without Shadows’ ප්‍රංශ බසින් සිංහලට පරිවර්තනය වෙද්දී අරුත් ගැන්වෙන්නේ ‘ස්මාරක නැති මරණ’ කියායි. ඉතිං සොහොන් කොත් නැති මරණාවලි පිළිබඳ මට ඇති වූ අදහසක් අනුවයි මේ නාට්‍යය මම රචනා කරන්නේ. මීට පෙර මෙම නාට්‍යය කරන්නට ගියා 1972 දී නාමෙල් වීරමුණි. ඇත්ත වශයෙන්ම නාමෙල් මාවත් තෝරා ගත්තා ඒ නාට්‍යයේ රඟපාන්න. එතකොට තමයි මම පළමුවතාවට මේ නාට්‍යය කියෙව්වේ. ඉතිං නාමෙල්ට මේ නාට්‍ය පිටපත වශයෙන්ම වාරණ මණ්ඩලයෙන් තහනම් කළා. ඒ නිසා ඔහුට හැකි වුණේ නෑ මේ නාට්‍යය කරළියට ගේන්න.

==ඊට වසර ගණනාවකට පසු ඇයි ඔබ ඒ කාර්යයටම නැවත අත පෙව්වේ?

ලාංකේය ජන සමාජයත් එක්ක බොහොම ළඟින් ගමන් කළ හැකි නාට්‍යයක් හැටියට මම මේක දැක්කා. ඒ අනුව තමයි මම ‘ධවල භීෂණ’ නිෂ්පාදනය කළේ. ඒ කාලේ හැටියට තරමක් ප්‍රසිද්ධියට පත් නළු - නිළි පිරිසක් තමයි ඊට රංගනයෙන් දායක වුණේ.

==අද ඔවුන් රංගන කෂේත්‍රයේ දැවැන්තයෝ?

ඔව්. ජැක්සන් ඇන්තනි, කෞෂල්‍යා ප්‍රනාන්දු, ඩබ්ලිව්. ජයසිරි වගේ අය. දයා අල්විස් පමණක් ඔය ටෙලි නාට්‍යය මාර්ගයෙන් ජනතාව අතර ප්‍රචලිත වෙලා හිටියා. ඉතින් ඒ වගේ අලුත්ම පිරිසක් තමයි 1988 දී මේ නාට්‍යයට දායක වුණේ. ඔවුන් මාස අටක් පුරාවට එක දිගට මේ නාට්‍යය වෙනුවෙන් කැප වුණා. ඔවුන් ඒ නිර්මාණයට, නිර්මාණකරුවාට ගරු කළා කියන්නේ ඔවුන් වෙත එන ප්‍රේක්ෂකයන්ට ගරු කිරීමක්. ඉතින් ඒවා සුන්නත්දූලි වෙච්ච වර්තමානයක තමයි අපි කලාව ඇතුලේ මේ අලුත් නිර්මාණයට පිරිස එකතු කළේ. ඔවුන් යම් ප්‍රමාණයකට නාට්‍යය කලාව එක්ක ගැවසුණු පිරිසක්.

==ඔවුන්ගේ කැපවීම පිළිබඳ ඔබ සෑහීමකට පත් වෙනවාද?

අද නාට්‍යය රිහේසල් එකකට නළුවෙක්, නිළියක් ගෙන්නා ගන්නට බැරි තරමට ඔවුන් අවිවේකයි. ඒ කියන්නේ මේ කලාව වෙනුවෙන් කැප වූ ගතිකයන් අද දවසේ හඳුනාගන්න ලැබෙන්නේ නෑ. නමුත් 2012 දී නැවත වරක් මට මේ නාට්‍යය නිෂ්පාදනය කරන කොට කලාව වෙනුවෙන් කැපවෙන පිරිසක් හොයා ගන්න පුළුවන් වුණා. ඒක මා ලද භාග්‍යයක්.

==මම හිතන්නේ ‘ධවල භීෂණ’ මුල් නිෂ්පාදනයට රංගනයෙන් දායක වූ පිරිස අතරින් අද දවසේ ඊට එක් වන්නේ ඩබ්ලිව්. ජයසිරි පමණයි?

මේ වෙනකොට ඔවුන් වැඩි දෙනෙක් අවිවේකයි. රංගන කාර්යයෙන් දායක නොවුණත් ඔවුන් තවම මේ නාට්‍යය හා බැඳී සිටිනවා. මේ ගැන නිතර අවධියෙන් සිටින කෙනෙක් ජැක්සන් ඇන්තිනි. නීල් අලස් පුහුණුවීම්වලට ඇවිත් තමන් එදා කළ චරිතය ගැන ඒ නළුවා සමඟ පමණක් නෙවේ පොදුවේ සියලු දෙනා සමඟම සාකච්ඡා කරලා ඔවුන්ට උපදෙස් දුන්නා. ඒ වගේම කෞෂල්‍යා ප්‍රනාන්දු පුහුණුවීම්වලට ඇවිත් ඉතාම ගෞරවයෙන් මේ නළු, නිළිියන්ට යා යුතුª තැන සොයා ගන්නට උදවු කළා. ඉතින් මම ආඩම්බර වෙන්නේ එදා වගේම දක්ෂ නළු, නිළි පිරිසක් අදත් මගේ අතින් හදා ගන්නට ලැබීම ගැනයි.

==එදා ‘ධවල භීෂණ’ නාට්‍යය හරහා ප්‍රේක්ෂකයා දුටුවේ ඒ පැවැති සමාජයේම හරස්කඩක්. නළු, නිළියන්ගේ චරිත සාර්ථකව ගොඩ නගා ගන්න ඒ පසුබිමත් ඉවහල් වෙන්නට ඇති?

ජැක්සන් ඒ දිනවල මට කියනවා මේ නාට්‍යය කරලා ගෙදර ගියාට පස්සේ රෑට නින්ද යන්නේ නෑ කියලා. ඔවුන්ගේ මනසට තදින් බලපාන කරුණු ගණනාවක් තමයි නාට්‍යයට විෂයය වුණේ.. මොකද ඒ නළු, නිළියෝ කිසි කෙනෙක් කැරළි, කෝලාහලවලට සම්බන්ධ වුණ අය නෙවෙයිනේ. එතකොට ජැක්සන් වගේම කෞෂල්‍යාත් කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන්. ඔවුන් සමඟම සිටි දයා පතිරණ ඝාතනය කළේ ඒ කාලේ. ඒවායින් ඔවුන් කම්පනයට පත් වුණා.

එතකොට නළුවාට හොඳ ප්‍රවේශයක් වෙනවා තමන්ගේ වටාපිටාව තුළින් තමා ලැබුවා වූ අත්දැකීම් ගවේෂණය කරමින් ඒ චරිතවලට ජීවය දෙන්න. නමුත් අද නළු, නිළියන්ට එහෙම වට පිටාවක් නෙවේ තියන්නේ. මෙයින් මා අදහස් කරන්නේ එවැනි තත්ත්වයක් අද තිබිය යුතුයි කියා නෙවෙයි. යුද්ධය අහවර වෙලා තියනවා. නැවත ඒ අයට කල්පනා කරන්න දේවල් තියෙනවා.

==ඔබ වටා අද සිටින අලුත් පරපුර සමඟ ‘ධවල භීෂණ’ නැවත වේදිකාවට ගෙන ඒම සාර්ථක උත්සාහයක් වෙයි කියා සිතනවාද?

මේ අය අලුත් පිරිසක් කියා හඳුන්වනවාට මගේ කැමැත්තක් නෑ. දැන් ඔවුන් ප්‍රවීණයෝ. ඔවුන්ගේ ඉදිරි ගමන තීරණය වෙන්නේ ඔවුන්ගේ ක්‍රියාදාමයන් උඩයි. සමහර ශිෂ්‍ය, ශිෂ්‍යාවෝ මම පුහුණුවීම් කරන කොට කියන්නේ ‘පොලිස්කාරයෙක්’ වගේ කියලයි. මගෙන් බැණුම් අසමින්, ඔවුන් මේ කාර්යයේ ව්‍යාවෘතව සිටින්නේ දැඩි කැපවීමකින්. දැන් සුගතපාල සිල්වා හැඳින්වූවේ ‘සොඳුරු ආඥාදායකයා’ ලෙසයි. තමන්ගේ දරුවෝ වගේ ඒ පිරිස නළු, නිළියන් බවට පත්කරගෙන මේ ගමන යනකොට එවැනි ආඥාදායක බවකුත් අවශ්‍යයි.

==සුන්දර පොලිස්කාරයොත් ඉන්නවනේ නේද?

ඔව් . . . කලාතුරකින්.

==අද ටෙලි නාට්‍යය හරහා විශාල නළු නිළි පිරිසක් රංගනයට යොමු වී සිටිනවා. ඔවුන් වේදිකා නාට්‍යය දෙසට යොමු වීම අද අප දකින ප්‍රවණතාවක්?

අර රූපවාහිනිය තුළ, උසස් රංගන සම්ප්‍රදාය පහළටම ඇද දාපු නළු, නිළි පිරිස් හිතනවා දැන් වේදිකාව ආක්‍රමණය කළ හැකියි කියලා. ඉතින් අන්න ඒක භයානක තත්ත්වයක්. ජනප්‍රියත්වය පමණයි ඔවුන් ගුරු කොට තකන්නේ. පුහුණුවීම් ඔවුන්ට අදාල නෑ. ඒ වගේම පිටපත් අරන් අධ්‍යයනය කරන උත්තරීතර, ගෞරවනීය රංග සම්ප්‍රදාය ට අනුගතවීමේ අවශ්‍යතාවයකුත් ඔවුන්ට නෑ. කොටින්ම ගාමිණි ෆොන්සේකා, ජෝ අබේවික්‍රම, ටෝනි රණසිංහ වැනි විශිෂ්ටයන් ගොඩ නැගූ උසස් රංග සම්ප්‍රදාය අද මේ පිරිස් විසින් මස්ත බාල්දු කරලා. වේදිකාවේ ‘අසඩක්’ කරපු හෙන්රි ජයසේන ‘ගම්පෙරළියේ’ පියල්ට රඟපාන කොට ඒවා අපට කාන්දු වුණා. ඒ කියන්නේ ඒවා ඉතාමත් අදත්විතීය රංගනයන්.

==එතකොට ඔබ කියන්නේ රඟපෑම ගෞරවනීය ලෙසින් කරන නවක පිරිසක් වර්මානයේ නෑ කියාද?

ඉඳහිට ඉන්නවා. නමුත් වැඩි පිරිසක් අර වගේ. එයාලා දැන් වේදිකාවට ඇවිත් එතන කරන්නෙත් ඊට නොදෙවෙනි ක්‍රියාවලියක්. දැන් මම සුගතපාල සිල්වා, හෙන්රි ජයසේන වැනි නාට්‍යයකරුවන්ගේ නාට්‍යයවල රඟපෑ නළුවෙක්. ඔවුන් අත්දැකීම් බහුලව ලැබූ මේ නාට්‍යය කලාව විෂයයක් වශයෙන් ඉතා ඉහලින් හදාරපු අය. එතකොට දයානන්ද ගුණවර්ධන. ඒ අය අද අපි අතරේ නෑ. නමුත් ඒ පරම්පරාවේ දැනුම අපට ලැබුණා. ඉතින් අද පරම්පරාවට ඒ දැනුම ලබා දෙන්න හදන කොට ඒ අය අපව දකින්නේ පියවරු හැටියට නෙවේ. ඒ අයට ද්වේශ කරන, ඒ අය විනාශ කරන්න එන බලවේග හැටියට. ඒක මේ ලංකාව ඇතුලේ තියන පහත්ම තත්ත්වයක්.

==ඊට හේතුව?

අපේක්ෂා භංගත්වය. තමන් කොහාටද යන්නේ කියා ඔවුනට අරමුණක් නෑ. දැඩි හීනමානයක් එක්ක වගේම ද්වේශයකිනුයි ඔවුන් කටයුතු කරන්නේ. අපි මේ සමාජය සුවපත් කරන්නට යන ගමනේදී හැම කෙනෙකුම මේ තත්ත්වය සැලකිල්ලට ගත යුතුයි. විශේෂයෙන්ම වැඩිහිටි සමාජය. මෙවැනි වූ වර්තමාන සමාජයකට තමයි මම මේ නාට්‍යය රැගෙන යන්නේ. මගේ අවසන් වේදිකා නාට්‍යය ‘ට්‍රෝජන් කාන්තාවෝ’ ට පෙර නිර්මාණය කළ ‘යක්ෂාගමනයත්’ තව සති කිහිපයකින් මම කරළියට ගෙන එනවා.

==ඔබ ‘ධවල භීෂණ’ කළේ මේ රටේ සැබෑවටම භීෂණය රජ කරමින් තිබූ යුගයක. නමුත් අද සමාජයට මේ කාරණය වළංගුද?

ඔය ගැන තමයි දැන් ප්‍රේක්ෂකාගාරයේ තිබෙන කසුකුසුව. මේක කොහොමද අදට ගැළපෙන්නේ, දැන් මේකේ එල්. ටී. ටී. ය ගැන නෑ. ජේ. වී. පී. එක ගැන නෑ. ඒ යුග පසු කරලා ඉවරයි. මේ නාට්‍යය සාංදෘෂ්ටිකවාදී චින්තනය ඇතුළත් කරනු ලැබූ, ඒ කියන්නේ මිනිසා තීරණය කළ යුත්තේ ඔහුගේ අදහස්වලින් නොව ඔහුගේ ක්‍රියාදාමය තුළ බව අපට කියා දෙන නාට්‍යයක්. ඒක තමයි ෂෝන් පෝල් සාත්‍රේ අපට දෙන පණිවිඩය. ඒකට ඔහු තෝරා ගත්තේ කැරළි කෝලාහල සමයක් තුළ අත් අඩංගුවට ගත් පිරිසක් වටා ගෙතුන කතා පුවතක්. මෙය අපේ රටේ යථාර්ථයක් බවට පත් වුණා. ඒ වගේම ‘ධවල භීෂණ’ එක යුගයකට සීමා නොවූ සර්වකාලින නාට්‍යයක් විදිහට හඳුන්වන්නට පුළුවන්.

==ඇත්තටම ‘ධවල භීෂණ’ නිසා ඔබේ ජීවිතයත් එදා දැඩි අවදානමකට ලක්වුණා?

රාජ්‍ය ත්‍රස්තවාදය හා දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය කියන සංවිධානය එකට ගැටෙන මොහොතක තමයි මේ නාට්‍යය බිහි වෙන්නේ. අපි මේ නාට්‍යය පෙන්වන්න යද්දී මහමග තරුණයන්ගේ මළ සිරුරු, ටයර් සෑයවල් අපි දැක්කා. ඒ පරිසරය මැද්දෙන් තමයි අපි ගමන් කළේ. මේ නාට්‍යය නවත්වන්න කියලා, නළු නිළියෝ වෙනස් කරන්න කියලා මට බලපෑම් ආවා.

==කොයි පැත්තෙන්ද?

දෙපැත්තෙන්ම. අපේ නිවසට ආ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ සාමාජිකයකු මට කිව්වේ ‘ඔබ මෙහෙම නිවසේ ඉඳගෙන සිටිද්දී අපට පාලනය කළ නොහැකි කෙනෙක් ඇවිත් ඔබේ හිසට වෙඩි තබයි’ කියලා. ‘ඇයි එහෙම කරන්නේ, මොකක්ද මම කරපු වරද කියලා’ මම ප්‍රශ්න කළා. මොකද කලාව ඇතුලේ දේශපාලනය කරන එකනේ අපි කරන්නේ. කලාකරුවෙක් හැටියට එදා මම කළේත් ඒ දේ. නමුත් මට තේරුණා තවදුරටත් මේ රටේ සිටියොත් මගේ ජීවිතය අනතුරේ කියලා. ඒ අනුව මම ඉන්දියාවට ගොස් මාස හතරක කාලයක් සැඟ වී හිටියා. ‘මම මරණයට බය නෑ. ඒත් මැරෙන්න බයයි’. ඒ තමයි ‘ධවල භීෂණ’ නාට්‍යයේ ස්ලෝගන් එක.

==ඒ ඇවිත් ඔබ නැවත ‘ධවල භීෂණ’ කළා?

1989 වසරේ ‘ධවල භීෂණ’ නතර කළා. නැවත 1992 දී ආරම්භ කළා. ටික කලක් ‘ධවල භීෂණ’ නවතා දමා තිබී පසුගිය සැප්: 01, 02 තමයි තෙවන නිෂ්පාදනය ලෙස කරළියට ආවේ. එහි තවත් දර්ශනයක් හෙට (14) සවස 6.30 ට කොළඹ හැව්ලොක් ටවුමේ ලුම්බිණි රඟහලේදී වේදිකා ගත කෙරෙනවා. මේ වෙනකොට අපි ‘ධවල භීෂණ’ දර්ශන වාර 980 ක් පමණ වේදිකා ගතකර තිබෙනවා.

බොහෝ කලාකරුවන් තමන්ගේ ‘අතීත ශ්‍රී විභූතිය’ මතම රැඳෙන ප්‍රවණතාවක් අපේ කලාව ඇතුලේ තියෙනවා. ඔවුන් අලුත් දෙයක් කරන්නේ නැහැ. මේ චෝදනාව යමෙකු ඔබට නැගුවොත්?

ඒකට හොඳම උත්තරය එන්නේ ‘බවදුක’ චිත්‍රපටයේ. සමහරු මට හම්බ වෙනවා ‘හංස විලක්’ චිත්‍රපටයෙන් පස්සේ ධර්මසිරි චිත්‍රපටයක් කළේ නෑනේද කියලා අසන. එතකොට මට මගේ බයෝග්‍රෆි එක නැවත දිග හරින්න වෙනවා. අන්න ඒ වගේ කරන දේවල් පේන්නේ නැති, කියන දේවල් ඇහෙන්නේ නැති සමාජයක් අද ගොඩ නැඟිලා තියෙනවා. දැන් මේ නාට්‍යවලට මම ආදරය කරන්නේ ඒවා මගේ ජීවිතය නිසා. තව මට මගේ ජීවිතය වගේ නාට්‍යයක් ලියවුණොත් හරි, මුණ ගැසුණොත් හරි මම ඒක නිර්මාණය කරනවා. සමහර විට මගේ අපේක්ෂාව එහෙම වුණත් ඊට ප්‍රථම මගේ ජීවිතය අවසන් වන්නට පුළුවන් මරණයෙන්. ඒක අපි හැමෝටම ලැබෙන දායාදයක් වශයෙන්. හැබැයි ඒ වෙනකල් මම වැඩ කරනවා.

==වේදිකා නාට්‍ය කලාව පසෙක ලා බැලුවත් ඔබ මේ රටේ විශිෂ්ට සිනමාකරුවෙක්. ඒත් ඔබ සිනමා මාධ්‍යය පැත්තෙන් වර්ථමානයේ දැඩි නිහඬතාවයකයි ගිලී ඉන්නේ?

වේදිකා නාට්‍යය කලාව පැත්තේ මේ තියෙන දැඩි කාර්ය බහුලත්වය එහා මෙහා වුණ වෙලාවක මම බොහොම කැමැත්තෙන් සිනමා කැමරාව ළඟට යනවා. නැවත චිත්‍රපට කැමරාවක් දකින්න ආසයි. ඒක ඇතුළේ මම බලන්නේ මා දිහාමයි. මගේ සිනමා භාවිතය ඇතුළේ මට ගොඩක් පාඩම් උගන්වනවා ‘හංස විලක්’ චිත්‍රපටය. ඇයි මේ හැම ප්‍රේක්ෂකයාම එතැනින් ඉවත් වෙන්නේ නැත්තේ. ඒ අය මට උගන්වන පාඩම තමයි කලා කෘතියක වටිනාකම රැඳෙන්නේ නිර්මාණකරුවා ලැබූ අත්දැකීම් නිර්ව්‍යාජව ඉදිරිපත් කිරිම කියන කාරණාව මත බව. ‘හංස විලක්’ චිත්‍රපටයට පතිරාජ ලියූ ’හෙමින් සැරේ පියා විදා’ ගීතය ඒ චිත්‍රපටය තාම ජීවත් කරවනවා. ඒ මොහොත හැම කෙනෙකුම කම්පනයයට පත් කරවනවා චිත්‍රපටය ඇතුලේ.

==ඔබේ මීළඟ චිත්‍රපටයට අනුප්‍රාණය ලබා ගන්නේ ‘හංස විලක්’ තුළින් ද?

ඇත්ත වශයෙන්ම ‘හංස විලක්’ දිහාවට නැවත හැරී බලන්නට වෙනවා. මේ චිත්‍රපටයෙන් මම මටම ළං වෙනවා.

==ඒ කියන්නේ?

ඒ කියන්නේ ඔබට පේන්නේ දැන් ඔබ ඉදිරියේ ඉන්න මගේ රූපකාය පමණයි. නමුත් මගේ ඇතුලාන්තයේ ඉතාම දුඞඛිත මිනිසෙක් ඉන්නවා. මම අනුන්ගේ ජීවිත දිහා බලනවාට වැඩිය ඒ ජීවිතේ දිහා බලලා ඒක ප්‍රති නිර්මාණය කරන්න පුළුවන් නම් මම හිතනවා ඒක තමයි මට කලාව තුළ කරන්න පුළුවන් ඉහළම තැන්පතුව. හදිසියේ මම මැරුණයි කිව්වොත් මගේ මළකඳ තියෙන තැනකට ඇවිත් ඔබ බලලා යාවි. නමුත් ඔබ මාව නෙවෙයි ඒ බලන්නේ මළකඳ. දැනුත් ඔබ මේ බලා ඉන්නේ මගේ මළ කඳ. හැබැයි ඒ මළකඳ ඇතුලේ තිබුණේ මොනවද කියලා කියන්න මම මගේ අයිතිය පාවිච්චි කිරීමට සිනමා කැමරාව නැවත අතට ගන්නවා.

සංවාදය – අසංක දේවමිත්‍ර පෙරේරා