20140401

පව්කාරයා දැනුත් දැවෙයි, පසුවත් දැවෙයි. - ඩොස්ටොයෙව්ස්කි

මේ දිනවල මගේ බිරිඳ
ඉතාම ප්‍රීතියෙන් සහ සන්සුන්ව
වෙනම ලොවක ජීවත් වෙනවා.

ඈ ෆියොඩෝර් ඩොස්ටොයෙව්ස්කිගේ
අපරාදය සහ දඬුවම කියවනවා.
මුනිදාස සෙනරත් යාපාගෙ පරිවර්තනය.

සියලු ලේඛකයන් අතුරින්
ඇගේ ප්‍රියතම ලේඛකයාත් ඩොස්ටොයෙව්ස්කි.
ඔහුගෙ ජීවන චරිතයටත්
ඈ ඉතා කැමතියි.
ඔහු මිනිස් සිත විග්‍රහ කරන ආකාරය
ඇගේ කැමැත්තට මූලික හේතුවක්.

තවමත් පොතේ මුල හරියෙ ඉන්න ඈ,
ඒ පිළිබඳව කිවූ විශේෂම දෙය නම්
රස්කොල්නිකොව් අපරාධය කරන්න කලින් විඳි,
ඊට පසුව ඔහු විඳින දුක් කන්දරාව
ඩොස්ටොයෙව්ස්කි විසින් විග්‍රහ කරන ආකාරය සහ
ඔහු නිර්මාණය කරන අවස්ථාවන්හි
විශිෂ්ඨත්වයයි.

මට සිහි වෙන්නෙ
පව්කාරයා දැනුත් දැවෙයි,
පසුවත් දැවෙයි කියන
බුදු වදනයි.

හැම පව්කාරයෙක්ටම
ඒ බව නොදැණුනාට
හැම පව්කාරයෙක්ම
දෙකල්හිම දැවෙනවා.
ඔහුට පව කරන්න
ශක්තිය ලබා දෙන්නෙ
ඒ දැවීමම තමයි.
ඉන් පසුව ඔහු සැනසෙන්නෙ
ඒ පව සාධාරණීකරණය කිරීමෙන්.
එහෙමවත් උත්සාහ නොකරන පව්කාරයා
ඉන්නෙ ඉතාම පහළ තත්වයක්.

මා තවම පොත කියවා නැහැ.
මා රස්කොල්නිකොව් හඳුනාගන්නෙ
බිරිඳ කියන තොරතුරු මතයි.
ඒත් අපරාධයෙන්
රස්කොල්නිකොව් විඳින දඬුවම ගැන අසන විට
ඔහුගේ චරිතය ගැන ඇති වෙන ගෞරවය
අසීමිතයි.

අවශ්‍ය විටෙක ප්‍රාණඝාතය නිවැරදියි කියන
උගත් වෛද්‍යවරයෙක් සමග
ප්‍රාණඝාතය කොහොමත් වැරදියි කියමින්
දිනගණනාවක් වාදයක පැටලී සිටින මට
මේ චරිතය මා අගය කරන
නියම මිනිසා නොවේද කියා හිතෙනවා.

ඔහු අපරාධය කරනවා.
කරන්න කලින් ඇය සර්පයෙක් වැනි කතක් බවත්
ඇය මැරීම සාධාරණ බවත් කියන චරිත
රස්කොල්නිකොව්ට හමුවෙනවා.
ඒත් ඔහුට තමන්ගේ අපරාධය සාධාරණයි කියා
හිතන්න බැහැ.

ඔහුගෙ අපරාධය සාධාරණයි කියා
අපිට හිතන්න
ඩොස්ටොයෙව්ස්කි අවස්ථාවක් තියන්නෙ නැහැ.
ඔහු රස්කොල්නිකොව් ලවා
එකම මොහොතෙ
පළමු අපරාධයටත් වඩා
ලොකු නින්දිත අපරාධයක් කරවනවා.



බොදුනුවන් නොවුණාත්
පැරණි රුසියානු ලේඛකයින්ගේ
මිනිසත් බව සහ
සාධාරණත්වය පිළිබඳ හැඟීමත්
ඔවුන් ජීවිතය සිහියෙන්
සහ උපේක්ෂාවෙන් විඳීමත්
ඉන් තියුණු වුණ ප්‍රඥාවත් පිදිය යුතුයි.

නිල ලත් බොදුනුවන් පාපී ජීවිත
ගත කරන අඳුරු ලෝකයට
ඔවුන් නිල නොලත් බොදුනුවන් ලෙස
ආශීර්වාදයක් වුණා.