20170112

සේකර නොමැති ජීවිතය පදවැලක් නැති කවියක්. -අමරදේව

"සිරිපා පියුමේ රොන්සුණු තැවරේ"
රන්සළු සඳහා ලියන ලද්දේ
මහගම සේකරයන්ය.
වරක් ඇමෙරිකාවට ගුවනින් යද්දී ලද
අත්දැකීමක චමත්කාරය ඇසුරෙන්
බදුල්ලට යන අතරතුර දුම්රියේදීත්
ඇල්ල තානායමේදීත් ඔහු ගීය රචනා කළේය.

සිරිපා පියුමේ - රොන්සුණු තැවරේ
ගිමන් නිවන පවන් හමා ඒ
නිවී පහන් වී ළය සැනහේ
නිවන් දොරට මඟ පානා
සමනොළ රන්කොත මුදුණේ
බැන්ද වියන් සේ
අරුණ වලා රන්සළු පැටලේ
හද කිමිදේ ලොව්තුරු සුවඳේ
කෙලෙස් මලින් මිදී සිත සුවපත් වී
පා වී යයි නිසංසලේ
මහ රහතුන් වැඩි මඟ ඔස්සේ
වලා අතුළ කඳු වැටි අතරේ

ඔහු ලියා අවසන් කළ ගීතයට
තනුව යෙදුණු ආකාරය පිළිබඳව
වෙසෙසින් සඳහන් කරන සේකර කරන විස්තරය
දක්ෂ නවක ගීත රචකයන්ට සහ
සුභාවිත තනු නිර්මාණය කරන
නවක සංගීතඥයන්ටට මනා ආදර්ශයකි.

" මීළඟට ගීතයට තනුව යෙදිය යුතුය.
ගීතය චිත්‍රපටයට නගන ස්ථානයටම ගොස්,
ඒ කාර්යය කළ යුතු බව
( කථා රචක පී. කේ. ඩී. )සෙනෙවිරත්නගේ
අදහස විය.
මෙය අඹේපුස්සට නුදුරු ගමක පිහිටි
ගල්කුළින් හා නිල් තුරුලියෙන් සැදි
උස් කඳු මුදුනකි.
සේනාසනයක පවත්නා වැනි
සාන්ත ස්වභාවයක් එහි විය.
එවැනි පරිසරයකදී
වඩාත් උසස් නිර්මාණයක් අප අතින් බිහිවෙතැයි
නිවැරදි ලෙසම සිතූ සෙනෙවිරත්න
අමරදේවයනුත් මාත් එහි කැඳවාගෙන ගියේය.

"එහි කඳු බෑවුමේ ගල්තලාවක
අපි දෙදෙනා තනිවීමු.
මම ගීතය ලියූ කරදාසිය
අමරදේවට දුනිමි.
ඔහු නිශ්ශබ්දව එය කියවන්නට විය.
ඔහු එය කියවා අවසන් කරන තුරු මමද,
ඉදිරියෙන් ඇති විශාල වෙල්යාය දෙසත්,
ඊට එපිටින් ඇති නිල්වන් කඳුවැටිය දෙසත්
නිහඬව බලා සිටියෙමි.
මද වේලාවකට පසුව,
අමරදේව සර්පිනාව වාදනය කරමින්
ගීතයට තනුව යෙදීමට පටන්ගත්තේය.
ඔහුගේ අදහස් අනුව ඇතැම් ගීත පාදයක
දිග අඩුවැඩි කිරීමට මම කැමති වීමි.
මගේ අදහස අනුව ඇතැම් ගීත පාදයක
තනුව වෙනස් කිරීමට ඔහුද කැමතිවීමය.
"ගීතයට තනුව යොදා අවසන් කොට
සර්පිනාව වාදනය කරමින්ම,
අමරදේව එය ගායනා කරන්නට විය.
එය ගීත රචකයා, සංගීතඥයා සහ
ගායකයා යන තිදෙනා ඒකාත්මික වන
දුර්ලභ අවස්ථාවක් විය."
[ මහගම සේකරගේ ගීත - පෙරවදන ]

අපට ඇසෙන ගීය සේකරගේ ගීයක්
අමරදේව තනුව යොදා ගායනා කිරීමක් නොවේ.
ඔවුන් දෙදෙනාගේ සුසංයෝගයෙන් බිහිවූ
ඒකමිතික නිර්මාණයකි.

‘‘මහගම සේකර විසින් රචිත පහන් සිතිවිලි රැුගත් මේ ගීතය,
ස්වර ගැන්වීමේ දී ගීතයේ ප‍්‍රස්තුතාර්ථයට ගැළපෙන
සංගීතමය ආවේශයක් ලබන අටියෙන්
සිංහල බොදු හැඟුම් පුබුදුවන
නාද රූප සොයා ගිය ගමනේ ඵල විසින්,
සැහැල්ලු කරලා, සැහැල්ලු සිතින්, සැහැල්ලු ගතින්
සමනොළ නඟින බැතිමතුන් මුවින් ගිලිහෙන,
 ‘බුද්ධං සරණේ සිරස දරාගෙන’ යන
තුන්සරණේ නාද මාලාවන්ගේ ආභාසය
පරිපුර්ණ ගීයක් කරා විහිදුවාලීමි.
මෙපරිද්දෙන් මනෝභාව රඳවමින් ජන ආර ඔස්සේ ම
පරිසමාප්ත ගීතයක් නිර්මාණය කර ගැනිමේ මං සැලසිණි.”
(නාද සිත්තම් – අමරදේව 93-94 පිටු)

රචකයා, සංගීතඥයා සහ
ගායකයා තිදෙනාම සහභාගිවී
ගීතයක් නිර්මාණය කරන විට
ඔවුන්ගේ අදහස්, රුචි අරුචි,
හැඟීම් අනුව සංස්කරණය වෙන ගීතය
උස් තැන් කපා හැර, මිටි තැන් සම කර
එකිනෙකාගේ සම්මුතියෙන් කරන
සංගතික නිර්මාණයකි.
මේ නිර්මාණය ඔවුන් තිදෙනාටම ගැළපෙන
අපූර්ව ඇඳුමක් හෝ ආභරණයක් වැන්න.
එවැනි වෙසෙස් නිර්මාණයක් රසවිඳීමට හැකි
රසික පරාසය වඩාත් පුළුල්වෙයි.
එක් එක් නිර්මාණකරුවාගේ රසිකයන්ට
ගැටළුවක් විය හැකි තැන් කපා කොටා උරගා
වේලාසනින්ම මට සිලුටු කරගන්නට
එවන් නම්‍ය ශීලී නිර්මාණකරුවන් සමත්වීම
ඔවුන් එක්වී නිර්මාණකරණයෙහි යෙදීමෙහි
අනභිභවනීය ප්‍රතිඵලයයි.

 "ස" ප්‍රසංගයට වශී වූ පාසල් සිසුවකු ලෙස
වික්ටර් රත්නායකයන් බැහැ දකින අටියෙන්
ඔහු එකල විසූ පාගොඩ දේවාල පාරේ නිවසට
පැමිණි එක් දිනයක මා ඔහු දුටුවේ
ප්‍රේමකීර්ති ද අල්විස් සහ සුනිල් ආරියරත්න සමග
නිවසේ වූ කුඩා සංගීත කාමරයට වී
නිර්මාණකරණයෙහි යෙදෙන අයුරුය.
ඒ නිර්මාණ වලට තනුව යොදන විට
ප්‍රේම් සුනිල් දෙදෙනාගේම ගී වලට
ඔවුන් දෙදෙනාගේම සංස්කරණ එක්වන්නට ඇතැයි
මම අනුමාන කරමි.

උතුරු සහ දකුණු ඉන්දියානු ගීත නිර්මාණයේදී
ගීත රචකයා පැමිණ සංගීතඥයාට සහය වීම
ඒ නිර්මාණවල රසයට, විශිෂ්ඨත්වයට, විවිධත්වයට
සහ කාලාන්තරයක් පැවැත්මට හේතු වෙයි.

අපට ඇසෙන මේ ගීය සේකරගේ පදවැලක්
අමරදේව තනුව යොදා ගායනා කිරීමක් නොවේ.
ඔවුන් දෙදෙනාගේ සුසංයෝගයෙන් බිහිවූ
ඒකමිතික නිර්මාණයකි.

=========================================================

මළහිරු බසිනා යාමේ පායා හිනැහෙන සේකර....

මහගම සේකර අනුස්මරණ දිනය නිමිත්තෙනි.

කැත්ලීන් ජයවර්ධනගේ සටහනක්.


විශ්වයේ සියලුම වස්තූන්ට ආවේණික වූ දේ නම් චලනය හා රිද්මයයි. ඒ වූ කලී ස්වභාව ධර්මයේ අචේතනික හා සචේතනික වස්තූන් සියල්ලෙහි පැවැත්ම කෙරෙහි රිද්මය බලපාන ආකාරය පිළිබඳ චිත්‍රණය යි. ගද්‍ය පද්‍ය නිර්මාණ කෙරෙහි මේ බලපෑම කවරාකාරයෙන් සිදුවන්නේ ද යන ප්‍රශ්නය දෙවනුව අප තුළ නැඟේ.
අර්ථ රසයේත් ශබ්ද රසයේත් සංකලනයෙන් අපූරු රූ රටා අප තුළ චිත්‍රණය කළ මහා කලාකරුවකුගේ රූපකාය අනතුරුව අප තුළ ඇඳී යයි. ඔහුගේ ‘සිංහල ගද්‍ය පද්‍ය නිර්මාණයන්හි රිද්ම ලක්ෂණ’ නම් වූ කෘතිය ද ඒ සමඟම සිහි වේ. ඒ වූ කලී මහා කලාවේදියකු ලෙස නිර්ලෝභීව හැඳින්විය හැකි නිර්ව්‍යාජ මනුෂ්‍යයෙකි. අදින් වසර 33කට පෙර අකාලයේ අපෙන් සමුගත් ඔහු මහගම සේකර නම් වෙයි.
’මහගම සේකර සහ රිද්මය’ යනු දෙකක් නොව එකක් ම ය යන සිතුවිල්ල අපේ උපවිඤ්ඤානගතව ඇත්තාක් මෙනි. එය සිදුවී ඇත්තේ ද අහම්බ ලෙස නො වේ. අතිශයින් අර්ථවත් වූත් රිද්මයානුකූල වූත් ඔහුගේ නිර්මාණ සමුච්චය පෙර නොවූ විරූ ඉසවු වෙත අප රැගෙන යමින් අපේ හදවත් සුසර කර ඇත්තේ ද රිද්මයානුකූලව ය.
මේ රිද්මය ඔස්සේ සියුම් වූ ජීවිතාවබෝධයක් ද අප සතුවී තිබේ. ඒ සෞන්දර්යය, සරල සුගම බව හා සුසංයෝග වූ දාර්ශනික ගැඹුරක් ද ඔහුගේ ඒ නිර්මාණ තුළ කැටිව පැවති හෙයිනි.
ලොවේ වරක් සිදු වූ දෙය, කිසියම් රිද්මයකට අනුව නැවත නැවත සිදුවන බව ඉවකළ හැකි සූක්ෂ්මාත්මතාවයෙන් යුතුªවූ කිසිවකුට මරණය බියක්, ශෝකයක් හෝ ගැටලුවක් වන්නේ නැත.
ජපන් මහා ලේඛක යසුනරි කවබතා 1968 වසරේදී තමා වෙත පිරිනැමුණු සාහිත්‍ය පිළිබඳ නොබෙල් ත්‍යාගය පිළිගනිමින් ‘මරණය සොඳුරු බවට පත්කිරීමත් මිනිසා, සොබාදහම හා ශූ®න්‍යත්වය අතරේ සුසංයෝගීභාවයක් ඇති කිරීමත් තම නිර්මාණවල මුඛ්‍ය පරමාර්ථය වූ බව අවධාරණය කළේ ද ඒ නිසා ය. දාර්ශනිකයා වූ කලී විශ්වය කිසියම් දුරකට සාක්ෂාත් කරගත්තෙක් වන අතර කලාවේදියා විශ්වීය තත්ත්වයක් ගවේෂණය කරන, දාර්ශනිකයාගේ අතරමැදියකු ලෙස අපට හැඟීයන්නේ ද ඒ අනුව ය.
සේකරයන්ගේ කියමන්, වියමන් හා නිමැවුම් දෙස නිරීක්ෂණාත්මකව නෙත් හෙළන්නකුට ද මේ සත්‍යය හමුවෙයි. මරණය ආගන්තුකයකු සේ නොදුටු සේකර මියයාම පරාජයක් වශයෙන් ද නොතැකුවෙකි. සිය සංවේදනා පළකිරීම සඳහා ඔහු ලෝකයට විවර කළ කවුළු වැනි වූ නිර්මාණ සමුදාය අතරින් මරණයේ චමත්කාරය මෙසේ විදාරණය වේ.

එළිය යනු අඳුරම ය
සීතලම උණුහුම් ය
එබැවින්
ජීවිතය ම වේ මරණය
කේ.ජයතිලකයන් සමඟ සේකර එළිදක්වා ඇති ‘ව්‍යංග්‍යා’ කෘතියෙන් අපට හමුවන්නේ සිහිනයේ දී සේකර දුටු මරණය යි.|
ඊයේ රෑ සිහිනෙන් මිය ගිය මම
භග්නාශා රෙදිකඩින් ඔතාගෙන
මළකඳ උසුලා සොහොනට ගෙන ගොස්
මගෙම අතින් මළ කුණ වැළලූයෙමි
(මිනීමල් - ව්‍යංග්‍යා)
මහගම සේකර නම් වූ මේ සංවේදී කලාකරුවාගේ, නිර්ව්‍යාජ මනුෂ්‍යයාගේ, පෞද්ගලික ජීවිත තතු දැනගැනීමට වඩා සහෘදයකු, රසිකයකු ස්පර්ශ කළ යුතු වන්නේ ඔහුගේ ආධ්‍යාත්මය ය යනු අපේ විශ්වාසය ය. ඔහුගේ ජීවන තතු ගෙනහැර දැක්වීම සඳහා ඔහුගේ කවියක්ම වුව සෑහෙන බවක් අපට හැඟීයන්නේ එහෙයිනි.

මා ගැන දන්නා
අය කොතෙකුත් වෙති
පත්තරවල මා
නම ගම පළවෙයි.
මහගම සේකර
එම්.ඒ.සිංහල
පදිංචි ගම්පහ
රදාවාන ගම
දැන් විදුහල්පති
ඔය ඔය විදියට...
රෝගීව එක්තැන්ව සිටි සේකර සිය අඹුදරුවන්ට ද රහසින් අභ්‍යාස පොතක කුරුටු ගෑ දීර්ඝ ආඛ්‍යාන වාක්‍ය නිර්මාණය වන ‘නොමියෙමි’ හි මුල් අත් පිටපතේ ලියැවුණකි ඒ. එහෙත් විය යුතු අයුරින්ම ඔහු අතින් මරණය ප්‍රතිනිර්මාණය වෙනු දැක්මට අසතුටු වූවෝ ද වූහ.
ඒ ඔහුගේ ප්‍රියාදර බිරිය කුසුමලතා මහගමසේකර හා ගීෂා පාඨලී, නිරූපමා සල්මාලි, රවීන්ද්‍ර යන දූ දරුවන් ය. මහෞෂධ පණ්ඩිතයන්ගේ සඳුන් හර මෙන් ‘කලාව‘ මිටින් ගෙන උපන් සේකරගේ කෙටි ජීවිත කාලය කැපවූයේ ද කලාව උදෙසාම බව මැනැවින් දන්නෝ ද ඔවුහු ම වෙති.
වරක ඔහු ගීතයකට පදවැල් ඇමිණුවේ ය. රසබර, අරුත් බර කවි ලීවේ ය. චිත්‍ර ඇන්දේ ය. රූප ඇඹුවේය. ඒ සමඟම නව දැනුම සොයා යාමේ පවසකින් ද පෙළුණේ ය. කවිය හා චිත්‍රය ඔහුගේ ජීවිතයට එක්ව තිබුණේ කුඩා කල සිට ය.
සිංහල පුහුණු ගුරුවරයකු වශයෙන් වෘත්තීය ජීවිතය ආරම්භ කළ සේකර ලන්ඩන් විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි අපේක්ෂකයකු වශයෙන් වැඩි දුර අධ්‍යයනයෙහි යෙදී බී.ඒ.(ගෞරව) උපාධිය ද ලබා ගත්තේ ය. ගුරු වෘත්තියේ යෙදෙමින්ම පශ්චාත් උපාධි අපේක්ෂකයකු වශයෙන් විද්‍යෝදය විශ්වවිද්‍යාලයට ඇතුළු වී ශාස්ත්‍රපති (එම්.ඒ.) උපාධිය ද දිනුවේ ය.
පසුකලෙක ගුවන්විදුලියේ වැඩසටහන් සම්පාදකවරයකු වශයෙනුත් මීරිගම ගුරු විදුහලේ කථිකාචාර්යවරයකු වශයෙනුත් ජීවිතයේ අවසාන භාගයේ සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ අධිපති ලෙසිනුත් රාජකාරියෙහි නියැළුණු සේකර 46 වැනි වියේ දී (1976 වසරේ දී) ජීවිතයෙන් සමුගත්තේ ශ්‍රී ලාංකේය සාහිත්‍ය කලා ක්‍ෂේත්‍රයේ පුරවාලිය නො හැකි තරමේ රික්තයක් ද ශේෂ කරමිනි.
කලාවේදියා, සාහිත්‍යවේදියා යනු අනුකාරකයකු නො වේ.
ඔහු නිර්මාණ කාර්යයට අතගසන්නේ ප්‍රතිලාභ පිළිබඳ අල්ප වූ හෝ හැඟීමකින් තොරව ය. අප මෙතෙක් වින්දනය කර ඇති අපූරු කලා නිර්මාණ සියල්ල සැමවිටම බිහි වී ඇත්තේ නිර්මාණයට සමවැදුණු කලාකරුවන්, සාහිත්‍යකරුවන් අතිනි. කවර වූ හෝ කලා නිර්මාණයක්,
සාහිත්‍ය නිර්මාණයක් උත්තම හෝ අධම වන්නේ නිර්මාණකරුවාගේ අවංකභාවය මත යැයි රුසියානු මහාලේඛක ලියෝ ටෝල්ස්ටෝයි වරක් අවධාරණය කර ඇත්තේ ද මේ තත්ත්වය පිළිබඳව ය. සංවේදීභාවය හා නිර්ව්‍යාජත්වය කලාකරුවාගේ් නිසඟ ලක්ෂණ වෙයි. අතිශයින්ම සංවේදී, නිර්ව්‍යාජ මිනිසකු වූ සේකර සකලවිධ වූ නිර්මාණ කාර්යයන්හි යෙදුණේ ද නිර්මාණය සමඟ ඒකාත්මික වෙමිනි. ඊට සමවදිමිනි. ඔහුගේ කිසිදු නිර්මාණයක් ආවාට ගියාට කලබලයට එළිදුටුවේ නැත.
සේකරගේ නිර්මාණයන්හි පැවැත්ම පිළිබඳ රහස ඇත්තේ ද එතැනය. ඇතැම් ගීතයක් ලියද්දී ඔහු එහි පදවැල් මුමුණමින් – ගයමින් නිවෙසේ ඔබමොබ සක්මන් කළේ ය. මේ අනුව ඔහු ලියූ සෑම ගීතයකම මුල්ම ගායකයා වන්නට ඇත්තේ ද ඔහු ම ය. භාවපූර්ණ වූ එබඳු ගීතයක් ශ්‍රවණය කිරීමේ දී පවා වීණාවක තත් මෙන් ඔහුගේ හදවත ද සුසර වූවේ ය. උත්සව අවස්ථාවක ‘රත්නදීප ජන්මභූමි’ ගීතය වාදනය වෙද්දී ඔහුගේ දෑසින් කඳුළු කඩා හැළුණේ ද ඒ නිසා ය.
සිත්සතන් දැහැන්ගත කරවන සුලු වූ ‘මුනි සිරිපා පියුමේ - රොන්සුණු හද තැවරේ’ (‘රන්සළු’ චිත්‍රපටයේ) ගීතයේ පදවැල සඳහා ඔහු ආවේශය ලැබුවේ මහපොළොවේ සිට අඩි සිය දහසක් ඉහළට ඇදීයමින් සිටියදී ය. එදා ඒ මොහොතේ නිව්යෝර්ක් බලා යන ගුවන් මගියකුව සිටි ඔහු අතින් ඒ ළයාන්විත පදපෙළ ඇමිනුණේ අහස් යානය වලාකුළු අතරින් පියාඹා යද්දී දුටු දර්ශනයෙන් හටගත් සංවේදනයන්ගේ උත්තේජනයෙනි.
විශ්වය සමඟ ඒකාත්මික වූ සේකරගේ සිතුවිලි ශූන්‍යත්වය හා නික්ලේශී බව තුළ ඇසිල්ලකට හෝ දැහැන් ගත වන්නට ඇතැයි අපට සිතෙන්නේ ඒ ගීතය ශ්‍රවණය කිරීමේදී අප ලබන වින්දනයට අනුවය. ඒ ගීතය ඔහු සම්පූර්ණ කළේ පසුදිනක කඳුකර පෙදෙසක ගල්තලාවක් මත අමරදේවයන් ද සමඟ රැඳී සිටිමිනි.
උපතින්ම ගැමියකු වූ සේකර, ආහාර පානවල රස හඳුනාගෙන සිටියේ ද ගැමියකු ලෙස ය. ඔහු වැඩියෙන් ප්‍රිය කළේ ලුණු ඇඹුල් පදමට යෙදූ මිරිස් සැරයෙන් අනූන වූ ව්‍යංජන ය. ගැමියකු ලෙස ඉපි ද ගැමියකු ලෙස ජීවත් වූ ඔහු ‘වොලිබෝල්’ ක්‍රීඩාවෙහි ද ශූරයකු ව සිටියේ ය. අභ්‍යාස විදුහලේ වොලිබෝල් කණ්ඩායමේ නායකයා වූයේ ද ඔහුය.
1963 වසරේදී කුසුමලතා සුරවීර මෙනෙවිය සමඟ යුග දිවි ඇරැඹූ ඔහු මරණය දක්වා පුරා 13 වසරක් ජීවත් වූයේ ඇය සමඟ ය. ‘බිරිඳ’ නමින් පසුකලෙක ඔහු අතින් එළිදුටු කවියකින් එළිදක්වන්නේ ද මේ කෙටි කාලසීමාවේදී ඇය පිළිබඳව ඔහු තුළ මුහුකුරා ගිය හැඟීම් විය හැකි ය.
පාන්දරින් තේ
උගුරක් මට ගෙනෙනා බිරිඳ ඔබය
දුන් පුතුන් ආදරයෙන්
රැකබලනා බිරිඳ ඔබය
හීන් සීරුවේ
මා ගැන සෝදිසියෙන් සිටින ඔබය
මාත් එක්ක සංසාරේ
එකට හිටිය බිරිඳ ඔබය
ස්වකීය නිර්මාණයක් එළිදැක්වීම සඳහා සේකරයන්ට පූර්ණ නිශ්ශබ්දතාවයකින් යුතු වටපිටාවක් අවශ්‍ය වූවේ නැත. සද්ද බද්ද සමඟ සාහිත්‍ය නිර්මාණයක්, කලා නිර්මාණයක් කළ නොහැකි බවට සාක්ෂියක් සේකරගේ චරිතයෙන් කිසිදිනෙකත් ගම්‍ය නොවෙයි.
එවැනි මැසිවිලි නඟන්නේ, නටන්න බැරිකම පොළොවේ ඇදයෙන් වසා ගැනීමට තැත්කරන්නන් ද යන පැනය අප තුළ නැඟෙන්නේ හුදකලාව, නිශ්ශබ්දතාව නිර්මාණ කාර්යයට අත්‍යාවශ්‍ය සාධක වශයෙන් සේකර කිසිදිනෙකත් නො සිතූ නිසා ය. නිවෙසේ ඔහු නිර්මාණ කාර්යයන්හි යෙදුණේ කාමරයක දොරගුළු වසාගෙන නො වේ. දරුවන්ගේ කෙළි සෙල්ලම් ඇතුළු විවිධ ශබ්ද අතරේ වුව තම නිර්මාණ ලෝකයට පිවිසීම ඔහුට දුෂ්කර වූවේ නැත.
http://www.silumina.lk/2010/01/10/_art.asp?fn=av1001107

සේකර නොමැති ජීවිතය මට පදවැලක් නැති ගීයක් වගෙයිආචාර්ය පණ්ඩිත් අමරදේව

සුනිල් මිහිඳුකුලගේ සටහනක්.


‘ගී පොතයි – මීවිතයි’
මහගමසේකරයනුත් ආචාර්ය පණ්ඩිත් අමරදේවයනුත් කලා ලෝකයේදී හැඳින්වුණේ එලෙසය. ඔවුන් දෙදෙනා ඒකාත්මිකව නිර්මාණය කළ ගීත, සිංහල සුභාවිත ගීත කලාවේ සම්භාව්‍ය කෘති ලෙස බුහුමන් ලබයි.
සේකරගේ වියොවින් තමා බෙහෙවින් හුදෙකලා වූ බව අමරදේවයෝ පසුකලෙක මහත් විස්සෝපයෙන් යුක්තව කියා සිටියහ. ඔහු නොමැති ජීවිතය පදවැලක් නොමැති කවියක්, නාදයකට නොනැඟුණු සංගීතයක් ලෙසිනි අමරදේවයන් සංකේතාත්මකව දක්වා සිටියේ.
සේකරයනුත් අමරදේවයනුත් පළමු වතාවට නිර්මාණාත්මකව එක්වූයේ ගුවන්විදුලියේ ‘මධුවන්ති’ සංගීත වැඩසටහනෙනි. 1959 දී අමරදේවයන්ට ගුවන්විදුලියේ වාදක මණ්ඩල ප්‍රධාන තනතුර පිරිනැමිණි. ඊට වසරකට පසු සේකර ගුරු වෘත්තිය අතැර නිබන්ධ සම්පාදකයකු ලෙස ගුවන්විදුලියට බැඳුණේය.
එසේම 1960 දී සිංහල සංගීතය උසස් කිරීම සඳහා කරුණු සොයාබලා වාර්තා කිරීමට ගුවන්විදුලිය විසින් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මූලිකත්වයෙන් විශේෂ කමිටුවක් පත්කරන ලදී. ‘මධුවන්ති’ බිහිවූයේ මේ කරුණු සියල්ල පසුබිමේ තිබියදීය. (මෙවන් ප්‍රබුද්ධ සංගීතමය වැඩසටහනක් ඉදිරිපත් කිරීමට යෝජනා කෙරුණේ මහාචාර්ය සරච්චන්ද්‍රයන් වෙතින් බවක් පැවසේ.)
වරක් ප්‍රවීණ කලාකරු සෝමබන්දු විද්‍යාපති ‘සේකරත් සමඟ එක්ව අලුත් යමක් කරන්නැ’යි අමරදේවයන්ගෙන් ඉල්ලා සිටියේය. ‘මධුවන්ති’ සංගීතමය විචිත්‍රාංගයට එකී නම යොදන ලද්දේ අමරදේවයන් විසිනි. උත්තර භාරතී රාග පද්ධතියේ මධුවන්තී නමින් රාගයක් පවතින බව මෙහිලා සිහිකටයුතුය.
’මළ ඉර බසිනා හැන්දෑ යාමේ’ ගීතය අමරදේව - සේකර නිර්මාණ සුසංයෝගයේ පළමු ඵලය වෙයි. කෙසේ වෙතත් තමාගේත් සේකරගේත් නිර්මාණ සුසංයෝගයේ අග්‍රඵලය ‘ඈත කඳුකර හිමව් අරණේ’ ගීතය බව අමරදේවයෝ කියති.
එය නිර්මාණය වූයේ චිත්‍රසේනයන්ගේ ‘නළ දමයන්ති’ මුද්‍රා නාටකය වෙනුවෙනි. එය එම ඉඟි නළුවේ තේමා ගීතය විය. එම අතිවිශිෂ්ට ගීතය බිහිවූයේ රාජගිරියේ මාදින්නාගොඩ කුඩා කඳු ගැටයක් මත පිහිටි ශේෂා පලිහක්කාරගේ නිවහනේදීය. කොටින්ම නිවෙස වටා සුදුවැලි අතුල මිදුලේය. එම මහරු අවස්ථාව අමරදේවයන් සිහියට නඟන්නේ මෙපරිදිය.
”සුදු වැලි මතින් සඳරැස් ගලා බසී. සේකරත් මාත් දැන් සඳකැන් සිඹිනා සුදු වැලි මතය. සේකර මුමුනන්නට වූයේය. මුවින් එක් එක් පද ගිලිහිණි. අපි දෙදෙනා ඇසිල්ලකින් එක් කුටියක යහන මතට වීමු. සේකර කඩදාසියක් රැගෙන කුරුටු ගාන්නට විය. දැහැනින් අවදි වූ හේ මා අත තැබූ කඩදාසියෙහි මෙය දිස් විය.
ඈත කඳුකර හිමව් අරණේ
සීත චන්දන ළපලු හෙවණේ
සුළං රැල්ලේ පාව එන්නේ
ඔහුගෙ නාමය වේ
දිනක් එක්තරා රාත්‍රියක සේකර ගම්පහ ලීලා පොත්හලේ අධිපති කේ.එන්.ඕ.විජේදාස (ඔහු මහාචාර්ය කේ.එන්.ඕ.ධර්මදාසගේ සොහොයුරෙකි) සමඟ මෝටර් රියක නැඟී අස්ගිරිය වෙල්යාය අසබඩින් ගමන් කරමින් සිටියේය. හදිස්සියේම වාහනය නැවැත්වූ සේකර කළුවරේම වෙල දෙසට ගමන් කළේය. ඔහු මඳ වේලාවක් අහස දිහා බලා සිටියේය.
ඔහු ‘පාළු අඳුරු නිල් අහස මමයි’ ගීතය ලිව්වේ ඉන් හටගත් අසීමිත චමත්කාරයෙනි. එසේ වුවත් ඒ ගීතයට පාදක වූ එක්තරා අනුභූ®තියක් ද සේකර සතුව තිබිණි. ගුවන්විදුලි වැඩසටහනක දී සේකර ප්‍රවීණ වැඩසටහන් සම්පාදකවරයකු වූ පාලිත සමරසිංහ සමඟ කියූ ආකාරයට එය ප්‍රේමයේ බිඳවැටීමක් පිළිබඳ වූ අනුභූ®තියකි.
”පාළු අඳුරු නිල් අහස මමයි’ ගීතය මගේ ජීවිතයේ එක්තරා අත්දැකීමක් කියලා කියන්න පුළුවන්. තරුණ වියේදී කාලාන්තරයක් තිස්සේ මම පෙම්කළ යුවතියකගේ අතගන්න බැරිවුණා. කුලමල, සිරිත් විරිත් ප්‍රශ්න නොසිතපු අන්දමට හරස්වුණු නිසා.”
මහගමසේකරයන්, අමරදේවයන් නිර්මාණ සුසංයෝගය චිත්‍රපට ක්ෂේත්‍රයට ද විශිෂ්ට ගීත සම්ප්‍රදානයක් බිහිකිරීමට හේතුභූත වූයේය. ‘සත්සමුදුර’ (සිනිඳු සුදු මුතු තලාවේ), ‘පරසතුමල්’ (තොලින් තොලට වෑහෙන ගී සින්දූ), ‘රන්සළු’ (සිරිපා පියුමේ), ‘බිනරමලී’ (රටකින් රටකට පාර අසාගෙන) වැනි ගීත ඊට නිදසුන්ය. ගුවන් යානයක නැඟී ඇමෙරිකාව බලා ගිය ගමනකදී කවුළුවෙන් දිස්වූ පුළුන් අතුරා ලූවාක් වැනි සුදු පැහැ වලාකුළු තට්ටුව නෙත ගැටි සේකරට ඉබේටම වාගේ සිරිපා පියුමේ ගීතයේ පදවැල් සිහියට ආවේය.
අමරදේවයන් සිරිපා පියුමේ ගීයට තනුව යෙදුවේ අඹේපුස්සට නුදුරු ගමක පිහිටි ගල් කුළින් හා නිල් තුරුලියෙන් සැදි උස් කඳු මුදුනකය. සේකර ද ඒ අවස්ථාවේ එහි සිටියේය. සේනාසනයක පවත්නා වැනි සාන්ත ස්වභාවයක් එහි වූ බව සේකර කියා ඇත.
තමාගේ ‘තුංමං හන්දිය’ චිත්‍රපටයට ප්‍රේක්ෂකයන් වෙතින් ලැබුණ ප්‍රතිචාර කෙරෙහි සංවේදී වූ සේකර අතින් කවියක් ලියැවිණි. ඒ මෙ පරිද්දෙනි.
මා මියගිය දවසක
සොහොන් කොතේ
ලියන්න පෙම් ගීයක්
නොදන්න අත් අකුරින්
අඩ සඳ පායා එන
සීතල රැයක
රැහැයියන්ගේ රැව් මැද
එතකොට ඒ ගී හඬ මට ඇසේවි
මේ ලොවේ යම් කිසිවකු
මා හට පෙම් කළ බව
එතකොට ඒ ගී හඬ මට කියාවි
පසුව එයින් ගීතයක් පබැඳූ සේකර එය අමරදේවයන් වෙත මෙබඳු කෙටි සටහනක් ද සමඟ මෙසේ යොමු කෙළේය.

ප්‍රිය අමරේ;
පහත සඳහන් ගීය සරල ගී වැඩසටහනකට සුදුසු යැයි සිතේ. ගීයේ තේමාව මෙයයි. කාගෙන් හෝ ආදරයක් බලාපොරොත්තු වෙමින් මුළු ජීවිත කාලයම ගෙවා - එහෙත් ඒ නොලැබී ගිය මිනිසෙකුගේ සිතුවිල්ලකි. රාත්‍රියක සොහොන් පිටියක ඇති නිහඬතාව - කලකිරීම – පාළුව - ශෝකාකූල ගතිය ආදී හැඟීම් දනවන සංගීතයක් සුදුසු යයි සිතේ.
මා මළ පසු සොහොන් කොතේ
දුක් ගීයක් ලියනු මැනව
නන්නාඳුනනා ඔබගේ අත් අකුරින්
දුක් ගීයක් ලියනු මැනව
අඩසඳ බැසගෙන යන සඳ
රෑ යාමේ
රෑහි අඬන රැව් අතරින්
එතකොට ඒ ගී රාවය
යාන්තමින් මට ඇසේවි
මේ ලොව යම් කිසිවකු
මා හට පෙම්කළ බව
එතකොට ඒ ගී රාවය
හීන් හඩින් මට කියාවි
අමරදේවයන් පූර්වෝක්ත ගී පද තම නිර්මාණයේදී තම අභිමතය පරිදි සංශෝධනය කරගත් ආකාරය එම ගීතය අසන ඔබට මැනැවින් පසක් වනු නොඅනුමානය.
මේ ලොව යම් කිසිවෙකු..
මා හට පෙම් කළ බව..
එතකොට ඒ ගී රාවය..
හීන් හඬින් මට කියාවි..
මා මළ පසු සොහොන් කොතේ..
දුක් ගීයක් ලියනු මැනවි..///

නන්නාදුනනා ඔබගේ..//
අත් අකුරින් ලියනු මැනව..
දුක් ගීයක් ලියනු මැනව..
දුක් ගීයක් ලියනු මැනව..

අඬ සඳ බැසගෙන යන සද..
සීතල අඳුරු රැයක..
අඬ සඳ බැසගෙන යන සද..
රෑහි හඬන රැව් අතරින්..

එතකොට ඒ ගී රාවය..
යාන්තමින් මට ඇසේවි..
එතකොට ඒ ගී රාවය..
යාන්තමින් මට ඇසේවි..

කෙසේ වෙතත් අමරදේවයන්ට ලියූ ගී අතරින් සේකර පෞද්ගලිකව වඩාත් ප්‍රිය කළේ ‘චන්දෝ මා බිළිඳේ’ ගීතයටය.
සේකරගේ අවමඟුල් උත්සවයේදී සියලු කලාකරුවන් වෙනුවෙන් අවමඟුල් සභාව ඇමතුවේ අමරදේවයන්ය. සෑයට ගිනි ඇවිලෙද්දී වා තලයට මුසු වූයේ සේකර ලියූ අමරදේවයන් ගැයූ මේ ගීතයයි. (එය සේකර අමරදේවයන්ට ලියූ මුල්ම ගීතය ද වූයේය) ඉතාම ශෝකී ස්වරයෙන් යුක්තව එය ගායනා කෙරිණි.
”මළ හිරු බසිනා හැන්දෑ යාමේ
ඔබගෙන් සමුගන්නම්
අඳුරේ සැඟවී – අඳුරට ඉඩදී
ඔබගෙන් වෙන්වී
මම යන්නම්”
සංසාරික මිතුරාගේ දේහය රැගත් සෑය දැවී අළුවී ගිය මොහොතේ පටන් 
අමරදේවයන්ගේ හුදෙකලා ජීවිතය ආරම්භ වූයේය.
http://www.silumina.lk/2011/01/09/_art.asp?fn=av1101094

1 comment:

  1. බොහොම හරවත් වගේම කියවන්න ආස හිතෙන ලිපියක්. දේශපාලන කුණුහරුප ලියන බ්ලොග් වලට තිබෙන ප්‍රතිචාර මේවට නැති එක කනගාටුවක්.

    ReplyDelete