20140302

“නිධානය” සමඟ මගේ අනුභූති -ලෙස්ටර් ජේම්ස් පීරිස්

---------------------------------------
ආසියාවේ වයෝවෘද්ධතම සිනමාකරුවාණන් වූ 93 වැනි වියට ආසන්න ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිසුන්ගේ “නිධානය” තිරගත වී පසුගියදා චතුර් දශකයක් සපිරිණ. මේ වූ කලී එතුමාගේ මතු නොව ලංකාවේ එදා මෙදා බිහි වූ අග්‍රගණ්‍ය සිනමා කෘතිය වේ. ලෙස්ටර් සමඟම මෙහි 40 වසර සැමරීමට අවකාශය ලැබීම ලාංකික සැමගේ භාග්‍යයකි.
මේ ප්‍රශස්ත නිර්මාණය ඉහළම ධී ශක්තියෙන් සුපෝෂණය කළ නාමශේෂභාවෝපගත ගාමිණි ෆොන්සේකා, තිස්ස අබේසේකර, පේ‍්‍රමසිරි කේමදාස ඈ කලා විබුධයන් ද මේ මොහොතේ අප සිහිපත් කළ යුතුය. උපාලි පෙරේරා සංස්කරණය කළ “නිධානය විශේෂ සිනමා සංග්‍රහය”ට (1971) “My experience with Nidhanaya” යන හිසින් ලෙස්ටර් මාහැඟි ලිපියක් ලීවේය. එය දුහුනන් දැනුම් සඳහා සිංහල බසට නඟා පුවත්පතක පළමුවරට පළ කළ යුතු යැයි මම සිතුවෙමි. මේ ඒ කාලෝචිත ලිපියේ සිංහල පරිවර්තනයයි.

http://www.lankastandard.com/wp-content/uploads/2013/06/lester-james--e1371357044270.jpgලෙස්ටර් ජේම්ස් පීරිස්




සිනමාකරුවා නිර්මාණ කරනුයේ සදාකාලික ලෙස ඔහුගේ දැනුම පුළුල් කරන්නා වූ අනුභූති ඇසුරු කොටගෙනය. ඔහුට අර්ථාන්විත වන්නා වූ තේමාවන් අනුපිළිවෙළින් සහසංකලනය කිරීමට හේ උගනී. මානව සංකීර්ණතාවන්ට සාධාරණය ඉටු කරන ගැඹුරු දෑ ලෙස මෙතැන් සිට ඒවා පෙනී යා හැකිය.” යනුවෙන් වරක් ප්‍රකට ජපන් සිනමාකරු නගිසා ඔෂිමා පැවසුවේය. සැබැවින්ම මගේ සන් මිත්‍ර බෙනඩික්ට් දොඩම්පෙගමයන් යෝජනා කළ දින සිට වසර ගණනාවක කාලයක පටන් ජී. බී. සේනානායකයන්ගේ ප්‍රකට කෙටි කතාවක් ඇසුරෙන් චිත්‍රපටයක් තැනීමට මම ඇලුම් කළෙමි. චිත්‍රපටයකට අමුද්‍රව්‍ය සැපයීමට හැකියාව තිබෙන මේ පිටු හතරක කෙටි කතාවේ ප්‍රබලතාව බෙන්ගේ තීක්ෂණ ඥානයට හසු විය.
මේ ගැන අප මුල් වරට සාකච්ඡා කළේ මෙරට ප්‍රධාන පෙළේ ලේඛකයන් දෙපළකගේ ප්‍රකට කෙටිකතා එක්කොට ඒවා ඇසුරෙන් තැනිය හැකි චිත්‍රපට ත්‍රිත්වයකින් එක් කෙටි චිත්‍රපටයක් ලෙස ජී. බී. ගේ කෙටි කතාව සිනමාවට නැඟීම වඩාත් යෝග්‍ය බවය. මෙකී පළමු ව්‍යාපෘතිය සඵල නොවීම ගැන මම අද වඩාත් සතුටු වෙමි.
“නිධානය” කෙටි චිත්‍රපටයක් වශයෙන් ගත් කල ගැඹුරු භාවයෙන් හීන වීම, එහි විෂය පථය හා චරිතාංගයන්ගේ විශාලත්වය යනාදිය නොවැළැක්විය හැකි අයුරින් දීර්ඝ වෘත්තාන්ත චිත්‍රපටයක් සඳහා අප මෙහෙය වනු ලැබීය. මෙබඳු ගුණාංග අවබෝධ කර ගැනීමෙන් අප සාර්ථක වී තිබේ ද? නැත්ද? යන්න පිළිබඳ පැනය නඟා ඊට පිළිතුරු සැපයිය යුත්තේ පේ‍්‍රක්ෂකයන් සහ විචාරකයන්ය.
එසේම කෙටි කතාවක් ලෙස එහි ඇතුළත් වූයේ ඉතා සංක්ෂේපයෙන් කියූ අන්දරයකි. සිත් කාවදින සිතෙහි හොල්මන් කරන, පුනර් ප්‍රතිරාවය නංවන ගුණාංග “නිධානය” හි තිබිණ. මෙහි කේන්ද්‍රීය චරිතය සහ ඔහු ජීවත් වීමේදී තම මනසෙහි බැරෑරුම් නොසන්සුන් ස්වභාවය අනුරාවයට නංවන, නිමා නොවන පටලැවිල්ලක ස්වරූපය හමන්නා වූ මනෝ විද්‍යානුකූල විනිවිද දැක්ම අපට විවර කර දෙන්නේ ඉතාම කෙටි කතාවක් තුළ වුවත් සංකීර්ණ හැඟීම් සමුදායකි.
උපමා කථාවක සරල ගුණය, බලය මෙන්ම ගී‍්‍රක නාට්‍යයක ප්‍රාබල්‍යය ශෝකාන්ත ස්වභාවය ද මෙහි තිබේ. තිස්ස අබේසේකරත් මාත් අපට තිබෙන අභියෝගය ලෙසින් දුටුවේ මේ කරුණය. පැය දෙකක කාලයකට ප්‍රසාරණය කරන්නා වූ චිත්‍රපටයක මේ ගුණාංග එලෙසින්ම රඳවා තබා ගැනීමට අපට හැකි වේ ද? මේ අන්දරයේ නිරවද්‍යතාව අප හීන කර ගත යුතු ද?
මුල් නිර්මාණයේ විනිවිද පෙනෙන හිංසාව කුළුගැන්වීමට ඉවහල් වන නව දර්ශන සහ සිදුවීම් බලහත්කාරයෙන් අප මෙයට එක් කළ යුතු ද? ඇතැම්විට එහි නොමැති සහ ලේඛකයා කිසිදු විටක අදහස් නොකළ නව අර්ථකථන අප මේ කථාවට බලහත්කාරයෙන් ඇතුළත් කළ හැකිය. මෙහි කතුවර ජී. බී. සේනානායකයන් අපගේ හොඳම මාර්ගෝපදේශකයා වූයේය. ඔහුගේ කෘතිය හදාරනු පිණිස කඳානේ පිහිටි ජී. බී. ගේ නිවසේ අප පළමුවරට හමු වූ අවස්ථාව තවමත් මා මතකයේ දැඩි ලෙස රැඳී තිබේ.
මේ කථාවෙන් අර්ථවත් වන්නේ කුමක් දැයි මම ඔහුගෙන් ඇසුවෙමි. (මෙය ඕනෑම ලේඛකයකුගෙන් සෑමවිටකම ඇසීමට භයානක ප්‍රශ්නයකි.) මෙය උපමා කථාවක් ද? සදාචාරාත්මක කථාවක් ද? මිථ්‍යා විශ්වාසයන්ට පරිභව කිරීමක් ද? මේ සුවිශේෂ පන්තියේ සම්පූර්ණ කායික හා මානසික පරිහානිය සමාජ විද්‍යාත්මක ශාස්ත්‍රීය ලේඛන මඟින් සංකේතවත් කෙරේ. වැඩවසම් රදලවාදය හෝ මෙය හුදෙක් රසවත් කථාවක් පමණක් ද? “නැහැ” ජී. බී. කීවේය. මේ කිසිවක් ඔහුට රුචි නොවීය. ප්‍රාථමික වශයෙන් හේ පි‍්‍රයතාවක් දැක්වූයේ ස්වකීය කේන්ද්‍රීය චරිතයේ මනෝවිද්‍යාත්මක ස්වරූපයටය. මිනිස් මනසෙහි ආදරය හා ධන තෘෂ්ණාව අතර වේදනාත්මක ඝට්ටනය, විශේෂයෙන් මනසෙහි වික්ෂිප්තභාවය වේ.
තම ජීවිතයේ සියල්ල අහිමි වූ බව ඔහු පසක් කර ගන්නා අවස්ථාවේ සිය දිවි තොරකර ගැනීමට ඔහු පෙලඹේ. මේ ආකෘතිය තුළ මෙතැන් සිට ඔහුගේ අවසාන පාපොච්චාරණයෙන් පසුව කතාව අවසන් කෙරේ. එසේම මෙතැන් සිට චිත්‍රපටයෙහි ද කතාවෙහි ද මේ වදන් පෙළ පුනරුච්චාරණය වේ. “මම ඔබට කතාවක් කීමට උත්සාහ නොකරමි. මේ වචන ලියා තැබීමෙන් මා උත්සාහ කළේ මා කළ බරපතළ වරදෙහි ඉවසිය නොහැකි බරෙන් සැහැල්ලු වීමටයි.”
විලී අබේනායකගේ ජීවිතයේ, නොසන්සුන්තාවයේ සහ මරණයේ අබිරහස විසඳීමට අපට හැකියාව තිබෙන හෝඩුවාව ඇත්තේ මෙතැනය. කථාව ගොඩනැඟීම පිළිබඳ තිස්ස සහ මා අතර පැවති සාකච්ඡාව නිරවුල් කර ගැනීමට මෙය අපට අපූර්ව ලෙස උපස්තම්භක විය. දැන් අපගේ ප්‍රධාන අරමුණ මෙහෙය විය යුත්තේ කොතැනටදැයි අප තීරණය කර ගත යුතුව තිබිණ.
විලී අබේනායකගේ භූමිකාවේ මනෝවිද්‍යානුකූල විමර්ශනයකට අපි උත්සාහ දැරුවෙමු. මේ වූ කලී මිනිසකුගේ අභ්‍යන්තරික ගැඹුරු ජීවිතය සොයා ඔහු පිළිබඳ නොදන්නා ලෝකයක පිනුම් ගැසීමක් වැන්නකැයි අප හට වඩාත් හොඳින් ප්‍රත්‍යක්ෂ විය. එසේම මෙය ඔහුගේ උප විඥානගත මනස නමැති ලෝකයේ සැඟවුණු රහස්, ඔහුගේ භීතිය, ඔහුගේ සිහින, ඔහුගේ නොසන්සුන්තාව, ඔහුගේ අද්භූත කල්පනා පිළිබඳ සෙවීමකි. සිංහල සිනමාවට අදාළ වන්නා වූ කරුණක් පිළිබඳ අපි හැකිතාක් දුරට සවිඤ්ඤාණක වූයෙමු. එනම් මෙය අමතනුයේ තොරතුරු නොදන්නා ප්‍රදේශයකට බවය. විපරීත (Abnormal) දේ පිළිබඳ දැනුමක් හෝ පුහුණුවක් අප කිසිවකුට නැත.
කෙසේ නමුත් මගේ පූර්ව නිර්මාණවලදී සාමාන්‍ය මනෝ විද්‍යාව ඔස්සේ චරිතවල අභ්‍යන්තරික නාටකීය ස්වභාවය මඟින් ඔවුන්ගේ මනසට ගමන් කරන්නේ කුමක් ද? යන්න පිළිබඳ කල්තියාම මා සිත යොමු වී තිබිණ. පූර්වයෙහි එඩිතරව මුහුණ පෑ අවදානම්වලට වඩා මේ චිත්‍රපටය ඔසසේ ඒ දිශාවෙහි තවත් බොහෝ දුරක් යෑමට තිබෙන බැව් අපි දැන සිටියෙමු. ජී. බී. සේනානායකයන්ගේ කථාවෙන් හා අපගේ අන්තර් ඥානයෙන් සැපයුණු ඉඟි අපට මඟ පෙන්වීය. මේ නිසා තිර රචනය සම්පූර්ණ කිරීමට අට මසකට ආසන්න කාලයක් ගත වීම පුදුමයට කරුණක් නොවේ. කපා කොටා නැවත සකස් කිරීම්, අතිරේක එකතු කිරීම් ආදි ස්ථිර වෙනස්කම් මෙහිදී සිදු කෙරිණ.
ඒ දිනවල තිස්ස තමාගේ නිවසට මගේ හදිසි පැමිණිම හේතු කොටත් ඔහුගේ කාලයට මගේ ස්ථිර නියම කිරීම් හේතු කොටත් බිය වන්නට ඇත. මෙසේ දිගු නිමාවක ඵලයක් වශයෙන් තිර රචනය සූදානම් විය. මගේ පහළොස් වසරක සිනමාකරණ දිවියට අනුව ඉතා අවංකවත් සෘජුවත් එක් දෙයක් මට කිව හැකිය. එනම් තිස්සගේ තිර රචනය විවරණය කිරීම බොහෝ දුරට අභියෝගාත්මක කර්තව්‍යයක් බවය. මෙය වූ කලී සංකීර්ණ ආඛ්‍යානමය සන්දර්භයකි. මෙය යථාර්ථයේත් අද්භූත සංකල්පනාවන්ගේත් ප්‍රතිස්වර සංවාදයකි (Counter Point).
සුකොමළ ලාලිත්‍යයෙන් හෙබි සම්භාව්‍ය ගද්‍ය ශෛලියෙහි තිබෙන්නා වූ ද උත්තම පුරුෂ ආඛ්‍යානයෙන් අවධාරණය කරන්නා වූද දෙබස් සහිත දර්ශන ඔස්සේ දිවෙන දෙවැදෑරුම් කථන උපක්‍රම මෙහි තිබේ. මේවා සියල්ල මඟින් නියම කෙරෙනුයේ වඩාත් ප්‍රාබල්‍යය වූ චිත්ත සමාධියකි. මේවා කේන්ද්‍රීය චරිතයට එක් කළ විට ජීවිතයේ ප්‍රමාණයට (Life size) වඩා විශාල වේ. ඔහුගේ මනෝ විද්‍යාත්මක සංකීර්ණතාව මනබඳිනසුලුය. එසේම මෙය අපූරු ආදර කතාවකි. ප්‍රධාන නළු නිළියන් සහ ප්‍රධාන කාර්මික ශිල්පීන් “නිධානය” රූපගත කිරීම අරඹන විට අප සියලු දෙනාට තිබූ බියජනක හැඟුම, චකිතය, කැලඹිල්ල යම් අයකුට වටහා ගත හැකි වේ.
චිත්‍රපටය රූගත කළ අවස්ථාවන්හිදී සහ අවසාන සංස්කරණ කටයුතුවලදී ද සැලකිය යුතු වෙනස්කම් සිදු කෙරිණ. (ප්‍රස්තුතයෙන් පිට යෑම නොවැළැක්විය හැකි විය.) මම හැකිතාක් දුරට තිර රචනයට සමීපව ඒ මත රැඳී සිටීමට අදිටන් කොට ගතිමි. “නිධානය” වැනි කතාවක් චිත්‍රපට ගත කිරීමේදී අනපේක්ෂිත අන්තරාවන්ගෙන් වැළකී සිටීමට සිදු වේ. යම් අයකු එක් අතකින් මෙය හිච්කොක්ගේ ශෛලියේ දෙගිඩියාවකින් යුත් ත්‍රාසජනක චිත්‍රපටයක් බවට පත් කිරීම අන්තරායකර අප්‍රසන්නතාවක් වනුයේ සිනමාවේදී එහිලා ඔහුට ආදේශ කළ හැකි ශ්‍රේෂ්ඨ සිනමාකරුවකු සැබැවින්ම නොමැති නිසාවෙනි.
අනෙක් අතට යම් අයකු මෙය “Hammer” චිත්‍රපටයෙන් ජනපි‍්‍රය වූ ආකාරයේ භීතියෙන් (Horror) යුත් චිත්‍රපටයක් සේ නිම කළ හැකිය. මෙය වූ කලී කෙබඳු පාඩුවක් සිදු වුවත් මා වැළකී සිටීමට දැඩිව අදිටන් කොටගත් අන්තරාද්වයකි. මේ හැරත් මෙහි යාතු කාර්මික මිනී මැරුමක් රැගත් අවසාන දර්ශනය ප්‍රචණ්ඩත්වය නමැති ආශාවෙහි තදින් ඇලීමට ප්‍රබල ලෙසින් අප පොලඹවනසුලුය. උමතු, මානසික ව්‍යාකූලත්වය සහ ව්‍යාජ නාට්‍යමය ස්වරූපයෙන් යුත් ඔපෙරාමය නාට්‍යාතිශය ස්වරූපයක් මෙහි උච්ච අවස්ථාවෙහි (Climax) තිබිණ. පිළිතුර නම් මේවායින් උසස් ලෙස වැළකී සිට සංයමයකින් හා හික්මීමකින් යුත් ශෛලියක අප දැඩි ලෙස රැඳී සිටි බවය.
ප්‍රචණ්ඩත්වයේ ප්‍රබලතාවන් මේ කතාවෙහිම තිබිණ. මෙය මන්ද රංගනයක් (Under Play) ලෙස ඉදිරිපත් කළ යුතු යැයි මම සහජාසයෙන් වටහා ගතිමි. මා මෙය සිතුවේ බටහිර සිනමාවේ අතිරික්තයෙන් දක්නා ලැබෙන ප්‍රචණ්ඩත්වය සමඟ තුලනය කරමිනි. පේ‍්‍රක්ෂකයෝ ක්‍රමිකව සංවේදීකරණයෙන් විනිර්මුක්ත වෙත්. සැබවින්ම තවදුරටත් ඔවුන් කම්පනයට පත් කිරීමට හැකියාවක් නොමැත.
විධිමත් රීතියකින් මෙය රූගත කිරීමට තීරණය කළ හෙයින් එය මට නැවුම් දෙයක් නොවීය. එහෙත් සත්‍ය වශයෙන්ම මගේ පෙර නිර්මාණවලට වඩා සෑමවිටකම ප්‍රසාදයක් මා තුළ ඇති කළ යම් දෙයක් මෙහි තිබිණ. සියලු ආකාරයේ නව වාග් ව්‍යවහාර සම්ප්‍රදායන් සහ ව්‍යාකරණමය එකතු කිරීම් අපගේ සමකාලීන පර්යේෂණාත්මක සිනමාකරුවන් අපට ලබා දී තිබු නමුත් මා ප්‍රබල ලෙස රුචි කළේ සිනමාකරණයේදී නව්‍ය ශිල්පීය උපක්‍රම භාවිත කිරීමටය. සිනමාකරණයේදී මා අනුදත් ශෛලිය වෙනස් කිරීමට හේතුවක් නොමැති බැව් මම දුටිමි. සියලු විසඳාගත නොහැකි සීමාවන් සමඟ වුවත් මට කීමට අවශ්‍ය වූ දේ කුමක් ද? සිනමාවේ වඩාත් මා රුචි කළේ කුමක් ද?
ඇතැම්විට මෙය පුනරුක්තියක් විය හැකිය. යමක් නාට්‍යමය නොවන ආකාරයෙන් මැවීමට සිනමාව සතු ශක්‍යතාව අනුව එය අද්විතීය කලාවක් වන බවට මා තුළ තිබෙන්නා වූ විශ්වාසය කිසිදු විටක හීන වී නැත. මක් නිසාද යත් සැබෑ නාට්‍ය පවතින්නේ සිනමාව තුළ වන හෙයිනි. මගේ මිත්‍රයන් කිහිප දෙනෙක් පෞද්ගලික දර්ශනයකදී “නිධානය” නරඹා පැවසූ දෙයක් (එය අපහාසාත්මක හැඟීමකින් පැවසූ දෙයක් නොවන බව මට ස්ථිරය) මට සිහිපත් වේ. ඔවුන්ට අනුව මා නාට්‍ය කලාවෙන් දුරස්ථව සිටි නිසා ප්‍රදර්ශනාත්මකව මෙහෙය වනු සඳහාත් වේදිකා ගත කරනු සඳහාත් අතිශයින් ඉඩකඩ ලබා දෙන කථාවක් මා වෙනත් වචන ඔස්සේ නාට්‍යමය ගුණයෙන් වියුක්ත කළ බවය. සිනමාවේ මා ළඟා වීමට අදහස් කළ දේ කුමක් ද? එහි ඇතැම් අංශයන්ට ළඟා වීමට මට හැකි වූ බව නිසැකය.
විලී අබේනායකගේ භූමිකාව වූ කලී ඇතැම්විට ලාංකික නළුවකු හට නිරූපණය කරනු සඳහා ඇරයුම් ලැබු වඩාත් සංකීර්ණතම භූමිකාව විය හැකිය. මේ චරිතය විසින් ඉල්ලා සිටින මනෝභාවයන් ප්‍රකාශ කිරීමේ පරාසය පුළුල්ය. අපස්මාරය සෑදුණු කල්හිත් යාතු කාර්මික මිනී මැරුමක් සිදුවන කල්හිත් අවස්ථානුකූල ලෙස උසස් සියුමැළි ආකාරයෙන් මේ මනෝභාවයන් වෙනස් වේ. මේ චරිතයට නිසි සාධාරණය ඉටු කළ හැකි වන්නේ එක් නළුවකුට පමණක් වන බවට මා තුළ අල්ප මාත්‍රයක හෝ සැකයක් නොතිබිණ. ඒ ගාමිණි ෆොන්සේකාය. අපගේ සිනමා ලෝකයේ තිබෙන මහා උත්ප්‍රාසය නම් බහුජනයා ගාමිණි ජනපි‍්‍රය වීර ප්‍රතිරූපයක් ලෙස පමණක් පිළිගනු ලැබීමය. ඔවුන්ට අනුව ඔහු හුදෙක් උද්වේගකර, සටන්කාමී, ගීත ගයන, ජනපි‍්‍රය ප්‍රතිරූපයක් මත රඳා පවතින සුපිරි තරුවකි.
ලාංකික සිනමාවේ සාම්ප්‍රදායික වීරයෙකි. සංකීර්ණ නොවන, වාණිජ චිත්‍රපටවලට ආදායම් උපයා දෙමින් සාර්ථකත්වය ලබා දෙන උපකරණයකි. තවද ඔහු නොනැසී පවතින්නේ මේ ජනපි‍්‍රය චරිත ඔස්සේය. ඔහුගේ රංගන ප්‍රතිභාවට තිබෙන ඔවුන්ගේ එකම මිනුම් දණ්ඩ අපගේ ජනපි‍්‍රයතම සුපිරි තරුව ලෙස ඔහු තම ස්ථාවරය රඳවාගෙන සිටීමය. එහෙත් මේ ජනපි‍්‍රය නළුවාට නොහොබින ගැඹුරු, සංකීර්ණ චරිත නිරූපණය කළ හැකි, ප්‍රබල ජවයකින් රඟපෑ හැකි, උසස් සංවේදීතාවකින් හෙබි තියුණු බුද්ධි මට්ටමකින් යුත් කලාකරුවකු ද ඔහු තුළ ජීවත් වේ.
ගාමිණිගේ රංගන පරාසය විදහා පාන්නට වූ භූමිකාත්‍රයක් ඔහු මා සඳහා නිරූපණය කළේය. “සන්දේශය” හි තම ප්‍රධානියා ද අබිබවා යන සෙවණැල්ලක් පතිත කරමින් නිර්භීත කැරලිකරුවකු ලෙස ද “ගම්පෙරළිය” හි ජිනදාස නමැති ඵල නොදැරූ ගැමියකු ලෙස ද එසේම දැන් “නිධානය” හි නොසන්සුන්, සිත් කාවදින ශෝකාන්ත ප්‍රතිරූපය ලෙස අප හමුවේ දිස් වේ. ගාමිණි ඉතා නිවැරැදි දේ කළ හෙයින් මේ චිත්‍රපටයෙහි ද ඔහු ප්‍රබල ලෙස ඉස්මතු වනු දැක්ක හැකිය.
දිළිඳු රදලයකු, තම මිථ්‍යාවන් සමඟ හුදෙකලාව වෙසෙන්නකු, ගරා වැටෙන ස්වකීය විසල් මැදුර පිළිබඳ නොසන්සුන්තාවයෙන් පෙළෙන්නකු, බටහිර විදග්ධභාවයේ හා ලාලිත්‍යයේ ව්‍යාජ පෙනුම මතු පිටින් පහත් ලෙස ආරෝපණය කරගත්තකු හා මැඩ පවත්වා ගත නොහැකි ව්‍යාජයෙන් යුත් මිනීමරුවකු ලෙස අභාග්‍ය සම්පන්න වූවකු යනාදී ලක්ෂණවලින් සමන්විත විලී අබේනායක වූ කලී ඉතා පහසුවෙන් අමානුෂික කෲර පුද්ගලයකු බවට වෙනස් වීමේ හැකියාව තිබෙන භූමිකාවකි. උණුසුම් නොවූද මානව දයාවෙන් තොර වූද මෙයට මානසික ව්‍යාධිය පිළිබඳ සායනික රචනාවක් බවට පත් වීමෙහි ද හැකියාව තිබේ. ගාමිණි මෙකී කේන්ද්‍රීය චරිතය නිරූපණය කරමින් උසස් ප්‍රතිභාවක යම් මිනුම් දණ්ඩක් ඔස්සේ මේ චරිතයේ සානුකම්පිතභාවය හා කාරුණිකත්වය මතු කළේය.
අයිරින්ගේ චරිතය සංකීර්ණතාවයෙන් වඩාත් හීනය. මෙය සැබැවින්ම ඒකීය මානයකින් සාදෘශ්‍ය වේ. ඇය විරෝධය නොපාමින් ඉවසා සිටින ගොදුරක් බඳු වස්තුවකි. ලැජ්ජාශීලී ඇය විලීගේ අපූර්ව පේ‍්‍රමය යටතේ පමණක් සුපුෂ්පිත මලක් බවට පත් විය හැකි මැලවුණු පැළෑටියක් වැන්නකි. මේ චරිතයට අපගේ තේරීම වූයේ මාලිනි ෆොන්සේකාය. “නිධානය” හි කථාව සැබැවින්ම නළු නිළි දෙපළකගේ යුග ගීතයක් වැන්න.


විලී සහ අයිරින්ගේ සම්බන්ධතාවෙහි සංකීර්ණතාවන් කුළුගැන්වීමේදී මා කළ පරිදි අධ්‍යක්ෂවරයාට ස්වකීය කලාකරුවන් මත වඩාත් රඳා පැවැත්මට සිදු වේ. ගාමිණි, මාලිනි සහ මම ඒකත්වයෙන් භාග්‍යවන්ත වීමු. ප්‍රධාන නළු නිළි යුවළ ඉඩ ලබා දී තිබියදීත් සැබැවින්ම මා සුරක්ෂිත කළ මෙහි කාර්මික සාර්ථකත්වය හෝ මනාපයට අනුව කළ ඡේදන හෝ ප්‍රමාණය කළ නොහැකි යැයි මෙය නැරඹුවන් වටහා ගනු ඇත. මෙහි ඉතා අපූර්ව වූද සිත් සසල කරන්නා වූද ක්‍රමිකව අවදි වන්නා වූද ස්වරූපයකින් විලී සහ අයිරින් අතර ආදර සබඳතාව ගොඩනැඟේ. විනාශ කළ යුතු දේ ඔහු වෙන්කොට හඳුනා ගනී. මෙය මා සම්පූර්ණයෙන්ම ප්‍රතිචාර දැක්විය යුතු වර්ගයේ අමුද්‍රව්‍යයකි. ඒ නිසා මෙය සමස්ත චිත්‍රපටයෙහිම කේන්ද්‍රීය කොටස බවට පත්විය.
ඇතැම්විට අපි අපගේ දර්ශන තලය පිළිබඳව ද එක සමානවම හාග්‍යවන්ත වීමු. මෙය වැසුණු කාමරවලින් යුත් අඳුරු මලානික මන්දිරයකි. පක්ෂීන්ගෙන් හා දූවිල්ලට අතහැර දැමු සවිමත් ගෘහ භාණ්ඩවලින් යුත් අඳුරු ගුහාවක් බඳු එහි අභ්‍යන්තරයට සූර්යයා අනාරාධිත අමුත්තෙකි. සැබැවින්ම මේ මැදුර කතාවෙහි තවත් එක් චරිතයක් ලෙස හැඳින්වීමෙහි වරදක් නොපෙනේ. රාජගිරියෙහි පිහිටා තිබෙන ෆෙඩ්රික් ඔබේසේකර මහතාගේ අරුම පුදුම වලව්ව අප සෙවූ ආකාරයේ නිවසකි. මෙහි රූගත කිරීම් සිදු කළ සය මසක කාලය ඇතුළත අප කිසිවකු හට එහි අනාරාධිතයන් බව නොදැනිණ.
මක්නිසාද යත් අවුල්ව තිබෙන නා නා විධ මෙවලම්, උපකරණ සහිත විශාල ඒකකයක් චිත්‍රපටයක් තැනීමට පැමිණෙද්දී චිත්‍රපට සඳහා වාසස්ථාන සපයන ඒවාහි බොහෝ හිමිකරුවෝ ආතතියට බියට පත් වෙති. මෙහි අභ්‍යන්තරය ආලෝකකරණය කිරීමේදී එය සිදු කළ යුතුව තිබුණේ යුග ද්වයක් නියෝජනය කළ හැකි නිවැරැදි මතුපිට ස්වභාවයක් දිස්වන පරිදිය. (මේ කතාව දිව යන්නේ වික්ටෝරියානු සමයේ නිමාවත් එඩ්වර්ඩියානු යුගයේ මුල් අවධියත් අතර කාල වකවානුවෙහිය.)
කතාව ඉල්ලා සිටින ආකාරයට වෙනස් වන්නා වූ නා නා විධ මනෝභාවයන් තීව්‍ර කිරීම එම්. එස්. ආනන්දන් හට අභියෝගාත්මක කාර්යයක් විය. ඔහු මගේ අවසන් චිත්‍රපට ත්‍රයටම (1972 වන විට) සමීප ලෙස දායක වූ කැමරා ශිල්පියාය. “නිධානය” තැනීම සඳහා සැබැවින්ම වසරක කාලයක් ගත විය. 1970 ජූලි මාසයේ මෙහි ප්‍රධාන රූගත කිරිම් ඔබේසේකර වලව්වේදී ඇරැඹිණ. අපි 1971 ජූලි මාසයේදී චිත්‍රපටය රැඟුම් පාලක මණ්ඩලය වෙත යොමු කළෙමු. එළිමහන් දර්ශන සිව් දිනක කාල නියමයක් යටතේ දඹුල්ලේ ගිරි ගුහා සමූහයක මුදුනෙහි රූගත කෙරිණ. මේ ස්ථානය එක් අතකින් චිත්‍රපටයට ඔබින සංකේතයක් සේම මා සෙවූ ආකාරයේ සරල සුන්දරත්වයකින් ද යුක්ත විය. මෙහි වැසි දර්ශනය රූගත කිරීමේදී අපට යම් යම් ප්‍රයෝග අනුගමනය කිරීමට සිදුවිය. අදාළ කාල සීමාවේ සෑම දිනකම තෙත බරිත වූ අශ්වයා යළි ප්‍රාණවත් කරනු සඳහා විශාල ප්‍රමාණයක අරක්කු භාවිත කෙරිණ.
චිත්‍රපටයේ අනුග්‍රාහකයන් වූ සිලෝන් තියටර්ස් සමාගම මෙය නිෂ්පාදනයේදී කිසිදු අවස්ථාවක අනවශ්‍ය පරිදි ඇඟිලි ගැසුවේ නැත. ඔවුන්ගේ අනුග්‍රහය යටතේ මා තැනූ පෙර චිත්‍රපට යුගලට ද (‘ගොළු හදවත’ සහ ‘අක්කර පහ’) ඔවුන් එලෙසම අනවශ්‍ය මැදිහත්වීම් නොකළ බව කිව යුතුය. “නිධානය” වැනි චිත්‍රපටයක් නිර්මාණය කළ හැකි වන්නේ මෙබඳු වර්ගයේ අනුග්‍රාහකත්වයක් යටතේ පමණි. “නිධානය” තැනීමේ කර්තව්‍යය දෙස ආපසු හැරී බැලීමේදී මවිසින් මෙතෙක් නිර්මාණය කරන ලද වඩාත් අසීරු චිත්‍රපටය ලෙස මෙය මට හැඟේ. කතාවෙහි දක්නා ලැබෙන සමාජ, ලිංගික, අන්තර් පුද්ගල, ආඛ්‍යානමය සංකීර්ණතාවල කොන්දේසි අනුව ද එය එසේ සිතිය හැකිය.
මෙය මට තීරණාත්මක චිත්‍රපටයක් බැව් එක හැඟීමකින් කීමට පිළිවන. මගේ සිතෙහි පෙර බලපැවැත්වූ පරිදි පවුල් සබඳතා හෝ සීමා සහිත රාමුවක් ඇතුළත පවුල් ජීවිතයේ සැදැහැවත් ස්වභාවය, මරණයෙන් අවසාන වන වර්ගයේ සීමා කොටගත් පෙදෙසක මානව අනුභූති ආදිය ගම්පෙරළියේ සිට අක්කර පහ දක්වා මගේ චිත්‍රපටවල පුනරුක්තියෙන් මෙහෙයවනු ලැබීය. යම් අයකුට මේ දිශාවෙහි යා හැකි තාක් දුරක් “අක්කර පහ” ඔස්සේ ගොස් තිබෙන බැව් මම හඟිමි.
විෂය පථයෙහි වෙනසක් දැන් අත්‍යවශ්‍යය. තවමත් එය ශෛලියෙහි වෙනසක් ඇති කිරීමට ඉල්ලා සිටින්නා වූ විෂයක් බවට පත් නොවුණි. මෙය මා මෙතෙක් විස්තර කිරීමට උත්සාහ කළ අනුභූතීන්ගේ පරාසය පුළුල් කරන්නා වූ කථාවකි. “නිධානය” අති උත්කෘෂ්ට විෂයක් සේ මට දැනේ. ඉන් මා සාර්ථක වූවා ද අසාර්ථක වූවා දැයි මට කිව නොහැකිය. එය කාලයා මතු පවසනු ඇත.

Source ---------------------------------------------------------------------------------------
http://www.silumina.lk/punkalasa/20120304/_art.asp?fn=ar12030411

No comments:

Post a Comment