සිනමාවේදී ධර්මසිරි බණ්ඩාරනායක ත්‍රිමාන සඟරාව – 2008 නොවැම්බර් – දෙසැම්බර්
---------------------------------------------------------
මං බලපු පළමුවැනි නාට්‍යය තමයි ජේ. සෙල්වදෝර්ගෙ ‘ගොඩෝ එනකං’. ඒක බැලූවට මට කිසිම දෙයක් තේරුණේ නැහැ. නාට්‍ය කියන්නෙ මට තේරෙන්නෙ නැති දෙයක් හින්දා මං ඒක තේරුම් ගන්න ඕන කියලා මට ඒ නාට්‍යය කියා දුන්නා. මම නොදන්න දේ තේරුම් ගන්න එදා ඉඳලා උත්සාහ කළා. ඊළඟට මං කළුතරදි ගියා සුගතපාල ද සිල්වාගේ ‘තට්ටු ගෙවල්’ නාට්‍යය බලන්න. මං සුගතපාල ද සිල්වා ගේ නාට්‍ය බලන්න පෙළඹුණේ ටෝනි රණසිංහ හින්දා.

ටෝනිගෙ කොණ්ඩෙ ගාමිණි ෆොන්සේකාගේ වගේ
කර්ල් නැති අයට පීරන්න පුළුවන් කට් එකක් වුණා. බාබර්ලා ටෝනි කට් එක කපනවද කියා අහන්න තරම් ඒකට පුරුදු වුණා. ‘තට්ටු ගෙවල්’ ටෝනි හිටපු නාට්‍යයක් නිසා රුපියලේ ටිකට් එකකතුත් අරගෙන කළුතර ටවුන් හෝල් එකේ නාට්‍යය බලන්න වාඩි වුණා. නාට්‍යය පටන් ගත්තා. නාට්‍යය ඉන්ටවල් වෙනකං ගියා. නමුත් ටෝනි නාට්‍යයේ හිටියෙ නැහැ. රඟපාන කෙනෙකුට මිනිස්සු හූ කියන්න ගත්තා. ඔහු හීන්දෑරි තට්ටෙ තියෙන මනුෂ්‍යයෙක්. මාත් ගියේ ටෝනි බලන්න. මිනිස්සු හූ කියන පාරට මාත් ඔවුන් එක්කම හූ කිව්වා. පස්සෙ මං දැනගත්තෙ මං හූ කියලා තියෙන්නෙ සුගතපාල ද සිල්වාට. ටෝනි කළුතර ෂෝ එකට ආවෙ නැති නිසා ටෝනි වෙනුවට එදා ඇඳලා තියෙන්නෙ සුගත්. හිතාගන්න කොහොමට ඇත්ද කියලා. මං සුගතපාලද සිල්වා මුලින් අඳුනගන්නෙ ඔහුට හූ කියලා. ඒ නාට්‍යය තමයි මං බලපු දෙවෙනි නාට්‍යය. එදා මං හිතුවා අල්ලන්නෙ නැති නාට්‍යයකට හූ කිව්වට කමක් නෑ කියලා. එදා සුගත් මට ඒක කියා දුන්නා.
ඊළඟට මං හොරණ විද්‍යාරත්න පාසැලට යන අතරෙ, අරුන්දතියෙ ‘හරිම බඩු හයක්’ බලන්න ගියා. ඒක පෙන්නපු දවසෙ මට හරිම සතුටුයි. ඒකෙ ටෝනි හිටියා. නවනන්දන විජේසිංහ, ජී.ඩබ්ලිව්. සුරේන්ද්‍ර, පේ‍්‍රමා ගනේගොඩ ඒකෙ රඟපාපු නිසා මං ආශාවෙන් ඒක බැලූවා. ටෝනි හැබෑවටම මං ඒකෙ දැක්ක නිසා මට නාට්‍ය මැජික් එකක් වගේ පෙනුණා. නළු නිළියෝ අපි වාඩිවෙලා හිටපු පුටු අතරින් ඇවිදගෙන ගිහින් වේදිකාවට ගොඩවෙන කොට මට පුදුම හිතුණා. ටෝනි වේදිකාවට ගොඩවුණේ අපිට අතගාන්න පුළුවන් ළඟින් ගිහින්. එදා සුගතපාල ද සිල්වා රඟපාපු නැති නිසා නාට්‍යය හරි ෂෝක්.

ඊට පස්සෙ මං බැලූවෙ හුණුවටය. හුණුවටය බලලා අපි පාසලේ නාට්‍ය කරන්න පටන් ගත්තා. ඔය අතරවාරෙදි සුගතපාලද සිල්වාගේ ‘හිත හොඳ අම්මණ්ඩි’ බැලූවා. මට ඒක ඇල්ලූවෙ නෑ. ශි්රයානි අමරසේනත්, සමන් කොතලාවලත් ඒකෙ රඟපෑවා. ‘බැරි සිල්’ වලින් පස්සෙ කේමදාස මේ නාට්‍යයේ මියුසික් කළා. කොහොම වුණත් එතැන ඉඳලා සුගතපාල ද සිල්වා හොඳ නාට්‍යකරුවෙක් කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය වුණේ නැහැ. සුගත්ගෙ නාට්‍ය වල නළුවො හරිම දක්ෂ විදිහට රඟපානවා. සුගත් ඉහළ නාට්‍යකරුවෙක් වග අපි පිළිගත්තෙ අපේ පාසැල් කාලයේ ඉඳලා.
අපි ‘නිල් කට්රොල් මල්’ බලන්න ඇවිල්ලා ටිකට් නැතිව ආපහු යනකොට සුගත් දුවලා ඇවිල්ලා අපෙන් ඇහුවා ඔයාලා කොහේ ඉඳලද ආවෙ කියලා. අපි කිව්වා හොරණ විද්‍යාරත්නෙ ඉඳලා ආවෙ කියලා. විද්‍යාරත්නෙ කොල්ලන්ට මං ආදරෙයි කියලා අපිව ටිකට් නැතිව ඇතුළට දැම්මා.
ඔය අතරෙ මම සුදර්ශියෙ නාට්‍ය පාඨමාලාවකට ඇතුල් වුණා. ඒක මෙහෙයුවේ දයානන්ද ගුණවර්ධන. රුපියල් සීයක් දීලා මං සතියක නේවාසික පාඨමාලාවක් කළා සුදර්ශියෙ. ඒකෙ නාට්‍ය රචනය හා අධ්යක්ෂණයට ඔන්න සුගතපාල ද සිල්වා ආවා. ඔහුගේ අදහස් අහගෙන ඉන්න කොට මේ නාට්‍ය අධ්යක්ෂවරයාගේ නාට්‍යයක ජීවිතේ කවදහරි දවසක චරිතයක් රඟපාන්න අවස්ථාවක් ලැබුණොත් කියලා හැමවිටම හිතුණා. හෙන්රිගෙ හුණුවටය බලපු දවසෙත් මට එහෙම හිතුණා. දවසක් මම වෙනත් වැඩකට ගුවන් විදුලියට ගිය වෙලාවක දැක්කා සුගතපාල ද සිල්වාත් එහි ඉන්නවා.

කොහොමහරි ඒ නාට්‍යය පිට දාලා අපිව පාසලෙන් අයින් කළා. ඒ අයින් කරපු එක් යාළුවෙක් තමයි ඩග්ලස් සිරිවර්ධන. ඊට පස්සෙ මම කසාද බැන්දා රැකියා විරහිතවම. මේ කාලයේ 71 කැරැල්ල සෙට් වුණා. මට ලිපිකරු රැකියාවක් ලැබුණා. මේ කාලයේ සුගත් නාට්‍ය කිහිපයක්ම කළා. මම දවල්ට රස්සාව කරලා හවසට නාට්‍ය බලන්න යනවා. මේ කාලයෙදි හෙන්රි ජයසේන මට කතාකරලා කිව්වා එයාගෙ ‘මකරා’ නාට්‍යයේ ‘ලාන්ස්ලොට්’ චරිතය මට දෙනවා කියලා. මට ස්විප් එක්ක ඇදුනා වගේ. මේ අතරෙදි තමයි සුගත්ගෙ ’දුන්න දුනුගමුවේ’ ආවෙ. එය කම්කරු පන්තිය විසින් පාලක පන්තියට ගහපු බෝම්බයක්. විමල් කුමාර ද කොස්තා, ඩබ්ලිව්.ජයසිරි, යූ.ආරියවිමල්, මර්සි එදිරිසිංහ, මාලනී වීරමුණි, දයාතෙන්න කෝන්, ගේ‍්‍රස් ආරියවිමල්, පියසේන අහංගම වෙඩි වගේ රඟපෑවා. පේ‍්‍රක්ෂකාගාරයෙන් පුදුම ප්‍රතිචාරයක් ලැබුණා. සමසමාජ ව්‍යාපාරය අපිව පාවලා දෙනකොට සුගත්ගෙ දුන්න අපේ කම්කරු සමාජයේ කොන්ද කෙලින් කළා. මනමේ කුමරියට වඩා මං ආදරේ හුණු වටයේ ගෲෂාට. නමුත් පියෙක් විදිහට සිංහයාගෙ වේදනාව අද මට හැම මොහොතෙම දැනෙනවා. බන්දුල විතානගේ ‘බෙකට්’ නාට්‍යය කරද්දි බෙකට්ගෙ චරිතෙට මාව තෝරාගත්තා. බෙකට් පුහුණු වීම් අවසාන කාලයෙදි සුගත් ආවා පුහුණුවීම් සඳහා උපදෙස් දෙන්න. මේ කාලයේ මට දැණුනෙ පුදුම වේදනාවක්. ඒ වේදනාවට මුල සුගතපාල ද සිල්වා. ඔහු ලූෂන් බුලත්සිංහලට විතරක් උපදෙස් දෙනවා. මට උපදෙස් දෙන්න ආවෙ නවනන්දන විජේසිංහ. මට මාරයා නැග්ගා. අයිසෙ තමුසෙ තමුසෙගෙ වැඩක් බලාගන්නවා. මම නවනන්දනට කිව්වා. සුගත් ඊට වගකිව යුතුයි. උළෙලේ හොඳම නළුවා විය යුත්තේ ධර්මසිරි බණ්ඩාරනායක කියන තීන්දුවට අනු මණ්ඩලයේ බොහෝ අය විරුද්ධ වුණු නිසා අනුමණ්ඩලයේ සභාපති චාල්ස් අබේසේකර සිය ධූරයෙන් ඉල්ලා අස්වුණා. ප්‍රතිපල ප්‍රකාශයට පත්වුණා. ‘රතු හැට්ටකාරී’ නාට්‍යයේ ජයලත් මනෝරත්න උළෙලේ හොඳම නළුවා වුණා. ලූෂන්ටත්, මටත් කුසලතා සම්මාන ලැබුණා. ලූෂන් එදා ? ලූම්බිණියෙදි වලියක් ඇද්දා. මම සභාපතිගෙ අත්සනත් නැතිව දීපු සහතිකේ අරගෙන කෝච්චියෙන් ගෙදර ගියා. බන්දුල, සුගත්ව ගේන කොට මට හෙන්රිව ගෙනාවා නම් වැඬේ කැතයි නේද? මං අහන්නෙ ඔබගෙන් නෙවි. ඒ වරද මං අද දක්වා කරලා නැහැ. ඒක මට ඉගැන්වුවේ සුගත්.

මේ කාලෙදි සුගත්ගෙ දුන්නෙන් කිහිපදෙනෙක්ම වලියක් දාගෙන අයින් වුණා. මටත්, හෙන්රිටත්, ලූෂන්ටත්, සොමීටත්, ජැක්සන්ටත් සුගත්ගෙ නාට්‍යයෙ රඟපාන්න චාන්ස් එක ආවෙ ඔහොම. මගේ ඉස්කෝලෙදි තිබූ ප්‍රාර්ථනාව ඔටෝමැටිකලි හරි ගියා අර අයින් වූ කට්ටියට පිං සිද්ධ වෙන්න. නාට්‍යකරුවෙක් විදිහට සුගත්ට රඟපාලා පෙන්වන්න බැරි වුණාට ඔහුට නාට්‍ය අධ්යක්ෂවරයෙක් විධියට ඔහුගේ ඔළුවෙ තියෙන චරිතය දක්ෂ ලෙස අපි තුළින් ගන්න ඔහුට හැකියාවක් තිබූ බව ඒ කෙටි පුහුණු වීම් කාලෙදි මට තේරුණා. ඒක තමයි සුගත්ගෙ එඩිතරකම. එතැන් සිට සුගත් මට මචං කියන්න ගත්තා. බොන්න ඉඳහිට එකතු වෙන යාළුවෙක් බවට පත්වුණා. නමුත් මැරෙනකං අපි සුගත්ට මචං කිව්වෙ නැත්තෙ අපිට ඔහු වටිනා ගුරුවරයෙක් නිසා. අද එහෙම නං කොහොමද?
මමත් ටික ටික නාට්‍ය පිටපත් ලියන්න පටන් ගත්තා. මං ලියපු පිටපතක් දුන්නා සුගත්ට බලන්න. මචං උඹේ පිටපතේ ඉරිසියා හිතෙක ඩයලොග් වගයක් තියෙනවා කියලා ඔහු කිව්වා. මං ඒ ප්ලේ එකට නමක් දාන්න කියලා සුගත්ටම කිව්වා. ඔහු බස් ටිකට් එකක නම ලියලා එව්වා. ඒකෙ ලියලා තිබුණෙ ඒකා-අධිපති කියලා. මං ඒකා-අධිපති පෙන්නුවා. සුගත් මට ලියලා එවලා තිබුණා බය නැතිව ඉස්සරහට පලයන් කියලා. මේ මොහොතෙදි සුගත්ගෙ රස්සාව නැතිවුණා. මං ඔහුගෙ දුන්න රඟපෑම වෙනුවෙන් ඊට පස්සෙ මුදල් ගත්තෙ නැහැ. ඒක දැනට ජීවතුන් අතර ඉන්න සුගත්ගෙ බිරිඳ දන්නවා. සුගත්ට උදව් කරන්න වෙන ක්‍රමයක් අපිට තිබුණෙ නැහැ. දුන්නෙ ශෝචනීයම සිදුවීම වුණේ කැළණිය විශ්ව විද්‍යාලයෙදි. එදා හෙන්රි ආවෙ නෑ. දුන්නෙ හෙන්රි කළේ කම්පැනියෙ ලොක්කගෙ රෝල් එක. වහස පහාමාර වෙනකොට සුගත් කම්පැනියෙ ලොක්කට ඇන්දා. ටයි පටිය දාලා, කලිසම යට කළාට දාලා හිටියෙ සෙරෙප්පු. නාට්‍යයේ භාගයක් යනකොට සුගත්ගෙ උත්සාහය තුළින් මට පෙණුනෙ කොම්පැණියෙ ලොක්කා වගේ නෙමෙයි එහි කශල ශෝධකයා විධියට. වේදිකාවෙ රඟපාන කොට මම දැක්කා මේ මනුෂ්‍යයා විඳින දුක. සුගත් වේදිකාවට නගින හැම වෙලාවෙම වෙව්ලනවා. කටහඬත් වෙව්ලමින් ඔහ ුනාට්ය ගෙනියන්න දරපු උත්සාහය මට දුන්න සදහටම එපා කළා. ‘සුගත් දුන්න නවත්තන්න, ඔයා මේ රටේ ඔළු තියෙන එවුන්ගෙ ඔළුව හදපු මිනිහෙක් ඇයි මේ විදිහට දුක් විඳින්නෙ’. මං නාට්‍යයෙන් අයින් වුණා. කැළණිය විශ්ව විද්‍යාලයේ හැම කෙනෙක්ම දැක්කා ඔහු තුළ තිබූ උත්සාහය. හැමකෙනෙක්ම නාට්‍යය අවසානයේ නැගිටලා ආචාර කළා. නාට්‍ය ඉවර වෙනකං ඔහුට කළ ගෞරවයක් විධියට සද්ද කළේ නැහැ. මට මතක් වුණේ කළුතර තට්ටු ගෙවල් බලද්දි සුගත්ට හූ කිව්ව හැටි.


මං කළේ සුගත් ගැන වර්ණනාවක් නෙමෙයි. ඔහු නැතිවීම අපිට පියෙකු නැතිවීම වැනියි. එදා හඳගමගෙ ‘හෙණ’ නාට්‍යය, නාට්‍ය උළෙලින් ඉවත් කළොත් මං මගේ ‘මරාසාද්’ ආරාධිත නාට්‍ය උළෙලින් ඉවත් කර ගන්නවා කියලා සුගත් කිව්වා. අඩි 5යි අඟල් 6ක් උස නැති වුණාත් එහෙම අභියෝග කරන්න පුළුවන් මහා පෞරෂයක් ඔහුට තිබුණා. මං මෙය අවසන් කරනවා සුගත්ගෙ යෙදුමකින්ම.
‘කුසල් සිත් ඇත්තෝ
තව කෙනෙකුගේ වුව
පින්කමක් දැක බිය නොවෙති’.

ත්‍රිමාන සඟරාව – 2008 නොවැම්බර් – දෙසැම්බර්