20140201

පොඩි වී කුඹුරේ තොරණ බාස් මං - පනාපුත්‍ර




පනාපුත්‍රගේ මතක වස්තුව

පොඩි වී කුඹුරේ තොරණ බාස්

මම කාලයක් අපේ ගමේ ගොක් කොළ තොරං බාස් වී සිටියෙමි. ගොක් තොරණ ශාස්ත්‍රයේදී ගොක් කොළය ගොට්ටක් සේ නවා ලෑල්ලට තබා ඇණ ගසයි. නවාගත් ගොක් කොළයට අපේ ගමේ කියන්නේ “පක්කලිය” කියාය. ඒ නම හැදුනු කතාවේ පනාපුත්‍රට ප්‍රධාන චරිතයක් හිමියි.
ඒ මෙසේය.
මා තොරණ ශාස්ත්‍රය ඉගෙන ගත්තේ බටුවත්තේ සුනිල් ජයරත්නගෙන්ය. උසස් පෙළ සඳහා ගලහිටියාවට ගිය මට එහිදී හමුවූ නාට්‍යකාර, කලාකාර, කොලු රෑනේ නායකයා වී සිටියේ සුනිල් ජයරත්නයි. ඉතා සිහින් සිරුරක් තිබූ ඔහු තරමට වඩා විශාල කලිසමක් ඇන්දේ ඒ දවස්වල කොල්ලන්ගේ මෝස්තරය වී තිබූ “එලිෆන්ට් පෑන්ට්” කලිසමේ කකුල් සායක් සේ විශාලව තිබූ නිසාය. සුනිල් ජයරත්නගේ මිටින් ගත හැකි ඉඟ සුඟේ සිට දෙපා දක්වා ක්‍රමයෙන් විශාල වූ මේ කලිසම සිහි ගන්වන්නේ මොණරෙකුගේ පිල් කළඹයි. එහෙයින් අපි සුනිල්ට “මොණරා” කියා නමක්ද පටබැන්දෙමු.
ගණේමුල්ල, ගලහිටියාව, නැදුනවත්ත, තිබ්බටුගොඩ ආදී ගම්වල පන්සල් කීපයක පැවැත්වූ පින්කම් සඳහා අපි තොරණ කීපයක් ඉදි  කළෙමු.
සුනිල් ජයරත්නගේ ගොක් තොරණ කලාව මම රාගම ‍පොඩි වී කුඹුරට ද රැගෙන ගියෙමි. රාගම, හපුගොඩ ආදී කතෝලික පළාත්වල ගැමියන් ගොක් කොළය පාවිච්චි කළේ පල්ලිය මංගල්‍යයට වීදි දෙපස සැරසීම සඳහා කුරුල්ලන් කැපීමට පමණි. මළ ගෙදරකදී දේහය පිට්ටනියට ගෙන යන වීදි දෙපස ‍පොල් කොළයෙන් සැරසූ අතර මංගල්ලවලදී ඒ චරිතය ගොක්   කොළයට හිමි වී තිබුණි. පල්ලියේ මහ තොරණ ඉදි කරද්දී අතීතයේ තිබුණේ ‍පොල් තොරණය. ‍පොල් වලු දහස් ගණනක් එක් කොට බැලුම් බෝල ‍පොකුරු එල්ලුවා සේ දැවැන්ත ‍පොල් තොරණ ඉදි කිරීමට ‍පොල් ත්‍රිකෝණයේ කතෝලිකයෝ සැදී පැහැදී සිටියහ.
ගොක් තොරණ පල්ලියට පැමිණ තිබුණේ එහි සම්ප්‍රදාය වෙනස් කරමින් ඉටි කොළ, අල කොළ, සහ ක්‍රෝටන් කොළද ඇතුළත් වූ තරමක් සංකර පිළිවෙතකට අනුවය. මමත් අයිවනුත් එකතු වී මේ පිළිවෙත වෙනස් කොට පරිපූර්ණ ගොක් තොරණ සම්ප්‍රදායක් ඒ පළාත්වල පතුරුවා හැරියෙමු. පල්ලියේ මංගල්‍යය තොරණේ තිබූ විච්චූර්ණ පිළිවෙත වෙනස් කරන්නට යෞවනයින් වූ අපට භාර දෙන්නේ නැත. ඒ වෙනුවෙන් කැපවූ වැඩිහිටියන් මීසම් සභාවේ සිටී. එහෙත් මඟුල් ගෙවල්වල තොරණ සම්ප්‍රදාය වෙනස් කරන්නට අපට හැකියාව ලැබුණි.panaputhraබද්ගම්මු‍ලේ පදිංචි  ඔලී හෙවත් ඔලිවර් හපුගොඩ පාස‍ලේ අපට වඩා ඉහළ පන්තිවල සිටි අපේ ‍‍‍ජ්‍යෙෂ්ඨ මිතුරෙකි. මගේ ගමේ නාට්‍ය ව්‍යාපෘතියේදී ඔලී මට ඉතා හිතෛෂීවන්තව විසුවේය. එහෙයින් ඔලීගේ අයියා වූ ජෙරාඩ්ගේ මංගල්‍යයට ගෙදර වැට කඩුල්‍ලේ තොරණ ඉදි කිරීම මටත් අයිවන්ටත් භාර දෙන ලදී. අපි ක්‍රෝටන් කොළ, ඉටි කොළ ඉවත් කොට තනිකරම ගොක් කොළ සහ ‍පොල් කොළ යොදාගෙන මේ තොරණ ඉදි කෙරුවෙමු. ජෙරාඩ් අයියාගේ මඟුල් ගෙදර හේතුකොට ගෙන පනාපුත්‍රගේ තොරණ කලාව අපේ ගමේ ප්‍රකට වන්නට පටන් ගත්තේය.
ජෙරාඩ් අයියා කසාද බැන්දේ ලෙන්චියා වත්තෙන්ය. මේ මඟුල් ගේ හරහා ලෙන්චියා වත්තටද අපේ තොරණ නිර්මාණය පැතිර ගියේය. ජෙරාඩ්ගේ බිරිඳගේ සහෝදරියක වූ කාන්ති අක්කාගේ විවාහයට ද සම්පූර්ණ ගොක් තොරණක් ඉදි කරන්නට අපට ඕඩර් එක ලැබුණේය. පිල් කළඹ සහිත විශාල මොණරෙකු මගේ අතින් මේ තොරණට නිර්මාණය වී තිබුණි.
ගොක් තොරණක් ඉදි කිරීම සඳහා සම්පූර්ණ රාත්‍රියක් පහන් කළ යුතු වෙයි. තොරණ ආරම්භය සන්ධ්‍යාවයි. ඒ වන විට උදව්කරුවන් උවමනාවටත් වැඩියෙන් සිටියද මධ්‍යම රාත්‍රිය පසු වී එද්දී එකා දෙන්නා අඩු වී ගොස් අන්තිමට ඉතිරි වන්නේ මමත් අයිවනුත් පමණි. මේ වෙහෙසකර රාත්‍රිය නිදි වරන කල හත්අට වතාවක් තේ කෝපි, ආදිය ප්‍රදානය කෙරෙයි. එපමණකි. තොරං කෙරුවාවට කුලියක් මලියක් නැත.
මා ඉතාම සාරවන්ත ගොක් තොරණ ඉදි කළේ අපේ වත්තේමයි. ඒ අපේ අක්කාගේ විවාහ උත්සවය සඳහාය. තරමින් විශාල මේ තොරණ නිර්මාණාත්මක පක්ෂයෙන්ද ඉතා ඉහළ අගයක් ගෙන තිබුණි. මගේ පවු‍ලේ සිටියේ පිරිමි පස් දෙනකු පමණක් වුවත් අපේ අම්මා සිය  සහෝදරයාගේ ලොකු දුව අපේ නිවසේ වැඩිමහල් කොට දීගතල දුන්නාය. අයිරාංගනී අක්කාගේ විවාහ උත්සවයට අපේ ගෙවත්ත විශාල අසිරියකින් චමත්කාර කරන්න මගේ නාට්‍යකාර කොලු රෑන විශාල පරිශ්‍රමයක් දැරුවෝය.
අපේ ගෙයි පිළිකන්නේ මම තොරණේ ලෑලි තට්ටුව එලා ගත්තෙමි. කුස්සියට කිට්ටුවෙන් වැඩේ එලා ගන්නවාට මගේ මිතුරන් වඩාත් කැමති වූවේ අපේ කුස්සියේ සූප ශාස්ත්‍රය පිළිබඳ ඔවුන්ට තිබූ පෙර දැනුම හේතු කොට ගෙනය. රස කැවිලි ටේස් කැබලි, මස් මාළු, දීසි පිටින් නිල වශයෙන් හා නිල නොවන ආකාරවලින්ද තොරණ අබියසට පැමිණෙයි.
වරක් හොඳට හින්දූ මස් දීසියක් රැගෙන ආ සුජීවා මාත‍ලේ සිට පැමිණ සිටි නෑදෑයින්ගේ ආරංචි මාත්‍රයද අප වෙත ගෙනාවාය. මාත‍ලේ මැණිකේ නැන්දා ‍පොඩි මාමා ඇතුළු පවු‍ලේ උදවිය පැමිණියා කියන්නේ නාරං කැවුම්, පැණි වළලු, සහ අලුවා අනිවාර්යයෙන්ම ගෙනැත් ඇති බවය. මැණිකෙ නැන්දාගේ බාල පුතා අරුණ ඒ වන විට සුරතල් චබි අත දරුවෙකි. මස් දීසිය ගෙනා සුජීවාගේ අතේ තම බාල සහෝදරයා වූ අරුණද සිටී.
අයිවන් අරුණව අතට ගෙන වැඩි ආදරයක් පෙන්වූයේ මස් දීසියට විදීමේ ළඟ හැකියාව ඒ හරහා පහසු වන නිසාය. හොඳට හින්දා බටර් කරන ලද මස් ඉස්ම සමග අපි උණු උණු තැටි පාං කෑවෙමු. සුජීවා අයිවන් අතේ සිටි බිලිඳා යළි ඉල්ලා ගත්තේ දරුවා හැඬු නිසාය.
අයිවන්ගේ අතේ මස් ඉස්ම ගෑවී තිබුණි. අත හෝදා ගන්නට පෙර ඔහු මේ “මස් ඉස්ම” ටික ලෙව කා දැම්මේය. ඒ සමගම අයිවන්ගේ මූණ ඇඹුල් විය. බෙරි විය. දෑසින් කඳුළු පැන්නේය. හේ හිටි වනම නැමී වමනය කිරීමට පටන් ගත්තේය. මේ හදිසි වෙනස කුමක්දැයි අපි විපරම් කර බැලූයෙමු. අතේ තැවරී  තිබූ මස් ඉස්ම යැයි කියා අයිවන් සුප්පා ගිල දමා ඇත්තේ බිලිඳු අරුණ අයිවන්ගේ අතේ පහරා තිබූ බඩඑළිය ස්වල්පයකි.
තොරණ අවසන් කිරීමට මට සිටි හොඳම පුහුණු සගයා ඉන් එහාට මට නැති විය. අයිවන් ගෙදර දිව්වේය. පසුදා අයිරාංගනී අක්කාගේ මඟුල් ගෙදරටවත් අයිවන්ට එන්න නොහැකි විය. ඔහු වමනය පාචනය සහිත දරුණු උණ ගතියකින් දින තුනක්ම ගත කළේය.
අපේ තොරණ ඓශ්චර්ය පිළිබඳ කට කතාව කඳාන, පේරලන්ද, ඇලපිටිවෙල,පැත්තේ පවා ප්‍රචලිතව තිබුණි. කුමක් හෝ නෑදෑකමක් හිතවත්කමක් ඈඳාගෙන මිතුරෝ අප හමුවෙන්නට ‍පොඩි වී කුඹුරට එති. අපි මේ හැම ඉසව්වකම නොමිලයේ තොරණ ගැසුවෙමු.
පේරලන්දෙ දුම්රිය‍පොළේ සිට ලින්ටන් ක්‍රීඩා පිටියට යන පාරේ පැට්‍රික් අයියාගේ විවාහ මඟුලට තොරණ ගැසීමට අප පෙර දින දිවා කාලයේම එහි ගියෙමු. පැට්‍රික් අයියා යනු ‍පොල්ගහහේනේ පාන් ‍පෝරණෙ මිගෙල් මාමාගේ පුතාය. මිගෙල් මාමාගේ බාල පුත් ටෙනිසන් ‍පෝල් අපේ මිතුරෙකි. මේ යාළුකමට අප මඟුල් ‍පොකුණේ තොරණ ගසන්නට ගියෙමු.
සන්ධ්‍යාවේදී අපට අත් උදව්කරුවන් බොහෝ සිටියහ. ඒත් තොරණ අවසන් කිරීමට හදිසි වන එළිවන පාන්දර වෙන විට ඉතිරි වන්නේ මමත් අයිවනුත් පමණි. තවමත් ලෑල්ලට ගොක් ගොටු ගසා අවසානයක් වී නැත. වටින් ගොඩින් එළිය වැටීගෙන ද එයි. රෑ එළිවෙනතුරු බිමත්ව සිටි අයියලා ටිකක් තොරණ උඩින් පැන එහේ මෙහේ යෑම අපට වස හිරිහැරයකි. අප දෙදෙනාටම ඒ පිළිබඳ කේන්ති ගොස් තිබුණි. ඒත් අප මේ අයියලාට බයය. ගොටු ගසා අවසාන වීමට පෙර එක් අයෙක් මගේ අතට උඩින් පැන්නේය. මගේ මිටි පහර වැරදී ගියෙන් කෝපය ඉවසාගත නුහුණු මට ඉබේටම මෙවැන්නක් කියැවුණි.
“පක්කලි වැඩ කරන්න එපා අප්පා”
මේ වචනය ඇසුණු සැණින් අයියාට තද විය.
“මොකක්ද ඩෝ කීවේ”
ඔහු වහා මා වෙත එන්නේ මට හොම්බට දෙකක් අනින්න බව මම දනිමි. අයිවන්ද බිරාන්තව සිටින්නේ “ඒ වචනය නොකියා ඉන්න තිබුණා” යන සිතුවිල්ලෙන් විය යුතුය.
“ඈ? මොකක්ද උඹ කීවේ”
මට ක්ෂණිකව දිවිය ඥානය පහළ විය.
“නෑ මං කීවේ මේ පක්කලිය පාගන්න එපා කියලා. පක්කලිය කියන්නෙ මේ ගොට්ටට”
මම ගොක් කොළය ගෙන නවා ඔහුට පෙන්වූවෙමි.
“දැං බලන්න මේ ගොක් කොළේ. මෙහෙම ගොටු ගැහුවම පක්කලිය. ඒකයි කීවේ ඒක පාගන්න එපා කියලා”
මම කරුණාවන්ත ලෙස ඔහුට පහදා දුනිමි. අයියා මෙල්ල වී යන්නට ගියේය. අයිවන් හෙමින් මට කිට්ටු වී මෙසේ අසයි,
“ඈ බං ඕකට කියන්නෙ ඒ නමද?
“නෑ එහෙම නොකීවානං අපි දෙන්නම අම්බානක ගුටි කනවා”
සැනසුම් සුසුමක් හෙලූ අයිවන් ගොක් කොළයක් ගෙන ගොටු ගසා බැලීය.
“හැබැයි ඒ නම ගොක් ගොට්ටට නරකම නෑ.''
එතැන් සිට අපේ තොරණ සංස්කෘතියේ ගොක් ගොට්ටට අප කීවේ “පක්කලිය'' කියාය.
පනාපුත්‍ර කුහුඹුපැණියා

SOURCEhttp://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=20062%3A2013-10-25-06-57-09&catid=82%3A2013-10-25-06-51-48&Itemid=110.

======================================================


http://sansaranee.blogspot.com/2014/01/blog-post_31.html 


ජැක්සන්ගේ ජුගුප්සාජනක, නොගැලපෙන
දේශපාලනික රංගනය නිසා
මා තුළ පිරිහී තිබුණ රසික සහෘදභාවය
තිබුණාටත් වඩා ඉහළ නැංවීමට
'මතක වස්තුව' හේතුවුණා.

ජැක්සන් කුඩා කල සිට ලද
විවිධ ජීවන අත්දැකීම් අළලා
ඔහුම ලියන ලද ඉතාම රසවත්
"පනාපුත්‍රගේ මතක වස්තුව"
ජැක්සන් කුඩා කල සිට ලද
විවිධ ජීවන අත්දැකීම් අළලා
ඔහුම ලියන ලද ඉතාම රසවත්
"පනාපුත්‍රගේ මතක වස්තුව" කියවීමෙන්
ඔහු නාට්‍යකලාවට දැක්වූ ආදරය
සහ ඊට දැක්වූ ලැදියාව
පළමුව ඔහුගේ රංගනයෙන්
අපිට පසක් වෙනවා.

ඒත් ඒ පසුබිම සවිස්තරව දැනගත හැක්කේ 

පනාපුත්‍රගේ මතක වස්තුවෙන්.
------------------------------------------------------------
"කරදර කම්කටොලු රාශියක් මධ්‍යයේ චිත්‍රපටයේ රූ ගැන්වීම් ආරම්භ විය. ධර්මසිරි චිත්‍රපටය වෙනුවෙන් දිවිහිමියෙන් කැපවී සිටී. ඔහුගේ වෙහෙසට සීමාවක් නැත. එලෙස වෙහෙසෙන අධ්‍යක්ෂක වරයෙකු මා මීට පෙර දැක නැත.

ධර්මසිරි නිතර මා මුණ ගැසීමට හඳපාංගොඩ එයි. දිනෙන් දින පාරම්පරික ගැමි නැට්ටුවෙකු බවට පත්වන පනාපුත්‍ර දෙස හේ සෙනෙහසින් බලා සිටියි. පුහුණුකාලය නිම කරන්නට වූයේ චිතරපටයේ රූ ගැන්වීම් යෙදී තිබුණ නිසාය. නො.එසේ නම් මා තවදුරටත් හඳපාංගොඩ වැසියෙකු වන්නට ඉඩ තිබුණි. සේදරමන් ගුරුන්නාන්සේ ධර්මසිරි අමතන්නේ "අපේ මහත්තයා"යනුවෙනි. පුහුණුව අවසාන කළදිනයේ සුදු මාමා අපේ මහත්තයාට ගෝලයා පිළිබඳ සහතිකයක් දුන්නේය.
"අපේ මහත්තයා බය නැතිව එක්ක යන්න. මයෙ පුතා දැන් මළකටුවා ගාණට ඉන්නවා."
මළකටුවා යනු මීට දශක කිහිපයකට පෙර පහත රට මඩු නැටුම් ආශ්‍රිතව සිටි ශ්‍රේෂ්ඨ නැට්ටුවෙකි."
------"පනාපුත්‍රගේ මතක වස්තුව"------

"පනාපුත්‍රගේ මතක වස්තුව"
නවක නළු නිළියන්ට හොඳ පාඩමක්.
ඔවුන් දැන් කරන දේත්
සැබැවින්ම කළයුතු දේත් අතර
වෙනස වටහා ගන්නට
හොඳ පාඩමක්.
--------------------------------------
"පනාපුත්‍රගේ මතක වස්තුව"
ප්‍රකාශක 0777363633
සුපිරි වෙළඳ සංකීර්ණය
බොරැල්ල.