උපුටා ගත්තේ
දයානන්ද රත්නායකගේ අස්වැන්න
බ්ලොග් සටහනෙන්
දයානන්ද රත්නායකගේ අස්වැන්න
බ්ලොග් සටහනෙන්
---------------------------------------
1947දී “කඩවුණු
පොරොන්දුව” චිත්‍රපටය තිරගත වන විට
දකුණු ඉන්දීය සංගිතඥයන් ලෙස කටයුතු කළ ආර්. නාරයන් අය්යර්, පාණ්ඩුරංගන්, ඇස් ඇස්. වේදාචලම්, ඇස් . දක්ෂිණ මූර්ති, ටී.ආර්. පාපා, එස්.එම්. සුබෙයියා,
ආර්.මුත්තුසාමි, ආර්. සුදර්ශනම්, ජී ඇස්. දිවාකර්, වී. ක්‍රිෂ්ණ මූර්ති ආදී සංගීතවේදීහු මෙරට ද ජනප්‍රිය සංගිතකරුවන් වී සිටියහ. ඒ ඔවුන්ගේ හින්දි සහ දෙමල චිත්‍රපට
මෙරට ද තිරගත වී තිබූ බැවිනි.
චිත්‍රපට සංගීතය
යනු ගීත ම පමණක් බව ඔවුන් දැඩි ව එළඹ තිබූ මතය හේතුවෙන් එවකට බිහි වූ චිත්‍රපට වල
ගීත 12 හෝ 14 පමණ එල්ලා තිබුණි. මේ තත්වයම "කඩවුණු පොරාන්දුව” චිත්‍රපටයට අත්වූ අතර මලයාලම් ජාතික ආර්. නාරයන්
අය්යර් සංගීතවත් කළ "කඩවුණු පෙරොන්දුව" චිත්‍රපටයේ ද ගීත 12 ක් විය.
ඒ අනුව සිංහල
චිත්‍රපට සියල්ල එතැන් පටන් කිසිඳු අඩුවක් නොමැතිව දකුණු ඉන්දියානු චිත්‍රපට
අනුකරණය කරමින් මෙරට සිංහල චිත්‍රපට නිෂ්පාදනය කළේ දකුණු ඉන්දියාවේ තමිල් නාඩුවේ
දීය. ඒ නිසාම චිත්‍රපට ගීත ගායනය සඳහා
සිංහල කිසිවක් නොදත් කේ.ජමුණා රාණී, ඒ.එම්.රාජා,
ජික්කි, ලතා මංගේෂ්කාර්, රූපාවතී , ජෙමිනි
කාන්තා, භාග්‍යරතී ආදි ඉන්දියානු ගායක ගායිකාවෝ රැසක් සිංහලෙන් ගී ගැයුහ. ඒ චිත්‍රපටවල ලංකාවෙන් ගී ගැයූ ගායක
ගායිකාවන් වූයේ රුක්මණී දේවි, එඩී
ජයමාන්න, පර්ල් වාසුදේවි, ධර්මදාස වල්පොල,
ලතා, සහ ජී.ඇස්.බී.රාණි පෙරේරා ආදීහුය. මේ දශකය තුළ නිමවුණු සිංහල චිත්‍රපට
කීපයක් හැර සෙසු සියළුම චිත්‍රපට ඉන්දීය අනුකාරක චිත්‍රපට වූ අතර, ඒවායේ
ගීත ද ඒ අනුකාරකත්වය තුළ ගිලී තිබුණි.
මේ යුගය වන විට
ජෝතිපාලට වයස අවුරුදු 16 පමණ විය. ඒ වන විට
හින්දියෙන් ගී ගයන ගමේ ගායකයෙකු ලෙස ජෝතිපාල මරදාන ප්‍රදේශයේ තරමක් දුරට නමක් දිනා
සිටියේ ය. මරදාන, දෙමටගොඩ, නාරාහේන්පිට,
ආදී ප්‍රදේශවල පැවති "පැදුරු සාජ්ජයන්" සඳහා ජෝතිපාල ගැයුවේ හින්දි ගීත
ය. මේ පිළිබඳව මීට කළකට ඉහත දී ප්‍රවීන ගුවන්විදුලි නිවේදක ආරියදාස පීරිස් මහතා මා
සමග දැක් වූ අදහසක් මේ.
ආරියදාස පීරිස්
සොයා ගත් ජෝතිපාල:
ජෝතිපාල යොවුන්
වියේ දී රැකියාවක් ලෙස පිටකොටුවේ රෙදි
සාප්පුවක වැඩ කරමින් සිටියේය. පීරිස් මහතා නිතර ආ ගිය තැනක් වූ ඒ රෙදි සාප්පුවේ
වැඩ කල අයෙක් එක දවසක සාප්පුවේ වැඩ කල කඩවසම් තරුණයෙකු පෙන්වා
"ආරියදාස
මහත්තයා මේ කොල්ලට හොදට සිංදු කියන්න පුළුවන් පුලුවන් නම් රේඩියෝ සිලෝන් එකෙන්
සිංදුවක් කියන්න දෙන්න"
" එහෙනම්
කියනව බලන්න සිංදුවක්" ආරියදාස පීරිස් මහතා කීවේය
එදා ජෝතිපාල
රෙදි සාප්පුවේ බිත්තියකට තට්ටු කරමින් හින්දි ගීයක් ගයා ආරියදාස පීරිස් මහතාට
පෙන්වීය. ඔහු විමතියට පත්විය.
"හෙට උදේ
රේඩියො සිලෝන් එකට ඇවිත මාව හම්බවෙනව" පීරිස් මහතා කීවේය.
පසුදින උදෑසන
ජෝතිපාල ගුවන් විදුලියේ දොරකඩට වී සිටියේය. එදා පීරිස් මහතා පැමිණ ජෝතිපාල ආධුනික
පැය වැඩසටහනට දැම්මේය. ජෝතිපාල තමන්ට ලැබුණ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගෙන ගීය
ගැයීය. ඔහු ඉන් සමත් විය. ඉන් අනතුරුව
ජෝතිපාල ගුවන් විදුලියේ "ජයග්‍රාහි පෙළපාලියට " ද යොමු කළේය. එයින් ද ජෝතිපාල සමත් විය. එයින්
සමත් වූ ආධුනිකයන්ට විනාඩි 15 ක ආධුනික ගුවන් විදුලි වැඩසටහනක් ලැබුණ බැවින් ඒ අවස්ථාව ජෝතිපාලට ද හිමි විය.
ආරියදාස පීරිස් මහතා ජෝතිපාලව ගුවන් විදුලියට ගෙනාවේ ඒ අයුරිනි. මෙසේ ගායකයෙක් වූ
ජෝතිපාල චිත්‍රපට අධ්‍යක්ෂක සිරිල් පී. අබේරත්නටද හඳුන්වා දුන්නේ ආරියදාස පීරිස්
මහතා විසිනි.
ආරියදාස පීරිස් මහතා |
මේ ආකාරයට
පියවරෙන් පියවර ගීත ගායනයට පිවිසෙමින් සිටි
ජෝතිපාලට 1955 වර්ෂයේ දී සිරිසේන විමලවීර තැනූ "පොඩි පුතා"
චිත්‍රපටයට ගී ගැයිමට අවස්ථාවක් ලැබුණි.
ජෝතිපාල ගීතය ගායනා කළේය. චිත්‍රපටය
නිෂ්පාදනය කළ නව ජීවන චිත්‍රපට සමාගම ජෝතිපාලගේ ගීතයට විරෝධය පල කළේය.
"මිනිහගේ
කට හඬ හරි නෑ, මහ රළු හඬක් , මේ මිනිහට සිංදු කියන්න බෑ ඒ නිසා මේ චිත්‍රපටයෙන්
මිනිහා අයින් කරනවා" චිත්‍රපට සමාගම
සංගීත අධ්‍යක්ෂ වරයාටත්, චිත්‍රපට අධ්‍යක්ෂවරයාටත් දන්වා සිටියේය. කිසිඳු තර්කයක්
නොමැතිව ජෝතිපාල ගැයූ ඒ චිත්‍රපට ගීතය
චිත්‍රපටයෙන් කැපී විසි වුණි.
එසේ වුවද,
ජෝතිපාල එවකට තිබූ "පැදුරු
පාටි" සඳහා දිගින් දිගටම සහභාගි විය. මේ පැදුරු පාටි සංගීත සඳහා එවකට පී.එල්.ඒ. සෝමපාල සහ ආර්.ඒ චන්ද්‍රසේන නම් දරා
සිටියේය.
ජී.ඇස්.බී
රාණිට හමු වූ ජෝතිපාල:
"මගේ
මහත්තයා ඇන්ටන් පෙරේරා තමයි මුලින්ම ජෝතිපාලව අඳුන ගත්තෙ. මහත්තයා එතකොට වැඩ කළේ
රෙඩිෆියුෂන් සමාගමේ මරදාන ඒජන්ට් විදියට. ඇන්ටන් මරදානෙ නොදන්න කෙනෙක් නෑ. මටත්
වඩා හුඟක් ජනප්‍රියයි ඇන්ටන්. ඒ කාලෙ මරදාන ප්‍රදේශයේ හිටපු චණ්ඩියෙක් වූ "චණ්ඩි
චොප්පෙ " ඇන්ටන්ට ජෝතිපාලව හඳුන්වා දී තිබුණි.
"හොඳට
සිංදු කියන කොල්ලෙක් සර්! නෝනට කියල අපේ කොල්ලට මොකක් හරි සපෝට් එකක් අරන්
දෙන්න."
ඇන්ටන්ද හිස
වැනුවා මිස ඉන් එහාට යමක් පැවසිමට නොගියේ ය. ඒ ඇන්ටන් සහ රාණි විවාහ වූ අලුත
බැවින් ඔවුන් දෙදෙනා ඇසුරු කල බොහෝ අයගෙන් පැදුරු පාටියකට හෝ බජව්වකට ඇරැයුමක් නොලැබුණා නම් ඒ කලාතුරකිනි.
"අපි
විවාහය රෙජිස්ටර් කළේ පුවත් පත් කලාවේදී සිසිර කුමාර මාණික්කආරච්චි මහත්තයාගෙ නුගේගොඩ ගෙදරදි. දැන්
නන්දා මාලනී ඉන්න ගෙවල් පාරෙ කෙළවර තමයි
සිසිරගෙ ගෙදර තිබුණෙ.
ජී.ඇස්. බී. රාණී පෙරේරා |
අපේ විවාහය
වෙනුවෙන් සිසිර පැදුරු පාටියක් සූදානම් කළා. අපි දෙන්නත් එතැන ඉන්දැද්දි ඒ බජව්වට චොප්පෙ ජෝතිපාලව එක්කන්
ආවා."
ආර්.ඒ. චන්ද්‍රසේන
මාස්ටර් පැදුරු පාටිය භාරව කටයුතු කල අතර
ඇන්ටන් චන්ද්‍රසේන මාස්ටර් ළඟින්ම ඇසුරු කළ අයෙකු බැවින් චන්ද්‍රසේන මාස්ටර් ළඟට
ගොස් ජෝතිපාල ඔහුට හඳුන්වා දුන්නේය.
"හොඳට
සිංදු කියන කොල්ලෙක් මචං කොල්ලට සිංදුවක් කියන්න දීපං"
යහළුවාගේ
ඉල්ලීමට පිටුපෑමට නොහැකි වූ බැවින් චන්ද්‍රසේන මාස්ටර් ද දෙවරක් නොසිතා ම ඊට කැමැත්ත පළ කළේ ය. ආර්.ඒ
චන්ද්‍රසේන මාස්ටර් ද ඕනෑම වෙලාවක ඕනැම තැනකදි
අනුන්ට උදව් කිරිමට තරම් හිතක් තිබූ මහත්මාගුණයෙන් පෝෂිත අයෙකු වූ බැවින්
ජෝතිපාලට ඒ අවස්ථාව ලැබුණි. එය ඔහුගේ ජීවිතයේ අමරණීය එකක් බව පසු කාලයේදි ජෝතිපාල
විසින් ඇන්ටන්ටත් රාණිටත් කියා තිබුණි.
"එදා ජෝති
හරි ලස්සනට හින්දි සිංදු දෙකක්ම කිව්ව. " රාණි කීවාය.
කඳුළෙන්,
සුසුමෙන්, සිනාවෙන් උපන් ගීතය:
නැවත ජෝතිපාලට චිත්‍රපටයක
ගීයක් ගායනා කිරිමට අවස්ථාව උදා කර දුන්නේ
පෙර දවසක ආරියදාස පීරිස් මහතා
හඳුන්වා දුන්
චිත්‍රපට
අධ්‍යක්ෂක සිරිල් පී. අබේරත්න විසිනි. ඒ ජබීර්.ඒ.කාදර් නිෂ්පාදනය කළ "සුරතලී" චිත්‍රපටය සඳහා ය. ඒ
"සිරියා මෙ සාරා" ගීයයි.
1956 දී තිරගත
වූ "සුරතලී" චිත්‍රපටයද ජනප්‍රිය හින්දි චිත්‍රපටයක් වූ
"බර්සාත්" චිත්‍රපටය ඇසුරින්
නිර්මාණය වූවකි. සිරිල් පී. අබේරත්නට අමතරව දකුණු ඉන්දියාවේ දෙමළ චිත්‍රපට
අධ්‍යක්ෂකවරයෙකු වූ කේ. වෙම්බු මහතාද චිත්‍රපටයේ අධ්‍යක්ෂ වරයෙකු ලෙස කටයුතු කළේය.
චිත්‍රපටයට ගීත
12 ක් ඇතුළත් විය. "සුරතලී " චිත්‍රපටයේ ගීත ගායනා කිරිමට සිටි ප්‍රධානතම ගායක පිරිස
වූයේ ජී.ඇස්.බී.රාණි පෙරේරා, ස්වර්ණා අබේරත්න, ධර්මදාස වල්පොල, එල්.එම්.පෙරේරා, ලතා සහ ජෝතිපාල ද, ඉන්දියාවේ මදුරාසියේ
"වාහිනි" ශබ්දාගාරයට ගොස්
සිටියහ. ටී.ආර්. පාපා "සුරතලී"
චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය භාරව කටයුතු කළේය. චිත්‍රපටයේ ගීත අතුරින් එකක් සමූහ
ගායනයක්ද, තව ගියක් යුග ගීතයක් ලෙසින්ද, ඒකල ගීයක් ද ජෝතිපාලට ගැයිමට නියමිතව
තිබුණි.
ජෝතිපාල නවක
ගායකයෙකු නිසා එකවරම චිත්‍රපට පසුබ්ම් ගීතයක් ගායනා කිරිමට භාර දිමට පාපා අකමැති
විය. පාපා ජෝතිපාල එම චිත්‍රපටයෙන් ඉවත්
කිරිමට අපමණ වෙහෙසක් ගත්තේ ය.
'මෙයාගෙ වොයිස්
එක මේ චිත්‍රපටයට ගැලපෙන්නෙ නෑ" පාපා කීවේය. එයින් නොනැවතී ඔහු ඒ බව චිත්‍රපට නිෂ්පාදක ජබීර්.ඒ. කාදර්ට ද
දැනුම් දීමට කටයුතු කළේය.
කෙසේ වුවත්,
එදා පටිගත කිරිම් සඳහා "වාහිනී" ශබ්දාගාරයට ගොස් සිටි ජී.ඇස්බී. රාණි ඇතුළු
පිරිස පාපාගෙන් ඉල්ලීමක් කළේ ජෝතිපාලට ගීය
ගායනා කරන්න දෙන ලෙස ය. ජෝතිපාල නිසා "සුරතලී" චිත්‍රපටයට යම් හානියක්
හෝ පාඩුවක් වුවහොත් යළිත් කිසිඳු දිනයක
කාදර්ගේ චිත්‍රපටවලට සම්බන්ධ නොවන බව ඔව්හු පාපා ට කියා සිටියහ.
ඒ වන විටත්
දෙවන වරටත් අහිමි වෙමින් තිබූ වාසනාව පිලිබඳව ජෝතිපාලගේ සිත දැඩිව කලකිරීමට පත්ව
තිබුණි. ඒ හේතුවෙන් ම ඔහු මදුරාසියේ දී දුම්රියට පැන සිය දිවි හානි කරගැනිමට උත්සාහ කළේය. ඒ ජෝතිපාලගේ උත්සාහහය යාන්තමට එදා ලංකාවෙන් ගොස් සිටි ශිල්පීන්ට වලක්වා ගත හැකි
විම සතුටට කාරණයක් විය. අන්තිමේ දී සිරිල් පී. අබේරත්නගේ දැඩි බලපැම හමුවේ කණ්ඩායමට
ජය අත්විය. ජෝතිපාල "සිරියා මෙ සාරා"
ගීතය ගායනා කළේය.
චිත්‍රපටයේ ගීත
අතුරින් හරි අඩකට වඩා ජනප්‍රිය විය. ජෝතිපාල ගැයූ සෙසු ගීත එතරම් ජනප්‍රිය නොවුන ද
කාදර්ගේ චිත්‍රපටයට කිසිඳු හානියක් හෝ පාඩුවක් සිදු නොවුනි. කාදර්ගේත්, ටී.ආර්.
පාපාගේත්, ඉහේ මලක් පිපුණාක් මෙන් විය. ඔවුන්ගේ මුවගට සිනා රැල්ලක්ද නැගුණි. ඒ
කඳුළින් සුසුමින් සිනාවෙන් උපන් මේ ගීය නිසාය.
සිරියා මෙ සාරා
නැගේවි හද මෝරා
දී ප්‍රේමේ
අමධාරා හෝ ප්‍රේමේ අමධාරා
ප්‍රේමේ නුරා
ගීත රාවේ නැගෙන්නා
මේ පෙම් මල්
පිපීලා මා හර්දේ පිරෙන්නා
හෝ...
දින රාජයා ඈත
අහසේ දිලෙන්නා
දී ප්‍රේමේ
අමධාරා හෝ ප්‍රේමේ අමධාරා
ගංගා පිරීලා
ඉතිරී ගලන්නා
ආලේ රසේ මා
හදේහි නැගෙන්නා
හෝ..
මේ සන්ධ්‍යා ශ්‍රියාවෝ
නැගේ හද මෝරා
දී ප්‍රේමේ
අමධාරා හෝ ප්‍රේමේ අමධාරා
මල් ලෝකෙ සරලා
ගුමු නාදෙ දීලා
බඹරා ගියා
සේ පෙම් ගී ගයාලා
හෝ..
යාවී මේ දැන්
පෙම් කුමාරි සොයාලා
දී ප්‍රේමේ
අමධාරා හෝ ප්‍රේමේ අමධාරා
ගීත
පබැඳුම: ඩබ්ලිව්. විල්ෆ්‍රඩ් සිල්වා
සංගිතය: ටී.ආර්. පාපා
ගායනය: එච්.ආර්. ජෝතිපාල
චිත්‍රපටය: සුරතලී
නිෂ්පාදක: ජබීර්.ඒ. කාදර්
තිරගතවූ
වසර: 1956
මේ චිත්‍රපටයේ සියළුම ගීත අනුකාරක ගීත විය. ඒවා හින්දි සහ
දෙමල චිත්‍රපටවලින් උපුටා ගත් ඒවාය.
ඒ අනුව පසු කාලයේ
දී ජනප්‍රියම චිත්‍රපට පසුබ්ම් ගායකයා වූ
එච්.ආර්.ජෝතිපාලගේ මුල්ම ගීතය සහ චිත්‍රපට ගීතය ලෙස "සිරියා මෙ
සාරා" ගීතය ඉතිහාස ගත විය. ඒ වන විට
ජෝතිපාලගේ වයස අවුරුදු විස්සකි. ගීතයට අදට වසය අවුරුදු 56 කි. ෴
No comments:
Post a Comment