20170110

ඔබේ නමින් සෑය බඳිම් - අමරදේවයන්ගේ විවරණය.


"ගීතයේ සමස්තාර්ථයම,
ස්වර නිර්මාණයෙන් ධ්වනිත විය යුතුයි."
 _අමරදේව



ඔබේ නමින් සෑය බඳිම්
විමානයෙන් බසිනු මැනවි
ස්වර්ණමාලියේ
රූබර  ස්වර්ණමාලියේ

උනා නීල වර්ණ වරල
දෑලේ මල් ගැවසි ලියේ
නගා ඉන්ද්‍රචාප දෙබැම
ඇසින් විදුලි මවන ලියේ
සිනාසිසී විමානයෙන්
බසින්න ස්වර්ණමාලියේ

අතේ ගිගිරි නාද සළඹ
නුරා හඬින් හඩන ලියේ
කරේ පද්ම කැකුළු මාල
හංස තුඩින් තැලෙන ලියේ
කනේ තෝඩු මිණි ගනරන්
මූණ ඔපය කරන ලියේ
පමා නොවී විමානයෙන්
බසින්න ස්වර්ණමාලියේ

බාලචන්ද්‍ර පටු නළලත
අලක අඳුන් අඳින ලියේ
ආල වඩන දන්ත කැකුළු
කුන්ද සමන් පිපෙන ලියේ
දෑල දෑත ස්වර්ණදාම
තාල හඬට සැලෙන ලියේ
කෝල නොවී විමානයෙන්
බසින්න ස්වර්ණමාලියේ
ස්වර්ණමාලි ගීතය තුළින් වහනය වන හැඟීම් ධාරාව
ආයාචනාත්මක ස්වරූපයෙන් නිර්මාණය වූවක්,
එහිදී පණ්ඩිත් රවී ශංකර් විසින් ජනප්‍රිය කරන ලද
කීර්වාණී රාගය ආශ්‍රය කරගන්ට මා පෙළඹුණා,
මෙම දකුණු ඉන්දියානු රාගය
මුලින්ම උතුරු ඉන්දියාවට හදුන්වා දුන්නේ
පණ්ඩිත් රවී ශංකර්.
එය බටහිර සංගීතයේ ප්‍රචලිතව ඇත්තේ,
Harmonic Minor කියා,
ඒ අවධියේදී එය බොහොම ජනප්‍රිය රාගයක් වෙලා තිබුණා.

මහගමගේ මුල් ප්‍රබන්ධයේ තිබුණු ආයාචනාත්මක ස්වරූපය,
ඒ ආකාරයෙන්ම ප්‍රකාශ කරන්නට එය ප්‍රමාණවත් වුණා,
මෙම ගීතය නිර්මාණයේදී කීර්වාණී රාගය
පමිණියේ නිරායාසයෙන්ම වාගේ,
ගීතයේ සමස්තාර්ථයම,
මෙම රාගයේ ස්වර නිර්මාණයෙන් ධ්වනිත වෙනවා.

කවියා මෙතැන්හිදී කරන්නේ
දෙවඟනට ගසින් බහින්ඩ කියා කරන ආයාචනයක්,
ගීතයේ ස්වර සංගතියෙන් , ඒ ආයාචනය ප්‍රකාශ වෙනවා,
රාගයක් කියන්නේ, ස්වර සංගතියක්
සංගීත නිර්මාණයේදී
කාව්‍යයේ භාවාර්ථය නිරූපණය කරන්නට සුදුසු
ස්වර තෝරාගැනීමයි, අවශ්‍ය කාර්යය වන්නේ.
වචන , එහෙම නැතිනම් පද වෙන වෙනම ගෙන නොවෙයි,
එය කල යුත්තෙ.
.
සේකර අතින් මෙම ගීතය මුලින්ම ලියවුණෙත්,
කවියක් හැටියට නෙමෙයි.
ඔහු එය ලියා ඇත්තේ ගීතාත්මක ආකෘතියකට,
ඒ නිසා මෙම ගීතය,
ගායන මාධ්‍යය සිත්හි තබාගෙන ලියන ලද්දක්,
ගීතය කියන්නේ, විශේෂිත සංගීතාංගයකට.
එය හුදු කවියක් නොවෙයි.
ඒ කාරණය මහගම සේකරත් හොදින් දැනගෙන හිටියා.

ඔබේ නමින් සෑය බඳිම් ගීතය ලියවුණේ
හැටගණන්වල ජනප්‍රියව පැවති
මධුවන්ති නැමැති ගුවන් විදුලි වැඩසටහන සඳහා.
ඒ අවධිය වන විට,
ජන ගායනා, රස මියුරු, ස්වර වර්ණ, විජය ගීත යන
වැඩසටහන් පෙළක්ම මවිසින් කර තිබුණා.
එකී වැඩසටහන් මගින්
ස්වාධීන ආකාරයෙන්
ජන සංගීතයේ ආභාසය ලබන්ට හැකිවීම නිසා
මධුවන්ති වැඩසටහන වඩාත් පරිසමාප්ත වූ බවයි,
මාගේ හැගීම.

මහගම සේකර කවියා
තම නිර්මාණයට පාදක කරගන්නේ,
අපේ වංස කතාවේ අති විශේෂ අවස්ථාවක්.
රුවන්වැලි මහ සෑය ගොඩනගන්ට තීරණය කරන
දුටුගැමුණු රජ්ජුරුවන්ට
ඒ සඳහා භූමි භාගයක් අවශ්‍යයි.
මහ සෑය තනන ජය භූමිය වන්නේ,
රන් තෙළඹු ගසක් හාත්පස විහිදෙන භූමි භාගයයි,
එසේ හෙයින් රන් තෙළඹු ගස කපා බිම හෙළිය යුතුය,
එහෙත් එය එතරම්ම පහසු නැත.
මන්ද යත්, එයට අරක් ගත් දෙවඟනක් සිටිනා බැවිනි.
ඇය වනාහී අන් කිසි තැනැත්තියක නොව,
ස්වර්ණමාලි දෙවඟනයි
ස්වර්ණමාලිය බවට පැමිණ සිටින්නී,
අන් එකියක නොව රත්නවල්ලී නැමැති රොඩී තරුණියයි.
දැන් ඇය දෙවඟන.
ඇය රන් තෙළඹුවට අරක්ගෙන සිටින්නීය
රජතුමාගේ ආයාචනය, ඇයට සිය විමානයෙන් බසින්නටය,
ඇයගේ නමින්ම මෙම සෑය බදින්නට රජතුමා පොරොන්දු වෙයි.

විමානයෙන් බසින්නට,
ස්වර්ණමාලියට ආයාචනය කරන කවියා,
මහත් අභිරුචියෙන් ඇගේ රූසිරිද වර්ණනා කරයි.

ඇය සිටින්නී
සිය නිල්වන් කෙස් කළඹ උනා පිට මැද හෙලාගෙනය.
ඇය සිය කෙස් කළඹ දෙපස මල් ගවසාගෙන සිටින්නීය.
ඇගේ දෙබැම ඉන්ද්‍රචාප හෙවත් දේදුනු දෙකක් වැන්න
එහෙයින් අගේ නෙතින් විදුලි කොටන්න සේ දැනේ,
ඇයගේ ළමැදෙහි කිණිහිරි මල් පෙති ගැවසී ඇත.
නළල මත රත්න තිලකයකි.
අත්වලින් ගිගිරි හඬ නැගෙයි.
ගෙලෙහි නෙළුම් කැකුළු මාලයකි.
ඒ මාලයෙන් හංස තුඩු වැනි අගේ පියයුරු තුඩු තැලෙයි.
ඇගේ කන්පෙතිවල මැණික් ඔබ්බවන ලද ගනරන් තෝඩුය.
ඒ තෝඩුවල මැණික් එළියෙන් ඇගේ මුහුණ ඔපවත්ව දිලෙයි.
ඇගේ නළල, බාල චන්ද්‍රයකු හෙවත් අඩ සඳක් වැන්න.
දත් දෙපෙළ කොඳමල්, සමන්මල් පිපෙන්නා සේ සුදුවන්ය.
දෑතෙහි රන් දම්ය.

පමා නොවී විමානයෙන් බසින්නැයි
කවියා ආයාචනය කරන්නේ,
එවන් රූබර ස්වර්ණමාලියටය.

මහගම සේකර කවියා
සිය නිර්මාණයට පාදක කරගන්නේ,
එකී කාව්‍යානුභුතියයි.
එහිලා ඔහු රන් තෙළඹුවේ කවිවලින්ද
ආභාසය ලබනවා.

ගීත නිර්මාණයේදීද
රන් තෙළඹුවේ කවි මවිසින් ඇසුරු කොට ඇත.
ඒ ඇසුරත්, කීර්වාණී රාගයේ ඇසුරත්,
මෙම ගීතයේ නාද ආකෘතිය කෙරෙහි
බෙහෙවින් බලපා තිබෙනවා.
ඇත්ත  වශයෙන්ම,කීර්වාණී ස්වර සමුදාය,
අපගේ ජන ගීවල ස්වර මාලාවට
බෙහෙවින් අනුගතයි.

ගීතය නැමැති විශේෂිත සංගීතාංගය
විශ්වාකර්ශනීය නිර්මාණයක් බවට පත් වන්නේ,
කාරණා දෙකක සංයෝගය උඩයි.
පළමුවැන්න, තනුව හෙවත් නාදාකෘතිය.
Melody කියා අප හදුන්වන්නේ එයයි.
දෙවැන්න තමයි, මිනිස් කටහඩ.
ඒ කියන්නෙ, ගේය කාව්‍යානුබද්ධ මිනිස් කටහඩ.
මේ දෙකේ සංයෝගයෙනුයි,
ගීතය විශ්ව ආකර්ශනීය නිර්මාණයක් වන්නේ.
ස්වර්ණමාලී ගීතය ගැන සඳහන් කරද්දී,
ඒ කාරණය මතක් කර දීම සුදුසුය කියා මට හිතෙනවා.
_____________________________

අමරදේවයන්ගේ
"ගී සර මුවරද" පොතෙන්.

1 comment:

  1. සසඳා බලන්න.

    1, ඔබේ නමින් සෑය බඳිම්
    විමානයෙන් බසිනු මැනවි
    ස්වර්ණමාලියේ රූබර ස්වර්ණමාලියේ

    2, ඔබේ නමින්
    සෑය බඳිම්
    විමානයෙන්
    බ සි නු මැ න වි
    ස්වර්ණමාලියේ
    රූබර ස්වර්ණමාලියේ

    අද කාලෙ
    එකදිගට කියන අතරෙ
    සෑය, බසිනූ.... වැනි තැන්වල
    අනවශ්‍ය විදියට අදින තනු සමග සසඳා බලන්න.

    ඔබේ නමින්
    සෑය බඳිම්
    විමානයෙන්
    බ සි නු මැ න වි
    ස්වර්ණමාලියේ
    රූබර ස්වර්ණමාලියේ

    මේ ගීයෙ පද වැල
    අමරදේවයන් විසින් වෙන් කර ගායනා කිරීම
    ගීතයෙහි අපූර්වත්වයට ප්‍රබල හේතුවක්.

    බ සි නු මැ න වි... ඔහු ගයන්නේ
    පඩිපෙළක් බසින ආකාරයෙන්...!

    ReplyDelete