20141030

නවක කවියන් කවි සංස්කරණය කළ යුතුයි..




ඔබ යළි දකිනු නෑ, මේ අවසන් මොහොත
හිරිපොද පතිතවේ නිසසල කොපුල් මත
වැහි බිඳු වලට කඳුලැලි මුහු කළ අරුත
සදහට නිසල වූ මුත් ඔබ විඳිනු ඇත.

--------------------------------------

හිරිපොද වැහි බින්දු තෙත් කළ මුහුණ මත

මේ පදය තමයි මුළින්ම ආවෙ.
මම දැනගෙන හිටියෙ නෑ..
අවස්ථාව මොකක්ද කියලා.

හිරිපොද වැහි බින්දු තෙත් කළ මුහුණ මත
වැහි බිඳු කඳුළු බිඳු
මේ වචන වලින් හිතට ආවෙ
කිසියම් දුක්මුසු මොහොතක් විය යුතුයි කියල.
මුහුණට වඩා කොපුල කඳුලට සමීපයි..

එත්න් පටන් කවිය සංස්කරණය වූ ආකාරය
විමසා බලන්න..

හිරිපොද වැහි බින්දු ඉහිරෙන කොපුල් මත
කඳුලැලි වලට වැහි බිඳු මුහු කළ අරුත

මේ වන විට, මට හිතුණා
මේ වැහි බිඳු වැටෙන්නෙ
භූමදානයට කලින්
අවසන් වරට දෙණ විවෘත කළ මොහොතෙ...
සුසානභූමියට වහින
සිරිපොද වැස්සකින් කියලා.
කොපුල නොකියා කොපුල් කියල යෙදුවෙ
අවට සිටින අයටත් සම්බන්ධ වෙන්නයි..

ඔබ යළි දකින්නට ඇති අවසන් මොහොත
හිරිපොද වැහි බින්දු ඉහිරෙන කොපුල් මත
කඳුලැලි වලට වැහි බිඳු මුහු කළ අරුත

දෙවෙනි පදයට තියන
සම්බන්ධය බිඳලා
පළමු පදය තනි වෙන විදියට
වෙනස් කරගත්තා.

ඔබ යළි දකිනු නෑ, මේ අවසන් මොහොත
හිරිපොද වැහි බින්දු ඉහිරෙයි කොපුල් මත
කඳුලැලි වලට වැහි බිඳු මුහු කළ අරුත
සදහට නිසල වූ මුත් ඔබ විඳිනු ඇත.

වැහි බිඬු වල සම්බන්ධය තියුණු කරලා
පුනරුක්තිය ඉවත් කරගත්තා.

ඔබ යළි දකිනු නෑ, මේ අවසන් මොහොත
හිරිපොද වැහි බින්දු නිසසල කොපුල් මත
වැහි බිඳු වලට කඳුලැලි මුහු කළ අරුත
සදහට නිසල වූ මුත් ඔබ විඳිනු ඇත.

ඔබ යළි දකිනු නෑ, මේ අවසන් මොහොත
වැහි බිඳු පතිතවී නිසසල කොපුල් මත
වැහි බිඳු වලට කඳුලැලි මුහු කළ අරුත
සදහට නිසල වූ මුත් ඔබ විඳිනු ඇත.

ඔබ යළි දකිනු නෑ, මේ අවසන් මොහොත
හිරිපොද පතිතවේ නිසසල කොපුල් මත
වැහි බිඳු වලට කඳුලැලි මුහු කළ අරුත
සදහට නිසල වූ මුත් ඔබ විඳිනු ඇත.



මේ සාමාන්‍ය මට්ටමේ කවියක්..
අසම්පූර්ණයි.. ආධුනිකයි..

මේ කවියෙන් මගේ චිත්ත රූපය
හරියට නිරූපනය වෙලා නැහැ..
ඒත් කවියක් සංස්කරණය කිරීම
කවියකට බලපාන අයුරු ගැන
යමක් මෙයින් දකින්න පුලුවන්.

මීට අමතරව හිත ඇතුළෙනුත්
සංස්කරණය සිදු වුණා.

බොහෝ නවකයන්
මාන්නය නිසා හෝ,
නොහැකියාව නිසා හෝ..
වචන හිඟ කම නිසා
තමන් ලියන දේ
සංස්කරණය කරන්න කැමති නෑ.

සංස්කරණය නොකරන අයගෙ නිර්මාණ
හැමදාම ආධුනික මට්ටමේම පවතින්නෙ නෑ..
ඔහු පිරිහෙන්නත් පටන් ගන්නවා.

ඔහු එපා වෙනතුරු උත්සාහ කරලා
රසික අවධානය ගිලිහෙනකොට
නිර්මාණ උල්පත හිඳෙනකොට
කවි ලියන එක අත්හැරල දානවා.

නවකයෙකුගේ කවියක්
සංස්කරණය කරල නැත්නම්
ඒ නිර්මාණය ඔහු කරල තියෙන්නෙ
ඔහුගෙ අවම ශක්‍යතාවයෙන්.

නවකයෙකුගෙ ශක්‍යතාවය වර්ධනය වෙන්නෙ
නිරන්තර සංස්කරණයෙන්..
සංස්කරණයත් අභ්‍යාසයක්..
ඔහුට තමන්ගෙ වැරදි අඩුපාඩු දකින්න ලැබෙන්නෙ
ඉගෙන ගන්න හිතෙන්නෙ, ඉගෙන ගන්න යොමුවෙන්නෙ
සංස්කරණය කරන්න උත්සාහ කරන විටයි.

මේ සත්‍යතාවයන්
හැම ක්ෂේත්‍රයකම නවකයන්ට අදාළයි.

=================================
මෙහි සංස්කරණය කළ පද බලන්න




2 comments:

  1. Replies
    1. මේ ලිපිය ලියන්න චානකත් ප්‍රබල හේතුවක් :)

      Delete